Monday, December 31, 2018

ලෝකයේ විවිධ ප‍්‍රදේශ දේශගුණ වෙනස් වීමට දායක වූ හැටි

ජගත් පරිසර පුවත් 294 - 26.12.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.12.2018, පි. 3 (Vidusara)



ලෝකයේ එකිනෙකට වෙනස් කලාප නවයක් දේශගුණ වෙනස් වීම සඳහා 1900 වර්ෂයේ සිට අද දක්වා දායක වූ ආකාරය පෙන්වන ගණනය කිරීමක් පර්යේෂකයන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇත. එසේම එම දායකත්වය 2100 වන විට පවත්නා ආකාරයද ඔවුන් දක්වා තිබෙයි.

මෙහිදී ගණනය කර ඇත්තේ එ් එ් කලාපවල සමුච්චිත විකිරණ බලපෑම (cumulative radiative forcing) ලෙස හඳුන්වා ඇති අගයයකි. එමගින් අද තත්ත්වය පමණක් නොව මිහිතලය උණුසුම් වීම සඳහා හරිතාගාර වායුවල බලපෑම පසුගිය සියවස තුළ ඇති වූ සමස්ත බලපෑම ලෙස ඇතුළත් වෙයි. මෙහිදී පෙන්වාදී ඇති වැදගත් කරුණක් වන්නේ කාබන් ඩයොක්සයිඞ් හා සෙසු හරිතාගාර වායු වායුගෝලයේ රැුදී පවතිමින් දිගුකාලයක් තිස්සේ ලෝකය උණුසුම් කරන අතරම වාතිලයන අංශු ඊට විරුද්ධ කාර්යයක් සිදුකිරීමය. අංශුමය ද‍්‍රව්‍ය හා වාතිලයන අංශු වායුගෝලයේ පවතිනුයේ කෙටිකාලයක් වුවද, ඒවා සූර්යාලෝකය හා වළාකුළු සමඟ අන්තර්ක‍්‍රියා කරමින් උෂ්ණත්වයේ යම් සිසිල්වීමක් ඇතිකරයි. ලෝකයේ උණුසුම් වීමක් ඇති වන්නේ මෙම ක‍්‍රියාවලි දෙකෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.

උක්ත අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇති ආකාරයට, එම කලාපවල දායකත්වය පිළිබඳව අදහස ලබාගත හැක්කේ මෙම ක‍්‍රියාවලි දෙකෙහි තුලනය වීම අනුවය. නිදසුනක් ලෙස ගතහොත් 1910 හා 2017 අතර කාලයේදී චීනය, යුරෝපය හා උතුරු ඇමරිකාව යන කලාපවල පවා ආසන්න වශයෙන් ශුද්ධ දායකත්වයක් නොමැති කාලවකවානු පැවතී ඇත. ඒ එම කලාපවල එම කාලයේදී වේගවත් කාර්මිකකරණයක් හා දළ ජාතික නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් පැවති කාලයකදීය. කෙසේ වෙතත් 2018 හා 2100 අතර කාලයේදී මෙම කලාපවල ඇති වනු ඇති බවට අපේක්ෂිත කාබන් ඩයොක්සයිඞ් වායුවේ විකිරණ බලපෑම පසුගිය සියවසේ ඇති වූ බලපෑමට වඩා වැඩි විය හැකි බව නම් පැහැදිලිය.

කෙසේ වෙතත් මෙම වාතිලයනවලින් ඇති වන්නාවූ අනෙක් බලපෑම් එතරම් යහපත් එකක් නොවෙයි. ඒවා බරපතළ සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි සේ සැලකෙන හා අඩු වයසින් සිදුවන මානව මරණ රැසකට හේතුවන වායු දූෂක කාණ්ඩයකි. මේ නිසා වායු විමෝචන අඩු වීම දේශගුණ වෙනස් වීමට මෙන්ම මානව සෞඛ්‍යය සඳහාද යහපත් වන බව පැහැදිලිය. (මූලාශ‍්‍රය:Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1813951115)

ආන්තික කාලගුණ තත්ත්ව ජීවී විශේෂවලට තීරණාත්මක ලෙස බලපායි

ජගත් පරිසර පුවත් 294 - 26.12.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.12.2018, පි. 3 (Vidusara)



නියඟය, කුණාටු හා අධික උෂ්ණත්වය වැනි ආන්තික කාලගුණ තත්ත්ව ඇතැම් වනජීවීන්ට ඉතා තීරණාත්මක ආකාරයෙන් බලපාන බව පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී පෙන්වා දී ඇත. මෙහිදී ඔවුන් විසින් 1941 හා 2015 වර්ෂ අතර කාලයේදී ඇති වූ ආන්තික තත්ත්වවලට විවිධ ජීවී කාණ්ඩ ප‍්‍රතිචාර දැක්වූ අවස්ථා පන්සියයකට අධික ප‍්‍රමාණයක් අධ්‍යයනය කර තිබෙයි. ඒ අනුව පෙනී ගොස් ඇත්තේ එවැනි අවස්ථා අතරින් 57%කදීම ජීවී ගහන නිශේධනීය ප‍්‍රතිචාර දක්වා ඇති බවය. එසේම ගහනයේ 25%කට වඩා අධික වූ අඩු වීම් සිදු වු අවස්ථා 100ක් පමණ ද, ප‍්‍රාදේශීයව ගහන වඳ වී යෑම් සිදු වූ අවස්ථා 31ක් පමණ මෙවැනි ආන්තික කාලගුණ තත්ත්ව නිසා ඇති වූ බව උක්ත අධ්‍යයනයේදී හෙළිව ඇත.

මෑත දී ඔස්ටේ‍්‍රලියාවේ වවුල් විශේෂයක් අධික උෂ්ණත්වය නිසා විශාල වශයෙන් මරණයට පත් වීම මෙවැනි සිදුවීම් සඳහා හොඳම නිදසුනක් ලෙස දක්වා ඇත. එහෙත් මීට වඩා වෙනස් තත්ත්වද ඇති වෙයි. නිදසුනක් ලෙස ගතහොත් බහාමාස් දූපතේ වාසය කළ කටුසු විශේෂ කුණාටු නිසා විනාශයට පත්ව ඇත. කුණාටු තත්ත්ව වඩාත් බලපෑම් කර ඇත්තේ පක්ෂීන්, මසුන්, ශාක හා උරගයින් වැනි ජීවී කාණ්ඩවලටය.

එමෙන්ම නියඟය නිසා සාපේක්ෂව වැඩි බලපෑමක් ඇති වී තිබෙන්නේ ක්ෂීරපායි හා උභයජීවී වැනි ජීවී කාණ්ඩවලටය. ක්ෂීරපායී විශේෂ දොළහක ගහනවල කැපී පෙනෙන අඩුවීම් නිය`ගය නිසා ඇති වූ බව වාර්තා වී ඇත. එසේම නියඟය පක්ෂීන්ට හා අපෘෂ්ටවංශී කාණ්ඩවලටද බලපෑ අවස්ථාද අනාවරණය වී ඇත. හවායි දූපත්වල ඇතැම් පක්ෂි විශේෂවලට මෙවැනි බලපෑම් වාර්තා වී ඇත.

වර්තමානයේ පවත්නා ප‍්‍රවණතාවය අනුව දේශගුණ වෙනස් වීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී ආන්තික කාලගුණ තත්ත්ව ඉහළ යෑමේ හෝ තීව‍්‍ර වීමේ අවදානමක් පවතී. මේ අනුව බොහෝ ජීවී විශේෂවල පැවැත්මට ඇති විය හැකි අභියෝගයෙන් ඔවුන් ආරක්ෂා කරගැනීමට නම් කිසියම් ආකාරයකට වෙනස් ආකාරයක සංරක්ෂණ ක්‍‍්‍රමෝපායයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් අනාගතයේදී ඇති විය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් වඩාත් හොඳ තත්ත්වයේ හා බාධා රහිත ආකාරයේ වාසස්ථාන පැවතීම මේ සඳහා වැදගත්ම සාධකයක් වන බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Diversity and Distributions, DOI: 10.1111/ddi.12878)

ජෛව විවිධත්වය රැුකීමට යන ගමනේ වේගය මදි?

ජගත් පරිසර පුවත් 293 - 19.12.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 19.12.2018, පි. 3 (Vidusara)



එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතිය මගින් ඇතිකරගෙන ඇති ඉලක්ක අත්පත් කරගැනීම සඳහා මෙතෙක් ගෙන ඇති පියවර ප‍්‍රමාණවත් නැති බව පර්යේෂකයන් පිරිසක් විසින් පෙන්වා දී තිබෙයි. ඔවුන් මේ බව ප‍්‍රකාශ කරන්නේ විශේෂයෙන් ලෝකයේ සාගර හා මුහුදු සම්බන්ධව ප‍්‍රකාශයට පත් කර ඇති ඉලක්ක හා මෙතෙක් අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය විමසා බැපීමෙන් පසුවය. 

මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් විසින් සලකා බලා ඇත්තේ අයිචි ජෛව විවිධත්ව ඉලක්ක හා තිරසර සංවර්ධන අභිමථාර්ථවල විශේෂයෙන් සාගර හා සම්බන්ධව ඇති ඉලක්ක පිළිබඳවය. තිරසර සංවර්ධන අභිමථාර්ථවල 14 වැන්න සාගර හා සම්බන්ධ වන අතර, අයිචි ජෛව විවිධත්ව ඉලක්කවල 11 වැන්න වන්නේ සාගරයෙන් 10%ක් පමණ ප‍්‍රදේශයක් 2020 වර්ෂය වන විට ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒමය. ඒ අනුව ඔවුන් අවධානය යොමුකර ඇත්තේ සාගර ආරක්ෂිත ප‍්‍රදේශ, වෙරළාශ‍්‍රිත පරිසර පද්ධති කළමනාකරණය, අධික ලෙස මසුන් මැරීම, සාගර දූෂණය හා සාගරය ආම්ලිකකරණය වීම යන කරුණුය.

මේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි සම්මුතියට අත්සන් තබා ඇති රටවල් අතරින් වැඩි ප‍්‍රමාණයක් උක්ත ඉලක්ක සම්බන්ධව මෙතෙක් අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය, උක්ත ඉලක්ක අත්පත් කරගැනීමට අවශ්‍ය මට්ටමක නැත. එසේම ඇතැම් ඉලක්ක මගින් සංරක්ෂණය පිළිබඳව වැරදි චිත‍්‍රයක් සැපයෙන් අවස්ථාද තිබෙයි. එවැනි ඉලක්ක යළි සකස් කිරීමෙන් ප‍්‍රමාණවත් සංරක්ෂණ වැදගත්කමක් ඇති වන ආකාරයෙන් නැවත සකස් කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති. ඒ එම ඉලක්ක නැවත ඇගැයීමකට ලක් කිරීමෙන් හා වැඩිදියුණු කිරීමෙනි. එසේ නොවුවහොත් ජෛව විවිධත්වය නොවැළැක්විය හැකි බරපතළ අර්බුදයකට මුහුණ දිය හැකිය.

නිදසුනක් ලෙස ගතහොත් බොහෝ රටවල් වෙරළාසන්න ප‍්‍රදේශවලින් 10%ක පමණ ප‍්‍රදේශයක් ආරක්ෂිත ප‍්‍රදේශ බවට පත්කිරීම පිළිබඳව උනන්දුවක් දක්වා ඇත. එහෙත් ඒ අනුව රටවල් රැුසක් සාගර ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කර ඇති නමුත් මෙසේ ආරක්ෂිත තත්ත්වයට නම් කර ඇති සාගර ප‍්‍රදේශ අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් එතරම් ගැටලූ නැති හා ජෛව විවිධත්වයෙන් අඩු ප‍්‍රදේශ බව මේ අධ්‍යයනයේදී හෙළි වී තිබෙයි. වැදගත් හා ජෛව විවිධත්වයෙන් ඉහළ වූ වෙරළබඩ ප‍්‍රදේශ ඇතැම් විට ම`ග හැරී ගොස් ඇත. එයට හේතුව එම රටවල් හුදෙක් ඉලක්කය අත්පත් කරගැනීමට පමණක් උනන්දු වීම බව පෙනෙයි. (මූලාශ‍්‍රය:
Perspectives in Ecology and Conservation, DOI: 10.1016/j.pecon.2018.11.001)

වන මීමැස්සන් රැුකගැනීමට පළිබෝධනාශක නීති දැඩි කළ යුතුයි

ජගත් පරිසර පුවත් 293 - 19.12.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 19.12.2018, පි. 3 (Vidusara)



මී මැස්සන් හා බඹරුන් වැනි පරාගණකාරකයන් ලෙස ක‍්‍රියාකරන කෘමි විශේෂවලට ඇති වී තිබෙන තර්ජනය පිළිබඳව මේ වන විට ලෝකය අවබෝධකරගෙන තිබෙයි. මේ තත්ත්වය සඳහා බලපාන්නේ යැයි හඳුනාගෙන ඇති ඇතැම් පළිබෝධනාශක වර්ග පාලනය කිරීම සඳහා විවිධ රටවල් නොයෙක් පියවර ගෙන ඇත. ඊට නියෝනිකොටිනොයිඩ වැනි ඇතැම් පළිබෝධනාශක භාවිතය පාලනය කිරීම වැනි පියවර ද ඇතුළත් වෙයි. යුරෝපා රටවල් මේ පිළිබඳව වඩාත් ඉදිරියෙන් සිටියි.

මේ පිළිබඳව සිදුකර ඇති නව අධ්‍යයන තුනකින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය මීමැස්සන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර මගින් පමණක් වන මීමැසි විශේෂ හා බඹර විශේෂ ආරක්ෂා නොවන බවය. මෙහි ඇති අනෙක් වැදගත් කරුණ වන්නේ එම කෘමීන් සාමාන්‍ය මීමැස්සන්ට වඩා ආහාර භෝග ශා වෙනත් ශාකවල පරාගණය සඳහා වැදගත් වන බවය. වර්තමාන ප‍්‍රවණතාවය අනුව ලෝකයේ ජනගහනය වර්ධනය වන විට මෙම පරාගණකාරකයන්ගේ වැදගත්කම තවදුරටත් ඉහළ යයි. එයට හේතුව වන්නේ කෘමීන් මගින් පරාගණය කරනු ලබන ආහාර මත යැපීම තවදුරටත් ඉහළ යන නිසාය. වනගතව වෙසෙන මීමැස්සන් වැනි කෘමි විශේෂ වැදගත් වන්නේ හුදෙක් සාමාන්‍ය මීමැස්සන්ගෙන් පමණක් භෝග පරාගණය කිරීම අසීරු වන නිසාය.

මේ තත්ත්වය හමුවේ පළිබෝධනාශකවල අවදානම් ඇගැයීම් සිදුකිරීමේදී ඒවා සාමාන්‍ය මීමැස්සන් පමණක් නොව බඹරුන් හා සෙසු මීමැසි විශේෂ සියල්ල ආවරණය වන ආකාරයෙන් සිදු කළ යුතු බවද උක්ත අධ්‍යයනවලින් පැවසෙයි. මේ වන විට පළිබෝධනාශකවලින් කෘමි පළිබෝධකයින්ට ඇති විය හැකි බලපෑම් ඇගැයීමේදී සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ සාමාන්‍ය මීමැස්සන්ට වන බලපෑම පිළිබඳ දත්ත හා පර්යේෂණ පමණකි. සියලූ පාර්ශ්වවල අවධානය යොමුව ඇත්තේ එම මීමැස්සන්ට සිදුවන බලපෑම පිළිබඳව පමණි. එහෙත් වන මීමැසි විශේෂවලින් ඇතිවන පරාගණය හා සම්බන්ධව ඇති වැදගත්කම ඉහළ බැවින් ඔවුන් පිළිබඳවද සොයා බැලීම වැදගත් වෙයි. මේ නිසා බඹරුන් හා වෙනත් වන මීමැසි විශේෂ ආකෘතියක් ලෙස යොදාගෙන සිදුවිය හැකි බලපෑම ඇගයීම වැදගත් බව පිළිගත හැකිය. (මූලාශ‍්‍රය: Environmental Entomology, DOI: 10.1093/ee/nvy103)

Monday, December 17, 2018

දේශගුණ සමුළුවේදී නොපිළිගත් IPCC වාර්තාව

ජගත් පරිසර පුවත් 292 - 12.12.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.12.2018, පි. 3 (Vidusara)



පසුගිය ඔක්තෝබර් මාසයේදී දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) නිකුත් කළ වාර්තාව පිළිගැනීමට ඇතැම් රටවල් විරුද්ධත්වය පළ කිරීම පසුගිය සතියේදී ආරම්භ වූ දේශගුණ සමුළුවේදී ඇති වූ විශේෂ සිදුවීමකි. මීට පෙර පැවැති සමුළුවකදී ගත් තීරණයක් මත සකස් කර ඇති එම වාර්තාවෙන් පෙන්වා දී තිබුනේ ලෝකය අපේක්ෂා කරන ඉලක්කය වන සෙල්සියස් අංශක 1.5 සීමාව ඇතුළත ලෝක උෂ්ණත්වය ඉහළ යෑම පවත්වා ගැනීම අපහසු බවත් අංශක 3ක පමණ උෂ්ණත්ව වර්ධනයක් සිදුවිය හැකි බවත්ය. උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීමට නම්, 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය අද මට්ටමට වඩා 45%කින් පමණ අඩු කළ යුතු බවද එම වාර්තාවේ දක්වා ඇත. ඒ සඳහා කඩිනමින්, පුළුල් හා ඇතැම්විට මෙතෙක් නොසිතූ ආකාරයේ පියවර ගත යුතු බවද එහි සඳහන් වෙයි. මෙම වාර්තාව නිසා ඒ දිනවල තරමක ආන්දෝලනයක් ද ඇති විය. එහෙත් එය ලෝකය පුරා විද්‍යාඥයන් හා පරිසරවේදීන් අතර පිළිගැනීමකට ලක් විය.

එහෙත් මෙම දිනවල පෝලන්තයේ පැවැත්වෙන ජගත් දේශගුණ සමුළුවේදී එය පිළිගැනීමට රටවල් කිහිපයක් එරෙහි වී ඇත. ඒ අතර, ඇමරිකාව, සවුදි අරාබිය හා රුසියාව වෙයි. එම රටවල අදහස වූයේ අදාළ වාර්තාව පිළිබඳව සටහන් කරන (take note) බවක් සඳහන් කළ යුතු බවයි. එ් නිසා ඇති වූ මත ගැටුම පිළිබඳව එකඟතාවයකට ඒමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව වාර්තා වන අතර, එබඳු තත්ත්වයක් යටතේ සිදුවන්නේ එම වාර්තාව පිළිබඳ සඳහන් වන ෙඡ්දයම ඉවත්කිරීම බව පෙනෙයි. මෙම සිදුවීම සම්බන්ධව විද්‍යාඥයන් මෙන්ම සමාජ ක‍්‍රියාකාරීන්ද කණගාටුව හා විරෝධය පළ කර තිබිණි. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්මෙන අමාත්‍ය මට්ටමේ රැුස්වීමේදී මේ පිළිබඳව වෙනත් තීරණයක් ගැනීමටද ඉඩ ඇති බවද වාර්තා වෙයි. දේශගුණ සමුළුවේදී මෙම වාර්තාව පිළිගැනීමට විරෝධයක් ඇති වූ නමුත්, දේශගුණය වෙනස් වීම සිදුවෙමින් ඇති බව විද්‍යාඥයන්ගේද අදහස වෙයි. අප පිළිගත යුතු සත්‍යයද එයයි.

2050 දී ලෝක ආහාර සැපයුම හා වායු විමෝචන

ජගත් පරිසර පුවත් 292 - 12.12.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.12.2018, පි. 3 (Vidusara)



ලෝකයේ අනාගතය තිරසර එකක් වීමට නම් ලෝකයේ ආහාර පැපයුම් පද්ධතියේ සැලකිය යුතු වෙනස්කම් සිදු කළ යුතු බව පසුගියදා නිකුත් වූ වාර්තාවකට අනුව පෙනෙයි. තවත් ආයතන ගණනාවක සහයෝගය ඇතිව ලෝක සම්පත් ආයතනය (WRI) විසින් නිකුත් කර ඇති ලෝක සම්පත් වාර්තා මාලාවේ නව වාර්තාවක් වන ‘තිරසර ආහාර අනාගතයක් ඇති කිරීම’ (Creating a Sustainable Food Future) නම් වාර්තාවෙන් මෙම කරුණු සඳහන්ව ඇත.

2050 වර්ෂය වන විට ලෝකයේ අපේක්ෂිත මානව ජනගහනය වන බිලියන 10 කට අවශ්‍ය ආහාර සැපයිය යුතුය. එබැවින් එදින වන විට ආහාර ඉල්ලූම අදට වඩා 50%ක් පමණ ඉහළ යනු ඇත. සතුන්ගෙන් ලබාගන්නා ආහාර සඳහා ඇති ඉල්ලූම 70%කින් පමණ ඉහළ යා හැකිය. එහෙත් එම ඉලක්ක අත්පත් කරගත යුත්තේ කෘෂි අංශයේ හරිතාගාර වායු විමෝචන තුනෙන් දෙකකින් අඩු කරගන්නා අතර වීම මෙහි ඇති අභියෝගයයි. නව බිම් ප‍්‍රදේශ වගා කටයුතු සඳහා යොදාගැනීම වන විනාශයට හේතු වන අතර, එහි ප‍්‍රතිඵලය හරිතාගාර වායු විමෝචන ඉහළ යෑමය.

එහෙත් අද ලෝකයේ සමස්ත හරිතාගාර වායු විමෝචන අතරින් 25%ක් කෘෂිකාර්මික අංශයෙන් නිකුත් වෙයි. එය කාබන් ඩයොක්සයිඞ් ගිගාටොන් 12ක් පමණ වෙයි. වර්තමාන ප‍්‍රවණතාව අනුව 2050 වන විට එම ප‍්‍රමාණය ගිගා ටොන් 15ක් දක්වා ඉහළ යා හැකිය. එය පැරිස් ගිවිසුමට අනුව එදින වන විට තිබිය හැකි කාබන් විමෝචන ප‍්‍රමාණයෙන් 70%ක් තරම්ය. එසේ වුවහොත් ලෝකයේ සෙසු අංශවල විමෝචන 30%කට සීමා කළ යුතු වෙයි. එම අංශ අතර ප‍්‍රවාහනය වැනි අංශ ඇති නිසා එය අසීරු බව පැහැදිලිය. මේ අනුව කෘෂි අංශයේ වායු විමෝචන පාලනය කිරීමට කටයුතු කිරීම අතිශය වැදගත්ය.

මේ අනුව දරිද්‍රතාවය උග‍්‍ර වීම වළක්වා, වන විනාශය වේගවත් වීමට නොදී, හරිතාගාර වායු විමෝචන වර්ධනය වීම වළක්වා ගනිමින් ජනගහනයට අවශ්‍ය ආහාර සැපයීම සඳහා අපේ ආහාර පද්ධතියේ සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීම දැන්ම ආරම්භ කළ යුතුය. එ් සඳහා ගත යුතු පියවර අතර පහත කරුණු වැදගත්ය.

ආහාර නාස්තිය වළක්වා ගැනීම, ගවමස් හා බැටළු මස් පරිභෝජනය අඩු කිරීම, භෝග නිෂ්පාදන ආහාර සඳහා පමණක් යොදාගැනීම මේ පියවර අතර වෙයි. එසේම ජනගහන වර්ධනය පාලනය සඳහා පියවර ගැනීමද වැදගත්ය. භෝග හා පශුසම්පත්වල ඵලදායකත්වය ඉහළ නැංවීම අවශ්‍යය. ජලජීවි වගාව වැඩිදියුණු කිරීම හා මත්ස්‍ය සම්පත් කළමනාකරණයද එවැනි පියවරකි. එසේම හරිතාගාර වායු විමෝචන අඩුකිරීමට හේතු වන කෘෂි වගාක‍්‍රම යොදාගැනීමද අවශ්‍යය. වන විනාශය නැවැත්වීම හා හායනයට ලක් වූ බිම් ප‍්‍රතිස්ථාපනය කිරීමද මෙවැනි පියවරට ඇතුළත්ය. (මූලාශ‍්‍රය: Creating a Sustainable Food Future, www.wri.org)

ලෝක උෂ්ණත්වය පිළිබඳ 2018 වාර්තා හා 2019 සඳහා වූ පුරෝකථන

ජගත් පරිසර පුවත් 291 - 05.12.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 05.12.2018, පි. 3 (Vidusara)



මේ වන විට පවත්නා දත්ත අනුව, ලෝකයේ ඉහළම උෂ්ණත්වයක් පැවැති වර්ෂ අතර සිවුවන ස්ථානයට 2018 වර්ෂය පත් විය හැකි බව පෙන්වා දී ඇත. පසුගිය මාස 10 කාලය තුළම ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතිනි. මේ වර්ෂයේ මෙතෙක් නිරීක්ෂණය කර ඇති උෂ්ණත්වයේ වර්ධනය පූර්ව-කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශකයක් පමණ ඉහළය. මේ බව පෙන්වා දෙන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මගින් නිකුත්කර ඇති 2018 වර්ෂයේ දේශගුණ තත්ත්වය පිළිබඳ ප‍්‍රකාශයකිනි. (මූලාශ‍්‍රය: WMO Provisional statement on the State of the Global Climate in 2018, www.wmo.int)

එමෙන්ම 2018 වර්ෂයද ඇතුළත්ව පසුගිය වර්ෂ හතර, ලෝකයේ මෑත කාලයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයක් පැවති වර්ෂ හතර වෙයි. එසේම ලෝකයේ වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වයක් ඇති වර්ෂ 20ම ඇති වී තිබෙන්නේ ගත වූ අවසන් වර්ෂ 22ක කාලය තුළ වීම වැදගත්ය.

මෙසේ උෂ්ණත්වය ඉහළ යෑම සම`ග ඇති වන විවිධ ආන්තික තත්ත්ව ලෝකය පුරා ප‍්‍රදේශ ගණනාවකින් පසුගිය මාස 11ක කාලයේදී වාර්තා විය. ඒ අතර කුණාටු, ගංවතුර, ලැව් ගිනි හා තාප ප‍්‍රවාහ ආදිය වෙයි.

මේ අතර 2019 වර්ෂයේදී එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට බෙහෙවින් ඉඩ ඇති බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය විසින් පවසා තිබෙයි. ඔවුන්ට අනුව මෙම තත්ත්වය ලබන පෙබරවාරි මාසයට පෙර පමණ ඇති වීමට 75%-80%ක පමණ අවස්ථාවක් පවතී.

එල් නිනෝ තත්ත්වය හා සම`ග ලෝකයේ උෂ්ණත්වය ඉහළ යයි. මීට පෙර අවසන් වශයෙන් එල් නිනෝ තත්ත්වයක් පැවැති වර්ෂය වන 2016 වර්ෂයේදී උෂ්ණත්වය කෙතරම් ඉහළ ගියේද යත්, එය ලෝකයේ ඉහළම උෂ්ණත්වය වාර්තා කර ඇති වර්ෂය විය. එසේ වූයේ මිනිසුන් විසින් ඇති කර තිබෙන උෂ්ණත්වය ඉහළ යෑමට අමතරව ස්වාභාවික උෂ්ණත්වය ඉහළ යෑමක් ද එක් කරමිනි. උෂ්ණත්වය ඉහළ යන අතර, නිය`ගය හා ගංවතුර වැනි ආන්තික තත්ත්ව ඉහළ යෑමටද, කොරල්පර විරංජනය වැනි සිදුවීම්වලටද එල් නිනෝ තත්ත්වය හේතුවක් වෙයි.

කෙසේ වෙතත්, 2019 වර්ෂයේදී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය 2016 වර්ෂයේ පැවැති තත්ත්වය තරම් දැඩි එකක් නොවනු ඇතැයි දැනට ඇති පුරෝකථන අනුව පෙනෙයි. එය 2018 දෙසැම්බර් හා 2019 පෙබරවාරි අතර කාලයේදී ඇති වී අපේ‍්‍රල් මාසයේදී පමණ දුර්වල වී යනු ඇතැයි අපේක්ෂිතය.

වාර්ෂික දේශගුණ සමුළුව ආරම්භ වෙයි

ජගත් පරිසර පුවත් 291 - 05.12.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 05.12.2018, පි. 3 (Vidusara)



වාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව පසුගියදා පෝලන්තයේ කටෝවිස් නගරයේදී පසුගියදා ආරම්භ විය. සමුළුවේ කිසියම් ප‍්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා එයට සහභාගි වන පිරිස්වල ඉල්ලීම හමුවේ එහි කටයුතු එක් දිනක් කලින් ආරම්භ කරන්නට පියවර ගෙන ඇත.

දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා 2015 වර්ෂයේදී සම්මත කරගත් පැරිස් ගිවිසුම ක‍්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2020 වර්ෂයේදීය. එයට පෙර අවසන් කරගත යුතු එක විය යුතු කරුණු රැුසක් ඇති බැවින් කඩිනමින් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව විද්‍යාඥයින්, පරිසරවේදීන් ආදී වැඩි දෙනාගේ අදහස වෙයි. විශේෂයෙන් ඉදිරි වසර දෙක ඇතුළත තීරණාත්මක පියවර ගැනීම වැදගත් බව පොදු පිළිගැනීමය. මීට පෙර දේශගුණ සමුළුවල සභාපතිත්වය දැරූ සිවුදෙනෙක් පසුගිය ඉරිදා නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා තිබුනේ ද කඩිනමින් පියවර ගත යුතු බවය.

විශේෂයෙන් මීට සති කිහිපයකට පෙර දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් නිකුත් කරන ලද වාර්තාවකින් ද කියැවුනේ පැරිස් ගිවිසුමේ සඳහන් ඉලක්ක අත්පත් කරගැනීමට දැනට ගෙන ඇති පියවර ප‍්‍රමාණවත් නොවන බවයි. එහි පැහැදිලිව සඳහන් වූ පරිදි, එම ඉලක්ක සාක්ෂාත් කරගැනීමට නම් 2030 වර්ෂය වන විට ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය 45%කික් අඩුකිරීමට පියවර ගත යුතුය. එහෙත් පැරිස් ගිවිසුම ප‍්‍රකාරව එ් එ් රටවල් ස්වේච්ඡුාවෙන් සිදුකිරීමට නියමිත හරිතාගාර වායු විමෝචන සීමා කිරීම්වලින් මේ ඉලක්කයට ළ``ගා වීම අපහසු බවද එහි දක්වා තිබෙයි. එසේම මේ වන විට ලෝකයේ හරිතාගාර වායු විමෝචන නැවතත් වර්ධනය වෙමින් ඇත. එ් වසර කිහිපයක් තිස්සේ විමෝචන බොහෝ දුරට එකම මට්ටමක පැවතීමෙන් පසුවය.

කෙසේ වෙතත් මේ සමුළුවේ වැඩි අවධානයක් යොමු වනු ඇත්තේ පැරිස් ගිවිසුම ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව වන තාක්ෂණික නීති රීති සකස් කිරීම සඳහාය. 2020 වර්ෂයේදී ගිවිසුම ක‍්‍රියාත්මක වීමට නම් මේ පැරිස් රීති සම්පූර්ණ වී තිබිය යුතුය. මේ වන විට සකස් කර ඇති මෙම ලේඛන දීර්ඝ එ්වා වන අතර, ඒවායේ ඇතැම් කරුණු පිළිබඳව තවමත් මතභේද පවතියි. එ් අතර, හරිතාගාර වායු මැනීම, වාර්තාකරණය වැනි කටයුතු හා දේශගුණ අරමුදල් සැපයීම වැනි කටයුතු සම්බන්ධ කරුණු මූලික වෙයි. ගිවිසුමට සම්බන්ධ රටවල දැකිය හැකි වෙනස්කම් හේතුවෙන් මේ පිළිබඳව එක`ගතාවලට එළැඹීම තරමක් සංකීර්ණ කටයුත්තකි.

දේශගුණ සමුළුව අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 14 වන දිනය.

Thursday, November 29, 2018

ලෝක පරිසර හායනය සිතියමකට

ජගත් පරිසර පුවත් 290 - 28.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.11.2018, පි. 3 (Vidusara)



ලෝකයේ විවිධ ප‍්‍රදේශවල සිදු වී ඇති පරිසර හායනය පිළිබඳව දැක්වෙන සිතියමක් සකස් කිරීමට විද්‍යාඥයන් පිරිසක් විසින් සමත්ව තිබෙයි. එමගින් 1992 හා 2015 අතර ගෙවුණු වසර 23ක පමණ කාලයේදී ලෝකයේ සිදුවූ භූමි භාවිතයේ සිදුව ඇති වෙනස්වීම් පිළිබඳව දැක්වෙයි. යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් ඉහළ විභේදනයක් සහිත දත්ත ඇතුළත් සිතියමක් සකස් කිරීමට හැකියාව ලැබී ඇත.

මෙහිදී පෙනී ගොස් ඇති ආකාරයට ලෝකයේ භූමි භාවිතයේ සැලකිය යුතු තරම් බරපතළ වෙනස්කම් සිදුව ඇත. අධ්‍යයනයට ලක් කළ කාලය ඇතුළත ලෝකයේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 22%ක් තරම් ප‍්‍රමාණයක් මිනිය හැකි ආකාරයෙන් වෙනස් වී තිබෙයි. එහිදී මූලික වශයෙන් සිදුව ඇත්තේ වනාන්තර ලෙස පැවති පරිසරය කෘෂිකාර්මික භාවිතයක් සඳහා වෙනස් වීමය. කෙසේ වෙතත් වෙනත් වෙනස්කම්ද සිදුව ඇති අතර ඒවාද මෙම සිතියමෙන් දැක්වෙයි. එ් වෙනස්කම් අතර තෙත්බිම් විනාශ වීම මෙන්ම ඒරල් මුහුද වැනි අභ්‍යන්තර මුහුදු ප‍්‍රදේශ විනාශ වීම හා නාගරිකකරණය ව්‍යාප්ත වීම ආදිය ඇත. මේ පිළිබඳව අද වන විට ලෝකය දන්නා නමුත්, මෙමගින් එම වෙනස්කම් සිදුවන ස්ථාන ආදිය දැක්වීම වැදගත් බව සෙසු විද්‍යාඥයන්ගේද අදහස වෙයි.

ඇතැම් රටවල භූමි භාවිතයේ ඇති වී තිබෙන වෙනස්කම් නිසා මිනිසුන් වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වීමට පවා පටන් ගෙන තිබෙයි. මෙම සංක‍්‍රමණිකයන් බොහෝ විට හඳුන්වනු ලබන්නේ දේශගුණ අනාථයින් ලෙසය. එහෙත්, මේ පිළිබඳව විමසීමෙන් බැලූ විට මෙම සංක‍්‍රමණ සඳහා මූලික බලපා ඇත්තේ වෙනත් හේතු බවද පෙනී ගොස් ඇත. නිදසුනක් ලෙස ගතහොත් මධ්‍යම ඇමරිකාවේ පිහිටා ඇති රටක් වන ගෝතමාලා රාජ්‍යයේ සිට වෙනත් රටවලට ඇතිව තිබෙන සංක‍්‍රමණ සඳහා හේතුව එරට තුළ ඇති වී තිබෙන වන විනාශය බව පෙනෙයි. එම වන විනාශය සඳහා ඉන්ධන ලෙස දැව භාවිතයට ගැනීම මූලිකව බලපා තිබෙයි.

මෙම නව සිතියම මගින් සිදු වී ඇති වෙනස්කම් හඳුනාගැනීමට මෙන්ම අනාගතයේ ඇති විය හැකි වෙනස්කම් ගැන අවබෝධයක් ලබාගැනීමටද ප‍්‍රයෝජනවත් වෙයි. එසේම, එය පර්යේෂකයන් සඳහා ඵලදායී මෙවලමක් වනු ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: International Journal of Applied Earth Observation and Geoinformation, DOI: 10.1016/j.jag.2018.09.013)

හරිතාගාර වායු සාන්ද්‍රණය තවදුරටත් ඉහළට

ජගත් පරිසර පුවත් 290 - 28.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.11.2018, පි. 3 (Vidusara)



ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමට දායක වන ප‍්‍රධාන හරිතාගාර වායුවල සාන්ද්‍රණය 2017 වර්ෂයේදීද ඉහළ ගොස් ඇතැයි ලෝක කාලගුණවිද්‍යා සංවිධායනය (WMO) විසින් නිකුත් කරන හරිතාගාර වායු සංග‍්‍රහය (WMO Greenhouse Gas Bulletin) සඳහන් කරයි. එපමණක් නොව එම වායුවර්ගවල සාන්ද්‍රණය පහළ යන බවක සලකුණු දැකිය නොහැකි බවද එහි සඳහන් වෙයි. 

ලෝකයේ ප‍්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්සයිඞ් වායුවේ සාන්ද්‍රණය 2017 වර්ෂයේදී මිලියනයකට කොටස් 405.5 දක්වා ළඟා වී ඇත. එය ඉන් පෙර වර්ෂයට වඩා මිලියනයකට කොටස් 2.2ක පමණ වර්ධනයකි. එසේම එය පසුගිය දශකයේ මෙම වායුවේ සාන්ද්‍රණය වාර්ෂික වර්ධනය වූ වේගයට සමානය. කෙසේ වෙතත් 2016ට වඩා 2017දී ඉහළ ගිය සාන්ද්‍රණයේ ප‍්‍රමාණය, 2015 සිට 2016දී ඇති වූ වර්ධනයට වඩා අඩුය. සමස්තයක් ලෙස ගත් විට 2017දී පවත්නා කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණය 1750 වර්ෂයේදී පැවැති ප‍්‍රමාණයට (මිලියනයකට කොටස් 278) වඩා 146%කින් ඉහළය. 

දෙවන වැදගත් හරිතාගාර වායුව වන මීතේන් වායුවේ වායුගෝලීය සාන්ද්‍රණය බිලියනයකට කොටස් 1859 දක්වා ඉහළ ගොස් ඇත. එය පෙර වර්ෂයට වඩා කොටස් 7කින් ඉහළ යෑමකි. එසේම මීතේන් වායු සාන්ද්‍රණය 1750 වර්ෂයේදී පැවැති ප‍්‍රමාණයට වඩා 2017 වන විට 257%කින් පමණ ඉහළ ගොස්ය.
මෙහිදී සලකා බලා ඇති තුන්වන හරිතාගාර වායුව වන නයිට‍්‍රස් ඔක්සයිඞ් වායුවේ වායුගෝලීය සාන්ද්‍රණය බිලියනයකට කොටස් 329.9 දක්වා ඉහළ ගොස් ඇත. එය පෙර වර්ෂයට වඩා කොටස් 0.9කින් ඉහළ යෑමකි. එය එම වායුව 1750 වර්ෂයේ පැවැති සාන්ද්‍රණයට වඩා 122%ක් තරම් ප‍්‍රමාණයකින් ඉහළ යෑමකි.
මෙම වාර්ෂික සංග‍්‍රහයෙහි දැක්වෙන තවත් වැදගත් කරුණක් වන්නේ 1990 හා 2017 වර්ෂ අතර කාලයේදී දිගකල් පවත්නා හරිතාගාර වායුවලින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමට සිදු වන බලපෑම 41%කින් පමණ ඉහළ ගොස් තිබීමය. එසේම මෙහිදී මිලියනයකට කොටස් 405.5 යන කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණයක් මින් පෙර පැවතියේ අදින් වර්ෂ මිලියන 3ත් 5ත් අතර කාලයකට ඉහත දී බවද දක්වා ඇත. එකළ පැවැති උෂ්ණත්වය අදට වඩා සෙල්සියස් අංශක 3-5 අතර ප‍්‍රමාණයකින් ඉහළ වූ අතර, මුහුදු මට්ටම අදට වඩා මීටර් 10-20න් පමණ ඉහළ විය. (මූලාශ‍්‍රය: WMO Greenhouse Gas Bulletin, www.wmo.int)

ලැව් ගිනි ඉහළ යෑමෙන් කාබන් ඩයොක්සයිඞ් විමෝචන ඉහළට

ජගත් පරිසර පුවත් 289 - 21.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.11.2018, පි. 3 (Vidusara)



මෑත කාලයේදී ලෝකයේ ඇති වූ ලැව් ගිනි පිළිබඳව මාධ්‍යවල සැලකිය යුතු අවධානයක් යොමුව තිබිණි. ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ මෙන්ම ඔස්ටේ‍්‍රිලියාවෙන්ද වඩා මෑතදී ලැව් ගිනි පිළිබඳව අසන්නට ලැබුණිි. එසේම යුරෝපයේ ඇතැම් රටවලින්ද ලැව් ගිනි පිළිබඳව නිතර අසන්නට ලැබෙයි. ස්පාඤ්ඤය, පෘතුගාලය හා ග‍්‍රීසිය මෙවැනි රටවල් අතර වෙයි. ස්වීඩනයෙන්ද ලැවි ගිනි පිළිබඳව වාර්තා විය. මෙසේ වර්ෂයෙන් වර්ෂය තීව‍්‍ර වෙමින් පවත්නා ආන්තික තත්ත්වයේ ලැව් ගිනි නිසා ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ යා හැකි බවට විද්‍යාඥයන් විසින් අනතුරු හඟවා තිබෙයි.

ලැව් ගිනි ඇති වීම හරිතාගාර වායු විමෝචන ඉහළ යෑම සඳහා ආකාර දෙකකින් බලපායි. ඉන් එකක් වන්නේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඞ් වායුව උරාගැනීම සඳහා දායක වන වනාන්තර විනාශවීමය. දෙවැනි ආකාරය වන්නේ වනාන්තර ගිනි ගැනීමෙන් තවතවත් හරිතාගාර වායු විමෝචන වායුගෝලයට එක්වීමය.

ලෝකයේ ඇති වන ලැව් ගිනි නිසා වායුගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඞ් විමෝචන ප‍්‍රමාණය මුළු විමෝචන ප‍්‍රමාණයෙන් 20%ක් පමණ වන බව පැවසේ. එහෙත් ඒ පිළිබඳව විද්‍යාඥයන් අතර මතභේද පවතියි. කෙසේ වෙතත් මේ ප‍්‍රමාණය 30%ක ප‍්‍රමාණයකින් ඉහළ යෑමේ අවදානමක් පවතියි. එය තීරණය වන්නේද අනාගත දේශගුණ වෙනස් වීමේ තරම මතය. මේ පිළිබඳවද ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස සෙල්සියස් අංශක 3කින් උෂ්ණත්වය ඉහළ ගියහොත් මධ්‍යධරණී ප‍්‍රදේශයේ ඇති වන ලැව් ගිනි ප‍්‍රමාණය 100%කින් පමණ ඉහළ යා හැකිය. එසේම අංශක 1.5ක උෂ්ණත්වය ඉහළ යාමකදී එම ප‍්‍රදේශයේ ලැව් ගිනි 40%කින් පමණ ඉහළ යා හැකිය.

එසේ විමෝචන ප‍්‍රමාණය ඉහළ යෑම නිසා අවසානයේදී සිදුවිය හැකි දෙයක් වන්නේ පැරිස් දේශගුණ ගිවිසුමේදී එකඟ වූ ඉලක්කය හෙවත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක දෙකක සීමාවේ තබාගැනීමට තවදුරටත් අපහසු වීමය. මේ වන විට ලෝකයේ රටවල් ලබා දී ඇති විමෝචන සීමා කිරීමේ පොරොන්දුවලට අනුව ගත වන 21වන ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් ඉහළ යෑමේ අවදානමක් පවතියි. ඒ අනුව වඩාත් බරපතළ තත්ත්වයේ ලැව් ගිනි මෙන්ම වෙනත් අහිතකර දේශගුණ බලපෑම් අනාගතයේදී අපේක්ෂා කළ හැකිය.

ඞීසල් වායු විමෝචන නිසා පෙණහලුවල වර්ධනය අඩාළ වෙයි?

ජගත් පරිසර පුවත් 289 - 21.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.11.2018, පි. 3 (Vidusara)



ඞීසල් වාහනවලින් නිකුත්වන විමෝචනවලට ලක්වන ළමුන්ගේ පෙණහලුවල වර්ධනය අඩාළ විය හැකි බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබෙයි. මෙමගින් ඇති වන බලපෑම ඔවුන්ගේ ජීවිත කාලයටම පැවතිය හැකි එකකි. මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසැල් ලමුන් 2164ක් පමණ පිරිසක් යොදාගනිමිනි. එම ළමුන්ගේ පෙණහලු ධාරිතාව 2009-2010 කාලයේදී හා 2013-2014 කාලයේදී මැනීම මගින් සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී ළමුන්ගේ නිවසේ හා පැසැලේ ලිපිනය යොදාගනිමින් ඔවුන් වාර්ෂිකව ලක්වන විමෝචන ප‍්‍රමාණය ගණනය කර ඇත.

එහිදී හෙළි වී ඇති ආකාරයට ඞීසල් විමෝචනවල ඇති නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් මට්ටම අනුමත ප‍්‍රමාණය ඉක්මවා ගියහොත් ළමුන්ගේ පෙණහලු ධාරිතාව 5%කින් අඩු වීම සඳහා එය හේතු විය හැකිය. සාමාන්‍යයෙන් පෙණහලු ධාරිතාව උපරිමයට ළඟාවන්නේ වයස අවුරුදු 18දී පමණ වන අතර, ඉන් පසුව එය අඩු වන බව පැවසේ. එහෙත් මෙවැනි තත්ත්වයක් නිසා වැඩිහිටි වියට පත් වන විට පෙණහලු ධාරිතාව පැවතිය යුතු තත්ත්වයට වඩා අඩු වීම බරපතළ කරුණකි. වයසත් සමඟ එම ධාරිතාව අඩු වීම නිසා අඩුවයසින් මියයෑමේ අවධානමකට ඔවුන් ලක්විය හැකිය.

මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, වායු දූෂණය අඩු කලාප පිහිටුවීමෙන් පෙණහලු ධාරිතාව අඩුවීමට බලපෑමක් සිදු නොවීමය. ඞීසල් විමෝචන පාලනයේ අරමුණ ඇතිව එම ප‍්‍රදේශවලට ඇතුළු වීමේදී ට‍්‍රක්රථවලින් යම් මුදලක් 2008 වර්ෂයේ සිට අයකරන්නට ගත් පියවර නිසා වායු දූෂණය මදක් අඩු වී ඇත. එහෙත් එමගින් ළමුන්ගේ පෙණහලුවලට සිදු වන හානිය අඩු වී නැති බව මෙම පර්යේෂකයන්ගේ අදහස වෙයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට පෙණහලු ආබාධ ඇති ළමුන් අධික වායු දූෂණයක් ඇති ප‍්‍රදේශවලින් ඈත් වී දිවි ගෙවීමට හෝ වායු දූෂණයට නිරාවරණය වීම අඩුකිරීමට දෙමාපියන් විසින් පියවර ගත යුතුයි.

මෙවැනි අධ්‍යයනයක් ඞීසල් විමෝචන නිසා සිදුවන වායු දූෂණය සැලකිය යුතු බලපෑමක් ඇතිකරන නගරයක සිදු කළ පළමු අවස්ථාව මෙය වෙයි. එමෙන්ම මෙම අධ්‍යයනයේ පවත්නා තවත් වැදගත්කමක් වන්නේ මෙයින් පෙන්වා දෙන තත්ත්වය ඞීසල් වායු දූෂණය ඉහළ මට්ටමක පවත්නා ලෝකයේ සෙසු නගර රැසකට පොදු කරුණක් විය හැකි නිසාය. (මූලාශ‍්‍රය: The Lancet Public Health, DOI: 10.1016/S2468-2667(18)30202-0)

1970න් පසුව සත්ත්ව ගහනවලින් 60%ක් අඩුවෙලා

ජගත් පරිසර පුවත් 288 - 14.11.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 14.11.2018, පි. 3 (Vidusara)



1970 වර්ෂයත් 2014 වර්ෂයත් අතර කාලයේදී ලෝකයේ ක්ෂීරපායි, පක්ෂි, උරග හා මත්ස්‍ය කාණ්ඩවල ගහනවල ප‍්‍රමාණය 60%කින් පමණ අඩු වී ඇති අතර, ඒ සඳහා මූලික හේතුව මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් බවද පසුගියදා පළ වූ වාර්තාවකින් පෙන්වා දී ඇත. ඒ ලෝක වනසත්ත්ව අරමුදල (WWF) හා ලන්ඩන් සත්ත්වවිද්‍යා සංගමය මගින් දෙවසරකට වරක් නිකුත් කරන Living Planet Index වාර්තාවේ පසුගියදා එළි දුටු නවතම සංස්කරණයෙනි. මෙම සංස්කරණය සඳහා විද්‍යාඥයින් 59 දෙනෙකු දායක වී ඇත.

මෙම වාර්තාව සකස් කිරීමේදී ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය හා උභයජීවී විශේෂ 4000ක් පමණ ගණනකගේ ගහන 16704ක අදාළ කාලයේ සිදුව ඇති වෙනස් වීම් සැලකිල්ලට ගෙන ඇත. මේ අනුව 1970-2014 අතර කාලයේදී මේ විශේෂවල ගහනවල ප‍්‍රමාණය 60%ක සාමාන්‍යයකින් අඩු වී තිබෙයි. මේ අගය සමාන වන්නේ අතීතයේ සිදුව ඇති මහා වඳවීම්වලදී සිදු වූ ආකාරයේ ගහන අඩුවීමකට වීම විශේෂිතය.

මේ වාර්තාවෙන් හෙළිවන සෙසු කරුණු අතර, වඩාත් බරපතළ ලෙස බලපෑමට ලක්ව ඇති පරිසර පද්ධති වන්නේ ගංගා හා විල් ඇතුළත් මිරිදිය පරිසර පද්ධතිය. ඒවායේ වාසය කරන සත්ත්ව ගහනවල ප‍්‍රමාණය 83%ක් තරම් ප‍්‍රමාණයකින් පහළ වැටී ඇත. එසේම ලෝකයේ විවිධ කලාප අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ දකුණු හා මධ්‍යම ඇමරිකාවයි. එම කලාපවල සත්ත්ව ගහන 89%කින් පමණ අඩු වී ඇත.

මෙසේ සත්ත්ව ගහනවල අඩුවීම සඳහා හේතු වී ඇති ප‍්‍රධාන මානව ක‍්‍රියාකාරකම වන්නේ ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීමයි. ඒ මූලික වශයෙන් කෘෂි කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම සඳහාය. සතුන් හා මසුන් දඩයම් කිරීම දෙවැනි තැනට වැදගත් වන සාධකය වෙයි. එසේම පරිසර ¥ෂණය හා ආගන්තුක ආක්‍‍්‍රමණික ජීවීන්ද මේ සඳහා බලපෑම් කරයි.

උක්ත වාර්තාව අනුව පෙනෙන්නේ ලෝකයේ ආහාර හා සම්පත් සඳහා මිනිසුන් සිදුකරන වෙනස්කම් හමුවේ ලෝකයේ ජීවී ගහන කෙතරම් අවදානමකට ලක්ව තිබේද යන්නය. එහෙත් මේ ජීවි විශේෂ මත මිනිසුන්ගේ පැවැත්මද රඳා පවත්නා බව සැලකිය යුතුය. එසේ නම් මිනිසුන්ගේ පැවැත්මද යම් ආකාරයකින් අවදානමකට ලක්ව ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Living Planet Report 2018, www.wwf.org.uk)

ඇන්ටාක්ටික් රක්ෂිත යෝජනාව ඉවතට?

ජගත් පරිසර පුවත් 288 - 14.11.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 14.11.2018, පි. 3 (Vidusara)



ඇන්ටාක්ටික් මහාද්වීපයේ හා සාගරයේ විශාල ප‍්‍රදේශයක් සාගර ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ඇන්ටාක්ටිකාව පිළිබඳව තීරණ ගැනීමට පිහිටුවාගෙන ඇති අන්තර්ජාතික කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවක් එහිදී අනුමත නොවූ බව පසුගියදා වාර්තා විය. මෙම යෝජනාව පරිසරය පිළිබඳ ක‍්‍රියාකාරී කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද්දේ එම ප‍්‍රදේශයේ වෙසෙන සියලූ ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ඇතිවය. එම යෝජනාවට අනුව ඇන්ටාක්ටිකාවේ වෙඩල් මුහුදේ් විශාල ප‍්‍රදේශයක් හා ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ කොටස් ඇතුළුව වර්ග කිලෝමීටර් මිලියන 1.8ක පමණ ප‍්‍රදේශයක් ආරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත් කිරීමට යෝජිත විය. සංසන්දනාත්මකව දක්වන්නේ නම් එය ජර්මනිය මෙන් පස් ගුණයක් තරම් වූ ප‍්‍රදේශයකි. එ් ප‍්‍රදේශයේ සියලූ ආකාරයේ දඩයම් කිරීම තහනම් කිරීම මගින් මහාද්වීපය ආශ‍්‍රිතව වෙසෙන පෙන්ගුවින්, තල්මහ විශේෂ හා සීල් වැනි විවිධ සතුන් සඳහා ආරක්ෂාවක් ලැබෙන බව පෙන්වාදී තිබිණි.

මෙම යෝජනාව, ඇන්ටාක්ටික් සාගර ජීවී සම්පත් සංරක්ෂණය සඳහා වූ කොමිසමට (Commission for the Conservation of Antarctic Marine Living Resources) ඉදිරිපත් වූ අතර එය අනුමත වීමට අවශ්‍ය වූ එ්කමතික අනුමැතිය එහිදී නොලැබිණි. එම කොමිසමට ඉදිරිපත් වන යෝජනාවක් සම්මත වීමට නම් යුරෝපා සංගමය ඇතුළුව රටවල් 25ක් ඇතුළත් කොමිසමේ සියලූ සාමාජික රටවල් ඊට එක`ග විය යුතු ය. එහෙත් උක්ත යෝජනාවට රුසියාව, චීනය හා නෝර්වේ යන රටවලින් බාධා ඇති වී තිබෙයි. මේ නිසා අදාළ යෝජනාව පිළිබඳ සාකච්ඡුාව තීරණයක් නොමැතිව අවසන් වී ඇත.

විද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප වීම අවාසනාවන්ත කරුණකි. මීට පෙර ඇන්යාක්ටිකාවේ රොස් මුහුද ආශ‍්‍රිතව මෙවැනි සාගර ආරක්ෂිත ප‍්‍රදේශ ඇති කිරීම සඳහා අනුමැතිය ලැබිණි. මේ තත්ත්වය නිසා ලෝකයේ නොඉඳුල් ප‍්‍රදේශයක් ආරක්ෂා කරගැනීමේදී ඉදිරියේදී යම් යම් ගැටලූ ඇති විය හැකි බවට අදහස් පළ වෙයි. මෙය ලෝකයේ සුවිශේෂ පරිසරයක් ආරක්ෂා කරගැනීම සඳහා ගතහැකිව තිබූ වැදගත් පියවරක් ලෙස උක්ත ආරක්ෂිත ප‍්‍රදේශය සලකන ලදි. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් සම්බන්ධවද යම් කාර්යයක් කළ හැකි සාගරයක් ලෙස මෙම ප‍්‍රදේශය සැලකෙයි.

Monday, November 5, 2018

මිනිසුන් තුළත් ක්ෂුද්‍ර ප්ලාස්ටික්

ජගත් පරිසර පුවත් 287 - 31.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 31.10.2018, පි. 3 (Vidusara)



මිනිසුන් ආශ‍්‍රිතව කළ අධ්‍යයනයකින් මිනිසුන්ගේ ශරීරවලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වන බව අනාවරණය වී ඇත. මිනිස් මල ද්‍රව්‍ය තුළ පළමු වතාවට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් බව පසුගියදා ඔස්ටි‍්‍රයාවේ වියානා නගරයේ පැවැති සමුළුවකදී පෙන්වා දී ඇත.

එහෙත් එම අධ්‍යයනයේදී භාවිත කර ඇත්තේ කුඩා නිදර්ශකයකි. එ් සඳහා යුරෝපයේ, ජපානයේ හා රුසියාවේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් ලබාගත් මල ද්‍රව්‍ය නිදර්ශක පරීක්ෂා කර ඇත. එ් අනුව ග‍්‍රෑම් 10ක නිදර්ශකයක ක්ෂද්‍ර ප්ලාස්ටික් අංශු 20ක පමණ සාමාන්‍යයෙන් ඇතුළත් බව හෙළි වී තිබෙයි. ඒ අනුව මයික්‍රොමීටර් 50ත් 500ත් අතර ප‍්‍රමාණයේ ප්ලාස්ටික් අංශු මෙහිදී හමු වී තිබෙන අතර පරීක්ෂාවට ලක් කරන ලද ප්ලාස්ටික් වර්ග 10ක් අතරින් 9ක් පමණ මේ නිදර්ශකවලින් හමු වී තිබෙයි. පොලිප්‍රොපිලීන් හා පොලිඑතිලීන් ටෙරෙප්තැලේට් එ්වා අතරින් වඩාත් සුලභව හමු වී ඇති ප්ලාස්ටික් වර්ග වෙයි.

මිනිස් ශරීරයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බවට විද්‍යාඥයින් තුළ පැවති සැකය මේ අනුව තහවුරු වී ඇත. මසුන්ගේ ආහාර මාර්ගයේ, පානීය ජලයේ, සාගරයේ මෙන්ම කෘමීන් තුළද මීට පෙර ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමු වී ඇත. දැන් මිනිසුන්ගේ ආහාර දාමයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වන බව පැහැදිලි වෙයි. මේ අනුව ලෝකයේ ජනගහනයෙන් 50%ක් පමණ ප‍්‍රමාණයකගේ පමණ මල ද්‍රව්‍යවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් විය හැකි බවක් මෙමගින් සිතිය හැකි බව එම පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. මේ නිසා ඇතිවිය හැකි බලපෑම් කෙබඳු ආකාරයක විය හැකිද යන්න මෙහිදී අවධානයට ලක් විය යුතු කරුණකි. විශේෂයෙන් ආහාර මාර්ගයේ ඇතුළත් වඩාත් කුඩා ප‍්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් එතැනින් ශරීරයේ සෙසු පටකවලට ගමන් කළ හැකිය. නිදසුනක් ලෙස රුධිර පද්ධතියට, වසා පද්ධතියට හා ඇතැම් විට අක්මාව දක්වාද මේවා ගමන් කිරීමේ අවදානමක් තිබෙයි. එම නිසා එහි බලපෑම් සම්බන්ධව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බව පර්යේෂකයන් විසින් දක්වා ඇත. විශේෂයෙන් එමගින් ආහාර ජීර්ණ පද්ධතියේ ප‍්‍රතිශක්තියට බලපෑම් විය හැකි අතර, රෝගකාරක විෂබීජ හා විෂ රසායන ශරීරගත වීමටද හේතු විය හැකිය.

ළමුන්ගේ සෞඛ්‍යය සඳහා ඕගනෝපොස්පේට තහනම් කිරීමට යෝජනාවක්

ජගත් පරිසර පුවත් 287 - 31.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 31.10.2018, පි. 3 (Vidusara)



ඕගනෝපොස්පේට කාණ්ඩයේ පළිබෝධනාශක හේතුවෙන් දරුවන්ට හා ගැබිණි කාන්තාවන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ඇති සාධක එම කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තරම් ප‍්‍රබල බව ඒ පිළිබඳ අදහස් දක්වන විෂවේදීන්් කණ්ඩායමක් විසින් ප‍්‍රකාශයට පත් කර ඇති පර්යේෂණ වාර්තාවකින් පෙන්වාදී තිබෙයි.

ඕගනෝපොස්පේටවලට නිරාවරණය වීම නිසා බුද්ධි ඵලයේ (IQ) අඩුවීමක්, මතකයේ හා අවධානය යොමු කිරීමේ ගැටලූ හා නූපන් දරුවන්ට ස්වේච්ඡුතාවය (autism) ඇතිවීම වැනි තත්ත්ව ඇති විය හැකි බවට සාධක පවතී. මේ වන විට ප‍්‍රකාශිතව ඇති පර්යේෂණ වාර්තා අනුව හැසිරීම පිළිබඳව හා ස්නායු පද්ධතියේ වර්ධනය හා සම්බන්ධ බලපෑම් වඩාත් බරපතළ වෙයි.

1930 දශකයේ පමණ භාවිතය ආරම්භ වූ  ඕගනෝපොස්පේට මුලින්ම භාවිතයේ පැවතියේ ස්නායු පද්ධතියට බලපෑම් කරන වායු වර්ග ලෙසය. පසුව ඒවා කෘමිනාශක ලෙස අඩු සාන්ද‍්‍රණවලින් යොදාගැනීම ආරම්භ වූ අතර, එ්වා ලෝකයේ ජනප‍්‍රියම පළිබෝධනාශක කාණ්ඩයක් විය. එහෙත් පසුව එහි ඇති අහිතකර බලපෑම් හෙලිවීමත් සම`ග ඇතැම් රසායන ද්‍රව්‍ය තහනම් කරන ලදි. මේ කාණ්ඩයේ පළිබෝධනාශක 40ක් අතරින් ඇමරිකාව තුළ 26ක් තහනම් වන අතර, යුරෝපයේ භාවිත කළ එම කාණ්ඩයේ පළිබෝධනාශක 39කින් 33ක්ද තහනම්ය. එහෙත් තවමත් භාවිතයේ ඇති රසායනද්‍රව්‍ය නිසා මිනිස් ජීවිතද අවදානම් තත්ත්වයක තිබෙයි. ඒ විෂවීම හා මරණවලට අමතරව ඇති වන පෙර කී ආකාරයේ රෝග නිසාය. විශේෂයෙන් දියුණුවන රටවල මේ කාණ්ඩයේ පළිබෝධනාශක සැලකිය යුතු ප‍්‍රමාණවලින් තවමත් භාවිතයේ ඇත.

මේ තත්ත්වය නිසා තවමත් භාවිතයේ ඇති  ඕගනෝපොස්පේට් කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය අතරින් ක්ලෝර්පයිරිපොස් වැනි රසායනික භාවිතය අවසන් කිරීම හා මිනිසුන් මේ රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම වැළැක්වීම වැදගත් බව මේ පර්යේෂකයින් පිරිස සඳහන් කර ඇත. එසේම එම කාණ්ඩයේ රසායන ද්‍රව්‍යවලින් ඇති විය හැකි හානි වළක්වාලීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස ඒ පිළිබඳව ප‍්‍රමාණවත් තරමින් දැනුවත් කිරීම වැදගත් බවද සඳහන් වෙයි. එසේම මෙහිදී ජනතාව මෙන්ම උක්ත රසායන ද්‍රව්‍ය භාවිත කරන පිරිස්ද දැනුවත් කිරීම වැදගත්ය. (මූලාශ‍්‍රය: Plos Medicine, DOI: 10.1371/journal.pmed.1002671)

චීනයේ වායු දූෂණය පාලනයට ෆෝමැල්ඩිහයිඞ් පාලනය වැදගත්

ජගත් පරිසර පුවත් 286 - 24.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 24.10.2018, පි. 3 (Vidusara)



චීනයේ අධික වායු දූෂණය - විශේෂයෙන් ශීත ඍතුසමයේදී ඇති වන අධික වායු දූෂණය - බරපතළ ප‍්‍රතිවිපාක ඇති කර තිබෙයි. ගණනය කර ඇති ආකාරයට අංශුමය ද්‍රව්‍ය නිසා ඇතිවන වායු දූෂණයෙන් වාර්ෂිකව මියයන ජනතාවගේ ප‍්‍රමාණය මිලියනයක් පමණ වෙයි. මේ තත්ත්වය එරට පිළිබඳව අයහපත් චිත‍්‍රයක් ඇති කිරීමටද සමත්ව ඇත. මේ තත්ත්වය පාලනය කිරීම පිණිස එරට බලධාරීන් පසුගිය වසර පහළොවක පමණ කාලයක් තිස්සේ විශාල මුදලක් වැයකරමින් පියවර ගෙන ඇත.

ඊට අදාළව ගෙන ඇති ප‍්‍රධානතම පියවර වන්නේ ගල්අඟුරු බලාගාරවලින් නිකුත්වන සල්ෆර් ඩයොක්සයිඞ් වායු විමෝචන අඩු කිරීම සඳහා පියවර ගැනීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2005 වර්ෂයෙන් පසුව සල්ෆර් ඩයොක්සයිඞ් වායු විමෝචන අඩු කිරීමට හැකියාව ලැබී ඇත. එහෙත් ඒ හා සමගාමීව අංශුමය ද්‍රව්‍ය නිසා ඇති වන වායු දූෂණයේ අඩුවීමක් හෝ ශීත ඍතුවේදී ඇති වන ආන්තික වායු දූෂණ තත්ත්වයේ අඩුවීමක් තවමත් දැකිය හැකි නොවීම ගැටලූවක් වී ඇත. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන නව අධ්‍යයනයකට අනුව ශීත ඍතුවේදී ඇති වන මේ බරපතළ වායු දූෂණය වැළැක්වීමට නම් සිදු කළ යුත්තේ ෆෝමැල්ඩිහයිඞ් විමෝචන අඩු කිරීමය.

මෙහිදී අනාවරණය වී ඇති ආකාරයට වායුගෝලයේ දැකිය හැකි දුමාරය විශේලේෂණය කරන උපකරණවලින් සල්ෆේට ලෙස හඳුනාගෙන ඇති එක් සංයෝගයක් යන්නේ හයිඩ්‍රොක්සිමෙතේන් සල්ෆොනේට්ය. එය ෆෝමැල්ඩිහයිඞ් හා සල්ෆර් ඩයොක්සයිඞ් එක්වී සැදෙන්නකි. සල්ෆර් ඩයොක්සයිඞ් අඩු වුවද මේවා වායුගෝලයේ ඇති බැවින් වායු දූෂණය පවතී. ෆෝමැල්ඩිහයිඞ් නිකුත් කරන ප‍්‍රාථමික ප‍්‍රභව ලෙස හඳුනාගෙන ඇත්තේ රථවාහන විමෝචන හා තෙල් පිරිපහදු හා රසායනික කම්හල් වැනි මහා පරිමාණ කර්මාන්තය.

මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට සල්ෆර් ඩයොක්සයිඞ් විමෝචන අඩු කිරීම සඳහා ක‍්‍රියාත්මක කර ඇති ප‍්‍රතිපත්තිවලට වඩා වැඩි ඵලදායී ප‍්‍රතිඵලයක් ෆොමැල්ඩිහයිඞ් අඩු කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිපත්තියකින් ලබාගත හැකිය. එමගින් ජීවිත ආරක්ෂා කරගැනීමට මෙන්ම වායු දූෂණය පාලනය සඳහා යොදවන මුදල් නිසි පරිදි භාවිතයට ගැනීමටද අවස්ථාවක් ඇති බව ඔවුන්ගේ අදහසයි. (මූලාශ‍්‍රය: Geophysical Research Letters, DOI: 10.1029/2018GL079309)

උෂ්ණත්වය ඉහළ යෑමෙන් ආත්‍රොපෝඩා ගහනවල අඩු වීමක්

ජගත් පරිසර පුවත් 286 - 24.10.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.10.2018, පි. 3 (Vidusara)



උෂ්ණත්වය ඉහළ යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස කෘමි සතුන්ගේ ගහනවල බරපතළ අඩුවීමක් ඇති වූ අවස්ථාවක් පිළිබඳව ඊසාන දිග පුවෙටෝ රිකෝ ප‍්‍රදේශයේ වනාන්තරවල කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙයි. මේ අනුව 1976 සිට 2003 වර්ෂය දක්වා වූ මේ අධ්‍යයන කාලයේදී එම ප‍්‍රදේ්ශයේ පිහිටා ඇති වනාන්තරවල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ ගොස් ඇත. ඒ සමඟ එහි හමුවන ආත්‍රොපෝඩාවන් හෙවත් සන්ධිපාදිකයන්ගේ ජෛව ස්කන්ධය හැටෙන් පංගුවක් පමණ දක්වා තරම් අඩු වී ඇත. එය බරපතළ තත්ත්වයකි.

පුවෙටෝ රිකෝවේ පිහිටා ඇති ලූකියිලෝ නම් වැසි වනාන්තරය ආශ‍්‍රිතව සිදුකර ඇති සංසන්දනාත්මක අධ්‍යයනයක් වන මෙහිදී 1976 වර්ෂයේ සිට 2003 වර්ෂය දක්වා වූ කාලයේදී එම වනාන්තරයේ ආත්‍රොපෝඩාවන් පිළිබඳව එකතු කරන ලද පර්යේෂණත්මක දත්ත යොදාගෙන ඇත. එ් අනුව ආත්‍රොපෝඩා නිදර්ශක ලබාගැනීම සඳහා භූමියේ හා වනාන්තරයේ වියන් ස්තරයේ යොදාගන්නා ඇලෙන උගුල්වලට අසුවන ආත්‍රොපෝඩාවන්ගේ ජෛව ස්කන්ධය හැටෙන් පංගුවක් පමණ දක්වා අඩු වී ඇත. එසේම බිම් මට්ටමේ දැල් දැමීමේ උපක‍්‍රමයකදී එකතු වී ඇති ජෛව ස්කන්ධය අටෙන් පංගුවක් දක්වා අඩු වී තිබෙයි. මේ මගින් පෙන්වා දෙන්නේ එම සතුන්ගේ ගහනවල බරපතළ අඩු වීමකි. එ් හා සමානුපාතිකව සන්ධිපාදිකයන් මත යැපෙන අනෙක් සතුන්ගේ ප‍්‍රමාණයේද සිදු වී ඇති කැපී පෙනෙන අඩු වීම එයට තවත් සාධකයක් වන බව පර්යේෂකයෝ සඳහන් කරති. නිදසුනක් ලෙස කටුසු විශේෂ, ගෙම්බන් හා පක්ෂීන්ගේ ගහනද අඩු වී ඇත. මේ අනුව ආහාර ජාලයේ පැහැදිලි වෙනස්කම් සිදු වී ඇති බව පැහැදිලිය.

මෙම අධ්‍යයනයෙන් පෙනෙන වැදගත් කරුණක් වන්නේ මේ වන විට ආරක්ෂිත සීමාවක් යැයි පුළුල්ව සලකනු ලබන සෙල්සියස් අංශක දෙකක උෂ්ණත්වය ඉහළ යෑම ඇතැම් අහිතකර බලපෑම් බරපතළ වීමට තරම් ප‍්‍රමාණවත් විය හැකි බවයි. නිදසුනක් ලෙස මෙහිදී දැක්වුණු ආකාරයට චලතාපී සතුන්ට එය බරපතළ ලෙස අහිතකර අයුරින් බලපාන බවක් පෙනේ. එසේම මෙවැනි වෙනත් අධ්‍යයන මගින්ද මීට සමාන තත්ත්ව පෙන්වා දී ඇත. (මූලාශ‍්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1722477115)

Monday, October 22, 2018

බරපතළ දේශගුණ බලපෑම් වැළැක්වීමට තවත් ඇත්තේ වසර 12යි

ජගත් පරිසර පුවත් 285 - 17.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 17.10.2018, පි. 3 (Vidusara)




වර්තමානයේ විමෝචනය වන වේගයෙන් හරිතාගාර වායු විමෝචන නිකුත් වීම සිදුවන්නේ නම් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ (හෙවත් 1750 පමණ) පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යෑම 2030 හා 2052 වර්ෂයත් අතර කාලයේදී සිදු විය හැකි බව ජගත් වාර්තාවක් පෙන්වා දෙයි. එසේම ලෝකයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යා හැකි බවත් එහි සඳහන් වෙයි. දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) මගින් පසුගියදා දකුණු කොරියාවේදී අනුමත කරන ලද ‘අංශක 1.5දී ගෝලීය උණුසුම’ (Global Warming of 1.5 °C) නම් මෙම විශේෂ වාර්තාව අනුව බරපතළ දේශගුණ ප‍්‍රතිවිපාක වැළැක්වීමට නම් ඉදිරි වසර 12ක කාලය ඇතුළත දැඩි, වැදගත් හා තීරණාත්මක පියවර ගණනාවක් ගත යුතුව තිබෙයි. මක් නිසාද යත් මේ වන විටද ලෝකයේ උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වය මෙන් අංශකයකින් පමණ ඉහළ ගොස් ඇති නිසාය. අද වන විටද ලෝකය එහි අහිතකර වූ ප‍්‍රතිවිපාක අත්දකිමින් සිටියි. ආන්තික කාලගුණ තත්ත්ව සුලභ වීම, මුහුදු මට්ටම ඉහළ යෑම වැනි සිදුවීම් එවැනි දේට සාධක වෙයි.

2015දී එකඟතාවයට එළැඹුනු පැරිස් දේශගුණ සම්මුතිය අනුව මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීමට අපේක්ෂා කරන ඉලක්කය සෙල්සියස් අංශක 2කකි. හැකිනම් එය අංශක 1.5ක මට්ටමට සීමා කිරීමට අපේක්ෂා කරන බව ගිවිසුමෙහි පැවසිනි. එහෙත් මෙම නවතම වාර්තාවට අනුව ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5 සීමාව පසුකිරීම ඉතා ඉක්මනින් සිදුවීමට ඉඩ ඇති බව පැහැදිලිය. එයට හේතුව වන්නේ පැරිස් ගිවිසුමෙහි සඳහන් වන සියලූ පොරොන්දු ඉටු කරනු ලැබුවද, 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචනය කරනු ලබන කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය වන ගිගා ටොන් 58ක ප‍්‍රමාණය, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ නවත්වා ගැනීමට තිබිය යුතු විමෝචන ප‍්‍රමාණයට වඩා ගිගා ටොන් 35ක් අධික වීමය.

උක්ත වාර්තාවෙන් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ සෙල්සියස් අංශක 1.5 ත් අංශක 2ත් අතර වෙනසකදී ඇති විය හැකි වෙනස්කම්වල බරපතළ බවයි. නිදසුනක් ලෙස ගතහොත් තාප ප‍්‍රවාහ නිසා අවසානමට ලක් වන ජනතාවගේ සංඛ්‍යාව, මැලේරියාව හා ඩෙංගු වැනි වාහකයන් මගින් ව්‍යාප්ත වන රෝගවලට ලක්වන ජනතාවගේ ගණන සෙල්සියස් අංශක දෙකකදී සැලකිය යුතු තරම් ඉහළ යයි. අංශක 1.5ක උෂ්ණත්ව වර්ධනයකට වඩා අංශක 2ක වර්ධනයකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑම සෙ.මී. 10ක් පමණ අධිකය. අංශක 1.5කදී කොරල්පර අතරින් 70%-90%ක් පමණ අඩු විය හැකි අතර, අංශක 2ක් උෂ්ණත්වය ඉහළ ගියහොත් කොරල්පර මුළුමනින්ම (99%ක් පමණ) අහිමි විය හැකිය. එමෙන්ම අංශක 1.5ක උෂ්ණත්ව වර්ධනයකදී වාර්ෂිකව ටොන් මිලියන 1.5කින් අඩු වනු ඇති බවට ගණන් බලා ඇති මත්ස්‍ය නිෂ්පාදනය අංශක 2ක උෂ්ණත්ව වර්ධනයකදී එමෙන් දෙගුණයකින් පමණ අඩු විය හැකිය.

කෙසේ වෙතත් මෙම වාර්තාව මගින් අනාගතයේ ඇති විය හැකි මෙම බරපතළ දේශගුණ වෙනස් වීම වළක්වා ගත හැකි ආකාරය ගැනද සඳහන් කරයි. ඒ සඳහා ලෝකයේ සියලූ රටවල් කඩිනමින් හා සියලූම අංශ ආවරණය වන ආකාරයෙන් මෙතෙක් නොසිතූ විරූ පරිමාණයකින් පියවර ගැමනීම අවශ්‍ය වන මෙම වාර්තාව පෙන්වා දෙයි. නිදසුනක් ලෙස ගතහොත්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියය් අංශක 1.5 මට්ටමෙහි පවත්වාගෙන යෑමට සිදු කළ යුතු දෙයද මෙහිදී පෙන්වා දී ඇත. ඒ අනුව 2030 වර්ෂයේදී ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය 2010 වර්ෂයේ පැවති ප‍්‍රමාණයෙන් 45%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු කළ යුතුය. ඒ සඳහා බලශක්තිය, කර්මාන්ත, ප‍්‍රවාහනය, ගොඩනැගිලි හා නගර ආදි අංශ ගණනාවක විශාල වෙනස්කම් ගණනාවක් සිදු විය යුතු වෙයි. නොඑසේ නම් අනාගතයේදී බරපතළ අහිතකර දේශගුණ බලපෑම් ඇති වීම වළක්වා ගැනීම අපහසු විය හැකිය.

අවාසනාවකට මෙන් මෙවැනි කැපවීමක් සඳහා ලෝකය සූදානම්ද යන්න මෙහිදී ඇති වන ගැටලූවයි. අනෙකක් තබා 2015දී ඇතිකරගත පැරිස් ගිවිසුම පවා ක‍්‍රියාත්මක වන්නේ 2020දී පමණ සිටය. කාලය ගත වන අතර දේශගුණ වෙනස් වීම හා එහි බලපෑම් සිදුවෙමින් තිබෙයි.

(මූලාශ‍්‍රය: Global Warming of 1.5 °C, https://ipcc.ch/report/sr15/)

Monday, October 15, 2018

වන විනාශය නැවැත්වීමත් වැදගත්

ජගත් පරිසර පුවත් 284 - 10.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 10.10.2018, පි. 8 (Vidusara)



විමෝචනය වන හරිතාගාර වායු විමෝචන අඩු කිරීම මෙන්ම වනාන්තර විනාශය වැළැක්වීමද දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා වැදගත් බව ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් පිරිසක් විසින් නිකුත් කර ඇති නිවේදනයකින් පෙන්වාදී තිබෙයි. වන විනාශය වැළැක්වීම මගින් මේ සඳහා ලබාගත හැකි දායකත්වය තවමත් නොසලක ාහැර ඇති බව ඔවුන්ගේ අදහස වෙයි.

වනාන්තර මුළුමනින්ම විනාශ වුවහොත් කාබන් ඩයොක්සයිඞ් ටොන් ටි‍්‍රලියන 3ක් පමණ වායුගෝලයට නිකුත් විය හැකි බව ගණන් බලා ඇත. එය ලෝකයේ මේ වන විට හඳුනාගෙන ඇති තෙල්, ගල් අ`ගුරු හෝ ගෑස් සංචිතවල තැන්පත්ව ඇති කාබන් ප‍්‍රමාණයට වඩා අධිකය. මේ අනුව වනාන්නර විනාශ වී යා නොදී ආරක්ෂා කරගැනීම හා ප‍්‍රතිස්ථාපනය කිරීම මගින් 2030 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචන 18%කින් අඩු කිරීමට හැකි වනු ඇති බව මේ විiාඥයින්ගේ අදහස වෙයි.

මේ අනුව දේශගුණ වෙනස් වීම පාලනය සඳහා පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම හා අවසන් කිරීම තරමටම වන විනාශය නැවැත්වීම ද වැදගත් බව පැහැදිලිය. විශේෂයෙන් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 හෝ 2 වැනි අගයකට සීමා කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එ් සඳහා ගත හැකි සියලූම පියවර ගැනීම වැදගත් වෙයි. වනාන්තර විනාශ වීම වැළැක්වීමට ගත් යම් යම් පියවර තිබුනද, ලෝකයේ ඇතැම් කලාපවල වන විනාශය දැඩි ලෙස සිදුවෙමින් තිබෙයි. මධ්‍යම ඇමරිකානු වනාන්තර හා ඉන්දුනීසියානු වනාන්තර මේ සඳහා නිදසුන්ය. ඇමසන් වනාන්තරය වැනි ඇතැම් ප‍්‍රදේශවල වනාන්තර එළි කිරීම පාලනයට අදාළ රටවල් සමත්ව ඇතත්, එය සෑම රටකම එකම මට්ටමකින් සිදුවී නැත. වනාන්තර ආරක්ෂා කිරීම වැදගත් නම් එ් සඳහා ලෝකයේ සියලූ රටවල් අවශ්‍ය සෑම පියවරක් ගැනීම වැදගත් වෙයි. නිදසුනක් ලෙස කාබන් සඳහා මිල නියම කිරීම හා කාබන් වෙලෙඳාම වැනි පියවර දැක්විය හැකිය.

එසේම මෙම නිවේදනයෙන් අදාළ විද්‍යාඥයින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ මීට පෙර පිළිගැනීමට ලක්ව තිබූ ආකාරයට, පිරිසිදු බලශක්තිය සඳහා ජෛව ඉන්ධන වගා කිරීම අවදානම් සහිත ක‍්‍රියාවලියක් බවයි. ජෛව ඉන්ධන වගා කිරීම සඳහා යොදාගනු ලබන බිම් ප‍්‍රදේශ අතරින් වැඩි ප‍්‍රමාණයක් නිවර්තන වනාන්තර සහිත බිම් ප‍්‍රදේශ වන බැවින් එය අවදානම් සහිත වෙයි.

ඇඟලූම්වල පාරිසරික බලපෑම

ජගත් පරිසර පුවත් 284 - 10.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 10.10.2018, පි. 8 (Vidusara)



විවිධ මෝස්තරයේ ඇඟලූම් ඇඳීම බොහෝ දෙනා ප‍්‍රිය කරන්නකි. මේ නිසා නිතර නිතර නව මෝස්තරවල ඇඳුම් ඇඟලූම් මිලදී ගැනීම එ් අයගේ කැමැත්තය. විශේෂයෙන් තරුණ පරපුර අතර මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙයි. කෙසේ වෙතත් සෑම අංශයකම මෙන් මෙම ඇඟලූම් නිර්මාණයේදී කිසියම් පාරිසරික බලපෑමක් ඇති වෙයි. එහි හා අධි පරිභෝජනයක් පවතී නම් තත්ත්වය වඩාත් බරපතළය. මේ පිළිබඳව බි‍්‍රතාන්‍ය රජයේ අවධානය යොමු වී ඇත. එයට එක් හේතුවක් වන්නේ බි‍්‍රතාන්‍යය යනු යුරෝපය තුළ වාර්ෂිකව අලූත් ඇඳුම් පරිහරණය කරන ප‍්‍රමාණය වැඩිම රට වීමය. එරට එ්ක පුද්ගල ඇඟලූම් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 26.7ක් පමණ වෙයි.

බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාරිසරික විගණන කමිටුව පෙන්වා දී ඇති ආකාරයට ඇඟලූම් කර්මාන්තය හරිතාගාර වායු විමෝචනය සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වයි. 2015 වර්ෂයේ සංඛ්‍යාලේඛනවලට අනුව, එම වර්ෂයේ ඇඟලූම් කර්මාන්තයෙන් පරිසරයට නිකුත්ව ඇති හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය ටොන් බිලියන 1.2ක් පමණය. එසේම නිතර අලූත් ඇඳුම් භාවිතයට ගැනීම නිසා ඉවතලන ඇඳුම් බිම් පිරවුම්වලට බැහැර කිරීම තවත් පාරිසරික ගැටලූවකි. පසුගිය වර්ෂයේ පමණක් එසේ බිම් පිරවුම්වලට බැහැර කරන ලද ඇඟලූම් ප‍්‍රමාණය මිලියන 235ක් පමණ බව සඳහන්ය. එමෙන්ම එ්වායින් නිකුත්වන කෙඳිති පරිසරයට බැහැරලීමෙන් පසු අවසානයේ සාගරයට එක්වීමෙන් තවත් ගැටලූ ඇති වෙයි. ගෘහාශ‍්‍රිතව සිදුකරන සේදුමකදී කෙඳිති 700,000න් පමණ ප‍්‍රමාණයක් පරිසරයට එකතු වන බව අධ්‍යයනවලින් පෙන්වා දී ඇත. එමෙන්ම එක් ඩෙනිම් කලිසමක ආයු කාලය තුළ එය සේදීම සඳහා ජලය ලීටර් 3781ක් පමණ ප‍්‍රමාණයක් වැය වෙයි.

ඇඟලූම් කර්මාන්තයේ ඇතැම් පිළිවෙත් හානිකර වෙයි. නිදසුනක් ලෙස තහොත් භාවිත කළ හැකි තත්ත්වයේ ඇඟලූම් බැහැර කිරීමට එම කර්මාන්තය පාරිභෝගිකයන් පොළඹවයි. එ් මෝස්තර අලූත් කිරීමෙනි. එය ගැටලූවක් බව මෙම විගණන කමිටුවේ අදහස වෙයි. මේ නිසා අදින් දශකයකට පෙර මිලදී ගත්තාට වඩා දෙගුණයක් පමණ ඇඟලූම් ප‍්‍රමාණයක් පාරිභෝගිකයකු විසින් අද මිලදී ගනියි.

මේ තත්ත්වය පාලනයට ඇඟලූම් කර්මාන්තය කඩිනම් පියවරක් නොගතහොත් 2050 වර්ෂය වන විට දේශගුණ වෙනස් වීමේ බලපෑමෙන් හතරෙන් පංගුවක් පමණ ප‍්‍රමාණයකට වගකිව යුත්තේ ඇඟලූම් කර්මාන්තය බව කමිටුව පවසයි. මේ සඳහා ගත හැකි පියවර අතර, කර්මාන්තයේ පරිසර දූෂණය අඩු කිරීම, ඇඟලූම් වැඩි කාලයක් භාවිත කිරීමට ඉල්ලූමක් තිබීම හා ඇඟලූම් බැහැර කිරීම වැළැක්වීම පවතී.

පරිසර දූෂණය නිසා අවදානමට ලක්වන මිනීමරු තල්මහ

ජගත් පරිසර පුවත් 283 - 03.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 03.10.2018, පි. 9 (Vidusara)



ලෝකයේ ජීවත්වන මිනීමරු තල්මහ ගහන පරිසර දූෂණය නිසා දැඩි අවදානමකට ලක්ව ඇත. පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව Orcinus orca යන විද්‍යාත්මක නමින්ද, මිනීමරු තල්මහ (Killer whale) හා ඕකා (Orca) යන ඉංග‍්‍රීසි නම්වලින්ද හඳුන්වන මෙම තල්මහ විශේෂය අවදානමට ලක්ව ඇත්තේ බහුක්ලෝරිනීකෘත බයිෆෙනිල (polychlorinated biphenyl - PCB) නමින් හඳුන්වන කාණ්ඩයේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසාය.

මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ ජීවත් වන ක්ෂීරපායින් අතරින් PCB වැඩි සාන්ද්‍රණයකින් ශරීරගත වී ඇත්තේ මෙම මිනීමරු තල්මහගේය. මෙම සතුන්ගේ ශරීරයේ පටක සම්බන්ධව සිදු කර ඇති අධ්‍යයනවලින් මේ බව පැහැදිලි වී ඇත. මේ ආකාරයෙන් PCB ශරිරගතව තිබීම එම තල්මහ සතුන්ගේ සෞඛ්‍යයට බලපායි. මෙම රසායන ද්‍රව්‍යවල බලපෑම් නිසා තල්මහ සතුන්ගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම සිදු වන අතර, පැටවුන් බිහිකිරීමට ඇති හැකියාව සීමා වීමෙන් ප‍්‍රජනනය හා සම්බන්ධ ගැටලූ ඇති විය හැකිය.

මේ තත්ත්වය නිසා ලෝකයේ මිනීමරු තල්මහ ගහනයෙන් 50%කට අධික ප‍්‍රමාණයකගේ දිගුකාලීන පැවැත්ම තර්ජනයට ලක්ව ඇත. ඉදිරි වර්ෂ සියයක කාලයේදී වැඩිම තර්ජනයට ලක්විය හැකි මිනීමරු තල්මහ ගහන කාණ්ඩ දෙකක්ද මෙහිදී හඳුනාගෙන තිබෙයි. ඉන් පළමුවැන්න වන්නේ වඩාත් කාර්මිකකරණය වූ කලාප ආසන්නව ජීවත්වන තල්මහ ගහනයි. අනෙක් කාණ්ඩය වන්නේ ආහාර දාමයේ ඉහළ පෝෂී මට්ටම්වල ජීවත්වන මිනීමරු තල්මහ ගහනයි. මේ කාණ්ඩයට ඔවුන් ජීවත්වන ප‍්‍රදේශයේ බලපෑමක් නොමැති තරම්ය.

කාලයක් තිස්සේ ලෝකයේ කර්මාන්තශාලාවල විශාල ප‍්‍රමාණවලින් නිපදවන ලද PCB කාණ්ඩයේ රසායන ද්‍රව්‍යවල පවත්නා අධික විෂ සහිත ස්වභාවය නිසා මීට වර්ෂ 30කට පමණ පෙර බොහෝ රටවල තහනම් කරන ලදි. එහෙත් පරිසරයේ පවත්නා මේ රසායන ද්‍රව්‍ය සාගරයට එක් වීම දිගින් දිගටම සිදු වේ. එසේම එම රසායන ද්‍රව්‍යවල දිගුකාලීන පැවැත්ම හේතුවෙන් මේ ආකාරයෙන් මිනීමරු තල්මහ අවදානමට ලක්ව ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Science , DOI: DOI: 10.1126/science.aat1953)

ග්ලයිපොසේට් මීමැස්සන්ට හානිකරයි

ජගත් පරිසර පුවත් 283 - 03.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 03.10.2018, පි. 9 (Vidusara)



ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන වල්පැළෑටි නාශකයක් මෙන්ම මේ වනවිට තරමක ආන්දෝලනයකට ලක්ව ඇති ග්ලයිපොසේට් මගින් සිදුවන තවත් පාරිසරික බලපැමක් සම්බන්ධ පර්යේෂණයක් මෑතදී අසන්නට ලැබිණි. එ් අනුව, ග්ලයිපොසේට් මගින් මීමැස්සන්ට හානිකර බලපෑමක් සිදුවන බව සනාථ වී තිබෙයි.

මෙම අධ්‍යයනයේදී පරිසරයේ දැකිය හැකි සාන්ද්‍රණ මට්ටමේ ග්ලයිපොසේට් සාන්ද්‍රණයකට නිරාවරණය වූ මීමැස්සන්ගේ ආහාර මාර්ගයේ හමුවන බැක්ටීරියා ප‍්‍රමාණය අඩු වන බව හෙළි වී ඇත. මීමැස්සන්ගේ ආහාර මාර්ගයේ ජීවත්වන ප‍්‍රයෝජනවත් බැක්ටීරියාවලට ග්ලයිපොසේට් නිසා හානි සිදුවීම මීට හේතුවයි. මෙසේ හානි වන බැක්ටීරියා මී මැස්සන්ගේ වර්ධනයට දායක වන හා රෝග ඇතිකරන විෂබීජවලට එරෙහිව ක‍්‍රියාකරන ප‍්‍රයෝජනවත් බැක්ටීරියාය. එම තත්ත්වය හමුවේ මීමැස්සන්ට මාරාන්තික විය හැකි රෝග වැළඳීමට වැඩි අවස්ථාවක් ඇතිවෙයි.

ග්ලයිපොසේට් මගින් ඉලක්ක කරගන්නේ ශාකවල හා බැක්ටීරියාවල දැකිය හැකි එක් එන්සයිමයකි. මීමැස්සන්ගේ ආහාර මාර්ගයේ හමුවන ඇතැම් බැක්ටීරියාල මේ එන්සයිමය තිබීම නිසා උක්ත තත්ත්වය ඇතිවන බව අනාවරණය වී ඇත. මේ දක්වා ග්ලයිපොසේට් මීමැස්සන්ට බලපාන බවක් තහරවුරු වී නොතිබූ නමුත් මේ නව අධ්‍යයනය අනුව මීමැස්සන්ගේ ගහන අඩු වීමේ තත්ත්වයට ග්ලයිපොසේට්ද බලපාන බව පැහැදිලිය. මීමැස්සන්ට වැදගත් වන, වනමල්වලට ග්ලයිපොසේට් මගින් හානි සිදුවීම මෙතෙක් මේ නිසා මීමැස්සන්ට ඇතිවන බරපතළම හානිය සේ සැලකිණි.

මී මැස්සන්ට හානි වන පළිබෝධනාශක පිළිබඳව කලක පටන් අවධානය යොමු වී තිබිණි. නිදසුනක් ලෙස ගතහොත්, නිොයා්නිකොටිනොයිඩ කාණ්ඩයේ රසායනික ද්‍රව්‍යවලින් මීමැස්සන්ට සිදුවිය හැකි හානිය පෙන්වා දීමෙන් පසුව එම කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය භාවිතය සීමා කිරීමට රටවල් කටයුතු කර ඇත. කුම කරුණක් නිසා හෝ මීමැසි ගහන අඩු වීම බරපතළ ප‍්‍රතිවිපාක ඇති විය හැකි සිදුවීමකි. ඉන් මූලික වන්නේ පරාගණකාරකයෙක් ලෙස මීමැස්සන් ඉතා වැදගත් වීමයි. ලෝකයේ ආහාර භෝග අතරින් තුනෙන් එකක පමණම පරාගණය සිදුවන්නේ මීමැස්සන් මගිනි. (මුලාශ‍්‍රය: Proceedings of the National Academy of Sciences,, DOI: 10.1073/pnas.1803880115)

Sunday, September 30, 2018

සොල්හයිම්ගේ ගුවන් ගමන් අවධානයට

ජගත් පරිසර පුවත් 282 - 26.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.09.2018, පි. 3 (Vidusara)



එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ තනතුරට 201 වර්ෂයේදී පත් වූ එරික් සොල්හයිම් එතැන් සිට ගත වූ කාලයේදී යෙදී ඇති අධික ගුවන් ගමන් ප‍්‍රමාණය පිළිබඳව කිසියම් ආකාරයක විවේචනයක් මාධ්‍ය ඔස්සේ එල්ල වී ඇත.

මේ පිළිබඳව සිදුකර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේම ආයතනයක අභ්‍යන්තර විගණන වාර්තාවක් ඇතැම් බටහිර මාධ්‍ය ආයතනවලට ලැබී ඇත. එම වාර්තාවට අනුව විගණනය කරන ලද දින 668ක් අතරින් 529කදීම ඔහු ගුවන්ගමන්වල යෙදී තිබනෙ අතර, එ් සඳහා ඩොලර් 488,000කට අධික වියදමක් දරා ඇත.

මේ වාර්තාවෙන් පෙන්වාදී ඇති කරුණක් වන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ගරුත්වයටද මේ නිසා අවදානමක් මතුව ඇති බවයි. විශේෂයෙන් කාබන් විමෝචන අඩු කිරීම පිළිබඳ ඇති ජගත් මට්ටමේ ප‍්‍රයත්නයට මෙවැනි අධික ගුවන් චාරිකා ප‍්‍රමාණයක් නිසා යම් ආකාරයක පහරක් එල්ලවන බව මේ පිළිබඳ වාර්තාවල සඳහන් වෙයි. එසේම ඔහුගේ මෙම චාරිකා මගින් එක්සත් ජාතීන්ගේ වෙනත් ආයතනවල නිලධාරින්ට සැපයෙන ආදර්ශය එතරම් යෝග්‍ය එකක් නොවීම පිළිබඳව ද සඳහන්ව ඇත. සෙසු පුද්ගලයින්ගෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව ආදර්ශය ඔවුන් විසින් ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වරක් පවසා තිබිණි. එවැනි තත්ත්වයක් තුළ පරිසරය පිළිබඳව කටයුතු කරනු ලබන, තිරසර භාවය පිළිබඳව ආදර්ශය ලබාදිය යුතු එක්සත් ජාතීන්ගේ ආයතනය වන පරිසර වැඩසටහනේ ප‍්‍රධානියා විසින් මේ ආකාරයෙන් කටයුතු කිරීම තරමක් කණගාටුවට කරුණකි. මේ බව විවිධ පරිසර සංවිධාන හා පරිසර ක‍්‍රියාකාරීන් විසින් පෙන්වා දී තිබෙයි.

කෙසේ වෙතත් සොල්හයිම්ගේ අධ්‍යක්ෂ තනතුර දරණ කාලය ඇතුළත මෙම ආයතනයේ කටයුතු වඩාත් පුළුල් මට්ටමට ළ`ගා වී ඇති අතර වැඩි විනිවිදභාවයක් ඇති වී තිබෙන බවද දක්වා තිබෙයි. එසේම මේ කටයුතු නිසා මෙම ගුවන්ගමන් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බවක්ද අදහස් කරන බව පෙනෙයි. මේ පිළිබඳව විගණන ක‍්‍රියාවලිය හා ආයතනික කටයුතු අතර ඇති ගැටුම්ද බලපා ඇති බවක් පෙනෙයි. එසේම ඇති වූ ප‍්‍රමාදදෝෂයකින් හෝ අනවධානයක් නිසා සිදු වූ වියද එ් කෙසේ වෙතත් කාබන් විමෝචන ඉහළ යෑම නිසා අධික ගුවන්ගමන් නිසා ඇතිවන කාබන් පියසටහන පිළිබඳ ගැටලූව මේ වන විට ලෝකයේ තදින් සාකච්ඡුාවට ලක්වන ගැටලූවකි.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් පියාඹන කෘමින් හරහා පැතිරේ

ජගත් පරිසර පුවත් 282 - 26.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.09.2018, පි. 3 (Vidusara)



ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු පරිසර දූෂණයක් ඇතිකරන ද්‍රව්‍ය අතර මෑත කාලයේදී අවධානයට ලක්ව ඇති ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන් මිලිමීටර් 5ට අඩු ප්ලාස්ටික් කොටස් මෙම කාණ්ඩයට අයත් වන අතර එ්වා ඇතැම් ජීවීන්ගේ ශරීරගත විය හැකිය. එ්වායේ බැක්ටීරියා වැනි ද්‍රව්‍ය රඳවා ගත හැකි අතරම ප්ලාස්ටික්වල ඇතුළත් වන හානිකර රසායන ද්‍රව්‍ය නිකුත්කිරීමට ද හැකිය. එමෙන්ම ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් වනජීවීන්ට හෝ මිනිසුන්ට ඇති විය හැකි බලපෑම් සම්බන්ධව තවමත් එතරම් සවිස්තර අධ්‍යයන සිදුකර නොමැත. එසේම මෙම ප්ලාස්ටික් ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල හමුවන ද්‍රව්‍යයක් වී ඇත.

බොහෝ විට ජලජ පරිසර පද්ධතිවල දැකිය හැකි ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග පියාඹන කෘමීන්ගේ කීටයන්ගේ ශරීරගත වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය කර තිබෙයි. එමගින් මේවා නව පරිසර පද්ධතිවලට එක් වීමට හා එම කෘමීන් ආහාරයට ගන්නා පක්ෂීන් හා වෙනත් සතුන්ගේ ශරීරගත වීමෙන් එම ජීවීන්ට කිසියම් තර්ජනයක් ඇති වීමටද අවස්ථාවක් පවතී.

මෙම පර්යේෂණයේදී Culex pipiens නම් මදුරු විශේෂයේ කීටයන්ට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් ජලය මගින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීමට සලස්වා ඇත. පෙරා බුදින්නන් වන මෙම මදුරු කීටයන් ඇල්ගී වැනි ශාක ආහාර ලෙස ගැනීමේදී මයික්‍රෝ මීටර් 2 පමණ ප‍්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් ශරීරගත වන බව මෙම පර්යේෂණයේදී අනාවරණය වූ කරුණකි. එමෙන්ම එම කීටයන් සුහුඹුල් මදුරුවන් බවට පත් වූ පසුවද එම ප්ලාස්ටික් කොටස් මදුරුවන්ගේ ශරීරයේ ඇතුළත්ව පවතින බවද සොයාගෙන ඇත. එම මදුරුවන් ආහාරයට ගන්නා පක්ෂීන්, වවුලන් හා මකුළුවන් වැනි වෙනත් සතුන්ටද මේ අනුව ප්ලාස්ටික් ශරීරගත වෙයි.

මේ අනුව ජලජ පරිසරවල දැකිය හැකි ක්ෂුද්‍ර ප්ලාස්ටික් නව පරිසරවලට ව්‍යාප්ත වීමේ ක‍්‍රමයක් ලෙස මෙම ක‍්‍රමය ක‍්‍රියාකරන බව මේ පර්යේෂකයන් විසින් හෙළි කර තිබෙයි. මදුරුවන් මෙන්ම ජලයේ කීටයන් බිහි වන වෙනත් කෘමි විශේෂවලද මේ ආකාරයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාරයට ගැනීම හා ශරීරය තුළ රඳවා තබා ගැනීම සිදු වීමට බෙහෙවින් ඉඩ ඇති බවද මෙහිදී පෙන්වාදී ඇත. ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලූ මෙන්ම මෙම ක‍්‍රියාවලිය මගින් එ්වා නව ප‍්‍රදේශවලට ව්‍යාප්ත වීම අවධානය යොමු විය යුතු කරුණු ලෙස සඳහන් වෙයි. (මුලාශ‍්‍රය: Biology Letters, DOI: 10.1098/rsbl.2018.0479)

දේශගුණ වෙනස් වීම හමුවේ වෙරළබඩ තෙත්බිම් ආරක්ෂා වීමට නම්

ජගත් පරිසර පුවත් 281 - 19.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.09.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම හමුවේ වෙරළබඩ තෙත්බිම්වලට ඇති විය හැකි තර්ජනය පිළිබඳව සිදුකරන ලද නවතම අධ්‍යයනයකට අනුව ලෝකය පුරා පිහිටා ඇති වෙරළබඩ තෙත්බිම් අතරින් 30%ක් පමණ ප‍්‍රමාණයක් 2100 වර්ෂය වන විට අහිමි වීමේ අවදානමක් ඇත. එ් එම තෙත්බිම්වලට ගොඩබිම දෙසට ව්‍යාප්ත වීමට අවකාශයක් නොමැති තත්ත්වයක් හමුවේ එ්වා ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රමාණවත් පියවරක් නොගතහොත්ය. එයට හේතුවන්නේ මිහිතලය උණුසුම්වීම හා වෙරළබඩ ප‍්‍රදේශ ජලයෙන් යට වීම නිසා ඇතිවන තර්ජනයයි. උදම් වගුරු, කඩොලාන වැනි විවිධාකාර මෙම වෙරළබඩ තෙත්බිම් ආරක්ෂා කරගැනීමට හැකි මූලික ක‍්‍රමය වන්නේ එ්වා ගොඩබිම දෙසට ව්‍යාප්ත වීමට අවස්ථාවක් පැවතීමය. එ් සඳහා වෙරළබඩ තීරයේ මානව යටිතල පහසුකම් තැනීම බලපාන අතර එ්වා 21 වන සියවස ඇතුළත සැලකිය යුතු තරමින් වෙනස් වනු ඇති බවක් අපේක්ෂිතය.

ජගත් මට්ටමෙන් මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ප‍්‍රාදේශීය දත්ත යොදාගනිමින් එ්වා තෙත්බිම්වලට බලපාන ආකාරය සංසන්දනය කිරීමෙනි. වෙරළ ප‍්‍රදේශයේ උස, උදම් මට්ටම, අවසාදිත තැන්පත් වන වේගය, වෙරළබඩ ප‍්‍රදේශයේ ජනගහනය හා මුහුදු මට්ටම ඉහළ යෑම පිළිබඳ තක්සේරු කිරීම් මෙසේ යොදාගෙන ඇති දත්ත අතර වෙයි. මෙම දත්ත යොදාගනිමින් අදාළ වෙරළබඩ තෙත්බිම්වල තැන්පත්වන අවසාදිත ප‍්‍රමාණය හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යන ප‍්‍රමාණය හා සමානව තෙත්බිම්වල උන්නතාංශය ඉහළ යා හැකිද යන්න හෝ තෙත්බිම්වලට ගොඩබිම අභ්‍යන්තරයට ව්‍යාප්ත වීමට අවස්ථාවක් තිබේද යන්න සලකා බලා ඇත.

මෙම අධ්‍යයනයේදී වඩාත් ප‍්‍රාදේශීය වශයෙන් වැදගත්වූ දත්ත යොදාගෙන ඇති බැවින් පෙර පැවැති ගණනය කිරීම්වලට වඩා නිවැරදී ගණනය කිරීම් මෙහිදී ලැබී ඇති බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මින් පෙර තිබූ ගණනය කිරීම් සමහරකින් වෙරළබඩ තෙත්බිම්වලින් 90%ක් පමණ අහිමි විය හැකි බව දක්වා තිබූ අවස්ථාද ඇත. එහෙත් මෙම නව පර්යේෂණය මගින් පෙන්වා දෙන්නේ වෙරළබඩ තෙත්බිම් අතරින් විශාල ප‍්‍රමාණයක් අහිමි වීම වළක්වා ගත හැකි බවයි. එ් එම තෙත්බිම්වලට ව්‍යාප්ත විය හැකි අතිරේක අවකාශයක් සකස් කිරීම සඳහා අනුහුරු වීමේ විසඳුම් හඳුන්වා දීම් මගින් වෙරළ සම්පත් කළමනාකරණය හරහා පියවර ගැනීමෙනි. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0476-5)

කැස්බෑවන්ගේ මරණයට ප්ලාස්ටික් හේතුවන අයුරු ප‍්‍රමාණනය කිරීම

ජගත් පරිසර පුවත් 281 - 19.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.09.2018, පි. 3 (Vidusara)



මුහුදේ දැකිය හැකි ප්ලාස්ටික් කැබැලි විවිධ සමුද්‍ර ජීවීන්ට අනතුරුදායක විය හැකි බව ප‍්‍රකට කරුණකි. එ්වායේ පැටලීම නිසා ක්ෂීරපායින් වැනි ජීවීන් මිය යා හැකි අතර, එ්වා ශරීරගත වීමෙන්ද ජීවීන්ට විවිධ ආබාධ හා මරණය ඇති විය හැකිය. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකින් කැස්බෑවුන්ගේ ආහාර මාර්ගයට ඇතුළු වන ප්ලාස්ටික් කැබලි ගණන, එම සතුන්ගේ මරණයට හේතුවන ආකාරය ගැන කිසියම් ප‍්‍රමාණනය කිරීමක් සිදුකරන්නට උත්සාහ කර ඇත.

ප්ලාස්ටික් සතුන්ගේ ශරීරගත වීම නිසා ඇති වන බලපෑම පිළිබඳව අධ්‍යයනය කිරීම තරම් අසීරු කරුණකි. එ් සඳහා මෙම පර්යේෂකයින් යොදාගෙන ඇත්තේ වෙරළට ගසාගෙන ආ කැස්බෑවුන් පිළිබඳ දත්ත හා කැස්බෑවුන්ගේ මරණ පරීක්ෂණ වාර්තාය. මෙමගින් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව කැස්බෑවුන්ගේ මරණ සඳහා ප්ලාස්ටික්වල බලපෑම සම්බන්ධව අදහසක් ලබාදීමට ඔවුන්ට හැකිවී තිබෙයි.

මේ අනුව ප්ලාස්ටික් කොටස් 200කට වැඩි ප‍්‍රමාණයක් යම් කැස්බෑවෙකුගේ ශරීරගත වී ඇත්නම් එම සතාගේ මරණය වැළැක්විය නොහැකිය. එමෙන්ම ප්ලාස්ටික් කොටස් 14ක් පමණ ශරීරගත වූ කැස්බෑවකු මරණයට පත්වීමේ සම්භාවීතාවය 50%කි. එක් ප්ලාස්ටික් කැබැල්ලක් ශරීරගත වීම නිසා මරණයට පත් වීමේ හැකියාව 22%කි. මෙම සතුන්ගේ ආහාර මාර්ගයට ඇතුළුවන කිසිවක් වමාරා පිටතට බැහැර කළ නොහැකි නිසා මේ තත්ත්වය ඇතිවෙයි. මේ නිසා කුඩා තුනී ප්ලාස්ටික් කැබැල්ලකින් පවා ආහාර මාර්ග පද්ධතිය අවහිර වී කැස්බෑවුන් මරණයට පත් විය හැකිය.

එසේම ප්ලාස්ටික් ශරීරගත වීම නිසා මරණයට පත්වීමේ අවදානම වඩාත් ඉහළ වන්නේ තරුණ හා කුඩා සතුන්ටය. මේ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ වාසය කරන කැස්බෑවුන් අතරින් අඩක් පමණ ප‍්‍රමාණයකගේම ප්ලාස්ටික් ශරීරගත වී ඇත. සාගර ප‍්‍රදේශ අනුවද ප්ලාස්ටික් ශරීරගත වීමේ අවදානම වෙනස් වෙයි. නිදසුනක් ලෙස ගතහොත්, බ‍්‍රසීල වෙරළාසන්නයේ ජීවත්වන කොළ කැස්බෑවන් අතරින් 90%කට අධික ප‍්‍රමාණයකගේ ශරීරයේ ප්ලාස්ටික් ශරීරගත වී ඇත.

සමස්තයක් ලෙස ගත්විට මේ තත්ත්වය ඇතැම් කැස්බෑ විශේෂවල අනාගත පැවැත්ම හා සම්බන්ධව පවා වැදගත් විය හැකි තත්ත්වයකි. මෙහිදී අවධානය යොමු විය යුතු අනෙක් කරුණ වන්නේ, මේ වන විටද සැලකිල්ලට ලක්ව ඇති, සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවීම වැළැක්වීමේ ඇති වැදගත්කමය. (මුලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-30038-z)

පැසිෆික් සාගර ප්ලාස්ටික් කසළ පවිත‍්‍ර කිරීමේ සූදානමක්

ජගත් පරිසර පුවත් 280 - 12.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.09.2018, පි. 3 (Vidusara)



‘මහා පැසිෆික් අපද්‍රව්‍ය එකතුව’ (Great Pacific Garbage Patch) ලෙස හඳුන්වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාව හා හවායි දූපත් අතර පැසිෆික් සාගරයේ පාවෙමින් ඇති මහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවකි. මෑතදී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව වර්ග කිලෝමීටර් මිලියන 1.6ක් පමණ ප‍්‍රදේශයක් වසා පැතිරුණු මේ පාවෙන කසළ එකතුවේ මෙටි‍්‍රක් ටොන් 80,000ක බරකින් යුක්ත ප්ලාස්ටික් කොටස් ටි‍්‍රලියන 1.8ක් පමණ ප‍්‍රමාණයක් පවතී.

මේ පාවෙන ප්ලාස්ටික් එකතුව පිළිබඳව අනාවරණය කරගත් දා පටන් එ් සඳහා ලබාදිය හැකි විසඳුම් මොනවාද යන්න ගැන අවධානය යොමු වී තිබිණි. මේ පිළිබඳ එක් උත්සාහයක් පසුගිය සතියේදී දියත් කිරීමට නියමිතව තිබිණි. වසර පහක පමණ කාලයක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණවලින් අනතුරුව මේ විසඳුම යෝජනා කර ඇත. මේ සඳහා මීටර් 600ක් පමණ දිගු ක්‍ අකුරක හැඩැති පාවෙන නාලාකාර බාධකයක් යොදාගැනීමට නියමිතය. එමගින් හා එයට සම්බන්ධ කර එල්ලා ඇති මීටර් 3ක් පමණ මුහුදේ ගැඹුරට දිවෙන බාධකයක් මගින් සාගර ප‍්‍රවාහ, රළ හා සුළං මගින් ළඟාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සිදුකරයි. මෙමගින් සෙන්ටිමීටර් එකකට වඩා විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කළ හැකිය. මෙය සිස්ටම් 001 (System 001) ලෙස හඳුන්වා ඇත.

මෙමගින් මාසයකට ටොන් පහක පමණ අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් එකතු වනු ඇතැයි අපේක්ෂිතය. සති හයකට පමණ වරක් මෙම බාධකය වෙත පැමිණෙන නෞකාවක් මගින් මේ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය සඳහා බැහැර ගෙනයාමට නියමිතය. වසර පහක කාලයක් ඇතුළත මෙම කසළ එකතුවෙන් 50%ක් පමණ ප‍්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වනු ඇතැයි මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. කෙසේවෙතත් මෙවැනි තාක්ෂණික විසඳුමකින් සාගරයේ ප්ලාස්ටික් ගැටලූවට විසඳුමක් ලබාදී ඇතැයි යන හැ`ගීම ඇති විය හැකි බව පරිසරවේදීන් සමහරකගේ අදහස වේ. එය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය අඩු කිරීමට ගන්නා ජගත් මට්ටමේ උත්සාහයට බාධාවක් විය හැකි බව ඔවුන්ගේ හැ`ගීමය.

සුලභ පළිබෝධනාශකයකින් මැඩියන්ට හානි

ජගත් පරිසර පුවත් 280 - 12.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.09.2018, පි. 3 (Vidusara)



පළිබෝධනාශක ඇතුළු විවිධ කෘෂි රසායන ද්‍රව්‍යවලින් පරිසරයේ වෙසෙන වෙනත් ඉලක්ක නොවන මෙන්ම හිතකර ජීවීන්ට සිදුවිය හැකි හානි පිළිබඳව පර්යේෂණවලින් කරුණු අනාවරණය කර ඇත. මෙය පාරිසරික වශයෙන් මෙම රසායන ද්‍රව්‍යවලින් සිදුවන සැලකිය යුතු අහිතකර බලපෑමක් සේ සැලකේ.

මේ පිළිබඳව වන අලූත්ම වාර්තාව වන්නේ ක්ලෝර්පයිරිෆොස් (chlorpyrifos) නමැති සුලභව භාවිත වන පළිබෝධනාශකය මගින් සිදුවිය හැකි හානිය පිළිබඳ වාර්තාවයි. එම පර්යේෂණයට අනුව මෙම පළිබෝධනාශකයේ අඩු මාත‍්‍රාවලින් පවා උතුරුදිග දිවි මැඩියා (Northern Leopard frog - Lithobates pipiens) ලෙස හඳුන්වනු ලබන උතුරු අමරිකාවේ වාසය කරන මැඩි විශේෂයේ මොළයේ වර්ධනයට බාධා කරයි. මෙහි ඇති වැදගත්කම වන්නේ අදාළ රසායන ද්‍රව්‍යය අඩු මාත‍්‍රාවලින් තිබියදී ද මෙවැනි අහිතකර බලපෑමක් ඇතිකිරීමට හැකි වීමයි. එසේම අදාළ මැඩියාගේ ප‍්‍රධාන ආහාර ප‍්‍රභවය වන ප්ලවාංගවලට උක්ත පළිබෝධනාශකය මගින් බලපෑමක් ඇති නොවන අවස්ථාවේ දී පවා මේ හානිය මැඩියන්ට සිදුවීම විශේෂයකි.

ඕගනෝපොස්පේට කාණ්ඩයට අයත්වන මෙම පළිබෝධනාශකය 1965 වර්ෂයේ පමණ සිට කෘමීන් හා පණුවන් ඇතුළ පළිබෝධකයන් මර්ධනය කිරීම සඳහා පුළුල් ලෙස භාවිතයේ පවත්නා පළිබෝධනාශකයකි. එය කෘෂිකාර්මික ප‍්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික නොවන ප‍්‍රදේශවලද භාවිත වන්නකි. මෙවැනි රසායනික ද්‍රව්‍ය ඇමරිකාවේ බොහෝ ජලධාරාවල බොහෝ විට අඩු මාත‍්‍රාවලින් දැකිය හැකිය. මේ රසායන ද්‍රව්‍යවලට මිනිසුන් මෙන්ම සතුන් ද නිරාවරණය වීම නිතැතින්ම සිදුවන්නකි. මේ නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලූ අතර ස්නායු පද්ධතිය ආශ‍්‍රිත ගැටලූ දක්වා ඇති අතර මෙහි භාවිතය පිළිබඳ යම් යම් සීමාද පලවා තිබෙයි. ආරක්ෂිත යැයි සැලකෙන සාන්ද්‍රණයට වඩා අඩු මාත‍්‍රාවලින් නිරාවරණය වීමෙන් ක්ලෝර්පයිරිෆොස් මගින් හානි සිදුනොවන බවක් සාමාන්‍යයෙන් සැලකෙයි. එහෙත් මේ අධ්‍යයනයේදී එම පර්යේෂකයින් පෙන්වාදී ඇති ආකාරයට එවැනි මට්ටමකින් වුවද පෘෂ්ටවංශී සතුන්ගේ ස්නායු පද්ධතියට බලපෑමක් සිදුකරනු ඇතැයි හෙළි වී තිබීම වැදගත්ය. (මුලාශ‍්‍රය: Environmental Toxicology and Chemistry, DOI: 10.1002/etc.4240)

ජෛව විවිධත්වය සඳහා වැදගත් වාසස්ථාන ආරක්ෂා කළ යුතුයි

ජගත් පරිසර පුවත් 279 - 05.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 05.09.2018, පි. 3 (Vidusara)



ලෝකයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වැඩි වැඩියෙන් පරිසර පද්ධති ආරක්ෂා කළ යුතු බව සාමාන්‍ය පිළිගැනීමය. ඇතැම් ගණනය කිරීම් අනුව ලෝකයේ භූමි ප‍්‍රමාණයෙන් අඩක් පමණ එ් සඳහා ආරක්ෂා කළ යුතු වෙයි. එහෙත් පසුගිදා ප‍්‍රකාශයට පත් එක් අධ්‍යයනයකට අනුව වඩාත් වැදගත් වන්නේ අප ආරක්ෂා කරන භූමි ප‍්‍රමාණය නොව ජෛව විවිධත්වය සම්බන්ධව එහි ඇති ගුණාත්මක බවයිි. එ් අනුව ජෛව විවිධත්වය වඩාත් සාර්ථකව හා සම්පූර්ණව ආරක්ෂා කිරීමට නම් සංරක්ෂණ බලධාරීන් අවධානය යොමු කළයුත්තේ වැදගත් වාසස්ථාන (නැහ ය්ඉසඒඑි* පිළිබඳවය. විශේෂයෙන් ආරක්ෂිත ප‍්‍රදේශවලින් පිටත පිහිටා ඇති එ්වා පිළිබඳවය. අඩු ව්‍යාප්තියක් ඇති ජීවී විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා මෙය වැදගත් වෙයි.

ලෝකයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත තත්ත්වය පත් කර ඇති ප‍්‍රදේශ අතරින් වැඩි ප‍්‍රමාණයක් ඈත දුෂ්කර ප‍්‍රදේශවල පිහිටා ඇති, දැඩි ශීත හෝ ශුෂ්ක වැනි ආන්තික තත්ත්ව පවත්නා ප‍්‍රදේශ වෙයි. එහෙත් මේ ප‍්‍රදේශවල දැකිය හැක්කේ සාපේක්ෂව අඩු ජීවී විශේෂ ප‍්‍රමාණයකි. මේ පර්යේෂකයන් පෙන්වාදී ඇති ආකාරයට ලෝකයේ භූමි ප‍්‍රමාණයනේ අඩක් පමණ වූ භූමියක් ආරක්ෂා කිරීමෙන් අද ආරක්ෂිත තත්ත්වයේ ඇති ජීවී විශේෂ ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් ආරක්ෂා කළ නොහැකි විය හැකිය.
මේ අධ්‍යයනයේදී ලෝකයේ ආරක්ෂිත ප‍්‍රදේශ හා ක්ෂීරපායින්, පක්ෂීන් හා උභයජීවීන්ගේ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු සමපාත වන ආකාරය සිතියමක් මගින් අධ්‍යයනය කර තිබෙයි. මේ අනුව පෙනී ගොස් ඇත්තේ ඇතැම් ජීවී විශේෂවල අඩවියෙන් කොටසක් ආරක්ෂිත ප‍්‍රදේශ තුළ ඇතත් බරපතළ හිදැස් පවත්නා බවයි.
මෙම අධ්‍යයනයෙන් ලබා දෙන පණිවුඩය පැහැදිලිය. ජීවී විශේෂ ආරක්ෂා කිරීම සඳහා කළ යුත්තේ හුදෙක් භූමිය ආරක්ෂා කිීම නොව එ් සඳහා අවශ්‍ය, වැදගත් හා නිවැරදි ස්ථාන ආරක්ෂා කිරීමය. භූමිය ආරක්ෂා කිරීම වෙනත් ආකාරවලින් වැදගත් බව සැබෑ වුවද, ජීවී විශේෂ ආරක්ෂා කිරීමට නම් අඩු ආරක්ෂාවක් ඇති ජීවී විශේෂ ජීවත්වන ප‍්‍රදේශ හඳුනාගත යුතුව තිබෙයි. මෙවැනි ප‍්‍රදේශ අතර මේ වන විටත් මානව බලපෑම් දැඩි ලෙස දැකිය හැකි ප‍්‍රදේශවල ඉතිරි වී ඇති කුඩා ප‍්‍රමාණයේ බිම් ප‍්‍රදේශ තිබිය හැකිය. මේවා ආරක්ෂා කිරීම ඉතා වැදගත්ය. (මූලාශ‍්‍රය: Science Advances, DOI: 10.1126/sciadv.aat2616)

උණුසුම් ලෝකයක පළිබෝධ හානිය අධිකයි

ජගත් පරිසර පුවත් 279 - 05.09.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 05.09.2018, පි. 3 (Vidusara)



දේශගුණය උණුසුම් වීමත් සමඟ භෝගවලට පළිබෝධකයන්ගෙන් සිදුවන හානිය ඉහළ යා හැකි බව අධ්‍යයනයක් මගින් පැහැදිලි කර ඇත. එ් අනුව ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ යන විට තිරිඟු, වී හා ඉරිඟු වගාවලින් 10%-25% අතර ප‍්‍රමාණයක් වැඩියෙන් පළිබෝධකයන්ට ගොදුරු විය හැකිය.
එය සිදුවන්නේ මෙසේය. උෂ්ණත්වය ඉහළ යාමේදී කෘමීන්ගේ දේහවල ශක්තිය භාවිතය ඉහළ යන අතර මේ නිසා වැඩි වැඩියෙන් ආහාර ගැනීමට ඔවුන් පෙළඹේ. එසේම කෘමීන්ගේ ගහනයද ඉහළ යා හැකිය. මේ තත්ත්වය ලෝකයේ ආහාර සැපයුම සඳහා වැදගත් වන මේ ප‍්‍රධාන ධාන්‍යවල අස්වැන්න අඩු වීම සඳහා හේතු විය හැකිය. මෙම අධ්‍යයනයේදී ඉහළ යන උෂ්ණත්වයකදී කෘමීන් දක්වන ප‍්‍රතිචාරය හා භෝගවලට සිදු කරනු ලබන හානිය පිළිබඳව ගණිතමය පුරෝකථනයක් සිදුකර ඇත. එ් සඳහා ලෝකය පුරා ප‍්‍රදේශ ගණනාවකින් ලබාගත් දත්ත යොදාගෙන ඇත. මෙහිදී කෘමි විශේෂ 38ක් පිළිබඳ පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සිදුකළ අධ්‍යයනවල ප‍්‍රතිඵලද යොදාගෙන තිබෙයි. උෂ්ණත්වය අනුව කෘමීන්ගේ දේහවල ශක්තිය භාවිත වන ආකාරය හා වර්ධනයේ ප‍්‍රතිචාරය අවධානයට ලක් කර ඇත.

දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන උෂ්ණත්වය එක් අංශකයකින් ඉහළ යෑම නිසා භෝගවල අස්වැන්න අඩු වීමක් සිදුවිය හැකි බව මේ වන විටද පෙන්වාදී තිබෙයි. එම හානිය, කෘමීන්ගෙන් සිදුවන බලපෑම නිසා තවත් 50%කින් ඉහළයන බව මේ අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති වැදගත්ම කරුණයි.
ලෝකයේ විවිධ ප‍්‍රදේශවලට මේ තත්ත්වය වෙනස් ආකාරයකින් බලපෑන බවද මෙහි දක්වා ඇත. නිදසුනක් ලෙස ගතහොත් මේ පළිබෝධ හානිය වැඩි වශයෙන් බලපානු ඇත්තේ සෞම්‍ය කලාපයටය. යුරෝපයේ, ඇමරිකාවේ මෙන්ම චීනයේද ගොවිබිම් මේ තත්ත්වයට මුහුණ පෑ හැකිය. බොහෝ යුරෝපා රටවල පළිබෝධ හානිය 50%ත් 100%ත් අතර ඉහළයෑමක් අපේක්ෂිතය. සෞම්‍ය කලාපය ධාන්‍ය අධික ලෙස නිෂ්ාදනය කරන කලාපයක් වීම තත්ත්වය උග‍්‍ර කරයි. එහෙත් නිවර්තන කලාපයේදී මෙවැනි හානියක් ඇති නොවෙයි. එම කලාපයේදී කෘමි පළිබෝධකයන් ප‍්‍රශස්ත උෂ්ණ්වය ආසන්න උෂ්ණත්වයක දිවි ගෙවන බැවින් උෂ්ණත්වය ඉහළ යන විට කෘමි ගහන ප‍්‍රමාණය සීමා වීමටද ඉඩ තිබෙයි. එය භෝග හානිය අඩුවීමට බලපානු ඇත.
මේ තත්ත්වය වැළැක්වීම සඳහා කටයුතු නොකළහොත් ඉදිරියේදී ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය අවදානමකට ලක් වීමට අවස්ථාවක් පවතී. (මුලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aat3466)

Tuesday, September 25, 2018

ශාක විශේෂ අධික වනවගාවල කාබන් තිර කිරීම ඉහළයි

ජගත් පරිසර පුවත් 278 - 29.08.2018

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.08.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අරමුණ ඇතිව වනවගා ඇති කිරීම ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි දෙයකි. මේ පිළිබඳව සිදුකරන ලද පර්යේෂණයකට අනුව එක් ශාක විශේෂයක් වගා කළ වනවගාවකට වඩා ශාක විශේෂ කිහිපයක් මිශ‍්‍ර කර සිදුකරන වනවගාවකින් වැඩි කාබන් ප‍්‍රමාණයක් සංචිත කරගත හැකිය.

වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඞ් ඉවත් කිරීමේ ක‍්‍රියාවලියේදී වනාන්තර වැදගත් කාර්යයක් ඉටු කරයි. වායුගෝලයේ කාබන් ඩයොකසයිඞ් වායුවෙන් 45%ක් පමණ ඉවත් කිරීම සිදුකරනු ලබන්නේ වනාන්තර මගිනි. එසේ අවශේෂණය කරගන්නා කාබන් ඩයොක්සයිඞ් ජෛව ස්කන්ධය ලෙස තැන්පත් කරනු ලැබේ. මෙහිදී අදාළ වනාන්තරයේ දැකිය හැකි ශාක විශේෂ ප‍්‍රමාණය ඊට බලපාන ආකාරය සම්බන්ධව එතරම් වැඩි අවධානයක් යොමු වී තිබුනේ නැත.

චීනයේ වනවගා 27ක් ආශ‍්‍රිතව වසර හයක් තිස්සේ මේ පර්යේෂණය පවත්වා ඇත. මෙම වනවගාවල ශාක විශේෂ 3ක සිට ශාක විශේෂ 20ක් පමණ දක්වා ප‍්‍රමාණයක් වගා කරන ලද එ්වාය. මේ අනුව පර්යේෂකයක් විසින් හෙළිකරගන්නා ලද්දේ ශාක විශේෂ ගණන අධික වනාන්තරවල වේගවත් කාබන් චක‍්‍රයක් ඇති බවයි. එසේම වනයේ විශේෂ විවිධත්වය ඉහළ යන විට ශාකවල කඳේ, මුල්වල හා පසේ තැන්පත් කරන කාබන් ප‍්‍රමාණය ඉහළ යයි. මේ පර්යේෂකයන්ගේ ගණන් බැලීම්වලට අනුව, වනවගාවක එක් අතිරේක ශාකයක් වගා කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් 6.4%ක් පමණ අතිරේකව පරිසරයෙන් ඉවත් කළ හැකිය. එසේම වඩා වියපත් ශාක මගින් ගබඩා කළ හැකි කාබන් ප‍්‍රමාණය ඉහළ යයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, එ්ක වගාවක් වෙනුවට ශාක විශේෂ 10ක් පමණ ප‍්‍රමාණයක් ඇතුළත් මිශ‍්‍ර වනවගාවක් සිදුකර තිබුනේ නම් 1977-2008 අතර කාලයේදී චීනයේ වනවගාවලින් ඉවත් කරනු ලබන කාබන් ඩයොක්සයිඞ් වායු ප‍්‍රමාණයේ වටිනාකම වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් පමණ වෙයි.

මේ මත පදනම්ව උක්ත පර්යේෂකයන් විසින් යෝජනා කරන්නේ වනවගාවලදී එක් ශාක විශේෂයක් වගා කරනු වෙනුවට වගා කරන ශාක විශේෂ ප‍්‍රමාණය ඉහළ නැංවිය යුතු බවයි. එමගින් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඞ් ඉවත් කිරීම මෙන්ම, වනාන්තර තුළ දැකිය හැකි ජෛව විවිධත්වය තවදුරටත් අහිමිවීම වැළැක්වීමටද හැකියාවක් ලැබෙයි. (මූලාශ‍්‍රය: Proceedings of the Royal Society B: Biological Sciences, DOI: 10.1098/rspb.2018.1240)

වායු දූෂණයේ සෞඛ්‍ය බලපෑම පෙන්වන අධ්‍යයන තුනක්

ජගත් පරිසර පුවත් 278 - 29.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.08.2018, පි. 3 (Vidusara)



වායු දූෂණය නිසා ඇතිවන විවිධ අහිතකර බලපෑම් අතර සෞඛ්‍ය බලපෑම් ප‍්‍රධාන වේ. මේ පිළිබඳව කරුණු දක්වන අධ්‍යයන කිහිපයක් පසුගියදා ප‍්‍රකාශයට පත්විය.

පළමු අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ හෘද රෝග සඳහා වායු දූෂණය බලපාන ආකාරයේ බරපතළ බවයි. ඊට අනුව, වායු දූෂණය නිසා ලෝකයේ වාර්ෂිකව ඇති වන මිලියන 4ක් පමණ මරණවලින් 60%ක් පමණ ඇති වන්නේ හෘද්වාහිනී පද්ධතිවල රෝග නිසාය. වායු දූෂණය නිසා ඇති වන හෘද රෝග පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකදී මේ බව හෙළි වී ඇත. මේ සඳහා අංශුමය ද්‍රව්‍ය (particulate matter) සැලකිය යුතු බලපෑමක් සිදුකරන බවද හෙළි වී ඇත. විශේෂයෙන් ඉතා සියුම් අංශුමය ද්‍රව්‍ය මේ සඳහා බලපෑමක් ඇතිකරයි. (European Heart Journal, DOI: 10.1093/eurheartj/ehy481)

වායු දූෂණය නිසා ඇතිවිය හැකි තවත් සෞඛ්‍ය හානියක් සම්බන්ධව තවත් අධ්‍යයනයකින් වාර්තා වී ඇත. එ් අනුව, වායු දූෂණය හේතුවෙන් වකුගඩු ආබාධ ඇති විය හැකිය. ඇමරිකාවේ වෛද්‍ය ගාස්තු සඳහා කළ ඉල්ලූම් හා වාතයේ ගුණාත්මක භාවය පිළිබඳව සමාලෝචනය කිරීමෙන් මේ කරුණු හෙළි වී ඇත. එහිදී හෙළි වූ පරිදි වකුගඩු රෝගය හා PM 2.5 කාණ්ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය අතර ධන සහසම්බන්ධයක් තිබිය හැකි බව පෙන්වාදී ඇත. වාතයේ ගුණත්මක තත්ත්වය ඉහළ ප‍්‍රදේශවලට වඩා දූෂිත වාතය ඇති ප‍්‍රදේශවල වඩා වකුගඩු රෝගීන් ඉහළය. එසේම මේ සියුම් අංශුමය ද්‍රව්‍ය හැරුණුවිට වකුගඩුවලට හානිකරන බැරලෝහද දූෂිතවාතයේ දැකිය හැකිය. (මූලාශ‍්‍රය: PLOS ONE, DOI: 10.1371/journal.pone.0200612)

වායු දූෂණය නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වසරකින් පමණ අඩු වන බව තුන්වන අධ්‍යයනයේ සඳහන් වෙයි. එ් 2016 වර්ෂය හා සම්බන්ධවය. මෙහිදී රටවල් 185ක PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා ඉන්පසුව එය එ් එ් රටට හා ජගත් මට්ටමින් ආයු අපේක්ෂාවට බලපාන ආකාරය අවධානයට ලක්කර ඇත. මෙහිදී පෙනීගොස් ඇති පරිදි ආසියාවේ හා අප‍්‍රිකාවේදී ආයු අපේක්ෂාව වසර 1.2-1.9 අතර ප‍්‍රමාණයකින් අඩු කිරීමට මෙම තත්ත්වය හේතු වී ඇත. එසේම වඩා ගුණාත්මක වායු තත්ත්වයක් පවතින්නේ නම්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යන බවද මේ අනුව පැහැදිලිය. (මුලාශ‍්‍රය: Environmental Science & Technology Letters, DOI: 10.1021/acs.estlett.8b00360)

මීළඟ වසර කිහිපයම උණුසුම් විය හැකියි

ජගත් පරිසර පුවත් 277 - 22.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.08.2018, පි. 3 (Vidusara)


මීළඟ වසර කිහිපයක කාලයේදී ලෝකයේ උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතිය හැකි බව අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙයි. මෙය විෂම හෙවත් අක‍්‍රමවත් උෂ්ණත්වය ඉහළයාමකි.

මේ බව හෙළි වී ඇත්තේ ගණිතමය ආකෘතියක් යොදාගනිමින් ඉදිරි වර්ෂ කිහිපයක කාලයේදී ලෝකයේ උෂ්ණත්වය කවර ආකාරයකින් විචල්‍ය වනු ඇතිද යන්න පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදීය. එහිදී හෙළි වී ඇති ආකාරයට 2018 සිට 2022 දක්වා කාලයේදී ආන්තික උෂ්ණත්වයක් ඇති වීම සඳහා වැඩි අවස්ථාවක් පවතී.

මෙහිදී හෙළි වී ඇති ආකාරයට කාබන් ඩයොක්සයිඞ් වැනි හරිතාගාර වායු නිසා ඇතිවන උෂ්ණත්වය ඉහළ යෑම ක‍්‍රමවත් වේගයකින් සිදු නොවෙයි. නිදසුනක් ලෙස බොහෝ විiාඥයන් විසින් අපේක්ෂා කළේ උෂ්ණත්වය ඉහළ යෑමේ කිසියම් නැවතීමක් හෙවත් අන්තරයක් (hiatus) 21වන සියවස ආරම්භයේදී ඇතිවිය හැකි බවයි. එහෙත් මේ වන විට සිදුකරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ, ලෝකයේ උෂ්ණත්වය ඉහළම වර්ෂ ඇති වී තිබෙන්නේ 2010 වර්ෂයෙන් පසුව බවයි. එසේම වසරින් වසර ඇති වන උෂ්ණත්වයේ විචල්‍යතා දිගුකාලීනව සිදුවන උෂ්ණත්වය ඉහළ යෑමේ ප‍්‍රවණතාවයට බලපෑමක් නොවන බව මෙහිදී හෙළිව ඇති තවත් කරුණකි.

එ් අනුව ලෝකයේ උෂ්ණත්වය පුරෝකථනය කිරීම සඳහා නව ක‍්‍රමවේදයක් දියුණු කිරීමට මේ පර්යේෂකයන් පිරිස සමත්ව ඇත. මෙතෙක් භාවිත කළ ක‍්‍රමවේද වෙනුවට ඔවුන් යොදාගෙන ඇත්තේ 20 හා 21 වන සියවස්වල පැවති දේශගුණ තත්ත්වය පිළිබඳවය. එ් අනුව අද තත්ත්වය හා සංසන්දනය කළ හැකි සදෘශ්‍ය වූ අවස්ථා ඔවුන්ගේ අවධානයට ලක්ව ඇත.

මේ අනුව 2018 සිට 2022 දක්වා වූ ඉදිරි වර්ෂ පහක පමණ කාලයේදී විෂම වූ උෂ්ණත්වය ඉහළ යෑමක් අපේක්ෂා කළ හැක්කේ දැඩි සිසිල් කාලගුණ තත්ත්ව ඇති වීම අඩු වීම නිසාය. මෙය ජගත් මට්ටමෙන් ඇති විය හැකි එකකි. එම උෂ්ණත්වය මානවමූලිකව ඇති වනු ඇති බවට දක්වා ඇති උෂ්ණත්වය ඉහළ යෑමට වඩා ඉහළය.

කෙසේ වෙතත් මේ නව ක‍්‍රමවේදය හුදෙක් සංඛ්‍යානය මත පදනම් වීම නිසා දේශගුණය කෙරේ බලපාන සියලූ සාධක අනුව සලකා බැලීම වැදගත් බව මෙම පර්යේෂණය පිළිඳව අදහස් දක්වන ඇතැම් විද්‍යාඥයන්ගේ අදහස වෙයි. (මූලාශ‍්‍රය: Nature Communications, DOI: 10.1038/s41467-018-05442-8)

කටුපොල් වගාවෙන් අප‍්‍රිකානු වානරයන් හා වඳුරන් අනතුරේ?

ජගත් පරිසර පුවත් 277 - 22.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.08.2018, පි. 3 (Vidusara)



අප‍්‍රිකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත වුවහොත් එම මහාද්වීපයේ වෙසෙන වඳුරු හා වානර විශේෂ මුහුණදී ඇති අවදානම තවදුරටත් ඉහළ යා හැකි බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. මෙයට හේතුව මෙම ශාකය වගා කිරීම සඳහා යෝග්‍ය බොහෝ ප‍්‍රදේශ මෙම ප‍්‍රයිමේටාවන්ගේ ප‍්‍රධාන වාසස්ථාන වීමය.

පාම්තෙල් ලබාගන්නා කටුපොල් ශාකයේ නිජබිම බටහිර අප‍්‍රිකාවය. එහෙත් වර්තමානයේදී ලෝකයේ නිපදවනු ලබන පාම්තෙල් නිෂ්පාදනයෙන් වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දුනීසියාව හා මලයාසියාව වැනි ආසියානු රටවලය. එ් සඳහා එම රටවල වනාන්තර විශාල ලෙස එළි පෙහෙළිකර තිබෙන අතර, වන විනාශයට බලපාන මූලික සාධකයක් ලෙස කටුපොල් වගාව පෙන්වා දී ඇත.

එසේම කටුපොල් වගාකරන සමාගම් අප‍්‍රිකානු රටවල එය වගා කිරීම සඳහා දැන් දැන් උනන්දුවක් දක්වයි. එ් තත්්වය අප‍්‍රිකාවේ වෙසෙන 200කට අධික ප‍්‍රයිමේටා විශේෂවලට එය හානිකර විය හැකි බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මෙම අධ්‍යයනයේදී කටුපොල් සඳහා යෝග්‍ය ප‍්‍රදේශ හා ප‍්‍රයිමේටාවන්ගේ ව්‍යාප්තිය සංසන්දනය කර ඇත. එ් අනුව සතුන්ට හානියක් නොමැතිව හෙක්ටාර මිලියන 0.13කද, අඩු බලපෑමක් ඇතිවන ලෙස හෙක්ටාර මිලියන 3.3කද කටුපොල් වගා කළ හැකි බව ගණන් බලා ඇත. එහෙත් ලෝක ඉල්ලූම සඳහා හෙක්ටාර මිලියන 53ක් පමණ ප‍්‍රමාණයක කටුපොල් වගාකළ යුතු වේ. එසේ සිදුවුවහොත් අප‍්‍රිකානු ප‍්‍රයිමේටාවන්ට බරපතළ තර්ජනයක් ඇති විය හැකි බව පැහැදිලිය.

කෙසේ වෙතත් කටුපොල් වෙනුවට තෙල් ලබාදෙන වෙනත් ශාක වගා කිරීම විසඳුමක් නොවන බව විද්‍යාඥයන් විසින් දක්වා ඇත්තේ මේ ශාකවලින් ලැබෙන අධික අස්වැන්න ලබාගැනීමට වෙනත් ශාක වඩා විශාල ප‍්‍රදේශයක වගා කිරීමට සිදුවිය හැකි නිසාය. මේ තත්ත්වය සඳහා විසඳුමක් ලෙස මේ පර්යේෂකයන් පෙන්වාදෙන පියවරක් වන්නේ තිරසර ආකාරයෙන් වගාකරන ලද පාම් තෙල් තෝරාගැනීමය. එහෙත් එවිට පාම් තෙල් යොදා නිපදවනු ලබන නිෂ්පාදන සඳහා වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇත. නොසේ නම් ඒවා භාවිතය අඩු කිරීමට සිදුවිය හැකිය. එසේම ආහාර හැර සුවඳ විලවුන් හා ශෝධක ආදි වෙනත් නිෂ්පාදන සඳහා පාම් තෙල් භාවිත නොකිරීමද තවත් විසඳුමකි. (මූලාශ‍්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1804775115)

Friday, August 24, 2018

සූර්ය කිරණ පරාවර්තනය කිරීමෙන් භෝග වගා අසාර්ථක විය හැකියි

ජගත් පරිසර පුවත් 276 - 15.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 15.08.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අරමුණින් යෝජනා වී ඇති භූඉංජිනේරුමය විසඳුම් අතර පෘථිවියට පතනය වන සූර්ය කිරණ ආපසු අභ්‍යවකාශයට පරාවර්තනය කිරීම එක් යෝජනාවකි. එහිලා ඉදිරිපත්ව ඇති එක් අදහසකට අනුව ඉහළ වායුගෝලයට වාතිලයන (aerosol) අංශු විසුරුවා හැරීමෙන් පෘථිවියට ලැබෙන සූර්ය කිරිණ අතරින් යම් කොටසක් ආපසු අභ්‍යවකාශයට යොමු කළ හැකිය.

මේ හා සම්බන්ධව කර ඇති අධ්‍යයනයකට අනුව එවැනි පියවරකින් කෘෂි නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑමක් ඇති කළ හැකි බව පෙනෙයි. එම පර්යේෂකයන් එ් සඳහා විමසා බලා ඇත්තේ ගිනි කඳු පිපිරීම්වලදී කෘෂිකර්මයට ඇති වන බලපෑම පිළිබඳවය. 1982 වර්ෂයේදී මෙක්සිකෝවේ එල් චිකොන් ගිනිකන්ද හා 1991 දී පිලිපීනයේ පිනාටුබෝ ගිනිකන්ද පිපිරීම නිසා විමෝචනය වූ සල්ෆේට් අංශු ස්ථරගෝලයට ඇතුළු වී පෘථිවියට ලැබෙන සූර්යාලෝකය ප‍්‍රමාණය අඩු කිරීමට හේතු වී ඇත. එම තත්ත්වය නිසා C3 වර්ගයේ (සෝයා, සහල් හා තිරිඟු) මෙන්ම C4 වර්ගයේ (ඉරිඟු) භෝගවල අස්වැන්නට ඇති වූ බලපෑම මෙහිදී අවධානය යොමුව ඇත. එ් සඳහා 1979 සිට 2009 දක්වා කාලයේදී ලෝකයේ රටවල් 105ක පෙර කී භෝගවල අස්වැන්න සම්බන්ධව හා චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් වාතිලයන අංශු පිළිබඳ දත්ත යොදාගනෙ තිබේ. එ් අනුව පෙර කී ගිනිකඳු විදාරණ අවස්ථාවලදී පිටවූ සල්ෆේට අංශු මගින් සූර්යාලෝකය පතනය වීම අඩු වීමෙන් මෙම භෝගවල අස්වැන්න කෙරෙහි නිෂේධනීය ආකාරයේ බලපෑමක් ඇති කර ඇති බව හෙළිව ඇත.

මෙම අධ්‍යයනයේ ඇති වැදගත්කම වන්නේ භූඉංජිනේරුමය විසඳුමේ අතුරුඵල පිළිබඳව දේශගුණය හා සම්බන්ධව පරීක්ෂණයකින් තොරව පරීක්ෂා කිරීමට හැකිවීමය. දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන භූඉංජිනේරුමය විසඳුම් යොදාගැනීම හා සම්බන්ධව මීට පෙරද විවේචන එල්ල වී තිබූ අතර මේ අධ්‍යයනයෙන් එ් හා සම්බන්ධව වැදගත් හා බරපතළ වූ අහිතකර බලපෑමක් පිළිබඳ සාධක එල්ල වී ඇත. මේ අනුව අනාගතයේදී උක්ත ක‍්‍රමවේදය භාවිතයට ගැනීම පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව පැහැදිලිය.

(මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0417-3)

පරිසර නීති නිසා ඇමරිකාවේ කාර්මික දූෂණය අඩුවෙලා

ජගත් පරිසර පුවත් 276 - 15.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 15.08.2018, පි. 3 (Vidusara)



වර්ෂ 1990 හා 2008 අතර කාලයේදී ඇමරිකාවේ කාර්මික වායු දූෂණයේ මට්ටම වේගයෙන් අඩු වී ඇත. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත්තේ පාරිසරික නීති රීති හා ඒ හා සම්බන්ධව නිෂ්පාදන ක‍්‍රියාවලිය පවිත‍්‍රකරණය සඳහා පියවර ගැනීම මේ සඳහා වැදගත් වී ඇති බවයි.

American Economic Review සඟරාවේ පළ වීමට නියමිත උක්ත අධ්‍යයනයට අනුව 1990-2008 අතර කාලයේදී ඇමරිකාවේ කර්මාන්ත අංශයේ වායු දූෂක විමෝචනය වීම 60%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇත. එහෙත් මේ කාලයේදී නිෂ්පාදකයින් තමන් පෙර නිෂ්පාදනය කළ ආකාරයේම භාණ්ඩ පෙරට වැඩි ප‍්‍රමාණවලින් නිෂ්පාදනය කර තිබෙයි. එසේ තිබියදී මෙවැනි වෙනසක් ඇති වූයේ කෙසේද යන්න මෙම අධ්‍යයනයේදී විමසා බලා තිබෙයි.

එ් සඳහා ඇමරිකාවේ නිෂ්පාදනය කරනු ලැබූ භාණ්ඩ 1400ක් පමණ ප‍්‍රමාණයක 1990-2008 කාලය සඳහා වූ නිෂ්පාදන දත්ත පරීක්ෂා කර ඇත. එසේම එම කර්මාන්තශාලාවලින් නිකුත්වන වායු දූෂක දත්තද මෙම පර්යේෂකයන්ගේ අවධානයට ලක්ව තිබෙයි. ඉන්පසුව අඩු වී ඇති විමෝචන සිදුව ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න පැහැදිලි කර වර්ග කිරීමට ඔවුන් පියවර ගන්නා ලදි. එ් නිෂ්පාදන ප‍්‍රතිදානය, නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල සිදුකර ඇති වෙනස්කම්, නිෂ්පාදන තාක්ෂණයේ වෙනස්කම් ආදි වශයෙනි. මෙහිදී පෙනී ගොස්තිබුනේ වැඩිම විමෝචන අඩුවීමක් සිදුව ඇත්තේ නිෂ්පාදන තාක්ෂණයේ සිදුකර ඇති වෙනස්කම් නිසා බවය.

මේ සඳහා කර්මාන්තකරුවන් ස්වකීය නිෂ්පාදන ක‍්‍රියාවලිය පිරිසිදු කිරීමට දැඩි ලෙස පියවර ගෙන තිබීම මේ සඳහා බලපා ඇත. මෙසේ පිවිතුරු නිෂ්පාදන ක‍්‍රියාවලිය යොදාගැනීමට ඔවුන් පෙළැඹී ඇත්තේ පවත්නා නීති රීති පද්ධති සමඟ ගැලපීම සඳහාය. මේ සඳහා දායක වී ඇති පනත ලෙස හඳුනාගෙන ඇත්තේ මධයම රජයේ පවිත‍්‍ර වාතය පිළිබඳ පනත හා ඊට සම්බන්ධ නීති රීතිය. දැනට වර්ෂ පනහකට පමණ පෙර අපේක්ෂා කරන ලද්දේ ඉහළ යන වායු දූෂණය නිසා ඇමරිකාවේ ඇතැම් මහා නගරවල වාසය කිරීම 20වන සියවස අග පමණ වන විට අසීරු වනු ඇති බවයි. එහෙත් පාරිසරික නීති රීති නිසා මේ තත්ත්වය වෙනස් වී වායු දූෂණය වේගයෙන් පහළ වැටී තිබෙයි.

හායනය වන ප්ලාස්ටික්වලින් හරිතාගාර වායු පිටවිය හැකියි

ජගත් පරිසර පුවත් 275 - 08.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 08.08.2018, පි. 3 (Vidusara)



පරිසරයේදී හායනයට ලක්වන සුලභ ප්ලාස්ටික් වර්ගවලින් හරිතාගාර වායු කිහිපයක් නිකුත්වීම සිදු වන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙයි. මේ අනුව බොහෝ සුලභ ප්ලාස්ටික් වර්ග සූර්යාලෝකයට ලක්ව ප‍්‍රකාශ-හායනයට (photo-degradation) බඳුන්වන විට මීතේන් හා එතිලීන් වායු නිකුත්වන අතර, එ්වා හරිතාගාර වායු ලෙස ක‍්‍රියාකරන වායු වර්ග වෙයි.

මේ තත්ත්වය ජගත් මට්ටමෙන් දැකිය හැකි දෙයක් වන අතර, එය මෙතෙක් අවධානයට ලක් නොවූ හා අනපේකක්ෂිත වූ කරුණක් ලෙස දක්වා ඇත. මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති ප්ලාස්ටික් වර්ග වන පොලිකාබනේට්, ඇක්රිලික්, පොලිප්‍රොපිලීන්, පොලිඑතිලීන් ටෙරෙප්තැලේට්, පොලිස්ටයිරීන් හා පොලි එතිලීන් වර්ග දෙක (LDPE හා HDPE) යන ප්ලාස්ටික් වර්ග මෙහිදී අවධානයට යොමු වී ඇත. මේ අතරින් පොලිඑතිලීන් යනු වඩාත් නිෂ්පාදනය කරනු ලබන හා බැහැර කරනු ලබන ප්ලාස්ටික් වර්ගය මෙන්ම වඩාත් අධික ලෙස පෙර සඳහන් හරිතාගාර වායු වර්ග විමෝචනය කරන ප්ලාස්ටික් වර්ගයද වෙයි.

මෙහිදී සිදුකර ඇති පරීක්ෂණයේදී පෙනී ගොස් ඇති ආකාරයට කාලයත් සමඟ පොලිඑතිලීන් වැනි ප්ලාස්ටික්වලින් හරිතාගාර වායු විමෝචනය වීම වේගවත් වී ඇත. සාගරයේ දැකිය හැකි ප්ලාස්ටික්වලින්ද හරිතාගාර වායු විමෝචනය වෙයි. මෙය සිදුවන්නේ ප්ලාස්ටික් ප‍්‍රකාශ හායනයට ලක් වන අවස්ථාවේදීය.

මේ ආකාරයෙන් ප්ලාස්ටික් මගින් හරිතාගාර වායු නිපදවීම වැදගත් වන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනය මෙන්ම බැහැරලීමද අනාගතයේදී ඉහළ යන බැවිනි. ඉදිරි දශක දෙකක පමණ කාලයේදී ලෝකයේ ප්ලාස්ටික් නිෂ්පාදනය දෙගණයකින් පමණ ඉහළ යනු ඇති බව පෙන්වාදී ඇත. එසේම පරිසරයට බැහැර කරනු ලබන ප්ලාස්ටික් ප‍්‍රමාණයද ඉහළ යෑම තුළ හරිතාගාර ආචරණය සඳහා හේතුවන මේ වායු විමෝචන නිකුත්වීම ගැටලූ සහගත කරුණක් විය හැකිය. මේ දක්වා මීතේන් හා එතිලීන් වායු චක‍්‍රවල මෙම මූලාශ‍්‍රය දෙක පිළිබඳව අවධානයක් යොමු කර නොතිබිණි. එ්වා යම් ප‍්‍රමාණයකින් හෝ වැදගත් හරිතාගාර වායු ප‍්‍රභව විය හැකිය. 

(මූලාශ‍්‍රය: PLOS ONE, DOI: 10.1371/journal.pone.0200574)

එල් නිනෝ තත්ත්වයක් නොමැතිව ගෙවුණු උණුසුම අධිකම වර්ෂය 2017 වර්ෂයයි

ජගත් පරිසර පුවත් 275 - 08.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 08.08.2018, පි. 3 (Vidusara)



එල් නිනෝ තත්ත්වයක බලපෑමක් නොමැතිව ගෙවී ගිය උණුසුමින් අධිකතම වර්ෂය ගත වූ 2017 වර්ෂය බව වාර්තාවක් මගින් පෙන්වාදී තිබෙයි. ඇමරිකානු කාලගුණ විද්‍යා සංගමය මගින් නිකුත්කරනු ලබන වාර්ෂික වාර්තාවක 2017 ප‍්‍රකාශනය වන මෙම වාර්තාව ලෝකය පුරා දේශගුණ විද්‍යාඥයින් පන්සියයක් පමණ පිරිසකගේ දායකත්වයෙන් සකස් කරනු ලබන්නකි. ඊට අනුව 2017 වර්ෂය යනු වාර්තා අනුව ඉහළම උෂ්ණත්වය අතින් තුන්වැනි තැන ගන්නා වර්ෂයද වෙයි. ඊට වඩා උෂ්ණත්වය අධික වූ වර්ෂ වී ඇත්තේ 2016 වර්ෂය හා 2015 වර්ෂය පමණකි.

2017 වර්ෂයේදී ලෝකයේ ඇතැම් රටවල ඉහළම උෂ්ණත්වය පිළිබඳ මෙතෙක් පැවැති වාර්තා අලූත් වී ඇත. ස්පාඤ්ඤය, බල්ගේරියාව, මෙක්සිකෝව හා ආර්ජන්ටිනාව මේ සඳහා උදාහරණ වෙයි. මේ අතර එම වර්ෂයේදී වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණය මිලියනයකට කොටස් 405 දක්වා ඉහළ ගොස් ඇත.

පැවති අධික උෂ්ණත්වය නිසා ඇති වූ තත්ත්ව වර්ෂය පුරාම දැකිය හැකි හැකි විය. නිදසුනක් ලෙස ආක්ටික් ප‍්‍රදේශයේ අයිස් මට්ටම චන්ද්‍රිකා වාර්තා සහිත වසර 37ක කාලයේ වාර්තා වූ අඩුම අගය වාර්තා කළේය. ආක්ටික් ප‍්‍රදේශයේ පැවති උෂ්ණත්වයද එම ප‍්‍රදේශයේ සාමාන්‍ය උස්ණත්වයට වඩා අංශක 3-4ක් පමණ අඩු විය. එසේම ලෝකයේ ග්ලැසියර දියවීම අඛණ්ඩව 38 වැනි වර්ෂයේදීද වාර්තා වී ඇත. සාමාන්‍ය ග්ලැසියරයක මීටර් 22ක් ඉවත් කිරීමට සමාන ග්ලැසියර දියවීමක් 1980 වර්ෂයේ සිට මේ දක්වා ඇති වී තිබෙන බව මෙම වාර්තාව පෙන්වා දෙයි. මේ අතර මුහුදු මට්ටම ඉහළ යෑම 1983 වර්ෂයේ පැවති සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට සෙන්ටි මීටර් 7.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය චන්ද්‍රිකා වාර්තා සහිත පසුගිය වසර 25ක කාලයේදී වාර්තා වී ඇති වැඩිම අගය වෙයි.

කලින් කලට ඇති වන ස්වාභාවික ක‍්‍රියාවලයක් වන එල් නිනෝ තත්ත්වයක දී පැසිෆික් සාගර ප‍්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යයි. 

(මූලාශ‍්‍රය: State of the Climate in 2017, www.ametsoc.net)

උණුසුම් කාලවකවානුවල සියදිවි නසාගැනීම් ඉහළ යයි

ජගත් පරිසර පුවත් 274 - 01.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.08.2018, පි. 3 (Vidusara)



උෂ්ණත්වය හා සියදිවි නසාගැනීම් අනුපාතිකය අතර යම් සම්බන්ධයක් ඇති බවක් පසුගියදා ප‍්‍රකාශයට පත්වූ අධ්‍යයනයකින් යෝජනා කර ඇත. එහිදී හෙළි වී ඇති ආකාරයට සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අධික වූ මාසවලදී වැඩි සියදිවි නසාගැනීම් ප‍්‍රමාණයක් ඇති වෙයි. මෙය ග‍්‍රීෂ්ම ඍතුවේදී පමණක් නොව වැඩි උණුසුමක් දැකිය හැකි ශීත ඍතුවලදීද දැකිය හැකි වීම විශේෂයකි.

මෙම අධ්‍යයනයේදී ඇමරිකාවේ හා මෙක්සිකෝවේ සිදු වී ඇති සියදිවි නසාගැනීම් ගැන අවධානය යොමු කර ඇත. ඇමරිකාවේ 1968 සිට 2004 දක්වාද, මෙක්සිකෝවේ 1990 සිට 2010 දක්වාද සිදුව ඇති සියදිවි නසාගැනීම් 851,088ක් හා 611,366ක් පමණ ප‍්‍රමාණයක් මෙහිදී සැලකිල්ලට ලක්ව තිබෙයි. එ් කාලයේදී අදාළ ප‍්‍රදේශවල මාසිකව සිදුවන උෂ්ණත්ව විචල්‍යය පිළිබඳ දත්ත යොදාගනිමින් එය හා සියදිවි නසාගැනීම් අතර සම්බන්ධයක් තිබේදැයි පරීක්ෂාවට ලක්කර ඇත. මෙහිදී හෙළි වී ඇති ආකාරයට සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වය ඉහළ යන අවස්ථාවකදී ඇමරිකාවේ සියදිවි නසාගැනීම් අනුපාතිකයේ 0.7%ක ඉහළ යෑමක්ද, මෙක්සිකෝවේ 2.1%ක ඉහළ යෑමක්ද වාර්තා වන බව අනාවරණය වී තිබෙයි. සාමාන්‍යයක් ලෙස ගත්විට සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වය ඉහළ යන විට සියදිවි නසාගැනීම් අනුපාතිකය 1.4%කින් ඉහළ යයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයක් සහිත මාසවලදී ඕනෑම ප‍්‍රදේශයක සියදිවි නසාගැනීම් ප‍්‍රමාණය ඉහළ යා හැකිය.

මෙහිදී හෙළි වූ තවත් වැදගත් කරුණක් වූයේ අනෙක් බොහෝ සාධක මෙහිදී වැදගත් වී නොමැතිවීමයි. අදාළ ප‍්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනස් වුවද මෙම ප‍්‍රවණතාවය සමාන විය. වර්ෂයේ මාසය අනුවද එය වෙනස් නොවීය. ස්ත‍්‍රී-පුරුෂභාවය, සමාජ-ආර්ථික තත්ත්වය හෝ ගිනිඅවි සඳහා ඇති ප‍්‍රවේශය, වායුසමන යන්ත‍්‍ර තිබීම හෝ නාගරික-ග‍්‍රාමීය ස්වභාවය වැනි සාධක අනුව මෙම ප‍්‍රවණතාවය වෙනස් වී නැත. උෂ්ණත්වය ඉහළ ගියහොත්, සියදිවි නසාගැනීම් ඉහළ යයි. මෙවැන්නක් සිදුවන්නේ මානසික යහපැවැත්මට යම් බලපෑමක් උෂ්ණත්වය නිසා සිදුවන බැවින් බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ අනුව දේශගුණ වෙනස් වීම මගින් ඇතිවෙන බවට පුරෝකථනය කර ඇති උෂ්ණත්වය ඉහළ යාම නිසා අනාගතයේදී සියදිවි හානිකරගැනීම් තවත් ඉහළ යා හැකිය. නිදසුනක් ලෙස ගතහොත් 2050දී ඇතිවෙතැයි අපේක්ෂිත සෙල්සියස් අංශක 2.5 උෂ්ණත්වය ඉහළ යාම සිදුවුවහොත් සියදිවි නසාගැනීම් 1.85%කින් ඉහළ යා හැකිය.

(මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/s41558-018-0222-x)

තාප ප‍්‍රවාහ ලෝකයේ අවධානයට

ජගත් පරිසර පුවත් 274 - 01.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.08.2018, පි. 3 (Vidusara)



මෑත භාගයේදී යුරෝපා රටවල් ගණනාවක් ඇතුළුව ලෝකයේ උතුරු අර්ධගෝලයේ ඇති වී තිබෙන උණුසුම් කාලගුණ තත්ත්වය හා එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන තාප ප‍්‍රවාහ නිසා ඇති වූ හානි පිළිබඳව මේ වන විට අවධානය යොමු වී තිබෙයි. මෙම තාප ප‍්‍රවාහය යුරෝපයේ රටවල් ගණනාවක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. රටවල් ගණනක ලැව් ගිනි ඇති වී තිබෙන අතර, උෂ්ණත්වය නිසා සිදුවන මරණ ගණනද ඉහළ ගොස් තිබෙයි. මේ තත්ත්වය ආක්ටික් කලාපයටද බලපා තිබීම සුවිශේෂ කරුණකි.

යුරෝපය පුරා මේ වන විට දැකිය හැකි තාප ප‍්‍රවාහ තත්ත්වය ඇති වීමේ අවදානම දෙගුණයකින් පමණ ඉහළ නැංවීමට මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් හේතු වූ බව මේ පිළිබඳව ඇගැයීමක් සිදු කළ විද්‍යාඥයන් පිරිසක් පෙන්වාදී ඇත. ඔවුන්ගේ මූලික වාර්තාවට අනුව මෙම තාප ප‍්‍රවාහය සම්බන්ධව දේශගුණ වෙනස් වීමේ සම්බන්ධයක් ඇති බව පැහැදිලිය. යුරෝපයේ වෙනස් ප‍්‍රදේශ හතක පිහිටා ඇති කාලගුණ මධ්‍යස්ථාන හතකින් ලබාගත් ඓතිහාසික උෂ්ණත්ව දත්ත හා මෙවර උෂ්ණත්වය සංසන්දනය කිරීමෙන් ඔවුන් මේ කඩිනම් ඇගැයීම සිදු කර ඇත. මෙහිදී වසර සියයක පමණ කාලයක දත්ත යොදාගෙන ඇති අතර, දේශගුණ ආකෘතිද භාවිත කරමින් මේ අදහස් පළකර ඇත. ඔවුන්ට අනුව මෙවැනි තාප ප‍්‍රවාහ ඇති වීම අනාගතයේදී වඩාත් ඉහළ යා හැකිය. නිදසුනක් ලෙස ගතහොත් 2040 වර්ෂය පමණ වන විට මෙවැනි තත්ත්ව වසරක් හැර වසරක් පමණ වුවද ඇති විය හැකිය. World Weather Attribution නම් කණ්ඩායමක් විසින් සිදුකර ඇති මේ අධ්‍යයනයේ අවසන් ප‍්‍රතිඵලය ඉදිරියේදී පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ පාරිසරික විගණන කමිටුව පෙන්වාදී ඇත්තේ 2040 පමණ වන විට එරට තුළ ග‍්‍රීෂ්ම ඍතුවේදී මෙවැනි උණුසුම් තාප ප‍්‍රවාහ ඇති වීම සාමාන්‍ය සිදුවීමක් වනු ඇති බවයි. එ් වන විට ග‍්‍රීෂ්ම ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.5කට ළඟා වීම සාමාන්‍ය දෙයක් විය හැකිය. එ් දේශගුණ වෙනස් වීම නිසාය. එරට රජය කඩිනමින් කටයුතු නොකළ හොත් 2050 වන විට වර්ෂයකට උණුසුම නිසා සිදුවන මරණ ගණන 7000ක් පමණ විය හැකි බවද ඔවුන් සඳහන් කර තිබෙයි.

Tuesday, July 31, 2018

හිපපොටේමස් මරා දැමීමේ සැම්බියානු උත්සාහය

ජගත් පරිසර පුවත් 273 - 25.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.07.2018, පි. 3 (Vidusara)



තම රටේ වෙසෙන හිපපොටේමස් සතුන්ගේ ගහනය ඉහළ ගොස් ඇති බැවින් එම සතුන්ගෙන් යම් ප‍්‍රමාණයක් ජයස්මාරක දඩයම් (trophy hunting) ක‍්‍රීඩාව යොදාගනිමින් මරා දැමීමට සැම්බියා බලධාරීන් කළ යෝජනාවක් සම්බන්ධව සංරක්ෂණ අංශවල එතරම් අවධානයකට ලක්ව නැති කරුණකි. මේ යෝජනාව අනුව වර්ෂයකට සතුන් 250ක් පමණ බැගින් මරා දැමීමට යෝජනාව වී ඇති අතර එ් සඳහා දඩයම් කරුවන් සඳහා අවස්ථාව ලබාදීමෙන් ආදායමක් උත්පාදනය අපේක්ෂාවයි. මේ සතුන්ගේ ගහනය වර්ධනය වී ඇති බැවින් ඔවුන් මගින් සෙසු සතුන් අතරද ඇන්ත‍්‍රැක්ස් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් තිබීම මේ සඳහා ඉදිරිපත්ව ඇති හේතුව බව පෙනේ. මෙය වනසතුන් අතර බරපතළ තත්ත්වයක් ඇති කළ හැකි රෝග තත්ත්වයකි.

මේ සඳහා යෝජනා වී ඇත්තේ එරට ලූවන්ග්වා නම් ගංගාවේ වෙසෙන හිපපොටේමස් සතුන් දඩයම් කිරීමය. මේ වන විට ලෝකයේ වැඩිම හිපපොටේමස් සතුන් පිරිසක් ජීවත්වන්නේ මේ ගංගාවේ වන අතර, 25,000කට අධික එම ප‍්‍රමාණය ලෝකයේ වෙසෙන හිපෝ සතුන් අතරින් 20%ක් පමණ වෙයි. එය වැඩිම හිපෝ ගහන ඝනත්වයක් ඇති ගංගාවයි.

හිපපොටේමස් යනු විශාල ක්ෂිරපායී විශේෂ අතරින් එතරම් අවධානයකට යොමු වී නැති සත්ත්ව කොට්ඨාසයකි. සිංහයන්, අලින්, ජිරාෆ් හා රයිනෝසිරස් සතුන් තරම් අවධානයකට හිපපොටේමස් සතුන් පත් නොවේ. හිපපොටේමස් සතුන් තෝරා මරා දැමීමට ගෙන ආ යෝජනාව ලෝකයේ අවධානයට එතරම් ලක් නොවූයේ එම නිසා බව ඇතැම් මාධ්‍ය දක්වා ඇත. මේ අතර ඇතැම් සෆාරි ආයතන හිපෝ දඩයම් කිරීම පිළිබඳව දැන්වීම් පළකිරීමටද ගෙන තිබෙයි.

මෙය සංරක්ෂණය සඳහා සාර්ථක පියවරක්ද යන්න මේ වන විට සාකච්ඡුාවට ලක්ව ඇත. හිපෝ සතුන්ගේ ගහනය අධික වී ඇති බවක් ඇතැම් විද්‍යාඥයෝ පිළිනොගනිති. එසේම ක‍්‍රිඩාවක් ලෙස සිදුකරන දඩයම සංරක්ෂණ පියවරක් ලෙස කෙතරම් සාර්ථකද යන්නද මෙසේ සාකච්ඡුාවට ලක්ව ඇති කරුණකි. කෙසේ වෙතත් හිපෝ ගහනය පාලනය සඳහා මේ පියවර සුදුසු බව කියන විද්‍යාඥයින් හා ආයතන ද තිබෙයි. එමෙන්ම වනජීවී සංචාරක ආකර්ෂණයක් ඇති රටක් ලෙස සැම්බියාවේ ප‍්‍රතිරූපයට මෙමගින් ඇති විය හැකි බලපෑමද මෙහිදී අවධානයට ලක්ව තිබෙන කරුණකි. මිට පෙර 2016 වර්ෂයේදිද සැම්බියා රජය මෙම යෝජනාව සාකච්ඡුාවට ගත්තද ඊට එරෙහිව නැගුණු දැඩි විරෝධය නිසා එය හකුලා ගන්නට යෙදුණි.

සාගර ප‍්‍රවාහ නිසා උෂ්ණත්වය ඉහළට

ජගත් පරිසර පුවත් 273 - 25.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.07.2018, පි. 3 (Vidusara)



සාගර ප‍්‍රවාහවල වේගය අඩු වීම හා දුර්වල වීම නිසා ඇති විය හැකි තත්ත්වය ලෝකයේ අවධානයට ලක් වූයේ කලක පටන්ය. නිදසුනක් ලෙස ‘අත්ලාන්තික් මධ්‍යාහ්න පෙරළුම් සංසරණය’ (Atlantic Meridional Overturning Circulation (Amoc)) ලෙස හඳුන්වන සාගර ප‍්‍රවාහය නිසා ලෝකයේ ප‍්‍රදේශ රැුසක උෂ්ණත්වය අඩු වී දැඩි ශීත තත්ත්වයක් ඇති වෙතැයි අදහසක් පවතී. 2004 දී තිරගත වූ The Day After Tomorrow චිත‍්‍රපටයේ කතා තේමාව වූයේ උක්ත ප‍්‍රවාහය අක‍්‍රිය වීම නිසා ඇති වූ දැඩි ශීත තත්ත්වයකි. එහෙත් මේ පිළිබඳව සිදුකරන ලද, පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව මෙම සාගර ප‍්‍රවාහය දුර්වලවීම නිසා ලෝකයේ උෂ්ණත්වයට සැලකිය යුතු බලපෑමක් විය හැකි වුවත් එය එවැනි සිසිල් වීමක් නොවේ.

මෙක්සිකෝ බොක්ක ප‍්‍රදේශයෙන් ආරම්භ වන මෙම ප‍්‍රවාහය උතුුරු ඇමරිකාවට නුදුරින් ගලා ගොස් අත්ලාන්තික් සාගරය හරහා අයර්ලන්තය හා බි‍්‍රතාන්‍යය ආසන්නයෙන් යුරෝපයට ළඟා වෙයි. මෙය යුරෝපා ප‍්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යෑමට හේතු වන බව විශ්වාස කරන ලදි. මෙම නව අධ්‍යයනයෙන් පෙනී යන්නේ ලෝකයේ තාපය බෙදාහැරීම පිණිස වැදගත් කාර්යයක් මෙම සාගර ප‍්‍රවාහය සිදුකරන බවයි. මෙම ප‍්‍රවාහය වේගයෙන් ගමන්කරන විට වායුගෝලයේ ඇති වාතයේ තාපයෙන් වැඩි ප‍්‍රමාණයක් එමගින් උරාගෙන සාගරයේ මීටර් 1500ක් පමණ ගැඹුරට ගෙන ගොස් ගබඩා කෙරේ. එහෙත් ප‍්‍රවාහයේ වේගය අඩු වන විට සාගර ප‍්‍රවාහය මගින් උරාගන්නා තාපය අඩු වන අතර, එනිසා වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යයි. 1975-1998 අතර සමය මෙම ප‍්‍රවාහයේ වේගය අඩු වූ කාලයක් වන අතර, එනිසා ලෝකයේ උෂ්ණත්වය ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇත. ඉන් පසුව ඇති වී තිබෙන්නේ වැඩි වේගයක් ඇති වකවානුවකි. යළිත් 2004 පමණ සිට ප‍්‍රවාහයේ වේගයේ දැඩි අඩුවීමක් ඇති බැවින් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යයි. එය තවත් වසර 20ක් පමණ කාලයක් පවත්නා බව සිතිය හැකිය.

පසුගිය වසර 70ක කාලයේදී මෙම සාගර ප‍්‍රවාහයේ සිදුව ඇති වෙනස්කම් මෙම අධ්‍යයනයේදී විමසා බලා ඇත. එහිදී සාගර ප‍්‍රවාහයේ වේගය අඩු වීම හා වේගය වැඩි වීම ස්වාභාවිකව සිදුවන බව හඳුනාගෙන තිබෙයි. මෙසේ ස්වාභාවිකව සිදුවන විචල්‍යයේ බලපෑම මානව බලපෑමට වඩා අධිකය. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0320-y)

මාළු දැල්වලට අසුවන වෙනත් සතුන් බේරාගැනීමට විදුලි බුබුළු

ජගත් පරිසර පුවත් 272 - 18.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.07.2018, පි. 3 (Vidusara)



මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා දැල්වලට හසුවීමෙන් පක්ෂීන් හා වෙනත් සාගර ජීවීන් මිය යෑම පාරිසරික වශයෙන් බරපතළ ගැටලූවකි. මේ ඇතැම් සතුන් තර්ජනයට ලක්ව ඇති ජීවීන් වීම එයට හේතුවයි. මෙසේ ධීවර කර්මාන්තයේදී නිරපරාදේ ජීවිත අහිමිවන ජීවීන් ආරක්ෂා කරගත හැකි සරළ හා ලාබදායක ක‍්‍රමවේදයක් පිළිබඳව පර්යේෂණයකින් පෙන්වා දී තිබෙයි. ඒ අනුව සාගරයේ යොදන කරමල් දැල්වලට (gill net) LED විදුලි බුබුළු සවි කිරීමෙන් එ්වාට මුහුදු පක්ෂීන් හා වෙනත් සාගර වාසී සතුන් හසු වීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කරගත හැකිය.

පේරු රාජ්‍යයේ සිදු කර ඇති මෙම අධ්‍යයනය සන්ධ්‍යාකාලයේ සිට පසුදා උදෑසන දක්වා මුහුදේ යොදනු ලබන කරමල් දැල් යොදාගෙන සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇති පරිදි LED විදුලිබල්බ සවිකර ඇති මාළු දැල්වලට හසු වන දේශීය දියකාවුන් විශේෂයක පක්ෂින් ගණන 85.1%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු වී තිබෙයි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත්, මෙම අධ්‍යයනයේදී විදුලි බුබුළු සවි කළ දැල්වලට පක්ෂීන් 6 දෙනෙකු පමණක් හසු වී ඇති අතර, විදුළු බුබුළු සවි නොකළ දැල්වලට පක්ෂීන් 39ක් හසු වී ඇත. එම පක්ෂීන් සාමාන්‍යයෙන් නිතර මාළු දැල්වලට හසුවන පක්ෂි විශේෂයකි. එසේම මෙම පර්යේෂණ කණ්ඩායම මීට පෙර සිදුකර ඇති තවත් අධ්‍යයනයකදී පෙනී ගොස් ඇති ආකාරයට මෙවැනි විදුලි බුබුළු සවි කිරීම මගින් මාළු දැල්වලට හසු වන විවිධ විශේෂවලට අයත් මුහුදු කැස්බෑවුන් ගණන 64%කින් පමණ අඩු කරගත හැකි වී ඇත.

මෙහි ඇති වැදගත්කම වන්නේ LED විදුලි බුබුළු මගින් පක්ෂීන් හා සමුද්‍ර ජීවීන් ආරක්ෂා කරගැනීම සඳහා වඩා ලාබදායී, විශ්වාසය තැබිය හැකි හා දිගුකාලයක් පවත්නා ක‍්‍රමවේදයක් ලෙස යොදාගතහැකි වීමයි. එය බහු විධ ජීවී විශේෂ සඳහා ඵලදායී ලෙස යෙදාගත හැකිවීම වැදගත් වන අතර, එය සිදුවන්නේ මත්ස්‍ය අස්වැන්නේ කිසිදු අඩුවීමක් සිදු නොවන අතර වීම මෙහි ඇති විශේෂිත සිදුවීමයි. (මූලාශ‍්‍රය: Royal Society Open Science, DOI: 10.1098/rsos.180254)

ආසියානුවන් වායු දූෂණයට ලක්වීම අධිකයි

ජගත් පරිසර පුවත් 272 - 18.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.07.2018, පි. 3 (Vidusara)



ඇමරිකාවේ හෝ යුරෝපයේ වාසය කරන්නවුන්ට වඩා ආසියානුවන් එළිමහනේ මාර්ගස්ථ වායු දූෂණයට ලක්වීම අධික බව එ් පිළිබඳව සිදු කළ සවිස්තර අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ආසියාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට අදාළ ක්ෂුද්‍ර පරිසර පිළිබඳව සිදුකර ඇති අධ්‍යයන ගැන මෙහිදී අවධානය යොමු කර තිබෙයි. එ් අනුව, ඇවිදීම, වාහන ධාවනය, බයිසිකල් පැදීම, මෝටර්සයිකල් පැදීම හා බස්රථ ධාවනය වැනි අවස්ථාවලදී වායු දූෂණයට නිරාවරණය වීම හා දූෂක සාන්ද්‍රණ මට්ටම් සම්බන්ධව අවධානය යොමු කර ඇත. එහිදී සියුම් අංශුමය ද්‍රව්‍ය (PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය), කළු කාබන්, අති සියුම් අංශු (ultrafine particles – UFP - මයික්‍රොමීටර් 0.1ට අඩු අංශු) වැනි වායු දූෂණයේ විවිධ අංශු පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මෙහිදී හෙළි වී ඇති ආකාරයට ආසියාවේ කාර්යබහුල නගරයක පදිකයකු නිරාවරණය වන සියුම් අංශු මට්ටම (ඝන මීටරයකට මයික්‍රෝ ග‍්‍රෑම් 42) යුරෝපයේ පදිකයකුට වඩා 1.6 ගුණයක් අධිකය. එසේම ආසියාවේ බස් රථවල (76 μg m-3) හා කාර් රථවල (74 μg m-3) PM2.5 කාණ්ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය මට්ටම යුරෝපයේ හා ඇමරිකාවේ මෙන් දෙගුණයක් හෝ තෙගුණයක් තරම් ඉහළය. ආසියානු කාර් රියැදුරෙකු ඇමරිකානු හෝ යුරෝපීය කාර් රියැදුරකුට වඩා නව ගුණයක් අධික වායු දූෂණයකට නිරාවරණය වෙයි. ස්ථානීය වශයෙන් ගත් විට, හොංකොංවල අති සියුම් අංශු මට්ටම යුරෝපයට වඩා සිව් ගුණයක් තරම් වන අතර, නවදිල්ලියේ කළු කාබන් මට්ටම යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ මෙන් පස් ගුණයක් තරම් අධිකය.

ආසියාවේ වායු දූෂණය බෙහෙවින් අවධානයට ලක් වූ කරුණකි. ආසියාවේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල ඇතිවන අකල් මරණ අතරින් 88%ක් පමණ ඇති වන්නේ වායු දූෂණය නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම ආසියාවේ ධාවනය වන රථවාහන ප‍්‍රමාණයද ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙයි. ඒ අනුව වායු ධූෂණයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා සාධනීය පියවර නොගන්නේ නම් මේ ගැටලූව තවදුරටත් බරපතළ විය හැකි බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Atmospheric Environment, DOI: 10.1016/j.atmosenv.2018.05.046)

පැරිස් ඉලක්ක අත්පත්කරගැනීම සඳහා තව බොහෝ දේ කළ යුතුයි

ජගත් පරිසර පුවත් 271 - 11.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.07.2018, පි. 3 (Vidusara)



පැරිස් ගිවිසුමේ සඳහන් වන දේශගුණ ඉලක්ක අත්පත් කරගැනීම හෙවත් මිහිතලය උණුසුම් වීම පාලනය කිරීම අවශ්‍ය නම් එ් සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති බව පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් යළිත් තහවුරු කර ඇත. එ් අනුව වර්තමාන දේශගුණ ප‍්‍රතිපත්ති යටතේ හා පිරිසිදු බලශක්ති නිෂ්පාදන ප‍්‍රයත්නය යටතේ, කර්මාන්ත ප‍්‍රවාහනය හා ගොඩනැගිලි උණුසුම් කිරීම සඳහා පොසිල ඉන්ධන යොදාගැනීම මගින් කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන අධික ලෙස නිකුත් විය හැකි අතර, එ් නිසා පැරිස් දේශගුණ ඉලක්ක අත්පත් කරගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකිය.

මේ අනුව බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමෙහි හා කාබන් ශුන්‍ය වූ පිරිසිදු බලශක්තිිය සම්පාදනයේ ඇති වැදගත්කම මේ අනුව පැහැදිලිය. එසේ නොවුවහොත් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත ඉලක්කය වන ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට සීමාකිරීම සඳහා වන ප‍්‍රයත්නය කාබන් ඩයොක්සයිඞ් වායුව ඉවත් කිරීම වැනි ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු විය හැකිය. එසේම අංශක 1.5කට උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීම සිදු කළ නොහැකි දෙයක් වනු ඇත. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ආකෘති කිහිපයක් පදනම් කරගනිමිනි.

වර්තමාන ලෝකයේ බරපතළම ගැටලූව ලෙස හඳුනාගෙන ඇති දේශගුණ වෙනස් වීම සඳහා ඉදිරිපත්ව ඇති විසඳුම වන්නේ පැරිස් දේශගුණ ගිවිසුමයි. එහෙත් එය පදනම්ව ඇත්තේ ලෝකයේ රටවල් විසින් ස්වේච්ඡාවෙන් ප‍්‍රකාශයට පත්කර ඇති ජාතිකමය නිර්ණය කරන ලද දායකත්වයන් (NDC) මතය. එහෙත් මේ වන විට එ් එ් රටවල් විසින් දක්වා ඇති දායකත්ව මත හා පවත්නා තත්ත්වය අනුව පැරිස් ගිවිසුමෙන් ප‍්‍රකාශිත ඉලක්ක අත්පත් කරගැනීම ඇතැම් විට සැකසහිත විය හැකි බව මේ වන විට අධ්‍යයන ගණනාවකින්ම දක්වා ඇත. මෙම අධ්‍යයනයද එම අධ්‍යයන සමූහයට එක්වන තවත් එක් අධ්‍යයනයකි. එ්වායින් පෙන්වා දෙන කරුණ වන්නේ ලෝකය අවදානමෙන් බේරාගැනීමට නම් අදට වඩා ප‍්‍රබල ආකාරයේ ක‍්‍රියාකාරිත්වයක් අවශ්‍යව ඇති බවයි. (මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/s41558-018-0198-6)