Wednesday, July 26, 2023

ගැබිණි මව්වරුන්ගේ රුධිරයේ සදාකාලික රසායන!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 495
විදුසර, 2023-07-26, පි. 2


සදාකාලික රසායනික හෙවත්, per- and polyfluoroalkyl substances (PFAS) කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය ගැබිණි මව්වරුන්ගේ රුධිරයේ තිබී හමුවූ බව ඇමරිකාවේ සිදුකරන ලද පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. අධ්‍යයනයට ලක් කළ ගැබිණි මව්වරුන් 302ක ගෙන් ලබාගත් රුධිර සාම්පල අතරින් 97%ක උක්ත රසායන කාණ්ඩයට අයත් Perfluorooctane sulfonate (PFOS) නම් රසායන ද්‍රව්‍ය තිබී හමු වී තිබේ.

ප්ලාස්ටික් නිෂ්පාදනයේ දී මෙන්ම වෙනත් කර්මාන්ත සඳහා ද ‌යොදාගන්නා රසායන ද්‍රව්‍ය කාණ්ඩයක් වන PFAS යනු මිනිසුන්ට සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි රසායන ද්‍රව්‍යයකි. ඒවා ස්වාභාවිකව විනාශ වීම සිදුනොවන නිසා සදාකාලික රසායන නමින් හැඳින්වේ.

මව්වරුන් තුළ මේ රසායන ද්‍රව්‍ය හමුවීම ඔවුන්ට මෙන්ම මෙන්ම ළදරුවන්ට ද ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවදානම පෙන්වන්නකි. සංවර්ධිත රටවල් අතර වැඩිම මව් මරණ ප්‍රමාණයක් වාර්තා වන රට වන ඇමරිකාවේ මව් මරණ ගණන 1999 හා 2019 අතර කාලයේ දී දෙගුණ වී තිබේ. එසේම මේ අධ්‍ය්‍යනයේ දී වෙනත් රසායන ද්‍රව්‍ය ද හමු වී ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කර යම් පියවරක් ගැනීම සඳහා කාලය පැමිණ ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

මෙහි ඇති වැදගත් කරුණක් වන්නේ මේ PFAS කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමට එහි නිෂ්පාදක සමාගම සමඟ එකඟතාවයක් ඇති කරගෙන ඇතත් ඒවා තවමත් භාවිතයේ පැවතීමයි.

මූලාශ්‍රය - Environmental Health Perspectives, DOI: 10.1289/EHP11546

සබැඳිය - https://ehp.niehs.nih.gov/doi/10.1289/ehp11546

ලෝකයම උණුසුමෙන් පීඩාවට

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 495
විදුසර, 2023-07-26, පි. 2


අපේක්ෂා කළ ආකාරයටම පසුගිය දෙසතියක කාලයේ දී අධික උෂ්ණත්වය නිසා ලෝකයේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව ඇත. යුරෝපය, ඇමරිකාව, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග හා ආසියාව යන ප්‍රදේශවලින් වාර්තා වූ අධික උෂ්ණ ත්ත්ත්ව වාර්තාගත ඒවාය. එසේම ජුලි මාසයේ පස් වැනිදා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.05 වීම ද වාර්තාවකි.

ඇමරිකාවේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් පසුගිය සතියේ කිසියම් උෂ්ණත්ව අනතුරු හැඟවීමක් ඇති ප්‍රදේශවල වාසය කර තිබේ. ඇතැම් ප්‍රදේශවල අධික උෂ්ණත්වය පිළිබඳ වාර්තා අලුත් වී තිබේ. ඇමරිකාවේ හා චීනයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගියේය.ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආන්තික අධික උෂ්ණත්වයක් අඛණ්ඩව පැවැති දින ගණන පිළිබඳ වාර්තාව අලුත් වී තිබේ. ඒ දින 19කි. චීනයේ බීජිං නගරයේ වර්ෂයක් තුළ වාර්තා වූ අධික උෂ්ණත්වයක් පැවති වැඩිම දින ගණන ද මේ වර්ෂයේ දී වාර්තා වී ඇත. ඒ දින 27කි.

පසුගිය ජුනි මාසය යනු බ්‍රිතාන්‍යයේ ජුනි මාසයක මෙතක් පැවැති වැඩිම උෂ්ණත්වය වාර්තා වූ මාසයයි. ඒ වාර්තාව අලුත් වූයේ සෙල්සියස් අංශක 0.9කිනි. එය සාපේක්ෂව විශාල වෙනසකි. යුරෝපයේ දැනට ඇති තාප ප්‍රවාහ තත්ත්වය අගෝස්තු මාසය දක්වා පැවතිය හැකි යැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසා ඇත. දකුණු ය්‍රරෝපයේ රටවල් ගණනාවක අංශක 40කට අධික උෂ්ණත්වයක් වාර්තා වූ අතර, ලැව් ගිනි ද වාර්තා විය. මිනිසුන්ට සිදුවන බලපෑම් මාධ්‍ය මගින් සාකච්ඡා කරනු ලබන නමුත්, මේ ආන්තික උෂ්ණත්වය සෙසු ජීවී විශේෂවලට හා පරිසරයට ද බලපායි.

මෙවැනි අධික ආන්තික උෂ්ණ තත්ත්ව පැවතීම ලෝකයේ නව සාමාන්‍යය වනු ඇති බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ. මේ ඉහළ උෂ්ණත්ව අගයයන් දේශගුණ ආකෘතිවලට එකඟ වේ. කෙසේ වෙතත් මේ වර්ෂයේ තත්ත්වය සඳහා මිනිසුන් විසින් ඇති කළ දේශගුණ වෙනස්වීම මෙන්ම, ස්වාභාවික හේතු වන උතුරු අර්ධගෝලයේ පවත්නා ග්‍රීෂ්ම ඍතුව හා වර්ධනය වන එල්නිනෝ තත්ත්වය ද දායක වී තිබේ.

Wednesday, July 12, 2023

සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ ලෝක වාර්තාව පිට පිටම අලුත් වේ!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 494
විදුසර, 2023-07-12, පි. 2


ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ වාර්තාව පසුගිය සතියේ තුන්වරක් අලුත් වී ඇති බවක් නොනිල වාර්තා අනුව පෙනේ. ජුලි 3වැනි සඳුදා දින සෙල්සියස් අංශක 17.01ක් වූ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය, ජුලි 4 අඟහරුවාදා දින අංශක 17.18ක් වූ අතර, ජුලි 6 දින හෙවත් බ්‍රහස්පතින්දා එම අගය අංශක 17.23ක් විය. මීට පෙර ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා තිබුනේ 2016 වර්ෂයේ අගෝස්තු මාසයේය. එය සෙල්සියස් අංශක 16.92ක් පමණ විය.

මේ නව දත්ත වාර්තා කර ඇත්තේ ඇමරිකාවේ පාරිසරික පුරෝකථන පිළිබඳ ජාතික මධ්‍යස්ථාන (NCEP) දත්ත යොදාගනිමින් මේන් විශ්වවිද්‍යාලය මේ උෂ්ණත්ව ප්‍රකාශයට පත් කර ඇත. මෙය නිල නොවන සේ සැලකෙන්නේ ඒ සඳහා වායු බැලූන, චන්ද්‍රිකා නිරීක්ෂණ මෙන්ම පරිගණක ආකෘති ද භාවිත වන බැවිනි.

මේ වන විට එල් නිනෝ තත්ත්වය ඇති වී තිබෙන බව තහවුරු කර ඇති අතර, එම ස්වාභාවික තත්ත්වය සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය උණුසුම් වීම ද මේ වාර්තාගත උෂ්ණත්වය ඇති වීම සඳහා දායක වේ. මේ නිසා ලෝකයේ සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තා නුදුරු අනාගතයේ දීම බිඳවැටීමට ඉඩ ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. එසේම ඇතැම් විට මේ ජුලි මාසය මෑත අතීතයේ ලෝකයේ ඉහළම උෂ්ණත්වය පැවති මාසය වීමට ද අවස්ථාවක් ඇති බව පෙන්වා දී තිබේ.

ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහත අගයක් ගත්ත ද ඇතැම් ස්ථානවල උෂ්ණත්වය බෙහෙවින් ඉහළ වී තිබේ. එසේම මෑත සති කිහිපයක කාලයේ දී ලෝකයේ ප්‍රදේශ ගණනාවකින්ම තාප ප්‍රවාහ තත්ත්ව වාර්තා වී තිබේ. ජුනි මාසයේ බ්‍රිතාන්‍යයෙන් ද. පසුගිය සති කීපයේ දී ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ද තාප ප්‍රවාහ වාර්තා විය.

ෆුකුෂිමාවේ ජලය පිළිබඳ වාර්තාවෙන් විරෝධතා නවතී ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 494
විදුසර, 2023-07-12, පි. 2


2011 වර්ෂයේ දී අනතුරට පත් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ එකතු වී ඇති ජලය පරිසරයට නිකුත් කිරීමට අති සැලසුම සම්බන්ධව අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනය (IAEA) සිදු කළ ඇගැයීම් වාර්තාවක් පසුගිය සතියේ දී නිකුත් විය. එමගින් අදාළ ජලය සාගරයට නිකුත් කිරීම සඳහා ඇති සැලසුම් පිළිබඳව සමාලෝචනය කර ඒ පිළිබඳ සුබවාදී අදහසක් දක්වා ඇත. මේ අනුව මේ ජලයේ විකිරණශීලී ද්‍රව්‍ය අවම කර, සාගර ජලයෙන් තනුක කර, වෙරළේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් සාගරයට නිකුත් කිරීම ආරම්භ කළ හැකිය. එය සෙමින් සිදුවන්නක් වන අතර, ටොන් මිලියන 1.3ක ජල ප්‍රමාණය සාගරයට නිකුත් කිරී සඳහා අවුරුදු 30-40ක් පමණ අතර කාලයක් ගත වනු ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව ආසන්න රටවල දැකිය හැක්කේ මිශ්‍ර ප්‍රතිචාරයකි. චීනය මේ පිළිබඳව දැඩි විරෝධයක් දක්වයි. ජපානයේ ප්‍රදේශ දහයක නිෂ්පාදනය වන ආහාර ආනයනය සඳහා තහනමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජපානයේ සෙසු ප්‍රදේශවලින් ආනයනය කරනු ලබන ආහාරවල විකිරණ සඳහා පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ. දකුණු කොරියානු රජය උක්ත වාර්තාව පිළිගෙන ඇතත්, එරට වැසියන් අතර මේ සඳහා ඇති විරෝධය සමහන් කිරීමට රජයේ කැමැත්තට හැකියාව ලැබී නැති බවක් පෙනේ. කෙසේ වෙතත් ෆුකුෂිමා ප්‍රදේශයේ නිෂ්පාදිත මුහුදු ආහාර සඳහා දකුණු කොරියාවේ ඇති තහනම ඉවත් නොකරන බව ද වාර්තා වේ.

අදාළ වාර්තාව - https://www.iaea.org/sites/default/files/iaea_comprehensive_alps_report.pdf