Saturday, March 31, 2018

සාගරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වර්ධනය වන අයුරු

ජගත් පරිසර පුවත් 256 - 28.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.03.2018, පි. 3 (Vidusara)



සාගරයේ දැකිය හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව දැන් කලක පටන් පුළුල්ව සාකච්ඡුා වන කරුණකි. එමගිින් සිදු විය හැකි බලපෑම් ගැනද මේ වන විට ලෝකයේ අධානය යොමුව තිබෙයි. මේ වන විට හෙළිව ඇති ආකාරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අධිකව සාන්ද්‍රණය වී ඇති ස්ථාන පහක් ලෝකයේ සාගර ප‍්‍රදේශවල දැක ගත හැකිය. එ් උතුරු පැසිෆික්, දකුණු පැසිෆික්, උතුරු අත්ලාන්තික්, දකුණු අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේය.

මේ පිළිබඳ පළ වූ අධ්‍යයනයකට අනුව පැසිෆික් සාගරයේ දැකිය හැකි පාවෙන ප්ලාස්ටික් එකතුව (මෙය සාගරයේ විශාලතම පාවෙන ප්ලාස්ටික් එකතුව වේ) වේගයෙන් ඉහළ යමින් ඇත. මේ අධ්‍යයනයට අනුව කැලිෆෝර්නියාව හා හවායි දූපත් අතර වර්ග කිලෝමීටර් මිලියන 1.6ක් පමණ වන ප‍්‍රදේශයක අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් 79,000කට අධික ප‍්‍රමාණයක් පාවෙමින් තිබෙයිි. එ් අගය මෙතෙක් විශ්වාස කළ අගය මෙන් සිව් ගුණයත් දහසය ගුණයත් අතර වෙයි. මෙම නව අධ්‍යයනයේදී ගුවන් ඡායාරූප හා බෝට්ටු යොදා ගැනීම මෙම ඇස්තමේන්තුව අතීතයේ තිබු ඇස්තමේන්තුවලට වඩා ඉහළවීමට හේතුව බව පැවසේ. මෙමගින් පෙනෙන්නේ සාගරයට ප්ලාස්ටික් එකතු වීම වැළැක්වීම සම්බන්ධව කටයුතු කිරීමේ ඇති වැදගත්කම බව මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන්ගේ අදහසයි.

මෙහිදී හෙළිව ඇති තවත් කරුණක් වන්නේ මේ ප‍්‍රදේශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය අවට ප‍්‍රදේශයට වඩා වේගයෙන් වර්ධනය වන බවයි. මේ අතරින් 8%ක් පමණ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වන බවද සොයාගෙන ඇත. එසේම මේ සමස්ත ප‍්‍රමාණයෙන් හතරෙන් තුනකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් සෙ.මී.5ට වඩා විශාල ප‍්‍රමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වීම විශේෂයකි. (මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-22939-w)

මේ අතර බි‍්‍රතාන්‍ය රජය වෙත ලබාදී ඇති වාර්තාවකින් පෙන්වාදී ඇති ආකාරයට සාගරයේ දැකිය හැකි ප්ලාස්ටික් ප‍්‍රමාණය පාලනය නොකළහොත්, තවත් දශකයක් ඇතුළත සාගරයේ දැකිය හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකිය.

අවසන් උතුරු සුදු රයිනෝ පිරිමි සතා මියයයි

ජගත් පරිසර පුවත් 256 - 28.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.03.2018, පි. 3 (Vidusara)



උතුරු සුදු රයිනෝසිරස් (northern white rhino හා විද්‍යාත්මකව Ceratotherium simum cottoni) ලෙස හඳුන්වන රයිනෝ උප විශේෂයට අයත් ලෝකයේ ජීවත්ව සිටි අවසාන පිරිමි සත්ත්වයා පසුගිය සතියේදී මියගියේය. කෙන්යාවේ ආරක්ෂිත ස්ථානයක විශේෂ රැුකවරණ යටතේ ජීවත්වු සුඩාන් නමින් හඳුන්වන ලද මේ පිරිමි සතා මාස කිහිපයක් තිස්සේ රෝගී තත්ත්වයෙන් පසු වූ අතර මියයෑමට සලස්වන ලද්දේ වියපත් වීමත් සමඟ ඇති වු ආබාධ නිසාය.

මේ අනුව ලෝකයේ දැනට ජීවත් වන්නේ එම රයිනෝ උප විශේෂයට අයත් ගැහැණු සතුන් දෙදෙනෙකු පමණකි. එබැවින් මෙම රයිනෝ විශේෂය ආරක්ෂා කරගැනීමේ අවස්ථාව පවතින්නේ කෘති‍්‍රිමව සිදුකරනු ලබන නල සංසේචනයක් (in vitro fertilisation) මගින් පමණකි. මෙය අධික වියදම් අධික කටයුත්තක් විය හැකි වුවද මේ වන විට ආරක්ෂා කර තිබෙන පිරිමි සතුන්ගේ ශුක‍්‍රාණු භාවිතයෙන් එවැන්නක් සිදු කිරීම මේ උප විශේෂය ආරක්ෂා කරගැනීමට ඇති එකම අවස්ථාව බව පෙන්වා දි ඇත.

උතුරු රයිනෝ විශේෂය ජීවත් වූයේ නැගෙනහිර හා මධ්‍යම අප‍්‍රිකානු රටවල් කිහිපයකය. එ් සහරා කාන්තාරයෙන් දකුණට වන්නට පිහිටි ප‍්‍රදේශයේය. රයිනෝ අං ලබාගැනීම පිණිස දිගු කාලයක් තිස්සේ අධික ලෙස දඩයම් කිරිම හේතුවෙන් මේ උප විශේෂයේ සත්ත්ව ගහනය ඉතා විශාල ලෙසින් අඩු විය. ඒ විශේෂයෙන් 1970 හා 1980 දශකවලදීය. චීන සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමය සඳහා භාවිත කිරීමට හා යේමනය වැනි ඇතැම් රටවල විසිතුරු උපකරණ තැනීමට යොදාගැනීමට මේ සතුන්ගේ අං සඳහා ඉල්ලූමක් ඇති වීම මෙසේ මෙම රයිනෝ සතුන් මරා දැමීමට හේතුව විය. මේ උප විශේෂයේ සත්ත්ව ගහනය පත්ව ඇති තත්ත්වය නිසා 2011 වර්ෂය වන විට මේ උප විශේෂය දැඩි අන්තරායක හා ස්වාභාවික පරිසරයෙන් වඳ වී ගිය විශේෂයක් (Critically Endangered and probably extinct in the wild) සේ නම් කරන ලදි.

බෝතල් කළ ජලයේ ප්ලාස්ටික්

ජගත් පරිසර පුවත් 255 - 21.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.03.2018, පි. 3 (Vidusara)



අධ්‍යයනයට ලක් කරන ලද පානීය ජල බෝතල්වල කුඩා ප්ලාස්ටික් කැබලි අධික ප‍්‍රමාණයකින් තිබී හමු වීමත් පානීය ජල බෝතලවල ප්ලාස්ටික් තිබීම නිසා ඇති විය හැකි අවදානම ගැන සමාලෝචනයක් පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත.

ලෝකයේ රටවල් 9ක විවිධ ස්ථානවලින් ලබාගන්නා ලද වර්ග 11කට අයත් පානීය ජල බෝතල් මෙම අධ්‍යයනයේදී පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී හෙළි වී ඇති පරිදි පරීක්ෂා කරන ලද බෝතල් 259කින් ප්ලාස්ටික් නොමැති බව තහවුරු වී ඇත්තේ 17ක් තරම් අඩු ප‍්‍රමාණයකය. එ් අනුව පරීක්ෂා කළ බෝතල් වර්ග අතරින් 93%ක ප්ලාස්ටික් අංශු ඇති බව හෙළි වී ඇත. මේ ඇතැම් බෝතල් වර්ගයක දැකිය හැකි ප්ලාස්ටික් ප‍්‍රමාණය ඉතා ඉහළය. මෙහිදී හෙළි වූ පරිදි හමු වූ ප්ලාස්ටික් කැබලි අතරින් ලීටරයකට අංශු 10.4ක් පමණ ප‍්‍රමාණයක් මයික්‍රෝන 100ට වඩා විශාල එ්වා වෙයි. මයික්‍රෝන 100ට අඩු 6.5ට වැඩි ප‍්‍රමාණයේ ප්ලාස්ටික් කැබලි වඩාත් සුලභ විය. එ්වා ලීටරයකට අංශු 314ක් වැනි ප‍්‍රමාණයකින් හමු වී තිබේ. මේ බෝතල්වල දැකිය හැකි වූ සුලබතම ප්ලාස්ටික් වර්ගය වී ඇත්තේ පොලිප්‍රොපිලීන්ය. එම ප‍්‍රමාණය 54%කි. එ්වා බෝතල්වල මූඩි නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන වර්ගයයි.

මෑතකදී සිදුකරන ලද වෙනත් අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි පානීය නල ජලය මෙන් දෙගුණයක් පමණ ප්ලාස්ටික් ප‍්‍රමාණයක් බෝතල්වල ඇතුළත් බව පෙනී ගොස් ඇත.

කුඩා ප‍්‍රමාණයේ ප්ලාස්ටික් අංශු ශරීරගත වීම නිසා සිදුවිය හැකි හානිකර තත්ත්ව පිළිබඳව මේ දක්වා සාක්ෂි නොමැති වුවද, මේ පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් බව පර්යේෂකයන්ගේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස බව පෙනෙයි. කෙසේ වෙතත් මේ අධ්‍යයනය සාමාන්‍ය විiාත්මක ක‍්‍රමවේදය හරහා සිදු වී නොමැති බැවින් මේ පිළිබඳ යම් යම් වෙනස් අදහස් තිබෙන බවද වාර්තා විය. විශේෂයෙන් අදාළ සමාගම්වලින් මේ පිළිබඳ විවේචන පළ වී ඇත. 

(මූලාශ‍්‍රය: https://orbmedia.org/stories/plus-plastic/)

සාගරය ආම්ලිකකරණයෙන් කොරල්පර වර්ධනයට ඇති වන බලපෑම්

ජගත් පරිසර පුවත් 255 - 21.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.03.2018, පි. 3 (Vidusara)



වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යෑම නිසා කොරල්පර තර්ජනයට ලක්වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. එ් කාබන් ඩයොක්සයිඞ් මුහුදු ජලයේ දියැවී මුහුද ආම්ලිකකරණය වන බැවිනි. මේ නිසා කැල්සියම් කාබනේට් වර්ධනය වීම වලකින අතර, කොරල්පරවල වර්ධනය සඳහා මෙය බලපායි.

ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ පිහිටි එක් පරයක් ආශ‍්‍රිතව සිදුකර ඇති මෙම අධ්‍යයනය සාගරය ආම්ලිකකරණය වීම ක්ෂේත‍්‍රයේ ස්වාභාවික කොරල් පර පද්ධතියක් ආශ‍්‍රිතව පරීක්ෂා කරන ලද පළමු අවස්ථාව වෙයි. මින් ඉහතදී පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සිදුකර ඇත්තේ එක් එක් කොරල් ජීවීන්ට සාගරය ආම්ලිකකරණය වීම බලපාන අන්දම සොයා බැලීමය. එහෙත් සමස්ත පරිසර පද්ධතියකට එය බලපාන ආකාරය පරීක්ෂා කරන ලද පලමු අවස්ථාව මෙය වෙයි. එහිදී සුවිශේෂ කොරල් පරිසර පද්ධතියකට කාබන් ඩයොක්සයිඞ්වලින් සංතෘප්ත වූ ජලය නිදහස් කිරීමෙන් මේ පරීක්ෂණය සිදුකර ඇත. මේ සියවසේ මැද භාගයේදී පමණ ඇති විය හැකි සාගර ආම්ලිකකරණය ප‍්‍රමාණය පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

පර්යේෂකයින්ට පෙනී ගොස් ඇත්තේ ජලයේ ඉහළ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයක් හමුවේ කොරල්පර චූර්ණීභවනයේ (calcification) තුනෙන් එකක පමණ අඩුවීමක් දැකිය හැකි බවයි. මෙම අඩුවීම නිසා විරංජන සිදුවීමකදී මෙන් කොරල්පර කෙටිකලක් තුළ මියයෑම සිදුනොවන නමුත් එමගින් කොරල්පර වර්ධනය, ප‍්‍රතිවර්ධනය වීමේ හැකියාව හා බෝවීමට ඇති හැකියාව අඩු කරයි. කොරල්පර විරංජනය වැනි කොරල්පර විනාශ වූ අවස්ථාවකදී එ්වා යථා තත්ත්වයට පත් වීම සඳහා කොරල්පරවල pH අගය අඩු වීම බලපෑ හැකිය. අධ්‍යයනයට ලක් වූ පරය ආශ‍්‍රිත සාගරයේ pH අගය 8.1ක් පමණ වූ අතර, පූර්ව කාර්මික අවධියේදී පැවැති සාගර ජලයේ pH අගය 8.2ක් පමණ වූ බව සැලකේ. මෙම පරීක්ෂණයේදී සාගර ජලයේ pH අගය 8.0 දක්වා අඩු කර ඇත.

(මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature25968)

දේශගුණ වෙනස් වීම වඩාත් බලපාන්නේ කාන්තාවන්ටයි

ජගත් පරිසර පුවත් 254 - 14.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 14.03.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම වඩාත් බලපානු ඇත්තේ කාන්තාවන්ට බව පසුගියදා වාර්තා වූ පුවතකින් පෙන්වාදී තිබෙයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් එහි පෙන්වා දී ඇත්තේ දේශගුණ වෙනස්වීමෙන් අවතැන් වූවන් අතරින් 80%ක් පමණ කාන්තාවන් බවයි.

මේ කාන්තාවන් අතරින් වැඩි දෙනා ගංවතුර හා නියඟය වැනි ස්වාභාවික ආපදාවලදී වඩාත් අවදානමට ලක්වන්නේ ඔවුන් ආහාර හා ඉන්ධන සපයන්නන් හා දරුවන් බලාගැනීම වැනි කටයුතුවල යෙදෙන නිසාය. එවැනි කාලවකවානුවලදී ඔවුන්ගේ දෙදනික කාර්යය වඩා අපහසු විය හැකිය. නොඑසේ නම් වඩා දීර්ඝ කාලයක් වැඩ සඳහා ගතකිරීමට හෝ වැඩි වෙහෙසක් දැරීමට සිදුවිය හැකිය. එමෙන්ම ඇතැම් රටවල කාන්තාවනට මේ තත්ත්වයට මුහුණදීමට සිදු වී තිබෙන්නේ එ් රටවල ඇතිවන තත්ත්වය හමුවේ ඇතැම් කාලවකවානුවලදී පිරිමින් ජීවනෝපාය සොයා වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වන නිසාය.

එසේම කැත‍්‍රිනා වැනි කුණාටු අවස්ථාවලදීද වැඩි බලපෑමකට ලක්වූයේ කාන්තාවන් බව වාර්තාගත වී තිබේ. දරිද්‍රතාවයෙන් වඩාත් පීඩා විඳින්නේද කාන්තාවන් වන බැවින් ඔවුන් ස්වාභාවික ආපදා වැනි තත්ත්වවලින් පීඩා විඳීමද ඉහළ යයි. එ් ඔවුන්ගේ ආර්ථික ශක්තිය පිරිමින්ට සාපේක්ෂව අඩු වන නිසාය. ස්වාභාවික අවදානම් අවස්ථාවලදී ජීවිතය බේරාගැනීමට අවස්ථාව වැඩි වශයෙන් ඇත්තේද පිරිමින්ටය. 2004 සුනාමි අවස්ථාවේදී ඊටෙ ලක්වී ජීවිතය බේරාගත් පිරිමි හා කාන්තාවන් අතර අනුපාතය 3:1 වූ බව ඔක්ස්පෑම් වාර්තාවකින් පෙන්වාදී තිබෙයි. මීට සංකීර්ණ හේතු බලනා ඇති බව පැහැදිලිය.

2015 පැරිස් ගිවිසුමෙහි කාන්තාවන් බලගැන්වීම ගැන විශේෂයෙන් සඳහන්ව ඇත්තේ මෙමගින් ඔවුන්ට අසාමාන්‍ය ආකාරයේ බලපෑමක් ඇති වී තිබෙන නිසාය. එහෙත් කාන්තාවන් මේ හා සම්බන්ධ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය සඳහා දක්වන දායකත්වයද අඩුය. දේශීය හා ගෝලීය වශයෙන් දේශගුණ වෙනස් වීම ගැන සාකච්ඡුා කරන ආයතනවල කාන්තා නියෝජනය ඇත්තේ 30% තරම් අඩු මට්ටමකය. මෙය අවධානය යොමු කළ යුතු තවත් අංශයක් ලෙස පුවත් වාර්තාවල සඳහන් වෙයි.

කෘෂිකර්මය හා ජෛව විවිධත්වය අතර ගැටුම

ජගත් පරිසර පුවත් 254 - 14.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 14.03.2018, පි. 3 (Vidusara)

කෘෂිකාර්මික භූමි භාවිතය මනාව සැලසුම් කිරීම මගින් කෘෂි නිෂ්පාදනය හා ජෛව විවිධත්ව සංරක්ෂණය අතර ඇති ගැටුම අඩු කරගත හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. පෘෂ්ටවංශී සත්ත්ව විශේෂ 20,000ක් පමණ ප‍්‍රමාණයකගේ භූගෝලීය ව්‍යාප්තිය හා පාරිසරික අවශ්‍යතා පිළිබඳව හා ලෝකයේ ප‍්‍රධාන කෘෂි භෝගවල නිෂ්පාදනය පිළිබඳව සොයා බලා ඇත. කෘෂිකාර්මික නිෂ්පාදනය වර්ධනය වීමත් සම`ග ඇති වන නිශේධනීය ප‍්‍රතිඵලයක් වන්නේ අදාළ භූ දර්ශනයේ වනජීවීන්ගේ අඩුවීමක් හා පරිසර පද්ධති ක‍්‍රියාකාරිත්වයේ අඩුවීමක් දැකිය හැකි වීමයි.

එබැවින් අඩු ජීවී විශේෂ සංඛ්‍යාවකට බලපෑමක් විය හැකි ප‍්‍රදේශයක කෘෂිකාර්මික වර්ධනය වැඩි වශයෙන් කේන්ද්‍රගත වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද යන්න මේ පර්යේෂණයේදී අවධානය යොමු කර ඇත. එහිදී හෙළි වී ඇති ආකාරයට භූමි භාවිතය එ් අයුරින් ප‍්‍රශස්ත ලෙස සිදුකිරීමෙන් අනාගත කෘෂිකාර්මික වර්ධනය නිසා අහිමි විය හැකි යැයි අපේ්ක්ෂා කරන ජෛව විවිධත්වයෙන් 88%ක් පමණ ප‍්‍රමාණයක් අහිමි වීම වළක්වා ගත හැකිය.

මෙහිදී මෙහිදී වැදගත් වන කරුණක් වන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළ මට්ටමක පවත්නා මූලික වශයෙන් නිවර්තන කලාපීය රටවල් ලෝකයේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේදී වැඩි වගකීමක් දරණු ඇත යන්නය. එහෙත් එ් නිසා ඔවුන්ගේ කෘෂි නිෂ්පාදනය හා ආර්ථික සංවර්ධනය අඩාල විය හැකිය. මෙය වඩාත් බලපාන්නේ කෘෂිකර්මය මත විශාල වශයෙන් යැපෙන රටවලටය.

කෙසේ වෙතත්, මේ පර්යේෂකයන්ගේ නිර්දේශ රටවල් දහයකට අනුගමනය කළ හැක්කේ නම්, ලෝකයේ ජෛව විවිධත්වයේ අහිමිවනු ඇතැයි අපේක්ෂිත අඩුවීමෙන් තුනෙන් එකක් පමණ අඩු කිරීමට හැකියාව ඇත. සියලූ රටවල් මේ තත්ත්වය අනුගමනය කළහොත් අපේක්ෂිත ජෛව විවිධත්වය අහිමිවීමෙන් 61%ක් තරම් අඩු කරගැනීමට හැකියාව ඇත. එහෙත් අවාසනාවකට මෙන් ලෝකයේ මේ අකාරයෙන් කෘෂි නිෂ්පාදනය තිරසර කිරීමට හැකියාව ඇති යනු රටවල් භූමි භාවිතය පිළිබඳ බරපතළ ගැටලූ ඇති රටවල්ද වෙයි.

(මූලාශ‍්‍රය: Global Change Biology, DOI: 10.1111/gcb.14076)

නියෝනිකොටිනොයිඩ හා මී මැස්සන් පිළිබඳ තහනම දැඩි වේ?

ජගත් පරිසර පුවත් 253 - 07.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 07.03.2018, පි. 3 (Vidusara)



නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශකවල විවිධ භාවිත කිරීම්වලින් මී මැස්සන්ට හා වන මී මැස්සන්ට අවදානමක් ඇති බව යුරෝපීය ආහාර ආරක්ෂක අධිකාරිය (EFSA) මගින් සකස් කළ වාර්තාවකින් පෙන්වාදී තිබෙයි. 2013 සිට යුරෝපය තුළ භාවිතය සඳහා සීමා පනවා ඇති මෙම පළිබෝධනාශක ක්ෂේත‍්‍ර භෝග සඳහා භාවිතය පිළිබඳ තහනම තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධව ලබන මාසයේදී සාකච්ඡුා කිරීමට නියමිතය. මේ අනුව උක්ත වාර්තාවෙන් ඒ සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය. මේ කාණ්ඩයේ පළිබෝධනාශක පිළිබඳව යුරෝපයේ දැනට ඇති තහනමට තවදුරටත් තහවුරු වීමට හෝ දැඩි වීමට අවස්ථාවක් ඇති බව වාර්තා වෙයි.

දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ මෙම ඇගැයීමේ නිගමනවලට පැමිණ ඇත්තේ මේ හා සම්බන්ධව පළ වී ඇති අධ්‍යයන 1500ක් පමණ ප‍්‍රමාණයක සොයාගැනීම් පිළිබඳව සමාලෝචනයට ලක්කිරීමෙනි. එහිදී උක්ත කාණ්ඩයේ කෘමිනාශක තුනක බලපෑම පිළිබඳව සොයාබලා ඇත. එ් ක්ලෝතියනිඩින්, ඉමිඩක්ලෝප‍්‍රිඞ් හා තයමෙතොක්සෑම් යන රසායන ද්‍රව්‍ය වේ. මේවා මේ වන විට යුරෝපයේ සීමා කර ඇති පළිබෝධනාශක අතර වෙයි. එසේම මෙහිදී මීමැස්සන් මෙන්ම බඹර මැස්සන් පිළිබඳවද අවධානය යොමු කර තිබේ. එ් අනුව ඔවුන් පවසන්නේ මේ පර්යේෂණවල නිගමනවල යම් විචල්‍යතාවයක් තිබුනද සමස්තයක් ලෙස ගත් විට අධ්‍යයනයට ලක් කළ මීමැසි වර්ග සියල්ලටම මේ බලපෑම ඇති බවයි. එසේම මේ පළිබෝධනාශකය ඉලක්ක භෝගය තුළ මෙන්ම පසට හා ජලයට එකතු වී වනමල් සහ වෙනත් භෝගවර්ගවල දැකිය හැකි වීමද මෙහිදී හෙළි වී ඇති කරුණකි.

ශාක පරාගණය සම්බන්ධව මීමැස්සන්ගෙන් ලැබෙන සේවය භෝග වගාවලදී මෙන්ම ශාක සම්බන්ධයෙන්ද වැදගත්ය. මීමැස්සන්ගේ ගහනවලට බලපෑමක් සිදුවීමෙන් ශාකවල පරාගණකාරකයන්ගේ අඩුවීමක් ඇති වෙයි. එය භෝග හා ශාකවල පරාගණය සඳහාද එ් නිසා ආහාර භෝගවල නිෂ්පාදනය සඳහාද බලපාන්නා වූ කරුණකි.

ආක්ටික් වසන්තය දින 16ක් ඉදිරියට පැමිණේ

ජගත් පරිසර පුවත් 253 - 07.03.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 07.03.2018, පි. 3 (Vidusara)


උතුරු අර්ධගෝලයේ ආක්ටික් කලාපයේ වසන්න ඍතුව මීට දශකයකට පමණ පෙර ආරම්භ වූ කාලවකවානුවට වඩා දින 16කින් පමණ ඉදිරියට පැමිණ ඇති බව පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වාදී තිබෙයි. එසේම ලෝකයේ උතුරු අර්ධගෝලයේ වඩාත් උතුරු දිශාවට යන්නට වසන්ත ඍතුව වඩාත් ඉදිරියට පැමිණෙන බවද මේ අනුව පැහැදිලි වී ඇත. මෙය මෙතෙක් ප‍්‍රකාශයට පත්ව තිබූ දිනවකවානුවලට සාපේක්ෂව වැඩි වෙනසක් පෙන්වන්නක් වන අතර ලෝකයේ උෂණත්වය ඉහළ යෑමේ යම් සම්බන්ධයක් පෙන්වයි.

වසන්ත ඍතුවේ ඇතිවන වෙනස්කම් ආදිය අතීතයට වඩා කලින් ඇති වන බව මේ වන විට පැහැදිලිව දන්නා කරුණකි. මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත්තේ මෙවැනි ඍතුවිද්‍යාත්මක වෙනස්කම් පිළිබඳවය. එ් අනුව ආක්ටික් ප‍්‍රදේශයේ වසන්න ඍතුව සෙසු ප‍්‍රදේශවලට (පහළ අක්ෂාංශ ප‍්‍රදේශවලට) වඩා කලින් පැමිණෙන බව මෙහිදී තහවුරු කර ඇත. එ් නිසා ශීත ඍතුව කලින් අවසන් වී වසන්ත ඍතුව කලින් පැමිණෙයි. මේ බව ශාක හා සතුන්ගේ ඍතුමය හැසිරීම්වලින් පැහැදිලි වී ඇති කරුණකි. නිදසුනක් ලෙස ගතහොත් ලොස් ඇන්ජලීස් ප‍්‍රදේශයේදී ශිත ඍතුව අවසන් වීම අතීතයට වඩා එක් දිනයක් පෙර සිදු වන අතර, ආක්ටික් ප‍්‍රදේශයේදී එය සති දෙකක් පමණ කාලයක් කලින් සිදු වේ. මෙසේ වසන්න ඍතුව කලින් පැමිණීම මීට පෙර අධ්‍යයනවලදී පෙන්වාදී තිබූ දින ගණනට වඩා තුන් ගුණයක් පමණ ඉදිරියට යෑමක් වීම විශේෂයෙන් වැදගත්ය.

මෙමගින් පෙනෙන්නේ ආක්ටික් ප‍්‍රදේශවලට දේශගුණ වෙනස් වීම කෙතරම් තදින් බලපාන්නේද යන්නය. එහි උෂ්ණත්ව වර්ධනය ලෝකයේ සෙසු ප‍්‍රදේශවලට වඩා දෙගුණයක් පමණ වේගයෙන් සිදුවන අතර, අයිස්වලින් වැසුණු බිම් ප‍්‍රදේශය වේගයෙන් දියැවී යමින් තිබේ. එබැවින් මෙය අවධානය යොමු විය යුතු කරුණකි.

(මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-22258-0)