Wednesday, March 22, 2023

කාබන් විමෝචන ප්‍රමාණයේ අඩුවීමක්

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 486
විදුසර, 2023-03-22, පි. 2


ලෝකයේ නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය අඛණ්ඩව වර්ධනය වන නමුත්, එම ප්‍රමාණය ස්ථාවර තත්ත්වයකට ලඟාවන ලකුණු දැකිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ඒ වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී බලශක්ති උත්පාදන අංශයෙන් නිකුත් වී ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්ධනය වී ඇත්තේ 0.9%කිනි. හරිතාගාර වායු විමෝචනවල ප්‍රධානම මූලාශ්‍රය වන්නේ බලශක්ති උත්පාදනයේ සිදු වන විමෝචන වේ.

2021 වර්ෂයේ දී ඊට පෙර වර්ෂයට වඩා 6%ක වර්ධනයක් දැකිය හැකි වූ අතර, ඊට හේතුව කොවිඩ් 19 අර්බුදයෙන් පසුව ඇති වූ ආර්ථික වර්ධනය විය. එහෙත්, 2022 වර්ෂයේ දී මේ වර්ධනය අඩු වීමට හේතුව වූයේ පුනර්ජනනය කරන ලද බලශක්තිය භාවිතයේ සිදු වූ වර්ධනය හා පිරිසිදු බලශක්තිය භාවිතයේ ඇති වූ වර්ධනය බව ද දක්වා තිබේ. යුක්රේනයේ අර්බුදයත් සමඟ ගල් අඟුරු භාවිතය වේගයෙන් ඉහළ යනු ඇතැයි සිතුව ද එය ඒ තරම් අධික ලෙස වර්ධනය වී නැත.

කෙසේ වෙතත් පැරිස් ගිවිසුම පරිදි ඇතිකරගත් ඉලක්කය වන ලෝකයේ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 1.5 සීමාවේ රඳවා ගැනීමට නම්, මේ දශකය තුළ විමෝචන ප්‍රමාණය අඩක් කළ යුතුය. ඒ සඳහා වාර්ෂිකව විමෝචන ප්‍රමාණය 7%කින් පමණ අඩු විය යුතුවේ.

ප්ලාස්ටික් නිසා සාගර පක්ෂීන්ට වැළඳෙන රෝගයක්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 486
විදුසර, 2023-03-22, පි. 2


ප්ලාස්ටික් නිසාම සාගර පක්ෂීන්ට වැළඳෙන රෝගයක් පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත්වෙති. ‘ප්ලාස්ටිකෝසිස්’ (plasticosis) නමින් හඳුන්වා ඇති ෆ්‍රයිබ්‍රෝසියා තත්ත්වයක් වන රෝගයේ දී පක්ෂීන්ගේ ශරීරගත වන අපද්‍රව්‍ය නිසා ඔවුන්ගේ ආහාර මාර්ගයේ සීරීම් ඇති වී හානි සිදු වේ. එසේම වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් ශරීර ගත වීමේ දී මේ බලපෑම වැඩි බව සොයාගෙන තිබේ.

මෙසේ ශරීරගත වන ප්ලාස්ටික් නිසා ආහාර මාර්ගයේ ඇති වන ප්‍රදාහ තත්ත්වයෙන් ඒ පටක විකෘති වී, ආහාර දිරවීමට, වර්ධනයට හා පැවැත්මට බලපාන බව දක්නා තිබේ. එමගින් පක්ෂීන්ගේ පූර්වාමාශයේ නාලාකාර ග්‍රන්ථි ක්‍රමයෙන් බිඳ වැටීම සිදුවිය හැකිය. පක්ෂීන් රෝග ඇති වීමට මෙන්ම පරපෝෂිතයන්ට ලක් වීම ද මේ නිසා ඉහළ යා හැකිය.

මේ තත්ත්වය පක්ෂීන්ගේ ආහාර මාර්ගයේ ස්වාභාවිකව හමුවන ද්‍රව්‍යවලින් ඇති නොවන අතර, එය ප්ලාස්ටික්වලින් ඇති වන බව මේ පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙය අනෙක් පක්ෂීන්ට ද වැළඳීමට ඉඩ ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ. ස්වාභාවික පරිසරයේ වාසය කරන සන්ය ප්ලාස්ටික් මගින් ඇති වන ෆය්‍රබ්‍රෝසියා තත්ත්වයක් පිළිබඳව පළමු අනාවරණය මෙය වේ.

මූලාශ්‍රය - Journal of Hazardous Materials, DOI: 10.1016/j.jhazmat.2023.131090

Tuesday, March 7, 2023

දැව උඳුන්වල හානි බ්‍රිතාන්‍යයේ අවධානයට

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 485
විදුසර, 2023-03-08, පි. 2


පසුගිය කාලයේ දි විදුලි බලයේ හා ගෑස් මිල ඉහළ යෑමත් සමඟ බ්‍රිතාන්‍යයේ නිවාස උණුසුම් කිරීම සඳහා දැව උඳුන් භාවිත කිරීම ප්‍රචලිත විය. මේ උඳුන් නිසා ලබෙන සුවිශේෂ පෙනුම ආදි කරුණු ද ඒවා ප්‍රවර්ධනය සඳහා හේතු වී ඇත. කෙසේ වෙතත් මේ නිසා සැලකිය යුතු වායු දූෂණයක් ඇති විය හැකි බැවින් බලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධව යොමු වී තිබේ. විශේෂයෙන් දැව දහනයේ දී නිකුත් වන PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය නිසා ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම මේ අතර වේ. විශේෂයෙන් දුම පාලනය කළ ප්‍රදේශ සහිත නාගරික ප්‍රදේශවල මේ උඳුන් භාවිත කිරීම දඩ නියම විය හැකි කරුණකි. නිදසුනක් ලෙස ගතහොත් ලන්ඩනයේ ඉහත කාණ්ඩයේ වායු දූෂකවලින් 31%ක් පමණ පැමිණෙන්නේ දැව දහනය කිරීමෙන් බව හෙළි වී ඇත.

මේ නිසා එරට දේශපාලන නායකත්වය ද මේ උඳුන් භාවිතය යලි සලකා බැලිය යුතු බව පෙන්වා දී තිබේ. මෑත දී එරට රජය විසින් යෝජනා කර ඇති සැලසුමක් අනුව දැව උදුන් තහනම් කිරීම වෙනුවට උඳුන් භාවිත කරන්නවුන් දැනුවත් කිරීමට යෝජනා කර තිබේ. එහෙත් හරිත පක්ෂය හා වෙනත් කණ්ඩායම් පවසන්නේ දැව භාවිත කරන උඳුන් තහනම් කළ යුතු වබවයි. එසේම දැව උඳුන් වෙනුවට විකල්ප යොදාගැනීම සම්බන්ධව ද සාකච්ඡාවක් ඇති වී තිබේ. දැවෙන ගින්නක පෙනුම ඇති එහෙත් විදුලියෙන් තාපය ජනනය කරන උඳුන් මේ අතරින් එක් විකල්පයකි.

ෆුකුෂිමා බලාගාරයේ අපජලය නිදහස් කිරීම

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 485
විදුසර, 2023-03-08, පි. 2


2011 වර්ෂයේ දී ඇති වූ භූමිකම්පාවෙන් හානියට පත් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ එකතු වී ඇති විකිරණ සහිත වූ අපජලය ටොන් මිලියනයක් ප්‍රතිකර්මයට ලක් කර මේ වර්ෂය අවසානයේ දී පමණ මුදා හැරීමට එරට සූදානම් වෙයි. මේ අපජලය ප්‍රතිකාර කර විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රමාණය බොහෝ දුරට අඩු කර ඇති අතර ජලයෙන් වෙන් කිරීම අපහසු වන විකිරණශීලි ට්‍රිටියම් යම් ප්‍රමාණයක් එහි ඇතුළත් වෙ.

1980 දශකයේ දී සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුරෙන් පසු ඇති වූ බරපතළම න්‍යෂ්ටික අනතුර වන්නේ ෆුකුෂිමා අනතුරයි. මේ නිසා හානි වූ ප්‍රතික්‍රියාකරක සිසිල් කිරීම සඳහා යොදාගත් ජලය ටොන් මිලියන 1.3ක් පමණ මේ දක්වා ඒ ප්‍රදේශයේම ඇති විශාල ටැංකි දහසක පමණ තැන්පත් කර තිබේ. ‌ඉඩකතඩ සීමා වීම නිසා මේ අපජලයෙන් කොටසත් මුදාහැරීම අවශ්‍ය බව කලකට පෙර පෙන්වා දී ඇත.

මේ පිළිබඳව ප්‍රදේශයේ ධීවරයින් මෙන්ම අවට රටවල් ද විරෝධය පළ කර තිබේ. එහෙත් ජපාන රජය හා අදාළ සමාගම පවසන්නේ නිදහස් කරන අපජලය නිසා ඇති විය හැකි බලපෑම අවම බවයි. මුහුදු ජලයෙන් මේ අප ජලය තනුක වීම සඳහා අවස්ථාව ලබා දෙමින් අපජලය නිදහස් කරනු ලබන්නේ ටිකින් ටික බව ප්‍රකාශ වී ඇත. ෆුකුෂිමා අපජලය සාගරයට නිකුත් කරන අවස්ථාව වන විට ඒවායේ ට්‍රිටියම් ප්‍රමාණය ආරක්ෂිත යැයි සම්මත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වනු ඇත. අන්තර්ජාතික න්‍යෂ්ටික බලශක්ති අධිකාරිය (IAEA) පවසා ඇත්තේ, ලෝකයේ වෙනත් න්‍යෂ්ටික බලාගාරවල ද අපජලය නිදහස් කිරීමේ දී මෙවැනි පියවරක් ගන්නා බවය.