Monday, August 31, 2020

2020 දී සම්පත් භාවිතයේ කැපීපෙනෙන අඩුවීමක්

ජගත් පරිසර පුවත් 374 - 26.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.08.2020, පි. 3 (Vidusara)



මේ වර්ෂයේ ගත වූ කාලය ඇතුළත මිනිසුන් විසින් පරිසරයේ ඇති සම්පත් භාවිත කර තිබෙන ප්‍රමාණය 2019 වර්ෂයේදී ඒ හා සමාන කාලයට වඩා 9.3%ක් පමණ ප්‍රමාණයකින් අඩු වී ඇත. මෙසේ මිනිසුන්ගේ ‘පාරිසරික පියසටහන’ අඩු වීම සඳහා බලපා ඇති හේතුව වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූ සීමා කිරීම් නිසා ඇති වූ තත්ත්වයයි.

මිනිසුන් සම්පත් පරි‌භෝජනය කරන ප්‍රමාණයේ කැපී පෙනෙන අඩුවීමක් ඇති වීම නිසා පාරිසරික ණය දිනය (Ecological Debt Day) හෙවත් මිහිතලය අභිබවන දිනය (Earth Overshoot Day) මේ වර්ෂයේදී අගෝස්තු 22 වන දිනට යෙදී ඇත. පසුගිය වර්ෂයේ දී එය ජුලි 22 වැනිදාට යෙදී තිබිණි. මේ වර්ෂයේදී එය සති තුනකින් පමණ ආපස්සට ගොස් තිබීම වැදගත් කරුණකි. 1970 ගණන්වල මේ දිනය ගණනය කිරීම ආරම්භ කළ පසුව එක් වර්ෂයකදී සිදු වූ විශාලතම වෙනස වන්නේ ද මෙයයි. පොදුවේ ගත් විට ඇතැම් වර්ෂවල විටින් විට ආපසු යෑම් දැකිය හැකි වුවත් සාමාන්‍යයෙන් දිනය ඉදිරියට පැමිණ ඇත. එසේම මීට පෙර දැකිය හැකි වූ ආපසු යෑම්වල දී මෙවැනි විශාල වෙනසක් සිදු වී නැත.

කෙසේ වෙතත්, 2020 ප්‍රමාණයෙන් සම්පත් පරිභෝජනය කළ ද, මිනිසුන්ට තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා පෘථිවිය බඳු ලෝක 1.6ක් පමණ අවශ්‍යය.

ඉහළම උෂ්ණත්වය ඇමරිකාවෙන්

ජගත් පරිසර පුවත් 374 - 26.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.08.2020, පි. 3 (Vidusara)



ලෝකයේ විශ්වසනීය උෂ්ණත්ව වාර්තා ලබාගැනීම ආරම්භ වූ පසුව වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයෙන් පසුගිය 16 වැනි දින වාර්තා වී තිබේ. සෙල්සියස් අංශක 54.4ක් වන මෙම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ඩෙත් වැලි ජාතික උද්‍යානයේ පිහිටා ඇති ස්ථානයකිනි. මේ වන විට එම වාර්තාව නිශ්චය කරගැනීම සඳහා එරට ජාතික කාලගුණ සේවය පියවර ගෙන තිබේ. මේ කාලයේදී එරට බටහිර වෙරළ ප්‍රදේශයේ තාප ප්‍රවාහයක් ද ඇති වී තිබෙයි.

2013 වර්ෂයේදී මේ ජාතික උද්‍යානයෙන්ම සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත. මීටත් වඩා අධික උෂ්ණත්වයක් වසර සියයකට පමණ පෙර මේ ප්‍රදේශයෙන් හා පසුව ටියුනීසියාවේ ස්ථානයකින් ද වාර්තා වී ඇතත් එම වාර්තා කෙතරම් විශ්වසනීයද යන්න සැක සහිතය.

වේලී බැන්ද නිසා මුහුදු මට්ටම ඉහළ යෑම අඩුවෙලා!

ජගත් පරිසර පුවත් 374 - 26.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.08.2020, පි. 3 (Vidusara)



විශාල පරිමාණයේ වේලි තැනීම මුහුදු මට්ටම ඉහළ යෑම සීමා කිරීමට හේතු වී ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙයි. එහිදී හෙළි වි ඇති පරිදි, මේ ජලාශවලින් මුහුදට එකතුවන ජල ප්‍රමාණයක් නැවැත්වීම නිසා 1970 දශකයේදී මුහුදු මට්ටම ඉහළ යෑම නැවැතීමට තරම් අඩු වී ඇත. එම ජලාශ නොතිබුණේ නම්, වාර්ෂික මුහුදු මට්ටම ඉහළ යෑම 12%කින් පමණ ඉහළ යෑමට ඉඩ තිබූ බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙයි.

පසුගිය ශතවර්ෂය ඇතුළත මුහුදු මට්ටම ඉහළ නැග ඇති ආකාරය අධ්‍යයනයේදී විද්‍යාඥයන් දුටු එක් කරුණක් වූයේ මුහුදට එක් වූ ජල ප්‍රමාණය හා මුහුදු මට්ටම ඉහළ නැගි ප්‍රමාණය අතර යම් නොගැලපීමක් තිබීමයි. මේ පිළිබඳ දත්ත පදනම් කරගත් මේ අධ්‍යයනය මගින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වේලි හා ජලාශ වැනි ජලය ගබඩා කරන ව්‍යුහවලින් මුහුදු මට්ටම ඉහළ යෑම අඩුකිරීමට සැලකිය යුතු බලපෑමක් වී ඇති බවයි.

අද වන විට ලෝකය පුරා විශාල වේලි 58,000ක් පමණ ප්‍රමාණයක් ඇත. ඒවා ඉදි කර ඇත්තේ පසුගිය වසර 60ක පමණ කාලය ඇතුළතය. 1950 පමණ සිට 1970 දශකය අවසානය දක්වා කාලයේදී ලෝකයේ මහා පරිමාණ ජලාශ ඉදිකිරීම වේගවත්ව විය. මුහුදට ජලය එක්වීම වැළැක්වීම සඳහා මේ ජලාශවලින් ඇති වූ උපරිම බලපෑම ඇති වී තිබෙන්නේ 1970 ගණන්වලදීය. මේ නිසා ලෝකයේ මුහුදු මට්ටම ඉහළ යෑම දශකයක පමණ කාලයක් බොහෝ දුරට නැවතී තිබූ බව විද්‍යාඥයින්ගේ අදහස වේ. 1900 සිට 2018 දක්වාවූ කාලයේදී මුහුදු මට්ටම වර්ෂයකට මිලිමීටර් 1.56ක් පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ජලාශ හා වේලි නොතිබුනේ නම් එම මුහුදු මට්ටම තවත් 12%ක් පමණ ඉහළ යා හැකිව තිබිණි.

එහෙත් 1990 දශකයේදී වේලි නිසා ඇති වූ මේ බලපෑම අඩු වීමට පටන් ගත්තේය. වේලිවලින් ඇති වන පාරිසරික බලපෑම හෙළි වීමත් සමඟ, විශාල වේලි ව්‍යාපෘති ඉදිකිරීම අඩු වීම ඊට එක් හේතුවකි. එසේම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා ග්ලාසිරයර දියවීම වේගවත් වීම හා ජලයේ තාප ප්‍රසාරණය ඉහළ යෑම සිදුවිය. ඒ නිසා මුහුදු මට්ටම ඉහළ යෑම වේගවත් විය. අද වන විට මුහුදු මට්ටම ඉහළ යෑම වර්ෂයකට මිලිමීටර් 3.35ක පමණ වේගයකින් සිදු වෙයි.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-020-2591-3

මුරුසියට ආසන්නව ගිලුණු තෙල් නැව

ජගත් පරිසර පුවත් 373 - 19.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.08.2020, පි. 3 (Vidusara)



මුරුසි දූපතේ ගිනිකොන දෙසට වන්නට ආපදාවට ලක්ව ඇති තෙල් නැව පිළිබඳව ලෝකයේ අවධානය යොමු ව ඇත්තේ එහි ඇති පාරිසරික බලපෑම නිසාය. පසුගිය ජුලි මස 25 වැනි දින කොරල් පරයක් මතට ගසාගෙන ආ එම්. වී. වකාශියෝ නම් මේ නැව ජපාන සමාගමකට අයත් එකකි. තෙල් ටොන් 4000ක් පමණ තිබූ එහි තෙල් කාන්දුවීම ආරම්භ වූයේ අගොස්තු මුල සතියේ පමණය. මේ නැවෙන් මෙතෙක් ඇති වූ තෙල්කාන්දුව සාපේක්ෂව අඩු වූවත් (ටොන් 1200ක් පමණ), එමගින් ඇති විය හැකි හානිය බරපතළ හා දිගුකාලීන එකක් විය හැකි බව පෙන්වා දී තිබෙයි. එයට ‌හේතුව තෙල් කාන්දුව ඇති වී තිබෙන ස්ථානයේ වැදගත්කමයි.

තෙල් කාන්දුව ඇති වී ඇත්තේ පාරිසරික වශයෙන් වැදගත් ආරක්ෂිත සාගර පරිසර පද්ධති දෙකක් හා සාගර උද්‍යාන ආරක්ෂිත ප්‍රදේශයක් ආසන්නයේය. මේ බ්ලූ බේ සාගර උද්‍යානය අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිමක් ලෙස සැලකෙන්නකි. මුරුසි දිවයින ආශ්‍රිත සාගරය ජෛව විවිධත්වය අතින් ඉහළ කලාපයකි.

මේ වන විට එරට රජය මෙය හදිසි ජාතික ආපදාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මහා පරිමාණයේ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් යුතුව ආරම්භ කර ඇත. තෙල් ටොන් 3000කට අධික ප්‍රමාණයක් පොම්ප කර ඉවත් කර තිබේ.

ඇමසන් වනයේ ගිනිවල තරම

ජගත් පරිසර පුවත් 373 - 19.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.08.2020, පි. 3 (Vidusara)



ඇමසන් වනාන්තරයේ මේ වර්ෂයේ ගිනි ඇති වන සමයේ මුල දී ඇති වී තිබෙන ගිනි ගණන පසුගිය වසර 10ක කාලය තුළ එම සමයේ වාර්තා වී ඇති ගණන බව බ්‍රසීලයෙන් වාර්තා වෙයි. 2010 අගෝස්තු මාසයේ මුල් දින දහය තුළ වාර්තා වී ඇති වනාන්තර ගිනි ප්‍රමාණය 10,136කි. එම ප්‍රමාණය පසුගිය වර්ෂයේ මේ කාලයේදී ඇති වූ වන ගිනි ගණනට වඩා 10%කින් පමණ ඉහළ වේ.

මේ අනුව බොහෝ විට මේ වර්ෂයේදී ඇමසන් වනයේ ඇති වන වනාන්තර ගිනි ප්‍රමාණය පසුගිය වර්ෂයට වඩා බරපතළ විය හැකි බව පරිසරවේදීන් විසින් අනුමාන කර ඇත. පසුගිය ජුලි මාසයේදී ඉදිරි දින 120ක කාලයේදී ගිනි තැබීම් තහනම් කරමින් රජය නියෝගයක් නිකුත් කර ඇතත් ගිනි තැබීම් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් එරට ජනාධිපති පවසා ඇත්තේ ගිනි ඉහළ ගොස් ඇති බවට ඇති පුවත් අසත්‍ය බවයි.

මේ තත්ත්වය සඳහා එරට රජය අනුගමනය කරන ප්‍රතිපත්ති බලපා ඇති බව පරිසරවේදීන් විසින් පසුගිය වර්ෂයේදීද පෙන්වා දෙන ලදි. එසේම පසුගිය වර්ෂයේදී සිට මේ දක්වා ගෙන ඇති පියවර හා එරට රජයේ පරිසර ප්‍රතිපත්තිය ආසාර්ථක බවට මේ තත්ත්වය නිදසුනක් ලෙස දක්වා ඇත.

පීට් බිම්වලින් කාබන් පිටවීමේ අවදානම බරපතළයි

ජගත් පරිසර පුවත් 373 - 19.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.08.2020, පි. 3 (Vidusara)



ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා ලෝකය පුරා පීට් බිම් බරපතළ ආකාරයේ අනතුරකට මුහුණ දී ඇත. මේ සියවස තුළ ඉදිරියේදී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ පීට් බිම්වලින් හරිතාගාර වායු විමෝචනය වීම තදින් ඉහළ යා හැකිය.

ලෝකයේ උතුරු අර්ධගෝලයේ වගුරු සහිත හා ඇතැම් විට ශීත තත්ත්ව යටතේ පිහිටා ඇති මේ පීට් බිම්වල කාබන් විශාල ප්‍රමාණයක් සංචිත වී ඇත. ඒවා ඒ නිසා දේශගුණ යාමනය සඳහා වැදගත් අංගයක් වෙයි. එහෙත් අනාගතයේ දී ලෝකයේ උෂණත්වය ඉහළ යෑම හමුවේ ස්ථිරව මිදී ඇති බිම්වල හිම දියවීම සිදුවිය හැකිය. ඒ සමඟ කාබන් වායුගෝලයට නිකුත් විය හැකිය. මෑත කාලයේදී මේ ගැන සිදුකරන ලද අධ්‍යයනයකට අනුව එසේ නිදහස් විය හැකි කාබන් ප්‍රමාණය ‌මෙතෙක් සිතුවාට වඩා 30-50% අතර ප්‍රමාණයකින් ඉහළ විය හැකිය.

උක්ත අධ්‍යයනය මෙතෙක් පීට් බිම් පිළිබඳව කරන ලද පුළුල්ම අධ්‍යයනයකි. ක්ෂේත්‍ර නිරීක්ෂණ 7000ක් පමණ ආශ්‍රයෙන් ඔවුන් සිදුකර ඇත්තේ පීට් බිම් පිළිබඳව වඩාත් නිවැරදි වූ සිතියමක් සකස් කිරීමයි. ඒ අනුව ඒවායේ ඝනකම මෙන්ම ඇතුළත් වන හරිතාගාර වායු ප්‍රමාණය ද ගණනය කර තිබෙයි. ඒ අනුව පීට් බිම් ඇතුළත් වගුරු බිම්වල ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 3.7ක් පමණය. ඒවායේ කාබන් ගිගාටොව් 415ක් පමණ ඇතුළත් වෙයි. එම ප්‍රමාණය වර්තමාන වාර්ෂික කාබන් විමෝචන ප්‍රමාණය හා සංසන්දනය කරන්නේ නම් වසර 46ක කාබන් විමෝචන ප්‍රමාණය හා සමානය. මේ අනුව ලෝකයේ උෂ්ණ්වය ඉහළ යාමත් සමඟ පීට් බිම්වලින් කාබන් නිකුත් වන්නේ නම් එය කාබන් විමෝචනය කරන මූලික ප්‍රභවයක් විය හැකිය. එහෙත් එවැන්නක් ඇති වන දිනය නිවැරදිව පැවසීමට තරම් වර්තමානයේ ඇති ආකෘති ප්‍රමාණවත් නොවේ.

මූලාශ්‍රය - Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1916387117

සබැඳිය 1 - https://doi.org/10.1073/pnas.1916387117

සබැඳිය 2 - https://www.pnas.org/content/early/2020/08/04/1916387117

ආහාර නිෂ්පාදනයේ දී සිදුවන වන විනාශය අවධානයට

ජගත් පරිසර පුවත් 372 - 12.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.08.2020, පි. 3 (Vidusara Online)



බ්‍රිතාන්‍යයේ අලෙවි කරනු ලබන සියලු ආහාර නිෂ්පාදන වනාන්තරවල විනාශය සඳහා දායක වන ඒවා නොවන බව තහවුරු කිරීමට සියලු ආහාර සමාගම්වලට නියෝග කරන ලෙස එරට ප්‍රකට සුපිරි වෙළෙඳසැල් සමූහයක් වන ටෙස්කෝ (Tesco) සමාගම එරට රජයෙන් ඉල්ලා තිබේ. මේ ඉල්ලීම කර තිබෙන්නේ ග්‍රීන්පීස් සංවිධානයේ ඉල්ලීමක් මතය. ඔවුන් ඉල්ලා ඇත්තේ ලෝකයේ අංක එකේ මස් නිෂ්පාදන සමාගමක් වන JBS සමාගම සමඟ ඇති සම්බන්ධතා අත්හරින ලෙසය. එම සමාගම ඇමසන් ප්‍රදේශයේ වන විනාශයට දායක වන ඇති බවට බොහෝ කාලයක සිට චෝදනා එල්ල වී ඇත. කෙසේ වෙතත් සිය සැපයුම් ජාලයේ ආයතන වනාන්තර විනාශය සඳහා ඇති සම්බන්ධය නවතා දැමීමට එම සමාගම දැනටමත් එකඟ වී ඇත.

ග්‍රීන්පීස් සංවිධානය මෑත දී සිදුකළ සමීක්ෂණයකට අනුව වනාන්තර විනාශයට දායක වී ඇති සමාගම්වල මස් නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමට එරට පාරිභෝගිකයන් අතරින් අඩකට අධික පිරිසක් සිය එකඟතාවය පළ කර තිබෙයි. ඔවුන් සිදු කළ මැදිහත්වීම් නිසා මේ සම්බන්ධව වැඩි අවධානයක් අද වන විට ඒ රටවල පවතී. මේ ආකාරයෙන් තම නිෂ්පාදන පරිසර හිතකාමී කිරීමෙන් වෙළෙඳපොළ විශ්වාසය තහවරු කරගැනීම දැන් දැන් බොහෝ සමාගම්වල අපේක්ෂාව ද වී ඇත.

ස්වාභාවික පරිසරය වෙනස් කිරීමෙන් රෝග බෝකරන සතුන් ඉහළට

ජගත් පරිසර පුවත් 372 - 12.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.08.2020, පි. 3 (Vidusara Online)



ස්වාභාවික පරිසර පද්ධති වෙනස් කර ගොවිබිම් හා නගර බවට පත් කිරීම නිසා වනසතුන්ට ඇති රෝග මිනිසුන් අතරට ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යනු ඇත. මිනිසුන් විසින් සොබාදහමට සිදු කරන මේ වෙනස්කම් නිසා බොහෝ වනසතුන් පළවා හැරීමක් සිදු වෙයි. එහෙත් මේ ඇති වන තත්ත්වය රෝග ඇතිකරන විශේෂවලට වඩා සුදුසු එකකි. ඒ නිසා සතුන්ගෙන් වැළඳෙන රෝග බෝවීමේ අවදානම ඉහළ යා හැකිය.

මෙසේ මිනිසුන් විසින් වෙනස් කරන ලද පරිසරවල ජීවත්විය හැකි සත්ත්ව විශේෂ අතර බෝවන රෝග වාහකයන් ලෙස ක්‍රියා කළ හැකි සතුන් සිටියි. මේ විශේෂ අඩු කාලයක් ජීවත්වන, කුඩා හා බෙහෙවින් අනුහුරු විය හැකි ජීවී විශේෂය. ඔවුන් මේ නිසා පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනය වීම සිදුවෙයි. ගණන් බලා ඇති පරිදි අලුතින් ඇති වන බෝවන රෝග හතරකින් තුනක්ම සතුන් මගින් ව්‍යාප්ත වන රෝග වෙයි.

සොබාදහම විනාශ කිරීම නිසා රෝග ව්‍යාප්තවන බවට ඇති තවත් සාධකයක් ලෙස මේ අධ්‍යයනය සැලකිය හැකිය. ඒ සඳහා සත්ත්ව විශේෂ 6801ක් පමණ සම්බන්ධ කරගත් අධ්‍යයන 184ක දත්ත යොදාගෙන ඇති අතර එයින් විශේෂ 376ක් මිනිසුන්ට බෝ විය හැකි රෝග බෝකළ හැකි විශේෂ බව හෙළි වී තිබෙයි.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-020-2562-8

සබැඳිය 1 - https://www.nature.com/articles/s41586-020-2562-8

සබැඳිය 2 - https://doi.org/10.1038/s41586-020-2562-8




කොරෝනා නිසා උෂ්ණත්වය ඉහළ යෑමට බලපෑමක් නෑ!

ජගත් පරිසර පුවත් 372 - 12.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.08.2020, පි. 3 (Vidusara Online)



නව්‍ය කොරෝනා වසංගත තත්ත්වය උග්‍ර වූ කාලයේදී හරිතාගාර වායු විමෝචන හා වායු දූෂකවල විශාල අඩු වීමක් වාර්තා විය. මීට පෙර පළ වූ අධ්‍යයනවලින් එම හරිතාගාර වායු අඩු වීම ගැන අනාවරණය කර තිබූ පරිදි ලෝකයේ එක් දිනක හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය එහි උපරිම අගයට වඩා 17%ක් අඩු වී තිබිණි.

එහෙත් මේ හරිතාගාර වායු විමෝචන අඩු වීම නිසා ලෝකය උණුසුම් වීමට ඇති විය හැකි බලපෑම නොසලකා හැරිය යුතු තරම් සුළු එකක් බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. ඒ අනුව, 2030 වර්ෂය වන විට ඇති වෙතැයි පුරෝකථනය කර ඇති ලෝකයේ උෂ්ණත්වයට අඩු වනු ඇත්තේ සෙල්සියස් අංශක 0.01ක් තරම් අඩු ප්‍රමාණයකිනි.

මේ අධ්‍යයනයේදී ලෝකයේ රටවල් 123ක පසුගිය පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ නිකුත් වූ හරිතාගාර වායු දහයක විමෝචන ගැන සලකා බලා තිබිණි. එහිදී පෙනීගොස් ඇත්තේ ඇතැම් වායු විමෝචන අඩු වීම නිසා ඇති වන හිතකර බලපෑම වෙනත් වායු විමෝචන අඩු වීමක් නිසා හිලව් වන බවයි. ලෝකයේ ප්‍රවාහන කටයුතු සීමා කර තිබූ කාලයේදී නයිට්‍රජන් ඔක්සයිඩ් විමෝචනය 30%ක් පමණ අඩු විය. ඒ නිසා ලෝකයේ යම් තාවකාලික සිසිල් වීමක් ඇති වී තිබෙයි. එහෙත් ගල්අඟුරු දහනයෙන් නිකුත් වන සල්ෆර් ඩයොක්සයිඩ් විමෝචන 20%කින් පමණ අඩු වීමෙන් ඉහත කී සිසිල්වීමේ බලපෑම තුලනය වෙයි. එයට හේතුව සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අඩුවීමෙන් ඒ නිසා ඇතිවන වාතිලයන (Aerosol) අංශු නිපදවීම අඩු වන බැවිනි. වාතිලයන අංශු මගින් ලෝකයට පතිත වන සූර්යාලෝකයෙන් කොටසක් අභ්‍යවකාශයට පරාවර්තනය කර එමගින් ලෝකය සිසිල් කරයි. ඒ බලපෑම නැතිවීමෙන් ඇතිවන්නේ සෙසු හරිතාගාර වායු විමෝචන අඩු වීමේ බලපෑම නොසලකා හැරිය යුතු තරම් සුළු තත්ත්වයකට පත්වීමය.

කෙසේ වෙතත් මෙහිදී දක්වා ඇති අකාරයට ලෝකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වඩාත් හරිතවත් හා පරිසර හිතකාමී ආකාරයෙන් කළ හැකි නම් උෂ්ණත්වය ඉහළ යෑම අඩුකිරීමට එය දායක වනු ඇති බවයි. එසේ සිදු කළ හැකි නම් 2050 වර්ෂය වන විට පවත්නා ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3කින් අඩු කරගත හැකිය.

මූලාශ්‍රය - Nature Climate Change, DOI: 10.1038/s41558-020-0883-0

සබැඳිය 1 - https://www.nature.com/articles/s41558-020-0883-0

කොවිඩ් නිසා රයිනෝ ඝාතන අඩුවේ

ජගත් පරිසර පුවත් 371 - 05.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 05.08.2020, පි. 3 (Vidusara Online)



පසුගිය මාස හයක කාලය ඇතුළත දකුණු අප්‍රිකාවේ ඝාතනය කර ඇති රයිනෝ සතුන් ගණන 2019 වර්ෂයට සාපේක්ෂව අඩක් පමණ දක්වා අඩු වී ඇතැයි වාර්තා වෙයි. 2019 වර්ෂයේ මුල් මාස හයක කාලයේ දී එරට තුළ මරා දමන ලද රයිනෝ සතුන් ගණන 316ක් වූ අතර, මේ වර්ෂයේ මුල් මාස හය තුළ මරා දමන ලද සතුන්ගේ ගණන 166කි. මෙය 53%ක් දක්වා අඩුවීමකි.

එයට මූලික හේතුව වී ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇති වී තිබෙන සීමා කිරීම් සහ අන්තර්ජාතික ගුවන්ගමන් සීමා වීමයි. මේ තත්ත්වය රයිනෝ දඩයම්කරන පිරිස්වල කටයුතු සඳහා බරපතළ බාධාවක් ඇති වී ඇත. මාර්තු 27 සිට ජුනි මස අග දක්වා සීමා කිරීම් පැවති කාලය තුළ මරා දමා ඇත්තේ සතුන් 46ක් පමණකි. කොඩිඩ් නිසා ඇති වූ බලපෑම මීට හේතු වී ඇති බව පැහැදිලි වන්නේ මේ සීමා කිරීම් ලිහිල් කිරීමත් සමඟ රයිනෝ දඩයම් කිරීම සුළු වශයෙන් ඉහළ ගොස් තිබීම නිසාය.

චීනය හා වියට්නාමය වැනි පෙරදිග රටවල සාම්ප්‍රදායික ඖෂධයක් ලෙස භාවිත කිරීමට රයිනෝ අං සඳහා ඇති ඉල්ලුම නිසා නීතිවිරෝධී ලෙස මේ සතුන් දඩයම් කිරීම අප්‍රිකාවේ බොහෝ රටවල සිදුවන බව පෙනෙයි. එම තත්ත්වය අද වන විට අප්‍රිකායේ වෙසෙන රයිනෝ සතුන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇත.

රුධිරයේ ඊයම් ඉහළයි - වාර්තාවක් හා නඩු තීන්දුවක්

ජගත් පරිසර පුවත් 371 - 05.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 05.08.2020, පි. 3 (Vidusara Online)



ඊයම් විෂ වීම මෑත කාලයේදී වැඩි අවධානයකට යොමු වී තිබෙන සැලකිය යුතු පාරිසරික ගැටලුවකි. පසුගිය දා නිකුත් වූ යුනෙස්කෝ වාර්තාවකට අනුව ලෝකයේ ළමුන් අතරින් තුනෙන් එකක් පමණ පිරිසකගේ රුධිරයේ ඊයම් මට්ටම අන්තරායකර මට්ටමක පවතී. රුධිරය ඩෙසිලීටරයකට මයික්‍රොගෑම් 5ක් හෝ ඊට වැඩි වන එම ප්‍රමාණය දිගුකාලීන රෝග ඇති කළ හැකි මට්ටමකි. වයස අවුරුදු 19ට අඩු දරුවන් මිලියන 800ක පමණ පිරිසක් අතර දැකිය හැකි මේ තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැක්කේ දියුණු වන රටවල ළමුන් අතරය. (මූලාශ්‍රය - )

මේ අතර ඊයම් විෂ වීම නිසා පීඩාවට පත් ප්‍රජාවක් වෙනුවෙන් කෙන්යාවේ ක්‍රියාකාරිනියක ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු ඩොලර් මිලියන 12ක මුදලක් වන්දි මුදලක් ගෙවීමට නියෝගයක් නිකුත්ව ඇත. එය පිලිස් ඔමිඩෝ නම් ක්‍රියාකාරිනියක වසර දහයක් පමණ කාලයක් තිස්සේ සිදු කළ සටනක ප්‍රතිඵලයකි. කෙන්යාවේ මොම්බාසා නගරයේ ‌පිහිටා ඇති කෙන්යා මෙටල් රිෆයිනරීස් නම් වාහන බැටරි ප්‍රතිචක්‍රිකරණය කර ඊයම් ලබාගන්නා කර්මාන්ත ශාලාවෙන් පිට වූ දුම් හා බැහැර කළ අපද්‍රව්‍ය නිසා අවට ප්‍රදේශයේ වාතයත්, ජලයත් දූෂණය විය. ඒ නිසා ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රජාවකට තේරුම්ගත නොහැකි රෝග ඇති විය. ළමුන් අතර ඊයම් විෂවීම තහවුරු වු පසු ව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ ඩොලර් මිලියන 12ක වන්දි මුදල ගෙවීමට නියෝග කර ඇත්තේ වගකීම නොසලකා හැර කටයුතු කළ රජයේ ආයතනවලට හා මේ වන විට වසා දමා ඇති අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ටය. එසේම අදාළ ප්‍රදේශය මාස හතරක කාලයක් ඇතුළත දී පිරිසිදු කරන ලෙස ද අධිකරණය විසින් රජයේ බලධාරින්ට නියම කර ඇත.



ඇමසන් වනයේ ගිනි යළිත් වැඩිවේ!

ජගත් පරිසර පුවත් 371 - 05.08.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 05.08.2020, පි. 3 (Vidusara Online)



දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ මේ වර්ෂයේ ජුලි මාසයේ දී ඇති වූ වන ගිනි ප්‍රමාණය පසුගිය වර්ෂයේ එම මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව බ්‍රසීල රජයේ නිල වාර්තා අනුව පෙනෙයි. එරට ජාතික අභ්‍යවකාශ ඒජන්සිය විසින් ලබාගෙන ඇති ඡායාරූප අනුව ජුලි මාසයේ ඇති වී තිබෙන වන ගිනි ප්‍රමාණය 6803කි. එය පසුගිය වසරේ ජුලි මාසයට වඩා 28%ක ඉහළ යෑමකි. ‌මේ අනුව 2019 වර්ෂයේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී ඇති වූ වාර්තාගත වන ගිනි තරම් වූ වන ගිනි ප්‍රමාණයක් මේ වර්ෂයේදී ඇති විය හැකිද යන්න දැන් අවධානයට ලක්ව තිබෙයි. මේ සම්බන්ධව අන්තර්ජාතික ආයෝජකයන්ගෙන් ඇති වූ පීඩනය නිසා ගිනි තැබීම තහනම් කිරීමට ජුලි මාසය මුල දී රජය තීරණය කළේය. එය කෙතෙක් සාර්ථක වනු ඇතිද යන්න ඉදිරි මාස කීපයේදී පෙනී යා හැකිය.

මෙසේ වනාන්තර ගිනි තැබීමට හේතුව වන්නේ කෘෂිකාර්මික හා කැනීම් කටයුතු සඳහා ඉඩම් යොදාගැනීමයි. එම කෘෂි හා කැනීම් කටයුතු එරට වර්තමාන ජනාධිපති ජයිර් බොල්සනාරෝ විසින් ප්‍රවර්ධනය කළේය. එසේම එරට පරිසර නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය ද ඔහුගේ විවේචනයට ලක් විය. එහි අරමුදල් හා සේවක පිරිස් අඩුකර ඇති අතර, පරිසර නීති උල්ලංඝනය කිරීම සඳහා පැන වූ දඩ මුදල්වල විශාල අඩුවක් මේ පාලනයේ පළමු වසර තුළ දැකිය හැකි විය. එහි අතුරුඵල වූයේ වනාන්තර එළි කිරීම සඳහා ගිනි තැබීම බව සංරක්ෂණ කණ්ඩායම් විසින් පෙන්වා දී ඇත.

ඇපල් සමාගම 2030 දී කාබන් උදාසීන වෙයි

 ජගත් පරිසර පුවත් 370 - 29.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.07.2020, පි. 3 (Vidusara Online)




හිම වලසුන් 2100 වන විට වඳ වී යාමේ අනතුරක

 ජගත් පරිසර පුවත් 370 - 29.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.07.2020, පි. 3 (Vidusara Online)



සාගරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය 2040 දී තුන්ගුණයකින් ඉහළට?

 ජගත් පරිසර පුවත් 370 - 29.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.07.2020, පි. 3 (Vidusara Online)



මීතේන් වායුවේ සාන්ද්‍රණය වාර්තාගත ඉහළම අගයට

 ජගත් පරිසර පුවත් 369 - 22.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.07.2020, පි. 3 (Vidusara Online)



වායු සමීකරණ යන්ත්‍රවල විමෝචන අඩු කිරීමට නම්

 ජගත් පරිසර පුවත් 369 - 22.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.07.2020, පි. 3 (Vidusara Online)



බ්‍රසීලයේ සෝයා හා ගවමස් අපනයන හා වන විනාශය

 ජගත් පරිසර පුවත් 369 - 22.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.07.2020, පි. 3 (Vidusara Online)



රෝස්වුඩ් දැව ප්‍රවාහනය ගැන ඉදිරි පියවරක්

 ජගත් පරිසර පුවත් 368 - 15.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 15.07.2020, පි. 3 (Vidusara Online)



සෙල්සියස් අංශක 1.5 සීමාව ළඟදීම පනින ලකුණු

 ජගත් පරිසර පුවත් 368 - 15.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 15.07.2020, පි. 3 (Vidusara Online)



කොරෝනා වයිරසය නිසා හරිතාගාර වායු විමෝචන අඩු වීම

 ජගත් පරිසර පුවත් 368 - 15.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 15.07.2020, පි. 3 (Vidusara Online)



බ්‍රිතාන්‍යයේ ආන්තික උෂ්ණත්වය ඉහළ යයි

 ජගත් පරිසර පුවත් 367 - 08.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 08.07.2020, පි. 3 (Vidusara Online)



තාප ප්‍රවාහ දැන් වඩා දිගුයි

 ජගත් පරිසර පුවත් 367 - 08.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 08.07.2020, පි. 3 (Vidusara Online)



 ජගත් පරිසර පුවත් 367 - 08.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 08.07.2020, පි. 3 (Vidusara Online)



 ජගත් පරිසර පුවත් 366 - 01.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.07.2020, පි. 3 (Vidusara Online)



 ජගත් පරිසර පුවත් 366 - 01.07.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.07.2020, පි. 3 (Vidusara Online)

ක්ෂුද්‍ර ප්ලාස්ටික් වැළැක්වීමට රෙදිසෝදන යන්ත්‍රවලට පෙරහන්

ජගත් පරිසර පුවත් 366 - 01.07.2020

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.07.2020, පි. 3 (Vidusara Online)

රෙදි සෝදන යන්ත්‍රවලින් පරිසරයට එකතු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය පෙරහන් (filters) සවිකිරීම මගින් අඩු කරගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙයි. එහෙත් මේ යන්ත්‍රවලට සවිකරනු ලබන පෙරහන්වල ඵලදායකත්වය මේ දක්වා විද්‍යාත්මකව පරීක්ෂා කිරීමක් සිදු වී නැති බව ද එහි දී අනාවරණව වී ඇත.
වාණිජ වශයෙන් ලබාගත හැකි විවිධ පෙරහන් සහිතව හා රහිතව රෙදි සෝදන යන්ත්‍ර මගින් රෙදි සේදීමෙන් මෙම අධ්‍යයනය සිදු කර ඇත. එහි දී හෙළි වී ඇත්තේ රෙදිවලින් නිකුත් වන පොලියෙස්ටර් කෙඳිතිවලින් බහුතරයක් (74%ක් පමණ) මේ පෙරණ මගින් ඉවත් කළ හැකි බවයි. එහෙත් මුළු කෙඳි ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පරිසරයට නිදහස් වෙයි.

පරිසරයට ප්ලාස්ටික් කෙඳිති එකතු වන ප්‍රධාන ක්‍රමයක් ලෙස රෙදි සෝදන යන්ත්‍ර හඳුනාගෙන ඇත. වර්ෂයකට රෙදි සෝදන යන්ත්‍ර මගින් ලෝකයේ සෝදනු ලබන ඇඳුම් ප්‍රමාණය බිලියන 50ක් පමණ බවට ගණනය කර තිබෙයි. මේ එක් සේදුමකදී සාමාන්‍යයෙන් කෙඳිති 1900ක් පමණ නිකුත් වන බව මීට පෙර සිදුකර ඇති අධ්‍යයනවලින් අනාවරණය වී ඇත. මේ කෙඳිති යම් ප්‍රමාණයක් පමණක් අපද්‍රව්‍ය ප්‍රතිකාරක මධ්‍යස්ථාවවලදී ඉවත් කළ හැකිය. එහෙත් ඒවා පරිසරයට නිකුත් වීම වැළක්වීම වඩාත් කාර්යක්ෂම බව පැහැදිලිය. රෙදි‌ සෝදන යන්ත්‍රවලට පෙරහන් සවි කිරීම ගැන අවධානය යොමුව ඇත්තේ ඒ නිසාය. මේ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයන මීට පෙර පළ වී නොමැති තරම්ය.


මූලාශ්‍රය - PLoS One, DOI: 10.1371/journal.pone.0234248


සබැඳිය 1 - https://doi.org/10.1371/journal.pone.0234248
සබැඳිය 2 - https://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0234248


Tuesday, June 30, 2020

සොබාදහම වැනසීම වසංගතවලට හේතුවක්

ජගත් පරිසර පුවත් 365 - 24.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.06.2020, පි. 3 (Vidusara)



අද ලෝකයේ පැතිරී ඇති නව්‍ය කොරෝනා වයිරසය වැනි ලෝක ව්‍යාප්ත වසංගත රෝග ඇති වීම සඳහා මිනිසුන් විසින් සොබාදහම විනාශ කිරීම හේතු වන බව විද්‍යාඥයින්, අන්තර්ජාතික සංවිධාන කිහිපයක ප්‍රධානීන් හා වාර්තාවලින් අනතුරු හඟවා තිබෙයි. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරීන් පසුගියදා මේ ගැන අදහස් දැක්වූ අතර, ලෝක වනසත්ව අරමුදලේ (WWF) වාර්තාවක ද මේ ගැන සඳහන්ව ඇත. ඇති වී තිබෙන කොරෝනා වයිරස වසංගතය මිනිසාගේ මේ විනාශකාරී කටයුතුවල භයානකත්වය මැනවින් පෙන්වා දෙන අවස්ථාවක් බව ඔවුන්ගේ අදහස වේ.

නීතිවිරෝධී ලෙස මෙන්ම තිරසර නොවන ආකාරයෙන් සිදුකරනු ලබන වනසත්ත්ව ද්‍රව්‍ය වෙළෙඳාම මෙන්ම වනාන්තර හා වෙනත් විවිධ ස්වාභාවික පරිසර පද්ධති විනාශ කිරීම හේතුවෙන් මෙසේ වන සතුන් වෙතින් මිනිසුන්ට වැළඳෙන රෝග ඉහළ යෑම සිදුවන බව මේ පිරිසේ අදහස වෙයි. මේ තත්ත්වය ගැන පසුගිය මාර්තු මාසයේ සිටම ජෛව විවිධත්වය පිළිබඳ විශේෂඥයෝ අනතුරු හැඟවූහ. මෑත කාලයේදී ලෝකයේ ඇති වූ වසංගත රෝග ගණනාවක්ම වන සතුන් වෙතින් මිනිසුනට සම්ප්‍රේෂණය වූ රෝග වෙයි. නිදසුනක් ලෙස සිකා, ඒඩ්ස්, සාර්ස් මෙන්ම එබෝලා වැනි රෝග දැක්විය හැකිය. මේ රෝග දැඩි පාරිසරික පීඩනයක් යටතේ ජීවත් වූ සත්ත්ව ගහන අතරින් ජනනය වූ රෝග අතර වෙයි.

මේ ගැන වාර්තා කරන WWF වාර්තාවෙන් පෙන්වා දෙන්නේ 1990න් පසුව ලෝකයේ ව්‍යාප්ත වූ රෝග අතරින් 60%-70% අතර ප්‍රමාණයක් වනජීවීන් අතර ඇති වී මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ ඒවාය. එසේම ඒ වාර්තාවෙහි දැක්වෙන තවත් කරුණක් වන්නේ මිනිසුන්ට වනසතුන්ගෙන් රෝග වැළඳීමේ අවදානම අනාගතයේදී තවදුරටත් ඉහළ යන බවයි. එවැනි වසංගත තත්ත්ව මානව සෞඛ්‍යයට, ආර්ථිකයට හා ලෝකයේ ආරක්ෂාවට විනාශකාරී තර්ජනයකි. මේ අකාරයෙන් සිදුකරන මානව විනාශය අතර සොබාදහම විනාශ කිරීම, කෘෂිකර්මය හා පශුපාලන කටයුතු පුළුල් වීම හා අවදානමක් සහිත වනජීවී විශේෂ වෙළෙඳාම හා පරිභෝජනය ද වෙයි. 
 
මේ තත්ත්වය වැළැක්වීම සඳහා කොවිඩ්-19න් පසු ලෝකය යථාතත්ත්වයට පත්වීමේදී හරිතවත් හා සෞඛ්‍යමත් පියවර ගැනීම වැදගත්ය. නිදසුනක් ලෙස, පරිසරයට හානි සිදුකරන ගොවිතැන් කටයුතුවලින් මෙන්ම තිරසර නොවන ආහාර රටාවෙන් ද මිදීම එහිදී වැදගත් වෙයි. එහෙත් මේ වන විට ලෝක‌යේ සිදු වී තිබෙන කටයුතුවලින් සෑහීමකට පත්වීමට හැකිද යන්න ගැන නම් ගැටලු ඇති බව නම් පෙනෙයි.

මූලාශය - Covid 19: Urgent Call to Protect People and Nature
සබැඳි -
(1). https://cdn2.hubspot.net/hubfs/4783129/WWF%20COVID19%20URGENT%20CALL%20TO%20PROTECT%20PEOPLE%20AND%20NATURE.pdf

දේශගුණ වෙනස් වීමේ බලපෑම ක්‍රීඩාවලටත්

ජගත් පරිසර පුවත් 365 - 24.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.06.2020, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම හේතුවෙන් ඉදිරි දශක කීපයක කාලය ඇතුළත ලෝකයේ විවිධ ක්‍රීඩා තරගවලට ගැටලු ඇති විය හැකි බව පසුගියදා එළිදක්වන ලද වාර්තාවකින් පෙන්වාදී තිබේ. එ් සඳහා මූලික හේතුව වන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි බලපෑම්ය.

මෙවැනි එක් බලපෑමක් වන්නේ ආන්තික කාලගුණ තත්ත්ව ඇති වීම සුලභ වීමයි. නිදසුනක් ලෙස ගතහොත්, එංගලන්තයේ පාපන්දු තරගාවලි සඳහා යොදාගන්නා ක්‍රීඩංගනවලින් හතරෙන් එකක් පමණ (පිටි 92න් 23ක්) ප්‍රමාණයක් 2050 වර්ෂය වන විට සෑම වර්ෂයකදීම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ ගංවතුරට යට විය හැකිය. දැනටමත් සුළු වශයෙන් දැකිය හැකි මෙය සියලු ආකාරයේ පාපන්දු තරග සඳහා බලපෑමක් කළ හැකි කරුණකි. මේ වන විට ද ආන්තික කාලගුණ තත්ත්ව නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ ක්‍රීඩා සඳහා බලපෑම් ඇති වී තිබෙයි. ජපානයේ පසුගිය වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ රගර් තරගාවලියට කුණාටුවක් නිසා බාධා ඇති විය. එසේම මේ වර්ෂයේ මුලදී පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය නතර කිරීමට සිදු වූයේ ලැව් ගිනි නිසා ඇති වූ දුමාරය හේතුවෙනි.

ඉහළ යන උෂ්ණත්වය නිසා ද ක්‍රීඩා තරග පැවැත්වීමට බාධා ඇති විය හැකිය. එවැනි ක්‍රීඩා අතර, ටෙනිස්, රගර්, මලල ක්‍රීඩා මෙන්ම ශීත ඍතු ක්‍රීඩා ද තිබෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට තර්ජනයක් ඇති වන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදව් වැනි රටවල ඉදිරියේදී ඇති වන අධික උෂ්ණත්වය නිසාය. ලෝකයේ ඇතැම් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාංගන පිහිටි ප්‍රදේශවල වර්ෂයේ ඇතැම් කාලවකවානුවල දී ඇති වන අධික උෂ්ණත්වය නිසා තරග පැවැත්වීම අපහසු විය හැකිය. එසේම මෙතෙක් ශීත ඍතු ඔලිම්පික් තරග පවත්වන ලද ස්ථාන 19ක් අතරින් 2050 වන විට ශීත ඍතු තරග පැවැත්වීමට සුදුසු වනු ඇත්තේ ස්ථාන 10ක පමණකි. ඒ අධික උෂ්ණත්වය නිසාය.
ලෝකයේ ක්‍රීඩා සංවිධායකයන් මේ තත්ත්වය සම්බන්ධව මෙතෙක් දැඩි අවධානයක් යොමු කර නොමැති බව මෙම අධ්‍යයනයෙහි සඳහන් වෙයි. කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ලෝකයේ සියලු ක්‍රීඩා කටයුතු අතිශයින් සීමා වී තිබෙන අද දවසේ මේ අනාගත තර්ජනය ගැන අවධානය යොමු කිරීමට සුදුසු අවස්ථාවක් බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මූලාශ්‍රය - Playing against the clock: Global sport, the climate emergency and the case for rapid change,

සබැඳි -
(1). https://www.rapidtransition.org/resources/playing-against-the-clock/

නව්‍ය කොරෝනා නිසා අලුත් සමුද්‍ර දූෂණයක්

ජගත් පරිසර පුවත් 364 - 17.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.06.2020, පි. 3 (Vidusara)



මේ වන විට ලෝකයම පීඩාවට පත්ව ඇති නව්‍ය කොරෝනා වසංගතය නිසා සැලකිය යුතු සමුද්‍ර දූෂණයක් ඇති විය හැකි බව පරිසර සංරක්ෂණවේදීන් විසින් අනතුරු හඟවා තිබෙයි. එයට හේතුව වන්නේ වරක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාස්ටික්වලින් තැනූ මුහුණු ආවරණ, අත් වැසුම් හා සැනිටයිසර් බෝතල් ක්‍රමයෙන් සාගරයට එක් වෙමින් ඇති නිසාය.

ප්‍රංශ ක්‍රියාකාරීන් කණ්ඩායම මේ ගැන මුලින්ම අනතුරු හඟවන ලද්දේ පසුගිය මැයි මාසයේදීය. ඒ මුව වැසුම්, අත්වැසුම් මෙන්ම සැනිටයිසර් බෝතල් වැනි ද්‍රව්‍ය මධ්‍යධරණී මුහුදේ සෙසු ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර හමුවීමත් සමඟය. මේවා ‘කොවිඩ් අපද්‍රව්‍ය’ (Covid Waste) ලෙස නම් කර ඇත. තවමත් මේවා විශාල ප්‍රමාණයක් හමු නොවුනත්, මේ වන විට ලෝකය පුරා මිලියන ගණනාවක් ජනතාවක් මේවා භාවිත කරන අතර, ඉන්පසුව ඒවා ඉවත දැමීමත් සමඟ බරපතළ විය හැකි මේ නව ආකාරයක සාගර දූෂණය ඉදිරියේදී බරපතළ විය හැකිය.

මේ වන විට භාවිතයට ගන්නා මෙන්ම ඇණවුම් කර ඇති මුව වැසුම් ප්‍රමාණය අනුව ඉදිරියේදී ජෙලි ෆිෂ් මසුන්ට වඩා මධ්‍යධරණී මුහුදේ මුව වැසුම් දැකිය හැකි වනු ඇති බව විද්‍යාඥයෙක් පවසා ඇත. මේ වන විටත් ප්ලාස්ටික් නිසා ලෝකය පුරා සාගර දූෂණය වී ඇති බැවින් මේ තත්ත්වය වැළැක්වීමට අවධානය යොමු විය යුතු බව පැහැදිලිය. මේ ඇතැම් මුව වැසුම් නිපදවීමට භාවිත කරන පොලිප්‍රොපිලීන් වැනි ද්‍රව්‍යවල ආයු කාලය වසර 450් පමණ විය හැකි බව පැවසේ. එසේ නම් ඒවා නිසා ඇති විය හැකි බලපෑම දිගුකාලීන මෙන්ම බරපතළ ද වෙයි.

චීනයේ සාම්ප්‍රදායික ඔසු ලැයිස්තුවෙන් කබල්ලෑයින් ඉවතට

ජගත් පරිසර පුවත් 364 - 17.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.06.2020, පි. 3 (Vidusara)



නිල වශයෙන් පිළිගෙන ඇති සාම්ප්‍රදායික චීන ඔසු නාමාවලියෙන් කබල්ලෑ ශල්ක ඉවත් කිරීම සඳහා චීන බලධාරීන් විසින් ගෙන ඇති තීරණය මෙම සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව වැදගත් පියවරක් වනු ඇති බවට අපේක්ෂා පළ වී තිබේ. පසුගිය සතියේ චීනය මේ සතුන්ට ලබා දී තිබෙන ආරක්ෂාව ඉහළම මට්ටමට ගෙන ඒමෙන් පසුව මේ පියවර ගෙන තිබේ.

ඉතා වේගයෙන් වඳ වී යමින් ඇති සත්ත්ව විශේෂ අතරට කබල්ලෑයන් මෑත දී එක් වූයේ ශල්ක හා මස් පිණිස දඩයම් කිරීම නිසාය. මේ වන විට ලෝකයේ ජීවත් වන කබල්ලෑ විශේෂ අටම අන්තර්ජාතික නීති මගින් ආරක්ෂිත වුවද, මේ සතුන් නීති විරෝධී ලෙස වෙළඳාම් කිරීම මෑත දී සැලකිය යුතු තරම් ඉහළ ගොස් ඇත. කබල්ලෑ ශල්ක මූලික වශයෙන් භාවිත වන්නේ චීන සාම්ප්‍රදායික වෛද්‍ය කර්මයේය.

එතරම් අන්තරායක තත්ත්වයේ ඇති මේ සතුන් චීනයේ නිල ඔසු නාමාවලියෙන් ඉවත් කිරීම කබල්ලෑයින්ගේ ආරක්ෂාව පිළිබඳ සටනේ වැදගත් සිදුවීමක් විය හැකි බව සංරක්ෂණවේදීන්ගේ අදහසයි. ඉදිරියේදී මේ හා සම්බන්ධ නීති රීති සංශෝධනය කිරීමට හා පාරිභෝගික රුචිකත්වය වෙනස් කිරීම සඳහා ද චීන රජය කිසියම් පියවරක් ගනු ඇති බව ඔවුහු අපේක්ෂා කරති. එය සියලු වන සතුන් සඳහා වූ තහනමක් විය හැකි නම් වැදගත්බව ද පෙන්වා දී ඇත. කොරෝනා වයිරස තර්ජනය ඇති වූ අවස්ථාවේ දී චීනය තුළ සියලු වන සතුන් ආහාර ලෙස යොදාගැනීම තහනම් කළ ද, ඔසු ලෙස හා සම් භාවිත කිරීම තහනම් කරනු නොලැබිණි.

ජෛව විවිධත්ව අහිමි වීම වළක්වන්නට තනි ඉලක්කයක්?

ජගත් පරිසර පුවත් 364 - 17.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.06.2020, පි. 3 (Vidusara)



ලෝකයේ ජෛව විවිධත්වය අහිමි වීම හෙවත් ජීවීන් වඳ වී යෑම වළක්වාලීම සඳහා එක් තනි ඉලක්කයක් අවශ්‍ය බව විද්‍යාඥයෝ පිරිසක් පෙන්වා දෙති. ඔවුන් යෝජනා කරන ඉලක්කය වන්නේ මීළඟ වර්ෂ 100ක කාලය තුළ එක් වසරක් තුළ දී වඳ වී යන ජීවීන් ප්‍රමාණය 20කට සීමා කිරීමය. ඒ සියලු ප්‍රධාන ජීවී කාණ්ඩ මෙන්ම සියලු පරිසර පද්ධතිවලටය. මැනීමට හැකි, මෑත කාලයේ අත්පත් කරගත හැකි ඉලක්කයක් ලෙස මෙය වැදගත් බව ඔවුන්ගේ අදහස වෙයි.

ජෛව විවිධත්වය අහිමි වීම සම්බන්ධ මේ වන විට පවත්නා ඉලක්ක හා ප්‍රගතිය ගැන සතුටු විය නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබෙයි. 2010 වර්ෂයේ දී ඇති කරගත්, 2020 වන විට සම්පූර්ණ කරගත යුතු අයිචි ජෛව විවිධත්ව ඉලක්ක (Aichi Biodiversity Targets) අතරින් මේ වන විට සාධනීය වූ ප්‍රගතියක් පෙන්වන්නේ ඉලක්ක 4ක් පමණි. තවත් ඉලක්ක 12කම දැකිය හැකි ප්‍රවණතාවය වන්නේ තත්ත්වය අයහපත් වන බවයි. මේ අනුව 2020 වර්ෂයෙන් පසු කාලය සඳහා අලුත් ඉලක්ක අවශ්‍ය බව පැහැදිලිය.

මේ විද්‍යාඥයන් පවසන්නේ 2020න් පසුව ලෝකයේ පිළිගැනීම සඳහා එක් තනි ඉලක්කයක් අවශ්‍ය බවයි. දේශගුණ වෙනස් වීම පාලනය සම්බන්ධව ඇතිකර ගෙන තිබෙන තනි ඉලක්කය (ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම උපරිම වශයෙන් අංශක 2කට සීමා කිරීමේ ඉලක්කය) වටා ලෝකයම එකතු වී තිබීම එවැන්නක සාර්ථකත්වය සඳහා නිදසුන් වෙයි. එවැන්නක් තිබීම, දේශපාලන වශයෙන් හා ජනතා සහයෝගය ලබාගැනීම සඳහා ද පහසු වනු ඇති බව ඔවුන්ගේ අදහසයි. එම ඉලක්කය අත්පත් කරගැනීම සඳහා ජෛව විවිධත්වය සම්බන්ධ සෙසු පියවර සකස් කළ හැකිය.


මූලාශ්‍රය - Science DOI: 10.1126/science.aba6592

සබැඳි -
(1). https://doi.org/10.1126/science.aba6592
(2). https://science.sciencemag.org/content/368/6496/1193

කොරෝනාවෙන් පසු වාතය යළිත් දූෂිත වෙමින්

ජගත් පරිසර පුවත් 363 - 10.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 10.06.2020, පි. 3 (Vidusara)



චීනයේ වායු දූෂණය කොරෝනා වසංගතය නිසා පැන වූ සීමා කිරීම්වලට පෙර පැවති මට්ටමට යළි පැමිණෙමින් ඇති බව වාර්තා වෙයි. සමහර ප්‍රදේශවල මේ වන විටත් ඒ තත්ත්වය ඇති වී තිබෙයි. මේ දක්වා වසා දමා හෝ සීමා කර තිබූ ක්‍රියාකාරකම් යළිත් ආරම්භ වීමත් ඊට හේතුවය. ඉදිරියේදී යුරෝපයේ ද මේ ආකාරයෙන් වායු දූෂණය ඉහළ යනු ඇත.

බලශක්තිය හා පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය නම් ආයතනයක් විසින් පෙන්වා දී ඇති පරිදි මේ වන විට චීනයේ පවත්වා වායු දූෂණය මීට වසරකට පෙර පැවති මට්ටම හා සමාන වෙයි. ඔවුන් මෙහිදී සියුම් අංශුමය ද්‍රව්‍ය (PM2.5) හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම පිළිබඳව සැලකිල්ලට ගෙන තිබෙයි. දැඩි සීමා කිරීම් පැවති මාර්තු මාසය මුලදී මේ දූෂකවලට මට්ටම ඊට වසරකට පෙර (2019 මාර්තු) පැවති මට්ටම මෙන් 38%ක් හා 34%ක් පමණ අඩු වී තිබිණි.

මේ අතර හවායිහි මෝනා ලෝආ හි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ වාර්තා අනුව 2019 මැයි මාසයේ මිලියනයකට කොටස් (ppm) 414.8ක මට්ටමේ පැවති වායුගෝලීය සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 2020 වර්ෂයේ මැයි මාසය වන විට 417.2 දක්වා ඉහළ ගොස් ඇත. එය මිලියනයකට කොටස් 2.4ක පමණ වර්ධනයක් වන අතර, කොරෝනා වසංගතයේ බලපෑම නොතිබුණේ නම් තවත් 0.4කින් ඉහළ යෑමට ඉඩක් පැවති බව සඳහන්ය. මේ අනුව කෙරෝනා වසංගතය නිසා ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට ඇති වූ බලපෑම සිතුවාට වඩා අඩු විය හැකි බව පැහැදිලි බව විද්‍යාඥයන්ගේ මතයයි.

ජීවීන් වඳව යෑමේ වේගය ඉහළට?

ජගත් පරිසර පුවත් 363 - 10.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 10.06.2020, පි. 3 (Vidusara)



මානව බලපෑම් නිසා වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් පිළිබඳව පසුගියදා එළිදක්වන ලද අධ්‍යයනකට අනුව ලෝකයේ හයවැනි මහා වඳවීම ලෙස නම් කර ඇති වර්තමාන ජීවීන් වඳවීම මේ වන විට වේගවත් වෙමින් පවතී.

මේ සඳහා පර්යේෂකයන් විසින් යොදගෙන ඇත්තේ ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) තර්ජනයට ලක් වූ ජීවී විශේෂ පිළිබඳ රතු ලැයිස්තුවේ දත්තය. එහි එන පෘෂ්ටවංශී විශේෂ 29400ක් අතරින් දහසකට අඩු ගහනයක් ජීවන් වන නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ හඳුනාගෙන ඇත. මෙහි දී හෙළි වී ඇති පරිදි එවැනි ජීවී විශේෂ 515ක් මේ වන විට බරපතළ වඳවීමේ තර්ජනයකට මුහුණ දී සිටිති. මෙසේ දැඩි ලෙස තර්ජනයට ලක්ව සිටින ජීවීහු ඇන්ටාක්ටිකාව හැර ලෝක‌යේ සියලුම මහාද්වීපවල හා මානව බලපෑම තදින් ඇති ප්‍රදේශවල වාසය කරති. එමෙන්ම, මේ ජීවී විශේෂ අතරින් වැඩි ප්‍රමාණයක් දැකිය හැක්කේ නිවර්තන හා උප නිවර්තන කලාපයේය. 
 
මේ අධ්‍යයනයෙන් නිගමනය කරන පරිදි ලෝකයේ හයවැනි මහා වඳවීම වේගවත් වෙමින් ඇත. ස්වාභාවිකව දැකිය හැකි වඳ වී යෑමේ වේගය මෙන් සියගුණයක් පමණ වේගයකින් මේ ජීවීන් වඳවී යෑම සිදුවෙයි. ඒ සඳහා බලපාන හේතු ලෙස ‌ඔවුන් දක්වා ඇති කරුණු අතර, මෙසේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වැඩි ප්‍රමාණයක් නුදුරු අනාගතයේදී වඳවී යා හැකි වීම එකකි. මේ ජීවීන් වාසය කරන්නේ තර්ජනයට ලක්ව ඇති තවත් විශේෂ රැසක් සිටින මිනිසුන්ගේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලය. පාරිසරික අන්තර්ක්‍රියා නිසා මේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ වඳවීමෙන් පසු තවත් විශේෂ වඳවී යා හැකිය. එසේම මානව ක්‍රියාකාරිත්වය තවදුරටත් වැඩි වෙමින් තිබීම තවත් හේතුවකි.

මූලාශ්‍රය - Proceedings of the National Academy of Sciencesල DOI: 10.1073/pnas.1922686117

හරිතාගාර විමෝචන 2050 වන විට ශුන්‍ය කිරීය ව්‍යාපාරයක්

ජගත් පරිසර පුවත් 363 - 10.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 10.06.2020, පි. 3 (Vidusara)



2050 වර්ෂය වන විට ලෝකයේ ශුද්ධ හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ශුන්‍ය බවට පත් කිරීම ඉලක්ක කරගත් ජගත් මට්ටමේ ව්‍යාපාරයක් පරිසර දිනය යෙදුණු ජුනි 5 දා එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස් වීම පිළිබඳ රාමුගත සම්මුතිය () විසින් දියත් කර ඇත. එය ‘ශුන්‍යය තෙක් වු තරගය’ (Race to Zero) ලෙස නම් කර තිබෙයි. 

2050 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචන ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා යෑම සඳහා ලෝකයේ රටවල්, සමාගම් හා වෙනත් ආයතන පෙළඹවීම හා දිරිමත් කිරීම එහි අරමුණයි. ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරවලට, නගරවලට මෙන්ම ආයෝජකයන්ට ද මෙම ව්‍යාපාරයට සහාය දෙන මෙන් ඉල්ලා තිබේ. මේ වන විට නෙස්ලේ හා රෝල්ස්-රොයිස් වැනි ප්‍රධාන පෙළේ ආයතනය මෙම ව්‍යාපාරයට සහාය දීමට එකඟ වී ඇත. කල් දමා ඇති දේශගුණ සාකච්ඡා යළිත් ආරම්භ වන විට, ඔවුන්ට මේ ප්‍රතිඥාව ලබාදිය හැකි මට්ටමට අඛණ්ඩ පෙළඹවීමක් සිදුකිරීමට අපේක්ෂිතය.

මේ ව්‍යාපාරය දියත් කිරීම සිදුවූයේ මාර්ගගතව අන්තර්ජාලය ඔස්සේය. එහිදී UNFCCC ආයතනයේ ප්‍රධානියා පැවසුවේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා වූ කැපවීම ප්‍රමාද වීමට කොරෝනා වයිරසය හේතුවක් නොවිය යුතු බවයි. මේ වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තිබූ වාර්ෂික දේශගුණ සමුළුව වර්ෂයකින් කල් ගිය ත්ත්වයක් තුළ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා පොළඹවන ආකාරයේ ව්‍යාපාරයක් තිබීම වැදගත්ය. මේ වන විට ලෝකයේ රටවල් පොරොන්දු වී ඇති හරිතාගාර වායු සීමා කිරීම පිළිබඳ ඉලක්ක පැරිස් ගිවිසුමේ යෝජිත උෂ්ණත්ව ඉලක්ක අත්පත්කරගැනීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

දේශගුණ සමුළුව වසරකින් පස්සට!

ජගත් පරිසර පුවත් 362 - 03.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.06.2020, පි. 3 (Vidusara)


මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජගත් දේශගුණ සමුළුව සම්පූර්ණ වසරකින් පමණ පමා වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර ඇත. ඒ අනුව එම සමුළුව 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ග්ලාස්ගෝ නගරයේදීම පැවැත්වීඹට නියමිතය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා අප්‍රේල් මස මුලදී පමණ කල් දමනු ලැබූ මෙම සමුළුව, ලබන වර්ෂයේ මුල් භාගයේදී පමණ පැවැත්වීමට උත්සාහ කරන බව පළමුව වාර්තා විය. එහෙත් මේ වන විට පවත්නා තත්ත්වය අනුව එය වසරකින්ම කල් දැමීමට නියමිතය. මේ සඳහා හේතුව වී ඇත්තේ ඇතැම් රටවල ගමනාගමන සීමා තවත් කාලයක් පවත්නා බව පෙනී යෑම සහ මෙසේ කල්දමන ලද වෙනත් අන්තර්ජාතික රැස්වීම් සඳහා ද දින වකවානු අවශ්‍ය නිසාය. 

මෙසේ පැවැත්වීමට නියමිතව ඇත්තේ දේශගුණ වෙනස් වීම පිළිබඳ රාමුගත සම්මුතියේ 26 වැනි පාර්ශ්වකරුවන්ගේ රුස්වීමයි (). මෙය 2015 වර්ෂයේදී ඇතිකරගත් පැරිස් ගිවිසුම සම්බන්ධයෙන් වැදගත්ය. එම ගිවිසුම අනුව ලෝකයේ රටවල් වසර පහෙන් පහට තම රටවල හරිතාගාර වායු සීමා කිරීම සම්බන්ධ සංශෝධිත සැලසුම් ඉදිරිපත් කළ යුතුය. මේ වන විට ප්‍රකාශයට පත්ව තිබෙන රටවල්වල ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වයේ () සඳහන් ඉලක්ක අනුව ලෝකයේ උෂ්ණත්වය මේ සියවස අවසන් වන විට සෙල්සියස් අංශක 3ක සීමාවට ලඟා විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් පැරිස් ගිවිසුමේ එන ඉලක්කය වන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම අංශක දෙකකට සීමා කරගැනීම හා හැකි නම් අංශක 1.5කට සීමා කිරීමයි.

දේශගුණ වෙනස් වීම පාලනයට පියවර 10ක්

ජගත් පරිසර පුවත් 362 - 03.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.06.2020, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම අද දවසේ මූලික පාරිසරික අභියෝගයයි. ඒ සඳහා පිළියම් සෙවීම ගැන විවිධ පිඑිස්වල අවධානය යොමු වී ඇත. දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට හැකි බව දක්වා ඇති අධ්‍යයනයකින් මේ සඳහා අනුගමනය කළ යුතු පියවර හඳුනාගැනීමට උත්සාහ කර තිබෙයි. විවිධ අධ්‍යයන 6990ක පමණ සඳහන් වන විමෝචන අවම කරගත හැකි පියවර රැසක් පිළිබඳව අවධානය යොමු කර ඇති මෙම අධ්‍යයනයෙන් ජනතාවට සිය කාබන් පියසටහන අඩු කරගත හැකි හොඳම ක්‍රම දහයක් හෙළි කර ඇත. පහත දක්වා ඇති මේ පියවර සමඟ වරහන තුළ දැක්වෙන්නේ එක් එක් පියවර ක්‍රියාත්මක කිරීමෙන්, එක් වර්ෂයකට එක් පුද්ගලයෙකුට අඩු කරගත හැකි කාබන් ඩයොක්සයිඩ් ටොන් ප්‍රමාණයේ සාමාන්‍යයයි.

  • කාර් රථය භාවිතයෙන් තොරව ජීවත් වීම (ටොන් 2.04)
  • විදුලි කාර් රථයක් භාවිත කිරීම (ටොන් 1.95)
  • වසරක දී යෙදෙන දිගුදුර ගුවන්ගමන් එකක් අඩු කිරීම (ටොන් 1.68)
  • පුනර්ජනනය කළ හැකි බලශක්තිය භාවිතය (ටොන් 1.6)
  • ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහනය යොදාගැනීම (ටොන් 0.98)
  • නිවාස නවීකරණය මගින් තාප පරිවරණය ඉහළ නැංවීම (ටොන් 0.895) (මෙය ශීත රටවල නිවාස උණුසුම් කිරීමට වඩාත් අදාළය)
  • නිර්මාංශ ආහාර පරිභෝජනය කිරීම (ටොන් 0.8)
  • තාප පොම්ප යොදාගැනීම (ටොන් 0.795) (මෙය ශීත රටවල නිවාස උණුසුම් කිරීමට වඩාත් අදාළය)
  • විමෝචන අඩු දියුණු කළ උඳුන් භාවිතය (ටොන් 0.65) (මෙය දියුණු වන රටවලට වඩාත් අදාළය)
  • පුනර්ජනනය කළ හැකි බලශක්තියෙන් නිවාස උණුසුම් කිරීම (ටොන් 0.64)
මේ අධ්‍යයනයෙන් පෙනෙන පරිදි, ඇතැම් ප්‍රකට පියවර මගින් කාබන් ඩයොක්සයිඩ් විමෝචන අඩු වන නමුත් ඊට වඩා සාර්ථක පියවර තිබේ. නිදසුනක් ලෙස ප්‍රතිචක්‍රියකරණය දැක්විය හැකිය - එය ඵලදායී වුවත් එමගින් අඩු වන විචෝචන ප්‍රමාණය අඩුය. එසේම නිර්මාංශ ආහාරයට වඩා වැඩි සාධනීය බලපෑමක් ප්‍රවාහනය පිළිබඳ වෙනස්කම්වලින් සිදුවෙයි.

පර්යේෂකයන් විසින් ගණන් බලා ඇති පරිදි ඉහත පියවර දහය මගින් එක් පුද්ගලයෙකුට අඩු කළ හැකි කාබන් විමෝචන ප්‍රමාණය වසරකට ටොන් 9.2ක් පමණ වේ. එය සැලකිය යුතු අගයකි. මේ අනුව පෙනෙන්නේ සාමාන්‍ය ජනතාවට ද කළ හැකි දේ ඉතිරිව ඇති බවයි. එහෙත් එය ජීවන රටාවේ බරපතළ වෙනස්කම් සිදුකිරීමකි. එබැවින් දැන් අවශ්‍ය වන්නේ ඒ සඳහා අවශ්‍ය පසුබිම හා පහසුකම් ඒ ඒ රටවල බලධාරීන් විසින් සලසාදීමය. කොවිඩ්-19 වසංගතය නිසා මේ අවශ්‍යතාවය බොහෝ දෙනාට දැනී ඇති බැවින් ආණ්ඩුවල ප්‍රමුඛතාව ද ඒ අනුව නැවත සැකසීම අවශ්‍යය.

මූලාශ්‍රය - - Environmental Research Letters, DOI: 10.1088/1748-9326/ab8589
සබැඳි - 

Sunday, May 31, 2020

උෂ්ණත්වය ඉහළම වර්ෂය 2020 වේද?

ජගත් පරිසර පුවත් 358 - 06.05.2020

ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 06.05.2020, පි. 7 (Vidusara Online)

http://www.vidusara.com/2020/05/06/feature6.html

උෂ්ණත්වය මැනීම ආරම්භ කළ පසුව වාර්තා වන ඉහළම උෂ්ණත්වය ඇති වර්ෂය 2020 වීමට 50%ත් 75%ත් අතර අවස්ථාවක් ඇති බව ආයතන කීපයක විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. ‌කොරෝනා වයිරසය මගින් වායු දූෂණය අඩු කර ඇතත්, ලෝකය සිසිල් කිරීමට හේතුවන කිසිදු ක්‍රියාවක් ඒ නිසා ඇති වී නොමැත. ඒ සඳ හාදිගු කාලීන හා වඩා දැඩි පියවර අවශ්‍ය බව ඔවුන්ගේ අදහස වෙයි.

මේ වර්ෂයේ ජනවාරි මාසයේ සිට ගත වූ කාලයේදී ලෝකයේ උෂ්ණත්ව වාර්තා බිඳ වැටී ඇත. එල් නිනෝ තත්ත්වයක් නොමැතිව මෙසේ අධික උෂ්ණත්වයක් පැවතීම විද්‍යාඥයන් අතර යම් විස්මයක් ඇති කර තිබෙයි. මේ තත්ත්වය අනුව 2020 වර්ෂය වැඩිම උෂ්ණත්වය පවත්නා වර්ෂය බවට ආයතන තුනක් පෙන්වා දී ඇත. ඒ සඳහා 75%ක අවස්ථාවක් ඇති බව පවසන්නේ ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය (NOAA) නම් ආයතනයයි. ඇමරිකාවේ NASA ආයතනයට සම්බන්ධ, අභ්‍යවකාශ අධ්‍යයන සඳහා වූ ගොඩාඩ් ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ ගණනය කිරීම් අනුව මේ වර්ෂයේ උෂ්ණත්වය වාර්තා අතරට ඒමට 60%ක පමණ අවස්ථාවක් පවතී. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ කාලගුණ කාර්යාලය (Met Office) පවසන්නේ 2020 දී නව උෂ්ණත්ව වාර්තාවක් ඇතිවීමට ඇත්තේ 50%ක අවස්ථාවක් පමණක් බවයි.

මේ අදහස් අනුව පෙනෙන්නේ 2020 වර්ෂයේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වාර්තාගත අගයක් ගත හැකි බවයි. එය ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රවණතාවට සාධකයකි. ලෝකයේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පැවති වර්ෂය වූයේ 2016 වර්ෂයයි. එහෙත් ඒ වර්ෂයේ මුල එල් නිනෝ තත්ත්වයක් ද පැවතියේය.

සාගරයේ ඉහළම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය මධ්‍යධරණී මුහුදේ

ජගත් පරිසර පුවත් 358 - 06.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 06.05.2020, පි. 7 (Vidusara Online)


http://www.vidusara.com/2020/05/06/feature6.html


සාගර පත්ලෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය මධ්‍යධරණී මුහුදේ පත්ලෙන් සොයාගෙන ඇති බව පසුගියදා වාර්තා විය. ඉතාලියට නුදුරු ප්‍රදේශයක මධ්‍යධරණී මුහුදෙන් ලබාගත් තැන්පතුවලින් මේ ඉහළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය වාර්තා වී ඇත. එය වර්ග මීටරයකට ප්ලාස්ටික් කොටස් මිලියන 1.9ක පමණ වාර්තාගත අගයකි. ඇඳුම් හා විවිධ කෘත්‍රිම රෙදිපිළිවලින් ලැබුණු ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මෙන්ම වෙනත් ප්ලාස්ටික් ද්‍රව්‍ය කැඩී බිඳී සැකසුණු ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් ද මීට ඇතුළත්ය.

ගොඩබිම සිට මෙන්ම නැව් ආදියෙන්ද බැහැර වන ප්ලාස්ටික් සාගර ප්‍රවාහ මගින් සාගරයේ ඇතැම් තැන්වල ක්ෂුද්‍රප්ලාස්ටික් ලෙස එක්රැස් වේ. සාගර ප්‍රවාහ මගින් ප්ලාස්ටික් කොටස් ගසාගෙන ගොස් තැන්පත් වන්නේ සාගරය පත්ලේ වැලි කඳු හැදෙන ආකාරයටම බව කියවෙයි. එවැනි ස්ථාන කිලෝමීටර් ගණන් දිගු විය හැකි සේම මීටර් ගණනාවක් උස් වූ තැන්පතු විය හැකිය. එවැන්නක කුඩා ප්‍රමාණයේ විවිධ අංශු විශාල ප්‍රමාණවලින් ඇති අතර, එවැනි තැනක ක්ෂුද් ප්ලාස්ටික් ද තැන්පත් වෙයි. මේ ස්ථාන ගැඹුරු මුහුදේ දැකිය හැකි දොරු () කැන්යොන් හා අගල් වැනි ස්ථානවල රැස්වේ. මේවා සමහරක් සාගර පත්ලේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් වැදගත් ස්ථාන වන අතර, දැන් ප්ලාස්ටික් සම්බන්ධයෙන් ද වැදගත් ස්ථාන වී ඇත.

මීට පෙර සාගරයේ මතුපිට දැකිය හැකි ප්ලාස්ටික් පිළිබදව ලෝකයේ වැඩි අවධානයක් ‌යොමු වී තිබිණි. ඒ ප්‍රමාණය සාගරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය හා සංසන්දනය කරන විට සැලකිය යුතු තරම් අඩු ප්‍රමාණයකි. එවිට ඉතිරි ප්ලාස්ටික් ඇත්තේ කොතැනකද යන්න ගැටලුවක් විය. (මූලාහ්‍රය - Science, DOI: 10.1126/science.aba5899)

කොරෝනා නිසා ජීවිත බේරෙන්නත් පුළුවන්!

ජගත් පරිසර පුවත් 358 - 06.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 06.05.2020, පි. 7 (Vidusara Online)

http://www.vidusara.com/2020/05/06/feature6.html


නව්‍ය කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හමුවේ ලෝකයේ බොහෝ රටවල ගමනාගමන හා කර්මාන්ත සීමා විය. ඒ නිසා වාතයේ ගුණාත්මත තත්ත්වය ඉහළ ගොස් ඇත. මාර්ගවල රථවාහන ධාවනය හා කර්මාන්ත අක්‍රිය වීම නිසා යුරෝපයේ ගල් අඟුරු භාවිතය 37%කින් ද, තෙල් භාවිතය තුනෙන් එකකින් ද අඩු වී ඇත. ඒ නිසා වාතයේ සිදුව තිබෙන වෙනස්කම් පසුගිය වර්ෂයේ මේ කාලයේදී පැවති තත්ත්වය හා සංසන්දනය කිරීමේදී හෙළි වි තිබෙයි. ඒ අනුව, ගතවූ මාසයක පමණ කාලයේදී වාතයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම 40%කින් පමණ ද කුඩා ප්‍රමාණයේ අංශුමය ද්‍රව්‍ය (PM2.5) ප්‍රමාණය 10%කින් ද සාමාන්‍යයෙන් අඩු වී තිබෙයි.

මේ ප්‍රධාන වායු දූෂක නිසා යුරෝපයේ වාර්ෂිකව ඇති වන මරණ ප්‍රමාණය 470000ක් පමණ වෙයි. ගත වූ මාසයේ සිදු වූ පෙර කී වායු දූෂක අඩු වීම නිසා ඒ මිනිසුන් 7000ත් 20000ත් අතර ප්‍රමාණයක් (සාමාන්‍ය අගය 11000ක්) මරණයෙන් බේරාගැනීමට හැකි වනු ඇත. වැඩිම මරණ ප්‍රමාණයක් වළක්වා ගත හැක්කේ ජර්මනියේය. දෙවැන්න බ්‍රිතාන්‍යයේය. රෝග වශයෙන් ගත් විට ඒ අය‌ගෙන් 40%ක්ම හෘද රෝග නිසා මරණයට පත්විය හැකිව තිබූ අයයි. තවත් 17%ක් ශ්වසන රෝග නිසා මියයෑමට ඉඩ තිබූ අයයි. එසේම මේ හේතුවෙන් ඇදුම සෑදෙන ළමුන් ගණන 6000කින් පමණ අඩු වීම, හදිසි ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණීම් 1900කින් අඩු විම, අඩුමාසයෙන් සිදුවන දරු උපත් 600ක් පමණ අඩු වීම ඇති බව සඳහන් වෙයි.

ලේකයේ සෙසු ප්‍රදේශ හා ගමනාගමන සීමා සිදුව ඇති මුළු කාලය ද සැලකූ විට මේ ප්‍රමාණය මීට වඩා ඉහළ යා හැකිය. එහෙත් නව්‍ය කොරෝනා වසංගතය නිසා ඇති වී තිබෙන මරණ ප්‍රමාණය වඩාත් බරපතළය. එබැවින් මෙම අධ්‍යයනයෙන් පෙනෙන වැදගත්ම දේ වන්නේ වාතය පිරිසිදුව තබා ගැනීම කෙතරම් වැදගත් ද යන්නය. ඒ සඳහා ගත හැකි පියවර කොරෝනා වසංගතය තුනී වී ගිය පසු ද ගත හැකිය. (ඹූලාශ්‍රය - Centre for Research on Energy and Clean Air, www.energyandcleanair.org)

පොදු ප්‍රවාහනයෙන් ජනතාව ඈත්වන හැඩ!

ජගත් පරිසර පුවත් 358 - 06.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 06.05.2020, පි. 3 (Vidusara Online)

http://www.vidusara.com/2020/05/06/feature6.html

නව්‍ය කොරෝනා වයිරස වසංගතය සමය අවසන්ව බ්‍රිතාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව පොදු ප්‍රවාහනය යොදාගන්නා පිරිස 20%කින් පමණ අඩු විය හැකි බව එරට සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙයි. මේ වන විට ඇති ලොක්ඩවුන් තත්ත්වය හමාර වූ පසු ජනතාව නැවත රාජකාරි සඳහා ගමන් කරන ආකාරය ගැන මෙහිදී අවධානය යොමු කර ඇත.

ලන්ඩනයේ බස් රථ හා උමං දුම්රිය භාවිත කරන මගීන්ගේ ප්‍රමාණය, කොරෝනා රෝගය ව්‍යාප්තවීමට පෙර ඒවා භාවිත කළ මගීන් ගණනට වඩා 40%කින් පමණ ද, දුම්රිය භාවිත කරන මගීන් ගණන 27%කින් පමණ ද, අඩු විය හැකි බව මෙහි දී හෙළි වී ඇත.

මේ තත්ත්වය හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඉලක්ක සහිතව කටයුතු කරන එරටට සුබදායී පුවතක් නොවේ. එයට හේතුව මෙසේ පොදු ප්‍රවාහනයෙන් බැහැරවන පිරිස් පුද්ගලික වාහන භාවිත කළහොත් එය හරිතාගාර වායු විමෝචන ඉහළ යෑමට හේතුවන නිසාය. මේ තත්ත්වය පොදු ප්‍රවාහන සේවා පවත්වන ආයතනවලට ද අභියෝගක් විය හැකිය. ඒ ඒවායේ දැනට ඇති ආදායම අඩු විය හැකි නිසාය. 

කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවා භාවිත නොකරන බව පැවසූ අයගෙන් 24%ක් පමණ පිරිසක් තමන් නිවෙස්වල සිට රාජකාරි කටයුතුවල යෙදීමට අපේක්ෂා කරන බව පවසා තිබේ. එමගින් පෙන්වා දෙන්නේ ඒ පිරිස් නිසා විමෝචන නිකුත් නොවන බවකි. එය මෙහි දී මතුවන සුබදායී පණිවුඩයකි. එසේම 67%ක් දෙනා විශ්වාස කරන්නේ රාජකාරි කටයුතු සඳහා පවත්වන රැස්වීම් හා සංචාර වෙනුවට මාර්ගගත රුස්වීම් යොදාගත හැකි බවයි.

පශ්චාත් කොරෝනා සැලසුම් පරිසර හිතකාමී විය යුතුය

ජගත් පරිසර පුවත් 361 - 27.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 27.05.2020, පි. 3 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature1.html


වර්තමාන කොරෝනා වසංගතයෙන් පසුව සිදුවන ආර්ථිකය යථාතත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ස්වභාව සංරක්ෂණය කේන්ද්‍රකරගත් එකක් විය යුතු බව ඔස්ට්‍රේලියානු පාරිසරික විද්‍යාඥයින් පිරිසක් ඉල්ලා සිටිති. ඒ ඔවුන් විසින් Science සඟරාවට ලියන විවෘත ලිපියක් මගිනි.

ආර්ථික කටයුතු නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ජෛව විවිධත්වය හා මානව සෞඛ්‍යය ආරක්ෂා කරන ආකාරයේ සැලසුම් සකස් කිරීමට රටරටවල ආණ්ඩු විසින් පියවර ගත යුතු බව ඔවුන්ගේ අදහස වෙයි. ඔවුන් පවසන පරිදි දැනට පවත්නා ලොක්ඩවුන් සීමා කිරීම්වලින් ඉවතට පැමිණෙන ආකාරය මත ලෝකයේ නව ආර්ථිකයක් ඇති විය හැකිය. එය ලෝකයේ ජෛව විවිධත්වයට ද බලපෑමක් ඇති කළ හැකිය.

කොරෝනා වසංගතය නිසා මෑත කාලයේදී ඇති වූ යහපත් තත්ත්ව කෙතරම් කාලයක් පවතින් ඇති ද යන්න තීරණය වන්නේ ඒ තත්ත්වය පවත්වා ගැනීම අරමුණු කරගත් උපායමාර්ග ක්‍රියාත්මක වුවහොත් පමණකි. ආර්ථිකය වේගයෙන් යථාත්වයට පත් කිරීමට කටයුතු කළ හොත් එය පරිසරයට විනාශයක් විය හැකි බව මෙහි දක්වා තිබෙයි. ඒ අනුව, වෙළෙඳජාල වඩා තිරසර හා ප්‍රාදේශීය කිරීම, සංරක්ෂණ අරමුදල් අඛණ්ඩව පවත්වා ගැනීම, තාක්ෂණය භාවිතයෙන් පරිසර ආරක්ෂක කටයුතු දියුණු කිරීම ආදිය වේ. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abc1430)
Journal Link - https://science.sciencemag.org/content/368/6493/838.2

මිරිදිය ආශ්‍රිත පක්ෂීන්ගේද ශරීරවල ප්ලාස්ටික්

ජගත් පරිසර පුවත් 361 - 27.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 27.05.2020, පි. 3 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature1.html


ගංගා ඉවුරු ආශ්‍රිතව ජීවත්වන පක්ෂීන්ගේ ශරීරගත වන කුඩා ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය දිනකට සිය ගණනක් තරම් වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. මෙය ගංගාවල දැකිය හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය වනජීවීන්ගේ ශරීරගත වීමට හා ආහාර ජාලය තුළ ඉහළ මට්ටම් වෙත ගමන් කිරීම සිදුවන බවට ඇති මුල්ම පැහැදිලි සාධකයයි.

මේ පර්යේෂකයන්ගේ අවධානයට යොමුව ඇත්තේ ගංගාවල ගිලී ජලය තුළ වෙසෙන කෘමීන් ආහාරයට ගන්නා ඩිපර් (Cinclus cinclus) පක්ෂීන්ගේ මළ ද්‍රව්‍යවල ඇතුළත් ද්‍රව්‍ය සම්බන්ධවය. මෙහිදී පෙනී ගොස් ඇත්තේ නාගරික ප්‍රදේශවල වෙසෙන පක්ෂීන්ගේ ශරීරගත ප්ලාස්ටික් ප්‍රමාණය අධික බවයි. ගංගාවල දැකිය හැකි ප්ලාස්ටික් කොටස් අතර මිලිමීටර් 5ට වඩා අඩු පොලියෙස්ටර්, පොලි ප්‍රොපිලීන් හා නයිලෝන් වැනි ද්‍රව්‍ය සුලභය. එ් මූලික වශයෙන් රෙදිවල කෙඳිති හා ගොඩනැගිලි ද්‍රව්‍යය. මේ මත පදනම්ව කළ ගණනය කිරීම් අනුව මේ පක්ෂීන්ගේ ශරීරයට එක් දිනකදී ප්ලාස්ටික් කොටස් 200ක් පමණ ඇතුළු වෙයි.

මෙසේ පක්ෂීන්ගේ ශරීරයට ප්ලාස්ටික් කොටස් ඇතුළු වන්නේ කෘමීන් හරහාය. වේල්ස්යේ සිදුකරන ලද අධ්‍යයනවලට අනුව කෘමීන්ගේ ශරීරවල ප්ලාස්ටික් ඇතුළත් වන බව පෙන්වා දී ඇත. මේ නිසා මස්ස්‍යයින් හා පක්ෂීන්ගේ ශරීරවලට ප්ලාස්ටික් ඇතුළුවීම සිදුවේ. මේ පක්ෂීන් එම ප්ලාස්ටික් කොටස් ආහාරයට ගන්නා අතරම, පැටවුන්ට ආහාර ලෙස ද ලබාදෙති. මේ ආකාරයෙන් ප්ලාස්ටික් ශරීරගත වීම නිසා ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධව පැහැදිලි නැත. මුහුදට ප්ලාස්ටික් සැපයෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ගංගා ඔස්සේ ගලා යන ජලයේ ඇතුළත් ප්ලාස්ටික්ය.

මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.15139)

බ්‍රිතාන්‍ය රියදුරන් ඇවිදින්නට සුදානම්!

ජගත් පරිසර පුවත් 361 - 27.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 27.05.2020, පි. 3 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature1.html


කොරෝනා වයිරසයෙන් පසු වැඩියෙන් පා ගමනින් යෑමට හා මෝටර් රථ ධාවනය අඩු කිරීමට බ්‍රිතාන්‍යයේ රියැදුරන් සුදානම් බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙයි. ඒ වර්තමාන කොරෝනා වසංගතයෙන් ඇති වී තිබෙන සීමා කිරීම් නිසා වාතයේ ඇති වී තිබෙන පවිත්‍රතාවය හා පොදුවේ පරිසරය තවදුරටත් රැකගැනීමේ අභිප්‍රායෙනි.

සමීක්ෂණයට සහභාගි වු රියදුරන් විසිදහසක් පමණ පිරිස අතරින් අඩක් පමණ ඔවුන් වැඩි දුරක් පා ගමින්න යන බව ප්‍රකාශ කර ඇත. 40%ක් පමණ මෝටර් රථ ධාවනය කරන දුර අඩු කරන බවක් පවසා ඇත. එසේම 25%ක් පමණ පිරිසක් වැඩි වශයෙන් නිවසේ සිට රැකියාව කරනන්නට අපේක්ෂා කරති. එමෙන්ම 25%ක පමණ පිරිසක් ගුවන් ගමනාගමනය අඩු කරන බව දක්වා ඇත. එසේම, 20% ක් පමණ පාපැදි භාවිත කිරීමට අපේක්ෂා කරන බව පෙනෙයි. සමස්තයක් ලෙස ගතහොත් ඊට සහභාගි වූ පිරිසෙන් 80%ක් පමණ ප්‍රකාශ කර ඇත්තේ වාතයේ පවිත්‍රතාවය රැකගැනීමට හේතුවන කිසියම් හෝ පියවරක් තමන් ගන්නා බවයි.

මීට පෙර පර්යේෂකයන් විසින් අනතරු හඟවා තිබුණේ කොරෝනා වසංගතය හා සම්බන්ධ සීමා ඉවත් වු පසුව මෑත කාලයේදී ඉහළ ගිය වාතයේ ගුණාත්මකභාවය ඉක්මනින්ම ආපසු හැරවෙනු ඇති බවයි. එයට මූලික හේතුවක් වන්නේ වාහන ධාවනය ඉක්මනින් ඉහළ යා හැකි නිසාය. එහෙත් මේ සමීක්ෂණය අනුව පෙනී යන්නේ කිසියම් සාධනීය ආකල්ප වෙනසක් ජනතාව තුළ ඇති වී තිබෙන බවයි. කෙසේ වෙතත්, ගමනාගමනය ගැන බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුව සේවය සඳහා පැමිණීමේදී පැපැදියකකින් හෝ පා ගමනින් යා නොහැකි විට පොදු ප්‍රවාහනය නොව පුද්ගලික වාහන භාවිත කළ යුතු වෙයි.

ළඟදීම දිරා යන ප්ලාස්ටික් බෝතලයක්?

ජගත් පරිසර පුවත් 360 - 20.05.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.05.2020, පි. 4 (Vidusara)



අද ලෝකයේ දැකිය හැකි ප්ලාස්ටික් පරිසර දූෂණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට හේතුව වන්නේ වරක් භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්ටික් බෝතල්ය. පොසිල ඉන්ධනවලින් නිෂ්පාදිත බැවින් දීර්ඝ කාලයක් ගත වුවද දිරා නොයන මේ ප්ලාස්ටික් බෝතල් විවිධ පාන වර්ග හා ජලය අලෙවි කිරීම සඳහා යොදාගැනෙයි.

මුළුමනින්ම ශාකමය ද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරනු ලබන දිරාපත්වන ජෛව-ප්ලාස්ටික් බෝතලයක් නිෂ්පාදනය කිරීම ගැන නෙදර්ලන්ත ජෛව රසායන සමාගමක් වන Avantium සමාගමේ අවධානය මේ වන විට යොමු වී තිබේ. ඒ ඉරිඟු, තිරිඟු හා බීට් සීනි යොදාගැනීමෙනි. භාවිතයෙන් පසු මේ බෝතල් කොම්පෝස්ටරයක් තුළ වසරක කාලයක් තුළ මුළුමනින්ම දිරාගත් වනු ඇති බව සඳහන්ය. විවෘත පරිසරයේ ඊට වඩා මදක් කල් ගතවිය හැකි නමුත්, ස්වාභාවිකව දිරාපත්වීම මේ නිෂෟපාදනයේ වැදගත්කම පෙන්වයි. මේ සඳහා යොදාගනු ලබන්නේ තිරසර ආකාරයෙන් ලබාගත් ජෛවඅපද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරනු ලබන සීනි බැවින් මේ නිෂ්පාදනය මගින් ලෝකයේ ආහාර සැපයුමට අහිතකර බලපෑමක් ඇති වීම වලකා ගත හැකිය.

වර්ෂ 2023 වන විට මේ බෝතල් වෙළෙඳපොළට එක් වනු ඇතැයි ද අපේක්ෂිතය. ආරම්භයේදී වර්ෂයකට ටොන් 5000ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ඉල්ලුම අනුව එම ප්‍රමාණය ඉහළ නැං‌වෙනු ඇත.

මෙම බෝතල් කාබනීකෘත බීම වර්ග අඩංගු කළ හැකි ඒවාය. එබැවින් මේ වන විට ඇති වී තිබෙන සීමාකාරී තත්ත්වයෙන් පසුව වසර අවසන් වන විට මේ නිෂ්පාදනය සඳහා ලෝකයේ ප්‍රකට බීම සමාගම් කීපයක සහයෝගය ලැබෙනු ඇතැයි ද අපේක්ෂිතය.

කොරෝනා ආරක්ෂිත ප්‍රදේශවලට බලපාන හැටි

ජගත් පරිසර පුවත් 360 - 20.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 20.05.2020, පි. 4 (Vidusara)



නව්‍ය කොරෝනා වසංගතය ආරක්ෂිත ප්‍රදේශ හා වනාන්තර හා වෙනත් ස්වාභාවික වාසස්ථානවලට බලපාන ආකාරය ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ.

වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා ඉන් එකකි. එයට එක් හේතුවක් වී ඇත්තේ මේ ප්‍රදේශවල ආරක්ෂක මුර සංචාර සිදු වීම අඩු වීමය. ඒ වසංගත තත්ත්වයත් සමඟ සේවක පිරිස් අඩු වීම හා සීමා කිරීම නිසාය. දඩයම් කිරීම, කැනීම් කිරීම ආදි කටයුතු මේ නීති විරෝධී කටයුතු අතර වෙයි. ඒ සඳහා මූලික හේතුව වන්නේ මිනිසුන්ගේ ආදායම් අහිමි වීම හා ආහාර නොමැති වීම බව පෙනේ. විශේෂයෙන් දියුණු වන රටවල සංචාරක ව්‍යාපාර ආශ්‍රිතව ජීවත් වූ පිරිස් මේ තත්ත්වයට පත්ව ඇත.

සංරක්ෂණ කටයුතු සඳහා වන අරමුදල් අඩු විය හැකි වීම මේ සම්බන්ධව ඇති තවත් බරපතළ අනතුරකි. සංචාරක ව්‍යාපාරය නිසා ලැබෙන ආදායම් අඩු වීමට අමතරව, ලෝකයේ සෑම රටක්ම පාහේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති නිසා සංරක්ෂණය සඳහා ලැබෙන ප්‍රතිපාදන හිඟ වීම තවත් කලකට බලපෑම් කළ හැකිය. එමෙන්ම බොහෝ පරිසර සංවිධානවල ඉදිරි කටයුතුවලටද මේ ආර්ථික අර්බුදයට නිසා බලපෑම් ඇති විය හැකි බව පෙන්වා දී තිබෙයි. ඒ එවැනි ආයතනවලට ලැබෙන අඩු විය හැකි නිසාය.

මේ වර්ෂයේ අවසානයේදී එකඟ වීමට නියමිතව ඇති ලබන දශකය සඳහා වන ජෛව විවිධත්වය සම්බන්ධ ඉලක්ක පිහිටුවීමේදී මේ තත්ත්වය සම්බන්ධව අවධානය යොමු වෙතැයි අපේක්ෂා කළ හැකිය.

කොරෝනා නිසා නගරවල සිදුවන වෙනස්කම්

ජගත් පරිසර පුවත් 360 - 20.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 20.05.2020, පි. 4 (Vidusara)



නව්‍ය කොරෝනා වසංගතය නිසා සිදුවන සාධනීය වෙනස්කම් සම්බන්ධව ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙමින් තිබෙයි. වර්ෂ ගණනාවක් තිස්සේ සැලසුම් කරමින් සාකච්ඡා කරමින් තිබූ මේ සමහර පියවර කඩිනමින් ගෙන ඇත්තේ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ගමනාගමනය කිරීමේ ඇති වැදගත්කම නිසාය.
පොදු ප්‍රවාහනය සීමා කිරීමට සිදු වී තිබෙන තත්ත්වය තුළ ඇති වී තිබෙන වෙනස්කම් කීපයක් මෙසේය.

බ්‍රිතාන්‍යයේ විවෘත කරන ලද නාගරික ප්‍රදේශවල මාර්ගවල පයින් ගමන් යෑම මෙන්ම පාපැදි භාවිතය ද ඉහළ ගොස් ඇත. ඒ සඳහා වෙනම මංතීරු විවෘත කිරීම නගර ගණනාවකම සිදු වී ඇත. එසේම පාගමනින් ගමන් කිරීම සඳහා ඇති තීරු ඇති කිරීම හා පදික වේදිකා පුළුල් කිරීමද වාර්තා වී ඇත. මේ වන විට එරට පාපැදි අලෙවි සමාගම්වල අලෙවිය මෙන්ම කොටස්වල මිල ද ඉහළ ගොස් ඇත.

පුද්ගලික වාහන ධාවනය අධෛර්යවත් කිරීමට ද පියවර ගෙන තිබෙයි. ලන්ඩන් නගරයේ සමහර කාර්යබහුල මාවත් කීපයක් වාහන සඳහා වසා තැබීමට මේ වන විට තීරණය කර තිබෙයි. ලෝකයේ කිසියම් නගරයක කාර් හා වෑන් ධාවනය සිදු නොවන විශාලතම ප්‍රදේශය එම වාහන නොමැති ප්‍රදේශය වනු ඇති බව සඳහන්ය.

මේ වෙනස්කම් රැසක්ම කොරෝනා වයිරස තත්ත්වයෙන් පසුව ඇති වී තිබෙන තාවකාලික ප්‍රතිචාර ලෙස පෙනෙයි. එහෙත් ඒවා ස්ථිරව වුවද ක්‍රියාත්මක කළ හැකි බවට අපේක්ෂා පළ වී තිබේ. එය පාරිසරික වශයෙන් වඩාත් වැදගත් වනු ඇත. මේ ලැබී ඇත්තේ බ්‍රිතාන්‍යය මෙතෙක් ගත් මග වෙනස් කිරීම සඳහා ‘පරම්පරාවකට වරක් ලැබෙන අවස්ථාවක්’ බව ද පෙන්වා දී තිබෙයි.

ගෑස් උඳුන්වලින් සිදුවන වායු දූෂණය ඉහළයි

ජගත් පරිසර පුවත් 359 - 13.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.05.2020, පි. 4 (Vidusara Online)

http://www.vidusara.com/2020/05/13/feature3.html

ඉවුම් පිහුම් සඳහා යොදාගන්නා මූලික ඉන්ධනයක් ලෙස ගෑස් හෙවත් ද්‍රව පෙට්‍රෝලියම් වායුව හැඳින්විය හැකිය. ගෑස් නිසා මිනිසුන් නිරාවරණය වන වායු දූෂක හා එහි සෞඛ්‍යමය බලපෑම පිළිබඳව මෑත දී අවධානය  යොමුව ඇත. පසුගියදා වාර්තා වූ අධ්‍යයනයකට අනුව, පිටස්තර පරිසරයේදී නීතිවිරෝධී වන තරම් ඉහළ මට්ටමක වායු දූෂණයකට ගෑස් උඳුන් භාවිත කරන පිරිස් ලක්විය හැකිය. එය මිනිසුන්ට රෝග ඇති කිරීමටද හේතු විය හැකිය.

අනාවරණය වී ඇති පරිදි සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පරිසරෙය් පවත්නා වාතයට වඩා දෙගුණයත් පස්ගුණයත් අතර දූෂණයක් ගෑස් උඳුන් නිසා ගෘහස්ථ වාතයේ දැකිය හැකිය. මේ ප්‍රමාණය නිවසෙන් පිටත පරිසරයේදී නම් නීතිවිරෝධීය. එහෙත් ගෘහස්ථ වායු දූෂණයට ප්‍රමිතියක් නොමැති වීම නිසා මේ පිළිබඳව ඇත්තේ අඩු අවධානයකි. 

දශක දෙකක පමණ කාලයක් තිස්සේ මේ පිළිබඳව සිදුකර ඇති අධ්‍යයනය සමාලෝචන කර සකස් කර ඇති මේ වාර්තාව දක්වන පරිදි මේ සඳහා සුදුසුම විසඳුම වන්නේ විදුලියෙන් කියාත්මක වන උඳුන් භාවිතයට යොමු වීමය. කෙසේ වෙතත් ගෑස් උඳුන් භාවිත කරන පිරිස්වලට වුවත්, ජනේල විවෘතව තැබීම, නිවසෙන් පිටත ආහාර පිසීම, වාතය පිටතට ඉවත් කරන උපකරණ සවි කිරීම වැනි කටයුතු සිදු කළ හැකිය. (මූලාශ්‍රය - Indoor Air Pollution: The Link between Climate and Health by Brady Seals, www.rmi.org)

ගෝරිල්ලන්ටත් කොරෝනා අවදානමක්?

ජගත් පරිසර පුවත් 359 - 13.05.2020

ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.05.2020, පි. 4 (Vidusara Online)

http://www.vidusara.com/2020/05/13/feature3.html


අප්‍රිකාවේ රටවල් කිහිපයක වාසය කරන ගෝරිල්ලන්ට නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 රෝගය වැළඳුනහොත් ඔවුන් දැඩි අවදානමකට පත්විය හැකි බව සංරක්ෂණවේදීන් ප්‍රකාශ කරති. වඳවීමේ තර්ජනයක සිටි මේ සතුන්ගේ ගහනය සංරක්ෂණ ප්‍රයත්න නිසා මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. එහෙත් මිනිසුන්ට වැළඳෙන නව්‍ය කොරෝනා වැනි රෝගයක් වැළදීමෙන් මේ සතුන් යළිත් අවදානමකට පත් විය හැකිය.

නව්‍ය කොරෝනා රෝගය සියලුම ප්‍රයිමේටාවන්ගේ පැවැත්මට ඇති අලුත්ම තර්ජනය බව විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන ලද්දේ පසුගිය මාසයේදීය. මේ රෝගය කඳුකර ගෝරිල්ලන් අතර තදින් පැතිර යා හැකි අතර, මේ තත්ත්වය ඒ සතුන් වඳ වී යාමට තරම් බරපතළ විය හැකිය.

ගෝරිල්ලන් වෙසෙන කලාපවල සංචාරක කටයුතු මේ වන විට නවතා දමා ඇත. එමෙන්ම ඒවායේ සේවය කරන වනජීවී සේවක පිරිස්වලට මුව වැසුම් දැමීම, විෂබීජනාශක දියර භාවිතය හා සතුන්ගෙන් දුරස්ථ වීම වැනි පියවර ගත යුතු බවට උපදෙස් ලබා දී තිබෙයි. කෙසේ වෙතත් සංචාරක කටයුතු නැවතීම ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා ලැබෙන මූලික ආදායම් මාර්ගය තාවකාලිකව හෝ අහිමිවීමකි. සංචාරක ව්‍යාපාරය නිසා යැපෙන ආරක්ෂිත ප්‍රදේශ අවට වැසියන්ගේ ආදායම් අහිමි වීම නිසා ඔවුන් දඩයමට පෙළඹීමට පවා අවස්ථාවක් ඇත. එය මේ සතුන්ගේ පැවැත්මට තවත් තර්ජනයකි.

තෙල් හා ගෑස් සමාගම්වල ඉලක්ක ප්‍රශ්න කෙරේ

ජගත් පරිසර පුවත් 359 - 13.05.2020

ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.05.2020, පි. 4 (Vidusara Online)

http://www.vidusara.com/2020/05/13/feature3.html


දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් ලෙස මහා පරිමාණ තෙල් හා ගෑස් සමාගම් ගණනාවක් සිය කාබන් විමෝචන ශුන්‍ය කිරීමේ ඉලක්ක හා සැලසුම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. යුරෝපීය තෙල් හා ගෑස් සමාගම් හයක් මෙසේ ඉදිරිපත් කර ඇති සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ පර්යේෂණයකට අනුව, ඒ සමාගම් විසින් ප්‍රකාශයට පත් කර ඇති එවැනි ඉලක්ක තත්ත්වය අතිශයෝක්තියෙන් දැක්වීමක් විය හැකි බව පෙන්වා දී ඇත. එනම් එය පවත්නා තත්ත්වයට වඩා උලුප්පා දැක්වීමකි.

ලෝකය අඩු-කාබන් ආර්ථිකයක් සඳහා කෙතරම් සූදානම්ව ඇති ද යන්න පිළිබඳව විමසීමක් ලෙස මේ සමාගම්වල ශුන්‍ය කාබන් ඉලක්ක හා පියවර මේ අධ්‍යයනයේදී සමාලෝචනය කර ඇත. එහි දී පෙනී ගොස් ඇති පරිදි මේ සමාගම් සියල්ල අවසන් වර්ෂ තුනේදී වැදගත් පියවර ගෙන ඇත. තම නිෂ්පාදනවල කාබන් විමෝචන අඩු කිරීමට 2017 වර්ෂය වන විට මේ කිසිදු සමාගමක් සූදානමක නොවීය. එහෙත් මේ වන විට ඒ සමාගම් සියල්ලටම ඉලක්ක හා සැලසුම් තිබෙයි. එසේම අවසන් මාස හයක පමණ කාලයේදී මේ අපේක්ෂිත ඉලක්ක බෙහෙවින් වර්ධනය වී ඇත. 
 
මේ ඉලක්ක අනුව සමාගම් හතරකම පැරිස් දේශගුණ ඉලක්ක හා ගැලපෙන බව ද හෙළි වී ඇත. එනම් සෙල්සියස් අංශක දෙකක සීමාවේ උෂ්ණත්වය ඉහළ යෑම පවත්වා ගත හැකි වීම සඳහා ගැලපීමය. එහෙත් මේ සමාගම් සමහරක් පවසන්නේ ඔවුන් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වා ගැනීමේ ඉලක්කය සමඟ ද ගැලපෙන බවයි. සෙල්සියස් අංශක 1.5 සීමාව යනු පැරිස් ඉලක්කවල සඳහන් පරිදි හැකිනම් අත්පත් කරගත යුතු වඩා සුදුසු ඉලක්කයයි.
 
ශුද්ධ ශුන්‍ය කාබන් (zero carbon) තත්ත්වයට පත් වීමේදී එම කර්මාන්තයෙන් නිෂ්පාදනය කරනු ලබන සියලු විමෝචන පරිසරයෙන් ඉවත් කළ යුතුය. මේ අනුව මේ සමාගම් අද සිට 2050 දක්වා වූ කාලය තුළ විමෝචන 100%කින් අඩු කළ යුතු වෙයි. ඒ සඳහා යෝජනා වී ඇති උපාය මාර්ග අතර කාබන් රැක්සර ගබඩාකිරීම හා පැළ සිටුවීම වැනි ක්‍රියාමාර්ග මූලික වෙයි.(මූලාශ්‍රය - Carbon Performance of European Integrated Oil and Gas Companies, www.transitionpathwayinitiative.org)

Monday, March 30, 2020

කළු රයිනෝ ගහනය ඉහළ යයි

ජගත් පරිසර පුවත් 357 - 25.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.03.2020, පි. 3 (Vidusara)



අප‍්‍රිකාවේ කළු රයිනෝ සතුන්ගේ ගහනය සෙමින් වුවත් ක‍්‍රමයෙන් ඉහළ යමින් පවත්නා බව පසුගිදා වාර්තා විය. 2012 වර්ෂයේදී 4845ක් වූ කළු රයිනෝ සතුන්ගේ ගහනය 2018 වර්ෂය වන විට 5630ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය හයසියයක පමණ ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇති අතර, එය වාර්ෂිකව ගත් විට වර්ෂයකට 2.5%ක පමණ වර්ධනයකි.

මේ තත්ත්වය රයිනෝ සතුන් සංරක්ෂණය සඳහා රටවල් ගණනාවක් මෙතෙක් ක‍්‍රියාත්මක කළ් ප‍්‍රයත්නයේ ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැකිය. මේ සතුන් සංරක්ෂණය කිරීම සඳහා ගත් උත්සාහය විවිධාකර විය. රයිනෝ ගහන වෙනත් ස්ථානවල පරිස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. එහිදී අභිජනනය කරන ගහන ස්ථාපිත කිරීමට උත්සාහ දරන ලද්දේය. එමෙන්ම මේ සතුන් ආරක්ෂා කිරීම සඳහා වන නීතිය දැඩි ලෙස ක‍්‍රියාත්මක කිරීමට ද කටයුතු කර තිබේ. මේ අනුව දැන් කළු රයිනෝ සතුන්ගේ උප විශේෂ තුනේම ගහනවල වර්ධනයක් දැකිය හැකි බව පෙනෙයි.

කෙසේ වෙතත් මේ සතුන්ට ඇති තර්ජනය සම්පූර්ණයෙන්ම නිමා වී ඇති බවක් නොපෙනේ. මේ සතුන් දඩයම් කිරීම හා නීතිවිරෝධී වනජීවි ද්‍රව්‍ය වෙළෙඳාම එම තර්ජන අතර වෙයි. ඒ නිසා මේ සතුන් ආරක්ෂා කරගැනීම යනු ජාතික හා අන්තර්ජාතික සහයෝගය ඇතිව අඛණ්ඩව දියත් කළ යුතු කටයුත්තක් ලෙස සැලකිය යුතු වෙයි.

කොරෝනා නිසා වායු දූෂණය අඩු වීම තවදුරටත්

ජගත් පරිසර පුවත් 357 - 25.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.03.2020, පි. 3 (Vidusara)



නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම නිසා ලෝකයේ රටවල් ගණනක නගරවල දෛනික කටයුතු මේ වන විට අඩපණ වී ඇති අතර, ඒ නිසා ඒවායේ වායු දූෂණය ද අඩු වී තිබෙයි. වාහන ධාවනය අඩු වීම මෙන්ම කර්මාන්තශාලාවල ක‍්‍රියාකාරිත්වය අඩු වීම මේ තත්ත්වය සඳහා හේතු වී තිබෙයි. නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් විමෝචන ප‍්‍රමාණයේ අඩු වීම චීනයේ මෙන්ම උතුරු දිග ඉතාලියේ ද දැකගත හැකිය. වයිරසයේ ව්‍යෘප්තියත් සමඟ මේ රටවල් දෙකේම දැඩි සීමා පැනවීම් දැකිය හැකි විය. එසේම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ කාබන් මොනොක්සයිඞ් ප‍්‍රමාණය ගිය වර්ෂයේ මේ කාලයට සාපේක්ෂව 50%කින් පමණ අඩු වී තිබෙයි.

එමෙන්ම දේශගුණ වෙනස් වීමට බලපාන කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචනය ද නගර ගණනාවකම අඩු වී ඇත. නිව්යෝක් නගරයේ එය 5%-10% අතර ප‍්‍රමාණයකින් අඩු වී ඇත. එහි මීතේන් වායුවේද අඩු වීමක් දැකිය හැකි බව වාර්තා වෙයි. විද්‍යාඥයින් විසින් දක්වා ඇති ආකාරයට ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් විමෝචන උපරිම අගයට ළඟා වන මැයි මාසයේදී නිකුත් වන විමෝචන ප‍්‍රමාණය 2008 පමණ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසුව ඇති වූ අඩුම අගය වීමට ඉඩ ඇත. ඒ අනුව මේ අඩු වීම සමස්තයක් ලෙස වසර පුරාම පැවතීමට ඉඩ ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත් මේ දිනවල දී අඩු වුවද, වයිරස වසංගතය අවසන් වූ පසුව මේ විමෝචන වේගයෙන් වර්ධනය වීමට ඉඩ ඇති බවට අනතුරු හැඟවීම් දැනටමත් ලැබී ඇත. පෙර කී ආර්ථික අර්බුදයෙන් පසුව කාබන් ඩයොක්සයිඞ් හා වෙනත් වායු විමෝචනවල අධික වර්ධනයක් ඇති විය.

අධික වායු දූෂණයට ලක් වූවන් අතර කොරෝනා මරණ අධිකයි

ජගත් පරිසර පුවත් 357 - 25.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.03.2020, පි. 3 (Vidusara)



දිගු කාලයක් තිස්සේ දූෂිත වාතයට නිරාවරණය වීම නිසා පෙනහළුවලට හානි වී තිබුණු අයට නව කොරෝනා වයිරසය (COVID-19) වැළඳීමෙන් මරණයට පත් වීමේ අවදානම එසේ නොමැති අයට වඩා ඉහළ විය හැකිය. විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති පරිදි එයට හේතුව වන්නේ ආසාදනයවීමට එරෙහිව ක‍්‍රියාකාරීවීමට ඔවුන්ගේ දැනටමත් දුර්වලව ඇති පෙනහළුවලට අපහසු වීමය.

මීට පෙර 2003 වර්ෂයේදී චීනයේ ව්‍යාප්ත වූ කොරෝනා වර්ගවේ වයිරසයක් වූ සාර්ස් (SARS) වසංගතය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණවලින් මීට සමාන තත්ත්ව හෙළි වී ඇත. එහිදී හෙළි වූ පරිදි රෝගී වූ අය අතරින් දූෂිත වාතය සහිත ප‍්‍රදේශවල ජීවත් වූ අය මරණයට පත් වීමට තිබූ අවදානම වායු දූෂණය අඩු ප‍්‍රදේශවල විසූ රෝගීන්ට වඩා දෙගුණයක් පමණ විය. (Environmental Health, DOI: 10.1186/1476-069X-2-15) මෙම තත්ත්වය නව කොරෝනා රෝගය සම්බන්ධයෙන්ද පොදු විය හැකි බව මේ ගැන අදහස් දක්වන විද්‍යාඥයින්ගේ අදහසයි.

එමෙන්ම දුම්පානය කරන්නවුන් මෙන්ම දුම්පානය අත්හැරිය අය ද නව කොරෝනා වයිරසයට ලක්වීමේ වැඩි අවදානමක ඇති බව මූලික පර්යේෂණවලින් පෙන්වා දෙන ලද්දේ මීට දින කිහිපයකට පෙරදීය. 2012 මැදපෙරදිග ඇති වූ මර්ස් (MERS) වයිරස වසංගතය අවස්ථාවේදී දුම්පානය කරන්නවුන් රෝගව වැළඳීමට මෙන්ම මියයෑමටද වැඩි ඉඩක් ඇති බව පෙන්වා දී තිබිණි. (Egyptian Journal of Chest Diseases and Tuberculosis, DOI: 10.1016/j.ejcdt.2015.11.011) මේ කරුණු අනුව පැහැදිලි වන්නේ ලෝකයේ වායු ¥ෂණය අඩු කිරීම ඒ නිසා ඇති වන රෝගවල බලපෑම අඩු කිරීමට මෙන්ම වෙනත් රෝගවලින් ඇති වන හානිය වැළැක්වීම සඳහා ද වැදගත් වන බවයි.

ධ‍්‍රැව ප‍්‍රදේශවල අයිස් දියවන වේගය අධිකයි

ජගත් පරිසර පුවත් 356 - 18.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.03.2020, පි. 3 (Vidusara)



ධ‍්‍රැව ප‍්‍රදේශවල අයිස් දියවන වේගය 1990 ගණන්වල අයිස් දිය වූ වේගය මෙන් හයගුණයක් පමණ ඉහළ බව මේ සම්බන්ධව පසුගිය කාලයේදී සිදුකරන ලද වඩාත් සවිස්තර විශ්ලේෂණ දෙකක් මගින් හෙළි වී ඇත. මේ අතරින් ග‍්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පෙන්වා දී ඇති බරපතළම තත්ත්වයේ දී ඇති වන තත්ත්වය හා ආසන්නය. එම අධ්‍යයනවලදී හෙළි වී ඇති පරිදි, 2010 දශකයේදී මේ ප‍්‍රදේශ දෙකෙහි එක් වර්ෂයකදී දිය වන අයිස්වල ස්කන්ධය ටොන් බිලියන 475ක් පමණ වන අතර, 1990 ගණන්වලදී ඒ ප‍්‍රමාණය ටොන් බිලියන 81ක් පමණ විය. එමෙන්ම 1992-2007 අතර කාලයේදී දිය වූ අයිස් ප‍්‍රමාණයෙන් 60%ක් ග‍්‍රීන්ලන්තයේ සිදුවිය.

මේ නිසා ඉදිරි කාලයේදී කාබන් ඩයොක්සයිඞ් විමෝචන විශාල ප‍්‍රමාණයෙන් කපා හැරීමක් සිදුනොකළ හොත් ඉහළ යන මුහුදු මට්ටම නිසා මේ සියවස අවසන් වන විට මිලියන 400ක පමණ ජනතාවකට වෙරළබඩ ප‍්‍රදේශවල ඇති වන ජලගැලූම් තත්ත්වවලට ලක් විය හැකිය. මෙය ජගත් මට්ටමෙන් බරපතළ ගැටලූවක් ඇති කරන්නක් බව පැහැදිලිය. (මූලාශ‍්‍රය - Nature, 10.1038/s41586-019-1855-2, 10.1038/s41586-018-0179-y)

කොරෝනා නිසා හරිත බලශක්තියේ පසුබැසීමක්?

ජගත් පරිසර පුවත් 356 - 18.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.03.2020, පි. 3 (Vidusara)



මේ වන විට ලෝකයේ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් වසංගතය 2020 වර්ෂයේ කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන අඩු වීමට හේතුවක් වනු ඇත. ඒ සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයේ සිදුවන පසුබෑමත් සමඟය. දැන් පවත්නා තත්ත්වය තුළ මේ වර්ෂයේදී තෙල් සඳහා ඇති ඉල්ලූමේ කලින් අපේක්ෂා කළ වර්ධනය සිදුනොවනු ඇත. දැනටමත් මෑත වසර 30ක කාලයේදී ඇති වූ විශාලතම තෙල් මිල අඩු වීම සිදු වී ඇත. එමගින් කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන අඩු වීමක් සිදුවීම පරිසරයට තරමක් හෝ යහපතක් බව බැලූ බැල්මට පෙනෙන්නකි.

එහෙත් මේ ආකාරයෙන් හරිතාගාර වායු විමෝචන අඩු වීම තිරසර එකක් වනු ඇතිද යන්න මෙහි ඇති ගැටලූවයි. නිදසුනක් ලෙස ගතහොත්, මේ ආකාරයෙන් පොසිල ඉන්ධන විමෝචන අඩු වුවද ආර්ථික පසුබැසීම නිසා පිරිසිදු බලශක්ති ප‍්‍රභව සඳහා ආයෝජනය කිරීම නොසලකා හැරීම ද සිදු විය හැකිය. එවැනි විශාල පරිමාණ ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම් නැවතිය හැකිය. එවැනි තත්ත්වයක් ඇති වීම දිගු කාලීන වශයෙන් දේශගුණ ක‍්‍රියාකාරිත්වය සඳහා තර්ජනයක් විය හැකිය. මෙසේ පවසන්නේ අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනයයි (IEA).

එසේ නොවුවහොත් මේ වර්ෂය අවසන් වන විට 1980 ගණන්වලින් පසුව සූර්ය බලශක්තියේ වර්ධන වේගය අඩු වූ පළමු වර්ෂය මේ වර්ෂය විය හැකිය. නව සූර්ය බලශක්ති ව්‍යාපෘති 8%කින් පමණ අඩු විය හැකි බව ද දැනට පුරෝකථනය කර ඇත. එමෙන්ම විදුලියෙන් ධාවනය වන මෝටර් රථ අලෙවිය ද අඩු විය හැකිය. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා හරිත ආයෝජන සිදු කළ යුතුව ඇති බව ඔවුන්ගේ අදහසයි. ඒ සඳහා ඒ ඒ රටවල ආණ්ඩු මැදිහත් වීම වැදගත් වන්නේ ලෝකයේ හරිත බලශක්ති ව්‍යාපෘතිවල ආයෝජන අතරින් 70%ක් පමණම ආණ්ඩු මගින් ඍජුව කරන ආයෝජන හෝ වක‍්‍රව සහන හෝ බදු හරහා සිදුකරන ඒවා වන නිසාය.

බ‍්‍රසීලයේත් ආන්තික වැසි

ජගත් පරිසර පුවත් 356 - 18.03.2020



ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.03.2020, පි. 3 (Vidusara)



බ‍්‍රසීලයේ මේ වර්ෂයේ ඇති වූ ආන්තික වාර්තාගත වර්ෂාපතනය, නාය යෑම් හා ගංවතුර තත්ත්ව නිසා මේ වන විට එරට ප‍්‍රාන්ත තුනක 150කට අධික පිරිසක් මියගොස් හෝ අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ එරට තුළ ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති වීම ඉහළ යෑම සඳහා මිහිතලය උණුසුම් වීම හේතුවක් වන අතර, එවැනි ආපදා අවස්ථා අනාගතයේදී සාමාන්‍ය තත්ත්වයක් වනු ඇති බවයි. එරට ගිනිකොන දිග ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රාන්තවල අගනුවරවල ආන්තික වර්ෂාපතන තත්ත්ව (එනම්, පැය 24ක් තුළ මිලිමීටර් 80 හෝ 100ට වැඩි වර්ෂාපතනයක් ලැබීම්) ඇති වීම පසුගිය වසර තිහක පමණ කාලය තුළ ඉහළ ගොස් ඇති බව නිල දත්ත අනුව පැහැදිලි වී ඇත. නිදසුනක් ලෙස 1960-1990 අතර කාලයේ ආන්තික වර්ෂාපතන තත්ත්ව 15ක් පමණ වාර්තා වූ සා ඕ පාලෝ නගරයේ 1990න් පසු එවැනි තත්ත්ව 44ක් වාර්තා වෙයි.

මේ අන්තරායකර තත්ත්වය සඳහා දේශගුණ බලපෑම් මෙන්ම විශාල හා වැදගත් නාගරික ප‍්‍රදේශවල ඇති වී තිබෙන වර්ධනය ද දායක වී ඇති බව ද දක්වා ඇත. විශේෂයෙන් මේ තත්ත්වය වඩාත් බලපාන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවටය. බෑවුම් බිම්වල අවදානම් නිවාස තැනීම හා ගංගා ඉවුරු වැනි ස්ථානවල වාසය කරන්නේ එවැනි පිරිස්ය. එහෙත් දේශගුණ වෙනස් වීම මේ තත්ත්වයට බලපාන බව සැක කරන විද්‍යාඥයින් ද ඇති බව සඳහන් කළ යුතුය.

බ‍්‍රසීලයෙන් වාර්තා වන මේ තත්ත්වය ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වන ආන්තික තත්ත්ව සුලභ වීම පිළිබඳ තවත් සාධකවක් වෙයි.

යුරෝපයේ උණුසුම වැඩිම ශීත ඍතුව මෙයයි

ජගත් පරිසර පුවත් 355 - 11.03.2020



ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.03.2020, පි. 3 (Vidusara)



2019/20 ශීත ඍතුව යුරෝපා මහාද්වීපයේ මෙතෙක් වාර්තා වී ඇති උණුසුමෙන් වැඩිම ශීත ඍතුව බව පසුගිය සතියේ වාර්තා විය. ඒ අනුව මෙතෙක් පැවැති ඉහළම උෂ්ණත්වයක් තිබූ ශීත ඍතුව වූ 2015/16 ශීත ඍතුවට වඩා ගත වූ ශීත ඍතුවේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.4කින් පමණ ඉහළය. එමෙන්ම 1981-2010 අතර කාලයේදී ශීත ඍතුවේ පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා මේ වාරයේ ශීත ඍතුවේ පැවති උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.4කින් ඉහළ ය. මේ බව පෙන්වා දෙන්නේ කොපර්නිකස් දේශගුණ වෙනස්වීම් සේවා (C3S) නම් ආයතනය විසිනි.

සාමාන්‍යයෙන් ශීත ඍතුව ලෙස සැලකෙන්නේ දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන මාස තුනයි. මේ කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය ශීත ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය ලෙස සැලකේ. ඒ පිළිබඳ වාර්තා මේ ආයතනය සතුව ඇත.

මේ පිළිබඳව ලැබෙන වාර්තාවලට අනුව, යුරෝපයේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල මෙම උෂ්ණත්වය ඉහළ යෑම කැපී පෙනෙන ලෙස දැකිය හැකි වී ඇත. ඒ ප‍්‍රදේශවල ස්ථාන ගණනාවක මෙතෙක් පැවති ශීත ඍතුවේ වැඩිම උෂ්ණත්වය පිළිබඳ වාර්තා මේ ශීත ඍතුවේදී අලූත් විය. එමෙන්ම ඇතැම් සිදුවීම්ද මේ උෂ්ණත්වය පිළිබඳ සාධක වෙයි. නිදසුනක් ලෙස ස්වීඩනයේ හා රුසියාවේ ක‍්‍රීඩා අවස්ථා සඳහා හිම වෙනත් ප‍්‍රදේශවලින් ගෙන ඒමට සිදුවීම දැක්විය හැකිය. එමෙන්ම බි‍්‍රතාන්‍යයේ ඇති වූ බරපතළ තත්ත්වයේ ගංවතුර තත්ත්ව වඩාත් උග‍්‍ර කරවීමට මේ උෂ්ණත්වය ඉහළ යෑම බලපාන්නට ඇති බවට අදහස් කර තිබෙයි.

ලෝකයේ විවිධ ප‍්‍රදේශවල උෂ්ණත්වය පිළිබඳ වාර්තා පිහිටුවීම මෑත කාලයේ දිගින් දිගටම දැකිය හැකි වූ ප‍්‍රවණතාවයකි. නිදසුනක් ලෙස ගත වූ 2019 වර්ෂය ගත් විට එය ලෝකයේ දෛවැනි වැඩිම සාමාන්‍ය උෂ්ණත්වය පැවැති වර්ෂය විය. එසේම ගත වූ වසර පහ හා දශකය වසර 150ක ඉතිහාසය තුළ උණුසුම ඉහළම අගය ගත් වසර පහ හා දශකය ද විය. ලෝකයේ සාගරවල ඉහළම උෂ්ණත්වයද වාර්තා වූයේ ද 2019 වර්ෂයේදීය. එසේම, ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් මෙන්ම ඇන්ටාක්ටිකා කලාපයේද ඉහළම උෂ්ණත්වය පසුගිය මාසයත ඇතුළත වාර්තා විය.

ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ජාන කිටුව ආරක්ෂා කළ යුතුය

ජගත් පරිසර පුවත් 355 - 11.03.2020



ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.03.2020, පි. 3 (Vidusara)



2020 වර්ෂයෙන් පසුව එන දශකය තුළ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා මේ වන විට ඉදිරිපත්ව ඇති ජගත් මට්ටමේ සැලසුමේ පළමු කෙටුම්පතේ එක් අංශයක ඇති දුර්වලතාවයක් පිළිබඳව ඒ ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයන් පිරිසක් විසින් පෙන්වා දී ඇත. ඔවුන්ට අනුව, ජීවීන් වඳ වී යෑම වැළැක්වීම සඳහා ලෝකයේ වාසය කරන සියලූ ජීවීන්ගේ ජාන කිටු ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම වැදගත්ය. එය ඉහත කී සැලැස්මේ දී අවධානයට ලක් වී නැති එකකි.

ජීවීන් වඳ වී යෑම වැළැක්වීම සඳහා සකස් කර ඇති වසර දහයක ක‍්‍රියාකාරී සැලැස්මක් වන උක්ත සැලසුමේ මුල් කෙටුම්පත ජෛව විවිධත්ව සම්මුතියේ ලේකම් කාර්යාලය විසින් පසුගිය ජනවාරි මාසයේදී එළිදක්වන ලදි. මෙම සැලැසුමේ එන ඉලක්ක ලබන ඔක්තෝබර් මාසයේ චීනයේ දී පැවැත්වෙන ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමේදී අනුමත වීමට නියමිතය. එහිදී සංශෝධන වී අනුමත වුවහොත් එය ඉදිරි දශකය සඳහා ජෛව විවිධත්ව සංරක්ෂණ ඉලක්කය වනු ඇත.

මේ සැලසුමේ වන සතුන් හා ශාකවල ජානමය විවිධත්වය ආරක්ෂා කිරිම සඳහා ඇති අවධානය ප‍්‍රමාණවත් නොවන බව මේ විද්‍යාඥයන් පිරිසගේ අදහසයි. ජාන කිටුව අහිමි වීම සියලූ ජීවී විශේෂවලට වැදගත් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන කරුණකි. අන්තවිශේෂීය ජාන විවිධත්ව ජීවී විශේෂවලට ඉතා වැදගත්ය. විශේෂවල පැවැත්මට, පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාවට, වෙනස් වන පාරිසරික තත්ත්වවලට අනුහුරු වීමට, වාසස්ථාන අහිමි වීමෙන් ඇති වන බලපෑම් වැළැක්වීමට හා රෝගවලින් ආරක්ෂා වීමට ජාන විවිධත්වය වැදගත් වෙයි. එබැවින් මිනිසුන්ට වැදගත් වන්නා වූ ජීවීන්ගේ හෙවත් ගෘහාශ‍්‍රිතකරණය කළ සතුන් හා ශාක, ඒවාට නෑදෑකම් ඇති වල් දර්ශ හා සංස්කෘතික වශයෙන් හා ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති ජීවී විශේෂවල ජාන විවිධත්වය පමණක් ආරක්ෂා කිරීමෙන් ප‍්‍රයෝජනයක් නොලැබෙන බව ඔවුන්ගේ අදහස වෙයි. එබැවින් සියලූ ජීවීන්ගේ ජාන විවිධත්වය නිරීක්ෂණය කිරීම හා තක්සේරු කිරීම වඩා පුළුල් ලෙස සිදු කළ යුතු බව මෙම ලිපියෙන් පෙන්වා දී ඇත. (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.abb2748)

ඔස්ටේ‍්‍රලියාවේ ග‍්‍රීෂ්ම ඍතුව දිගුවෙලා!

ජගත් පරිසර පුවත් 354 - 04.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.03.2020, පි. 3 (Vidusara)



වර්තමාන ඔස්ටේලියාවේ ග‍්‍රීෂ්ම ඍතුව පවත්නා කාලසීමාව වසර හැත්තෑවකට පෙර පැවති ග‍්‍රීෂ්ම ඍතුවට වඩා මාසයකින් පමණ දීර්ඝ වී ඇති බව කාලගුණ දත්ත අනුව පෙන්වා දී ඇත. ඒ අනුව මෑත වසර 20ක පමණ කාලයේදී ග‍්‍රීෂ්ම ඍතුව පවත්නා කාලසීමාව 20වැනි සියවසේ මැද කාලයේදී එම ඍතුව පැවැති කාලයට වඩා මාසයක් පමණ දීර්ඝය. එමෙන්ම ශීත ඍතුව ද කෙටි වී ඇත. මේ තත්ත්වය නිසා 2014-2018 අතර කාලයේදී ශීත ඍතුව මෙන් දෙගුණයක් පමණ දීර්ඝ ග‍්‍රීෂ්ම ඍතුවක් දැන් එරට තුළ දැකිය හැකිය.

මේ වාර්තාව සකස් කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියා ආයතනය නම් ආයතනය 1999-2018 අතර කාලයේ කාලගුණ දත්ත හා 20 වැනි සියවස මැද භාගයේ (1950-60 දශකවල) දත්ත සමඟ සංසන්දනය කර තිබෙයි. එහිදී හෙළි ව ඇත්තේ මෑත දශක දෙකක පමණ කාලය ඇතුළත ග‍්‍රීෂ්ම ඍතු උෂ්ණත්වය පවත්නා දින ගණන 20වන සියවසේ මැද භාගයට වඩා දින 31කින් පමණ වැඩි වී ඇති බවයි. 1950 ගණන්වලදී මාස තුනක් පමණ කාලයක් පැවති ග‍්‍රීෂ්ම ඍතුව මේ වන විට නොවැම්බර් මුල හෝ මැද සිට මාර්තු මස මැද දක්වා මාස හතරක් පමණ කාලයක් පවතී. එමෙන්ම මේ විශ්ලේෂණය අනුව හෙළි වී ඇත්තේ එරට වර්තමානයේ ශීත ඍතු උෂ්ණත්වය පවත්නා දින ගණන එදාට වඩා දින 23ක් අඩු වී ඇති බවයි. එමෙන්ම මේ දින ගණන ඇතැම් ප‍්‍රදේශවලදී තවත් වෙනස් වී තිබීම වැදගත් කරුණකි.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ වඩාත් උණුසුම්ම හා වියළිම වර්ෂය පවත්නා අතරය. ගත වන ග‍්‍රීෂ්ම කාලයේදී ඇති වූ අතිශය විනාශකාරී වූ වන ගිනි නිසා 33 දෙනෙකු මිය ගිය අතර වනාන්තර හා වනසතුන් විශාල ලෙස විනාශයට පත් විය. මේ තත්ත්වයේ බරපතළ බව විස්තර කරන එක් විද්‍යාඥයෙකු පවසා ඇත්තේ ඔවුන් මේ දකින්නේ අනාගතයේ සිදුවන්නක් නොව වර්තමානයේදී සිදුවන්නක් බවයි.

ඔස්ටේ‍්‍රලියාවේ උෂ්ණත්වය ඉහළ වීමට හා වියළි තත්ත්වයක් ගැනීමට දේශගුණ වෙනස් වීම යම් බලපෑමක් ඇති කර තිබෙන බව පැහැදිලිය. එරට මේ වන විට ලෝකයේ ඉහළම ඒක පුද්ගල කාබන් විමෝචන ප‍්‍රමාණයක් ඇති රටක්ද වේ. (මූලාශ‍්‍රය - Out of Season: Expanding summers and shrinking winters in subtropical and temperate Australia, www.tai.org.au)

කොරෝනා වෛරසය නිසා අඩු වූ චීනයේ පරිසර දූෂණය

ජගත් පරිසර පුවත් 354 - 04.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.03.2020, පි. 3 (Vidusara)



මේ වර්ෂයේ ජනවාරි මස මුල් සති තුන හා සාපේක්ෂව පෙබරවාරි මස මැදභාගය වන විට චීනයේ වායු දූෂණය ඉතා විශාල ලෙසින් අඩු වී ඇති බව ඇමරිකාවේ NASA ආයතනය මගින් නිකුත් කර ඇති චන්ද්‍රිකා ඡායාරූප අනුව පෙනෙයි.

මෙසේ අඩු වී ඇත්තේ වායුගෝලයේ පවත්නා නයිට‍්‍රජන් ඩයෝකසයිඞ් වායු මට්ටමයි. එම වායුව වමෝචනය වන්නේ ප‍්‍රධාන වශයෙන්ම රථවාහනවලින් හා කර්මාන්තශාලාවලිනි. චීනයේ මේ වායුවේ මට්ටමෙහි අඩුවීමක් මුලින්ම වූහාන් ප‍්‍රදේශයේ දැකිය හැකි වූ අතර, පසුව එරට සෙසු නගරවල ඒ හා සමාන තත්ත්වයක් දැකිය හැකි විය. වූහාන් යනු කොරෝනා වෛරසයේ ව්‍යෘප්තිය ආරම්භ වූ ප‍්‍රදේශයයි.

සාමාන්‍යයෙන් චීනයේ චන්ද්‍ර වර්ෂය උදාවීමත් සමඟ වායුගෝලයේ මෙම වායුවේ සාන්ද්‍රණය අඩු වේ. එහෙත් ඒ උත්සවවල අවසානයත් සමඟ යළිත් වායු දූෂණය ඉහළ යයි. මේ පිළිබඳව වැඩිදුර තහවුරු කරගැනීම සඳහා එම විද්‍යාඥයෝ මේ වර්ෂයේ පැවති තත්ත්වය සමඟ 2019 දී මුල් මාස දෙකේදී පැවති තත්ත්වය සංසන්දනය කළහ. එහිදී පෙනීගොස් ඇත්තේ, උත්සව අවසානයත් සමඟ 2019 වර්ෂයේ දී නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් මට්ටම ඉහළ ගිය නමුත් 2020 වර්ෂයේදී එසේ ඉහළ නොගිය බවයි.

මේ ආකාරයෙන් වායු දූෂණය අඩුවීම සඳහා හේතු වී ඇති එක් කරුණක් වන්නේ චීනයේ ආර්ථික කටයුතු ක‍්‍රමයෙන් අඩු වීම බව භ්ී් ආයතනයේ අදහසයි. ඒ චීනය පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ප‍්‍රවාහනය හා කම්හල් ඇතුළුව ව්‍යාපාර කටයුතු සීමා කිරීමට පියවර ගැනීම හා මිනිසුන් නිරෝධායනය වෙත යොමු කිරීම සිදු විය. වෛරසයේ ව්‍යාප්තිය අඩාල කිරීමේ අරමුණින් සිදුකරන මේ කටයුතු හා සමගාමීව වායු දූෂණයේ අඩු වීම ද සිදු වී ඇත.

එක් තනි සිදුවීමක් නිසා, විශාල ප‍්‍රදේශයක වායු දූෂණයේ මෙතරම් විශාල වෙනස්කමක් ඇති වීම ඉතා දුර්ලභ සිදුවීමක් බව විද්‍යාඥයින්ගේ අදහස වෙයි. මීට පෙර 2008 වර්ෂයේ පැවැති ආර්ථික අර්බුදය අවස්ථාවේදී මෙවැනි අඩුවීමක් දැකිය හැකි වී ඇතත් එය මීට වඩා ක‍්‍රමයෙන් හා සෙමින් සිදුවූවක් බව පෙන්වා දී තිබේ.

Saturday, February 29, 2020

Friday, January 31, 2020

සම්පත් පරිභෝජනය වාර්තාගත මට්ටමකට

ජගත් පරිසර පුවත් 349 - 29.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)



මිනිසුන් විසින් එක් වර්ෂයක් තුළ භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය ටොන් බිලියන 100ක සීමාව ඉක්මවා ගොස් ඇති බව පසුගියදා එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි. එය නිශ්චිතව දක්වන්නේ නම් ටොන් බිලියන 100.6කි. මේ අතරින් ටොන් බිලියන 50.8ක් පමණ ඛනිජ ද්‍රව්‍ය වේ. ටොන් බිලියන 24.6ක් පමණ ගස් හා භෝග වෙයි. තවත් 15.1ක් පමණ පොසිල ඉන්ධනය. එමෙන්ම ටොන් බිලියන 10.1ක් පමණ ලෝහ සහිත පස්ය.

ලෝකය වාර්ෂිකව භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය 1970 සිට මේ වන විට සිව්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. එහෙත් මේ කාලය තුළ ජනගහනය වර්ධනය වී ඇත්තේ දෙගුණයකින් පමණකි. අද ජීවත්වන අයෙකු එක් වසරකදී සම්පත් ටොන් 13ක් පමණ භාවිත කරන බව මේ අනුව පෙනේ.

වාර්ෂිකව භාවිත වන මේ සම්පත් ප්‍රමාණය අතරින් වසරකට පසුව භාවිත වන්නේ ටොන් බිලියන 31කි. තවත් 14.6ක් විමෝචන ලෙස පිටවෙයි. ටොන් බිලියන 22.4ක් පමණ පරිසරයට එක් වෙයි. තවත් ටොන් බිලියන 32.6න් පමණ ඉවත දමනු ලැබේ. සමස්තයක් ලෙස ගත් විට නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනු ලබන්නේ මුළු සම්පත් ප්‍රමාණයෙන් 8.6%කි.

එය මෑත කාලීන ප්‍රවණතාවය පෙන්වාදෙන්නකි. ගත වූ අවසන් වසර දෙක ඇතුළත සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය 8%කින් ඉහළ ගොස් ඇතත් ඒ වසර දෙක තුළ ප්‍රතිචක්‍රිකරණය හා යළි භාවිතය 9.1% සිට 8.5%ක් පමණ දක්වා අඩු වී ඇත. මේ ආකාරයෙන් ලෝකයේ පවත්නා සම්පත් සීමා රහිත බවක් සිතමින් පරිභෝජනය කිරීමට යෑම ලෝකයටම අහිතකර ප්‍රතිඵලයක් අත්කර දිය හැකි දෙයකි.

මූලාශ්‍රය - The Circularity Gap Report 2020, www.circularity-gap.world/2020

මොනාක් සමනල ගහනය අඩු වීම

ජගත් පරිසර පුවත් 349 - 29.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)



කැලිෆෝනියාවේ වෙරළාසන්න ප්‍රදේශවල ශීත කාලය ගත කිරීම සඳහා පර්යටනය කරන බටහිර මොනාක් නම් සමනලයින්ගේ කිලෝමීටර් තුන්දහසක පමණ දීර්ඝ ගමන සොබාදහමේ එක් අපූරු පර්යටනයක් ලෙස සැලකේ. එහෙත් මේ සමනලයින්ගේ ගහනය, අඛණ්ඩව දෙවැනි වර්ෂයටද, විශාල ලෙසින් අඩු වී තිබෙන බව වාර්තා වෙයි.

Xerces සංගමය නම් පාරිසරික සංවිධානයක් මගින් සිදුකරන ලද ගනනය කිරීමක් අනුව මේ වර්ෂයේ එම ප්‍රදේශයට පැමිණි මොනාක් සමනලුන් ගණන 29,000ක් පමණ වේ. එය මෙතෙක් වාර්තා වී ඇති අවම පර්යටනිත සමනල ගහනය වන පසුගිය වර්ෂයේ වාර්තා වූ 27,000 ඉක්මවන්නේ සුළු වශයෙනි. එහෙත් 1980 දශකයේ දී කැලිෆෝනියාවේ වෙරළ තීරයේ වනගත පෙදෙස්වලට වසරකට මිලියන 4.5ක් පමණ සමනලුන් ප්‍රමාණයක් වාර්ෂිකව පර්යටනය කර ඇත. ඒ අනුව සමනල ගහනයේ අඩුවීම බරපතළ බව පැහැදිලිය.

මේ තත්ත්වයට බලපාන හේතු අතර ඔවුන්ගේ පර්යටන ගමන්මාර්ගයේ පිහිටා ඇති පරිසර පද්ධති විනාශ වීම මූලික බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. ඒවා මේ වන විට මානව ජනාවාස බවට පත්ව ඇත. එමෙන්ම විවිධ කෘෂිරසායන භාවිතය හා දේශගුණ වෙනස් වීමේද කිසියම් බලපෑමක් ඇති බව සඳහන් වෙයි. 2017 වර්ෂයේ සිදු කළ එක් අධ්‍යයනකට අනුව මොනාක් සමනලයින් ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් නොගත හොත් ඉදිරි දශක කීපය ඇතුළත දී ඔවුන් වඳ වී යා හැකිය. මේ තත්ත්වය නිසා ඇමරිකානු රජය මෙම සමනලයා තර්ජනයට ලක් වූ සමනලයෙකු ලෙස නම් කිරීමට අදහස් කරගෙන ඇති බව ද සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ විමෝචන අඩු කිරීමට යෝජනා

ජගත් පරිසර පුවත් 349 - 29.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)




දේශගුණ වෙනස් වීම පාලනය කිරීම අරමුණු කරගනිමින් බි්‍රතාන්‍යය ඇතිකරගෙන තිබෙන ප්‍රධාන ඉලක්කයක් වන්නේ 2050 වර්ෂය වන විට එරට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමය. මෙම ඉලක්කය අත්පත් කරගැනීම සඳහා කළ හැකි හදිසි කාර්යයක් ලෙස මහා පරිමාණයෙන් සිදුකරන පැළ සිටුවීම ගැන දැන් එරට අවධානය යොමු වී ඇත. වසරකට පැළ මිලියන 100ක් සිටුවීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකි ක්‍රමයක් පසුගියදා එරට දේශගුණ වෙනස් වීම පිළිබඳ කමිටුව දක්වා තිබෙයි. ඒ මහා පරිමාණ හරිතාගාර වායු විමෝචකයන් වන තෙල් සමාගම් හා ගුවන් සමාගම්වලට නව කාබන් බදු පැනවීමයි. එමෙන්ම මෙවැනි පියවරක් හරහා මෙම පැළ සිටුවනු ලබන බිම් හිමි ගොවීන්ට හා ඉඩම් හිමියන්ට ප්‍රතිලාභ සැලසෙනු ඇත.

එමෙන්ම මෙම කමිටුව සඳහන් කරන පරිදි ඉහත කී කාබන් ඉලක්කය අත්පත් කරගැනීමට නම්, එරට කෘෂිකර්මයේ බරපතළ වෙනස් කම් සිදු කළ යුතු වේ. ඉඩම් භාවිතය හා සම්බන්ධ මූලික වෙනස්කම් රැසක් සිදුකළ යුතුව තිබේ. ඔවුන් යෝජනා කර ඇති පියවර අතර දෙණි බිම් ගිනි තැබීම හා කොම්පෝස්ට් ලෙස පීට් භාවිතයට ගැනීම තහනම් කිරීම ඇතුළත්ය. ඒ කාබන් සංචය කිරීම සඳහා වැදගත් වන එවැනි බිම් ප්‍රදේශ විනාශ කිරීමෙන් ඒ හැකියාව අහිමි වීම නිසාය. මෙම කමිටුව පෙන්වා දී ඇති පරිදි, එරට තුළ ස්වේච්ඡාවෙන් සිදුකිරීමට යෝජනා වූ පියවර රැසක් අසාර්ථක වී ඇත. මීට පෙර මෙම කමිටුව පෙන්වා දුන් පරිදි කාබන් විමෝචන පාලනය සඳහා රතු මස් ආහාරයට ගැනීම 20%කින් පමණ අඩු කර, ආහාරවේලට ඇතුළත් ශාකමය ආහාර ප්‍රමාණය වැඩි කළ යුතුය.

උෂ්ණත්වයෙන් වාර්තා අතරට එන 2019

ජගත් පරිසර පුවත් 348 - 22.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 22.01.2020, පි. 3 (Vidusara)



පෘථිවිය මතුපිට වායුගෝලීය සාමාන්‍ය උෂ්ණත්ව වාර්තා අතර අතින් දෙවැනි තැන ගන්නා වර්ෂය වන්නේ 2019 වර්ෂය බව පර්යේෂණයකින් පෙන්වා දී ඇත. ඒ අනුව, 1850-1900 අතර කාලයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා පසුගිය වර්ෂයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1කින් ඉහළය. එමෙන්ම ගත වූ වර්ෂ පහක කාලයත් ගත වූ දශකයත් ලෝකයේ අවසන් 150 වසරක කාලය තුළ පැවැති උෂ්ණත්වය වැඩිම වසර පහ හා දශකය වේ. 1850 සිට උෂ්ණත්ව මිනුම් පවත්නා අතර, මේ කාලයේදී වාර්තා වූ උෂ්ණත්වයෙන් ඉහළම වර්ෂය වන්නේ 2016 වර්ෂයයි. එය එල් නිනෝ සිදුවීමක් පැවති වර්ෂයකි. එල් නිනෝ තත්ත්වයක් නොමැතිව 2019 ඉහළ උෂෟණත්වයක් වාර්තා කිරීම දේශගුණ වෙනස් වීමේ බලපෑම පිළිබඳව පෙන්වා දෙන්නකි. මේ උෂ්ණත්ව වාර්තා පැමිණෙන්නේ ඇමරිකානු ආයතන දෙකකින්, බි්‍රතාන්‍ය ආයතනයකින් හා යුරෝපයේ පිහිටා ඇති ආයතනයකිනි.

මානව ඉතිහාසයේ සාගර උෂ්ණත්වය සම්බන්ධ වාර්තා තැබීම ආරම්භ වූ පසු ගත වූ කාලයේදී සාගරයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වර්ෂය වන්නේ 2019 බවද පසුගිය සතිය මුලදී එළි දුටු පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දෙන ලදි. ඒ අනුව 1981-2010 අතර කාලයේ සාගර ජලයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.075ක් පමණ ඉහළ උෂ්ණත්වයක් පසුගිය වර්ෂයේදී වාර්තා වී තිබෙයි. සාගරයේ මතුපිට සිට මීටර් 2000ක් පමණ ගැඹුරක් යනතෙක් මේ උෂ්ණත්ව ඉහළ යෑම දැකිය හැකිය. ලෝකයේ නිකුත්වන හරිතාගාර වායුවල රැඳී ඇති තාපයෙන් 90%ක් පමණ අවශෝෂණය කරනු ලබන්නේ සාගර ජලය මගිනි. එමෙන්ම ගත වූ වර්ෂ පහක කාලයත් ගත වූ දශකයත් යනු සාගර ජලයේ උෂ්ණත්වය දත්ත පවත්නා කාලය සම්බන්ධව වැඩිම උෂ්ණත්වයක් ඇති වසර පහ හා දශකය වේ. ඒ අනුව සාගර ජලයේද අඛණ්ඩ උෂ්ණත්ව ඉහළ යෑමක් ඇති බව පැහැදිලිය. එමෙන්ම මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇති ආකාරයට 1955-1986 අතර කාලයේදී ඇති වූ උෂ්ණත්වය ඉහළ යෑමට වඩා 1987-2019 කාලයේ දී ඇති වූ උෂ්නත්වය ඉහළ යෑම 450%ක් පමණ වැඩිය. ඒ අනුව මෑතකාලයේදී මිහිතලය උණුසුම්වීමේ කැපී පෙනන වර්ධනයක් සිදු වී ඇති බවද පැහැදිලි වෙයි. 

මූලාශ්‍රය - Advances in Atmospheric Sciences, DOI: 10.1007/s00376-020-9283-7

මයික්‍රොසොෆ්ට් සමාගම කාබන් ඍණ වීමට යයි

ජගත් පරිසර පුවත් 348 - 22.01.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.01.2020, පි. 3 (Vidusara)



සිය සමාගම ආරම්භ කළ 1976 වර්ෂයේ සිට මේ දක්වා විමෝචනය කළ සියලු කාබන් විමෝචන පරිසරයෙන් ඉවත් කරන බවට ප්‍රතිඥාවක් මයික්‍රොසොෆ්ට් සමාගම ලබා දී තිබෙයි. මේ ඉලක්කය 2050 වර්ෂය වන විට අත්පත් කරගැනීමට අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඬේලා පවසා ඇත.

මේ සඳහා ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ඉලක්කය වන්නේ 2030 වර්ෂය වන විට සමාගම කාබන් ඍණ වීමේ (carbon negative) ඉලක්කයකි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, සමාගම නිකුත් කරන කාබන් ප්‍රමාණයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් පරිසරයෙන් ඉවත් කිරීම මගිනි. සමාගමේ ප්‍රධානීන් පවසන්නේ දැනටමත් නිකුත් වී ඇති කාබන් වායුගෝලයේ ඇති බැවින් මේ වන විට ජනප්‍රිය වී ඇති කාබන් උදාසීන වීම (carbon neutral) ප්‍රමාණවත් නොවන බවයි. මේ ආකාරයෙන් කාබන් ඍණ වීම සඳහා ඔවුන් යොදාගැනීමට අපේක්ෂා කරන්නේ වායුගෝලයෙන් කාබන් ඉවත් කර රඳවා තැබීමේ තාක්ෂණය යොදාගැනීමටය. ඒ අනුව නව වනාන්තර ඇති කිරීම හා පවත්නා වනාන්තර ව්‍යාප්ත කිරීම, පසෙහි කාබන් ගබඩා වීම ප්‍රවර්ධනය කිරීම, වායුගෝලයෙන් ඍජුව කාබන් ඉවත් කිරීම හා කාබන් අවශෝෂණය කරන ජෛව ඉන්ධන ප්‍රවර්ධනය යන අංශවලිනි. පරිසරයෙන් කාබන් ඉවත් කළ හැකි තාක්ෂණය පිළිබඳව නව සොයාගැනීම් සඳහා ඩොලර් බිලියනයක අරමුදලක්ද සමාගම විසින් පිහිටුවා ඇත.

මෙය කාබන් විමෝචන අංශයෙන් පිරිසිදු බලශක්තියක් වෙත යොමු වීමට මහා පරිමාණ ව්‍යාපාරික ආයතන අතර ඇති තරගය යහපත් ලෙසින් භාවිත වන අවස්ථාවක් පෙන්වන්නකි. නිදසුනක් ලෙස, ඇමසන් සමාගම 2040 වර්ෂයේදී කාබන් උදාසීන බවට පත් වන බවට ප්‍රතිඥා දී ඇත. දැන් මයික්‍රොසොෆ්ට් සමාගම තවත් ඉදිරියට ගොස් ඇත. කාබන් උදාසීන වීමේදී අදාළ සමාගයේ ශුද්ධ විමෝචනයක් නොමැත. එහෙත් කාබන් ඍණ වීමේදී සමාගම නිකුත් කරන ප්‍රමාණයටත් වඩා කාබන් පරිසරයෙන් ඉවත් කරනු ලැබෙයි. විශේෂයෙන් ඔවුන්ගේ කාර්යභාරයෙන් එපිටට ගොස් ලෝකයේ ඇති ප්‍රශ්නයක් දෙස වඩාත් විමසා බැලීමකි. එය වැදගත්ය.

මුල්පෙළේ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙම ප්‍රතිඥාව පරිසරවේදීන් විසින් සුභවාදීව පිළිගෙන ඇති බව පෙනෙයි. එසේම ලෝකයේ සෙසු මහා පරිමාණ සමාගම්ද මේ සඳහා යොමු විය යුතු බව ඔවුන්ගේ අදහස වෙයි.

අනාගත ජල ගැටුම් කලින් හඳුනාගැනීම

ජගත් පරිසර පුවත් 347 - 15.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 15.01.2020, පි. 3 (Vidusara)



ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ජලය පිළිබඳ විවිධ අර්බුද අනාගතයේදී ඇති විය හැකි බව විද්‍යාඥයින් විසින් අනතුරු හඟවා ඇත. මේ අර්බුද දරුණු හා ගැටුම්කාරී තත්ත්ව බවට පත් වීමට ද ඉඩ තිබේ. එසේ ගැටුම්කාරී තත්ත්ව බවට පත් විය හැකි ජල අර්බුද ඇති විය හැක්කේ කෙබඳු ස්ථානවලදී ද යන්න කල් තබා පුරෝකථනය කළ හැකි මෙවලමක් පසුගියදා හඳුන්වා දෙන ලදි. ඒ දේශගුණ වෙස් වීම පිළිබඳ දත්ත මතය.

ප්‍රකට සංවිධාන කීපයක් විසින් හදුන්වා දී ඇති, “ජලය සාමය හා ආරක්ෂාව” නම් මෙම මෙවලම පූර්ව අනතුරු හැඟවීමේ ක්‍රමවේදයකි. එමගින් අනාගතයේ ජලය නිසා ගැටුම්කාරී තත්ත්ව ඇති විය හැකි ප්‍රදේශ ගැන අනතුරු හැඟවීමට හැකිය. මෙහිදී වර්ෂාව, නියඟය, භෝග අස්වනු බිඳවැටීම වැනි පාරිසරික විචල්‍යතා සමඟ දේශපාලන ආර්ථික හා සමාජයීය තත්ත්ව සම්බන්ධ කරගනිමින් ජලය ආශ්‍රිත අර්බුද නිසා ගැටුම් ඇති විය හැකි ප්‍රදේශ වසරකට පමණ පෙර පැවසිය හැකිය. මේ සඳහා විවිධ දර්ශක අසූවක් පමණ වසර විස්සක පමණ දත්ත යොදාගැනෙයි.

මෙසේ පාරිසරික සාධක හා සමාජ-ආර්ථික විචල්‍යතා සම්බන්ධ කරගනිමින් ජල අර්බුද ඇති විම පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා මෙවලමක් ඉදිරිපත් කර ඇති පළමු අවස්ථාව මෙයයි. එමගින් අවම වශයෙන් මරණ 10ක් වත් ඇති විය හැකි මට්ටමේ ගැටුම් ඇති විය හැකි ප්‍රදේශ හඳුනාගත හැකිය. මේ හඳුනාගැනීම් සඳහා 86%ක පමණ සාර්ථකත්වයක් ඇත. මෙම මෙවලම වෙත අන්තර්ජාලයෙන් පිවිසිය හැකි අතර, එය ජල ආතතියක් සහිත ප්‍රදේශවල ප්‍රතිපත්ති සම්පාදකයන් හා ජනතාව විසින් යොදාගනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. ඒ ඇතිවිය හැකි අර්බුද වළක්වා ගැනීම සඳහා කලින් ක්‍රියාත්මක වීමෙනි.

මෙමගින් පුරෝකථනය කර ඇති ආකාරයට 2020 වර්ෂයේදී ජල අර්බුද නිසා ගැටුම් ඇති විය හැකි රටවල් අතර, ඉරාකය, ඉරානය, මාලි, නයිජීරියාව, ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් වෙයි.

ජලය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජල ආතතියක් ඇති ප්‍රදේශවල ජල අර්බුද ඇති විය හැකිය. විශේෂයෙන් ජල හිඟයකින් පීඩාවට ලක්වන පිරිස් අනාගතයේදී තවත් ඉහළ යනු ඇත. 2050 වර්ෂය වන විට බිලියන 8ක පමණ ජනගහනයක් ජල හිඟය ඇති තත්ත්වවලට මුහුණ පෑ හැකිය.

මෙම මෙවලම සඳහා වූ වෙබ් අඩවිය - www.waterpeacesecurity.org

ඔස්‌ට්‍රේලියාවේ ලැව් ගිනි හා දේශගුණ වෙනස් වීම

ජගත් පරිසර පුවත් 347 - 15.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 15.01.2020, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා කටයුතු කරන මෙන් ලෝකයේ විවිධ රටවල සිදුකරන උද්ඝෝෂණවල ප්‍රධාන මාතෘකාවක් බවට ඔස්‌ට්‍රේලියාවේ ඇති වී තිබෙන ලැව් ගිනි පත්ව ඇත. පසුගිය සිකුරාදා දින එරට නගර ගණනාවක පැවැති උද්ඝෝෂණවල අරමුණ වූයේ එරට වර්තමාන රජයේ දේශගුණ පිළිබඳ ප්‍රතිපත්තියට විරෝධය දැක්වීම හා ඒ සම්බන්ධයෙන් වඩා ප්‍රබල පියවරක් ගන්නා ලෙස රජයට බලකිරීමයි. එමෙන්ම වෙනත් රටවල ඔස්‌ට්‍රේලියානු තානාපති කාර්යාල ඉදිරිපිට මෙවැනි උද්ඝෝෂණ පැවැතිණි. මේවායේදී ඔස්‌ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ට චෝදනා එල්ල වී තිබිණි. පසුව, පසුගිය ඉරිදා ඔහු ලැව් ගිනි අර්බුදය පිළිබඳව සිය රජය දැක්වූ ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන කණගාටුව පළ කළේය. එමෙන්ම ඒ පිළිබඳව සොයාබැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ පමණ ආරම්භ වූ මෙම ලැව් ගිනි නිසා පසුගිය සතිය වවන විට මිනිස් ජීවිත 28ක් අහිමි වී, නිවාස 2000කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබිණි. එමෙන්ම, හෙක්ටයාර මිලියන 5කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශයට පත්වු අතර, වනජීවීන් විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි ව තිබිණි. සැලකිය යුතු ජනතාවකට සිය නිවාස අත්හැර ආරක්ෂිත ස්ථානවලට යෑමට ද විය. තවමත් උණුසුම් කාලගුණයක් පවත්නා තත්ත්වය තුළ තවත් කාලයක් ලැව් ගිනි අවදානම පවතින බව එරට බලධාරීන් මෙන්ම විද්‍යාඥයින්ද පෙන්වා දී තිබෙයි. සාමාන්‍යයෙන් ඔස්‌ට්‍රේලියාවේ ඇති වන ලැව් ගිනි වඩාත් බරපතළ වන්නේ ජනවාරි හා පෙබරවාරි මාසවලය.

ලෝකයේ ලැව් ගිනි ඇතිවන ප්‍රදේශ අතර ඉදිරියෙන්ම ඇති ප්‍රදේශයක් ලෙස ඔස්‌ට්‍රේලියාව දැක්විය හැකිය. එහෙත් එරට තුළ දැකිය හැකි ලැව් ගිනි තත්ත්වය බරපතළ වීම සඳහා උෂ්ණත්වය ඉහළ යෑම හේතු වන බවට විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. ඔවුන් පෙන්වා දී ඇති පරිදි, අතීතයේදී ද මෙවැනි අධික උෂ්ණත්වයක් සහිත ග්‍රීෂ්ම කාල වකවානු ඇති වී තිබෙන නමුත්, වර්තමාන ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස් වීම අතර ඇති සම්බන්ධය ගැන සැකයක් නැත. දේශගුණ වෙනස් වීම නිසා ඇති වන වියළි ස්වභාවය හා ලැව් ගිනි ඇති විය හැකි කාලගුණ තත්ත්වය නිසා එරට ඇති වන ලැව් ගිනිවල විශාලත්වය හා ඇතිවන වාර ගණන ඉහළ ගොස් ඇත. මේ පිළිබඳ පැහැදිලි කිරීම් ඇත.

හිරු ආවරණ ආලේපන තහනම් කළ පළමු රට

ජගත් පරිසර පුවත් 346 - 08.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 08.01.2020, පි. 3 (Vidusara)




හිරු රැසින් ආරක්ෂාවීම සඳහා පාවිච්චි කරනු ලබන ආලේපන වන හිරු ආවරණ ආලේපන (sun cream) තහනම් කිරීම සඳහා පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වන පලව් දේශය තීරණය කර ඇත. කොරල්පරවලට හා සාගර ජීවීන්ට හානිකර වන මෙමආලේපන තහනම් කිරීම සඳහා කටයුතු කළ ලෝකයේ පළමු රට වන්නේ ද මෙම රටයි. ඒ අනුව ඉදිරියේදී මේවා තුළ තහනම් විය හැකිය.

මෙම තහනම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2018 වර්ෂයේදී වන අතර මේ වර්ෂයේ ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වෙයි. මේ අනුව හානිකර බව හෙළි වී ඇති රසායන ද්‍රව්‍ය 10කින් එකක් හො ඇතුළත් වන හිරු ආවරණ ආලේපන එරට තුළ ආලේපනය හෝ අලෙවි කිරීම එරට තහනම් කර ඇත. මේවා පාරිසරික වශයෙන් හානිකර රසායන ද්‍රව්‍ය බවට ප්‍රකට ඒවාය. ඒවා වැඩි ප්‍රමාණයක් වනජීවීන්ගේ කුඩා අවධියේදී විෂ සහිත බව වාර්තා වී තිබෙයි. එමෙන්ම ඒ අතර ඇති ඔක්සිබෙන්සෝන් හා ඔක්ටිනොක්සේට් යන රසායනික ද්‍රව්‍ය දෙක පාරජම්බුල ආලෝකය අවශෝෂණය කර ගැනීමට කටයුතු කරයි. මේ අනුව මේ රසායන ද්‍රව්‍ය කොරල්පරවලට හා සාගර ජීවී විශේෂවලට හා සරගයට හානි කර වෙයි.

මේ වන විට එරට වැදගත් පරිසර පද්ධතිවලින් මෙන්ම එරට තුළ ජනප්‍රිය වී ඇති ජීවී විශේෂවල ශරීරගත වී තිබී මෙම විෂ සහිත රසායනික ද්‍රව්‍ය හමු වී තිබෙයි.

මේ තත්ත්වය නිසා මෙම හිරු ආලේපන ක්‍රීම් හා දියර නිෂ්පාදනයේදී මේ විෂ සහිත රසායන ද්‍රව්‍ය යොදාගැනීම ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙයි. වාර්තාවලට අනුව මේ වන විට ඒවා භාවිත කරනු ලබන්නේ ආලේපන වර්ගවලින් අඩක පමණ පමණකි. එයට හේතුව වන්නේ මෙම රසායන ද්‍රව්‍ය ඇතුළත් ආලේපන තහනම් කරන බවට විවිධ රටවල් විසින් නිවේදනය කිරීමයි. හවායි දූපත්වලද මේ රසායන ද්‍රව්‍ය ඇතුළත් හිරු ආවරණ ආලේපන 2021 වර්ෂයේ සිට තහනම් වනු ඇත. ඇමරිකාවට හා නෙදර්ලන්තයට අයත් දූපත් රාජ්‍ය කීපයක්ද මෙවැනි තහනමක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඔස්‌ට්‍රේලියාවේ ලැව් ගිනි

ජගත් පරිසර පුවත් 346 - 08.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 08.01.2020, පි. 3 (Vidusara)




ඔස්‌ට්‍රේලියාවේ ඇති වී තිබෙන ලැව් ගිනි තත්ත්වය අද වන විට ලෝකයේම අවධානය යොමු කර ගැනීමට සමත්ව තිබෙයි. එරට ලැව් ගිනි ඇති වීම සෑම වසරකම පාහේ සිදුවන සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර එය බරපතළ හා දිගු කාලයක් පවත්නා එකක් බවට පත්ව ඇත.

2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පමණ එරට නිව් සවුත් වේල්ස් හා ක්වීන්සලන්ත යන ප්‍රාන්තවල ලැව් ගිනි ඇති වූයේ ගිනි සමයේ මුල් කාලයේදීමය. එසේම ඒවා සැලකිය යුතු තරම් විශාල ඒවා වූ බව ඒ දිනවලම වාර්තා වී තිබිණි. මේ වන විට මෙම ලැව් ගිනිවලින් එරටට සැලකිය යුතු බලපෑමක් සිදුව ඇත. වැඩිම හානිය සිදුව ඇත්තේ ස්වාභාවික පරිසරයට වනජීවින්ටය. එසේම අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම නිසා මිනිස් ජීවිත නැති වී තිබෙන්නේ 24ක් පමණ ප්‍රමාණයකි. වායු දූෂණය නිසා ඇතැම් ප්‍රදේශවල වාතයේ තත්ත්වය ඉතා අයහපත් වී ඇත. පසුගිය ඉරිදා එරට අගමැති ප්‍රකාශ කර තිබුණේ මේ ලැව් ගිනි තවත් මාස ගණනාවක් පැවතිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ ලැව් ගිනි ඇති වීම දේශගුණ වෙනස් වීම සමඟ ඍජුව සම්බන්ධ වන්නේද යන්න ගැන සාකච්ඡාවක් එරට තුළ මෙන්ම ජගත් මට්ටමෙන්ද ඇති වී තිබෙයි. ලැව් ගිනි හා දේශගුණ වෙනස් වීම අතර ඇත්තේ තරමක් සංකීර්ණ තත්ත්වයකි. බොහෝ කලක සිට විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත්තේ ඔස්‌ට්‍රේලියාවේ ලැව් ගිනි ඇති වන වාර ගණන ඒ ඒ ලැව් ගිනිවල තීව්‍ර තාවය ඉහළ යෑම සඳහා උණුසුම් හා වියළි තත්ත්ව දායක විය හැකි බවයි. මේ වන විට ඔස්‌ට්‍රේලියාවේ සාමාන්‍ය උෂ්ණත්වය දිගුකාලීන සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශකයක් පමණ ඉහළය. ලෝකයේ සෑම පෙදෙසකම පාහේ සාමාන්‍ය උෂ්ණත්වය අතීතයට වඩා ඉහළ ගොස් ඇත්තේ මිහිතලය උණුසුම් වීම නිසා බව පිළිගත් කරුණකි.

කෙසේ වෙතත් එරට රජයේ බලධාරීන් මේ ගැන මුනිවත රැකීම හෝ විද්‍යාත්මක කරුණු ප්‍රතික්ෂේප කිරීම කලක් තිස්සේ දැකිය හැකි විය. එයට බලපාන හේතුව වන්නේ දේශගුණ වෙනස් වීම පිළිබඳව කටයුතු කිරීමේදී එරට දක්වන උදාසීන හා ප්‍රමාණවත් නොවන්නා වූ දායකත්වයයි. පැරිස් ගිවිසුම යටතේ 2030 වන විට සිදුකිරීමට ඔස්ටේ්‍රලියාව පොරොන්දු වී තිබෙන කාබන් විමෝචන සීමා කරන බවට පොරොන්දු දී ඇති 26%-28% අතර අගය ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. එසේම ඒ ඉලක්කය අත්පත් කරගැනීම ද එරටට කළ නොහැකි බවද දක්වා තිබෙයි. ගල් අඟුරු හා වෙනත් පොසිල ඉන්ධන භාවිතය එරට තුළ ඉහළය. කෙසේ වෙතත් මෑතකදී මිහිතලය උණුසුම් වීම ලැව් ගිනි වර්ධන වීමට දායක වන බව එරට අගමැතිවරයා ද පිළිගෙන තිබිණි.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැඩිම නගරවල

ජගත් පරිසර පුවත් 345 - 01.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 01.01.2020, පි. 3 (Vidusara)



ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු වර්තමානයේ දැඩි අවධානයකට ලක් වී ඇති පරිසර දූෂකයකි. විවිධ අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි ලෝකයේ සෑම ප්‍රදේශයක්ම පාහේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් දූෂණය වී ඇත. මේවා මුලින්ම අවධානයට ලක් වූයේ සාගර ජලයේ පවත්නා පරිසර දූෂකයක් ලෙසය. එහෙත් මෑත කාලයේදී හෙළි වී තිබෙන ආකාරයට වායුගෝලයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශාල ලෙසින් පවතී. එමෙන්ම, මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවල මෙන්ම, මිනිස් ජනාවාස පිහිටා නැති පිටිසර හා ඈත ප්‍රදේශවල වාතයේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතී. එයට හේතව සුළං මගින් මේවා ව්‍යාප්ත වීමය.

ලන්ඩන් නගරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් තැන්පත් වීම පිළිබඳව මෑතදී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව නාගරික පරිසරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු තරම් ඉහළය. මධ්‍යම ලන්ඩනයේ සිදුකරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇති පරිදි උස් ගොඩනැගිල්ලක වහලයේ වර්ග මීටරයකට දවසකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි 575ත් 1008ත් අතර ප්‍රමාණයක් තැන්පත් වෙයි. මේ මිලි මීටර් 0.02 හා 0.5 අතර ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්ය. මෙම අගය ග්‍රාමීය ප්‍රදේශයකට වඩා විසි ගුණයක් පමණ ඉහළය. එමෙන්ම ලෝකයේ මෙවැනි අධ්‍යයන සිදුකර ඇති නගර අතරින් ලන්ඩනය වැඩිම ක්ෂ්‍රද්‍ර ප්ලාස්ටික් හමුවන නගරය වේ. එම ප්‍රමාණය පැරිස් නගයේ මෙන් හත්ගුණයක්ද, ජර්මනියේ හැම්බර්ග් නගරයේ මෙන් තුන් ගුණයක් තරම්ද වෙයි.

මෙසේ පතිත වී ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විවිධ වර්ග 15කට අයත්ය. එමෙන්ම විවිධ හැඩගෙන ඇති අතර, ඉන් 92%ක් පමණ කෙඳිතිය. මේවා අතරින් වැඩි ප්‍රමාණය පොලිඇක්‍රිලික් කෙඳි වී ඇති අතර, ඒවා ඇඳුම්වලින් පැමිණෙන ඒවා වීමට වැඩි ඉඩක් ඇත. එමෙන්ම 8%ක් පමණ වූ අංශුමය හැඩැති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අතරින් වැඩි වශයෙන් තිබී ඇත්තේ ආහාර දවටනවලින් පැමිණෙන බව සිතිය හැකි පොලිස්ටයිරීන් හා පොලිඑතිලීන්ය.

ලෝකයේ බොහෝ නගරවල තත්ත්වය මෙබඳු විය හැකි බව මෙම අද්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයින්ගේ අදහස වෙයි. එය බරපතළ තත්ත්වයකි. ක්ෂුද් ප්ලාස්ටික් ආශ්වාස කිරීම මගින් පෙනහළු හරහා මෙන්ම කෙල සමඟ ආහාර මාර්ගය හරහා ශරීරගත විය හැකිය. එමෙන්ම ශ්වසන නාලවල ද තැන්පත් විය හැකිය. මේවා මගින් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම මෙන්ම පාරිසරික බලපෑම පිළිබඳව ද ලෝකය තවමත් හරිහැටි නොදනිති.

මූලාශ්‍රය - Environment International, DOI: 10.1016/j.envint.2019.105411