Friday, August 24, 2018

උණුසුම් කාලවකවානුවල සියදිවි නසාගැනීම් ඉහළ යයි

ජගත් පරිසර පුවත් 274 - 01.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.08.2018, පි. 3 (Vidusara)



උෂ්ණත්වය හා සියදිවි නසාගැනීම් අනුපාතිකය අතර යම් සම්බන්ධයක් ඇති බවක් පසුගියදා ප‍්‍රකාශයට පත්වූ අධ්‍යයනයකින් යෝජනා කර ඇත. එහිදී හෙළි වී ඇති ආකාරයට සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අධික වූ මාසවලදී වැඩි සියදිවි නසාගැනීම් ප‍්‍රමාණයක් ඇති වෙයි. මෙය ග‍්‍රීෂ්ම ඍතුවේදී පමණක් නොව වැඩි උණුසුමක් දැකිය හැකි ශීත ඍතුවලදීද දැකිය හැකි වීම විශේෂයකි.

මෙම අධ්‍යයනයේදී ඇමරිකාවේ හා මෙක්සිකෝවේ සිදු වී ඇති සියදිවි නසාගැනීම් ගැන අවධානය යොමු කර ඇත. ඇමරිකාවේ 1968 සිට 2004 දක්වාද, මෙක්සිකෝවේ 1990 සිට 2010 දක්වාද සිදුව ඇති සියදිවි නසාගැනීම් 851,088ක් හා 611,366ක් පමණ ප‍්‍රමාණයක් මෙහිදී සැලකිල්ලට ලක්ව තිබෙයි. එ් කාලයේදී අදාළ ප‍්‍රදේශවල මාසිකව සිදුවන උෂ්ණත්ව විචල්‍යය පිළිබඳ දත්ත යොදාගනිමින් එය හා සියදිවි නසාගැනීම් අතර සම්බන්ධයක් තිබේදැයි පරීක්ෂාවට ලක්කර ඇත. මෙහිදී හෙළි වී ඇති ආකාරයට සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වය ඉහළ යන අවස්ථාවකදී ඇමරිකාවේ සියදිවි නසාගැනීම් අනුපාතිකයේ 0.7%ක ඉහළ යෑමක්ද, මෙක්සිකෝවේ 2.1%ක ඉහළ යෑමක්ද වාර්තා වන බව අනාවරණය වී තිබෙයි. සාමාන්‍යයක් ලෙස ගත්විට සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වය ඉහළ යන විට සියදිවි නසාගැනීම් අනුපාතිකය 1.4%කින් ඉහළ යයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයක් සහිත මාසවලදී ඕනෑම ප‍්‍රදේශයක සියදිවි නසාගැනීම් ප‍්‍රමාණය ඉහළ යා හැකිය.

මෙහිදී හෙළි වූ තවත් වැදගත් කරුණක් වූයේ අනෙක් බොහෝ සාධක මෙහිදී වැදගත් වී නොමැතිවීමයි. අදාළ ප‍්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනස් වුවද මෙම ප‍්‍රවණතාවය සමාන විය. වර්ෂයේ මාසය අනුවද එය වෙනස් නොවීය. ස්ත‍්‍රී-පුරුෂභාවය, සමාජ-ආර්ථික තත්ත්වය හෝ ගිනිඅවි සඳහා ඇති ප‍්‍රවේශය, වායුසමන යන්ත‍්‍ර තිබීම හෝ නාගරික-ග‍්‍රාමීය ස්වභාවය වැනි සාධක අනුව මෙම ප‍්‍රවණතාවය වෙනස් වී නැත. උෂ්ණත්වය ඉහළ ගියහොත්, සියදිවි නසාගැනීම් ඉහළ යයි. මෙවැන්නක් සිදුවන්නේ මානසික යහපැවැත්මට යම් බලපෑමක් උෂ්ණත්වය නිසා සිදුවන බැවින් බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ අනුව දේශගුණ වෙනස් වීම මගින් ඇතිවෙන බවට පුරෝකථනය කර ඇති උෂ්ණත්වය ඉහළ යාම නිසා අනාගතයේදී සියදිවි හානිකරගැනීම් තවත් ඉහළ යා හැකිය. නිදසුනක් ලෙස ගතහොත් 2050දී ඇතිවෙතැයි අපේක්ෂිත සෙල්සියස් අංශක 2.5 උෂ්ණත්වය ඉහළ යාම සිදුවුවහොත් සියදිවි නසාගැනීම් 1.85%කින් ඉහළ යා හැකිය.

(මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/s41558-018-0222-x)

No comments:

Post a Comment