Tuesday, November 29, 2022

ඊජිප්තු දේශගුණ සමුළුවේ දී මොකද වුනේ?

ධනේෂ් විසුම්පෙරුම

30.11.2022

විදුසර, 30.11.2022, පි. 2 හා 16 (Vidusara)
ජගත් පරිසර පුවත් 478


නියමිත කාලයට වඩා අතිරේකව පැය තිස්හයකටත් වඩා කාලයක් තිස්සේ දිග්ගැසුනු ඊජිප්තුවේ ශාම් එල් ෂේක් නගරයේ දී පැවැති දේශගුණ සමුළුව හෙවත් දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුව (COP 27) පසුගිය 20 දා පෙරවරුවේ අවසන් විය. මේ සමුළුවේ දී ඇති වූ වැදගත් ප්‍රධාන පියවර පිළිබඳව මෙසේ සැකෙවින් දැක්විය හැකිය (සමුළුව අවසන නිකුත් වූ ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම සඳහා සබැඳිය ලිපිය පහළින් දැක්වේ).


අලාභ සහ හානි සඳහා වූ අරමුදලක්


දේශගුණ වෙනස් වීම නිසා සිදුවන විවිධ ආපදා ඇතුළත් අලාභ සහ හානි සඳහා මූල්‍ය සහාය ලබා දීමට ජගත් මට්ටමේ අරමුදලක් පිහිටුවීමට එකඟ වීම මෙවර සමුළුවේ දී සිදු වූ වැදගත්ම සිදුවීමයි. මෙය ගංවතුර, නියඟය, කුණාටු වැනි දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ආපදාවලින් බැට කෑ දියුණුවන රටවල් දිගු කලක් තිස්සේ (1992 වර්ෂයේ දී UNFCCC දේශගුණ සම්මුතිය ඇතිකරගත් දා පටන්ම වාගේ) ඉල්ලා සිටි දෙයකි. මෙය අවශ්‍ය වන්නේ එවැනි ආපදාවලින් හානියට පත්වන යටිතල පහසුකම් ගොඩනැංවීම සඳහාය.

හරිතාගාර වායු විමෝචන අඩුකිරීම හා අනුහුරු වීම සඳහා වූ පියවර සඳහා අරමුදල් සපයන ලද නමුත්, දේශගුණ අලාභ සහ හානි සඳහා වූ වෙනම අරමුදලක් මෙතෙක් පැවතියේ නැත. එවැනි අරමුදලක් ඇති කිරීමට දියුණු රටවල් එකඟ නොවූ අතර, මේ සමුළුව මුල දී ඒ විරෝධය පැවතියත්, අවසාන දෙදින තුළ යුරෝපා සංගමය හා ඇමරිකාව මේ සඳහා එකඟ විය. ඒ අවදානම් ඇති රටවලට ප්‍රමුඛතාවය ලබා දීමට හා තවමත් දියුණුවන රටවල් ලෙස සැලකෙන ඇතැම් රටවල් ද මේ අරමුදලට ස්වේච්ඡාවෙන් ආධාර ලබා දීමට එකඟවිය යුතුය යන කරුණත් සමඟය. ඉන් අදහස් කරන ලද්දේ ඉහළ විමෝචන ප්‍රමාණයක් නිකුත් කරන විශාල ආර්ථිකයක් ඇති දියුණුවන රටවල්ය. මීට චීනය, සවුදි අරාබිය, කටාර්, කුවේට්, රැසියාව වැනි රටවල් මීට අයත්ය. මේ ගැන සමුළුවේ දී අදහස් දැක්වූ චීන නියෝජිතයෙකු සඳහන් කළේ තමන් ද කාලගුණ ආපදාවලින් පීඩාවට පත්වන රටක් බවයි. ඉන්දියාව තමන් මේ සඳහා දායක නොවන බව ද පවසා ඇත්තේ තමන් ද අලාභ සහ හානි සඳහා ආධාර ලැබිය යුතු රටක් බව පවසමිනි. කෙසේ වෙතත් පසුව අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වූ ගෝර්ඩන් බ්‍රවුන් පවසා තිබූනේ යුරෝපය හා ඇමරිකාව මෙම අරමුදලට වැඩි වශයෙන් දායක වන නමුත් චීනය ද මෙම අරමුදලට දායක විය යුතු බවයි.

මේ අරමුදල පිහිටුවන ආකාරය ගැන හෝ එයට අරමුදල් සැපයෙන ආකාරය හෝ අරමුදල් ලබා දෙන නිර්ණායක ආදිය ගැන නිශ්චිත පිළිවෙලක්, එකඟතාවයක් තවමත් සැකසී නැත. එසේම ඒ ඒ රටවල සිදුවන අලාභ සහ හානි සඳහා මේ සැපයෙන මුදල් ප්‍රමාණවත් වනු ඇති ද යන්න ද අපැහැදිලිය. එහෙත් මෙය වැදගත් කරුණක් වන්නේ දේශගුණ සාධාරණත්වය හා සම්බන්ධව මෙය ඉතා වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක් වන බැවිනි. එය මුදල් හෝ වන්දිවලටත් වඩා සහයෝගීතාවය පිළිබඳ පිළිගැනීමකි. බොහෝ දියුණුවන රටවල් ඇතුළු පාර්ශ්ව රැසක් මෙය පැරිස් ගිවිසුමට පසුව දේශගුණ සටනේ ඇති වූ වැදගත්ම ඉදිරි පියවර ලෙස සලකන ලද්දේ එබැවිනි.


උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම


ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම, පූර්ව කාර්මික අවධියේ දී ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවීමට නොදී පවත්වා ගැනීම පැරිස් දේශගුණ ගිවිසුමේ එක් ඉලක්කයකි. එහෙත් මේ වන විට පෙන්වා දී ඇති පරිදි මේ අගය ඉක්මවීම මීලඟ වර්ෂ පහ තුළ සිදුවීඹට සියයට 50ක අවස්ථාවක් පවතී. එසේම ඒ අගය ස්ථිර ලෙස ඉක්මවීම 2031 වන විට සිදු වීමට ද අවස්ථාවක් පවතී.

මේ අංශක 1.5 සීමාවේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ ඉලක්කය සඳහා කැපවන බව මේ සමුළුවේ දී යළිත් තහවුරු කරන ලද නමුත් ඒ සඳහා ගන්නා අතිරේක පියවරක් පිළිබඳව සඳහන් නොවේ. මේ සඳහා අවශ්‍ය එක් පියවරක් ලෙස සඳහන් වූ ලෝකයේ හරිතාගාර වායු විමෝචන උපරිම අගයට ළඟා වීම 2025 වර්ෂයේ දී හෝ ඊට පෙර සිදු කිරීමට ගෙන ආ යෝජනාවට එකඟතාවයක් පළ නොවීය. ලොක්යේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ට සීමා කිරීමේ දී විමෝචන ප්‍රමාණය උපරිමයට පැමිණ අඩු කිරීම කඩිනමින් සිදු කිරීම විද්‍යාත්මක දත්ත අනුව ඉතා වැදගත්ය. මේ පිළිබඳව දියුණු රටවල් මෙන්ම දියුණුවන රටවල් අතරින් දූපත් රාජ්‍යවල වැඩි උනන්දුවක් පැවති නමුත් සමුළුවේ දී ඒ පිළිබඳ වැදගත් වන තීරණයක් නොගැනීම කණගාටුවට කරුණකි.

මේ සඳහා හේතු වූ එක් කරුණක් වන්නේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීමට අවශ්‍ය පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සම්බන්ධව ඇති වූ තත්ත්වයයි.


පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම


පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම පිළිබඳව මේ සමුළුවේ දී වැදගත් ඉදිරි පියවරක් ගැනීමට නොහැකි විය. සමස්තයක් ලෙස සියලු පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම පිළිබඳ තිබූ අදහස ඉදිරියට ගෙන යෑමට අපහසු වූ අතර, ගල්අඟුරු භාවිතය අඩු කිරීම

පමණක් සඳහන් වේ. එය බොහෝ දුරට 2021 වර්ෂයේ ග්ලාස්ගෝ සමුළුවේ දී ඇති වූ පොරොන්දුව හා සමානය. මේ සම්පත් ඇති ඇතැම් දියුණුවන රටවල් ද මේ සීමා කිරීම් සඳහා එකඟ නොවූ බව පෙනේ.

එසේම මේ සමුළුවේ දී එකඟ වූ ක්‍රියාකාරී සැලැස්මේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා “අඩු විමෝචන හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය” (low emission and renewable energy) ද ඇතුළුව පියවර ගන්නා බව සඳහන්ය. ගල්අඟුරු වැනි පොසිල ඉන්ධනවලට වඩා විමෝචන අඩු ගෑස් භාවිතය සඳහා මේ මගින් අවස්ථාවක් ලැබේ. ගෑස් යනු ද හරිතාගාර වායු විමෝචනය කරන ඉන්ධනයක් බැවින් මෙය යම් හිදැසක් ලෙස නිරීක්ෂකයන් විසින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සමුළුවේ දී ඇති කරගත් වෙනත් වර්ධනය තුළ ඉදිරි සමුළුවල දී පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම පිළිබඳ වඩාත් සාර්ථක පියවරක් ගත හැකි වනු ඇතැයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දී ඇත.

ශාම් එල්-ෂෙයික් ක්‍රියාකාරී සැලැස්ම (Sharm el-Sheikh Implementation Plan) - https://unfccc.int/documents/624444