Wednesday, January 24, 2024

2023 ඉහළම උෂ්ණත්වය ඇති වූ වර්ෂයයි!

ජගත් පරිසර පුවත් 507

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-24, පි. 2
ලෝකයේ උෂ්ණත්වය වාර්තා කිරීම ආරම්භ කළ පසුව මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය 2023 වර්ෂයේ දී වාර්තා වී ඇති බව මේ වන විට තහවුරු කරගෙන තිබේ. එසේම මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය පැවති වර්ෂය හා 2023 වර්ෂයේ පැවති උෂ්ණත්වය අතර පුළුල් පරතරයක් පැවතීම ද විශේෂයකි.  

ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර දත්ත කට්ටල හයක් යොදාගනිමින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මගින් මේ පිළිබඳ තහවුරු කර ඇත. ඒ අනුව 1850-1900 අතර කාලයේ පැවති පූර්ව කාර්මික අවධියේ පැවති ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 2023 වර්ෂයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 1.45කින් ඉහළය.

ඇමරිකාවේ නාසා ආයතනයේ පදනම් දත්ත වන 1951-1980 අතර කාලයේ පැවති ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 2023 උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ බව පෙන්වා දී ඇත. මේ අගය පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා අංශක 1.4ක් ඉහළය.

ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) දත්ත අනුව, 2023 වර්ෂයේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය 20 වැනි සියවසේ සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.18කින් ඉහළය. එසේම, ඒ අගය මීට පෙර පැවති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වූ 2016 වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.15ක් ඉහළය. මේ වෙනස ද වාර්තාගත වර්ධනයකි.

2023 වර්ෂයේ, විශේෂයෙන් එහි දෙවන භාගයේ ඇති වූ, වාර්තා ගත ඉහළ උෂ්ණත්වය සඳහා එල්නිනෝ තත්තවය දායක වී තිබේ. ඒ තත්ත්වය ඇති වූයේ එල්නිනෝ තත්ත්වයේ උපරිමයට ළඟාවීමට පෙර වන අතර එල්නිනෝ තත්ත්වයේ උපරිමය පෙබරවාරි-අප්‍රේල් අතර කාලයේ දී අපේක්ෂා කරනු ලැබේ. මේ නිසා 2024 වර්ෂයේ ද අධික උෂ්ණත්වයක් ඇති විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහස වේ.

දේශගුණ වෙනස්වීමට අනුහුරු වීම්

ජගත් පරිසර පුවත් 507

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-24, පි. 2

දේශගුණ වෙනස් වීම නිසා ඇති වන නව තත්ත්ව සඳහා මුහුණ දීමේ දී ඒ තත්ත්වයට අනුහුරුවීම ලෝකයේ සත්ත්ව හා ශාක විශේෂවල පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වරින්වර මෙවැනි අනුහුරුවීම් වාර්තා වේ. මෑතක දී එවැනි අපූරු අනුහුරුවීම් දෙකක් වාර්තා වී තිබේ.

මෙවැනි එක් අනුහුරුවීමක් සමනල විශේෂයක දැකිය හැක්කකි. මෙඩෝ බ්‍රවුන් (Meadow brown) සමනලයා ලෙස පොදුවේ හඳුන්වනු ලබන Maniola jurtina මේ සමනල විශේෂයේ වඩා උණුසුම් ප්‍රදේශවල වාසය කරන ගැහැණු සතුන්ගේ පියාපත්වල දැකිය හැකි තිත් ප්‍රමාණය අඩු වී තිබීම මේ අනුහුරු වීමයි. සෙල්සියස් අංශක 11ක උෂ්ණත්වයක් ඇති පරිසරයක වාසය කරන සමනලයින්ගේ තිත් ගණනේ සාමාන්‍යය 6ක් වූ අතර, උෂ්ණත්වය අංශක 15ක් පමණ වූ ප්‍රදේශයේ තිත් ගණනේ සාමාන්‍යය 3ක් පමණ වී තිබේ. එම අඩු වීම මේ සමනලයාගේ පැවැත්මට වැදගත් වන්නේ වියළි තෘණ සහිත ප්‍රදේශවල වෙනත් විලෝපික සතුන්ට දර්ශනය වීම අඩු වන නිසාය.

මේ අතර උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ ගව කොකා ලෙස හඳුන්වන ලබන කොක් විශේෂය සිය පැවැත්මට යෝග්‍ය ප්‍රදේශවලට ව්‍යාප්ත වන බව ද වාර්තා විය. සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල හා මධ්‍යධරණී කලාපයේ දැකිය හැකි මේ පක්ෂීන් මෑතක සිට බ්‍රිතාන්‍යයේ දකුණු දිග ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මුලින්ම මේ පක්ෂීන් එරට තුඝළ අභිජනනය කළ බව වාර්තා වී ඇත්තේ 2008 වර්ෂයේ වන අතර, මේ වන විට තරමක ගහණයක් දැකිය හැකි බව පැවසේ. එසේම, ගත වූ කාලය තුඝ අධික ශීත තත්ත්ව ඇති වූ ශීත ඍතුවල දී මේ පක්ෂීන් යුරෝපයේ වඩා උණුසුම් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත.

Wednesday, January 10, 2024

2023 උණුසුම්ම වසර ද?

ජගත් පරිසර පුවත් 506

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-10, පි. 2

ගත වූ 2023 වර්ෂය ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් වර්ෂ අතරින් එකක් වනු ඇති බව පසුගිය වර්ෂය මැද සිටම පෙන්වා දී තිබිණි. එය ලෝකයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඇති වර්ෂය වනු ඇති බව ද ප්‍රකාශ විය. එය තවමත් නිශ්චිතව තහවුරු කර නැතත්, රටවල් කිහිපයක උෂ්ණත්වය පිළිබඳ වාර්තා පළ වී තිබේ.

බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාලය මගින් ප්‍රකාශිත තාවකාලික දත්ත අනුව 2023 වර්ෂය එරට වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති වර්ෂය අතර දෙවැනි තැනට වැටේ. ඒ අගය දෙවැනි වන්නේ 2022 වර්ෂයට වන අතර ඒ සෙල්සියස් අංශක 0.06කිනි. එසේම ඉන්දියානු බලධාරීන්ට අනුව එරට මෙතෙක් වාර්තා වී ඇති දෙවැනි වැඩිම සාමාන්‍ය උෂ්ණත්වය 2023 වර්ෂයේ වාර්තා වී ඇත. එය මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වන 2016 දී වාර්තා වී ඇති උෂ්ණත්වයට වඩා අංශක 0.06ක් අඩුය.

මේ අතර චීනයේ වාර්තා වී ඇති ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය වර්ෂයේ දී වාර්තා වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එය 2021 පැවති අගයට වඩා අංශක 0.2ක් පමණ අධිකය. එසේම, දකුණු කොරියාවේ ද මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය 2023 පැවති සාමාන්‍ය උෂ්ණත්වයයි. එය මීට පෙර පැවති ඉහළම උෂ්ණත්වය වන 2015 වර්ෂයේ පැවති උෂ්ණත්වයට වඩා අංශක 0.3ක් අධිකය.

මේ අතර 2023 වර්ෂයේ දි ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය මෙන්ම කාලගුණ තත්ත්වය පිළිබඳව ඇමරිකාවේ NASA හා NOAA යන ආයතන දෙක එක්ව පවත්වන මාධ්‍ය වෙබ් සම්මන්ත්‍රණයක් ජනවාරි 12 දා පැවැත්වීමට නියමිත වේ.

වනාන්තර වනසන පරිභෝජන රටාවෙන් අංක එක බ්‍රිතාන්‍යයට!

ජගත් පරිසර පුවත් 506

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-01-10, පි. 2

එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් ඇතුළත් කමිටුවක් මගින් සකස් කර ඇති වාර්තාවක් අනුව, එරට පරිභෝජන රටාව මගින් ලෝකය මත ඇති කරන බලපෑම තිරසර නොවන බව පෙන්වා දී තිබේ. එරට පාර්ලිමේන්තුවේ පරිසර විගණන කමිටුව මගින් සකස් කර ඇති මේ වාර්තාව අනුව මේ භාණ්ඩ පරිභෝජනය ලෝකයේ වනාන්තර මත ඇති කරන බලපෑම බරලතළ වේ.

මෙහි දී යොදාගෙන ඇත්තේ රටක් තුළ පරිභෝජනය කරනු ලබන නිෂ්පාදන ටොන් එකක් වෙනුවෙන් විනාශ වන වනාන්තර ප්‍රමාණය හෙවත් ‘වන විනාශයේ පියසටහන’ යනුවෙන් හැඳින්වෙන නිර්ණායකයයි. මේ ආකාරයෙන් ගත් විට, බ්‍රිතාන්‍යයේ වන විනාශයේ පියසටහන භාණ්ඩ ටොන් දහසකට හෙක්ටයාර 0.3ක් පමණ වේ. මෙය චීනය වනි ලෝකයේ වෙනත් රටවලට වඩා ඉහළය. මේ නිසා එය තිරසර නොවන්නක් ලෙස මේ වාර්තාව මගින් හඳුන්වා දී තිබේ.

විවිධ රටවල වනවිනාශයේ පියසටහන සකස් කිරීම සඳහා ඉහළ වනාන්තර විනාශයක් ඇති කරන භාණ්ඩවල වෙළෙඳ රටාව පිළිබඳ විශ්ලේෂණය කිරීමට විද්‍යාඥයින් විසින් කටයුතු කර තිබේ. මෙවැනි නිෂ්පාදන අතර, සෝයා, කොකෝවා, පාම් තෙල්, ගවමස් හා සම් වැනි නිෂ්පාදන ප්‍රධාන තැනක් ගනී.

නීතිවිරෝධී වනාන්තර විනාශය තුළින් නිපදවනු ලබන නිෂ්පාදන තහනම් කිරීම සඳහා පියවර ගැනීමට බ්‍රිතාන්‍යය සලකා බලමින් ඇතත්, ඒ මගින් සිදුවන බලපෑම් අඩු බව සඳහන වේ. ඊට හේතුව වන්නේ ඒ වනාන්තර විනාශය සිදුවන රටවල වනාන්තර එළිපෙහෙළි කරනු ලබන්නේ නීත්‍යානුකූලව වන නිසාය. අනෙක් අතට, ඒවැනි තහනමක් සිදුකරනු ලැබුවහොත්, අදාළ වනාන්තර ආරක්ෂා කිරීමට නීති ඉවත් කිරීමට පවා ඒ රටවල් කටයුතු කිරීමේ අවදානමක් පවතී.


Sunday, January 7, 2024

ජර්මනියේ කාබන් විමෝචන අඩු වෙලා

ජගත් පරිසර පුවත්

ධනේෂ් විසුම්පෙරුම 

Blog පුවතක් පමණි
2024-01-07


ජර්මනියේ කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණය 2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේ දී අඩු වී තිබේ.

2023 වර්ෂයේ දී නිකුත් වී ඇති විමා්චන ප්‍රමාණය 2022 වර්ෂයට වඩා ටොන් මිලියන 73ක් අඩුය.

මේ සඳහා මූලික හේතුව ලෙස සඳහන් වන්නේ ගල්අඟෞරු භාවිතයෙන් විදුලිය නිපදවීම අඩුවීමයි.

පුනර්ජනනය කරන ප්‍රභවවලින් ජනනය කරන ලද විදුලිබලට පළමු වාතාවට 50% සීමාව ඉක්මවා ඇත. ගල් අඟුරුවලින් ජනනය කළ විදුලිබල 34% සිට 26% දක්යා අඩු වී ති‌ෙඉ්ත

ජර්මනියේ ඉලක්කය වන්නේ 2030 වර්ෂය වන විට, එරට විදුලිබලයෙන් 80%ක් පුනර්ජනනය කළ හැකි විදුලියෙන් නිපදවීමයි. ඒ සුළං හා සූර්ය බලයෙනි.

රුසියාව යුක්‍රකේය ආක්‍රමණය කිරීමෙන් පසුව ගෑස් වෙනුවට ගල් අ ඟුරු වෙක ජර්මනිය යොමු වව්ත, මේ තරම් ඉක්මනින් පුනර්ජනනය කළ හැකි විදුලි බලය වෙත යොමු වී ඇත.