Monday, April 30, 2018

ඇමරිකානුවන්ගේ ආහාර නාස්තිය

ජගත් පරිසර පුවත් 260 - 25.04.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 25.04.2018, පි. 3 (Vidusara)



ඇමරිකානුවන් විසින් සිදුකරන ආහාර නාස්තිය පිළිබඳව පළවී ඇති අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි එරට ජීවත් වන එක් පුද්ගලයෙකු, එක් දිනකට ග‍්‍රෑම් 422ක් පමණ ආහාර ප‍්‍රමාණයක් අපතේ යවයි. එසේම වඩාත් වැඩි වශයෙන් අපතේ යවනු ලබන ආහාර වන්නේ පලතුරු හා එළවළුය. ඉන්පසුව වඩාත් වැඩි වශයෙන් නාස්ති කරන්නේ කිරි නිෂ්පාදන හා මස් නිෂ්පාදනය.

උක්ත අධ්‍යයනයෙන් හෙළි වි ඇති ආකාරයට සමස්තයක් ලෙස ගතහොත් ඇමරිකාව පුරා නිවෙස්වලින් එක් දිනකදී බැහැර කරනු ලබන ආහාර ප‍්‍රමාණය ටොන් 150,000ක් පමණ වෙයි. මේ ප‍්‍රමාණයේ පාරිසරික පියසටහන හෙවත් වැයවන සම්පත් ප‍්‍රමාණයද මෙහිදී ගණන් බලා ඇත. එ් අනුව මේ ආහාර ප‍්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා වාර්ෂිකව භූමිය අක්කර මිලියන 30ක්, පළිබෝධනාශක රාත්තල් මිලියන 780ක්, නයිට‍්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් පොහොර රාත්තල් බිලියන 5.6ක් හා වාරිජලය ගැලූම් ටි‍්‍රලියන 4.2ක් පමණ ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. එසේම මෙසේ බැහැර කරනු ලබන ආහාර බැහැර කෙරෙන්නේ බිම් පිරවුම්වලට වන අතර එ්වායේදී නිපදවෙන මීතේන් වායුව ප‍්‍රබල හරිතාගාර වායුවකි.

ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් විසින් 2007-2014 දක්වා වූ වසර 8ක කාලයට අයත් දත්ත යොදාගනිමින් සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී අනාවරණය වු තවත් වැදගත් කරුණක් වන්නේ වැඩිම නාස්තියක් සිදුකරන්නේ එළවළු හා පලතුරු ඇතුළත් වඩාත් සෞඛ්‍යමත් ආහාර අනුභව කරනු ලබන පිරිස් විසින් වීමය. එයට එක් හේතුවක් වන්නේ ඔවුන් එම ආහාර ද්‍රව්‍ය ඉහළ ප‍්‍රමාණයක් පරිභෝජනය කිරීමය.

මෙමගින් ආහාර නාස්තිය අවම කිරීමේ ඇති වැදගත්කම මෙන්ම ආහාර පරිභෝජනය කිරීමේදී එළවළු හා පලතුරු වැනි ආහාර නාස්තිය වැළැක්වීම පිළිබඳව පාරිභෝගිකයන්ගේ ආකල්ප වෙනස් කරවීමේ ඇති වැදගත්කමද පෙන්වා දෙයි. දියුණු රටවල දැකිය හැකි මෙම නාස්තිකාරී පරිභෝජන රටාව පැහැදිලි සම්පත් නාස්තියකි. (මූලාශ‍්‍රය: Plos One, DOI: 10.1371/journal.pone.0195405)

පක්ෂි විශේෂ අටෙන් එකක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා

ජගත් පරිසර පුවත් 260 - 25.04.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 25.04.2018, පි. 3 (Vidusara)



ලෝකයේ ජීවත්වන පක්ෂි විශේෂ අටෙන් එකක් පමණ ප‍්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව පසුගියදා නිකුත් වූ The State of the World’s Birds නම් වාර්තාව මගින් අනාවරණය කර ඇත. මේ සඳහා මූලිකව බලපා ඇති කරුණ වන්නේ කෘෂිකර්මයේ ව්‍යාප්තිය හා කෘෂිකර්මය තීව‍්‍ර භාවයට පත්වීමයි.

වසර පහකට වරක් සකස් කරනු ලබන මෙම වාර්තාවට අනුව තර්ජනයට ලක්ව ඇති පක්ෂි විශේෂ 1,469ක් අතරින් විශේෂ 1,091ක් හෙවත් 74%කට පමණ ප‍්‍රමාණයක් එම තත්ත්වයට පත් වීම සඳහා බලපා ඇති මූලික හේතුව මිනිසුන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙයි. දැවහෙළීම (විශේෂ 734කට), ආක‍්‍රමණික ජීවීන් (විශේෂ 578කට) හා දඩයම් කිරීම හා උගුල් ඇටවීම (විශේෂ 517කට) පක්ෂීන්ට බලපා ඇති අනෙක් ප‍්‍රධාන තර්ජන අතර වෙයි. දේශගුණ වෙනස්වීම හා ආන්තික කාලගුණ තත්ත්වද පක්ෂි විශේෂ 485කට තර්ජනයක් වී ඇත.
මේ වාර්තාව සම්බන්ධව අදහස් දක්වා ඇති එයට සඳහා දායක වූ BirdLife International ආයතනයේ ප‍්‍රකාශකයෙකුට අනුව සාමාන්‍යයෙන් තර්ජනයට ලක් වූ පක්ෂීන් අතර මීට පෙර වූයේ උස් කඳුකර ප‍්‍රදේශ හා හුදකලා දූපත් වැනි සීමිත ප‍්‍රදේශවල වාසය කරන පක්ෂීන්ය. එහෙත් මෙවර වාර්තාවේ පුළුල් ව්‍යාප්තියක් දක්වන හා සාමාන්‍යයෙන් හොඳින් දන්නා පක්ෂීන්ද තර්ජනයට ලක් වූ පක්ෂීන් අතර වෙයි.
මෙම වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ දැකිය හැකි පක්ෂි විශේෂ අතරින් 40%ක් පමණ ප‍්‍රමාණයකගේ ගහන අඩුවෙමින් තිබෙයි. උක්ත වාර්තාව මෙසේ පක්ෂීන්ගේ තර්ජනයට බලපා ඇති හේතු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එමෙන්ම පක්ෂි සංරක්ෂණය සඳහා ගත හැකි පියවර සම්බන්ධවද සඳහන් කර ඇති අතර, ඒවා සාර්ථක වූ අවස්ථා සම්බන්ධයෙන්ද සඳහන් කර තිබෙයි. (මූලාශ්‍රය: The State of the World’s Birds, www.birdlife.org)

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලින් ලෝහ ලබාගැනීම වඩා ලාබයි

ජගත් පරිසර පුවත් 259 - 18.04.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 18.04.2018, පි. 3 (Vidusara)



භාවිතයෙන් අනතුරුව ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල ඇතුළත් වන භාවිත කළ හැකි කොටස් හා ලෝහ වර්ග ආපසු ලබාගැනීම සඳහා කටයුතු කිරීම කාර්මික ලෙස මෙන්ම ගෘහාශ‍්‍රිතව සිදුකරනු ලබන කර්මාන්තයකි. මෙය නාගරික කැනීම් (Urban mining) ලෙසද හැඳින්වේ. කෙසේ වෙතත් ලෝහ වර්ග ආපසු ලබාගැනීමට ගන්නා උත්සාහය ආර්ථික වශයෙන් කෙතරම් ඵලදායකද යන්න මෙතෙක් පැහැදිලි නොවූ කරුණකි. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකට අනුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් රන්, තඹ හා වෙනත් ලෝහ ලබාගැනීම, භූමියේ පතල් කැනීම් මගින් එම ලෝහ ලබාගැනීමට වඩා ලාබදායකය.

ලෝකයේ වාර්ෂිකව ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය විශාලය. නිදසුනක් ලෙස ගතහොත්, 2018 වර්ෂයේදී ඉවත දමනු ඇතැයි අපේක්ෂිත මේ කාණ්ඩයේ අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 50ක් බව ගණන් බලා ඇත. මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් චීනයේ ප‍්‍රතිචක‍්‍රිකරණ සමාගම් අටකට මෙම ලෝහ ලබාගැනීම සඳහා යන වියදම ගණනය කර ඇත. මේ සඳහා අපද්‍රව්‍ය එකතු කිරීම, ශ‍්‍රමය, බලශක්තිය, අවශ්‍ය ද්‍රව්‍ය හා ප‍්‍රවාහනය මෙන්ම ප‍්‍රතිචක‍්‍රිකරණය කරන ආයතනයේ ප‍්‍රාග්ධන වියදම්ද සලකා බලා ඇත. මේ වියදම් රාජ්‍ය අංශයෙන් ලබාදෙන සහන හා ලබාගත් ලෝහ හා වෙනත් ද්‍රව්‍ය අලෙවිය මගින් හිලව් වෙයි. මේ හිලව් වීමත් සමඟ වුවද ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලින් මෙම ලෝහ ලබාගැනීමට යන වියදම මෙන් 13 ගුණයක් වැඩි වියදමක් පොළොවේ ඇති නිධි කැනීමෙන් එම ලෝහවර්ග ලබාගැනීමට අවශ්‍ය වේ. මෙම අධ්‍යයනයේදී අවධානය යොමු කරන ඇත්තේ රූපවාහිනී ප‍්‍රතිචක‍්‍රිකරණය සඳහා පමණක් වුවත්, එය සෙසු උපකරණවලටද අදාළ කරගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

මෙහි ඇති අනෙක් වැදගත්කම වන්නේ මෙමගින් සම්පත් නැවත චක‍්‍රිකරණයට ලක්කිරිමේ ඇති වටිනාකම මෙමගින් අවධාරණය වීමයි. රේඛීය ආර්ථිකයකට වඩා චක‍්‍රිය ආර්ථිකයක් පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් හා දිගුකාලීන වශයෙන් වැදගත් හා තිරසර වූවක්ද වෙයි. (මූලාශ‍්‍රය: Environmental Science & Technology, DOI: 10.1021/acs.est.7b04909)

කාබන් බද්ද ඵලදායි විය හැකියි

ජගත් පරිසර පුවත් 259 - 18.04.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 18.04.2018, පි. 3 (Vidusara)



හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා යෝජනා කර ඇති කාබන් බද්දක් පැනවීම ඵලදායි හා සාධාරණ ක‍්‍රමයක් විය හැකි බව ආකෘතික අධ්‍යයනයකින් පෙන්වා දී ඇත.

මේ අනුව පොසිල ඉන්ධන භාවිත කිරීම සඳහා මුදලක් අයකිරිම හෝ බද්දක් පැනවීම වැනි පියවරක් ගැනීම මගින් හා එමගින් ලැබෙනා ආදායම ජනතාව වෙත කිසියම් ආකාරයකින් ලබාදීමට පියවර ගැනීම හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා වැදගත් විය හැකි බව එම අධ්‍යයනයේ දක්වා තිබෙයි. එසේ සිදු වුවහොත් මෙමගින් දරිද්‍රතාවයෙන් පීඩා විඳින පිරිස්වලට අහිතකර බලපෑමක් සිදුනොවන බැවින් එය සාධාරණ එකක් විය හැකි බවද පෙන්වාදී ඇත.

ආර්ථික ආකෘති යොදාගනිමින් ඇමරිකාව පාදක කරගනිමින් සිදුකරන ලද මෙම අධ්‍යයනයේදී කාබන් බදු මුදල් හා එමගින් ලැබෙන ප‍්‍රතිලාභ බෙදාගැනීම හා සම්බන්ධව අවධානය යොමු කර ඇත. කාබන් බද්ද ඩොලර් 25 හෝ 50 ලෙසද, ප‍්‍රතිලාභ වර්ග කීපයක් පිළිබඳවද සලකා බැලීම මෙහිදී සිදුකර තිබෙයි. එහිදී හෙළිව ඇති ආකාරයට ඉහළ කාබන් බද්දක් ඇති විට හා එය වාර්ෂිකව වැඩිම වේගයකින් ඉහළ යන විට, වැඩිම විමෝචන අඩු වීමක් ඇති විය හැකිය. මෙය විස්මයට කරුණක් නොවූවද, මෙහිදී හෙළිව ඇති ආකාරයට අඩුම කාබන් බද්දක් යටතේ වුවද සැලකිය යුතු මට්ටමක හරිතාගාර වායු විමෝචන අඩුවීමක් සිදුවීමට අවස්ථාවක් තිබෙයි. නිදසුනක් ලෙස ගතහොත් ටොන් එකකට ඩොලර් 50ක බද්දක් පනවන ලද්දේ නම්, 2050 වර්ෂය වන විට ඇමරිකාව නිකුත්කරන හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය 63%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු විය හැකිය. මෙය ලෝකය අපේක්ෂා කරන හරිතාගාර වායු විමෝචන අඩු කළ යුතු ප‍්‍රමාණයට ඇතුළත් වෙයි.

මෙමගින් ජනනය වන ආදායමෙන් 10%ක් තරම් ප‍්‍රමාණයක් අඩු ආදායම් ලාභී ප‍්‍රජාවට ලබාදීමට හැකිනම් මෙහි ඵලදායීභාවය තවත් ඉහළ යන බවද සඳහන්ය. (මූලාශ‍්‍රය: Climate Change Economics, DOI: 10.1142/S2010007818400158)

Friday, April 13, 2018

දේශගුණ වෙනස් වීම කෘෂිකර්මයට බලපාන හැටි

ජගත් පරිසර පුවත් 258 - 11.04.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.04.2018, පි. 3 (Vidusara)



මේ වන විට පිළිගෙන ඇති ආකාරයට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2ක උපරිමයකට සීමා කළ හැකි නම් එමගින් දේශගුණ වෙනස් වීමේ අහිතකර බලපෑම් වළක්වා ගත හැකිය. එසේම සෙල්සියස් අංශක 1.5 සීමාව තුළ උෂ්ණත්ව ඉහළ යෑම පවත්වා ගැනීම වඩා සුදුසු සේ සැලකේ.

කෙසේ වෙතත්, මේ උෂ්ණත්ව සීමාව තුළ වුවද ඇතැම් අංශවල දැඩි බලපෑමක් ඇති විය හැකිය. ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5 හා 2 යන ප‍්‍රමාණවලින් ඉහළ ගිය හොත් ආහාර සුරක්ෂිතතාවයට විය හැකි බලපෑම පිළිබඳව සිදු කළ අධ්‍යයනයක් පසුගියදා ප‍්‍රකාශයට පත්විය. එහිදී නියඟය හා ආන්තික වර්ෂාපතනය මගින් ආහාර නිෂ්පාදනයට විය හැකි බලපෑම පිළිබඳව සලකා බලා ඇත.
ඉහළ උෂ්ණත්වයකදී උණුසුම් වාතයට වැඩි ජලවාෂ්ප ප‍්‍රමාණයක් රඳවා ගත හැකි බැවින් වර්ෂාපතනය වඩාත් තීව‍්‍ර වේ. මේ බව ලෝකයේ බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වී තිබෙයි. අනෙක් අතට, වාෂ්පීකරණය අධික වන බැවින් ප‍්‍රදේශ වියළී යාමද සිදු වෙයි. මේ නිසා නියඟය නිතර හා දැඩි ලෙස හටගත හැකිය. කෙසේ වෙතත් ලෝකයේ විවිධ ප‍්‍රදේශවලට මේ තත්ත්වය වෙනස් ලෙස බලපායි. ඇතැම් ප‍්‍රදේශවලට අධික වර්ෂාපතනයෙන්ද, තවත් ප‍්‍රදේශවලට නියඟයෙන්ද බලපෑම් සිදු වෙයි. 

උක්ත අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත්තේ ආසියාව අධික වර්ෂාවේ බලපෑමට ලක් වන බවයි. එ් විශේෂයෙන් දකුණු හා අග්නිදිග ආසියාවේය. නිදසුනක් ලෙස ගංගා නදියේ ජල ප‍්‍රවාහය 100%කින් ඉහළ යා හැකිය. එහෙත් අප‍්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේදී බලපෑම් ඇති වන්නේ දැඩි නිය`ගයෙනි. ඇමසන් ගංගාවේ ජල ප‍්‍රවාහය 25%කින් පමණ අඩු විය හැකිය. සෙල්සියස් අංශක දෙකකින් උෂ්ණතත්වය ඉහළ යෑම නිසා අංශක 1.5කින් ඉහළ යෑමට වඩා බරපතළ බලපෑම් දියුණුවන රටවල් අතරින් 76%ක ඇති වෙයි. එ් අනුව කුසගින්න හා දේශගුණ අවදානම් සුචිය නමින් නව සුචියක් සකස් කර ඇත. අධික වර්ෂාපතනය මෙන්ම නියඟය සුලභ වීමද ආහාර භෝග සඳහා යෝග්‍ය නොවේ. (මූලාශ‍්‍රය: Philosophical Transactions of the Royal Society A, DOI: 10.1098/rsta.2016.0452)

මුදල් අය කිරීමත් සමඟ ප්ලාස්ටික් බෑග් ඉවත දැමීම අඩු වෙයි

ජගත් පරිසර පුවත් 258 - 11.04.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.04.2018, පි. 3 (Vidusara)



යුරෝපයේ විශාල සාගර ප‍්‍රදේශයකට ප්ලාස්ටික් බෑග් එක්වීම අඩු වීම සඳහා යුරෝපා රටවල් ගණනාවක මේ වන විට ක‍්‍රියාත්මක ප්ලාස්ටික් බෑග් සඳහා මුදල් අයකිරීමේ ක‍්‍රියාවලිය දායක වී ඇති බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබෙයි.

මුහුදු පත්ලේ දැකිය හැකි අපද්‍රව්‍ය ප‍්‍රමාණය පිළිබඳව 1992 වර්ෂයේ සිය 2017 වර්ෂය දක්වා වසර විසිපහක කාලයක් පුරා එකතු කළ දත්තමගින් සිදුකර ඇති මේ අධ්‍යයනයෙදී උක්ත කරුණ හෙළි වී ඇත. එ් අනුව නෝර්වේ, ජර්මනිය, උතුරු ප‍්‍රංශය හා අයර්ලන්තයට බටහිරින් පිහිටා ඇති විශාල මුහුදු ප‍්‍රදේශයේ සාගර පත්ලේ හමුවන ප්ලාස්ටික් බෑග් ප‍්‍රමාණයේ 30%ක පමණ අඩුවීමක් දැකිය හැකිය. මෙවැනි අඩුවීමක් දැකිය හැක්කේ 2010 වර්ෂයේ පමණ සිටය. එම කාලය යුරෝපයේ රටවල් මෙම බඳු පැනවීමේ ක‍්‍රියාවලිය කරා යොමු වීමේ මධ්‍යම අවධිය සේ සැලකේ. යුරෝපා රටවල ප්ලාස්ටික් බෑග් සඳහා මුදල් අයකිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ 2003දී අයර්ලන්තය හා ඩෙන්මාර්කය ගත් පියවර සමඟය. මේ වන විට එ් හා සමාන පියවර රටවල් රැුසක ක‍්‍රියාත්මක වෙයි.

සාගර පත්ලේ හමුවන ප්ලාස්ටික් ප‍්‍රමාණය පිළිබඳව සිදුකර ඇති මේ අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති පරිදි ප්ලාස්ටික් බෑග් ප‍්‍රමාණය මෑත කාලයේදී අඩු වී ඇතත්, මසුන් ඇල්ලීමට යොදාගන්නා උපකරණ වැනි සෙසු ප්ලාස්ටික් වර්ග හමුවීම ඉහළ ගොස් ඇත. මෙසේ ප්ලාස්ටික් බෑග්වල ප‍්‍රමාණය පමණක් අඩු වීම වැදගත් සිදුවීමකි.
මේ අනුව ජනතාව ප්ලාස්ටික් බෑග් භාවිත කරන ප‍්‍රමාණය අඩු වන විට, පරිසරයට බැහැර කරනු ලබන බෑග් ප‍්‍රමාණයද අඩු වන බව පැහැදිලිය. එංගලන්තය 2015දී හඳුන්වාදුන් බද්දෙන් පසුව එරට එ්ක පුද්ගල ප්ලාස්ටික් බෑග් භාවිතය 140 සිට 25 දක්වා අඩු වී ඇත. මෙමගින් ප්ලාස්ටික් බෑග් සඳහා බදු පැනවීමේ ඇති සාර්ථකත්වය පැහැදිලි වන බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. (මූලාශ‍්‍රය: Science of The Total Environment, DOI: 10.1016/j.scitotenv.2018.02.245)

නාවුක ගමනාගමනයේ කාබන් විමෝචන සීමා කළ යුතුයි?

ජගත් පරිසර පුවත් 257 - 04.04.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.04.2018, පි. 3 (Vidusara)



නාවුක ගමනාගමනය නිසා නිකුත්වන හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු යැයි ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධව මේ සතියේ පැවැත්වෙන අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ සමුළුවකදී සාකච්ඡුා වනු ඇතැයි අපේක්ෂිතය.
 
මේ වන විට පවත්නා තත්ත්වය අනුව නාවුක ගමනාගමනයෙන් නිකුත්වන විමෝචන පාලනය කිරීම සඳහා කිසිදු එකඟතාවයක් නැත. මෙය අන්තර්ජාතික අංශයක් වන බැවින් සාමාන්‍ය එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡුාවලදී සාමාන්‍යයෙන් කතාබහට ලක් නොවේ. මේ ආකාරයෙන් දිගටම කටයුතු සිදුවුවහොත් 2050 වර්ෂය වන විට ලෝකයේ සමස්ත කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන අතරින් 20%ක් පමණ නාවුක අංශයෙන් විය හැකි බව පෙන්වාදී ඇත.
 
කෙසේ වෙතත් ඇතැම් රටවල් නාවුක අංශයේ විමෝචන කපා හැරීම පිළිබඳව විරෝධයක් දක්වනු දැකිය හැකිය. එයට මූලික හේතුව මේ නිසා ජගත් වෙළෙඳාම සඳහා කිසියම් බලපෑමක් ඇති විය හැකි වීමයි. මේ විරෝධයට සම්බන්ධ වි ඇති රටවල් වැඩි ප‍්‍රමාණයක් දියුණු වන රටවල්ය. එම රටවල ආර්ථිකයට අන්තර්ජාතික වෙළෙඳාම වැදගත්වන බැවින් නාවුක ගමනාගමනය වැදගත් වෙයි. මෙම තත්ත්වය නිසා එම රටවල් හා එවැනි සීමා කිරීමකට පක්ෂ රටවල් අතර කිසියම් ගැටුමක් නිර්මාණය වී තිබෙයි. මෙවැනි කපාහැරීමකට පක්ෂ රටවල මතය වන්නේ වඩා පිරිසිදු තාක්ෂණයක් වෙත යොමුවීමෙන් නාවුක අංශයේ වර්ධනයක් සැලසෙන බවයි.
 
පිරිසිදු තාක්ෂණය හා උපක‍්‍රම යොදාගැනීම මගින් නාවුක අංශයේ විමෝචන අඩු කරගත හැකි බව පෙන්වාදී තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, 2025 වන විට නිපදවනු ලබන නෞකාවල බලශක්ති කාර්යක්ෂමතාවය නූතනයේ භාවිත වන නැව්වලට වඩා 30%කින් පමණ ඉහළ වනු ඇත. එහෙත් දැනට පවත්නා නැව් ගමන් කරන වේගය මදක් අඩු කිරීම මගින් එම නැව්වලින් නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් විමෝචන ප‍්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක් සිදු කළ හැකි බවද සඳහන් වෙයි.

දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන සංක‍්‍රමණ

ජගත් පරිසර පුවත් 257 - 04.04.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.04.2018, පි. 3 (Vidusara)



2050 වර්ෂය වන විට තමන් ජීවත්වන රට තුළ ඇති වන දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ තත්ත්ව නිසා මිලියන 140ක් පමණ පිරිසක් තම රටවල් ඇතුළතම අවතැන් වීමට ඉඩ ඇති බව ලෝක බැංකු වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ඒ උප-සහරානු අප‍්‍රිකාව, දකුණු ආසියාව හා ලතින් ඇමරිකාව යන අධික ජනගහනයක සහිත කලාපවලය.

මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ දේශගුණ වෙනස් වීම නිසා සෙමින් සිදුවන බලපෑම් නිසාය. මුහුදු මට්ටම ඉහළ යෑම නිසා භූමිය අහිිමි වීම, වෙනස් වන වර්ෂාපතනය හා ඉහළ උෂ්ණත්වය නිසා ජලහිඟතාවයක් ඇති වීම හා භෝග ඵලදායකත්වය අඩු වීම වැනි කරුණු මේ අතර වේ. මේ අනුව අදාළ රටවල් තුළ සිදුවන අභ්‍යන්තර සංක‍්‍රමණ පිළිබඳව මෙම වාර්තාවෙන් සලකා බලා ඇත. එයට හේතුව මෙවැනි හේතු නිසා අවතැන් වන පිරිස් අතරින් බහුතරය සිය රට තුළම රැඳී සිටින්නට පෙළඹීමයි. මෙහිදී වර්තමානයේ ඇති වායු විමෝචන පිළිබඳ පුරෝකථන යටතේ සිදුවිය හැකි තත්ත්වය පිළිබඳව ආකෘති යොදාගනිමින් අවධානය යොමු කර ඇත. එහිදී පෙනීගොස් ඇත්තේ 2050 වර්ෂය වන විට උපසහරානු අප‍්‍රිකාවේ මිලියන 86ක්ද, දකුණු ආසියාවේ මිලියන 40ක්ද, ලතින් ඇමරිකාවේ මිලියන 17ක්ද පමණ පිරිසක් අවතැන් වනු ඇතැයි පැවසේ.

මේ තත්ත්වය පාලනය කිරීමට නම්, දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා සහ සංවර්ධන සැලසුම් තුළට ජන සංක‍්‍රමණ ඇතුළත් කිරීම වැදගත්වන බව මෙම වාර්තාව මගින් පෙන්වාදී ඇත. එමගින් මෙම අනාථයන්ගේ ගණන 80%ක් පමණ ප‍්‍රමාණකින් අඩු කරගත හැකි බවද එහි දැක්වේ. විශේෂයෙන් මේ තත්ත්වය වඩාත් බලපාන්නේ දියුණුවන රටවලට වීම වැදගත්කරුණකි. (මූලාශ‍්‍රය: Groundswell: Preparing for Internal Climate Migration, www.worldbank.org)