Tuesday, October 17, 2023

ඇමේසන් කලාපයේ නියඟය

ජගත් පරිසර පුවත් 501

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-10-18, පි. 2

බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශවල ඇති වී තිබෙන දැඩි නියඟයක් හේතුවෙන් ඇමේසන් ගංගාව ආශ්‍රිත ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති අතර, ඒ ප්‍රදේශවල වැසියන් ද, වනජීවීන් ද මේ තත්ත්වය නිසා අනතුරට පත්ව ඇතැයි පසුගිය සතියේ වාර්තා විය.

ඇමේසන් ප්‍රදේශයේ උතුරු දිග කලාපයට පතනය වන වර්ෂාපතනයේ ප්‍රමාණය ඒ ප්‍රදේශයේ ඓතිහාසික සාමාන්‍යයට වඩා අඩු වී තිබේ. මේ නිසා ඇමේසන් නදියට වැටෙව අතු ගංගා ගණනාවක ජල මට්ටම වාර්තාගත මට්ටමක් දක්වා අඩු වී ඇත. මේ නිසා ගංගාවල ජීවත්වන මසුන් මෙන්ම ගංගා ආශ්‍රිතව ජීවත්වන ඩොල්පින් මසුන් ද මිය ගොස් ඇති බව වාර්තා වේ. මේ තත්ත්වය සඳහා නියඟය හා තාප ප්‍රවාහය බලපා ඇති අතර, ඊට බලපා ඇති වෙනත් හේතු ඇතිදැයි සෙවීම සඳහා විඩිදුර අධ්‍යයනය සිදුකෙරේ.  

මේ තත්ත්වය ගංඟාව ආශ්‍රිතව ජීවත්වන මිලියන 30ක පමණ ජනතාවකට බලා තිබේ. තමන්ගේ ජීවනෝපාය මෙන්ම ගමනාගමන කටයුතු සඳහා ගංඟා භාවිත කරන වනාන්තර ආශ්‍රිතව පිහිටා ඇති ගංගාවල ජීවත්වන ජනතාව මේ නිසා වඩාත් අපහසුවට පත්ව ඇත. එසේම ඔවුන්ගේ අවශ්‍යතා ගුවන් මගින් සැපයීමට ද සිදු වී තිබේ. මේ වන විට ප්‍රදේශයේ  නගර ගණනාවක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති එරට රජය, මේ සඳහා විශේෂ කාර්ය බලකායක් ද පත් කර තිබේ. කෙසේ වෙතත්, ජනතාවගේ අවශ්‍යතා සැපයීම සිදුවන්නේ සෙමින් බව සඳහන් වේ. මේ නියඟය දේශගුණ විපර්යාස හා මේ වන විට ක්‍රියාත්මක එල් නිනෝ තත්ත්වය නිසා ඇති වී ති‌බෙන බව එරට රජය පවසයි.

දේශගුණ අර්බුදයෙන් ගැලවීමට IMF ආධාර අවශ්‍යයි

ජගත් පරිසර පුවත් 501

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-10-18, පි. 2 

දුප්පත් රටවල දේශගුණ අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 300ක මුදලක්  බැගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදිය යූ බව නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් පවසා තිබේ. ද ගාඩියන් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ හරිත රැකියා හා හරිත වර්ධනයක් සඳහා සහනාධාර සැපයෙන වැඩපිළිවෙලක් මේ රටවලට අවශ්‍ය බවයි. මේ සඳහා යොදාගත හැකි ක්‍රමවේදය සඳහා නිදසුනක් ලෙස ඔහු දක්වා ඇත්තේ අමරිකාවේ ක්‍රියාත්මක වන පනතකි. ඒ මගින් කර්මාන්ත හා වෙනත් අංශවල ශුද්ධ ශුන්‍ය ඉලක්ක අත්පත් කරගැනීම සඳහා වන ආයෝජන දිරිගැන්වීමට සහාය වීමට පියවර ගෙන තිබේ. හරිතවත් වර්ධනයක් යනු අද දවසේ ලෝකයේ අපේක්ෂාවයි. මීට වඩා අඩු පරිමාණයේ නීතියක් මේ වන විට යුරෝපා සංගමයේ රටවල ද සාකච්ඡාවට ගැනෙමින් පවතී. 

දියුණුවන රටවල කාබන් විමෝචන අඩුකිරීමෙන් තොරව ලෝකයේ දේශගුණ අර්බුදය පාලනය කළ නොහැකි බැවින් මෙවැනි සහායක් ඒ රටවලට ලබා දීම අවශ්‍ය බව ස්ටිග්ලිට්ස්ගේ අදහසයි. දියුණුවන රටවල විමෝචන පාලනය කිරීමකින් තොරව ගෝලීය උණුසුම්වීම පාලනය කිරීම අපහසු කරුණකි. ඇමරිකාව හෝ යුරෝපා රටවල් ගන්නා දේශගුණ ක්‍රියාකාරකම්වල ප්‍රයෝජන ලබාගැනීම සඳහා මේ තත්ත්වය වැදගත් බැවින්, එවැනි විශේෂ අරමුදලක් සකස් කිරීම සඳහා පොහොසත් රටවල් සහාය ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මේ හා සමාන පහසුකමක් කොරෝනා වසංගත සමයේ අරමුදල මගින් ලබා දී තිබිණි. 

Wednesday, October 4, 2023

ප්ලාස්ටික් භාණ්ඩ ගණනාවක් එංගලන්තයේත් තහනම්

ජගත් පරිසර පුවත් 500

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-10-04, පි. 2

එක් වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ ගණනාවක් භාවිත කිරීම තහනම් කිරීම මේ මාසයේ පළමුවැනිදා සිට එංගලන්තයේ ක්‍රියාත්මක වේ. ඒ අනුව, ප්ලාස්ටික් හැදි ගෑරුප්පු, පොලිස්ටයිරින් කෝප්ප හා ආහාර බඳුන් සහ බැලූන් රඳවන ආදිය භාවිතය මෙසේ තහනම් විය. 2022 වර්ෂයේ දී මේ ආකාරයටම වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් බීම බට, කලතන හා කොට්න් බඩ් තහනම් කරන ලදි.

මේ වන විට බරපතළ ගැටලුවක් වී තිබෙන ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වේ. පොදුවේ ගත් විට මෙවැනි ප්ලාස්ටික් භාණ්ඩභාවිතය තහනම් කිරීම සඳහා එංගලන්තයේ ජනතාවගේ පුළුල් සහයෝගයක් ඇති බව ජනමත සමීක්ෂණවලින් ද පෙනී ගොස් ඇත.  කෙසේ වෙතත් මේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව අදාළ ආයතන හා සමාගම් අතර ඇති අවබෝධය ප්‍රමාණවත් ද යන්න පිළිබඳව පසුගිය සතියේ එරට ඇතැම් මාධ්‍ය සැක මතුකර තිබිණි.

මේ නව නීතිය මගින් එවැනි ඇතැම් ද්‍රව්‍ය ආවරණය නොවේ. නිදසුනක් ලෙස ආහාර බැහැර ගෙන යන අලෙවිසැල්වලින් නිකුත් කරන ආහාර බදුන්, බන්දේසි හා ආවරණ ඇසුරුම් හා කලින් සකසා ඇති ආහාර ඇසුරුම් බඳුන් සඳහා මේ තහනම ක්‍රියාත්මක නොවේ. ඒවා ඇසුරුම් ලෙස කාණ්ඩගත කිරීම නිසා වෙනස් නීති යටතේ පාලනය වීම මේ සඳහා හේතුවකි. එහෙත් පරිසර අංශ පවසන්නේ මේ තහනම වඩාත් ඵලදායී වීමට නම් එවැනි සියලු අංශ ආවරණය විය යුතු බවකි. මේ පිළිබඳව එරට රජයේ බලධාරීන් පවසා ඇත්තේ 2042 වර්ෂය වන විට වැළැක්විය හැකි සියලු ප්ලාස්ටික් අපද්‍රව්‍ය තහනම් කිරීම සඳහා දීර්ඝ කාලීන ක්‍රියාවලියක් සිදුකරනු ලබන බවයි.

ස්විස්ටර්ලන්තයේ ග්ලැසියර පරිමාවෙන් 10%ක් දියවෙලා

ජගත් පරිසර පුවත් 500

ධනේෂ් විසුම්පෙරුම 

Blog පමණක් පළවුවකි.

2022 හා 2023 යන වර්ෂවල ග්‍රීෂ්ම ඍතු දෙකේ දී ස්විස්ටර්ලන්තගේ ග්ලැසියර්වල අයිස් දියවීම නිසා ඒවායේ පරිමාවෙන් 10%ක් පමණ ප්‍රමාණයක් අහිමි වී ඇත. විශේෂඥයන් පෙන්වා දෙන පරිදි ගත වූ වර්ෂ දෙකේ උණුසුම් ග්‍රීස්ම ඍතුවල දී එරට ග්ලැසියර්වලින් අහිමි වූ අයිස් ප්‍රමාණය 1960-1990 අතර කාලයේ දී එම ග්ලැසියරවලින් අහිමි වූ පරිමාණයට සමාන වේ.

ස්විස්ටර්ලන්ත විද්‍යා ඇකඩමිය පෙන්වා දී ඇති ආකාරයට 2022 වර්ෂයේ ග්‍රීෂ්ම ඍතුවේ දී, ග්ලැසියර්වල පරිමාවෙන් 6%ක් ද, 2023 වර්ෂයේ දී 4%ක් ද අහිමි වී තිබේ. 2022 වර්ෂයේ දී එසේ අහිමි වූ ග්ලැසියර පරිමාව ඒවා අධීක්ෂණය කිරීම ආරම්භ වීමෙන් පසුව වාර්තා වී ඇති විශාලතම ප්‍රමාණය වේ. මිනිසුන් විසින් ඇති කරන කටයුතුවල බලපෑම් හේතුවෙන් සිදු වී තිබෙන ගෝලීය උණුසුම්වීම නිසා ඇති වී තිබෙන අධික උණුසුමක් ඇති ග්‍රීෂ්ම ඍතු හා අඩු හිමපතනයක් ඇති ශීත ඍතු නිසා අයිස් දියැවීම නිසා ග්ලැසියරවල පරිමාවේ අඩුවීම සිදුවෙි.

ස්විස්ටර්ලන්තයේ පිහිටි ග්ලැසියර් 176 පමණ අයිස් ප්‍රමාණය අධීක්ෂණය කිරීම සිදුකරන අතර, පසුගිය කාලයේ දී ඇතැම් ග්ලැසියර්වල අයිස් විශාල ලෙ දියවී යෑම නිසා ඒවා අධීක්ෂණය කිරීම නවතා දමා තිබේ. කුඩා ග්ලැසියර් අතුරුදන්වීම මෙන්ම විශාල ග්ලැසියර ප්‍රමාණයෙන් කුඩා වීම ඒරට භූදර්ශනය හා සම්බන්ධ ගැටලුවක් බව පැහැදිලි වී තිබේ. එසේම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වාගත හැකි වුවහොත්, ස්විස්ටර්ලන්තයේ ගැල්සියරවල අයිස් පරිමාව තුනෙන් එකක් දක්වා අඩු විය හැකි බවට අනාවැකි පළ වී තිබේ.