Wednesday, February 24, 2016

සැකසූ මස් සෞඛ්‍යයට හානිකර විය හැකියි - ජගත් පරිසර පුවත් 004 (13.03.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.03.2013 (Vidusara)


සැකසූ මස් සෞඛ්‍යයට හානිකර විය හැකියි

සොසේජස්, හැම් හා බෝකන් වැනි සකස්කරන ලද මස් නිෂ්පාදන පරිභෝජනය හා මිනිසුන්ගේ මරණ අතර මධ්‍යස්ථ සම්බන්ධයක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වේ. ඒ අනුව සකස් කළ මස් වැඩි වශයෙන් ආහාරයට ගත් පිරිස් අදාළ අධ්‍යයන කාලය ඇතුළත මියයෑමට ඇති අවස්ථාව අඩුවෙන් එවැනි මස් ආහාරයට ගත් පිරිස්වලට වඩා 44%කින් පමණ ඉහළය. ඔවුන් අතර හෘද රෝග, පිළිකා හා වෙනත් රෝගවලින් මිය යෑම දැකිය හැක.

මේ අධ්‍යයනයේදී වසර දහතුනක් පමණ කාලයක්, යුරෝපයේ රටවල් දහයක ජීවත්වන මිලියන භාගයකට ආසන්න පිරිසක් නිරීක්ෂණය කිරීමෙන් සිදුකරන ලද්දකි. එහිදී අනාවරණය වී ඇති ආකාරයට, දුම්බීම වැනි පුරුදු නවතා දැමීම සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් පිළිවෙතක් වන අතර, සකස් කළ මස් පරිභෝජනය අඩුකිරීමද ඛෙහෙවින් වැදගත් වේ. 

යහපත් සෞඛ්‍යයක් සඳහා සකස් කළ මස් දෛනිකව පරිභෝජනය කළ යුත්තේ ග්‍රෑම් 20ක් පමණක් බව මෙහි දක්වා ඇත. මස් සකස් කිරීමේදී එක් කරනු ලබන ලූණු හා වෙනත් රසායනික ද්‍රව්‍ය නිසා මේ සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි බව විශ්වාස කරනු ලැබේ. (මූලාශ්‍රය: BMC Medicine, DOI: 10.1186/1741-7015-11-63)

ෆුකුෂිමා අනතුරේ පිළිකා අවදානම අඩුයි - ජගත් පරිසර පුවත් 003 (06.03.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 06.03.2013 (Vidusara)


ෆුකුෂිමා අනතුරේ පිළිකා අවදානම අඩුයි

2011 වර්ෂයේදී ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේදී ඇති වූ න්‍යෂ්ටික අනතුරෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල වාසය කළ ජනතාවට යම් යම් පිළිකා රෝග ඇතිවීමට පවත්නා අවදානම සුළු වශයෙන් ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසයි.

නිදසුනක් ලෙස ගතහොත්, වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශයේ ගැහැණු දරුවන්ට ඔවුන්ගේ ජීවිත කාලයේදී තයිරොයිඩ් ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකාවක් ඇති වීමට ඇති අවදානම සෙසු පිරිස්වලට වඩා 70%කින් අධිකය. සාමාන්‍යයෙන් ජපානයේ ගැහැණු ළමුන් 100ක් අතරින් 0.75ට ජීවිත කාලය තුළ තයිරොයිඩ් ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා වැළඳීමේ අවදානමක් ඇති අතර ෆුකුෂිමා විකිරණවලට ළක්වූ ගැහැණු දරුවන් අතර එය ළමුන් 100කට 1.25ක් තරම් විය හැකිය.

එසේම ළදරුවන් ලෙස විකිරණවලට ලක්වූ පිරිමින්ට ලියුකේමියා රෝගය වැළඳීමට ඇති අවස්ථාව අන් අයට වඩා 7%කින් අධික වන අතර, විකිරණවලට ලක්වූ කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව 6%කින් ඉහළය. අනතුරේදී ආපදා සහන සැලසීමේ යෙදුණු සේවක පිරිස් අතරින් තුනෙන් එකකට පිළිකා වැළඳීමේ අවදානමක් පවතී. 
 
මේ කරුණු අනුව සමස්ත අවදානම එතරම් බරපතළ නොවන බවක් පෙනේ. (මූලාශ්‍රය: Health risk assessment from the nuclear accident after the 2011 Great East Japan earthquake and tsunami, based on a preliminary dose estimation, www.who.int/ionizing_radiation/pub_meet/fukushima_report/en/index.html)


Saturday, February 20, 2016

ව්‍යාපාරවල ජල භාවිතය අඩු කිරීම සඳහා ප්‍රමිතියක් - ජගත් පරිසර පුවත් 002 (27.02.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 27.02.2013 (Vidusara)

ව්‍යාපාරවල ජල භාවිතය අඩු කිරීම සඳහා ප්‍රමිතියක්


ව්‍යාපාර සඳහා භාවිත කරන ජල ප්‍රමාණය අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇති කිරීමට බි්‍රතාන්‍යයේ කාබන් පදනම (Carbon Trust) පියවර ගෙන තිබේ. එහි අරමුණ මේ වන විට එතරම් අවධානයකට ලක්වී නොමැති කරුණක් වන ජල භාවිතය වඩා තිරසර කිරීමයි.

වර්තමාන ලෝකයේ භාවිත වන ජල ප්‍රමාණයෙන් 70%ක් කෘෂිකර්මය සඳහාද, 22%ක් කර්මාන්ත අංශයේද, 8%ක් නිවාසවලද යොදා ගැනේ. මෙය දිනෙන් දින ඉහළ යමින් තිබේ. බොහෝ සංවර්ධිත රටවල භාවිතවන ජල ප්‍රමාණය එය නැවත යථාතත්ත්වයට පත්වන වේගයට වඩා අධිකය. බොහෝ ව්‍යාපාර හා කර්මාන්තවල ජල භාවිතය අධික බවට පෙන්වාදී ඇතත් තම ජල භාවිතය පාලනය කිරීම සඳහා අවධානය යොමු කර ඇත්තේ ඉන් අතලොස්සක් පමණි.

මේ නව ප්‍රමිතිය ලබාගැනීම සඳහා වර්ෂයෙන් වර්ෂය තම ජල පරිභෝජනය අඩු කරන බවට අදාළ ව්‍යාපාර විසින් පෙන්වා දිය යුතුය. එහිදී ජලය භාවිත කරන ප්‍රමාණය මෙන්ම පිටවන අපජලය ප්‍රමාණයද අඩු කළ යුතුය. උක්ත ප්‍රමිතිය පරිසරයට ඵලදායී වන අතරම අදාළ ව්‍යාපාරවලට තම පාරිසරික සලකුණ ඉහළින් තබාගැනීමට ප්‍රයෝජනවත් බව පෙනේ. (මූලාශ්‍රය: www.carbontrust.com/waterstandard)



උරගයන් අතරින් පහෙන් එකක් අවදානමක - ජගත් පරිසර පුවත් 001 (20.02.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 20.02.2013 

උරගයන් අතරින් පහෙන් එකක් අවදානමක


ලෝකයේ ජීවන්වන උරගයින් අතරින් සියයට 19ක් පමණ ප්‍රමාණයක් වඳව යාමේ තර්ජනයකට ලක්ව ඇති බව පසුගියදා සිදුකර ඇති අධ්‍යයනයකින් හෙළි වී තිබේ. එසේම තවත් පහෙන් පංගුවක් පමණ විශේෂ ප්‍රමාණයක් තතු හීන (Data Deficient) තත්ත්වයේ සිටීමද වැදගත් කරුණකි.

ලෝකයේ ජීවත්වන 9,500ක් පමණ වන උරග විශේෂ අතරින් අහඹු ලෙස තෝරාගත් උරග විශේෂ 1,500ක් පමණ යොදා ගෙන මේ සත්ත්ව කාණ්ඩය පිළිබඳ ප්‍රවීණයන් විශාල පිරිසක් සම්බන්ධ කරගනිමින් මේ අධ්‍යයනය සිදුකර ඇත.

එහිදී හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ විවිධ උරග කණ්ඩායම් මුහුණදී ඇති තර්ජනය විවිධ විය හැකි බවය. නිදසුනක් ලෙස ගතහොත් මිරිදිය ඉදිඹුවන් අතරින් අඩක් පමණ ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. ඊට ප්‍රධාන හේතු වී ඇත්තේ සුරතල් සතුන් ලෙස ඇති කිරීම සඳහා මේ සතුන්ට ඇති අධික ඉල්ලූමයි.

එසේම මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන අනෙක් වැදගත් කරුණ වන්නේ වාසස්ථාන වෙනස්වීම නිසා තර්ජනයට ලක්ව ඇති නිවර්තන කලාපීය ප්‍රදේශවල උරගයින් සංරක්ෂණය පිළිබඳව වැඩි අවධානයක් යොමු විය යුතු බවය. (මූලාශ්‍රය: Biological Conservation, DOI: 10.1016/j.biocon.2012.07.015)