Showing posts with label Urban Landscapes. Show all posts
Showing posts with label Urban Landscapes. Show all posts

Tuesday, May 2, 2023

නාගරික වනජීවීන් හඳුනාගැනීම

ජගත් පරිසර පුවත්

පරිසර පුවත් 489
විදුසර 2023-05-03, පි.2


පසුගිය සති අන්තයේ දී නගරවල ජීවත් වන වනජීවීන් පිළිබඳ නිරීක්ෂණය කරන තරඟයක් පවත්වන නගර රැසක් ආශ්‍රිතව පවත්වන ලදි. එහි අරමුණ වන්නේ ඒ ඒ නගරවලින් වැඩිම වනජීවීන් ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමයි. මෙහි දී තමන්ගේ නාගරික ප්‍රදේශයෙන් නිරීක්ෂණය කරනු ලබන වනජීවීන්ගේ ඡායාරූප iNaturalist.org වෙබ් අඩවියට එක් කිරීමෙන් දුර්ලභ වනජීවීන් හඳුනාගැනීම සිදු කෙරේ. මෙය ප්‍රජා විද්‍යාත්මක ක්‍රියාවලියකි.

නගර සොබාදහම අභියෝගය (The City Nature Challenge) නමින් 2016 වර්ෂයේ දී ආරම්භ වූ මේ ක්‍රියාවලිය මුලින්ම ලොස් ඇන්ජලීස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරවල ජෛව විවිධත්වය නිරීක්ෂණය කිරීමක් විය. දැන් මෙය ජගත් මට්ටමින් ක්‍රියාත්මක වේ. පසුගිය වර්ෂයේ දී ලෝකය පුරා 67000න් පමණ නිරීක්ෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද නිරීක්ෂණ මිලියන 1.7ක් පමණ ප්‍රමාණයක් මගින් වනජීවී විශේෂ 50000ක් පමණ හඳුනාගැනීමට හැකි වී තිබේ. ඒ වර්ෂයේ දී වැඩිම නිරීක්ෂණය ප්‍රමාණය ලැබී ඇත්තේ බෙලීවියාවේ ලා පාස් නගරයෙන් වන අතර, දෙවන තැන ලැබුනේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයටය.

පසුගිය සති අන්තයේ දී සිදුකරනු ලබන නිරීක්ෂණවලින් පසුව ජයග්‍රාහකයා නම් කිරීමට නියමිතය. මෙය වැදගත් වන්නේ නාගරික පරිසරයේ ජීවත්වන බව නොසිතන වනජීවීන් පවා මේ මගින් හඳුනාගැනීමට අවස්ථාව ලැබීම නිසාය. මේ ඇතැම් ජීවින් දුරල්භ ජීවීන්ය. ඒ අනුව මෙය දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියක් ලෙස ද වැදගත් වේ.



Monday, March 30, 2020

ධ‍්‍රැව ප‍්‍රදේශවල අයිස් දියවන වේගය අධිකයි

ජගත් පරිසර පුවත් 356 - 18.03.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.03.2020, පි. 3 (Vidusara)



ධ‍්‍රැව ප‍්‍රදේශවල අයිස් දියවන වේගය 1990 ගණන්වල අයිස් දිය වූ වේගය මෙන් හයගුණයක් පමණ ඉහළ බව මේ සම්බන්ධව පසුගිය කාලයේදී සිදුකරන ලද වඩාත් සවිස්තර විශ්ලේෂණ දෙකක් මගින් හෙළි වී ඇත. මේ අතරින් ග‍්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පෙන්වා දී ඇති බරපතළම තත්ත්වයේ දී ඇති වන තත්ත්වය හා ආසන්නය. එම අධ්‍යයනවලදී හෙළි වී ඇති පරිදි, 2010 දශකයේදී මේ ප‍්‍රදේශ දෙකෙහි එක් වර්ෂයකදී දිය වන අයිස්වල ස්කන්ධය ටොන් බිලියන 475ක් පමණ වන අතර, 1990 ගණන්වලදී ඒ ප‍්‍රමාණය ටොන් බිලියන 81ක් පමණ විය. එමෙන්ම 1992-2007 අතර කාලයේදී දිය වූ අයිස් ප‍්‍රමාණයෙන් 60%ක් ග‍්‍රීන්ලන්තයේ සිදුවිය.

මේ නිසා ඉදිරි කාලයේදී කාබන් ඩයොක්සයිඞ් විමෝචන විශාල ප‍්‍රමාණයෙන් කපා හැරීමක් සිදුනොකළ හොත් ඉහළ යන මුහුදු මට්ටම නිසා මේ සියවස අවසන් වන විට මිලියන 400ක පමණ ජනතාවකට වෙරළබඩ ප‍්‍රදේශවල ඇති වන ජලගැලූම් තත්ත්වවලට ලක් විය හැකිය. මෙය ජගත් මට්ටමෙන් බරපතළ ගැටලූවක් ඇති කරන්නක් බව පැහැදිලිය. (මූලාශ‍්‍රය - Nature, 10.1038/s41586-019-1855-2, 10.1038/s41586-018-0179-y)

Tuesday, April 30, 2019

නවසීලන්තයේ පරිසරය හමුවේ ඇති අනතුර

ජගත් පරිසර පුවත් 310 - 24.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 3 (Vidusara)



නවසීලන්තය පිළිබදව බොහෝදෙනා තුළ මැවෙන චිත‍්‍රය වන්නේ එය සුන්දර හා පිරිසිදු පරිසරයකින් යුක්ත රටක් ලෙසය. එරට සඳහා ඉහළ සංචාරක ආකර්ෂණයක් දැකිය හැකි හේතු අතරද එම කරුණු වෙයි. එහෙත් එරට පරිසරය සම්බන්ධව පසුගියදා නිකුත්වූ වාර්තාවක් මගින් ඉදිරිපත්ව ඇති කරුණු එතරම් සතුටුදායක නොවේ. වසර හතරකට පසුව නිකුත්කර ඇති Environment Aotearoa නම් මෙම වාර්තාව එරට පිළිගත් ආයතනවල නිල දත්ත යොදාගනිමින් සකස් කරන ලද්දකි.

මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇති මූලික පාරිසරික ගැටලූ අතර, ජෛව විවිධත්වය අහිමි වීම, ජලමාර්ග දූෂණයට ලක්වීම, පශුපාලන කර්මාන්තයේ හානිකර වර්ධනය හා නාගරික පරිසරයේ ව්‍යාප්තිය යන කරුණු ඇතුළත් වෙයි.

ජෛව විවිධත්වය පිළිබඳව සැලකුවහොත්, මානව ජනාවාස ඇති වූ පසුව නවසීලන්තයෙන් ශාක හා සත්ත්ව විශේෂ 75ක් පමණ මුළුමනින්ම වඳවී ගොස් ඇත. පක්ෂි ගහන සම්බන්ධයෙන් ප‍්‍රකට එරට තුළ දැන් පක්ෂීන්ද තර්ජනයට ලක්ව ඇත. මුහුදු පක්ෂීන් අතරින් 90%ක් පමණද, වෙරළාශ‍්‍රිත පක්ෂීන් අතරින් 80%ක් පමණද වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති බව උක්ත වාර්තාව සඳහන් කරයි. එරට තුළ දැකිය හැකි දුර්ලභ පරිසර පද්ධති අතරින් තුනෙන් දෙකක් පමණ ප‍්‍රමාණයක් බිඳවැටීමේ අනතුරකට ලක්ව තිබෙයි. එමෙන්ම එරට සංරක්ෂණ කටයුතු පිළිබඳවද ගැටලූ මතුවන්නේ පසුගිය වසර 15ක කාලය ඇතුළත වඳවීමේ තර්ජනය ඉහළ ගිය විශේෂ ගණන 86ක් වන අතර, වඳවීමේ තර්ජනය අඩුවූ විශේෂ ගණන වසර 10ක් තුළ 26ක් පමණක් වීම නිසාය.

එරට ජල සම්පත් හමුවේද ඇත්තේ ගැටලූ සහිත තත්ත්වයකි. එරට මිරිදිය ජලයේ තත්ත්වය සඳහා බලපා ඇති මූලික සාධකය වී ඇත්තේ මෑත දශක කිහිපය තුළදී ඉහළ ගොස් ඇති පශුපාලනයයි. නිරීක්ෂණයට ලක්ව ඇති විල් අතරින් 57%ක් පමණ ප‍්‍රමාණයක ජලයේ තත්ත්වය දුර්වලය. එරට දැකිය හැකි දේශීය මසුන් අතරින් 76%ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. මිරිදිය කෘමීන් අතරින් තුනෙන් එකක් පමණද තර්ජනයට ලක්ව සිටියි. එමෙන්ම එරට භූගත ජලෙයන් 59%ක් පමණ ප‍්‍රමාණයක් Escherichia coli බැක්ටීරියාව හමුවීම නිසාද, තවත් 13%ක් පමණ නයිටෙ‍්‍රට තිබීම නිසා එරට ප‍්‍රමිතියට එකඟ නොවෙයි.

මේ තත්ත්වය එරට පරිසරයට මෙන්ම ජෙවෙ විවිධත්වය හමුවේද ඇති අභියෝගයේ තරම පෙන්නුම් කරන්නකි.

පක්ෂීන්ට මාරක වන උස් ගොඩනැගිලි

ජගත් පරිසර පුවත් 309 - 10.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.04.2019, පි. 3 (Vidusara)



උස් ගොඩනැගිලි නිසා සිදු වන පක්ෂි මරණ පිළිබඳව සැලකීමේදී පක්ෂීන්ට වඩාත් භයානක වන ඇමරිකානු නගර මොනවාද යන්න පසුගියදා ප‍්‍රකාශයට පත් වූ වාර්තාවකින් පෙන්වා දී ඇත.

උස් ගොඩනැගිලි වීදුරුවලින් ආවරණය වීම හා රාත‍්‍රියේදී ගොඩනැගිලි ආලෝකමත් වීම නිසා මේ ආකාරයෙන් පක්ෂීන් මරණයට පත්වීම සිදුවෙයි. එසේ සිදුවන්නේ පක්ෂීන් එම වීදුරුවලින් දිස්වන ප‍්‍රතිබිම්බවලට රැුවටී ඒ සැබෑ යැයි සිතා ඒ වෙතට පියාසර කර එහි ගැටීම එක් ක‍්‍රමයකි. ස්වාභාවිකවම ආලෝකයට ආකර්ෂණය වන රාත‍්‍රි කාලයේ පියාසර කරන පක්ෂීන් දිදුලන ආලෝකය සහිත නගරයක එළියෙන් දිලෙන ගොඩනැගිලිවල වැදීම නිසාය. මේ පිළිබඳව කලක් තිස්සේ අවධානය යොමුව තිබූ අතර, එවැනි පක්ෂි මරණ පිළිබඳ ප‍්‍රමාණවත් හා විශ්වාසනීය සංඛ්‍යාලේඛන නොපැවතිනි. මෙවැනි උස් ගොඩනැගිලි නිසා එක් වසරකදී ඇමරිකාව තුළ දී පමණක් මරණයට පත්වන පක්ෂීන් ගණන අඩුම වශයෙන් මිලියන 100ක් පමණ වන බවත් එහි උපරිමය ඇතැම්විට බිලියනයක් තරම් විය හැකි බවත් 2014 වර්ෂයේදී පමණ ප‍්‍රකාශිත අධ්‍යයනයකින් පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් පසුගියදා නිකුත් වූ නව වාර්තාව මගින් එරට තුළ ගොඩනැගිලිවල වැදීම නිසා ඉහත ආකාරයෙන් පක්ෂි මරණවලට හේතුවන නගර අනුපිළිවෙලක් සකස් කර ඇත. ඒ අනුව එරට තුළ පක්ෂීන්ට වඩාත්ම භයානක වන නගරය වන්නේ චිකාගෝවයි. එම නගරය පිහිටා ඇත්තේ මධ්‍යම හා දකුණු ඇමරිකාවේ සිට කැනඩාව වෙත පක්ෂීන් පර්යටනය කරන ගමන් මාර්ගයකය. හූස්ටන් හා ඩලාස් යන නගර දෙවැනි හා තෙවැනි භයානක නගර වෙයි. ඒවාද පිහිටා ඇත්තේ පර්යටන මාර්ගයකය. තවත් මෙවැනි නගර කිහිපයක් වන්නේ නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, සෙන්ට්ලූවිස් හා ඇට්ලන්ටාය.

මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ වසර විස්සක පමණ කාලයක් තිස්සේ එක්රැුස් කරන ලද දත්ත යොදාගනිමිනි. එම පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට ඔවුන්ගේ අරමුණ නගරවල තත්ත්වය විවේචනය කිරීම නොව පවත්නා පිළිබඳව අවධානය යොමු කර වීමය. එය පක්ෂි සංරක්ෂණය සඳහා යොදාගැනීම ඔවුන්ගේ අරමුණ බව පෙනෙයි. සරලව ගතහොත් පක්ෂි පර්යටනය සිදුවන කාලවකවානුවලදී නගරවල ගොඩනැගිලිවල ආලෝකය රාත‍්‍රි කාලයේදී නිවා දැමීම මෙම පර්යේෂකයන් විසින් යෝජනා කරනු ලබන එක් පියවරකි.

මූලාශ‍්‍රය - Frontiers in Ecology and the Environment, DOI: 10.1002/fee.2029

අඩු කාබන් කලාපයකට සැරසෙන ලන්ඩනය

ජගත් පරිසර පුවත් 309 - 10.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.04.2019, පි. 3 (Vidusara)



ඉතා අඩු කාබන් විමෝචන සහිත කලාපයක් හෙවත් අති අඩු කාබන් කලාපයක් (ultra-low emission zone - Ulez) ප‍්‍රකාශයට පත් කිරීමට ලන්ඩනය පියවර ගෙන ඇත. මේ අනුව අපේ‍්‍රල් මස 8 වැන දින සිට මධ්‍යම ලන්ඩනයට ඇතුළුවන විමෝචන අධික වාහනයකින් දිනකට පවුම් 12.50ක මුදලක් අයකිරීමට ලන්ඩන් නගර බලධාරීන් කටයුතු කරයි.

මෙම නව නීතිය අනුව, 2015 වර්ෂයේ සිට නියම කර ඇති යුරෝ 6 ප‍්‍රමිතියට අනුගත නොවන ඞීසල් කාර් රථ හා වෑන් රථවලට මෙම මුදල ගෙවීමට සිදු වනු ඇත. එසරම වසර 14කට වඩා පැරණි ප්‍රෙටල් මෝටර්රථවලටද මෙම ගෙවීම අදාළ වෙයි. එම තත්ත්වයට නොගැලපෙන බස් රථ, ලොරි රථ ආදියට පවුම් සියයක ගාස්තුවක් ගෙවීමට සිදුවන බවද වාර්තා වෙයි. මෙම ගාස්තුව අයකිරීමට යන්නේ වාහනයේ අංක තහඩුව මත හා සියලූ වාහනවල විමෝචන පිළිබඳව වන දත්ත ඇතුළත්වන දත්ත සමුදායක් භාවිත කරමිනි. මෙම කලාපයට දිනකට රථවාහන 100,000ක් පමණ ඇතුළුවන බව අතර ඉන් පහෙන් පංගුවක් පමණ මෙම ගෙවීමට යටත් විය හැකිය.

මෙම පියවර මගින් එම ප‍්‍රදේශවය පිවිසෙන වාහන ප‍්‍රමාණය 5%කින්ද, මාර්ගස්ථ වායු දූෂණය 45%කින් පමණ ප‍්‍රමාණයකින්ද අඩු කිරීමට අපේක්ෂිත බව වාර්තා විය. වායු දූෂණය නිසා ඇති වන ඇදුම උග‍්‍රව වාර්ෂිකව දහසක් පමණ ලන්ඩන් වැසියන් පිරිසක් රෝහල්ගත වෙති. අද වන විට ලන්ඩනයේ වෙසෙන මිලියන දෙකක් පමණ ජනකායක් සෞඛ්‍යයට අහිතකර නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයක් සහිත ප‍්‍රදේශවල වාසය කරති.

නගර බලධාරීන් මෙම පියවර මගින් අපේක්ෂා කරනු ලබන්නේ අධික වායු විමෝචන ප‍්‍රමාණයක් සහිත වාහන නගරය හරහා ගමන් කිරීම නැවැත්වීම හා රියැදුරන්ට වඩා පවිත‍්‍ර ප‍්‍රවාහන ක‍්‍රමයක් යොදැගැනීමට පෙළඹවීමය. මෙම ක‍්‍රියාමාර්ගයේම දෙවැනි පියවරක් ලෙස 2021 වර්ෂයේදී ලන්ඩන් නගරයේම වඩා විශාල ප‍්‍රදේශයක් මෙම නීතිය යටතට ගැනීමට නියමිතය. එය ලන්ඩන් නගරවැසියන්ට දැනෙන එකක් වනු ඇති බවද වාර්තාවල සඳහන් වෙයි.

මෙවැනි පියවරක් ගත් ලොව පළමු නගරය වන්නේ ලන්ඩනයයි. එසේම එරට තවත් නගර කිහිපයක් 2020 සිට මෙවැනි පිරිසිදු වාතය සහිත කලාප හඳුන්වාදීමට පියවර ගන්නා බව සඳහන් වෙයි. ඒ අතර බර්බින්හැම් හා ලීඞ්ස් වැනි නගර ඇත.

Thursday, February 7, 2019

2018 දේශගුණ ආපදා හානියේ වටිනාකම

ජගත් පරිසර පුවත් 295 - 02.01.2019


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.01.2019, පි. 3 (Vidusara)



2018 වර්ෂයේදී ඇති වූ, දේශගුණ වෙනස් වීම හා සම්බන්ධතාවයක් ඇති ආන්තික කාලගුණ ආපදාවලින් ඇති වූ හානියේ වටිනාකම හා අහිමි වූ දහස් ගණනක් තරම් වන ජීවිත ප‍්‍රමාණය පිළිබඳ ජගත් මට්ටමේ ස්වේච්ඡා සංවිධානයක් වන Christian Aid සංවිධානය පෙන්වා දෙයි.

එම වාර්තාව මගින් එක් එක් සිදුවීමකදී ඇති වූ හානිය ඩොලර් බිලියනයකට වඩා අධික වූ සිදුවීම් 10ක් හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් හතරකදීම සිදු වූ හානියේ වටිනාකම ඩොලර් බිලියන 7ක් ඉක්මවා තිබෙයි. එසේම මෙම ගණනය කිරීම් අඩුතක්සේරු කිරීම් විය හැකි බවද එම වාර්තාවේම දක්වා ඇත. නිදසුනක් ලෙස ගතහොත්, එම ගණනය කිරීම්වලට ඇතුළත් වී ඇත්තේ රක්ෂණය කර ඇති දේපොළවල වටිනාකම පමණක් බව සඳහන් වෙයි. එසේම මෙම ආපදා නිසා අහිමි වූ ඵලදායකත්වයද මෙහිදී ගණන් බලා නොමැති වීම සැලකිය යුතු කරුණකි. ඉන් පෙනෙන්නේ වාර්තා නොවූ හානි අධික ප‍්‍රදේශවල ඇතැම් විට මේ හා සමීප මට්ටමකට එන හානි තිබිය හැකි බවයි.

ඩොලර් බිලියන එකකට වඩා අධික හානියක් ඇති වූ ආපදා අතර ඇමරිකාවේ ඇති වූ ෆ්ලෝරන්ස් හා මයිකල් නම් සුළිකුණාටු දෙක දැක්විය හැකිය. ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඇති වූ ගිනි තවත් මෙවැනි අධික හානියක් ඇති වූ ආන්තික තත්ත්වයකි. යුරෝපයේ ඇති වූ නිය`ගය තවත් එවැනි අධික හානියක් සිදු වූ ආපදාවකි.

මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇති අනෙක් ආපදා අතර, චීනයේ, ජපානයේ හා ඉන්දියාවේ (කේරළයේ) ඇති වූ ගංවතුර තත්ත්ව, ආජන්ටිනාවේ, ඔස්ටේ‍්‍රලියාවේ හා දකුණු අප‍්‍රිකාවේ (කේප් ටවුන්) ඇති වූ නියඟ තත්ත්ව හා පිලිපීනයට හා චීනයට බලපෑ කුණාටු තත්ත්වයක් වෙයි. මේවා දියුණු රටවලට මෙන්ම දියුණුවන රටවලටද බලපා තිබෙයි.

මෙම වාර්තාව මගින් අවධානය යොමු කර ඇති ආපදා සියල්ල මානව මූලික දේශගුණ වෙනස් වීමේ කිසියම් සම්බන්ධයක් ඇති එ්වාය. එහි සඳහන් පරිදි ඒවා හුදෙක් සාමාන්‍ය ස්වාභාවික ආපදා පමණක් නොවූ බව පැහැදිලිය. මිනිසුන් නිසා ඇති වූ දේශගුණ වෙනස් වීම නොවූයේ එන් මෙම ආපදා මෙතරම් බරපතළ නොවන බව එහි සඳහන් වෙයි. අදාළ ආපදා බරපතළ වීමට හෝ තීව‍්‍ර වීමට හෝ හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීමය. (මූලාශ‍්‍රය: Counting The Cost: A Year of Climate Breakdown, www.christianaid.org.uk)

Tuesday, July 31, 2018

ආසියානුවන් වායු දූෂණයට ලක්වීම අධිකයි

ජගත් පරිසර පුවත් 272 - 18.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 18.07.2018, පි. 3 (Vidusara)



ඇමරිකාවේ හෝ යුරෝපයේ වාසය කරන්නවුන්ට වඩා ආසියානුවන් එළිමහනේ මාර්ගස්ථ වායු දූෂණයට ලක්වීම අධික බව එ් පිළිබඳව සිදු කළ සවිස්තර අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ආසියාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට අදාළ ක්ෂුද්‍ර පරිසර පිළිබඳව සිදුකර ඇති අධ්‍යයන ගැන මෙහිදී අවධානය යොමු කර තිබෙයි. එ් අනුව, ඇවිදීම, වාහන ධාවනය, බයිසිකල් පැදීම, මෝටර්සයිකල් පැදීම හා බස්රථ ධාවනය වැනි අවස්ථාවලදී වායු දූෂණයට නිරාවරණය වීම හා දූෂක සාන්ද්‍රණ මට්ටම් සම්බන්ධව අවධානය යොමු කර ඇත. එහිදී සියුම් අංශුමය ද්‍රව්‍ය (PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය), කළු කාබන්, අති සියුම් අංශු (ultrafine particles – UFP - මයික්‍රොමීටර් 0.1ට අඩු අංශු) වැනි වායු දූෂණයේ විවිධ අංශු පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මෙහිදී හෙළි වී ඇති ආකාරයට ආසියාවේ කාර්යබහුල නගරයක පදිකයකු නිරාවරණය වන සියුම් අංශු මට්ටම (ඝන මීටරයකට මයික්‍රෝ ග‍්‍රෑම් 42) යුරෝපයේ පදිකයකුට වඩා 1.6 ගුණයක් අධිකය. එසේම ආසියාවේ බස් රථවල (76 μg m-3) හා කාර් රථවල (74 μg m-3) PM2.5 කාණ්ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය මට්ටම යුරෝපයේ හා ඇමරිකාවේ මෙන් දෙගුණයක් හෝ තෙගුණයක් තරම් ඉහළය. ආසියානු කාර් රියැදුරෙකු ඇමරිකානු හෝ යුරෝපීය කාර් රියැදුරකුට වඩා නව ගුණයක් අධික වායු දූෂණයකට නිරාවරණය වෙයි. ස්ථානීය වශයෙන් ගත් විට, හොංකොංවල අති සියුම් අංශු මට්ටම යුරෝපයට වඩා සිව් ගුණයක් තරම් වන අතර, නවදිල්ලියේ කළු කාබන් මට්ටම යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ මෙන් පස් ගුණයක් තරම් අධිකය.

ආසියාවේ වායු දූෂණය බෙහෙවින් අවධානයට ලක් වූ කරුණකි. ආසියාවේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල ඇතිවන අකල් මරණ අතරින් 88%ක් පමණ ඇති වන්නේ වායු දූෂණය නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම ආසියාවේ ධාවනය වන රථවාහන ප‍්‍රමාණයද ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙයි. ඒ අනුව වායු ධූෂණයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා සාධනීය පියවර නොගන්නේ නම් මේ ගැටලූව තවදුරටත් බරපතළ විය හැකි බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Atmospheric Environment, DOI: 10.1016/j.atmosenv.2018.05.046)

ඉහළ යන මුහුදු මට්ටමේ ආර්ථික බලපෑම

ජගත් පරිසර පුවත් 271 - 11.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.07.2018, පි. 3 (Vidusara)



2100 වන විට මුහුදු මට්ටම ඉහළ යෑමෙන් ඇති වන ජලගැලීම් හේතුවෙන් ඇති විය හැකි හානියේ ආර්ථික අගය වාර්ෂිකව ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එ් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පූර්ව කාර්මික අවධියට වඩා අංශක දෙකක සීමා කළ නොහැකි වුවහොත්ය.

මෙම අධ්‍යයනයේදී සිදුකර ඇත්තේ උෂ්ණත්වය ඉහළ යෑම අංශක 1.5 හා අංශක 2 සිමාවේ පවත්වා ගතහොත් හා කිසිදු වළක්වාගැනීමේ තත්ත්වයක් නොමැති සංසිද්ධියකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑමෙහි බලපෑම් සංසන්දනය කිරීමයි. ඒ අනුව 2100 වර්ෂය වන විට අංශක 1.5ක උෂ්ණත්ව ඉහළ යෑමකදී සෙන්ටිමීටර් 52කින්ද, අංශක 2ක් සඳහා සෙ.මී. 63කින්ද මුහුදු මට්ටම ඉහළ යා හැකි බව අනාවරණය වී ඇත. එසේම අංශක 2 ඉලක්කය අත්පත්කරගත නොහැකි වුවහොත්, මුහුදු මට්ටම මීටර් 0.86ක මධ්‍යන්‍ය අගයකින් ඉහළ යා හැකිය. එවැනි අවස්ථාවකදී වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකිය. එසේම මුහුදු මට්ටම උපරිම වශයෙන් මීටර් 1.8ක් ඉහළ යා හැකි අතර, එවිට ඇති වන වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 27ක් පමණ වනු ඇත.

ජලගැලීම් නිසා වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ ඉහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවලට බවද මෙහිදී හෙළි වී තිබෙයි. නිදසුනක් ලෙස චීනය දැක්විය හැකිය. එසේම, ඉහළ ආදායම ලබන රටවල් මෙමගින් අඩු බලපෑමකට ලක්වන රටවල් අතර වෙයි. එයට හේතු වන්නේ මෙවැනි ජලගැලීම්වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් එ් රටවල පැවතීමයි. ලෝක ජනගහනයෙන් මිලියන 660ක පමණ පිරිසක් අඩු උන්නතාංශයක් සහිත වෙරළබඩ ප‍්‍රදේශවල හෙවත් මුහුදු මට්ටමේ සිට මීටර් 10ක සීමාවේ, වාසය කරති. දේශගුණ වෙනස් වීමත් සමඟ ඇතිවන ග්ලැසියර හා අයිස් තට්ටු දියවීමත් සමඟ හා සාගර ජලයේ තාප ප‍්‍රසාරණය සමඟ මුහුදු මට්ටම ඉහළ යෑම සිදු වෙයි. මේ හේතුව නිසා මුහුදු මට්ටම ඉහළ යෑම වඩාත් බරපතළ විපාක ඇති කළ හැකි සිදුවීමකි. (මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/aacc76)

Tuesday, June 21, 2016

අධික ශබ්දය නිසා ගී ගයන පක්ෂීන් නගරයෙන් ඈතට - ජගත් පරිසර පුවත් 005 (20.03.2013)


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.03.2013

Vidusara - (World Environmental News - 20.03.2013)


අධික ශබ්දය නිසා ගී ගයන පක්ෂීන් නගරයෙන් ඈතට


ගහ කොළ පිරි පරිසරයට හා පක්ෂී ගීතවලට බොහෝ මිනිස්සු කැමැත්ත දක්වති. එ් නිසා නාගරික ප‍්‍රදේශවල ගස් වැවීම, උද්‍යාන ඇති කිරීම මගින් පක්ෂීන් ආකර්ෂණය කරගැනීමට මිනිසුන් උත්සාහ කරන අතර නාගරික පරිසරයේ ජීවත්වීමට හැකි හැකි වීම පක්ෂි ව්‍යාප්තියේ සාර්ථකත්වය සඳහාද උපකාරී වී ඇත. එහෙත් පක්ෂීන්ට ගැලපෙන පරිසරයක් පවත්නා ඇතැම් නාගරික ප‍්‍රදේශවල ගී ගයන පක්ෂීන්ගේ සුලබතාවයේ අඩුවීමක් දැකිය හැකි වීම විද්‍යාඥයින්ට ගැටලූවක් වී තිබිණි.

මේ පිළිබඳව විමසීම සඳහා කැනඩාවේ එඞ්මන්ටන් ප‍්‍රදේශයේ කළ අධ්‍යයනයකදී ශබ්දය අධික වූ විට එ් පරිසරයේ දැකිය හැකි ඇතැම් ගී ගයන පක්ෂි විශේෂවල සුලභතාවය අඩු වන බව හෙළි වී ඇත. අධ්‍යයනයට ලක් කළ ගී ගයන පක්ෂි විහේෂ හතක් අතරින් තුනක මෙවැනි අඩුවීමක් පෙනීගොස් තිබේ.

මේ බලපෑම දැකිය හැක්කේ අඩු සංඛ්‍යාතයක් ඇති ගීත ගයන පක්ෂි විශේෂවලය. අධික ශබ්දයක් ඇති ප‍්‍රදේශවල එවැනි පක්ෂීන්ගේ අඩු සංඛ්‍යාතයක් ඇති ඇති ගීත අන් පක්ෂීන්ට ඇසීම අඩු වේ. මෙය පක්ෂි සන්නිවේදනයට දැඩි ලෙස බලපෑම් කළ හැකිය. පිරිමි පක්ෂියකුගේ ඇසීමට නොහැකි වීමෙන්, ගැහැණු සතුන් අදාළ පිරිමි පක්ෂියා අයෝග්‍ය පිරිමි සතකු බව තීරණය කළ හැකි වීම මීට නිදසුනකි. එය ඔවුන්ගේ අභිජනනයට බලපෑ හැකි කරුණකි.

මේ අනුව පක්ෂීන් අපේ පරිසරයට ඉක්මනින් හැඩගැසෙන බව අප සිතන නමුත්, ඊට යම් සීමා, මිනිසුන් විසින් ඇති කරන ලද සීමා ඇති බව මේ අනුව පෙනේ. පරිසරයේ දැකිය හැකි වෘක්ෂලතා දර්ශ යෝග්‍ය වුවත් ඇතැම් පක්ෂීන්ගේ සුලභතාවය සඳහා ශබ්දය සීමාකාරී සේ බලපා ඇති බව පෙනේ. (මූලාශ‍්‍රය: Global Change Biology, DOI: 10.1111/gcb.12098)