Wednesday, January 31, 2018

පැරිස් උෂ්ණත්ව ඉලක්ක දශක කිහිපයකින් ඉක්මවා යා හැකියි

ජගත් පරිසර පුවත් 248 - 31.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 31.01.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම සඳහා පිළිගත් විසඳුම ලෙස ඉදිරිපත්ව ඇති පැරිස් දේශගුණ ගිවිසුමේ සඳහන් ඉලක්කය වන්නේ 2100 වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා වඩා සෙල්සියස් අංශක 2කට සීමා කිරීමය. එසේම, හැකියාවක් තිබේ නම්, එම අගය අංශක 1.5කට සීමා කිරීමය. එහෙත් පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව තවත් දශක කිහිපයක කාලයක් ඇතුළත ලෝකයේ උෂ්ණත්වය මෙම සීමා ඉක්මවා යෑමේ අවදානමක් පවතී.

මේ අනුව, වර්තමාන වේගයෙන්ම කාබන් විමෝචන වර්ධනය වුවහොත්, ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවීම තවත් වසර 17-18ක් පමණ කාලයක් ඇතුළත සිදුවිය හැකිය. එසේම, සෙල්සියස් අංශක 2 සීමාව අදින් වසර 35-41 අතර කාලයකදී ඉක්මවා යාමේ ඉඩක් තිබෙයි. සෙල්සියස් අංශක 1.5ක සීමාවට උෂ්ණත්වය ළගා වීමට නම් 2017 වර්ෂයෙන් පසුව නිකුත් විය යුතු කාබන් විමෝචන ප‍්‍රමාණය පිටාග‍්‍රෑම් (PgC එකක් මෙටි‍්‍රක් ටොන් බිලියනයකට සමානය) 195-205 අතර වෙයි. එසේම අංශක දෙකේ සීමාවට ළඟා වීමට නම් පිටාග‍්‍රෑම් 395-455 අතර කාබන් විමෝචන ප‍්‍රමාණයක් නිකුත් විය යුතුය. 

මෙම අධ්‍යයනයේදී ඉහත කී උෂ්ණත්ව සීමා දෙකට ළඟා වීම සඳහා කෙතරම් කාලයක් තිබේද යන්න පිළිබඳව නිගමනවලට පැමිණ ඇත්තේ ඓතිහාසික උෂ්ණත්ව දත්ත හා ආකෘති යොදාගනිමිනි. මෙම පර්යේෂකයන් පවසන පරිදි එම තත්ත්වය වළක්වාලීමට නම් කඩිනමින් පියවර ගැනීම අවශ්‍ය වෙයි. නොඑසේ නම්, වඩා උණුසුම් අනාගතයක් සඳහා අනුහුරු වීමට අවශ්‍ය පියවර ගත යුතුය. කෙසේ වෙතත් පැරිස් දේශගුණ ගිවිසුමේ මෙන්ම විද්‍යාඥයන් විසින් පුළුල්ව පිළිගන්නා ආකාරයට ඉහත කී සෙල්සියස් අංශක දෙකක ප‍්‍රමාණයට වඩා ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියහොත් බරපතළ බලපෑම් ඇති වීමේ ඉඩක් පවතී. එබැවින් උත්සාහ ගත යුත්තේ එම මට්ටමට වඩා උෂ්ණත්වය අඩු මට්ටමක තබා ගැනීමටය. (මූලාශ‍්‍රය: Nature Geoscience, DOI: 10.1038/s41561-017-0054-8)

ගෝලීය ආක‍්‍රමණික විශේෂ ලේඛනයක්

ජගත් පරිසර පුවත් 248 - 31.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 31.01.2018, පි. 3 (Vidusara)



ජෛව විවිධත්වයට තර්ජනයක්ව ඇති ආක‍්‍රමණික ජීවී විශේෂ සම්බන්ධව කටයුතු කරන ආයතන කිහිපයක දායකත්වයෙන් ආක‍්‍රමණික විශේෂ පිළිබඳ ජගත් මට්ටමේ ලේඛනයක් සකස් කර තිබේ. එමගින් ජීවී විශේෂ 6,414ක් පමණ අතරින් පහෙන් පංගුවක් පමණ ප‍්‍රමාණයකගේ පාරිසරික බලපෑම් පිළිබඳ සාධක දැකිය හැකිය.

හඳුන්වාදුන් හා ආක‍්‍රමණික ජීවී විශේෂ පිළිබඳ ජගත් ලේඛනය (Global Register of Introduced and Invasive Species - GRIIS) ලෙස නම් කර ඇති මෙම ලේඛනයේ රටවල් අනුව හඳුන්වාදුන් (ස්වාභාවිකකරණය වී ඇති) හා ආක‍්‍රමණික ජීවී විශේෂ ලැයිස්තු ගත කර ඇත. මෙම ලේඛනයේ රටවල් විස්සක දැකිය හැකි ආක‍්‍රමණික ජීවීන් පිළිබඳ නාමලේඛන ඇතුළත් වන අතර, එය මේ වර්ෂය අවසන්වන විට සම්පූර්ණ කිරීමට නියමිත වෙයි. එය www.griis.org නම් වෙබ් අඩවියේ ඇතුළත්ව තිබෙයි. මෙම ලේඛනය භාවිතකරමින් එ් එ් රටවල දැකිය හැකි ආගන්තුක ආක‍්‍රමණික ජීවී විශේෂ නාමලේඛනයක් ජනනය කර ගත හැකිය. මෙම රටවල් විස්ස අතරට ශ‍්‍රී ලංකාවද ඇතුළත් වන අතර, අපේ රටෙන් වාර්තා වන ආක‍්‍රමණික විශේෂ 184ක නාමලේඛනයක් ඊට ඇතුළත්ය.

ආක‍්‍රමණික ජීවී විශේෂවල ජගත් මට්ටමේ ව්‍යාප්තිය සම්බන්ධව පැවැති තොරතුරුවල අඩුවක් මෙමගින් සම්පූර්ණ කරගැනීමට අවස්ථාව ලැබී ඇත. අනාගතයේදී මේ විශේෂ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා මේ ලේඛනයේ ඇතුළත් තොරතුරු යොදාගත හැකිය. ආගන්තුක ආක‍්‍රමණික විශේෂ යනු යම් පරිසර පද්ධතියකට දේශීය නොවන ජීවී විශේෂ වේ. මේවා මගින් අදාළ පරිසර පද්ධතියට, එහි වෙසෙන සෙසු ජීවීන්ට, මිනිසුන්ට, ආර්ථිකයට ආදි වශයෙන් විවිධ හානි සිදු විය හැකිය. මේවා පාලනය කිරීම සඳහා විශාල වියදමක් හා ශ‍්‍රමයක් වැය කිරීමට මේ රටවල බලධාරීන්ට සිදු වී තිබෙයි. එබැවින් ආක‍්‍රමණික ජීවී විශේෂ පිළිබඳව දැනුම වැදගත් වෙයි. (මූලාශ‍්‍රය: Scientific Data, DOI: 10.1038/sdata.2017.202)

Sunday, January 28, 2018

එල් නිනෝ තත්ත්වයක් නොමැතිව ගෙවුණු උණුසුම්ම වසර 2017

ජගත් පරිසර පුවත් 247 - 24.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.01.2018, පි. 3 (Vidusara)


ගෙවුණු 2017 වර්ෂය ලෝකයේ වාර්තාගතව ඇති උෂ්ණත්වයෙන් ඉහළතම වර්ෂ අතර දෙවන හෝ තෙවන වර්ෂය බව වාර්තා වෙයි. එයට වඩා උණුසුමින් අධික වූයේ 2016 වන අතර 2015 වර්ෂය ඊට වඩා උණුසුමින් අධික හෝ සමාන වූ වර්ෂයකි. එහෙත් එම වර්ෂ දෙකම ස්වාභාවික සිංසිද්ධියක් වන එල් නිනෝ තත්තවය පැවැති වර්ෂ වෙයි. මේ අනුව එල් නිනෝ තත්ත්වයක් නොමැතිව ගෙවුණු උෂ්ණත්වයෙන් ඉහළම වර්ෂය වන්නේ 2017 වර්ෂයයි.

මේ කරුණු අනාවරණය වන්නේ බි‍්‍රතාන්‍යයේ කාලගුණ කාර්යාලයෙන් හා ඇමරිකාවේ ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) හා ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය (NOAA) යන ආයතනවල දත්ත අනුවය. ලෝකයේ මහාද්වීප සියල්ලෙන්ම ලබාගෙන ඇති දත්ත අනුව පෙනෙන්නේ 2017 හා 2015 යන වර්ෂවල උෂ්ණත්වය බොහෝ දුරට සමාන විය හැකි බවකි. ඒ අනුව නාසා ආයතනය පවසන්නේ 2017 ලෝකයේ දෙවැනි උණුසුම්ම වර්ෂය බවයි. අනෙක් ආයතන ද්විත්වය 2017 එය තුන්වන උණුසුමින් ඉහළම වර්ෂය සේ දක්වා ඇත. මෙය ගණනය කිරීම්වල වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයකි. බි‍්‍රතාන්‍යයේ කාලගුණ කාර්යාලයේ දත්ත අනුව 2017 වර්ෂය පූර්ව කාර්මික අවධියට (1850-1900 අතර කාලයේ පැවැති උෂ්ණත්වයේ සාමාන්‍යයට* වඩා සෙල්සියස් අංක 0.99ක් පමණ ඉහළ විය. අනෙක් අතට 2017 උෂ්ණත්වය 1981-2010 සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.38ක් ඉහළය. නාසා ආයතයට අනුව 2017 උෂ්ණත්වය 1951-1980 සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.9ක් ඉහළය.

කෙසේ වෙතත් එල් නිනෝ තත්ත්වයක් නොමැතිව මෙවැනි අධික උෂ්ණත්වයක් පැවැතීම තරමක් විස්මයට කරුණකි. එසේම නාසා ආයතනය විසින් ගොඩ නගා ඇති ප‍්‍රස්තාරයකට අනුව එල් නිනෝ වැනි තත්ත්ව නොසැලකූ විටදී ඉහළම උෂ්ණත්වය ඇති වර්ෂය 2017 වෙයි. මේ අනුව පෙනෙන්නේ දේශගුණයට බලපාන බරපතළම ස්වාභාවික බලපෑම වන එල් නිනෝ තත්ත්වයෙන් ඇති කරන බලපෑම ඉක්මවීමට තරම් මානව ක‍්‍රියාකාරකම් මගින් ඇතිවන බලපෑම ප‍්‍රබල වී ඇති බවක්ද?

දේශගුණ වෙනස් වීමේ මනෝවිද්‍යාත්මක බලපෑම

ජගත් පරිසර පුවත් 247 - 24.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.01.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම මිනිසුන්ට මනෝවිද්‍යාත්මකව ඇති කරන බලපෑම කෙබඳු විය හැකිද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ අධ්‍යයනයක් පසුගියදා ප‍්‍රකාශයට පත්ව ඇත. එයින් පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත්තේ දේශගුණ වෙනස් වීම නිසා ඇති වී තිබෙන තර්ජනය පිළිබඳ සංජානනය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට බලපා ඇති ආකාරයයි. දේශගුණ වෙනස් වීමේ පාරිසරික බලපෑම් අවධානයට ලක්ව ඇති නමුත් මිනිසුන්ට ඇතිවන මානසික බලපෑම් මේ දක්වා අවධානයට ලක්ව නොමැත.

එ් අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස්වලට ලෝකයේ වෙනස් වන දේශගුණය සම්බන්ධව කිසිදු සාංකාවක් හෝ නොමැති වුවත්, තවත් පිරිස්වලට ඉහළ මට්ටමක මානසික ආතතියක් (stress) හෝ ඇතැම් විට මනෝ විෂාදයක් (depression) හෝ ඇති බවයි. එම මට්ටම තීරණය වන්නේ දේශගුණ වෙනස් වීම පිළිබඳ ඔවුන්ගේ සංජානනය අනුවය.

මින් පැහැදිලි වන්නේ මිනිසුන් දේශගුණ වෙනස් වීම සම්බන්ධව දක්වන මනෝ විද්‍යාත්මක ප‍්‍රතිචාරය තීරණය වන්නේ ඔවුන් පරිසරය සම්බන්ධව දක්වන සැලකිල්ල මත බවය. මෙම පර්යේෂකයන් මිනිසුන්ගේ පාරිසරික සැලකිල්ල අනුව කණ්ඩායම් තුනක් වෙන්කර හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න අදාළ පුද්ගලයාගේ පරිසරයට සිදුවන බලපෑම් පිළිබඳ සැලකිල්ලක් දක්වන කණ්ඩායමයි. දෙවැන්න පොදුවේ මනුෂ්‍යත්වයට සිදුවන බලපෑම පිළිබඳව සැලකිලිමත් වන කණ්ඩායමයි. තෙවැන්න ශාක හා සතුන්ද ඇතුළුව සොබාදහම හෙවත් ජෛවගෝලයම පිළිබඳව සැලකිලිමත් වන කණ්ඩායමයි. වැඩිහිටියන් යොදාගත් මෙම අන්තර්ජාල සමීක්ෂණයේදී හෙළි වී ඇති පරිදි දේශගුණ වෙනස් වීම හේතුවෙන් වඩාත් ආතතියකට පත්ව ඇත්තේ හා ඇතැම් විට විෂාද තත්ත්වයක් පෙන්වා ඇත්තේද මේ තෙවන කණ්ඩායමේ අයයිි. පළමු හා දෙවන කණ්ඩායම් එතරම් ආතතියකට පත්ව නැත.

මේ අනුව ලෝකයේ ජීවත්වන සතුන් හා ශාක පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නවුන් දේශගුණ වෙනස් වීමේ ප‍්‍රතිඵල පිළිබඳ වැඩි ආතතයකින් පසුවන බව පෙනෙයි.

(මූලාශ‍්‍රය: Global Environmental Change, DOI: 10.1016/j.gloenvcha.2017.11.012)

Monday, January 22, 2018

ව්‍යාඝ‍්‍ර සංරක්ෂණය සඳහා වනමංකඩවලින් යාවුණු ආරක්ෂිත ප‍්‍රදේශ අවශ්‍යයි

ජගත් පරිසර පුවත් 246 - 17.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 17.01.2018 (Vidusara)


තර්ජනයට ලක්ව ඇති මාංශභක්ෂක ක්ෂීරපායින් අතර ව්‍යාඝ‍්‍රයෝ ඉදිරියෙන්ම සිටිති. මේ වන විට ව්‍යාඝ‍්‍රයින්ගේ ඓතිහාසික වාස භූමියෙන් 95%ක් පමණ ප‍්‍රදේශයක ඔවුන් දැකගත නොහැකිය. එසේම අද වන විට ඔවුන් දැකිය හැකි වාසස්ථාන අධික ලෙස කට්ටිකරණය වීම (fragmentation) නිසා ව්‍යාඝ‍්‍රයින්ට මේ වනාන්තර කොටස් අතර ගමන් කිරීම සඳහා විවිධ බාධක ඇති වී තිබෙයි. ඒ අතර, මහා මාර්ග, මහා නගර, ආදිය දැක්විය හැකිය.

ව්‍යාඝ‍්‍ර සංරක්ෂණය සම්බන්ධව සිදුකරන ලද, පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව, මේ සතුන්ගේ අනාගත පැවැත්ම තහවුරු කිරීම සඳහා වන මංකඩවලින් එකිනෙකට සම්බන්ධ වූ ආරක්ෂිත ප‍්‍රදේශ ජාලයක් පවත්වාගැනීම වැදගත් වෙයි.
මධ්‍යම ඉන්දියාවේ ව්‍යාඝ‍්‍ර ගහන සම්බන්ධව සිදුකරන ලද මේ අධ්‍යයනයේදී එම සතුන්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය සම්බන්ධව අවධානය යොමුකර ඇත. එහි අරමුණ වී ඇත්තේ ව්‍යාඝ‍්‍ර ගහනයේ ගමන්රටාවටලට භූදර්ශනය කෙසේ බලපා තිබේද යන්න වටහාගැනීමයි. විශේෂයෙන් මහාමාර්ග පද්ධති, කෘෂිබිම් ආදිය ව්‍යාප්ත වීම ව්‍යාඝ‍්‍රයින්ට බලපා ඇති අන්දම වටහාගැනීමය. එහිදී පෙනී ගොස් ඇති පරිදි දැනට ව්‍යාඝ‍්‍රයන් ආරක්ෂිත ප‍්‍රදේශ අතර ගමන් කරන බව හා ඔවුන් අතර ප‍්‍රවේණික ද්‍රව්‍ය හුවමාරු වන නමුත්, මහා මාර්ග හා අධික ජන ඝනත්වයකින් යුක්ත නාගරික ප‍්‍රදේශ ව්‍යාඝ‍්‍රයින්ගේ ගමන්රටාවලට හානිකර ලෙස බලපා ඇත.

මේ මත පදනම්ව අනාගතයේ ඇති විය හැකි එකිනෙකට වෙනස් සංවර්ධන සංසිද්ධි 86ක් පිළිබඳව අවධානය යොමු කිරීමට මේ පර්යේෂකයන් ක‍්‍රියාකර ඇත. එ් අතර වෙනසක් නොමැතිව කටයුතු සිදුවන ආකාරය, භූදර්ශනයේ වෙනස්වීම් සඳහා සීමා පැනවුවහොත් ඇති වන තත්ත්ව හා ආරක්ෂිත වන මංකඩ සහිත තත්ත්ව වැනි සංසිද්ධි වෙයි. එ් අනුව හෙළි වී ඇත්තේ සැලසුම් සහිත සංවර්ධන කටයුතු හා වනමංකඩ මගින් සම්බන්ධ වූ ආරක්ෂිත ප‍්‍රදේශ තිබීම මේ සතුන්ගේ පැවැත්ම සඳහා වැදගත් වන බවයි.

(මූලාශ‍්‍රය: Biological Conservation, DOI: 10.1016/j.biocon.2017.12.022)

ඕසෝන් සිදුර යථා තත්ත්වයට පත්වීම පිළිබඳ පළමු ඍජු සාධකය

ජගත් පරිසර පුවත් 246 - 17.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 17.01.2018 (Vidusara)



වායුගෝලයේ පවත්නා ඕසෝන් වායුව විනාශ කිරීම සඳහා හේතු වන රසායන ද්‍රව්‍ය භාවිතව අවසන් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඕසෝන් ස්තරය යථා තත්ත්වයට පත් වීම පිළිබඳ පළමු ඍජු සාධකය ලැබුණු බව පසුගියදා වාර්තා විය. මේ අනුව ඕසෝන් ස්තරයට හානිකරන ක්ලෝරීන් සාන්ද්‍රණය අඩුවෙමින් ඇති බව ඕසෝන් සිදුර සම්බන්ධව මුල්වරට සිදුකරන ලද චන්ද්‍රිකා නිරීක්ෂණය මගින් පෙන්වාදී තිබෙයි.

එම අධ්‍යයනයේදී ලබාගෙන ඇති මිනුම්වලින් පෙනී ගොස් ඇත්තේ CFC හෙවත් ක්ලෝරෝෆ්ලෝරොකාබන් නිසා ආක්ටික් ශීත ඍතුවේ ඇති වන ඕසෝන් වායු විනාශය 2005 වර්ෂයේ පැවැති ප‍්‍රමාණයට වඩා මේ වන විට 20%ක් පමණ අඩු වී ඇති බවයි. ක්ලෝරීන් හා ඕසෝන් සම්බන්ධව එවැනි තත්ත්වයක් NASA ආයතනයේ චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙය වෙයි.
සංඛ්‍යාත්මකව ගතහොත්, ඇන්ටාක්ටිකාවේ පහළ වායුගෝලයේ 2004-2007 අතර කාලයේ පැවැති අකාබනික ක්ලෝරීන් සාන්ද්‍රණයට වඩා, 2013-2016 අතර කාලයේ පැවැති ක්ලෝරීන් සාන්ද්‍රණය ටි‍්‍රලියනයකට කොටස් 223කින් පමණ අඩුය. ක්ලෝරීන් අඩුවීම වර්ෂයකට ආසන්න වශයෙන් 0.8%ක් පමණය. මීට පෙර සිදුකර ඇති අධ්‍යයනවලින් ඕසෝන් විනාශය අඩුවන බව පෙන්වාදී ඇතත් ඕසෝන් සිදුරේ ඇති රසායන ද්‍රව්‍යවල සංයුතිය යොදා ගනිමින් ඕසෝන් විනාශය අඩුවන බව හා එය සිදුවන්නේ ක්‍ත්‍ක්‍ වායු සාන්ද්‍රණය අඩු වීම නිසා බව පෙන්වා දී ඇත්තේ පළමු වතාවට වීම මෙම අධ්‍යයනයේ ඇති විශේෂත්වයයි.
ඕසෝන් වායුව විනාශ වීම සඳහා හැලජනීකෘත වායු බලපාන බව අනාවරණය වීමෙන් හා ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර සොයාගැනීමෙන් පසුව එම තත්ත්වය වළක්වාලීම සඳහා වියානා සම්මුතිය ඇතිකරගන්නා ලදි. එ් යටතේ සම්මත කරගත් මොන්ටි‍්‍රයල් සන්ධානය අනුව ඕසෝන් ස්තරය විනාශවීමට හේතුවන රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සිදුවිය. එයට ලෝකයේ සියලූ රටවලින් සාර්ථක ප‍්‍රතිචාර ලැබුණු අතර මේ එහි සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා දුන් අවස්ථාවකි.

(මූලාශ‍්‍රය: Geophysical Research Letters, DOI: 10.1002/2017GL074830)

Monday, January 15, 2018

ලෝකයෙන් හතරෙන් පංගුවක් ශුෂ්ක වීමේ අවදානමක

ජගත් පරිසර පුවත් 245 - 10.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 10.01.2018 (Vidusara)



අනාගතයේදී ඇති වන උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2ක් තරම් වුවහොත් ලෝකයේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 24%-32% අතර ප‍්‍රදේශයක් සැලකිය යුතු තරම් වියළි වූ ශුෂ්ක ප‍්‍රදේශ බවට පත්වීමේ දැඩි අවදානමක් ඇති බව විiඥයන් පිරිසක් විසින් අනාවරණය කර ඇත.

අනාගත ශුෂ්කතාවය පිළිබඳව වඩාත් සවිස්තර අධ්‍යයනය යනුවෙන් හඳුන්වාදී ඇති මෙම අධ්‍යයනයේදී ඔවුන් එකිනෙකට වෙනස් වූ ගෝලීය දේශගුණ ආකෘති 27ක් යොදාගනිමින් පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක් හා අංශක 2කින් උෂ්ණත්වය ඉහළ යන විට සැලකිය යුතු තරම් වියළි වන කලාප හඳුනාගැනීම සිදු කර තිබේ.

එහි පෙන්වාදී ඇති ආකාරයට ලෝකයේ සැලකිය යුතු ප‍්‍රදේශ ගණනාවක නිය`ග තත්ත්වය ඉහළ යෑම හා ලැව්ගිනි තර්ජනය ඉහළ යෑම ඇති විය හැකිය. මේ වන විටත් වියළි ස්වභාවය ඉහළ ගොස් ඇති ප‍්‍රදේශ අතර, මධ්‍යධරණී කලාපය, දකුණු දිග අප‍්‍රිකානු කලාපය, ඔස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර වෙරළ ප‍්‍රදේශය දැක්විය හැකිය. එසේම මෙක්සිකෝවේ, බ‍්‍රසීලයේ, දකුණුදිග අප‍්‍රිකාවේ හා ඔස්ටේ‍්‍රලියාවේ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශ මේ වන විටද කාන්තාර බවට පත්වීමට පටන්ගෙන තිබෙයි.

මෙම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇති තවත් වැදගත් කරුණක් වන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ නවත්වා ගත හැකි නම් ඉහත කී බලපෑමට ලක්විය හැකි ප‍්‍රදේශ අතරින් තුනෙන් දෙකක පමණ එවැනි ආන්තික වෙනස් වීම් සිදුවීම වළක්වා ගත හැකි බවයි. මේ කලාපය ලෝකයේ මුළු ජනගහනයෙන් 20%ක් පමණ පිරිසක් ජීවත් වන ප‍්‍රදේශ වන බැවින් මෙය ඉතා වැදගත් කරුණකි.

කෙසේ වෙතත්, මේ වන විට ඇතිවෙමින් තිබෙන උෂ්ණත්ව වර්ධනය පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 හෝ අංශක 2 සීමාවකට සීමා කළ හැකි වේද යන්න අද පවත්නා තත්ත්වය අනුව නම් ගැටලූවකි.

(මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/s41558-017-0034-4)

කොරල්පර විරංජනය වීම් අතර කාල පරතරය අඩු වේ

ජගත් පරිසර පුවත් 245 - 10.01.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 3, 10.01.2018 (Vidusara)



කොරල්පර විරංජනය වීම් දෙකක් අතර කාල පරතරයේ සාමාන්‍ය අගය මෑත කාලයේදී විශාල වශයෙන් අඩු වී ඇති බව පර්යේෂණයකින් පෙන්වාදී තිබෙයි. මෙසේ අඩු කාලපරතරයකදී කොරල්පර විරංජනය වීම් නැවත නැවත සිදුවීම කොරල්පරවලට දැඩි තර්ජනයකි.

ලෝකය පුරා කොරල්පර 100ක 1980 සිට 2016 දක්වා කාලයේදී සිදු වු විරංජන සිදුවීම් පිළිබඳව සිදුකරන ලද මෙම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති ආකාරයට 1980 දශකයේ මුල් කාලයේදී කොරල්පර විරංජනය වීමක් සිදුව ඇත්තේ සාමාන්‍යයෙන් වසර 25-30 අතර කාලයකට වරකි. එහෙත් අද වන විට වසර හයකට පමණ වරක් විරංජනයක් ඇති වන තත්ත්වයක් ඇති වී තිබෙයි. මෙය පවත්නා තත්ත්වයේ භයානක ස්වභාවය පෙන්වා දෙන්නකි.

මේ ආකාරයෙන් කොරල්පර විරංජනය වීම සිදුවන්නේ උණුසුම් ජලධාරා හේතුවෙනි. එවිට කොරල්වලට වර්ණ ලබාදෙන සහජීවී ඇල්ගා විශේෂ කොරල්වලින් ඉවත්වීම නිසා කොරල්පරයේ වර්ණය අහිමි වෙයි. කෙටි කාලයක් ඇතුළත තත්ත්වය ආපසු යථා තත්ත්වයට පත් නොවුවහොත්, මෙය කොරල්පරය මියයෑමට පවා හේතු විය හැකිය. ඇතැම් විට පරය යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් පමණ කාලයක් වුවද ගත වීමට හැකිය. එසේ නොවුවහොත් පරය විනාශ වෙයි.

මේ ආකාරයෙන් විරංජන සිදුවීම් ඇති වීමේ කාල පරතරය අඩු වීම හෙවත් විරංජන සිදුවීම් නිතර ඇති වීම දේශගුණ ආකෘති මගින් පෙන්වාදී ඇති තත්ත්ව සමඟ මනාව ගැලපෙන්නකි. දේශගුණ ආකෘති මගින් පුරෝකථනය කර ඇති ආකාරයට මෙම ශත වර්ෂය මැද භාගය පමණ වන විට කොරල්පර මේ ආකාරයෙන් තාප ආතතියකට ලක්වීම වාර්ෂිකව ඇති විය හැකි සිදුවීමකි. සාගර පරිසර පද්ධතියෙන් 0.1%ක් තරම් කුඩා ප‍්‍රදේශයක පැතිර ඇති වුවද, සාගර ජෛව විවිධත්වයෙන් තුනෙන් එකක් පමණ දැකිය හැකි වන කොරල්පර විනාශයට පත්වීම ඒවායින් ලැබෙන පරිසර පද්ධති සේවා රැුසක් අහිමි වීමට හේතුවක් වෙයි.

(මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aan8048)

Monday, January 8, 2018

බඹර ගහන අඩුවීමට දිලීරනාශකත් බලපායි

ජගත් පරිසර පුවත් 244 - 03.01.2018

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.01.2018 (Vidusara)


බඹර මැස්සන්ගේ ගහන අඩු වීමට සඳහා සුලභ දිලීරනාශක හේතු වන බව ඇමරිකාවේ සිදුකරන ලද අධ්‍යයනයක් මගින් හෙළි කර තිබෙයි. එහිදී අවධානය යොමු කර ඇත්තේ බඹර මැස්සන්ට (bumble bee) බලපාන සාධක පිළිබඳවය. ඇමරිකාවේ ප‍්‍රාන්ත 40ක් ස්ථාන 284ක බඹර ගහන අඩු වීම පැහැදිලි කිරීම සඳහා බලපාන සාධක 24ක් සම්බන්ධව මෙම අධ්‍යයනය සිදුකර ඇත. මේ අනුව බඹර මැස්සන්ගේ ගහනවල අඩු වීම සඳහා බලපාන ප‍්‍රබලතම සාධක ලෙස හඳුනාගෙන ඇත්තේ දිලීරනාශක භාවිතයයි. ඒ අතරින් ක්ලෝරොතැලොනිල් නම් ඇමරිකාවේ වඩාත් සුලභව භාවිත වන දිලීරනාශකය නොසීමා නම් පරපෝෂිතයාගේ බලපෑම ඉහළ යෑම සඳහා හේතු වී ඇති බව දැක්වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ දිලීරනාශක වැනි කෘමීන් ඉලක්ක කර නොගන්නා රසායන ද්‍රව්‍යයක් මගින්ද මෙවැනි බලපෑමක් ඇති වී තිබෙන බැවිනි. ඒවා යොදාගනු ලබන්නේ පුස් හා දිලීර වැනි පළිබෝධයනට එරෙහිවය. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇති ආකාරයට එමගින් කෘමීන්ටද බරපතළ හානියක් සිදුවන බවකි. එයට හේතු පිළිබඳව මේ වන විට තවදුරටත් අධ්‍යයනය කරන අතර, නොසීමා (Nosema bombi) නම් පරපෝෂිතයාට වඩා ගොදුරුවීමට ඇති අවස්ථා ඉහළ යෑම හා අනෙක් පළිබෝධනාශකවල ඇති විෂ සහිත ස්වභාවය ඉහළ නැංවීම බව මේ අතර ඇති බව විශ්වාස කරනු ලැබෙයි.

නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක මගින් මී මැස්සන් හා බඹර මැස්සන් වැනි පරාගණකාරකයින්ට බරපතළ හානියක් ඇති කරන බව මේ වන විට තහවුරු වී ඇත. එසේම, වාසස්ථාන විනාශය, රෝග හා දේශගුණ වෙනස් වීමද මෙම කෘමීන්ගේ ගහන අඩු වීම සඳහා බලපා තිබෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ, දිලීරනාශකවල බලපෑමද එයට එක්වීම මෙම මී මැසි බඹර ගහනවල පැවැත්ම තවදුරටත් අවදානමක පත් කරයි. මෙය වැදගත් වන්නේ මෙම කෘමීන් භෝග පරාගනයේදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන ජීවීන් කාණ්ඩයක් වන බැවිනි.

මූලාශ‍්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2017.2181

දේශගුණ වෙනස් වීම නිසා යුරෝපයට අනාගතයේ වාර්තාගත සංක‍්‍රමණිකයන් පිරිසක්

ජගත් පරිසර පුවත් 244 - 03.01.2018


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.01.2018 (Vidusara)


දේශගුණ වෙනස් වීම පිළිබඳව අද දැකිය හැකි ප‍්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත් යුරෝපයේ සරණාගත තත්ත්වය අපේක්ෂා කරන සංක‍්‍රමණිකයන් ගණන වේගයෙන් ඉහළ යා හැකි බව අධයයනයකින් පෙන්වාදී ඇත. දේශගුණ සාධක පමණක් සැලකුවද මේ සියවස අවසන් වන විට යුරෝපයට එක් වර්ෂයකදී සරණාගතයන් ලෙස පැමිණෙන සංක‍්‍රමණිකයන් ගණන මිලියනයක් පමණ විය හැකි බව එම අධ්‍යයනයෙහි දැක්වේ. එය අද පැමිණෙන සරණාගතයන් ගණන මෙන් තුන්ගුණයක් පමණ වේ. එ් වෙනත් දේශපාලන හා ආර්ථික වැනි සාධකවල බලපෑමක් නොමැති යැයි සැලකුවහොත්ය.

වෙනත් රටවල් 103ක පමණ සිට යුරෝපා සංගමයේ රටවලට 2000 සිට 2014 වර්ෂය දක්වා කාලයේදී සංක‍්‍රමණය වූ පිරිස් විසින් ඉදිරිපත් කරන ලද සරණාගත අයඳුම්පත් මෙහිදී අවධානයට යොමු වී ඇත. මේ කාලයේදී වාර්ෂිකව ඉදිරිපත් වූ සරණාගත අයඳුම්පත් ප‍්‍රමාණය සාමාන්‍යයෙන් 351,000ක් තරම් විය. මේ අයඳුම්පත්වල ඇතුළත් උෂ්ණත්වය හා කාලගුණය වැනි පාරිසරික සාධක පිළිබඳ තොරතුරු සංසන්දනය කිරීමෙන් කාලගුණය හා සරණාගත අයඳුම්පත් ප‍්‍රමාණය අතර සම්බන්ධතාවයක් අනාවරණය කරගැනීමට පර්යේෂකයෝ සමත්වූහ. නිදසුනක් ලෙස ගතහොත්, වගා සමයේ උෂ්ණත්වය අංශක 20 ඉක්මවූ කාලවලදී එවැනි රටවලින් වෙනත් රටවලට ජනතාව සංක‍්‍රමණය වීම ඉහළ ගොස් ඇත. එසේම අධික උෂ්ණත්වයක් පැවති කාලවලදී එවැනි රටවලින් ලැබෙන අයඳුම්පත් ප‍්‍රමාණයද ඉහළ ගොස් ඇත.

මෙසේ හෙළි වූ කරුණු මත පදනම්ව ගොඩ නැගූ ආකෘතියෙන් පෙන්වාදී ඇත්තේ දේශගුණ වෙනස් වීම පාලනය සඳහා සාර්ථක පියවරක් නොගතහොත් එ් නිසාම යුරෝපයට පැමිණිය හැකි සරණාගතයන්ගේ ගණනය. එ් අනුව, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.6-4.8 අතර උෂ්ණත්ව වර්ධනයක් ඇති වෙතැයි අපේක්ෂිත 2100 වර්ෂය වන විට තවත් 660,000ක් පමණ අතිරේක සරණාගත පිරිසක් වාර්ෂිකව යුරෝපයට පැමිණිය හැකිය. එය 188%ක වර්ධනයකි. එමෙන්ම දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට ගන්නා පියවර සාර්ථක වුවද මෙම සංක‍්‍රමණිකයන්ගේ ගණන අවම වශයෙන් 98,000කින් හෙවත් 28%කින් පමණ ඉහළ යා හැකිය.

මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aao0432