Wednesday, April 3, 2024

ඉහළ යන උෂ්ණත්වයෙන් භෝගවලට බලපෑම්

ජගත් පරිසර පුවත් 512
ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-04-03, පි. 2


උෂ්ණත්වය ඉහළ යෑම ඇතුළුව දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් පිළිබඳව පුවත් වරින්වර අසන්නට ලැබේ. පසුගිය සති කිහිපයේ දී එවැනි පුවත් කීපයක් පළ වී තිබිණි. ඒ කෙසෙල් හා කොකෝවා අස්වනු අඩුවීම නිසා ඒවායේ මිල ඉහළ යෑම සම්බන්ධවය. මේ සඳහා බලපා ඇති සාධකය වන්නේ උෂ්ණත්වය ඉහළ යෑම වන අතර, එය මිනිසු ක්‍රියාකරකම් නිසා ඇති වූ බවට ඇති සාධක ඉතා පැහැදිලිය.

කෙසෙල් පිළිබඳ විශේෂඥයෙකු වන පැස්කාල් ලියු පවසා ඇති ආකාරයට උෂ්ණත්වය ඉහළ යෑම සමඟ ඇති වන බලපෑම් නිසා කෙසෙල් සැපයුම අඩු වී මිල ඉහළ යනු ඇති බවයි. ඉහළ උෂ්ණත්වයක් ඇති විට වේගයෙන් පැතිරෙන රෝග නිසා මේ තත්ත්වය ඇති විය හැකිය. දිලීර රෝග වැනි රෝග මෙහි දී ප්‍රධානය.  මීට අමතරව පසුගිය දා වාර්තා වූ ආකාරයට මුහුදේ ඇතිවන කුණාටු වැනි තත්ත්ව නිසා සැපයුම් පමා විය හැකිය.  

කොකෝවා වගාවට උෂ්ණත්වය නිසා ඇති විය හැකි බලපෑම් නිසා සැපයුම අඩුවී, ඒවායේ මිල හා ඒවා මගින් සිදුකරන නිෂ්පාදනවල මිල ඉහළ යා හැකිය. මෑත අප්‍රිකානු රටවල ඇති වූ ආර්ද්‍ර තාප ප්‍රවාහයක් නිසා කොකෝවා වගාවේ අස්වැන්න අඩු වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොකෝවා භාවිත කරන ඇතැම් නිෂ්පාදනවල මිල ඉහළ ගොස් තිබේ. නිවර්තන කලාපයේ සීමිත ප්‍රදේශයක පමණක් වැවෙන කොකෝවා වැඩි නිෂ්පාදනයක් සිදුවන්නේ අප්‍රිකානු රටවලය. ඒසේම මේ ශාක උෂ්ණත්වයේ ඇති වන වෙනස්කම්වලට සංවේදී ය.

වවුලන් වඳවුවහොත් මිනිසුන්ටත් අහිමි වන දේ

ජගත් පරිසර පුවත් 512 

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2024-04-03, පි. 2

වවුලන්ගේ පවැත්ම තර්ජනයට ලක්ව ඇති තත්ත්වයක් යටතේ මිනිසුන්ට ඇතැම් ආහාර භෝග අහිමි වීමේ අවදානමක් ඇති බව පසුගියදා පළ වූ ලිපියකින් පෙන්වා දී තිබිණි. ඇතැම් ආහාරමය භෝග තවදුරටතච් සුලබ නෙවීමට මෙන්ම සමහර භෝග අහිමි වීමට පවා අවස්ථාවක් තිබේ.

වවුලන් යනු පරිසරයේ සුවිශේෂ කාර්යයක් සිදුකරන සත්ත්ව කාණ්ඩයකි. ඒ නිසා ඔවුන් මිනිසුන්ගේ ආහාර පද්ධතියේ ද සුවිශේෂ කාර්යයක් සිදුකරයි. ඒ කාර්යයන් කීපයක් මගිනි. ඉන් එකක් වන්නේ භෝගවලට හානි කළ හැකි කෘමීන් ගොදුරු කරගැනීමනේ ඒ කෘමි ගහන පාලනය කිරීමයි. තවත් වවුලන් භෝග වර්ග ගණනාවක් පරාගණය කරයි. කෙසෙල්, පොල්, අලිගැටපේර ආදිය මේ අතර වේ. එක් හන විශේෂයක පරිගණය සඳහාම හැඩගැසී ඇති වවුලන් ද දැකිය හැකි. එසේම ඇතැම් වවුල් විශේෂ බීජ හා ඵල ප්‍රචාරණයේ දී වැදගත් කාර්යයක් සිදුකරයි. විශේෂයෙන් අඹ, කජු, ආමන්ඩ් වැනි ඇතැම් විට වගාවෙන් පිටත ඇති ශාකවලට මෙය වැදගත්ය.

කෙසේ වෙතත් වවුලන්ගේ මේ වටිනාකම අවධානයට ලක්ව ඇත්තේ අඩුවෙන් වන අතර ඒ සඳහා විවිධ හේතු බලපා ඇත. ඒ අතර සංස්කෘතික කරුනු මෙන්ම මේ සතුන් නිශාචර වීම ද හේතුවකි. කෙසේ වෙතත් මේ අතරම විවිධ හේතු නිසා වවුල් ගහන අනතුරුදායක තත්ත්වයක පසුවෙති. මේ අතර වාසස්ථාන විනාශ වීම, රෝග ව්‍යාප්තිය මෙන්ම දේශගුණ වෙනස් වීමේ බලපෑම් ද හේතු වී තිබේ. මේ නිසා වැඩි අවධානයක් අවශ්‍ය බව මේ පිළිබඳ අවධානය යොමු කර ඇති පිරිසගේ මතය වේ.

Tuesday, March 19, 2024

යුරෝපයේ වායු දූෂණය අඩුවෙලා

ජගත් පරිසර පුවත් 511

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-03-20, පි. 2

ගත වූ වසර 20ක පමණ කාලය තුළ යුරෝපයේ වායු දූෂණයේ අඩු වීමක් දැකිය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඒ අනුව වාතයේ ගුණාත්මක තත්ත්වයේ ඉහළ යෑමක් දැකිය හැකිය. යුරෝපයේ රටවල් 35ක කලාප 1426ක පමණ ප්‍රමාණයක 2003 හා 2019 අතර කාලයේ පැවති වායු දූෂණ මට්ටම පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් මේ අධ්‍යයනය සිදු කර තිබේ. ඒ ප්‍රදේශයේ වාසය කරන ජනගහනය මිලියන 543ක් පමණ වේ.

මෙහි දී අවධානය යොමුව ඇත්තේ PM10 හා PM2.5 යන අංශුමය ද්‍රව්‍ය කාණ්ඩ දෙක, නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා ඕසෝන් වායුව පිළිබඳවය. මේ අනුව PM10 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය වර්ෂයකට 2.72%ක ප්‍රමාණයකින් ද, PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය වර්ෂයකට 1.72%ක ප්‍රමාණයකින් ද, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 2.45%ක ප්‍රමාණයකින් ද වාර්ෂිකව අඩු වී තිබේ. ඕසෝන් සාන්ද්‍රණය දකුණු දිග යුරෝපයේ පමණක් 0.58%කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි යුරෝපා වැසියන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වායු දුෂක සාන්ද්‍රණය අහිතකර යැයි පවසන මට්ටමට වඩා ඉහළ මට්ටමකින් ඇති ප්‍රදේශවලය. නිදසුනක් ලෙස ගතහොත්, ජනගහනයෙන් 98.1%ක් පමණ වාසය කරන්නේ PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය ඉහළ ප්‍රදේශවලය. PM10 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍යවල අහිතකර සාන්ද්‍රණයක් ඇති ප්‍රදේශවල ජනගහනයෙන් 80.15%ක් වාසය කරති. නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම ගතහොත්  එවැනි ප්‍රදේශවල වාසය කරන පිරිසේ ප්‍රමාණය 86.34%කි.

මූලාශ්‍රය - Nature Communications, DOI: 10.1038/s41467-024-46103-3
සබැඳිය - https://www.nature.com/articles/s41467-024-46103-3

උණුසුම වැඩිම පෙබරවාරි මාසය!

ජගත් පරිසර පුවත් 511

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-03-20, පි. 2

ගත වූ පෙබරවාරි මාසය ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති උණුසුම ඉහළම පෙබරවාරි මාසය බව යුරෝපයේ කොපර්නිකස් දේශගුණ වෙනස්වීම සේවය සඳහන් කරයි. ඒ මාසයේ දී ලෝකයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය පුර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.77ක් ඉහළය. එසේම, එය මීට පෙර පෙබරවාරි මාසයක පැවති සාමාන්‍ය උෂ්ණත්වය වූ 2016 වර්ෂයේ දී වාර්තා වු අගයට වඩා අංශක 0.12ක් ඉහළය.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ 2023 ජුනි මාසයේ සිට මේ දල්වා ගත වි ඇති මාස සියල්ලේ දීම ඒ මාසවලට අදාළ උෂ්ණත්වය පිළිබඳ වාර්තා අලුත් වී තිබීමයි. එසේම අඛණ්ඩව මාස දොළහක කාලයක් තුළ පැවති සාමාන්‍ය උෂ්ණත්වය පෙබරවාරි මාසයේ සෙල්සියස් අංශක 1.56ක් පමණ විය. මේ තත්ත්වය මුලින්ම වාර්තා වූයේ ගත වූ ජනවාරි මාසයේ දීය. එසේම ලෝකයේ දෛනික සාමාන්‍ය සාගර උෂ්ණත්වයේ ඉහළම අගය වාර්තා වී ඇතිතේ පෙබරවාරි 28 වන දාය. එය අංශක 21.09ක් වන අතර මීට පෙර වාර්තා වූ අගයට වඩා අංශක 0.07කින් අධිකය.

පෙබරවාරි මාසයේ පැවති මේ උණුසුම් තත්ත්වය ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. බටහිර ඔස්ට්‍රේ‍ලියාව, අග්නිදිග ආසියාව, දකුණු දිග අප්‍රිකාව හා දකුනු ඇමරිකානු කලාපට මේ තත්ත්වය වඩාත් බලපා ඇත. මේ කාලය දක්ෂිණාර්ධ‌ගෝලයේ උණුසුම් සමයයි.

විද්‍යාඥයන් විසින් මේ වන විට පැහැදිලි කර ඇති පරිදි මැත වර්ෂයක පමණ කාලයේ පවත්නා මේ තත්ත්වය සඳහා හේතුව මිනිසුන් විසින් ඇති කරන ලද දේශගුණ වෙනස් වීම වන අතර, එය මේ වර්ෂයේ දී උග්‍ර කිරීම සඳහා හේතු වී ඇත්තේ පවත්නා එල් නිනෝ තත්ත්වයයි.

Wednesday, March 6, 2024

මේ වර්ෂයත් උණුසුම් වාර්තා තබන ලකුණු?

ජගත් පරිසර පුවත් 510

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-03-06, පි. 2

දේශගුණ වෙනස් වීම නිසා ඇති වන උෂ්ණත්ව ඉහළ යෑම මෙන්ම මේ වන විට පවත්නා එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මේ වර්ෂයේ ජුනි මාසය දක්වා වූ කාලයේ දී ලෝකයේ වාර්තාගත උෂ්ණත්ව තත්ත්ව ඇති වනු  ඇතැයි දේශගුණ ආකෘතියකින් පෙන්වා දී තිබේ. ඒ අනුව ලෝකයේ වාර්තාගත උෂ්ණත්වයක් ඇති වීමට ඇති අවස්ථාව 90%ක් පමණ ඉහළය.

ඒ අනුව, කැරිබියානු කලාපය, බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශය (ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ ඇතුළත්ව), දකුණු චීන මුහුද ආශ්‍රිත ප්‍රදේශය (පිලිපීනය ඇතුළ) හා ඇලස්කාවේ සමහර ප්‍රදේශවල උණුසුමින් ඉහළම මාස දොලහක කාලය මේ වර්ෂය තුළ දී ඇති විය හැකි බව දැක්වේ. ඇමසන් කලාපයේ ද වර්තාගත අධික උෂ්ණත්වයක් මේ වර්ෂයේ දී ඇති විය හැකිය. මේ නිසා තත්ත්වය හේතුවෙන් අවදානම් ආන්තික තත්ත්ව ඇති වීමේ අවස්ථා පවත්නා බව විද්‍යාඥයන්ගේ අදහස වේ.‍ මේ අතර අධික උෂ්ණ තත්ත්ව තාප ප්‍රවාහ මෙන්ම, ලැව් ගිනි ආදිය වේ. ස්වාභාවිකව ඇති වන තත්ත්වයක් වන එල් නිනෝ තත්ත්වය, ලබන ජුනි මාසයෙන් පසුව දුර්වල වනු ඇතැයි අපේක්ෂිතය.

පසුගිය සති කිහිපයක කාලය ඇතුළත ලෝකයේ ප්‍රදේශ ගණනාවකින් උණුසුම පිළිබඳ හා ලැව් ගිනි පිළිබඳ වාර්තා වේ. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ ඒ ප්‍රාන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති විශාලතම ලැව් ගින්න බව සඳහන්ය. පසුගිය සති අන්තය වන විට එය පාලනය කර නොතිබිණි. එසේම ලෝකයේ ජෛව විවිධත්වය සම්බන්ධව වැදගත් රටක් වන කොලොම්බියාව මේ වර්ෂයේ මුල සිට ඇති වී තිබෙන ලැව් ගිනි ගණන 500ක් පමණ වේ.

බංගලාදේශය අලින් ඇල්ලීම තහනම් කරයි

ජගත් පරිසර පුවත් 510

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-03-06, පි. 2


එරට තුළ දැඩි ලෙස වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති අලින් ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගැනීම තහනම් කරමින් බංගලාදේශයේ අධිකරණයක් නියෝගයක් නිකුත් කර ඇත. මේ අනුව අලින් අල්ලාගෙන හීලෑ කිරීම සඳහා‌ නිකුත් කර ඇති බලපත්‍ර නිකුත් කිරීම තහනම් වේ. අලින් ඇල්ලීම සඳහා බලපත් නිකුත් කර ඇත්තේ දැව හෙලීම සඳහා අලින් යොදැගැනීම සඳහා වුවත් ඒ අතරින් ඇතැම් සතුන් සර්කස් සඳහා මෙන්ම සිඟාකෑම සඳහා ද‌ යොදාගැනීම සිදුව තිබේ. මෙවැනි කටයුතු සඳහා අලින් යොදාගැනීම අදාළ බලපත් නිකුත් කරන ලද හේතුව උල්ලංඝනය කිරීමක් බව අධිකරණය තීරණය කර ඇත.

බංගලාදේශයේ ජීවත්වන අලින්ගේ ගණන 200ක් පමණ වන බව සැලකෙන අතර, ඉන් අඩක් පමණ හීලෑ කරන ලද අලින් වේ. එරට අතීතයේ අලින් සුලභ වූ රටක් වුවද, අධික ලෙස දඩයම් කිරීම සහ අලිඇතුන් වාසය කරනව වාසස්ථාන විනාශ වීම නිසා මේ වන විට අලි ගහනය විශාල ලෙසින් අඩු වී තිබේ.

අධිකරණ දුන් තීරණය එරට සත්ත්ව හිමිකම් සංවිධාන මෙන්ම, පරිසර ක්‍රියාකාරීන්ගේ ද ප්‍රශංසාවට ලක්ව ඇත. විශේෂයෙන්, ඇතැම් කටයුතු සඳහා අලින් යොදාගැනීමේ දී මෙන්ම, අල්ලා ගන්නා ලද අලින් පුහුණු කිරීමේ දී කෘර වදහිංසා ආදියට ලක්කරනු ලැබීම මේ කණ්ඩායම්වල විරෝධයට හේතු වී තිබේ.

Tuesday, February 20, 2024

පර්යටනය කරන ජීවීන් වඳවීමේ ඉහළ තර්ජනයක

ජගත් පරිසර පුවත් 509

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-21, පි. 2


වැඩි අවදානමකට ලක්ව ඇති පර්යටනය කරන ජීවී විශේෂ මුහුණ දී ඇති වඳවීමේ තර්ජනය ඉහළ යමින් ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි. ඒ බව හෙළි වී ඇත්තේ පර්යටන කරන ජීවී විශේෂ පිළිබඳව මුල්වරට සිදුකරන ලද අගැයීම් වාර්තාවකිනි.

මේ වාර්තාවේ දී පර්යටන විශේෂ සංරක්ෂණය සඳහා වන සම්මුතිය (CMS) යටතේ ආරක්ෂිත ලෙස ලේඛනගත කර ඇති විශේෂ 1,189ක් අතරින් පහෙන් එකක් පමණම වඳවීමේ තර්ජනකට ලක් ව සිටී. මුළු විශෙ ්ෂ ගණනින් 44%ක් පමණ ගහනවල අඩුවීමක් දැකිය හැකිය. ඇතැම් ජීවී කාණ්ඩවල සතුන්ට ඇති තර්ජනය වඩාත් බරපතළය. නිදසුනක් ලෙස සම්මුතියේ ලේඛනගතව ඇති මත්ස්‍ය විශේෂ අතරින් 97%ක් පමණ ප්‍රමාණයක්  වඳවීමේ තර්ජනයකට ලක්ව ඇත.

පර්යටනය සිදුකරන සතුන් ලෝකයේ පරිසර පද්ධති සම්බන්ධව වැදගත් පාරිසරික කාර්යයක් ඉටුකරයි. ඇතැම්විට ඒ පිළිබඳව ඇති අවබෝධය අඩුය. කෙසේ වෙතත් මේ සතුන් ආහාර, විනෝද ක්‍රීඩා හා නීතිවිරෝධී වෙළඳාම වැනි විවිධ හේතු සඳහාත් සිදුකරන දඩයම නිසා සහ වාසස්ථාන හායනයට ලක් නිසා මේ වන විට වඳවීමේ අවදානමක පසුවෙයි. එසේම, ඒ තත්ත්වය වැළැක්වීම සඳහා ගත යුතු වන නිර්දේශ කීපයක් ද මේ වාර්තාවේ ඇතුළත් වේ. ඒ නිර්දේශ අතර, පර්යටන සතුන්ගේ ගමන්මාර්ග ඔස්සේ වැඩි ඇති ජෛව විවිධත්ව ආරක්ෂක ප්‍රදේශ ඇති කිරීම, පර්යටන ගමන් මාර්ත අතර ඇති බලපෑමක් ඇති ඉදිකිරීම් (වේලි ආදි) ඉවත් කිරීම වේ. එසේම ආරක්ෂිත මංකඩ ඇති කිරීම හා හායනයට ලක්ව ඇති පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය ද වැදගත් නිර්දේශ වේ.

මූලාශ්‍රය - State of the World’s Migratory Species, www.cms.int)

https://www.cms.int/en/publication/state-worlds-migratory-species