Tuesday, January 24, 2023

තාපය නිසා වනජීවීන්ට ඇතිවන තර්ජනය උෂ්ණත්වය අනුව වෙනස් වන ආකරය

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2

අනාගතයේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය තීරණය වන්නේ මිනිසුන් විසින් නිකුත් කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අනුවය. මේ උෂ්ණත්වය අනුව, මේ ශතවර්ෂය අවසානයේ දී භෞමික වනජීවීන්ට ඇති වන තාප තර්ජනය වෙනස් වන ආකාරය පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. භෞමික පෘෂ්ටවංශී විශේෂ 33,000කට අධික ප්‍රමාණයකට ආන්තික තාප තත්ත්ව යටතේ ඇති වියහැකි බලපෑම සිතියම්ගත කර ඇති මේ අධ්‍යයනයේ දී 1959-2099 කාලය තුළ පැවති හා ඇති විය හැකි උෂ්ණත්ව පිළිබඳ සලකා බලා තිබේ.  

ඒ අනුව ඉහළ විමෝචන තත්ත්ව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.4කින් පමණ දක්වා වැඩි විය හැකි අතර ඒ උෂෟණත්වය හමුවේ භෞමික වනජීවීන් අතරින් 41%ක් පමණ අධික ප්‍රමාණයක් ආන්තික තාප තත්ත්වවලින් තර්ජනයට ලක් විය හැකිය. මේ අධ්‍යයනයේ දී අවධානයට යොමු වූ උභයජීවින් අතරින් 55%ක්, උරගයින් අතරින් 51%ක්, ක්ෂීරපායින් අතරින් 31%ක් හා පක්ෂීන් අතරින් 26%ක් තාප අවදානමට ලක් විය හැකිය. ඉහත කී විමෝචන මට්ටමට වඩා අඩු තත්ත්වයක් යටතේ අංශක 3.6කික් උෂ්ණත්වය ඉහළ ගියහොත් ජීවීන් අතරින් 28.8%ක් ද, අංශක 2.7කින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියහොත් ජීවීන්ගෙන් 15.1%ක් ද එවැනි ආන්තික තාප සිදුවීම්වලට නිරාවරණය විය හැකිය. වඩාත් අඩු විමෝචන තත්ත්වයක් යටතේ ඇති විය හැකි උණ්ණත්වය වන අංශක 1.8ක තත්ත්වය හමුවේ මේ තාප අවදානමට ලක්වන ජීවීන් ප්‍රමාණය 6.1%ක් තරම් අඩුය. 

එමේ අනුව ලෝකයේ ජෛව විවිධත්වයට ආරක්ෂා කිරීම සඳහා උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සීමා කිරීම වැදගත් බව පැහැදිලිය. මේ බලපෑමට ලක්වීම ඒ ඒ සත්ත්ව කාණ්ඩය අනුව මෙන්ම ප්‍රදේශය අනුව ද වෙනස් වේ. ඇතැම් අධික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල වාසය කරන වනජීවීන් අතරින් 100%ක් පමණ මේ ආන්තික තාප තත්ත්වවලට ලක් විය හැකිය.

Nature, DOI: 10.1038/s41586-022-05606-z

සබැඳිය - https://www.nature.com/articles/s41586-022-05606-z

සාගර උෂ්ණත්වය සිවුවැනි වර්ෂයටත් වාර්තාගත අගයක

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2



ලෝකයේ සාගර උෂ්ණත්වය 2022 වර්ෂයේ දී අඛණ්ඩව සිව්වැනි වර්ෂයටත් වැඩිම අගය බවට පත් වී තිබේ. ඒ ඒ වර්ෂයට පෙර වර්ෂයේ දී පැවති උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් 2019, 2020 හා 2021 වර්ෂවල නව වාර්තා ඇති වූ අතර, මේ වැඩිම උෂ්ණත්ව වාර්තාව යළිත් 2022 දී අලුත් වී තිබේ. එසේම මේ දක්වා වාර්තා වී ඇති ඉහළම සාගර උෂ්ණත්ව හයම ඇති වී ඇත්තේ පසුගිය වර්ෂ හය වේ.

මේ තත්ත්වය ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ පැහැදිලි සාධක වේ. ලෝකයේ ඇති වන තාපයෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරනු ලබන්නේ සාගර ජලය මගිනි. හරිතාගාර වායු විමෝචන ඉහළ යෑම නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ සාගරයේ උෂ්ණත්වය ද ඉහළ යයි. සාගර උෂ්ණත්වය 1958 වර්ෂයේ සිට ගත වූ සෑම දශකයක දී ම, ඊට පෙර දශකයට වඩා ඉහළ විය. එසේම එසේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය හෙවත් සීග්‍රතාවය ද ඉහළ ගොස් තිබේ.

සාගරයේ උෂ්ණත්වය මෙසේ ඉහළ යෑම මුහුදු මට්ටම ඉහළ යෑමට, ස්වාභාවික ආපදා ඉහළ යෑමට මෙන්ම සාගරයේ ජීවීන්ට හා තවත් බොහෝ තත්ත්ව සඳහා හේතු විය හැකිය.

ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති වර්ෂ අතර පස්වැනි තැන හිමිවන්නේ 2022 වර්ෂයට බව වර්ෂයට බව මුල දී ප්‍රකාශයට පත්ව තිබිණි.

Advances in Atmospheric Sciences, DOI: 10.1007/s00376-023-2385-2

සබැඳිය - https://link.springer.com/article/10.1007/s00376-023-2385-2

තැන්පතු ආපසු දීම මගින් පරිසර දුෂණය අඩු කිරීමේ උත්සාහයක්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2



පාන වර්ග අසුරා ඇති ප්ලාස්ටික් හා ලෝහමය බෝතල් හා කෑන් භාවිතයෙන් පසු ආපසු බාරදීමේ දී ඒවා ලබාගැනීමේ දී තැන්පත් කරන මුදලක් ආපසු දීමේ ක්‍රමයක් බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත තුනක් හඳුන්වා දීමට යයි. සැරසේ. ‘තැන්පතුව ආපසුදීමේ යෝජනාක්‍රමය’ (deposit return scheme) ලෙස නම්කර ඇති මේ ක්‍රමවේදයේ දී ප්‍රති-අලෙවි යන්ත්‍ර (reverse vending machine) නමින් හඳුන්වන ස්වයංක්‍රීය යන්ත්‍රවලට අදාළ බෝතල් හා කෑන් ඇතුළු කිරීමෙන් තැන්පතු මුදල් ලබාගත හැකිය. මේ මගින් අපද්‍රව්‍ය ලෙස ඉවත දමන ප්ලාස්ටික් හා ලෝහමය බඳුන් ප්‍රතිච්‍රකීකරණය කෙරෙන ප්‍රමාණය 85%ක් පමණ දක්වා ඉහළ නංවා ගත හැකි යැයි අපේක්ෂා කෙරේ. මේ යෝජනාක්‍රමය ඒ සඳහා පහසු හා සරළ ක්‍රමයක් සේ සැලකේ.

මේ පිළිබඳ මුලින්ම ප්‍රකාශයට පත්ව දැන් වර්ෂ පහක් ගත වී ඇත. පසුගිය සතියේ දී ඒ පිළිබඳ රජයේ එකඟතාව ලැබී ඇති අතර, ඒ අන 2025 වර්ෂයේ දී පමණ ක්‍රියාත්මක වනු ඇතැයි පෙන්වා දී තිබේ. මේ යෝජනාක්‍රමය සඳහා මුලින් වීදුරු බඳුන් ද ඇතුළත් කිරීමට සැලසුම් කරන ලද නමුත් අවසානයේ දී වීදුරු බඳුන් මීට ඇතුළත් කර නොමැත. එය අහිමි වූ අවස්ථාවක් ලෙස සලකා ඇති පාරිසරික අංශ ඒ පිළිබඳව සිය නොසතුට ප්‍රකාශ කර තිබේ.

Wednesday, January 11, 2023

සියවස අවසානයේ දී ග්ලැසියරවලින් අඩක් අහිමිවන හැඩ

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 481

විදුසර, 2023-01-11, පි. 2


පැරිස් දේශගුණ ගිවිසුමේ ඉලක්කය වන්නේ සෙල්සියස් අංශක 1.5කට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීමය. එහෙත් 2100 වර්ෂය වන විට ලෝකයේ ග්ලැසියරවලින් 49%ක් පමණ ප්‍රමාණයක් ඒ උෂ්ණත්ව මට්ටමේ දී ද අහිමි විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. එසේම අද වේගයෙන් උෂ්ණත්වය ඉහළ ගොස් එය අංශක 2.7 දක්වා ඉහළ ගියහොත්, ග්ලැසියරවලින් 67%ක් පමණ අහිමි විය හැකිය.

ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්ටිකාව හැරුණු විට සෙසු ග්ලැසියර පිළිබද දශක දෙකක පමණ චන්ද්‍රිකා දත්ත යොදාගෙන සිදු කළ මේ අධ්‍යයනයට අනුව ග්ලැසියර අහිමි වන ප්‍රමාණය මෙන්ම එහි ප්‍රතිඵල ද කලින් සිතා සිටියාට වඩා අධිකය. මේ අහිමි වන ප්‍රමාණයෙන් අඩක් පමණ ඉදිරි වර්ෂ තිහක කාලය තුළ සිදුවිය හැකිය. මේ ග්ලැසියර අහිමි වීමේ ගැටලුව ඇත්තේ එහි ප්‍රතිඵල පිළිබඳව සැලකූ විටය. ග්ලැසියර දියැවීම වේගවත් වුවහොත් ලෝකයේ මුහුදු මට්ටම ඉහළ යෑම තවත් බරපතළ විය හැකිය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ ගියහොත් මුහුදු මට්ටම මිලිමීටර් 90කින් ඉහළ යනු ඇත. එසේම උෂ්ණත්වය අංශක 2.7කින් ඉහළ ගියහොත් මුහුදු මට්ටම මිලිමීටර් 115කින් ඉහළ යෑමේ අවස්ථාවක් තිබේ. මීට පෙර ඉදිරිපත් කළ ආකෘතිවලින් දැක් වූ ප්‍රමාණයට වඩා මේ නව අගය 23%ක් පමණ අධිකය. මුහුදු මට්යම ඉහළ වෑමෙන් ගොඩබිම් ප්‍රදේශ අහිමි වීම, වෙරළ කලාපයේ පානීය ජල සැපයුමට බාධා වීම, ගංවතුර වැනි ස්වාභාවික ආපදා ඉහළ යෑම වැනි විපාක ඇති විය හැකිය. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abo1324)
https://www.science.org/doi/10.1126/science.abo1324


Tuesday, January 10, 2023

මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා දෙකක්

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 481

විදුසර, 2023-01-11, පි. 2


බ්‍රිතාන්‍යයේ වැඩිම සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය වාර්තා වී ඇති වර්ෂය ගෙවුණු 2022 වර්ෂය බව එරට කාලගුණ කාර්යාලය පවසයි. ඒ අගය සෙල්සියස් අංශක 10.03ක් වූ අතර, එය අංශක දහය ඉක්මවා ඇත්තේ වාර්තා තැබීම ආරම්භ වූ පසු පළමු වතාවටය. මීට පෙර තිබු වැඩිම උෂ්ණත්වය වන අංශක 9.88ක් වාර්තා වී ඇත්තේ 2014 වර්ෂයේ දීය. එමෙන්ම, බ්‍රිතානයයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්ව අගයයන් 20න් 15ක්ම විසිඑක්වැනි සියවසේ දී වාර්තා වී තිබේ. මේ අතරින් ඉහළම උෂ්ණත්ව වාර්තා වී ඇති වර්ෂ දහයම ගත වු දශක දෙකක කාලය තුළ වාර්තා වීම ද පවත්නා ප්‍රවණතාවය පෙන්වයි.

මේ අතර, 2022 වර්ෂයේ දී සුළං බලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව ද බ්‍රිතාන්‍යය වාර්තාවක් තබා තිබේ. ඒ ප්‍රමාණය, එරට මුළු විදුලි සැපයුමෙන් 26.8%ක් පමණ වේ. ගත වූ වර්ෂයේ දී සුළං බලය ද ඇතුළත් සියලු පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභව හා න්‍යෂ්ටික බලය මගින් නිපදවන ලද විදුලිය ප්‍රමාණය මුළු විදුලි ජනනයෙන් 48.5%ක් තරම්ය. ඛනිජ තෙල් හා ගල් අඟුරුවලින් නිපදවන ලද මුළු විදුලිය සමස්ත විදුලි සැපයුමෙන් 40%ක් පමණ වී තිබේ. මේ ආකාරයෙන් පුනර්ජනනය කළ හැකි බලශක්තියේ වර්ධනය දේශගුණ වෙනස් වීමට විසඳුම් සෙවීමේ දී වැදගත් සිදුවීමකි. කෙසේ වෙතත්, පුනර්ජනනය කළ හැකි විදුලි බල ජනනය සම්බන්ධව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වන නමුත්, එරට බලධාරීන් ඇතැම් පොසිල ඉන්ධන පිළිබඳව ද මෑත කාලයේ දී යළි අවධානය යොමු කර ඇත. යුක්රේන යුද්ධය නිසා යුරෝපයේ රටවලට ගෑස් සැපයීම සීමා කිරීමට රුසියාව ගත් ක්‍රියාමාර්ග ද මේ තත්ත්වය සඳහා බලපෑමක් සිදු කර ඇත.

PFAS රසායනික නිෂ්පාදනය නවත්වන ලෙස බලපෑම්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 481
විදුසර, 2023-01-11, පි. 2

බොහෝ කාලයක් පරිසරයේ පවත්නා PFAS කාණ්ඩයට අයත් රසායනික දුව්‍ය නිෂ්පානය නවත්වන්නැයි ආයෝජන ආයතන රැසක් එක්ව රසායන නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලා තිබේ. ඒ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව පවරා ඇති නඩු ඉහළ යෑම, මේවා භාවිතය සීමා කිරීමට හේතු වන පාලන නීති රීති වර්ධනය වීම හා ඒවා නිසා ඇති වී තිබෙන මහජන සෞඛ්‍ය තර්ජනය මේ සඳහා හේතු ලෙස දක්වා තිබේ. මේ ලිපියට අත්සන් තබා ඇති ආයෝජන ආයතන 47න් වැඩි ප්‍රමාණයක් යුරෝපීය ආයෝජන ආයතන වන එය රසායනික සමාගම් 54කට එය යොමු කර තිබේ.

PFAS යන කෙටි නමින් හඳුන්වනු ලබන්නේ Per- and polyfluorinated alkyl substances නම් කාබන් හා ෆ්ලෝරීන් බන්ධනයක් සහිත රසායනික ද්‍රව්‍ය කාණ්ඩයයි. මේවා ස්වාභාවිකව බිඳ නොවැටෙන නිසා සදාකාලික රසායනික (forever chemicals) යන නමින් ද හැඳින්වෙයි. මේවා දොලොස් දහසක් පමණ ප්‍රමාණයක් භාවිතයේ ඇති අතර ඒවා ජලය, අපද්‍රව්‍ය හා තාපයට ඔරොත්තු දීමේ අවශ්‍යතා සඳහා යොදාගැනේ. කෙසේ වෙතත් මේ රසායනික නිසා ඇති විය හැකි විවිධ ආබාධ හා රෝග තත්ත්ව පිළිබඳ පෙන්වා දී ඇති නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබේ. පිළිකා, වකුගඩු රෝග, අක්මා ආබාධ, ප්‍රතිශක්ති ගැටලු මෙන්ම උපතේ දී ඇති වන ආබාධ සඳහා ද මේ රසායන ද්‍රව්‍ය හේතුවිය හැකි බව දක්වා තිබේ.

එසේම PFAS  රසායනික නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට සමාගමක් වන 3M සමාගම පසුගියදා ප්‍රකාශ කළේ තම සමාගම මේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය 2025 වර්ෂයේ දී අවසන් කරන බවයි.