Friday, August 24, 2018

සූර්ය කිරණ පරාවර්තනය කිරීමෙන් භෝග වගා අසාර්ථක විය හැකියි

ජගත් පරිසර පුවත් 276 - 15.08.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 15.08.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අරමුණින් යෝජනා වී ඇති භූඉංජිනේරුමය විසඳුම් අතර පෘථිවියට පතනය වන සූර්ය කිරණ ආපසු අභ්‍යවකාශයට පරාවර්තනය කිරීම එක් යෝජනාවකි. එහිලා ඉදිරිපත්ව ඇති එක් අදහසකට අනුව ඉහළ වායුගෝලයට වාතිලයන (aerosol) අංශු විසුරුවා හැරීමෙන් පෘථිවියට ලැබෙන සූර්ය කිරිණ අතරින් යම් කොටසක් ආපසු අභ්‍යවකාශයට යොමු කළ හැකිය.

මේ හා සම්බන්ධව කර ඇති අධ්‍යයනයකට අනුව එවැනි පියවරකින් කෘෂි නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑමක් ඇති කළ හැකි බව පෙනෙයි. එම පර්යේෂකයන් එ් සඳහා විමසා බලා ඇත්තේ ගිනි කඳු පිපිරීම්වලදී කෘෂිකර්මයට ඇති වන බලපෑම පිළිබඳවය. 1982 වර්ෂයේදී මෙක්සිකෝවේ එල් චිකොන් ගිනිකන්ද හා 1991 දී පිලිපීනයේ පිනාටුබෝ ගිනිකන්ද පිපිරීම නිසා විමෝචනය වූ සල්ෆේට් අංශු ස්ථරගෝලයට ඇතුළු වී පෘථිවියට ලැබෙන සූර්යාලෝකය ප‍්‍රමාණය අඩු කිරීමට හේතු වී ඇත. එම තත්ත්වය නිසා C3 වර්ගයේ (සෝයා, සහල් හා තිරිඟු) මෙන්ම C4 වර්ගයේ (ඉරිඟු) භෝගවල අස්වැන්නට ඇති වූ බලපෑම මෙහිදී අවධානය යොමුව ඇත. එ් සඳහා 1979 සිට 2009 දක්වා කාලයේදී ලෝකයේ රටවල් 105ක පෙර කී භෝගවල අස්වැන්න සම්බන්ධව හා චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් වාතිලයන අංශු පිළිබඳ දත්ත යොදාගනෙ තිබේ. එ් අනුව පෙර කී ගිනිකඳු විදාරණ අවස්ථාවලදී පිටවූ සල්ෆේට අංශු මගින් සූර්යාලෝකය පතනය වීම අඩු වීමෙන් මෙම භෝගවල අස්වැන්න කෙරෙහි නිෂේධනීය ආකාරයේ බලපෑමක් ඇති කර ඇති බව හෙළිව ඇත.

මෙම අධ්‍යයනයේ ඇති වැදගත්කම වන්නේ භූඉංජිනේරුමය විසඳුමේ අතුරුඵල පිළිබඳව දේශගුණය හා සම්බන්ධව පරීක්ෂණයකින් තොරව පරීක්ෂා කිරීමට හැකිවීමය. දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන භූඉංජිනේරුමය විසඳුම් යොදාගැනීම හා සම්බන්ධව මීට පෙරද විවේචන එල්ල වී තිබූ අතර මේ අධ්‍යයනයෙන් එ් හා සම්බන්ධව වැදගත් හා බරපතළ වූ අහිතකර බලපෑමක් පිළිබඳ සාධක එල්ල වී ඇත. මේ අනුව අනාගතයේදී උක්ත ක‍්‍රමවේදය භාවිතයට ගැනීම පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව පැහැදිලිය.

(මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0417-3)

No comments:

Post a Comment