Tuesday, September 19, 2023

දේශගුණ අර්බුදයට විසඳුමක් ලෙස කාබන් බදු

ජගත් පරිසර පුවත් 499

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-09-20, පි. 2

දේශගුණ වෙනස්වීම පාලනය කිරීම සඳහා විසඳුමක් ලෙස ගෝලීය මට්ටමේ බදු ක්‍රමවේදයක් හඳුන්වාදෙන මෙන් වූ යෝජනාවක් අප්‍රිකානු රටවලින් ඉදිරිපත් වී ඇත. මේ මස මුල දී කෙන්යාවේ නයිරෝබි නගරයේ දී පැවැති අප්‍රිකානු දේශගුණ සමුළුවේ දී සම්මත කළ ප්‍රකාශනයක් මගින් ඒ රටවල මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. එහි දී ඔවුන් පවසන්නේ ප්‍රධාන පරිසර දූෂකයන් විසින් දුප්පත් රටවලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලබා දිය යුතු බවයි. දේශගුණ වෙනස්වීමට අනුහුරුවීම සඳහා, වායු විමෝචන අවමකිරීම පිණිස මෙන්ම අලාභ සහ හානි සඳහා ද අත්‍යාවශ්‍ය කරණක් වී ඇති අරමුදල් සම්පාදනය සඳහා මේ බදු යොදාගැනීමට යෝජනා කර තිබේ.

ඒ අනුව පොසිල ඉන්ධන වෙළෙඳාම, නාවුක ගමනාගමනය හා ගුවන් ගමනාගමනය හා ගෝලීය මුල්‍ය හුවමාරු බද්දක් වැනි දේ ඊට ඇතුළත් විය යුතු බව උක්ත යෝජනාවේ සඳහන් වේ. ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන වාර්ෂික දේශගුණ සමුළුවේ දී මේ කරුණු මත පදනම්ව කටයුතු කිරීමට ද මේ රටවල් අපේක්ෂා කරයි. 

දේශගුණ වෙනස්වීමෙන් වැඩි බලපෑමකට ලක්වන රටවල් අතර අප්‍රිකානු රටවල් ද තිබේ. එහෙත් මේ වන විට සචලනය කර ඇති දේශගුණ මුල්‍ය සම්පත් අතින් ඔවුන්ට ලැබෙන්නේ 12%ක් තරම් ප්‍රමාණයකි. මේ නිසා කාබන් බදු මගින් අදාළ මුදල් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු වී ඇත. ලෝකයේ රටවල් විස්සක් පමණ කාබන් බදු ක්‍රියාත්මක කරන නමුත් ගෝලීය බදු ක්‍රමවේදයක් ගැන සාකච්ඡාවට ඇතැම් රටවල කැමැත්ත නොමැති බවක් පෙනේ. මේ අතර, මීට සති කීපයකට පෙර පළ වූ වාර්තාවකට අනුව බ්‍රිතාන්‍යයේ පවුම් මිලියනයකට වැඩි දේපොළ හිමියන්ට 0.5%ක ධන බද්දක් පැනවීමෙන් දේශගුණ අලාභ සහ හානි අරමුදල සඳහා ලබාදිය යුතු දායකත්වය සම්පූර්ණ කරගැනීමට හැකි බව පෙන්වා දී තිබේ.  

 



පරිසර ක්‍රියාකාරීන්ට අපලම රට කොලොම්බියාවයි

ජගත් පරිසර පුවත් 499

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-09-20, පි. 2

පසුගිය 2022 වර්ෂයේ දී ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන් 177ක් පමණ පිරිසක් ඝාතනය කර ඇති බව ඒ සම්බන්ධව ග්ලෝබල් විට්නස් නම් රාජ්‍ය නොවන සංවිධානය මගින් සකස් කරන වාර්ෂික වාර්තාවෙන් හෙළි වී තිබේ. මේ වාර්තාව ඔවුන් විසින් ළකරනු ලබන්නේ 11 වැනි වතාවට වන අතර, 2012 සිට 2022 දක්වා වර්ෂවල දී ලෝකය පුරා මරාදමා ඇති පරිසරය වෙනුවෙන් හඬ නැගූ ක්‍රියාකාරීන් ගණන 1910ක් වේ. 2021 වර්ෂයේ දී සිදු වූ ඝාතන ගණන වන 200ට වඩා අඩුවීමක් 2022 වර්ෂයේ දී දැකිය හැකි වී ඇතත්, තර්ජනයේ අඩුවක් නොමැති බව ද එහි දැක්වේ. 

මේ අතරින් වැඩිම සංඛ්‍යාව වන ක්‍රියාකාරීන් 60 දෙනෙකු මරා දමා ඇත්තේ කොලොම්බියාවේ දීය. එය ඊට පෙර වර්ෂයේ අගය මෙන් දෙගුණයක් පමණ වේ. ඒ හැර බුසීලය (ඝාතන 34) මෙක්සිකෝව (31) හා හොන්ඩුරාස් (14) පරිසර ක්‍රියාකාරීන් මරාදැමීම අතින් ඊළඟ වැඩිම ප්‍රමාණය සිදු වී ඇති රටවල් අතර වේ. සාමාන්‍යයෙන් පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම ලතින් හා දකුණු ඇමරිකානු කලාපය වැඩි වශයෙන් සිදුවන්නකි. එසේම ආන්දෝලනයකට ලක්ව ඇති ඇමසන් කලාපයේ ක්‍රියාකාරීන් 39ක් පමණ 2022 දී මරා දමා ඇත. ආසියාවේ සිදුව ඇති ඝාතන ගණන 16ක් වන අතර, ඉන් 11ක්ම සිදුව ඇත්තේ පිලිපීනයේය. 

මෙහි ඇති බරපතළම සිදුවීම වන්නේ මේ පරිසර ක්‍රියාකාරීන්ගේ ඝාතන සඳහා වගකිව යුතු පිරිස් නීතිය හමුවට පැමිණවීම සිදුවන්නේ අඩුවෙන් වීමයි. අනෙක් අතට, ඒ තත්ත්වය මේ අර්බුදය වැඩිදුරටත් පැවතීමට හේතුවක් වේ. 

මුලාශ්‍රය - Standing firm, www.globalwitness.org

Wednesday, September 6, 2023

ජීවීන්ගෙන් පහෙන් එකක් ලෝක උරුම ස්ථානවල

ජගත් පරිසර පුවත් 498

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-09-06, පි. 2

අද වන විට අප දන්නා ජීවී විශේෂවලින් පහෙන් පංගුවක් පමණ ප්‍රමාණයක් යුනෙස්කෝ ලෝක උරුම ස්ථානවල දැකිය හැකි බව සමීක්ෂණයකින් පෙන්වා දී තිබේ. මේ අනුව ශාක විශේෂ 75000ක් පමණ ද පෘෂ්ටවංශී සත්ත්ව විශේෂ 30000ක් පමණ ද මේ ස්ථානවල දැකිය හැකිය. මේ දක්වා වාර්තා වී ඇති පක්ෂි විශේෂ අතරින් හතරෙන් තුනක් ද, ක්ෂීරපායින් අතරින් තුනෙන් දෙකක් ද, දැඩි කොරල් අතරින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ද මේ ලෝක උරුම ස්ථානවල හමුවේ. එසේම ඇතැම් දුර්ලභ විශේෂවල ගහනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් වාසය කරන්නේ මේ ලෝක උරුම ස්ථානවලය.

මෙවැනි ජීවි විශේෂ ප්‍රමාණයක් දැකිය හැකි වුවද, ලෝක උරුමවලින් ආවරණය වන ප්‍රදේශය ලෝකයේ මතුපිට ප්‍රමාණයෙන් 1%ක් තරම් අඩු ප්‍රමාණයකි. සංඛ්‍යාත්මකව ගතහොත් එවැනි ස්ථාන ඇත්තේ 1157ක් පමණය. මේ උරුම ගොඩබිම මෙන්ම මුහුදේ පිහිටා ඇත. යුනෙස්කෝ ආයතනය හා සොබාදහම සංරක්ණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය () මගින් සිදු කර ඇති මේ විශ්ලේෂණය ලෝක උරුම පිළිබඳව සිදුකරන ලද මේ ආකාරයේ පළමු විශ්ලේෂණය වේ.



කෙසේ වෙතත් මේ ලෝක උරුම ස්ථාන විවිධ තර්ජනවලට මුහුණ පා තිබේ. මේ අතරින් දේශගුණ වෙනස් වීම නිසා සහ මානව පරිහරණය නිසා ඇති වී තිබෙන තර්ජනය මූලිකය. මේ නිසා ඇතැම් ජීවී විශේෂ තවදුරටත් ලෝකයෙන් වඳ වී යා හැකිය. මේ නිසා ජෛව විවිධත්ව සංරක්ෂණයේ දී මේ ස්ථානවල ආරක්ෂාව සම්බන්ධව වැඩි අවධානයක් යොමුක කළ යුතු බව මේ වාර්තාව සකස් කළ පිරිසගේ අදහස වේ. මේ සඳහා ඒ ඒ රටවල ජෛව විවිධත්ව උපායමාර්ගවලට මේ ස්ථාන ඇතුළත් කිරීමේ ඇති වැදගත්කම ද මේ වාර්තාවෙන් දක්වා තිබේ. (මූලාශ්‍රය - )



World Heritage: a unique contribution to biodiversity conservation, www. unesco.org/

https://unesdoc.unesco.org/ark:/48223/pf0000385392




පරිසරය හා මිනිසුන් වෙනුවෙන් වූ ඉක්වදෝර ජනමතය

ජගත් පරිසර පුවත් 498

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-09-06, පි. 2


දෙසතියකට පමණ පෙර ඉක්වදෝරයේ පැවැති ජනමත විචාරණයක දී එරට ජනතාව පරිසරයේ ආරක්ෂාව උදෙසා වැදගත් තීරණයක් ගත් බව වාර්තා වේ. ඒ අනුව, ඇමසන් ප්‍රදේශයේ පිහිටා ඇති යසුනි ජාතික උද්‍යානය නම් ආරක්ෂිත ප්‍රදේශය තුළ තෙල් සඳහා සිදුකරන කැනීමක් මුළුමනින්ම තහනම් කිරීමට ජනතා කැමැත්ත පළ වී තිබේ. මෙහි දී ඡන්දදායකයන් අතරින් 59%ක පමණ ප්‍රමාණයක් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත.

යුනෙස්කෝ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති යසුනි ජාතික උද්‍යානය හෙක්ටයාර මිලියනයකට වඩා විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී. එය ජෛව විවිධත්වයෙන් අනූන ස්ථානයක් ලෙස ද සැලකේ. එසේම මෙතෙක් බාහිර ලෝකයට නිරාවරණය නොවූ ස්වදේශික ජන කණ්ඩායම් දෙකක් පමණ මේ ප්‍රදේශය තුළ වාසය කරයි.

එරට මුළු තෙල් නිෂ්පාදනයෙන් 11%ක් පමණ ලබාගන්නා අදාළ තෙල් නිධියේ කැනීම් සිදුකරන්නේ එරට රජයට අයත් සමාගමක් වුවත් ජනමතය අනුව කටයුතු කරන බව එරට රජය පවසා තිබේ.  

දේශගුණ විපර්යාස සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දෙන පොසිල ඉන්ධන කර්මාන්තයට මෙවැනි පියවරක් මගින් සීමා පැනවීමක් කළ පළමුවන අවස්ථාව මෙය ලෙස සැලකේ. මෙය ප්‍රජාතන්‍ත්‍රවාදී ක්‍රමවේද පොසිල ඉන්ධන සීමා කිරීමට හා පරිසරයේ ආරක්ෂාව සඳහා යොදාගත හැකි ආකාරයක් පිළිබඳ නිදසුනකි. කෙසේ වෙතත්, එය අදාළ රටේ ජනතාවගේ පාරිසරික විඥානයේ ප්‍රමාණය මත තීරණය වන්නක් බව ද අමතක නොකළ යුතුය.