Tuesday, December 27, 2022

'තිහේ දී තිහක්' සම්මතයි!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 480

විදුසර, 2022-12-28, පි. 2


පසුගියදා මොන්ට්‍රියල් නගරයේ දී පැවති ජෛව විවිධත්ව සමුළුවේ දී ඇති කරගත් මූලික එකඟතාව ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වැදගත්ය. 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු භූමියෙන් හා ජල ප්‍රදේශවලින් 30%ක් පමණ ආරක්ෂා කිරීම මේ අතරින් වඩාත් වැදගත් කරුණයි. මේ ඉලක්කය ඒ සමුළුව ආරම්භ වීමට පෙර සිටම අවධානයට ලක්ව තිබූ කරුණකි. කෙසේ වෙතත් සාකච්ඡා අතර මේ ප්‍රමාණය අඩු කිරීම සඳහා ඇතැම් රටවල් උත්සාහ කළ නමුත් මේ ඉලක්කය ඇති කර ගැනීම සඳහා සහයෝගය දුන් රටවල් අඛණ්ඩව දැරු ප්‍රයත්නය අවසානයේ දී සාර්ථක විය.

මේ එකඟතාවය වැදගත් හා ඓතිහාසික ඉලක්කයක් වීම නිසා ඇතැම් පිරිස් මේ සමුළුව ජෛව විවිධත්වය සම්බන්ධ ‘පැරිස් සමුළුවක්’ හා ‘පැරිස් අවස්ථාවක්’ ලෙස දක්වා ඇති බවක් පෙනේ. එයට හේතුව 2015 වර්ෂයේ දී ඇති කරගත් පැරිස් ගිවිසුම දේශගුණ වෙනස් වීම සම්බන්ධව ලෝකය එකඟ වූ වඩාත් සාර්ථක වූ ප්‍රතිචාරයක් වීම නිසාය.

මේ ඇතිකරගත් එකඟතාවයට කොංගෝ රට එකග නොවන බව අවසන් මොහො‌තේ දී පැවසීම විශේෂ සිදුවීමකි. එහෙත් සමුළුවේ සභාපතිත්වය දරන ලද චීනය ඒ බව නොසලකා කටයුතු කිරීමත්, ඒ විරෝධය නිසා මේ එකඟතාවය නීත්‍යානුකූල බවට ඇති වූ තර්කයත් නිසා සිදු කළ විමසීමේ දී ඇති කරගත් එකඟතාවය වලංගු බව පෙන්වාදෙන ලදි. මේ අවස්ථාවේ දී චීනයේ හැසිරුණු ආකාරය ප්‍රශංසාවට ලක්ව ඇති බව පෙනේ.

උතුරු අර්ධගෝලයේ ආන්තික සීතල

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 480

විදුසර, 2022-12-28, පි. 2


පසුගිය දිනවල උතුරු ඇමරිකාවේ පැවති දැඩි සීතල තත්ත්වය මාධ්‍යවල අවධානයට ලක් වී තිබේ. හිම කුණාටුවලින් ඇමරිකාවට හා කැනඩාවට දැඩි බලපෑමත් ඇති විය. බොහෝ ප්‍රදේශවල ගමනාගමනය සඳහා බලපෑම් ඇති වූ අතර, විදුලිය ඇනහිටීම් ද වාර්තා වී තිබේ. එසේම දැඩි සීතල නිසා මරණ කීපයක් ද ඇති වී තිබේ. ඇමරිකාවේ පමණක් මිලියන 1.5ක් පමණ පිරිසක් මේ තත්ත්වය මුහුණ දුන් බව වාරතා විය.

මේ ආන්තික තත්ත්වය දේශගුණ වෙනස් වීම සමඟ කිසියම් සම්බන්ධයක් පවත්නා බව රහසක් නොවේ. උෂ්ණ තත්ත්වවල ආන්තික තත්ත්ව (අධික උෂ්ණත්වය ඇති අවස්ථා) ඇති වීම මෙන්ම ශීත තත්ත්වවල ආන්තික තත්ත්ව (දැඩි සීත තත්ත්ව) ඇතිවීමක් දැන් දැන් ඉහළ යමින් තිබේ. මෙවැනි ආන්තික සීතල තත්ත්ව මීට පෙර ද ඇති වී ඇතත්, ඒවා දැන් දැන් වඩාත් දැඩි වූ ස්වභාවයක් ගනී. මේ තත්ත්වය මිනිසුන්ට පමණක් නොව සෙසු ජීවීන්ට මෙන්ම පරිසර පද්ධතිවලටත් බලපාන බව ඇතැම් විට අමතක වන කරුණකි. විශේෂයෙන් කෙටි කාලයක් තුළ සිදුවන විශාල ප්‍රමාණයේ වෙනස්කම් ජීවීන්ට බලපෑම් ඇති කරයි. එම ජීවීන්ගේ අනුහුරුවීමේ හැකියාව සම්බන්ධව‌ මේ උෂ්ණත්ව වෙනස් වීම බලපායි. නිදසුනක් ලෙස ගතහොත්, අධික ශීත ත්ත්ත්වවල දී පක්ෂීන්ට වැඩි ශක්තියක් හා වැඩි ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එහෙත් අධික ශීත කාලයක දී පක්ෂීන්ට ආහාර සපයා ගැනීම අපහසු කරුණකි.

කැනඩාවේ හිම වලස් ගහනයේ අඩුවීමක්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 480 

විදුසර, 2022-12-28, පි. 2


කැනඩාවේ බටහිර හඩ්සන් බොක්ක ප්‍රදේශයේ වාසය කරන හිම වලස් ගහනය වර්ෂ පහක පමණ කාලයක් ඇතුළත 27%ක් පමණ ප්‍රමාණයකින් අඩු වී ඇතැයි එරට රජය පළකර ඇති වාර්තාවකින් පෙන්වා දී තිබේ. එහි සඳහන් පරිදි, 2016 වර්ෂයේ දී ප්‍රදේශයේ වාසය කළ වලස් ගහනය 842ක් වූ අතර, මේ වන විට එය 618ක් දක්වා අඩු වී ඇත.

එහි දී වැඩි අඩු වීමක් දැකිය හැක්කේ වැඩිහිටි හිම වලසුන් හා පැටවුන් අතර බව වාර්තාවේ සඳහන්ය. ඊට බලපා ඇති හේතු අතර, දේශගුණ වෙනස් වීම ප්‍රධාන සාධකයක් විය හැකි බව වර්තාවේ දක්වා තිබේ. ආක්ටික් සාගර ප්‍රදේශය ලෝකයේ වෙනත් ප්‍රදේශවලට වඩා වේගයෙන් ඉහළ යන බව කලක් තිස්සේ දන්නා කරුණකි. මේ තත්ත්වය නිසා ආක්ටික් මුහුදේ පාවෙන අයිස් ප්‍රමාණය අඩු වීමක් දැකිය හැකිය. ග්‍රීෂ්ම ඍතුව පැමිණීමේ දී මේ අයිස් කලින් දිය වීම මෙන්ම, ශීත ඍතුවට පෙර යළි සෑදීමේ දී පමා වීම ද සිදු වේ. හිම වලසුන්ගේ ප්‍රධාන ආහාරය වන සීල් මසුන් දඩයම් කිරීමේ දී මේ පාවෙන අයිස් තිබීම වැදගත් වේ. සංරක්ෂණ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති ආකාරයට මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත්, 2050 වර්ෂය වන විට සාගරයේ පාවෙන අයිස් නොමැති කාල සීමාව දීර්ඝ විය හැකිය. ඒ නිසා දඩයම් කිරීමට නොහැකිව හිම වලසුන් කුසගින්නේ පසුවන තත්ත්වයකට ලක් වීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත් මේ වාර්තාවේම දැක්වෙන ආකාරයට සාගරයේ අයිස් ප්‍රමාණය අඩුවීම පමණක් මීට දායක වන්නේ ද යන්න සැකසහිතය. ඒ, ගත වූ වසර පහෙන් හතරකම පැවති අයිස් ප්‍රමාණය සාපේක්ෂව යහපත් වූ නිසාය. එම ප්‍රදේශයේ දැකිය හැකි සීල් ගහනය අඩු වීම ද හිම වලසුන්ගේ ගහනය අඩු වීම කෙරේ බලපෑ තිබිය හැකිය.

Tuesday, December 13, 2022

ඉහළ යන උෂ්ණත්වය වැඩෙන භ්‍රෑණයාට බලපායි

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 479, 

විදුසර, 2022-12-14


ගෙවිලියන් වැනි එළිමහනේ වැඩ කරන ගැබිණි කාන්තාවන්ගේ ගර්භාෂයේ වැඩෙන භ්‍රෑණයට ඉහළ යන උෂ්ණත්වයෙන් බලපැමක් සිදුවිය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. උෂ්ණත්වය ඉහළ යන තත්ත්වයක් තුළ ගැබිණි මව්වරුන් උෂ්ණත්ව ආතතියකට ලක් වීමෙන් ඔවුන්ගේ මව්වරුන්ගේ හෘද ස්පන්දන වේගය ඉහළ යන අතර, භ්‍රෑණයට සැපයෙන රුධිර සැපයුම අඩු වන බව මෙහි දී හෙලි වී ඇත.

ගැම්බියානු කාන්තාවන් අනූදෙදෙනෙකු ආශ්‍රිතව සිදු කර ඇති මේ අධ්‍යයනයේ දී මෑත කාලයේ දී පරිසරයේ උෂ්ණත්වයේ හඳුනාගත හැකි වර්ධනයක් සිදු ව ඇති බව පෙන්වා දී තිබේ. මීට පෙර සිදු කර ඇති අධ්‍යයනවල දී මළ දරු උපත්, නොමේරූ දරු උපත්, අඩු බර දරුවන් බිහි වීම ආදිය සඳහා ඉහළ උෂ්ණත්වය බලපාන බව පෙන්වා දී තිබුන ද, ඒ සියල්ල සෞම්‍ය කලාපීය රටවලින් වාර්තා වූ ඒවාය. මේ අධ්‍යයනය වැදගත් වන්නේ ඉහළ යන උෂ්ණත්වය දැඩි ලෙස බලපාන නිවර්තන කලාපීය රටක ගෙවිලියන් යොදා ගනිමින් සිදු කළ එකක් නිසාය.

මේ තත්ත්වය සඳහා පිළියම් යෙදිය හැකි ආකාරය සම්බන්ධව ද මෙහි දී අවධානය යොමු කර ඇත. ඉන් එකක් වන්නේ එළිමහන් වගා බිම්වල ගස් වැවීමයි. එමගින් මේ කාන්තාවන්ට මෙන්ම ඇතැම් භෝග ද තාප ආතතියට ලක්වීම වැළැක්විය හැකිය. අයිස් තැබීම හා තාප ආතතියක ලක්ෂණ ඇති විට එළිමහනේ කටයුතුවලින් ඈත් වීම ද ගත හැකි පියවර අතර වේ. කෙසේ වෙතත්, මොවුන් යැපුම් මට්ටමේ වගා කටයුතුවල යෙදෙන පිරිස් බැවින් සමහර පියවර ප්‍රායෝගික නොවිය හැකිය.

ජෛව විවිධත්ව සමුළුවේ අරමුණු සාර්ථක වේ ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 479

විදුසර, 2022-12-14, පි. 2


පසුගිය සතියේ කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ දී ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15වන සමුළුව හෙවත් COP15 සමුළුව ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුව ලෙස ද හැඳින්වෙන එය මේ සතියේ දී අවසන් වීමට නියමිතය.

මෙහි මූලික අභිප්‍රාය වන්නේ ජෛව විවිධත්වය අහිමි වීම වළක්වා ගැනීමට හා සංරක්ෂණය කිරීම සඳහා වූ 2030 වර්ෂය ඉලක්ක කරගත් අරමුණු මාලාවක් ඇති කර ගැනීමය. මේ වන විට ගණන් බලා ඇති ආකාරයට වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ ගණන මිලියනයකට අධික බැවින් ඒ ජීවීන් වඳවී යෑමෙන් වළක්වා ගැනීම තවත් අරමුණකි. එසේම හායනයට ලක්ව ඇති පරිසර පද්ධති ප්‍රතිස්ථානය සහ පරිසරයට හානිකර ලෙස බලපාන විවිධ රටවල ක්‍රියාත්මක සහන සහ එවැනි පිළීවෙත් අහෝසි කිරීම වැදගත්ය.

මේ සමුළුවේ දී අපේක්ෂා කරන එක් අරමුණක් වන්නේ ‘30 දී 30ක්’ (30 by 30 හෙවත් 30x30) ලෙස කෙටියෙන් දැක්වෙන ආරක්ෂිත ප්‍රදේශ ප්‍රමාණය ඉහළ නැංවීම පිළිබඳ අරමුණයි. එනම්, 2030 වර්ෂය වන විට ඒ ඒ රටවල මුළු භූමියෙන් හා සාගර ප්‍රදේශයෙන් 30%ක් පමණ ප්‍රදේශයක් ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමයි.

කෙසේ වෙතත් ජෛව විවිධත්වය හා සම්බන්ධ තවත් කරුණු ද පවතී. නිදසුනක් ලෙස ආරක්ෂිත ප්‍රදේශ හා සම්බන්ධ ස්වදේශික අයිතීන් දැක්විය හැකිය. අනෙක් අතට දියුණු වන රටවල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ඇති මූල්‍යමය ගැටලුවලට විසඳුම් සෙවීම ද වැදගත් කරුණකි.

දේශගුණ වෙනස් වීම සම්බන්ධව ඇතිකරගත් පැරිස් ගිවිසුම වැනි ගිවිසුමක් ජෛව විවිධත්වය සම්බන්ධව ද ඇති කර ගැනීම ජෛව විවිධත්වය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස්වල අරමුණ වේ. ඒය මොන්ට්‍රියල් හි දී සාර්ථක වේ ද යන්න මේ සතිය අග දී දැකගත හැකි වනු ඇත.