Wednesday, April 19, 2023

නැව්වල හැපී මියයන තල්මසුන් බේරාගත හැකිද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 488
විදුසර, 2023-04-19, පි. 2


මහ සාගරයේ ගමන් ගන්නා නෞකාවල හැපීමෙන් මරණයට පත්වන තල්මසුන් ගණන වාර්ෂිකව දහස් ගණනක් විය හැකිය. මේ ගැටීම් ඇතැම් විට සිදුවන්නේ සාගර ආරක්ෂිත ප්‍රදේශවලය. වාණිජ වශයෙන් සිදුකරන තල්මහ දඩයම බොහෝ දුරට සීමා වීමෙන් පසුව තල්මනුස්ට ඇති වී ඇති බරපතළම තර්ජනයවන්නේ මේ සාගරයේ නාවුක ගමනාගමනයේ වර්ධනයයි. 1992 හා 2012 අතර කාලයේ දී ලෝකයේ නෞකා ප්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඒ වැඩි වශයෙන් ආසියානු කලාපයේ වුවත් ලෝකය පුරාම පාහේ එය සිදුව ඇත.

නැව්වල නිසා එසැණින් මරණයට පත් නොවුව ද මේ සතුන් මරණයට පත් වීම කාලය පිළිබඳ ගැටලුවක් පමණක් බව විද්‍යාඥයන්ගේ අදහස වේ. ඇතැම් ශරීර අවයවවලට හානි වීම නිසා මේ සතුන්ට පිහිනීම නිසි ආකාරයෙන් සිදුකිරීම අපහසු විය හැකිය.

මේ ගැටුම් හා මරණ අවම කිරීම සඳහා ඉදිරිපත්ව ඇති විසඳුම් දෙකකි. ඉන් එකක් වන්නේ තල්මහ වාසය කරන සාගර ප්‍රදේශවලින් ඈත්වන ලෙස නාවුක ගමන් මාර්ග නැවත සකස් කිරීමයි. මෙය බොහෝ සේ ඵලදායී විය හැකි වුවත් එය සිදුවන්නේ අඩු වශයෙනි. අනෙක් ක්‍රමය වන්නේ නැව් සඳහා වේග සීමාවන් පැණවීම වන අතර එය පරිමාණය හා බලපැවැත්වීම අනුව විවිධ විය හැකිය. කෙසේ වෙතත් මේ සඳහා නව තාක්ෂණය යොදාගත හැකි පද්ධති නිර්මාණය කිරීම සඳහා දැන් දරන් පර්යේෂකයන් උනන්දු වෙමින් තිබේ.

හරිතාගාර වායු 2022 දී සීග්‍රයෙන් වැඩිවෙලා

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 488

විදුසර, 2023-04-19, පි. 2


ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය (NOAA) පෙන්වා දෙන ආකාරයට ගත වූ 2022 වර්ෂයේ දී ලෝකයේ හරිතාගාර වායු විමෝචන ඉහළ ගොස් තිබේ. කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා නයිට්‍රස් ඔක්සයිඩ් යන ප්‍රධාන හරිතාගාර වායු තුනම මෙසේ ඉහළ ගොස් තිබේ.

වායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් මට්ටම 2022 වර්ෂයේ දී මිලියනයකට කොටස් (ppm) 2.13කින් ඉහළ ගිය අතර, වර්ෂයේ පැවති සාමාන්‍ය අගය 417.06කට ළඟා විය. මේ වායුව මැනීම ආරම්භ වූ වසර 65ක කාලය ඇතුළත, මේ වායුවේ සාන්ද්‍රණය වර්ෂයක් තුළ මිලියනයකට කොටස් දෙකකට අධික ප්‍රමාණයකින් ඉහළ ගියේ පිටපිටම 11 වැනි වර්ෂයටය. එසේම අද වායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය, පූර්ව කාර්මික අවධියේ පැවති සාන්ද්‍රණයට වඩා 50%කින් පමණ ඉහළය.

2022 වර්ෂයේ දී මීතේන් වායුවේ සාන්ද්‍රණය බිලියනයකට කොටස් 14කින් ඉහළ ගිය අතර, වර්ෂයේ පැවති සාමාන්‍ය අගය 1911.9ක් දක්වා ඉහළ ගියේය. මීතේන් මැනීම ආරම්භ වූ 1983 වර්ෂයෙන් අනතුරුව, වාර්තා වී ඇති සාන්ද්‍රණයේ වාර්ෂික වර්ධනය අතින් සිව්වැනි ඉහළම අගය 2022 වර්ෂයට හිමි වේ. පූර්ව කාර්මික අවධියේ වායුගෝලයේ පැවති මීතේන් මට්ටමට වඩා අද වායුගෝල‌යේ ඇති මීතේන් මට්ටම දෙකහමාර ගුණයකින් ඉහළය. අප දන්නා පරිදි කාබන් ඩයොක්සයිඩ් තරම් සුලබ නොවූවත්, මීතේන් වායුවේ හරිතාගාර ආචරණ විභවය ඉහළය.

නයිට්‍රස් ඔක්සයිඩ් වායුව පසුගිය වර්ෂයේ දී බිලියනයකට කොටස් 1.24කින් ඉහළ ගිය අතර 2022 දී පැවති සාමාන්‍ය මට්ටම බිලියනයකට කොටස් 335.7ක් විය. 2022 දී ඇති වූ වර්ධනය ප්‍රමාණය අනුව දෙවැනි වූයේ 2020 හා 2021ට පමණක් වේ. මෙය පූර්ව කාර්මික අවධියේ පැවති සාන්ද්‍රණයට වඩා 24%ක වර්ධනයකි.

Wednesday, April 5, 2023

දඩයම් සිහිවටන බි‍්‍රතාන්‍යට ගෙන ඒම තහනම් වේ

ජගත් පරිසර පුවත්

ධනේෂ් විසුම්පෙරුම 

Blog පමණක් පළවූවකි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් දඩයම් කර ඒ දඩයම පිළිබඳ සිහිවටන (යමබඑසබට එරදචයසැි* තම රටට ගෙන යෑම ධනවත් රටවල වැසියන් විනෝදය සඳහා සිදුකරන කාර්යයකි. මේ දඩයමට වැඩි වශයෙන් ලක්වන්නේ අලින්, සිංහයන්, ජිරාෆ් වැනි විශාල ක්ෂීරපායි සතුන්ය. මේ දඩයම මෙන්ම දඩයම් සිහිවටන පිළිබඳව ද විරෝධයක් සත්ත්ව අහිංසාව හා පරිසර ක‍්‍රියාකාරීන් වෙතින් කලක් තිස්සේ ඉදිරිපත්ව තිබූ අතර, ඊට ප‍්‍රකට පුද්ගලයන්ගේ සහාය ද ලැබිණි. මේ පිළිබඳව වසර ගණනක් තිස්සේ ඇදී ගිය විවාදයක් පැවැතිණි. 

පසුගියදා බි‍්‍රතාන්‍යයේ මූලික සම්මතය ලැබුණු නීතියක් අනුව එවැනි සතුන්ගේ ශරීර කොටස් දඩයම් සිහිවටන ලෙස එරටට ගෙන ඒම තහනම් වනු ඇත. එරට පාලක පක්ෂයේ 2019 මැතිවරණ ප‍්‍රකාශනයේ එක් පොරොන්දුවක් ද වූ මේ දඩයම් සිහිවටන තහනම් කිරීම මෙවර පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙන එන ල අතර ඊට පුළුල් සහායක් ලැබී ඇත. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මේ යෝජනා දැන් සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ දී සම්මත විය යුතුය.

කෙසේ වෙතත්, මේ දඩයම් කිරීම් අදාළ රටවල යම් පාලනයක් ඇතිව සිදුකරන්නකි. එසේම දඩයම්කරුවන් දඩයම සඳහා ගෙවනු ලබන විශාල මුදල දියුණු වන රටවල් වන ඒ රටවල සැලකිය යුතු ආදායමකි. ඒ ආදායම්නිසා ඒ රටවල වැසියන් අතින් සිදුවන දඩයම අඩුවන අතර එය සංරක්ෂණ සඳහා වැදගත් බව ඒ රටවල පිරිස් මෙන්ම විද්‍යාඥයන් විසින් ද පෙන්වා දී තිබේ.


මහ මුහුද පිළිබඳ ගිවිසුමකට එළැඹේ

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 487
විදුසර, 2023-04-05, පි. 2


වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡුාවලින් පසුව ලෝකයේ සාගර ආරක්ෂා කිරීමට හේතුවන ගිවිසුමක් සකසා අවසන් කරගැනීමට නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී මේ මස මුල දී පැවති සාකච්ඡුාවක දී හැකි වී තිබේ. මහ මුහුද ගිවිසුම (්‍යසටය ීැ්ි ඔරු්එහ* නම් මේ එකඟතාවය යටතේ ලෝකයේ සාගර ප‍්‍රදේශවලින් 30%ක් ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස නම් කිරීමට නියමිතය. ඉදිරියේ දී මේ ගිවිසුම විධිමත් ලෙස සම්මත කර අත්සැන් තැබීමට නියමිතය.

මේ සාගර ප‍්‍රදේශ අදාළ වන්නේ ජාත්‍යන්තර මුහුදටය. එනම් ලෝකයේ ඕනෑම රටකට මසුන් ඇලිලීමට අවසර ඇති, නාවුක ගමන් කළ හැකි හා පර්යේෂණ කළ හැකි මහ මුහුද සාගරයයි. මේ දක්වා මේ සාගරයෙන් ආරක්ෂිත තත්ත්වයට ලක්ව ඇත්තේ 1.2%ක් පමණකි. එහෙත්, පසුගිය වර්ෂයේ දී ලෝක ජෛව විවිධත්ව සම්මුතිය මගින් ඇතිකරගත් එකඟතාවය අනුව ලෝකයේ සාගරවලින් 30%ක් ආරක්ෂා කිරීමේ ඉලක්කය අත්පත් කරගැනීමට මේ නව ගිවිසුම ද සහාය වනු ඇත. මේ ආරක්ෂාව සමඟ මසුන් ඇල්ලීම පිළිබඳ සීමා පැනවෙනු ඇති අතර නාවුක ගමන් මාර්ග ද සීමා විය හැකිය. සාගර ආරක්ෂාව වැදගත් වන්නේ සාගර ජීවීන් ජෛව විවිධත්වයෙන් අප තවමත් දන්නේ අඩු ප‍්‍රමාණයක් පමණක් වීම නිසා මෙන්ම මේ දක්වා ඇගැයීම් කර ඇති සාගර ජීවීන් අතරින් 10% ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව තිබීම නිසාය.

ලෝකය බරපතළ ජල අර්බුදයක් අභියස!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 487
විදුසර, 2023-04-05, පි. 2


මේ දශකය අවසන් වන විට ලෝකයේ මිරිදිය සඳහා ඇති ඉල්ලූම සැපයුමට වඩා 40%ක් පමණ ඉහළ වනු ඇතැයි ජලය පිළිබඳ වාර්තාවක් පෙන්වා දෙයි. ජල ආර්ථිකය පිළිබඳ ගෝලීය කොමිසම (GCEW) මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ‘රළ ආපසු හැරවීම’ (Turning the Tide) නම් මේ වාර්තාව ජල සම්පත පත්ව ඇති අර්බුදය පිළිබඳව සලකා බලන්නේ ඒ ඒ රටවල්වලට ජලය කෙතරම් වැදගත් සම්පතක් වන්නේ ද යන්න දක්වමිනි. ඒ අනුව ලෝකය ඉතා බරපතළ ජල අර්බුදයකට මුහුණ දී ඇත.

ලෝකයේ ජල සම්පතට ඇති වී තිබෙන ප‍්‍රධානතම බලපෑම් වන්නේ අධි භාවිතය, ජල ¥ෂණය හා දේශගුණ අර්බුදයයි. ඇතැම් රටවල් දැනටමත් තම රටේ ඇති ජල සම්පතට වඩා වැඩි ප‍්‍රමාණයක් භාවිත කරයි. එමෙන්ම ජලය බෙදාගැනීම පිළිබඳව ද ගැටලූ පවතී.

ඇතිවිය හැකි ජල අර්බුදය විසදීම සඳහා මේ වාර්තාවේ දැක්වෙන නිර්දේශ කීපයක් තිබේ. ජලය ගෝලීය පොදු සම්පතක් ලෙස සලකා කටයුතු කළ යුතු අතර, එය සාමූහිකව ආරක්ෂා කළ යුතුය යන්න ඉන් එකකි. ජලය උදෙසා බොහෝ රටවල් සිය අසල්වැසි රටවල් මත යැපෙන අතර ජලය සාධාරණ ලෙස රටවල් අතර බෙදාගැනීමට කටයුතු කළ යුතුය. ජලය සඳහා අඩු මිලක් දීම නැවැත්විය යුතු අතර ජලයේ පිරිවැය සලකා නියම මිල නිරූපණය විය යුතුය. එසේම අධික ලෙස ජලය උකහාගැනීම හා අධි භාවිතය සඳහා හේතුවන, විවිධ රටවල ක‍්‍රියාත්මක කෘෂි හා ජල සහනාධාර නැවැත්වීම සඳහා ද කටයුතු කළ යුතුය. එසේම ජලය භාවිත කිරීමේ දී අපතේ යන ලෙස සිදුකරන පිළිවෙත් නැවැත්වීම සඳහා සියලූ ආකාරයේ කර්මාන්ත විසින් කටයුතු කළ යුතු වේ. තව ද අඩු හා මධ්‍ය ආදායම් ඇති රටවල ජල ප‍්‍රවේශය හා තිරසර බව ළඟාකරගැනීම සඳහා වන අයෝජන සඳහා සුදුසු ජලය පිළිබඳ හවුල්කාරිත්වයන් ඇතිකර ගනිමින් සහාය වීම ද වැදගත් කරුණකි.

මේ වාර්තාව නිකුත් වන්නේ මේ සතියේ නිව්යෝක නගරයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජල සමුළුව ආසන්නයේ දී වීම වැදගත් කරුණකි.

මූලාශ‍්‍රය - Turning the Tide: A Call to Collective Action, www.watercommission.org