Tuesday, June 27, 2023

ජෛව විවිධත්ව ඉලක්ක පිළිබඳ උනන්දුව වැදගත්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 493
විදුසර, 2023-06-28, පි. 2


ජෛව විවිධත්වය අහිමිවීම වැළැක්වීම සඳහා පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ දී පැවැති ජෛව විවිධත්ව සමුළුවේ දී එකඟතාවයක් ඇති කර ගන්නා ලදි. ඒ අනුව 2030 වර්ෂය වන විට ලෝකයේ භූමියෙන් හා සාගරයෙන් 30%ක් පමණ ප්‍රදේශයක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමට රටවල් පොරොන්දු වී ඇත.

මේ වන විට මාස හයක් පමණ කලයක් ගත වී ඇති අතර ඒ කාලය තුළ යම් යම් ජයග්‍රහණ අත්කරගෙන ඇත. නිදසුනක් ලෙස මහ මුහුදේ ආරක්ෂාව පිළිබඳව ඇතිකරගත් එකඟතාවය හා ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම අරමුණු කරගත් ගිවිසුමක් ඇති කර ගැනීමට මූලික වශයෙන් එකඟ වීම මේ අතර වේ. එසේම බ්‍රසීලයේ ඇති වූ දේශපාලන වෙනස්කම් නිසා ඇමසන් වනාන්තරයේ ආරක්ෂාව සම්බන්ධව ද නව බලාපොරොත්තුවක් දැන් ඇත.

ලබන වර්ෂයේ පැවැත්වෙන මීළඟ ජෛව විවිධත්ව සමුළුවට පෙර ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් වන රටටල් සිය ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගය හා ක්‍රියාකාරී සැලසුම් ලබාදිය යුතුය. මේ සැලසුම් අනුව කටයුතු කිරීම ද සිදු විය යුතු වේ. ඒ එකඟ වූ ඉලක්ක අත්පත් කරනොගතහොත් ජෛව විවිධත්වය අනතුරට ලක් විය හැකි බව පෙන්වා දී තිබේ. වඩා වැදගත් වන්නේ ‘වචන නොව ක්‍රියාකාරිත්වය’ බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියා මෑත දී පවසා තිබුනේ මේ නිසාය.

ස්විස් ජනතා ආදර්ශය

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 493

විදුසර, 2023-06-28, පි. 2


පොසිල ඉන්ධන භාවිතය අවසන් කර, 2050 වර්ෂය වන විට තම රටේ කාබන් විමෝචන ශුද්ධ ශුන්‍ය මට්ටම දක්වා අඩු කිරීම සඳහා වූ නීති කෙටුම්පතක් ගෙන ඒමට ස්විස්ටර්ලන්තය පියවර ගෙන තිබේ. එරට බොහෝ දේශපාලන පක්ෂවල සහාය මේ සඳහා ලැබී ඇති අතර, ඒ සඳහා පැවැති ජනමත විචාරණයකදී ඡන්ද දායකයින් අතරින් 59.1%ක් පමණ පිරිසක් නව යෝජනාවලට පක්ෂව ඡන්දය ලබා දී ඇත.

දේශගුණ වෙනස් වීම නිසා ඇති වී තිබෙන බලපෑම් ස්විස්ටර්ලන්ත ජනතාව ද අත් දකින අතර, ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර දිය වී යෑම ඒ අතරින් ප්‍රකටම බලපෑමයි. ගණන් බලා ඇති පරිදි, 2001-2022 අතර කාලය තුළ ග්ලැසියර අයිස් අතරින් තුනෙන් එකක් පමණ දියැවී ගොස් තිබේ. මේ තත්ත්වය ද ජනතාවගේ අවධානයට ලක්ව ඇති බව පෙනෙන්නේ උක්ත නව යෝජනා අනුමත කිරීමට පෙළඹීම නිසාය.
 
සිය රටේ බලශන්ති සුරක්ෂිතභාවය ආරක්ෂා කරගනිමින් හි දැරිය හැකි මිල ගණන් තබා ගනිමින් පරිසරය ආරක්ෂා කිරීම එරටට ද අභියෝගයක් බව පැහැදිලිය. මේ නව ‘හරිත බලශක්ති යෝජනා’ මගින් ගෑස් හා තෙල් වෙනුවට දේශගුණ හිතකර විකල්ප ඉන්ධන භාවිත කිරීම ප්‍රවර්ධනය කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම මේ නීති කෙටුම්පතේ අරමුණක් වේ. එසේම හරිත නවොත්පාදන සඳහා ව්‍යාපාර පෙළඹවීමට ද ප්‍රතිපාදන ලබාදීමට ඒ මගින් යෝජනා වී තිබේ.

මේ නව නීති කෙටුම්පත මෙන්ම එයට ජනතාව ලබා දී ඇති සහයෝගය ද ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයකි. හරිතාගාර වායු විමෝචන අධික ලෙස නිකුත් කර දේශගුණ වෙනස් වීමට වැඩි වශයෙන් දායක වී ඇති සංවර්ධිත රටවල් මෙවැනි පියවරක් ගැනීම ඔවුන්ගේ වගකීමකි.

Wednesday, June 14, 2023

වායු දූෂණය වැළැක්වීමෙන් මුදල් ඉතිරි වේ

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 492
විදුසර, 2023-06-14, පි. 2


බෙල්ජියමේ බ්‍රසල්ස්හි දී පසුගිය මාසයේ පැවැති වායු දූෂණය පිළිබඳ සමුළුවක දී අවධානයට ලක් වූ කරුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න වායු දූෂණය නිසා සෞඛ්‍යයට සැලකිය යුතු හානි ඇති විය හැකි බවයි. අනෙක් කරුණ වන්නේ වායු දූෂණය අඩු කිරීමෙන් මුදල් ඉතිරි කරගත හැකි බවයි.

වායු දුෂණය නිසා පරිසරයට එක් වන අංශුමය ද්‍රව්‍ය නිසා මෙන්ම සෙසු සෞඛ්‍ය බලපෑම් නිසාද විශාල මරණ ප්‍රමාණයක් සිදුවේ. එය මිනිසෙකුගේ උපතට පෙර සිට වියපත් වනතුරුම සෞඛ්‍යමය බලපෑම් ඇති කළ හැකි පාරිසරික සාධකයකි.

මේ වන විට පෙන්වා දී ඇති ආකාරයට වායු දූෂණය වැළැක්වීම සඳහා ලෝකයේ රටවල් උනන්දු නොවීමට බලපාන මූලික හේතුව වන්නේ ඒ සඳහා අවශ්‍ය කරන නවීන තාක්ෂණය ආදිය නිසා වැය වන පිරිවැය අධික වීමයි. කෙසේ වෙතත්, වායු දූෂණය අඩු කිරීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසිවල වටිනාකම, වායු දූෂණය අඩු කිරීම සඳහා සිදුකරනු ලබන ආයෝජනවලට වඩා බෙහෙවින් අධික බව පෙන්වා දී ඇත.

නිදසුනක් ලෙස ගතහොත්, ඇමරිකාවේ පිරිසිදු වාතය පිළිබඳ නීතියේ සිදු කර ඇති සංශෝධන නිසා ඇති වී තිබෙන සෞඛයමය ප්‍රතිලාභවල වටිනාකම ඒ සඳහා සිදු කර ඇති ආයෝජනාය මෙන් තිස් ගුණයක් පමණ තරම් වේ. එසේම වායු දුෂණය පාලනය සඳහා මේ වන විට යුරෝපයේ යෝජනා වී ඇති වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා වැය කළ යුතු මුදල මෙන් දස ගුණයක් තරම් වටිනා සෞඛ්‍යමය ප්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය. එසේම ඇතැම් විට ඒ ප්‍රතිලාභයේ වටිනාකම එය තිස් පස් ගුණයක් පමණ අධික විය හැකි බව දක්වා තිබේ.

Tuesday, June 13, 2023

ඇමසන් වනයේ ගස් කැපීමේ තරම!

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 492
විදුසර, 2023-06-14, පි.2


වර්ෂ හයක් පමණ කාලයක් ඇතුළත ඇමේසන් වනාන්තරයේ ගස් මිලියන 800ක් පමණ කපා දමා ඇතැයි හෙළි වී තිබේ. ගව මස් සඳහා ලෝකයේ ඇති ඉහළ යන ඉල්ලුම සම්පූර්ණ කිරීම පිණිස සිදුකරන ගව පාලන කටයුතු මීට හේතුව වේ. ඒ අනුව ලෝකයට මස් අපනයනය කරන මස් නිෂ්පාදනය කරන ආයතන ආසන්නයේ ඇති වනාන්තර හෙක්ටයාර මිලියන 1.7ක් එළි පෙහෙළි කර ඇත.

ගව ඝාතනය හා සැකසුම් සිදු ස්ථාන විස්සක් අවට පිහිටා ඇති ගොවිපොළ දහස් ගණනක් මෙම අධ්‍ය්‍යනයේ දී අවධානයට ලක්ව ඇත. ඒ සඳහා චන්ද්‍රිකා ඡායාරූප, සතුන් ප්‍රවාහනය පිළිබඳ වාර්තා හා වෙනත් දත්ත යොදාගනිමින් 2017 සහ 2022 අතර කාලයේ දී ඇති වූ වනාන්තර විනාශය පිළිබඳ ගණන් බැලීමෙන් ඉහත තොරතුරු අනාවරණය වී ඇත.

මේ මස් සැකසුම් කම්හල් එරට ප්‍රධානතම සමාගම් තුනකට අයත් ඒවාය. එසේම ඒවා වනාන්තර විනාශය සඳහා වැඩි වශයෙන් දායක වන ‍ප්‍රාන්ත තුනක පිහිටා ඇති ඒවාය. එරට ගව මස් කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ ඇමසන් වනාන්තරය එළි පෙහෙළි කිරීම සඳහා දායක වන ගොවිපොළවලින් මස් ලබාගැනීම වළක්වන බව වුවත් තත්ත්වය එසේ නොවන බවක් මේ අනුව පෙනේ.

2019-22 අතර කාලයේ දී ඇමසන් වනාන්තරයේ වන විනාශය වේගයෙන් ඉහළ ගියේ එරට හිටපු ජනාධිපති බොස්සරානෝ අනුගමනය කළ වනාන්තර විනාශයට දිරිදුන් ප්‍රතිපත්ති නිසා බව පෙන්වා දී ඇත. වර්තමාන ජනාධිපති ලූලා ද සිල්වා එය වැළැක්වීම සඳහා පොරොන්දු වී තිබේ.

දේශගුණ වෙනස් වීමට අවධානය යොමු කළ කැනේඩියානු ලැව්ගිනි

ධනේෂ් විසුම්පෙරුම

2023-06-11 (බ්ලොග් අඩවියේ පමණක් පළ කරන ලදි)

"ආරක්ෂිත තැනක් නැත - දේශගුණ අර්බුදය ඇමරිකානු නිවෙස් වෙත ගෙන ආ ලැව්ගිනි දුමාරය" යනු පසුගිය ජුනි 9 දිින 'ද ගාඩියන්' වෙඩ් අඩවියේ පළ වූ පුවතක සිරස්තලයයි. කැනඩාවේ ඇති වූ මහා ලැව්ගිනි නිසා ඇමරිකාවට ඇති වූ බලපෑම මෙයින් පෙන්වා දී තිබේ

කැනඩාවේ පසුගිය මැයි මාසයේ දී ඇති වූ ලැව්ගිනි අතරින් 400ක් පමණ පසුගිය ජුනි 7දා වන විට ද සක්‍රියව පැවැතියේය. ඉන් 150ක් පමණ පැවතියේ ක්විබෙක් ප්‍රාන්තයේය. මේ වර්ෂයේ ලැව්ගිනි සමය කැනඩාවේ මෑත කා‌ලයේ ඇති වූ බරපතළම ලැව්ගිනි සමය විය හැකි බවට අනතුරු හඟවා ඇත. එ නම්, වැඩිම වනාන්තර ප්‍රමාණයක් විනාශ වූ ලැව්ගිනි සමය මෙය විය හැකි බව පුරෝකථනය කර තිබේ. මේ ඇතැම්වා මිනිසුන් විසින් ආරම්භ කරන ලද ගිනි වන අතර, අනෙක්වා අකුණු වැනි ස්වාභාවික තත්ත්ව නිසා හටගත් ඒවාය.

ක්විබෙක් හා ඔන්ටාරියෝ ප්‍රාන්තවල ලැව්ගිනි අවදානම ජුලි පමණ වන විට අඩු විය හැකි නමුත්, වෙනත් ප්‍රාන්තවල ලැව්ගිනි අවදානම වැඩි කාලයක් පැවතීමට අවස්ථාවක් පවතී. "අප අත්දකිමින් සිටින්නේ නව යථාර්ථයක්" යනුවෙන් කැනඩාවේ ස්වාභාවික සම්පත් අමාත්‍ය ජොනතන් විල්කින්ස් විසින් පවසා ඇත.


ඇමරිකාවට බලපෑ හැටි


කැනඩාවේ ඔන්ටාරියෝ හා ක්විබෙක් ප්‍රාන්තවල ඇති වූ ලැව්ගිනි නිසා නිකුත් වූ දුමාරය දකුණු දෙසට හමා ඒමෙන් ඇමරිකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් ඇති වී තිබේ. ඇතැම් ස්ථානවල වාතයේ ගුණාත්මක බව පෙන්වන  දර්ශකයේ අගය 400ක් දක්වා ඉහළ ගිය අතර, එරට තුළ දී 300ක අගයක් සැලකෙන්නේ ද අන්තරාදායක (hazardous) ලෙසය. වායු දූෂණය පිළිබඳ අනතුරු හැඟවීම්වලින් ඇමරිකානුවන් මිලියන 110ක් පමණ බලපෑමට ලක්ව තිබේ. මෙය හදුන්වා දී ඇත්තේ 'මෑත කාලයේ නරකම ලැව්ගිනි වායු දූෂණය' ඇති වු දවස ලෙසයි.

පසුගිය ජුනි 7 දිින ලෝකයේ අයහපත්ම වාතයේ ගුණාත්මක තත්ත්වය පැවති නගරය නිව්යෝක් නගරය විය. ඩෙට්‍රොයිට් නගරය දෙවැනි තැන ගත්තේය. නිව්යෝක් අහස තැඹිලිවන් පැහැ ගෙන තිබේ. එක් කාලගුණ විද්‍යාඥයෙකු පවසා ඇත්තේ නගරය "අඟහරු ලෝකය වැනි" බවයි. ක්‍රීඩාංගන වසා තරඟ කල් දමා ඇත. ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී තිබේ. ජනතාව පසෙක දමා තිබූ මුහුණු ආවරණ යළි භාවිතයට ගෙන ඇත. 

කැනඩාවේ ඇති වු දුමාරයේ බලපෑමෙන් ඇමරිකාවට බලපාන මේ තත්ත්වය තව දින කීපයක් පැවතිය හැකි බව පසුගිය සතිඅන්තය වන විට වාර්තා විය (ඉන්දියාවෙන් නිකුත්වන විමෝචන නිසා වර්ෂයේ අග භාගයේ දී ලංකාවේ වායු දූෂණය ඉහළ යන ආකාරය අපි ද නිරීක්ෂණය කර ඇත්තෙමු). 


දේශගුණ වෙනස් වීමේ බලපෑම


ලැව්ගිනි සඳහා දේශගුණ වෙනස් වීමේ බලපෑම ද මේ සමඟ සාකච්ඡාවට ලක් විය. මේ පිළිබඳ විද්‍යාත්මක පදනම සංකීර්ණ වන අතර, සෑම ලැව්ගින්නක්ම දේශගුණ වෙනස් වීම නිසාම හටගත් බව පැවසිය නොහැකිය. එසේම, මිනිසුන් විසින් භුමිය හා වනාන්තර කළමනාකරණය කරන ආකාරය වැනි සාධක ද මේ තත්ත්වයට බලපායි.

දේශගුණ වෙනස් වීමෙන් ඇතිවන උණුසුම් හා වියළි කාලගුණ තත්ත්ව නිසා ලැව්ගිනි ඇතිවීමට ඇති අවස්ථාව ඉහළ යයි. කැනඩාවේ මේ වර්ෂයේ වසන්තය උණුසුම් හා වියළි එකක් වූ අතර, ඇතැම් ප්‍රදේශවල දිගුකාලීන නියං තත්ත්ව ද පැවතී ඇත.

මේ වන විට අප දකිමින් සිටින, ලැව්ගිනිවලින් වැඩි ප්‍රදේශයක් විනාශ වීම හා වඩා බරපතළ ලැව්ගිනි ඇතිවීම මගින් ලැව්ගිනි සඳහා බලපාන දේශගුණ දායකත්වය ශක්තිමත් වීම පෙන්වන බව උතුරු කැරොලිනා රාජ්‍ය විශ්ව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ෂෙලර් පවසා තිබේ.

අනෙක් අතට, ලැව්ගිනි නිසා නිකුත්වන හරිතාගාර වායු දේශගුණ වෙනස්වීම බරපතළ වීම සඳහා බලපායි. කැනඩාවේ මැයි මාසයේ ඇති වු ලැව්ගිනි නිසා විමෝචනය වූ හරිතාගාර වායු ප්‍රමාණය, පසුගිය වසර විස්ස තුළ මැයි මාසයක දී සාමාන්‍යයෙන් නිකුත්ව ඇති විමෝචනවල අගය මෙන් දෙගුණයක් පමණ වේ.

එසේම, දේශගුණ වෙනස් වීම නිසා අනාගතයේ දී ලැව්ගිනි වඩාත් සුලභව ඇතිවිය හැකි අතර, වඩාත් තීව්‍ර විය හැකි බව පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත් වර්ෂයෙන් වර්ෂය තත්ත්වය වෙනස් විය හැකිය. එසේම, දේශගුණ වෙනස්වීම වඩාත් බරපතළ වන තත්ත්වයක් තුළ ලැව්ගිනි අවදානම තවත් බරපතළ විය හැකිය.


සම්බන්ධ පුවත්

‘Nowhere is safe now’: wildfire smoke brings climate crisis home to Americans - Click here

Weather tracker: Canada wildfires rage in what could be worst season to date - Click here

Is climate change fuelling Canada's wildfires? - Click here