Wednesday, March 16, 2016

මෝසම් වැස්ස ඉහළ ගියේ ස්වභාවික විචල්‍යතාවලින් - ජගත් පරිසර පුවත් 006 (27.03.2013)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.03.2013

Vidusara - World Environmental News (27.03.2013)

මෝසම් වැස්ස ඉහළ ගියේ ස්වභාවික විචල්‍යතාවලින්


මෑතදී ප‍්‍රකාශයට පත්ව ඇති අධ්‍යයනයකට අනුව, මෝසම් වැස්සේ තීව‍්‍රතාවය මෑත කාලයේදී ඉහළ යෑම සඳහා දේශගුණයේ ස්වභාවික විචල්‍යතා හේතු වී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ 1970 දශකයෙන් පසු ගතවූ දශක තුනක පමණ කාලයේදී ලෝකයේ උතුරු අර්ධගෝලයේ දේශගුණික තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමෙනි. මේ කාලය ඇතුළත ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.4කින් පමණ ඉහළ ගොස් ඇති අතර මෝසම් වැස්ස වඩාත් තීව‍්‍ර වී තිබේ. අදාළ කාලය තුළ ග‍්‍රීෂ්ම ඍතුවේ මෝසම් වැස්ස 9.5%කින් පමණ ඉහළ ගොස් ඇති බව ගණනය කර ඇත. මෙය මේ වන විට හරිතාගාර ආචරණය නිසා ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති 2.6%ක පමණ අගය හා සංසන්දනය කරන විය විශාල ලෙස වෙනස්ය.
මේ අනුව මෝසම් වැස්ස සඳහා මිහිතලය උණුසුම්වීමට වඩා වැඩි බලපෑමක් ස්වාභාවික දේශගුණික විචල්‍යතා මගින් ඇති කරන බව පෙනේ. එල් නිනෝ හා ලා නිසා තත්ත්වය මෝසම් වැස්සට බලපෑම් කරන මෙවැනි ස්වාභාවික සංසිද්ධි දෙකකි. අත්ලාන්තික් බහු දශකමය දෝලනය වැනි සිදුවීම්ද මීට බලපෑමක් කරයි. කෙසේ වෙතත් මේ ස්වාභාවික විචල්‍යතා පිළිබඳ අපේ ඇති අවබෝධය එතරම් පුළුල්වූවක් නොවේ.
මෝසම් වැස්සේ ඇති වන වෙනස්වීම් ආසියානු කලාපයේ රටවල් ගණනාවකට යම් බලපෑමක් ඇති කළ හැකිය. උතුරු අර්ධගෝලයේ රටවල වෙසෙන ලෝක ජනගහනයෙන් සියයට 60ක් පමණ පිරිසකට බලපෑම් කළ හැකි මෝසම් වැසිි පිළිබඳ පුරෝකථන සිදුකිරීමද සංකීර්ණ වූ කාර්යයකි. (මූලාශ‍්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1219405110)

Saturday, March 12, 2016

ඞීඞීටීවලට මවකුසේදී නිරාවරණය වීමත් අධි රුධිර පීඩනයට හේතුවක් - ජගත් පරිසර පුවත් 005 (20.03.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.03.2013 

Vidusara - "World Environmental News - 20.03.2013"


ඞීඞීටීවලට මවකුසේදී නිරාවරණය වීමත් අධි රුධිර පීඩනයට හේතුවක්


මව් කුසේ සිටියදී අධික ඞීඞීටී මට්ටමකට නිරාවරණය වන ගැහැණු ළමුන්, ඔවුන් වැඩිහිටියන් වූ පසුව අධි රුධිර පීඩනයට ලක්වීමට ඇති හැකියාව එසේ නොවන ළමුන් මෙන් තුන් ගුණයක් අධික හැකිය. මේ බව පෙන්වා දෙන්නේ ඇමරිකාවේ සිදුකරන ලද අධ්‍යයනයකි. ඞීඞීටී රසායන ද්‍රව්‍යය එරට තුළ භාවිතය තහනම් කිරීමට පෙර උපත ලද (1959-1967 අතර) කාන්තාවන් අතර මේ රෝගී තත්ත්වය දැකිය හැකි වීම මෙහිදී අවධානය යොමු වූ කරුණයි. ඔවුන්ගේ මව්වරුන්ගේ ශරීරයේ පැවැති ඞීඞීටී සාන්ද්‍රණය පිළිබඳ දත්ත ඇති බැවින් එය හා දූවරුන් අතර අධි රුධිර පීඩනය අතර සංසන්දනයක් සිදුකිරීමට හැකියාවක් ලැබී ඇත.

ඞීඞීටී (DDT - dichlorodiplhenyltrichloroethane) රසායනයට නිරාවරණය වූ වැඩිහිටියන් අතර අධි රුධිර පීඩනය ඇතිවිය හැකි බව මින් පෙර හෙළි වී ඇති කරුණකි. එහෙත් උපතට පෙර ඊට නිරාවරණය වීමේ බලපෑම් පිළිබඳව තොරතුරු දක්වන මුල්ම පර්යේෂණය සේ මෙය සැලකේ.

ඞීඞීටී භාවිතය මේ වන විට බෙහෙවින් සීමා කර ඇති නමුත් ලෝකයේ රටවල් ගණනාවක මේ රසායන ද්‍රව්‍යය තවදුරටත් භාවිත කරනු ලැබේ. එවැනි රටවල වෙසෙන කාන්තාවන් අතර අනාගතයේදී මේ රෝගය සුලභ විය හැකි නිසා උක්ත තත්ත්වය ගැන යම් අවධානයක් යොමු කළ යුතුය. (මූලාශ‍්‍රය: Environmental Health Perspectives, DOI: 10.1289/ehp.1205921)