Tuesday, February 21, 2023

ඇන්ටාක්ටිකාවේ සාගර අයිස් අවම මට්ටමක

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 484
විදුසර, 2023-02-22, පි. 2


අන්ටාක්ටික් මහාද්වීපය අවට සාගරයේ පාවෙන අයිස්වලින් වැසී ඇති ප්‍රදේශය මෙතෙක් වාර්තාගත අවම මට්ටමට ළඟා වී ඇති බබව පසුගිය දා වාර්තා විය. ඇමරිකාවේ ජාතික හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානයට (NSIDC) අනුව ඇන්ටාක්ටික් සාගර අයිස් ප්‍රමාණය පසුගිය පෙබරවාරි 13 දින වර්ග කිලෝමීටර් මිලියන 1.91 දක්වා පහත වැටී ඇත. 2022 වර්ෂයේ වාර්තා වූ මෙතෙක් පැවැති අවම අගය වූයේ වර්ග කිලෝමීටර් 1.92කි. එසේම දක්ෂිණාර්ධගෝලයේ ග්‍රීෂ්ම ඍතුවේ සිදුවන අයිස් දියැවීම තවමත් අවසන්ව නැති බැවින් මේ ප්‍රමාණය තවත් අඩු විය හැකිය.

1979 වර්ෂයේ සිට මේ ප්‍රදේශයේ සාගර අයිස් ප්‍රමාණය පිළිබඳ වාර්තා තිබේ. ග්‍රීෂ්ම ඍතුවේ දියැවී යන මේ අයිස්, සරත් ඍතුවේදී නැවතත් වර්ධනය වේ. කෙසේ වෙතත්, මේ ප්‍රදේශයේ අයිස් ආවරණයේ විශාල විචල්‍යතාවයක් කලින් කලට දැකිය හැකි වූ බැවින් එය මිහිතලය උණුසුම් වීමේ බලපෑමට සම්බන්ධ කිරීම මෙතෙක් අපහසු විය (සංසන්දනාත්මකව ගත් විට ඇක්ටික් ප්‍රදේශයේ අයිස් දියැවීමේ කැපීපෙනන අඩුවීමක් කලක් තිස්සේ පවතී). කෙසේ වෙතත් පසුගිය හය වර්ෂයක පමණ කාලයේ ඇන්ටාක්ටික් සාගර පදේශයේ දැකිය හැකි සාගර අයිස් ප්‍රමාණයේ අඩු වීම, සාගර උෂ්ණත්වය ඉහළ යෑම හා දේශගුණ අර්බුදයේ තරම ඇන්ටාක්ටිකාවෙන් ද පෙනෙන බවට සාධකයකි. මෙවැනි ආන්තික තත්ත්වයක් එහි මෙතෙක් සිදු වී නොමැති බව විද්‍යාඥයින්ගේ අදහසයි.

මේ මුහුදු අයිස් මගින් ග්ලැසියර හා අයිත් තට්ටු දිය වීම පාලනය කරයි. මේ අයිස් දියවීම සමඟ සාගර රළවලට ග්ලැසියර හා අයිත් තට්ටු නිරාවරණය වීම ඉහළ ගොස් ඒවා බිඳවැටීම හා අයිස් දියැවීම වේගවත් වේ.

වන විනාශයේ සමාගම් සතු වගකීම නොසලකා හැරලා ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 484
විදුසර, 2023-02-22, පි. 2


විවිධ නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනවල අමුද්‍රව්‍ය සැපයීමේ දී සිදුවන වන විනාශය නැවැත්වීම සඳහා 2021 වර්ෂයේ දේශගුණ සමුළුවේ දී ලෝක නායකයෝ පොරොන්දු වූහ. මේ පිළිබඳව කටයුතු කරන බවට ලෝකයේ විවිධ සමාගම් පොරොන්දු, ප්‍රතිඥා ආදිය ලබා දී තිබේ. මේ සම්බන්ධව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව, තම නිෂ්පාදනවල සැපයුම් හරහා නිවර්තන වනාන්තර එළිපෙහෙළි වීමට දායක වන සමාගම් අතරින් 31%ක් මෙතෙක් ඒ කිසිදු ද්‍රව්‍යයක් පිළිබඳව කිසිම ප්‍රතිපත්තියක් හෝ කැපවීමක් සිදුකරන බව ප්‍රකාශ කර නැත. එසේම තමන්ගේ සියලු අමුද්‍රව්‍ය සම්බන්ධව මෙවැනි ප්‍රතිඥා ලබා දී ඇති සමාගම් සියයක් අතරින් ඒ සැපයුම් දාමවල සිටින සැපයුම්කරුවන් හෝ අදාළ ප්‍රදේශ හෝ සම්බන්ධව අධීක්ෂණය කරන්නේ සමාගම් 50%ක් පමණකි.

මේ අතර එවැනි සමාගම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයන මූල්‍ය ආයතන අතරින් 61%කට ඔවුන් සපයන ණය හා ආයෝජන හා ඒ නිසා ඇති විය හැකි වන විනාශය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැත. වන විනාශය ආයෝජන අවදානමක් ලෙස සලකා ඇත්තේ සමාගම් අතරින් 31%ක් පමණකි.

Global Canopy නම් ආයතනයෙන් සිදු කර ඇති 'Forest 500' නම් මේ වාර්තාවට අනුව වන විනාශය සඳහා දායක වන මෙවැනි කටයුතු අවසන් කිරීම සඳහා ලබා දී ඇති එක්සත් ජාතීන්ගේ ඉලක්කය වන 2025 වර්ෂයට තවත් ඇත්තේ වසර දෙකක් පමණි. හරිතාගාර වායු විමෝචන ශුද්ධ ශුන්‍ය බවට පත් කිරීමේ දී මේ වන විනාශය සම්බන්ධ ඉලක්ක ඉතා වැදගත්ය.

මූලාශ්‍රය - Forest 500, https://forest500.org

Tuesday, February 7, 2023

ආරක්ෂිත ප්‍රදේශවලින් කෘමීන්ට ලැබෙන ආරක්ෂාව මදි!

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 483
විදුසර, 2023-02-08, පි. 2


සෙසු ජීවීන්ට මෙන්ම මිනිසුන්ට ද ප්‍රයෝජනවත් වන කෘමීන් දිනෙන් දින තර්ජනයට පත්වන ජීවී කාණ්ඩයකි. කෘමි ගහන දිනෙන් දින පිරිහී යන අතර, සංරක්ෂණ ප්‍රයත්නවල දී ද එතරම් අවධානයකට ලක් වී නැත. මේ පිළිබඳව අවධානය යොමු කර ඇති අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ මේ වන විට පවත්නා ආරක්ෂිත ප්‍රදේශවලින් කෘමි විශේෂ අතරින් 76%ක් පමණ ප්‍රමාණයකට ප්‍රමාණවත් ආරක්ෂාවත් නොලැබෙන බවයි.

මේ බව අනාවරණය වී ඇත්තේ කෘමි විශේෂ 89151ක් පමණ ප්‍රමාණයක ව්‍යාප්ති සිතියම් සහ ආරක්ෂිත ප්‍රදේශවල සිතියම් සමග සංසන්දනය කිරීමකි. මේ අතර දැඩි ලෙස තර්ජනයට පත්ව ඇති බව සැලකෙන කෘමි විශේෂ ද වෙයි. මෙසේ කෘමි විශේෂ සඳහා ආරක්ෂිත බව අඩු ප්‍රදේශ අතර, දකුනු හා අග්නිදිග ආසියාව ද වේ. අනෙක් අතට විශේෂ 1876ක ව්‍යාප්ති සිතියම් හා ආරක්ෂිත ප්‍රදේශ සමඟ සමපාත වන්නේ නැත.

මේ අධ්‍යයනයේ දී අවධානය යොමුවී ඇත්තේ මිලියන 5.5ක් පමණ වන කෘමි විශේෂ අතරින් සුළු ප්‍රමාණයකි. ඉන් හෙළි වන තොරතුරු අනුව ආරක්ෂිත ප්‍රදේශ නිර්ණය කිරීමේ දී කෘමි විශේෂ සම්බන්ධව ද අවධානය යොමු විය යුතු බව මේ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබේ. අනෙක් අතට ආරක්ෂිත ප්‍රදේශවල වාසය කරන කෘමි විශේෂ පවා තර්ජනයට ලක්ව ගහන හායනයට ලක් වන බව ද ඔවුහු පවසති.

මූලාශ්‍රය - One Earth, DOI: 10.1016/j.oneear.2022

යුද සමයේ පරිසර විනාශය ගැන රටකට එරෙහිව තවත් රටකින් නඩු

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 482

විදුසර, 2023-01-25, පි. 2

අසර්බයිජානයේ නගර්නෝ-කරබාක් ප්‍රදේශය දශක තුනක පමණ කාලයක් අත්පත් කරගෙන සිටි ආමීනියානුවන් එහි පරිසරයට හා ජෛව විවිධත්වයට සිදු කළ විනාශයට‌ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අසර්බයිජානය පියවර ගෙන තිබේ. මේ අනුව අන්තර් ජාතික විනිශ්චය සභාවක් මගින් රටවල් දෙක අතර ගැටුම් ඇති වූ කාලයේ දී සිදු වූ පරිසර හානිය පිළිබඳව සලකා බලනු ඇත.

1990 දශකයේ දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව මේ භූමි ප්‍රදේශය ආමීනියාව විසින් අත්පත් කරගත් අතර, දශක තුනකට ආසන්න කාලයක් පාලනය කළේය. පසුගිය 2020 වර්ෂයේ දී අසර්බයිජාන හමුදා මේ ප්‍රදේශය නැවත අත්පත් කරගත්තේය. ඒ ප්‍රදේශයේ සිදු වූ විශාල හානිය නිරීක්ෂණය කරන ලද්දේ ඉන් පසුවය. පතල් කැනීම් නිසා වනාන්තර විනාශ වීම, ජෛව විවිධත්වය හායනයට ලක් වීම සිදුවී ඇති අතර බිම්බෝම්බ නිසා වනජීවීන් අනතුරට ලක්ව ඇත. එසේම බැරලෝහ හා ආයුධවල ශේෂ නිසා පරිසරය ද ජලය ද දූෂණය වී තිබේ. මේ බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ වාර්තාවක ද සඳහන් වේ. සඳහන් වේ. කෙසේ වෙතත් යුද්ධය නිසා ජෛව විවිධත්වයට යහපතක් සැලසෙන්නට ඇති බවක් ඒ වාර්තාවේ සඳහන් වන්නේ මානව ජනාවාස සමහරක් අත්හැර දැමීම නිසාය. මේ ප්‍රදේශය ජෛව විවිධත්වය සම්බන්ධව වැදගත් ප්‍රදේශයකි.

ස්වභාව ධර්මය පිළිබඳ බර්න් සම්මුතිය යටතේ රටක් තවත් රටකට එරෙහිව නීතිමය පියවරක් ගන්නා පළමු අවස්ථාව මෙය වේ. මෙහි දී අසර්බයිජානය ජය ගතහොත් වන්දි මුදලක් ගෙවීමට ආමිනියාවට සිදු විය හැකිය. එසේ වුවහොත්, ජෛව විවිධත්වය හා පරිසර විනාශය සම්බන්ධව ආර්ථික අගයක් ලබාදුන් පළමු අවස්ථාව ද මෙය වනු ඇත.