Tuesday, February 20, 2024

පර්යටනය කරන ජීවීන් වඳවීමේ ඉහළ තර්ජනයක

ජගත් පරිසර පුවත් 509

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-21, පි. 2


වැඩි අවදානමකට ලක්ව ඇති පර්යටනය කරන ජීවී විශේෂ මුහුණ දී ඇති වඳවීමේ තර්ජනය ඉහළ යමින් ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි. ඒ බව හෙළි වී ඇත්තේ පර්යටන කරන ජීවී විශේෂ පිළිබඳව මුල්වරට සිදුකරන ලද අගැයීම් වාර්තාවකිනි.

මේ වාර්තාවේ දී පර්යටන විශේෂ සංරක්ෂණය සඳහා වන සම්මුතිය (CMS) යටතේ ආරක්ෂිත ලෙස ලේඛනගත කර ඇති විශේෂ 1,189ක් අතරින් පහෙන් එකක් පමණම වඳවීමේ තර්ජනකට ලක් ව සිටී. මුළු විශෙ ්ෂ ගණනින් 44%ක් පමණ ගහනවල අඩුවීමක් දැකිය හැකිය. ඇතැම් ජීවී කාණ්ඩවල සතුන්ට ඇති තර්ජනය වඩාත් බරපතළය. නිදසුනක් ලෙස සම්මුතියේ ලේඛනගතව ඇති මත්ස්‍ය විශේෂ අතරින් 97%ක් පමණ ප්‍රමාණයක්  වඳවීමේ තර්ජනයකට ලක්ව ඇත.

පර්යටනය සිදුකරන සතුන් ලෝකයේ පරිසර පද්ධති සම්බන්ධව වැදගත් පාරිසරික කාර්යයක් ඉටුකරයි. ඇතැම්විට ඒ පිළිබඳව ඇති අවබෝධය අඩුය. කෙසේ වෙතත් මේ සතුන් ආහාර, විනෝද ක්‍රීඩා හා නීතිවිරෝධී වෙළඳාම වැනි විවිධ හේතු සඳහාත් සිදුකරන දඩයම නිසා සහ වාසස්ථාන හායනයට ලක් නිසා මේ වන විට වඳවීමේ අවදානමක පසුවෙයි. එසේම, ඒ තත්ත්වය වැළැක්වීම සඳහා ගත යුතු වන නිර්දේශ කීපයක් ද මේ වාර්තාවේ ඇතුළත් වේ. ඒ නිර්දේශ අතර, පර්යටන සතුන්ගේ ගමන්මාර්ග ඔස්සේ වැඩි ඇති ජෛව විවිධත්ව ආරක්ෂක ප්‍රදේශ ඇති කිරීම, පර්යටන ගමන් මාර්ත අතර ඇති බලපෑමක් ඇති ඉදිකිරීම් (වේලි ආදි) ඉවත් කිරීම වේ. එසේම ආරක්ෂිත මංකඩ ඇති කිරීම හා හායනයට ලක්ව ඇති පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය ද වැදගත් නිර්දේශ වේ.

මූලාශ්‍රය - State of the World’s Migratory Species, www.cms.int)

https://www.cms.int/en/publication/state-worlds-migratory-species

උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවූ වසරක කාලයක්

ජගත් පරිසර පුවත් 509

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-21, පි. 2

ලෝකයේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය, පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5ක ඉහළ මට්ටමක සම්පූර්ණ වර්ෂයක් හෙවත් දින 365ක කාලයක් පුරා මුල්වරට පැවති බව පසුගියදා වාර්තා විය. ඒ අනුව, 2023 පෙබරවාරි සිට 2024 ජනවාරි දක්වා වූ කාලයේ දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.52ක් ඉහළ විය. යුරෝපයේ කොපර්නිකස් දේශගුණ වෙනස්වීම් සේවය මේ බව පෙන්වා දෙයි. ලෝකයේ මෙවැන්නක් වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය වීම වැදගත් කරුණකි. දේශගුණ වෙනස් වීම හමුවේ ලෝකය පිළිගත් (පැරිස් ගිවිසුම අනුව ද) ආරක්ෂිත උෂ්ණත්ව සීමාව වූ අංශක 1.5 අගය ස්ථිරව ඉක්ම වූ බවක් මින් නොකියවෙන නමුත්, ලෝකයේ සමාන්‍ය උෂ්ණත්වය ඒ මට්ටමට පැමිණීමට වැඩි කාලයක් නොමැති බවක් මේ තත්ත්වය මගින් ඉඟි කෙරේ. අනෙක් අතට, ගත වූ වර්ෂයේ පැවැති ආන්තික කාලගුණ තත්ත්ව මෙවැනි තත්ත්වයක දී පැවතිය හැකි ස්වභාවය පිළිබඳව සාධක සපයයි.

මේ අතර 2024 පෙබරවාරි මාසයේ දී ලෝකයේ ප්‍රදේශ රැසක උෂ්ණත්ව පිළිබඳ වාර්තා අලුත් වෙමින් ඇති බව කාලගුණ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. මේ දක්වා ලෝකයේ වාර්තා වී ඇති උණුසුම අධිකතම පෙබරවාරි මාසය ඇතිවෙමින් තිබෙන බව පෙනේ. මේ මාසයේ මුල් දින අට තුළ ගෝලීය පෘෂ්ඨීය උෂ්ණත්වය මෙතෙක් වාර්තාගත ඉහළම අගය වීම මේ සඳහා සාධක වේ. එසේම, රටවල් ගණනාවක මේ තත්ත්වය ඇති වී තිබේ. මිනිසුන් විසින් සිදුකරන ලද ගෝලීය උණුසුම හා එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙයි. මේ ඇතිවෙමින් පවතින්නේ එල් නිනෝ බලපෑමේ උපරිම අවස්ථාව වන අතර එය ඉදිරි මාස කිහිපයක කාලයේ දී ක්‍රමයෙන් අඩු වී යා හැකිය.

Saturday, February 17, 2024

හිම වලසුන්ට කුසගින්නේ ඉන්න වෙලා!

ජගත් පරිසර පුවත්

ධනේෂ් විසුම්පෙරුම 

Blog පුවතක් පමණි, 2024-02-18

ආක්ටික් සාගරයේ අයිස් දියවීමත් සමඟ භූමිය මත ජීවත් වීම සඳහා හැඩගැසීමට නොහැකි වීමෙන් හිමබ වලසුන් කුසගින්නේ පසුවන බව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. 

ආක්ටික් ප්‍රදේශයෙ ජීවත්වන මේ වලසුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ රිංග්ඩ් සීල් නමින් හඳුන්වන සාගරයේ දී අල්ලා ගත හැකි සීල් මත්ස්‍යයින්ය.

එහෙත් ආක්ටික් සාගරය මත අයිස් දියැනීමත් සමග ම් වලසුන් සැලකිය යුතු පිරිසකට ගොඩබිම වෙරළ ප්‍රදේශයේ ජීවත් වන කාලය ඉහළ යයි. මේ කාලයේ දී කුරුලු බිත්තර, ගෙඩි වර්ග හා තණකොල ආහාරයට ගැනීමට සිදුව තිබේ. එහෙත් මෙසේ වැඩි වශයෙන් ගොඩබිම ජීනවත්වන වලසුන්ගේ දේහ බර අඩුවීම සිදු වන අතර, අධයයවයට ලක් කළ වලසුන් 20ක් අතරින් 19කගේ දේහ බර අඩු වී තිබේ. ඒ ප්‍රමාණය දිනකට කිලෝග්‍රෑම් 0.4 සිට 1.7 දක්වා තරම් විය හැකිය. මෙසේ කුසලගින්නේ පසුවන වලසුන් මරණයට පත් වීමේ අවදානම  ඉහළය.

මූලාශ්‍රය - Nature Communications, DOI: 10.1038/s41467-023-44682-1

https://www.nature.com/articles/s41467-023-44682-1

Tuesday, February 6, 2024

ඇමසන් නියඟයට ප්‍රධාන හේතුව දේශගුණ වෙනස් වීමයි

ජගත් පරිසර පුවත් 508

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-07, පි. 2

ඇමසන් වනාන්තරයේ පසුගිය වර්ෂයේ දී ඇති වූ දැඩි නියඟය වසර පනහක පමණ කාලය තුළ ඇතිවූ බරපතළම නියඟ තත්ත්වය විය. ඒ සඳහා බලපා ඇති ප්‍රධාන සාධකය වන්නේ දේශගුණ වෙනස් වීම බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඒ සඳහා දේශගුණ වෙනස් වීම බලපා ඇත්තේ ආාර දෙකකිනි. එකක් නම් සාමාන්‍යයෙන් වර්ෂාව නොලැබෙන කාලයේ දී ඇති වන තත්ත්වය උග්‍ර කිරීමට අධික උෂ්ණත්වයක් හේතු වීමයි. අනෙක වන්නේ උණුසුම් උෂ්ණත්වයක් පවත්නා විට පසෙන් හා ශාකවලින් ජලය වැඩි වශයෙන් වාෂ්පීකරණය වීමයි.

මේ තත්ත්වය කෙසේ ද යත්, දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ ගොස් නොතිබුනේ නම්, ඇමසන් කලාපයේ මෙවැනි නියඟයක් ඇති විය හැක්කේ අවුරුදු 1500කට පමණ කාලයකට වරකි. එහෙත් දැන් පවත්නා තත්ත්වය අනුව එවැන්නක් වසර 50කට වරක් වුව ද ඇති විය හැකිය.

එසේම මේ ආකාරයෙන් නියඟය වැනි ආපදාවලට ලක්වීම සඳහා වනාන්තර විනාශය හේතුවෙන් වනාන්තර හායනයට ලක්ව තිබීම ද හේතුවකි. එසේම, පවත්නා එල් නිනෝ තත්ත්වය ද මේ සඳහා බලපා ඇතත් ප්‍රධාන හේතුව එය නොවන බව මේ අධ්‍යයන‌යෙන් පෙන්වා දී ඇත.

ඇමසන් වනාන්තරයේ නියඟ ඇති වීම එතරම් දුර්ලභ නොවූවත්, පසුගිය වර්ෂයේ ඇති වූ නියඟය බරපතළ හා අසාමාන්‍ය ලෙස දැඩි වූවකි. මෙවැනි දැඩි නියඟයකින් වනාන්තරට, එහි වෙසෙන ජීවීන්ට මෙන්ම මිනිසුන්ට ද බලපෑම් සිදුවිය හැකිය. මෙසේ නියඟයේ බලපෑම නිසා විනාශ වෙමින් ඇති ඇමසන් වනාන්තරය යනු ලෝග දේශගුණ වෙනස් වීම පාලනය කිරීමේ ලා ඉතා වැදගත් වන පරිසර පද්ධතියක් වීම මෙහි ඇති කණගාටුදායක කරුණ වේ. (මූලාශ්‍රය - Climate change, not El Niño, main driver of extreme drought in highly vulnerable Amazon River Basin, DOI:10.25561/108761)

ස්වාභාවික සම්පත් නිස්සාරණ ඉහළ යෑම වැළැක්විය යුතුයි

ජගත් පරිසර පුවත් 508

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-02-07, පි. 2

විවිධ අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම 2060 වර්ෂය වන විට 60%කින් පමණ ඉහළ යා හැකි බව පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වීහට නියමිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් පෙන්වා දී ඇති බව ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි. මේ තත්ත්වය දේශගුණය මෙන්ම පරිසරය සම්බන්ධව ද බරපතළ ප්‍රතිඵල ඇති කළ හැකි තත්ත්වයක් බැවින් එය පාලනය කළ යුතු බව පැහැදිලිය.

වසර පහකට වරක් නිකුත් කරන ගෝලීය සම්පත් දැක්ම (UN Global Resource Outlook) මේ වාර්තාව අනුව වර්තමානයේ ලොකයේ දැකිය හැකි කාර්මිකකරණය, නාගරිකකරණය හා ජනගහන වර්ධනය හේතුවෙන් ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම 1970 සිට මේ දක්වා ගත වී ඇති කාලය තුළ 400% ක් පමණ ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. මේ ආකාරයෙන් ස්වාභාවික සම්පත් නිස්සාරණය කිරීම ගෝලීය උණුසුමේ බලපෑමෙන් 60%කට (භූමි භාවිතයේ වෙනස්කම් ඇතුළත්ව), වායු දූෂණයේ බලපෑමෙන් 40%කට, ගෝලීය ජල ආතතියෙන් මෙන්ම ජෛව විවිධත්වය අහිමිවීමෙන් 90%කට තරම් හේතු වේ.

මේ තත්ත්වය මත උක්ත වාර්තාව මගින් යෝජනා කරන්නේ සමස්තයක් ලෙස අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සිදු කළ යුතු බවයි. එසේ නොමැතිව, හුදෙක් හරිත නිෂ්පාදනය ඉහළ නැංවීම මේ තත්ත්වයට පිළියමක් නොවන බව ඔවුන්ගේ අදහස වේ. නිදසුනක් ලෙස සාමාන්‍ය කාර් රථයක් සඳහා අවශ්‍ය ඉතා වැදගත් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙන් දස ගුණයක් පමණ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විදුලි කාර් රථයක් සඳහා අවශ්‍ය වේ. මේ නිසා සම්පත් නිස්සාරණය මගින් පරිසරයට හානි සිදුවීම වැළැක්වීමට නම්, දුරස්ථව වැඩ කිරීම, ප්‍රාදේශීය වශයෙන් සේවා සැපයීම හා අඩු කාබන් ප්‍රවාහන විකල්ප (දුම්රිය වැනි) ප්‍රවර්ධනය කිරීම වැනි පියවර හරහා ප්‍රවාහන පද්ධතිය හරිතවත් කිරීම වඩා සුදුසුය.