Wednesday, May 31, 2023

ප්ලාස්ටික් නිසා ඇතිවන ගංවතුරෙන් දිළිඳු ජනතාව අවදානමේ

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 491
විදුසර, 2023-05-31, පි. 2


ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ජල මාර්ගවල අවහිර වීමෙන් ලෝකය පුරා මිලියන 218ක පමණ පිරිසක් තීව්‍ර හා නිතර ඇතිවන ගංවතුරෙන් අවදානමකට ලක්වන බව පසුගියදා පළ වූ වාර්තාවකින් පෙන්වා දී තිබේ. මෙහි ඇති වැදගත්කම වන්නේ ඒ පිරිස දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පෙලෙන පිරිසක් වීමයි.

මේ වාර්තාව සකස් කිරීම සඳහා පාදක කරගෙන ඇත්තේ 2022 වර්ෂයේ දී ගංවතුර අවදානම හා දරිද්‍රතාවය පිළිබඳව සිදු කළ අධ්‍යයනයකි. ලෝකයේ රටවල් 188ක බිලියන 1.8ක පිරිසක් දැඩි ගංවතුර අවදානමකට ලක්වන බව එහි දක්වා තිබේ. ඒ දත්ත යොදාගනිමින්, ජලාපවහනය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ද ප්‍රමාණවත් නොවන අඩු හා මධ්‍ය ආදායම් රටවල ජනගහනය පිළිබඳව මේ නව වාර්තාවෙන් අවධානය යොමු කර ඇත. එසේම වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති රටවල් පමණක් හා නාගරික පැල්පත් වාසීන් පිළිබඳව සලකා බලා තිබේ.

ඒ අනුව, ගංවතුර නිසා වැඩි අවදානමකට ලක්ව ඇති පිරිස් අතරින් හතරෙන් තුනක් පමණ පිරිසක් ජීවත් වන්නේ අග්නිදිග ආසියාවේ හා පැසිපික් කලාප‌යේය. එසේම වර්තමාන ප්‍රවණතාවය අනුව 2060 වන විට ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය තුන් ගුණයකින් ඉහළ යා හැකි අතර, නාගරික පැල්පත්වාසීන් ප්‍රමාණය 2050 වන විට බිලියන තුනක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඒ අනුව තීරණාත්මක පියවරක් නොගතහොත් ප්ලාස්ටික් පරිසර දූෂණය නිසා ඇති වන ගංවතුර අර්බුදය බරපතළ පාරිසරික හා සමාජයීය ගැටලුවක් විය හැකිය.

මූලාශ්‍රය - Global Impact of Plastics on Flooding, www.tearfund.org

2027ට පෙර උෂ්ණත්වය අංශක 1.5 සීමාව පනී?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 491
විදුසර, 2023-05-31, පි. 2


ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවීම 2023 වර්ෂයත් 2027 වර්ෂයත් අතර දී පළමු වරට සිදුවීමට 66%ක පමණ අවස්ථාවක් ඇති බව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ සඳහා බලපාන හේතු අතර මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන ලෝකය උණුසුම් වීම මෙන්ම මේ වර්ෂය අවසානයේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය ද පවතී.

කාර්මිකකරණය නිසා ලෝකයේ විමෝචන විශාල වශයෙන් පිට වීමට පෙර කාලයේ, එනම් 1850-1900 අතර කාලයේ දී ලෝකයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අද වන විට උෂ්ණත්වය කෙතරම් ඉහළ ද යන්න මෙමගින් දැක්වේ. අද වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය, ඒ අගයට වඩා අංශක 1.1ක් පමණ ඉක්මවා ඇත. ලෝකයේ වාර්තා වී ඇති ඉහළ ම උෂ්ණත්වය වාර්තා වූ 2016 වර්ෂයේ පැවැති උෂ්ණත්වය ඊට වඩා අංශක 1.28කින් ඉහළ විය. එහෙත් ඉදිරි වර්ෂ හතරෙන් එකක දී ඒ වාර්තාව ඉක්මවිය හැකිය.

මෙසේ ඉදිඑරි වර්ෂයක දී මුල් වරට සෙල්සියස් අංශක 1.5 අගය පළමුවරට ඉක්මවීම තාවකාලික එකක් විය හැකි නමුත් සාමාන්‍ය උෂ්ණත්වය ඒ අගය ඉක්මවීම වැඩි ඈතක නොවන බව විද්‍යාඥයින්ගේ අදහස වේ. දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිඵල වැළැක්වීමට නම්, ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5ක සීමාවේ හෝ 2 සීමාවේ තබා ගත යුතු බව පුළුල්ව පිළිගන්නා කරුණකි. එය පැරිස් දේශගුණ ගිවිසුමේ ද සඳහන් වෙයි.

මූලාශ්‍රය - WMO Global Annual to Decadal Climate Update (Target years: 2023-2027), www.wmo.int

Wednesday, May 17, 2023

සදාකාලික රසායනවල සමාජයීය පිරිවැය

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 490
විදුසර, 2023-05-17, පි. 2


‘සදාකාලික රසායන‘ (forever chemicals) යනුවෙන් හඳුන්වනු PFAS කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය නිසා ලෝක ආර්ථිකයට වාර්ෂිකව ඇති වන සමාජයීය පිරිවැය ඩොලර් ට‍්‍රිලියන 1.75ක් පමණ බව ගණනය කර තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මේ රසායන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් එකක වෙළෙපොළ වටිනාකම ඩොලර් 20.75ක් තරම් වුවත්, එක් කිලෝග‍්‍රෑමයක සමාජමය පිරිවැය සමඟ වටිනාකම ඩොලර් 20,456.78ක් තරම් වේ.

ස්වීඩනයේ ක‍්‍රියාත්මක ChemSec නම් රාජ්‍ය නොවන සංවිධානය සකස් කර ඇති මේ වාර්තාව අනුව උක්ත සමාජමය පිරිවැය ගණනය කර ඇත්තේ අදාළ රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන පරිසර දූෂණය වැළැක්වීම හා පිළියම් යෙදීම, සෞඛ්‍යමය වියදම් ආදිය සලකා බැලීමෙනි. ඒ වියදම් කාණ්ඩ හතරකට බෙදා ඇති අතර, වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ මේ රසායනික ද්‍රව්‍ය නිසා දූෂණය වන පස හා ජලය සඳහා ප‍්‍රතිකාර කිරීමටය. එසේම, සෞඛ්‍යමය පිරිවැය තුන්වන තැන ගනියි. මේවායින් ඇතිවන දූෂණය ජෛව නිරීක්ෂණය කිරීම සඳහා වැයවන වියදම සිව්වන තැන ගනී.

PFAS නමින් හඳුන්වන්නේ පර් සහ පොලිෆ්ලූරොඇක්ලයිල් (Per- and polyfluoroalkyl) නම් කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය වේ. මේ රසායන ද්‍රව්‍යවල දැකිය හැකි ලක්ෂණ නිසා ජලය හා තාපයට ඔරොත්තු දෙන භාණ්ඩ නිෂ්පාදනයේ දී යොදා ගැනේ. එවැනි රසායන ද්‍රව්‍ය 15000කට අධික ප‍්‍රමාණයක් භාවිතයේ ඇති අතර, ස්වාභාවිකව හායනයට ලක් නොවන නිසා මේවා සදාකාලික රසායන යනුවෙන් හඳුන්වනු ලැබේ.

මේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම්වල වාර්ෂික ලාබය ද විශාල නැත. එක් විශාලතම සමාගමකට ලැබෙන ලාබය ඩොලර් බිලියන 5කි. එහෙත් මේවායේ සමාජයීය පිරිවැය දැරීමට සිදුවන්නේ ඒ ඒ රටවල රජයේ බලධාරීන්ටය. මේ රසායන ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ සීමා පැනවීමට යම් යම් පියවර යෝජනා වී ඇත.

Tuesday, May 16, 2023

බ්‍රිතාන්‍යයේ අංක එකට සුළං බලය

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 490
විදුසර, 2023-05-17, පි. 2


ගෑස් ඉන්ධන මගින් බ්‍රිතාන්‍යයේ ජනනය කරන ලද විදුලියට වඩා වැඩි ප්‍රමාණයක් සුළං බලයෙන් උත්පාදනය කිරීමට මේ වර්ෂයේ මුල් කාර්තුව තුළ හැකි වී ඇත. එවැනිනක් සිදුව ඇත්තේ පළමු වරටය. සූර්ය හා සුළං බලයෙන් ජනනය කර ඇති විදුලිය මුළු විදුලි උත්පාදනයෙන් 42%ක් තරම් වන අතර, ගෑස් හා ගල්අඟුරු මගින් ජනනය කළ ප්‍රමාණය 33%කි.

2035 වර්ෂය වන විට බ්‍රිතාන්‍යයේ විදුලි ජනනය ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වයට පත් කිරීම සඳහා වූ ඉලක්කයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ නිසා පුනර්ජනනය කළ හැකි පිරිසිදු විදුලි ප්‍රභව වර්ධනය වීම වැදගත් වේ. කෙසේ වෙතත් එරට බලශක්ති අවශ්‍යතාවයෙන් විදුලිය දායක වන්නේ 18%ක් තරම් ප්‍රමාණයකටය. නිවාස උණුසුම් කිරීම, නිෂ්පාදන කටයුතු හා ප්‍රවාහනය වැනි අංශ ගණනාවක් සඳහා මේ වන විට විදුලිය දායක නොවේ. ඒ වෙනුවට ඒ අංශවල ද විදුලි භාවිතය ප්‍රවර්ධනය කරන අතර, එවැනි තත්ත්වයක් තුළ පුනර්ජනනය කළ හැකි විදුලි ප්‍රභව වර්ධනය වීම වැදගත්ය.

සැලසුම් කර ඇති එවැනි හරිත විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ජාතික ජාලකයට සම්බන්ධ කිරීමට ඇති ගැටලු නිසා ඇණහිට ඇති බව පසුගියදා වාර්තා විය. ඇතැම් සුළං හා සූර්ය ව්‍යාපෘති වසර දහය පහළොව වැනි කාලයක් තිස්සේ ක්‍රියාත්මක කළ නොහැකිව ඇත්තේ ජාතික ජාලයේ ධාරිතාව නොමැති නිසාය. මේ තත්ත්වය බොහෝ රටවල දැකිය හැකි කරුණකි.

Tuesday, May 2, 2023

රටවල් රැසක වාර්තාගත උෂ්ණත්වයක්

ජගත් පරිසර පුවත්

පරිසර පුවත් 489
විදුසර 202.05.03, පි. 2


ගත වූ අප්‍රේල් මාසයේ දී ලෝකයේ රටවල් රැසකින් ඉහළ උෂ්ණත්ව අගයයන් වාර්තා වී තිබේ. ඒ අතර යුරෝපීය හා ආසියාන රටවල් ගණනාවක්ම වේ.

අප්‍රේල් මාසයක දී ස්පාඤ්ඤයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය අප්‍රෙල් මස 27 වන දින වාර්තා වී ඇත. එය සෙල්සියස් අංශක 38.8කි. එසේම ඊට පෙර ගත වූ දින කීපයක කාලය තුළ තාප ප්‍රවාහයක් එරට තුළ දැකිය හැකි වූ අතර, සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයක දී එරට පවත්නා උෂ්ණත්වයට වඩා අංශක 10-15ක් පමණ තරම් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. අප්‍රිකාව දෙසින් හමා එන උණුසුම් වාතය මෙන්ම සෙමින් වෙනස්වන කාලගුණ තත්ත්වයක් පැවතීම මීට බල පෑ හේතු අතර විය. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි.

මේ අතර ආසියා කලාපයේ රටවල් ගණනාවකින් ද මෑත සති කිහිපය තුළ අධික උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. තායිලන්තය, මියන්මාරය, ලාඕසය, වියට්නාමය, පිලිපීනය හා චීනය වැනි අග්නිදිග ආසියානු රටවල් ගණනාවක් මේ අතර වේ. මේ රටවල ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ සමහර උෂ්ණත්ව අගයයන් වාර්තාගත අගයයන් අතර වේ. මේ අතර, දකුණු ආසියාවෙන් ද ඉහළඋෂ්ණත්ව අගයයන් වාර්තා විය. බංගලාදේශයේ ධකා අගනුවරින් වාර්තා වූ සෙල්සියල් අංශක 40ක උෂ්ණත්වය වසර 58කට පසුව ඒ නගරයෙන් වාර්තා වු ඉහළම උෂ්ණත්වයයි. අප්‍රේල් මාසයේ මුල් භාග‌යේ දී ඉන්දියාවේ ඇති වූ තාප ප්‍රවාහ තත්ත්ව නිසා මරණ පවා වාර්තා විය.

මේ වන විට ඇති වෙමින් පවත්නා එල් නිනෝ තත්ත්වය අපේක්ෂිත මට්ටමින් ඇති වුවහොත් එළැඹෙන 2024 වර්ෂය උෂ්ණත්වය අතින් වාර්තාගත වර්ෂය විය හැකි බව මේ වන විට අනතුරු හඟවා තිබේ. ඒ අනුව කුණාටු, ලැවි ගිනි හා ගංවතුර තත්ත්ව වැනි ආපදා ද වැඩි ප්‍රමාණයක් ද ඇති විය හැකිය. මේ තත්ත්වය ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ඉක්මවා යන්නක් විය හැකිය.

නාගරික වනජීවීන් හඳුනාගැනීම

ජගත් පරිසර පුවත්

පරිසර පුවත් 489
විදුසර 2023-05-03, පි.2


පසුගිය සති අන්තයේ දී නගරවල ජීවත් වන වනජීවීන් පිළිබඳ නිරීක්ෂණය කරන තරඟයක් පවත්වන නගර රැසක් ආශ්‍රිතව පවත්වන ලදි. එහි අරමුණ වන්නේ ඒ ඒ නගරවලින් වැඩිම වනජීවීන් ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමයි. මෙහි දී තමන්ගේ නාගරික ප්‍රදේශයෙන් නිරීක්ෂණය කරනු ලබන වනජීවීන්ගේ ඡායාරූප iNaturalist.org වෙබ් අඩවියට එක් කිරීමෙන් දුර්ලභ වනජීවීන් හඳුනාගැනීම සිදු කෙරේ. මෙය ප්‍රජා විද්‍යාත්මක ක්‍රියාවලියකි.

නගර සොබාදහම අභියෝගය (The City Nature Challenge) නමින් 2016 වර්ෂයේ දී ආරම්භ වූ මේ ක්‍රියාවලිය මුලින්ම ලොස් ඇන්ජලීස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරවල ජෛව විවිධත්වය නිරීක්ෂණය කිරීමක් විය. දැන් මෙය ජගත් මට්ටමින් ක්‍රියාත්මක වේ. පසුගිය වර්ෂයේ දී ලෝකය පුරා 67000න් පමණ නිරීක්ෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද නිරීක්ෂණ මිලියන 1.7ක් පමණ ප්‍රමාණයක් මගින් වනජීවී විශේෂ 50000ක් පමණ හඳුනාගැනීමට හැකි වී තිබේ. ඒ වර්ෂයේ දී වැඩිම නිරීක්ෂණය ප්‍රමාණය ලැබී ඇත්තේ බෙලීවියාවේ ලා පාස් නගරයෙන් වන අතර, දෙවන තැන ලැබුනේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයටය.

පසුගිය සති අන්තයේ දී සිදුකරනු ලබන නිරීක්ෂණවලින් පසුව ජයග්‍රාහකයා නම් කිරීමට නියමිතය. මෙය වැදගත් වන්නේ නාගරික පරිසරයේ ජීවත්වන බව නොසිතන වනජීවීන් පවා මේ මගින් හඳුනාගැනීමට අවස්ථාව ලැබීම නිසාය. මේ ඇතැම් ජීවින් දුරල්භ ජීවීන්ය. ඒ අනුව මෙය දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියක් ලෙස ද වැදගත් වේ.