Showing posts with label Toxic Chemicals. Show all posts
Showing posts with label Toxic Chemicals. Show all posts

Monday, August 31, 2020

රුධිරයේ ඊයම් ඉහළයි - වාර්තාවක් හා නඩු තීන්දුවක්

ජගත් පරිසර පුවත් 371 - 05.08.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 05.08.2020, පි. 3 (Vidusara Online)



ඊයම් විෂ වීම මෑත කාලයේදී වැඩි අවධානයකට යොමු වී තිබෙන සැලකිය යුතු පාරිසරික ගැටලුවකි. පසුගිය දා නිකුත් වූ යුනෙස්කෝ වාර්තාවකට අනුව ලෝකයේ ළමුන් අතරින් තුනෙන් එකක් පමණ පිරිසකගේ රුධිරයේ ඊයම් මට්ටම අන්තරායකර මට්ටමක පවතී. රුධිරය ඩෙසිලීටරයකට මයික්‍රොගෑම් 5ක් හෝ ඊට වැඩි වන එම ප්‍රමාණය දිගුකාලීන රෝග ඇති කළ හැකි මට්ටමකි. වයස අවුරුදු 19ට අඩු දරුවන් මිලියන 800ක පමණ පිරිසක් අතර දැකිය හැකි මේ තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැක්කේ දියුණු වන රටවල ළමුන් අතරය. (මූලාශ්‍රය - )

මේ අතර ඊයම් විෂ වීම නිසා පීඩාවට පත් ප්‍රජාවක් වෙනුවෙන් කෙන්යාවේ ක්‍රියාකාරිනියක ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු ඩොලර් මිලියන 12ක මුදලක් වන්දි මුදලක් ගෙවීමට නියෝගයක් නිකුත්ව ඇත. එය පිලිස් ඔමිඩෝ නම් ක්‍රියාකාරිනියක වසර දහයක් පමණ කාලයක් තිස්සේ සිදු කළ සටනක ප්‍රතිඵලයකි. කෙන්යාවේ මොම්බාසා නගරයේ ‌පිහිටා ඇති කෙන්යා මෙටල් රිෆයිනරීස් නම් වාහන බැටරි ප්‍රතිචක්‍රිකරණය කර ඊයම් ලබාගන්නා කර්මාන්ත ශාලාවෙන් පිට වූ දුම් හා බැහැර කළ අපද්‍රව්‍ය නිසා අවට ප්‍රදේශයේ වාතයත්, ජලයත් දූෂණය විය. ඒ නිසා ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රජාවකට තේරුම්ගත නොහැකි රෝග ඇති විය. ළමුන් අතර ඊයම් විෂවීම තහවුරු වු පසු ව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ ඩොලර් මිලියන 12ක වන්දි මුදල ගෙවීමට නියෝග කර ඇත්තේ වගකීම නොසලකා හැර කටයුතු කළ රජයේ ආයතනවලට හා මේ වන විට වසා දමා ඇති අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ටය. එසේම අදාළ ප්‍රදේශය මාස හතරක කාලයක් ඇතුළත දී පිරිසිදු කරන ලෙස ද අධිකරණය විසින් රජයේ බලධාරින්ට නියම කර ඇත.



Friday, January 31, 2020

මොනාක් සමනල ගහනය අඩු වීම

ජගත් පරිසර පුවත් 349 - 29.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)



කැලිෆෝනියාවේ වෙරළාසන්න ප්‍රදේශවල ශීත කාලය ගත කිරීම සඳහා පර්යටනය කරන බටහිර මොනාක් නම් සමනලයින්ගේ කිලෝමීටර් තුන්දහසක පමණ දීර්ඝ ගමන සොබාදහමේ එක් අපූරු පර්යටනයක් ලෙස සැලකේ. එහෙත් මේ සමනලයින්ගේ ගහනය, අඛණ්ඩව දෙවැනි වර්ෂයටද, විශාල ලෙසින් අඩු වී තිබෙන බව වාර්තා වෙයි.

Xerces සංගමය නම් පාරිසරික සංවිධානයක් මගින් සිදුකරන ලද ගනනය කිරීමක් අනුව මේ වර්ෂයේ එම ප්‍රදේශයට පැමිණි මොනාක් සමනලුන් ගණන 29,000ක් පමණ වේ. එය මෙතෙක් වාර්තා වී ඇති අවම පර්යටනිත සමනල ගහනය වන පසුගිය වර්ෂයේ වාර්තා වූ 27,000 ඉක්මවන්නේ සුළු වශයෙනි. එහෙත් 1980 දශකයේ දී කැලිෆෝනියාවේ වෙරළ තීරයේ වනගත පෙදෙස්වලට වසරකට මිලියන 4.5ක් පමණ සමනලුන් ප්‍රමාණයක් වාර්ෂිකව පර්යටනය කර ඇත. ඒ අනුව සමනල ගහනයේ අඩුවීම බරපතළ බව පැහැදිලිය.

මේ තත්ත්වයට බලපාන හේතු අතර ඔවුන්ගේ පර්යටන ගමන්මාර්ගයේ පිහිටා ඇති පරිසර පද්ධති විනාශ වීම මූලික බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. ඒවා මේ වන විට මානව ජනාවාස බවට පත්ව ඇත. එමෙන්ම විවිධ කෘෂිරසායන භාවිතය හා දේශගුණ වෙනස් වීමේද කිසියම් බලපෑමක් ඇති බව සඳහන් වෙයි. 2017 වර්ෂයේ සිදු කළ එක් අධ්‍යයනකට අනුව මොනාක් සමනලයින් ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් නොගත හොත් ඉදිරි දශක කීපය ඇතුළත දී ඔවුන් වඳ වී යා හැකිය. මේ තත්ත්වය නිසා ඇමරිකානු රජය මෙම සමනලයා තර්ජනයට ලක් වූ සමනලයෙකු ලෙස නම් කිරීමට අදහස් කරගෙන ඇති බව ද සඳහන් වෙයි.

හිරු ආවරණ ආලේපන තහනම් කළ පළමු රට

ජගත් පරිසර පුවත් 346 - 08.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 08.01.2020, පි. 3 (Vidusara)




හිරු රැසින් ආරක්ෂාවීම සඳහා පාවිච්චි කරනු ලබන ආලේපන වන හිරු ආවරණ ආලේපන (sun cream) තහනම් කිරීම සඳහා පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වන පලව් දේශය තීරණය කර ඇත. කොරල්පරවලට හා සාගර ජීවීන්ට හානිකර වන මෙමආලේපන තහනම් කිරීම සඳහා කටයුතු කළ ලෝකයේ පළමු රට වන්නේ ද මෙම රටයි. ඒ අනුව ඉදිරියේදී මේවා තුළ තහනම් විය හැකිය.

මෙම තහනම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2018 වර්ෂයේදී වන අතර මේ වර්ෂයේ ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වෙයි. මේ අනුව හානිකර බව හෙළි වී ඇති රසායන ද්‍රව්‍ය 10කින් එකක් හො ඇතුළත් වන හිරු ආවරණ ආලේපන එරට තුළ ආලේපනය හෝ අලෙවි කිරීම එරට තහනම් කර ඇත. මේවා පාරිසරික වශයෙන් හානිකර රසායන ද්‍රව්‍ය බවට ප්‍රකට ඒවාය. ඒවා වැඩි ප්‍රමාණයක් වනජීවීන්ගේ කුඩා අවධියේදී විෂ සහිත බව වාර්තා වී තිබෙයි. එමෙන්ම ඒ අතර ඇති ඔක්සිබෙන්සෝන් හා ඔක්ටිනොක්සේට් යන රසායනික ද්‍රව්‍ය දෙක පාරජම්බුල ආලෝකය අවශෝෂණය කර ගැනීමට කටයුතු කරයි. මේ අනුව මේ රසායන ද්‍රව්‍ය කොරල්පරවලට හා සාගර ජීවී විශේෂවලට හා සරගයට හානි කර වෙයි.

මේ වන විට එරට වැදගත් පරිසර පද්ධතිවලින් මෙන්ම එරට තුළ ජනප්‍රිය වී ඇති ජීවී විශේෂවල ශරීරගත වී තිබී මෙම විෂ සහිත රසායනික ද්‍රව්‍ය හමු වී තිබෙයි.

මේ තත්ත්වය නිසා මෙම හිරු ආලේපන ක්‍රීම් හා දියර නිෂ්පාදනයේදී මේ විෂ සහිත රසායන ද්‍රව්‍ය යොදාගැනීම ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙයි. වාර්තාවලට අනුව මේ වන විට ඒවා භාවිත කරනු ලබන්නේ ආලේපන වර්ගවලින් අඩක පමණ පමණකි. එයට හේතුව වන්නේ මෙම රසායන ද්‍රව්‍ය ඇතුළත් ආලේපන තහනම් කරන බවට විවිධ රටවල් විසින් නිවේදනය කිරීමයි. හවායි දූපත්වලද මේ රසායන ද්‍රව්‍ය ඇතුළත් හිරු ආවරණ ආලේපන 2021 වර්ෂයේ සිට තහනම් වනු ඇත. ඇමරිකාවට හා නෙදර්ලන්තයට අයත් දූපත් රාජ්‍ය කීපයක්ද මෙවැනි තහනමක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Monday, December 31, 2018

වන මීමැස්සන් රැුකගැනීමට පළිබෝධනාශක නීති දැඩි කළ යුතුයි

ජගත් පරිසර පුවත් 293 - 19.12.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 19.12.2018, පි. 3 (Vidusara)



මී මැස්සන් හා බඹරුන් වැනි පරාගණකාරකයන් ලෙස ක‍්‍රියාකරන කෘමි විශේෂවලට ඇති වී තිබෙන තර්ජනය පිළිබඳව මේ වන විට ලෝකය අවබෝධකරගෙන තිබෙයි. මේ තත්ත්වය සඳහා බලපාන්නේ යැයි හඳුනාගෙන ඇති ඇතැම් පළිබෝධනාශක වර්ග පාලනය කිරීම සඳහා විවිධ රටවල් නොයෙක් පියවර ගෙන ඇත. ඊට නියෝනිකොටිනොයිඩ වැනි ඇතැම් පළිබෝධනාශක භාවිතය පාලනය කිරීම වැනි පියවර ද ඇතුළත් වෙයි. යුරෝපා රටවල් මේ පිළිබඳව වඩාත් ඉදිරියෙන් සිටියි.

මේ පිළිබඳව සිදුකර ඇති නව අධ්‍යයන තුනකින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය මීමැස්සන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර මගින් පමණක් වන මීමැසි විශේෂ හා බඹර විශේෂ ආරක්ෂා නොවන බවය. මෙහි ඇති අනෙක් වැදගත් කරුණ වන්නේ එම කෘමීන් සාමාන්‍ය මීමැස්සන්ට වඩා ආහාර භෝග ශා වෙනත් ශාකවල පරාගණය සඳහා වැදගත් වන බවය. වර්තමාන ප‍්‍රවණතාවය අනුව ලෝකයේ ජනගහනය වර්ධනය වන විට මෙම පරාගණකාරකයන්ගේ වැදගත්කම තවදුරටත් ඉහළ යයි. එයට හේතුව වන්නේ කෘමීන් මගින් පරාගණය කරනු ලබන ආහාර මත යැපීම තවදුරටත් ඉහළ යන නිසාය. වනගතව වෙසෙන මීමැස්සන් වැනි කෘමි විශේෂ වැදගත් වන්නේ හුදෙක් සාමාන්‍ය මීමැස්සන්ගෙන් පමණක් භෝග පරාගණය කිරීම අසීරු වන නිසාය.

මේ තත්ත්වය හමුවේ පළිබෝධනාශකවල අවදානම් ඇගැයීම් සිදුකිරීමේදී ඒවා සාමාන්‍ය මීමැස්සන් පමණක් නොව බඹරුන් හා සෙසු මීමැසි විශේෂ සියල්ල ආවරණය වන ආකාරයෙන් සිදු කළ යුතු බවද උක්ත අධ්‍යයනවලින් පැවසෙයි. මේ වන විට පළිබෝධනාශකවලින් කෘමි පළිබෝධකයින්ට ඇති විය හැකි බලපෑම් ඇගැයීමේදී සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ සාමාන්‍ය මීමැස්සන්ට වන බලපෑම පිළිබඳ දත්ත හා පර්යේෂණ පමණකි. සියලූ පාර්ශ්වවල අවධානය යොමුව ඇත්තේ එම මීමැස්සන්ට සිදුවන බලපෑම පිළිබඳව පමණි. එහෙත් වන මීමැසි විශේෂවලින් ඇතිවන පරාගණය හා සම්බන්ධව ඇති වැදගත්කම ඉහළ බැවින් ඔවුන් පිළිබඳවද සොයා බැලීම වැදගත් වෙයි. මේ නිසා බඹරුන් හා වෙනත් වන මීමැසි විශේෂ ආකෘතියක් ලෙස යොදාගෙන සිදුවිය හැකි බලපෑම ඇගයීම වැදගත් බව පිළිගත හැකිය. (මූලාශ‍්‍රය: Environmental Entomology, DOI: 10.1093/ee/nvy103)

Monday, November 5, 2018

මිනිසුන් තුළත් ක්ෂුද්‍ර ප්ලාස්ටික්

ජගත් පරිසර පුවත් 287 - 31.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 31.10.2018, පි. 3 (Vidusara)



මිනිසුන් ආශ‍්‍රිතව කළ අධ්‍යයනයකින් මිනිසුන්ගේ ශරීරවලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වන බව අනාවරණය වී ඇත. මිනිස් මල ද්‍රව්‍ය තුළ පළමු වතාවට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් බව පසුගියදා ඔස්ටි‍්‍රයාවේ වියානා නගරයේ පැවැති සමුළුවකදී පෙන්වා දී ඇත.

එහෙත් එම අධ්‍යයනයේදී භාවිත කර ඇත්තේ කුඩා නිදර්ශකයකි. එ් සඳහා යුරෝපයේ, ජපානයේ හා රුසියාවේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් ලබාගත් මල ද්‍රව්‍ය නිදර්ශක පරීක්ෂා කර ඇත. එ් අනුව ග‍්‍රෑම් 10ක නිදර්ශකයක ක්ෂද්‍ර ප්ලාස්ටික් අංශු 20ක පමණ සාමාන්‍යයෙන් ඇතුළත් බව හෙළි වී තිබෙයි. ඒ අනුව මයික්‍රොමීටර් 50ත් 500ත් අතර ප‍්‍රමාණයේ ප්ලාස්ටික් අංශු මෙහිදී හමු වී තිබෙන අතර පරීක්ෂාවට ලක් කරන ලද ප්ලාස්ටික් වර්ග 10ක් අතරින් 9ක් පමණ මේ නිදර්ශකවලින් හමු වී තිබෙයි. පොලිප්‍රොපිලීන් හා පොලිඑතිලීන් ටෙරෙප්තැලේට් එ්වා අතරින් වඩාත් සුලභව හමු වී ඇති ප්ලාස්ටික් වර්ග වෙයි.

මිනිස් ශරීරයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බවට විද්‍යාඥයින් තුළ පැවති සැකය මේ අනුව තහවුරු වී ඇත. මසුන්ගේ ආහාර මාර්ගයේ, පානීය ජලයේ, සාගරයේ මෙන්ම කෘමීන් තුළද මීට පෙර ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමු වී ඇත. දැන් මිනිසුන්ගේ ආහාර දාමයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් වන බව පැහැදිලි වෙයි. මේ අනුව ලෝකයේ ජනගහනයෙන් 50%ක් පමණ ප‍්‍රමාණයකගේ පමණ මල ද්‍රව්‍යවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් විය හැකි බවක් මෙමගින් සිතිය හැකි බව එම පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. මේ නිසා ඇතිවිය හැකි බලපෑම් කෙබඳු ආකාරයක විය හැකිද යන්න මෙහිදී අවධානයට ලක් විය යුතු කරුණකි. විශේෂයෙන් ආහාර මාර්ගයේ ඇතුළත් වඩාත් කුඩා ප‍්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් එතැනින් ශරීරයේ සෙසු පටකවලට ගමන් කළ හැකිය. නිදසුනක් ලෙස රුධිර පද්ධතියට, වසා පද්ධතියට හා ඇතැම් විට අක්මාව දක්වාද මේවා ගමන් කිරීමේ අවදානමක් තිබෙයි. එම නිසා එහි බලපෑම් සම්බන්ධව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බව පර්යේෂකයන් විසින් දක්වා ඇත. විශේෂයෙන් එමගින් ආහාර ජීර්ණ පද්ධතියේ ප‍්‍රතිශක්තියට බලපෑම් විය හැකි අතර, රෝගකාරක විෂබීජ හා විෂ රසායන ශරීරගත වීමටද හේතු විය හැකිය.

ළමුන්ගේ සෞඛ්‍යය සඳහා ඕගනෝපොස්පේට තහනම් කිරීමට යෝජනාවක්

ජගත් පරිසර පුවත් 287 - 31.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 31.10.2018, පි. 3 (Vidusara)



ඕගනෝපොස්පේට කාණ්ඩයේ පළිබෝධනාශක හේතුවෙන් දරුවන්ට හා ගැබිණි කාන්තාවන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ඇති සාධක එම කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තරම් ප‍්‍රබල බව ඒ පිළිබඳ අදහස් දක්වන විෂවේදීන්් කණ්ඩායමක් විසින් ප‍්‍රකාශයට පත් කර ඇති පර්යේෂණ වාර්තාවකින් පෙන්වාදී තිබෙයි.

ඕගනෝපොස්පේටවලට නිරාවරණය වීම නිසා බුද්ධි ඵලයේ (IQ) අඩුවීමක්, මතකයේ හා අවධානය යොමු කිරීමේ ගැටලූ හා නූපන් දරුවන්ට ස්වේච්ඡුතාවය (autism) ඇතිවීම වැනි තත්ත්ව ඇති විය හැකි බවට සාධක පවතී. මේ වන විට ප‍්‍රකාශිතව ඇති පර්යේෂණ වාර්තා අනුව හැසිරීම පිළිබඳව හා ස්නායු පද්ධතියේ වර්ධනය හා සම්බන්ධ බලපෑම් වඩාත් බරපතළ වෙයි.

1930 දශකයේ පමණ භාවිතය ආරම්භ වූ  ඕගනෝපොස්පේට මුලින්ම භාවිතයේ පැවතියේ ස්නායු පද්ධතියට බලපෑම් කරන වායු වර්ග ලෙසය. පසුව ඒවා කෘමිනාශක ලෙස අඩු සාන්ද‍්‍රණවලින් යොදාගැනීම ආරම්භ වූ අතර, එ්වා ලෝකයේ ජනප‍්‍රියම පළිබෝධනාශක කාණ්ඩයක් විය. එහෙත් පසුව එහි ඇති අහිතකර බලපෑම් හෙලිවීමත් සම`ග ඇතැම් රසායන ද්‍රව්‍ය තහනම් කරන ලදි. මේ කාණ්ඩයේ පළිබෝධනාශක 40ක් අතරින් ඇමරිකාව තුළ 26ක් තහනම් වන අතර, යුරෝපයේ භාවිත කළ එම කාණ්ඩයේ පළිබෝධනාශක 39කින් 33ක්ද තහනම්ය. එහෙත් තවමත් භාවිතයේ ඇති රසායනද්‍රව්‍ය නිසා මිනිස් ජීවිතද අවදානම් තත්ත්වයක තිබෙයි. ඒ විෂවීම හා මරණවලට අමතරව ඇති වන පෙර කී ආකාරයේ රෝග නිසාය. විශේෂයෙන් දියුණුවන රටවල මේ කාණ්ඩයේ පළිබෝධනාශක සැලකිය යුතු ප‍්‍රමාණවලින් තවමත් භාවිතයේ ඇත.

මේ තත්ත්වය නිසා තවමත් භාවිතයේ ඇති  ඕගනෝපොස්පේට් කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය අතරින් ක්ලෝර්පයිරිපොස් වැනි රසායනික භාවිතය අවසන් කිරීම හා මිනිසුන් මේ රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම වැළැක්වීම වැදගත් බව මේ පර්යේෂකයින් පිරිස සඳහන් කර ඇත. එසේම එම කාණ්ඩයේ රසායන ද්‍රව්‍යවලින් ඇති විය හැකි හානි වළක්වාලීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස ඒ පිළිබඳව ප‍්‍රමාණවත් තරමින් දැනුවත් කිරීම වැදගත් බවද සඳහන් වෙයි. එසේම මෙහිදී ජනතාව මෙන්ම උක්ත රසායන ද්‍රව්‍ය භාවිත කරන පිරිස්ද දැනුවත් කිරීම වැදගත්ය. (මූලාශ‍්‍රය: Plos Medicine, DOI: 10.1371/journal.pmed.1002671)

චීනයේ වායු දූෂණය පාලනයට ෆෝමැල්ඩිහයිඞ් පාලනය වැදගත්

ජගත් පරිසර පුවත් 286 - 24.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 24.10.2018, පි. 3 (Vidusara)



චීනයේ අධික වායු දූෂණය - විශේෂයෙන් ශීත ඍතුසමයේදී ඇති වන අධික වායු දූෂණය - බරපතළ ප‍්‍රතිවිපාක ඇති කර තිබෙයි. ගණනය කර ඇති ආකාරයට අංශුමය ද්‍රව්‍ය නිසා ඇතිවන වායු දූෂණයෙන් වාර්ෂිකව මියයන ජනතාවගේ ප‍්‍රමාණය මිලියනයක් පමණ වෙයි. මේ තත්ත්වය එරට පිළිබඳව අයහපත් චිත‍්‍රයක් ඇති කිරීමටද සමත්ව ඇත. මේ තත්ත්වය පාලනය කිරීම පිණිස එරට බලධාරීන් පසුගිය වසර පහළොවක පමණ කාලයක් තිස්සේ විශාල මුදලක් වැයකරමින් පියවර ගෙන ඇත.

ඊට අදාළව ගෙන ඇති ප‍්‍රධානතම පියවර වන්නේ ගල්අඟුරු බලාගාරවලින් නිකුත්වන සල්ෆර් ඩයොක්සයිඞ් වායු විමෝචන අඩු කිරීම සඳහා පියවර ගැනීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2005 වර්ෂයෙන් පසුව සල්ෆර් ඩයොක්සයිඞ් වායු විමෝචන අඩු කිරීමට හැකියාව ලැබී ඇත. එහෙත් ඒ හා සමගාමීව අංශුමය ද්‍රව්‍ය නිසා ඇති වන වායු දූෂණයේ අඩුවීමක් හෝ ශීත ඍතුවේදී ඇති වන ආන්තික වායු දූෂණ තත්ත්වයේ අඩුවීමක් තවමත් දැකිය හැකි නොවීම ගැටලූවක් වී ඇත. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන නව අධ්‍යයනයකට අනුව ශීත ඍතුවේදී ඇති වන මේ බරපතළ වායු දූෂණය වැළැක්වීමට නම් සිදු කළ යුත්තේ ෆෝමැල්ඩිහයිඞ් විමෝචන අඩු කිරීමය.

මෙහිදී අනාවරණය වී ඇති ආකාරයට වායුගෝලයේ දැකිය හැකි දුමාරය විශේලේෂණය කරන උපකරණවලින් සල්ෆේට ලෙස හඳුනාගෙන ඇති එක් සංයෝගයක් යන්නේ හයිඩ්‍රොක්සිමෙතේන් සල්ෆොනේට්ය. එය ෆෝමැල්ඩිහයිඞ් හා සල්ෆර් ඩයොක්සයිඞ් එක්වී සැදෙන්නකි. සල්ෆර් ඩයොක්සයිඞ් අඩු වුවද මේවා වායුගෝලයේ ඇති බැවින් වායු දූෂණය පවතී. ෆෝමැල්ඩිහයිඞ් නිකුත් කරන ප‍්‍රාථමික ප‍්‍රභව ලෙස හඳුනාගෙන ඇත්තේ රථවාහන විමෝචන හා තෙල් පිරිපහදු හා රසායනික කම්හල් වැනි මහා පරිමාණ කර්මාන්තය.

මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට සල්ෆර් ඩයොක්සයිඞ් විමෝචන අඩු කිරීම සඳහා ක‍්‍රියාත්මක කර ඇති ප‍්‍රතිපත්තිවලට වඩා වැඩි ඵලදායී ප‍්‍රතිඵලයක් ෆොමැල්ඩිහයිඞ් අඩු කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිපත්තියකින් ලබාගත හැකිය. එමගින් ජීවිත ආරක්ෂා කරගැනීමට මෙන්ම වායු දූෂණය පාලනය සඳහා යොදවන මුදල් නිසි පරිදි භාවිතයට ගැනීමටද අවස්ථාවක් ඇති බව ඔවුන්ගේ අදහසයි. (මූලාශ‍්‍රය: Geophysical Research Letters, DOI: 10.1029/2018GL079309)

Monday, October 15, 2018

පරිසර දූෂණය නිසා අවදානමට ලක්වන මිනීමරු තල්මහ

ජගත් පරිසර පුවත් 283 - 03.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 03.10.2018, පි. 9 (Vidusara)



ලෝකයේ ජීවත්වන මිනීමරු තල්මහ ගහන පරිසර දූෂණය නිසා දැඩි අවදානමකට ලක්ව ඇත. පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව Orcinus orca යන විද්‍යාත්මක නමින්ද, මිනීමරු තල්මහ (Killer whale) හා ඕකා (Orca) යන ඉංග‍්‍රීසි නම්වලින්ද හඳුන්වන මෙම තල්මහ විශේෂය අවදානමට ලක්ව ඇත්තේ බහුක්ලෝරිනීකෘත බයිෆෙනිල (polychlorinated biphenyl - PCB) නමින් හඳුන්වන කාණ්ඩයේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසාය.

මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ ජීවත් වන ක්ෂීරපායින් අතරින් PCB වැඩි සාන්ද්‍රණයකින් ශරීරගත වී ඇත්තේ මෙම මිනීමරු තල්මහගේය. මෙම සතුන්ගේ ශරීරයේ පටක සම්බන්ධව සිදු කර ඇති අධ්‍යයනවලින් මේ බව පැහැදිලි වී ඇත. මේ ආකාරයෙන් PCB ශරිරගතව තිබීම එම තල්මහ සතුන්ගේ සෞඛ්‍යයට බලපායි. මෙම රසායන ද්‍රව්‍යවල බලපෑම් නිසා තල්මහ සතුන්ගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම සිදු වන අතර, පැටවුන් බිහිකිරීමට ඇති හැකියාව සීමා වීමෙන් ප‍්‍රජනනය හා සම්බන්ධ ගැටලූ ඇති විය හැකිය.

මේ තත්ත්වය නිසා ලෝකයේ මිනීමරු තල්මහ ගහනයෙන් 50%කට අධික ප‍්‍රමාණයකගේ දිගුකාලීන පැවැත්ම තර්ජනයට ලක්ව ඇත. ඉදිරි වර්ෂ සියයක කාලයේදී වැඩිම තර්ජනයට ලක්විය හැකි මිනීමරු තල්මහ ගහන කාණ්ඩ දෙකක්ද මෙහිදී හඳුනාගෙන තිබෙයි. ඉන් පළමුවැන්න වන්නේ වඩාත් කාර්මිකකරණය වූ කලාප ආසන්නව ජීවත්වන තල්මහ ගහනයි. අනෙක් කාණ්ඩය වන්නේ ආහාර දාමයේ ඉහළ පෝෂී මට්ටම්වල ජීවත්වන මිනීමරු තල්මහ ගහනයි. මේ කාණ්ඩයට ඔවුන් ජීවත්වන ප‍්‍රදේශයේ බලපෑමක් නොමැති තරම්ය.

කාලයක් තිස්සේ ලෝකයේ කර්මාන්තශාලාවල විශාල ප‍්‍රමාණවලින් නිපදවන ලද PCB කාණ්ඩයේ රසායන ද්‍රව්‍යවල පවත්නා අධික විෂ සහිත ස්වභාවය නිසා මීට වර්ෂ 30කට පමණ පෙර බොහෝ රටවල තහනම් කරන ලදි. එහෙත් පරිසරයේ පවත්නා මේ රසායන ද්‍රව්‍ය සාගරයට එක් වීම දිගින් දිගටම සිදු වේ. එසේම එම රසායන ද්‍රව්‍යවල දිගුකාලීන පැවැත්ම හේතුවෙන් මේ ආකාරයෙන් මිනීමරු තල්මහ අවදානමට ලක්ව ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Science , DOI: DOI: 10.1126/science.aat1953)

ග්ලයිපොසේට් මීමැස්සන්ට හානිකරයි

ජගත් පරිසර පුවත් 283 - 03.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 03.10.2018, පි. 9 (Vidusara)



ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන වල්පැළෑටි නාශකයක් මෙන්ම මේ වනවිට තරමක ආන්දෝලනයකට ලක්ව ඇති ග්ලයිපොසේට් මගින් සිදුවන තවත් පාරිසරික බලපැමක් සම්බන්ධ පර්යේෂණයක් මෑතදී අසන්නට ලැබිණි. එ් අනුව, ග්ලයිපොසේට් මගින් මීමැස්සන්ට හානිකර බලපෑමක් සිදුවන බව සනාථ වී තිබෙයි.

මෙම අධ්‍යයනයේදී පරිසරයේ දැකිය හැකි සාන්ද්‍රණ මට්ටමේ ග්ලයිපොසේට් සාන්ද්‍රණයකට නිරාවරණය වූ මීමැස්සන්ගේ ආහාර මාර්ගයේ හමුවන බැක්ටීරියා ප‍්‍රමාණය අඩු වන බව හෙළි වී ඇත. මීමැස්සන්ගේ ආහාර මාර්ගයේ ජීවත්වන ප‍්‍රයෝජනවත් බැක්ටීරියාවලට ග්ලයිපොසේට් නිසා හානි සිදුවීම මීට හේතුවයි. මෙසේ හානි වන බැක්ටීරියා මී මැස්සන්ගේ වර්ධනයට දායක වන හා රෝග ඇතිකරන විෂබීජවලට එරෙහිව ක‍්‍රියාකරන ප‍්‍රයෝජනවත් බැක්ටීරියාය. එම තත්ත්වය හමුවේ මීමැස්සන්ට මාරාන්තික විය හැකි රෝග වැළඳීමට වැඩි අවස්ථාවක් ඇතිවෙයි.

ග්ලයිපොසේට් මගින් ඉලක්ක කරගන්නේ ශාකවල හා බැක්ටීරියාවල දැකිය හැකි එක් එන්සයිමයකි. මීමැස්සන්ගේ ආහාර මාර්ගයේ හමුවන ඇතැම් බැක්ටීරියාල මේ එන්සයිමය තිබීම නිසා උක්ත තත්ත්වය ඇතිවන බව අනාවරණය වී ඇත. මේ දක්වා ග්ලයිපොසේට් මීමැස්සන්ට බලපාන බවක් තහරවුරු වී නොතිබූ නමුත් මේ නව අධ්‍යයනය අනුව මීමැස්සන්ගේ ගහන අඩු වීමේ තත්ත්වයට ග්ලයිපොසේට්ද බලපාන බව පැහැදිලිය. මීමැස්සන්ට වැදගත් වන, වනමල්වලට ග්ලයිපොසේට් මගින් හානි සිදුවීම මෙතෙක් මේ නිසා මීමැස්සන්ට ඇතිවන බරපතළම හානිය සේ සැලකිණි.

මී මැස්සන්ට හානි වන පළිබෝධනාශක පිළිබඳව කලක පටන් අවධානය යොමු වී තිබිණි. නිදසුනක් ලෙස ගතහොත්, නිොයා්නිකොටිනොයිඩ කාණ්ඩයේ රසායනික ද්‍රව්‍යවලින් මීමැස්සන්ට සිදුවිය හැකි හානිය පෙන්වා දීමෙන් පසුව එම කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය භාවිතය සීමා කිරීමට රටවල් කටයුතු කර ඇත. කුම කරුණක් නිසා හෝ මීමැසි ගහන අඩු වීම බරපතළ ප‍්‍රතිවිපාක ඇති විය හැකි සිදුවීමකි. ඉන් මූලික වන්නේ පරාගණකාරකයෙක් ලෙස මීමැස්සන් ඉතා වැදගත් වීමයි. ලෝකයේ ආහාර භෝග අතරින් තුනෙන් එකක පමණම පරාගණය සිදුවන්නේ මීමැස්සන් මගිනි. (මුලාශ‍්‍රය: Proceedings of the National Academy of Sciences,, DOI: 10.1073/pnas.1803880115)

Sunday, September 30, 2018

සුලභ පළිබෝධනාශකයකින් මැඩියන්ට හානි

ජගත් පරිසර පුවත් 280 - 12.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 12.09.2018, පි. 3 (Vidusara)



පළිබෝධනාශක ඇතුළු විවිධ කෘෂි රසායන ද්‍රව්‍යවලින් පරිසරයේ වෙසෙන වෙනත් ඉලක්ක නොවන මෙන්ම හිතකර ජීවීන්ට සිදුවිය හැකි හානි පිළිබඳව පර්යේෂණවලින් කරුණු අනාවරණය කර ඇත. මෙය පාරිසරික වශයෙන් මෙම රසායන ද්‍රව්‍යවලින් සිදුවන සැලකිය යුතු අහිතකර බලපෑමක් සේ සැලකේ.

මේ පිළිබඳව වන අලූත්ම වාර්තාව වන්නේ ක්ලෝර්පයිරිෆොස් (chlorpyrifos) නමැති සුලභව භාවිත වන පළිබෝධනාශකය මගින් සිදුවිය හැකි හානිය පිළිබඳ වාර්තාවයි. එම පර්යේෂණයට අනුව මෙම පළිබෝධනාශකයේ අඩු මාත‍්‍රාවලින් පවා උතුරුදිග දිවි මැඩියා (Northern Leopard frog - Lithobates pipiens) ලෙස හඳුන්වනු ලබන උතුරු අමරිකාවේ වාසය කරන මැඩි විශේෂයේ මොළයේ වර්ධනයට බාධා කරයි. මෙහි ඇති වැදගත්කම වන්නේ අදාළ රසායන ද්‍රව්‍යය අඩු මාත‍්‍රාවලින් තිබියදී ද මෙවැනි අහිතකර බලපෑමක් ඇතිකිරීමට හැකි වීමයි. එසේම අදාළ මැඩියාගේ ප‍්‍රධාන ආහාර ප‍්‍රභවය වන ප්ලවාංගවලට උක්ත පළිබෝධනාශකය මගින් බලපෑමක් ඇති නොවන අවස්ථාවේ දී පවා මේ හානිය මැඩියන්ට සිදුවීම විශේෂයකි.

ඕගනෝපොස්පේට කාණ්ඩයට අයත්වන මෙම පළිබෝධනාශකය 1965 වර්ෂයේ පමණ සිට කෘමීන් හා පණුවන් ඇතුළ පළිබෝධකයන් මර්ධනය කිරීම සඳහා පුළුල් ලෙස භාවිතයේ පවත්නා පළිබෝධනාශකයකි. එය කෘෂිකාර්මික ප‍්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික නොවන ප‍්‍රදේශවලද භාවිත වන්නකි. මෙවැනි රසායනික ද්‍රව්‍ය ඇමරිකාවේ බොහෝ ජලධාරාවල බොහෝ විට අඩු මාත‍්‍රාවලින් දැකිය හැකිය. මේ රසායන ද්‍රව්‍යවලට මිනිසුන් මෙන්ම සතුන් ද නිරාවරණය වීම නිතැතින්ම සිදුවන්නකි. මේ නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලූ අතර ස්නායු පද්ධතිය ආශ‍්‍රිත ගැටලූ දක්වා ඇති අතර මෙහි භාවිතය පිළිබඳ යම් යම් සීමාද පලවා තිබෙයි. ආරක්ෂිත යැයි සැලකෙන සාන්ද්‍රණයට වඩා අඩු මාත‍්‍රාවලින් නිරාවරණය වීමෙන් ක්ලෝර්පයිරිෆොස් මගින් හානි සිදුනොවන බවක් සාමාන්‍යයෙන් සැලකෙයි. එහෙත් මේ අධ්‍යයනයේදී එම පර්යේෂකයින් පෙන්වාදී ඇති ආකාරයට එවැනි මට්ටමකින් වුවද පෘෂ්ටවංශී සතුන්ගේ ස්නායු පද්ධතියට බලපෑමක් සිදුකරනු ඇතැයි හෙළි වී තිබීම වැදගත්ය. (මුලාශ‍්‍රය: Environmental Toxicology and Chemistry, DOI: 10.1002/etc.4240)

Thursday, May 31, 2018

සාගර ආහාර හරහා රසදිය ශරීරගත වීම වර්ධනය වෙයි

ජගත් පරිසර පුවත් 262 - 09.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.05.2018, පි. 3 (Vidusara)



මසුන් හා වෙනත් සාගර ආහාරවල ඇතුළත් රසදිය ප‍්‍රමාණය 1950 පමණ සිට දිගින් දිගටම ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී ඇත. මේ අනුව ලෝකයේ වෙරළාශ‍්‍රිතව පිහිටි හා දූපත් රටවල් ගණනාවක වාසය කරන ජනතාව සෞඛ්‍යයට අහිතකර ප‍්‍රමාණවලින් රසදිය මට්ටම්වලට නිරාවරණය වී ඇති බව මෙම පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මෙම අධ්‍යයනය සඳහා 1950 සිට 2014 වර්ෂය දක්වා ලෝකයේ සාගරවලින් අල්ලාගන්නා ලද මසුන්ගේ ශරීරගතව තිබූ රසදිය පමාණය හා 1961 සිට 2011 දක්වා කාලයේදී රටවල් 175ක් පමණ ප‍්‍රමාණයක ජනතාවගේ මත්ස්‍ය හා වෙනත් සාගර ආහාර පරිභෝජනය පිළිබඳ දත්ත සම්බන්ධව විමසා බලා තිබෙයි. මෙමගින් එම රටවල ජනගහනයේ එ්ක පුද්ගල මෙතිල් මර්කර් ශරීරගත වීම පිළිබඳව යම් ගණනය කිරීමක් සිදුකිරීමට මේ පර්යේෂකයන් කටයුතු කර ඇත.

එහිදී අනාවරණය වී ඇති ආකාරයට අධ්‍යයනයට බඳුන් වූ රටවල් අතරින් 38%ක හෙවත් රටවල් 175කින් 66ක ජනතාව, 2001-2011 කාලයේදී කලලයේ වර්ධනයට හිතකර යැයි සම්මත මට්ටමට වඩා ඉහළ මෙතිල්මර්කරි මට්ටම්වලට නිරාවරණය වී ඇත. සමස්තයක් ලෙස ගත් විට මේ රටවල් අතරින් වැඩි ප‍්‍රමාණයක් දියුණු වන රටවල වෙරළාශ‍්‍රිත හා දූපත්රාජ්‍ය වූ දියුණුවන රටවල් වීම විශේෂත්වයක් ගනියි. වඩාත් ඉහළ අවදානමක් ඇති රටවල් අතර මාලදිවයින, අයිස්ලන්තය, මැලේසියාව, ලිතුවේනියාව, ජපානය, බාබඩෝස් හා දකුණු කොරියාව යන රටවල් පසුවෙයි.

මෙතිල්මර්කරි යනු ඉතා විෂ සහිත සංයෝගයකි. එය මිනිසුන්ගේ ශරීරගත වූ විට කලලයේ හා ළමුන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආකාරයේ බලපෑම් සිදු කළ හැකිය. මූලික වශයෙන් කර්මාන්ත හා වායු විමෝචන මගින් වායුගෝලයට නිකුත්කරනු ලබන රසදිය අවසානයේදී එකතුවන්නේ ජලජ පරිසරයටය. සාගරයේදී සාගර ජීවීන්ගේ ශරීරගත වන රසදිය ආහාරදාමය ඔස්සේ මිනිසුන්ගේ ශරීරගත වෙයි. (මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-24938-3)

යුරෝපයේ නියෝනිකොටිනොයිඩ තහනම අනුමතයි

ජගත් පරිසර පුවත් 261 - 02.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.05.2018, පි. 3 (Vidusara)



ලෝකයේ වඩාත් සුලභවම භාවිතවන පළිබෝධනාශක කාණ්ඩයක් වන නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක ක්ෂේත‍්‍ර භෝග වගා කටයුතු සඳහා භාවිත කිරීම මුළුමනින්ම තහනම් කිරීමට යුරෝපා සංගමය පසුගියදා තීරණය කළේය. ඒ අනුව 2018 වර්ෂයේ අවසානයේ පමණ සිට බලාත්මක වන මෙම නීතිය අනුව එම කාණ්ඩයේ පළිබෝධනාශක තුනක් (ඉමිඩක්ලෝප‍්‍රිඞ්, ක්ලෝතියනිඩින් හා තයමෙතෙකේසෑම්) භාවිතයට අවසර ලැබෙන්නේ හරිතාගාර ඇතුළත පමණකි. මේ සඳහා සාමාජික රටවල ඡුන්දය හිමිවීම වැදගත් කරුණක් සේ සැලකිය හැකිය.

නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක භාවිතය නිසා මී මැස්සන්, බඹර මැස්සන් වැනි පරාගණකාරක කෘමීන්ට හානි සිදුවන බව කලක පටන් පෙන්වා දී ඇත. මේ නිසා යුරෝපා සංගමය මගින් මෙම පළිබෝධනාශක භාවිතය පිළිබඳව යම් සීමා කිරීමක් 2013 වර්ෂයේ පටන් පනවා තිබිණි. එ් මී මැස්සන් ආකර්ෂණය වන මල් පිපෙන ශාකවල භාවිතය පිළිබඳවය. එම තහනමත් සමඟ වඩා පුළුල් ආකාරයේ සම්පූර්ණ තහනමක අවශ්‍යතාවය සම්බන්ධව කතිකාවක් ගොඩනැගී තිබූ අතර, පරිසර හා සමාජ ක‍්‍රියාකාරීන් ඒ සඳහා පෙරමුණ ගත් බව දැකිය හැකි විය.

මෑත කාලයේදී මේ සම්බන්ධව බොහෝ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ලැබී ඇති අතර, පසුගිය පෙබරවාරි මාසයේදී මේ පිළිබඳව යුරෝපා ආහාර සුරක්ෂිතතා අධිකාරිය (EFSA) මගින් සිදුකරන ලද ඇගයීමකින් පෙන්වා දෙන ලද්දේ ඕනෑම එළිමහන් භාවිතයක් නිසා මී මැස්සන්ට හා බඹර මැස්සන්ට හානි සිදුවිය හැකි බවයි. එයට හේතුව මෙම පළිබෝධනාශක මගින් පස හා ජලය දූෂණය වීම හා ඒ නිසා වනමල් හා වෙනත් භෝගවලද මේ පළිබෝධනාශක දැකිය හැකි වීමය.

මෙය පරාගණකාරකයන් ලෙස කෘමීන්ගේ වැදගත්කම අවබෝධ කරගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙය වැදගත් වන්නේ හුදෙක් භෝග වගාවලට පමණක් නොවේ. සමස්ත පරිසරයටද මෙම කෘමීන්ගෙන් සිදුවන මෙහෙය වැදගත් වෙයි. ඇතැම් කණ්ඩායම්වල නොසතුටට හේතු වුවද මෙම තීරණය කාලීන තීරණයක් බව පැවසිය යුතුය.

Saturday, March 31, 2018

නියෝනිකොටිනොයිඩ හා මී මැස්සන් පිළිබඳ තහනම දැඩි වේ?

ජගත් පරිසර පුවත් 253 - 07.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 07.03.2018, පි. 3 (Vidusara)



නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශකවල විවිධ භාවිත කිරීම්වලින් මී මැස්සන්ට හා වන මී මැස්සන්ට අවදානමක් ඇති බව යුරෝපීය ආහාර ආරක්ෂක අධිකාරිය (EFSA) මගින් සකස් කළ වාර්තාවකින් පෙන්වාදී තිබෙයි. 2013 සිට යුරෝපය තුළ භාවිතය සඳහා සීමා පනවා ඇති මෙම පළිබෝධනාශක ක්ෂේත‍්‍ර භෝග සඳහා භාවිතය පිළිබඳ තහනම තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධව ලබන මාසයේදී සාකච්ඡුා කිරීමට නියමිතය. මේ අනුව උක්ත වාර්තාවෙන් ඒ සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය. මේ කාණ්ඩයේ පළිබෝධනාශක පිළිබඳව යුරෝපයේ දැනට ඇති තහනමට තවදුරටත් තහවුරු වීමට හෝ දැඩි වීමට අවස්ථාවක් ඇති බව වාර්තා වෙයි.

දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ මෙම ඇගැයීමේ නිගමනවලට පැමිණ ඇත්තේ මේ හා සම්බන්ධව පළ වී ඇති අධ්‍යයන 1500ක් පමණ ප‍්‍රමාණයක සොයාගැනීම් පිළිබඳව සමාලෝචනයට ලක්කිරීමෙනි. එහිදී උක්ත කාණ්ඩයේ කෘමිනාශක තුනක බලපෑම පිළිබඳව සොයාබලා ඇත. එ් ක්ලෝතියනිඩින්, ඉමිඩක්ලෝප‍්‍රිඞ් හා තයමෙතොක්සෑම් යන රසායන ද්‍රව්‍ය වේ. මේවා මේ වන විට යුරෝපයේ සීමා කර ඇති පළිබෝධනාශක අතර වෙයි. එසේම මෙහිදී මීමැස්සන් මෙන්ම බඹර මැස්සන් පිළිබඳවද අවධානය යොමු කර තිබේ. එ් අනුව ඔවුන් පවසන්නේ මේ පර්යේෂණවල නිගමනවල යම් විචල්‍යතාවයක් තිබුනද සමස්තයක් ලෙස ගත් විට අධ්‍යයනයට ලක් කළ මීමැසි වර්ග සියල්ලටම මේ බලපෑම ඇති බවයි. එසේම මේ පළිබෝධනාශකය ඉලක්ක භෝගය තුළ මෙන්ම පසට හා ජලයට එකතු වී වනමල් සහ වෙනත් භෝගවර්ගවල දැකිය හැකි වීමද මෙහිදී හෙළි වී ඇති කරුණකි.

ශාක පරාගණය සම්බන්ධව මීමැස්සන්ගෙන් ලැබෙන සේවය භෝග වගාවලදී මෙන්ම ශාක සම්බන්ධයෙන්ද වැදගත්ය. මීමැස්සන්ගේ ගහනවලට බලපෑමක් සිදුවීමෙන් ශාකවල පරාගණකාරකයන්ගේ අඩුවීමක් ඇති වෙයි. එය භෝග හා ශාකවල පරාගණය සඳහාද එ් නිසා ආහාර භෝගවල නිෂ්පාදනය සඳහාද බලපාන්නා වූ කරුණකි.

Wednesday, February 28, 2018

ගෘහාශ‍්‍රිත රසායනික වායු දූෂණයට හේතුවක්

ජගත් පරිසර පුවත් 251 - 21.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 21.02.2018, පි. 3 (Vidusara)



නිවස්වල එදිනෙදා භාවිත කරන රසායන ද්‍රව්‍ය නාගරික ප‍්‍රදේශවල වායු දූෂණය සඳහා බලපාන ප‍්‍රධාන සාධකයක් වන බව ඇමරිකාවේ සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙයි.

මෙහිදී අවධානයට ලක් කර ඇත්තේ වාෂ්පශීලී කාබනික සංයෝග (volatile organic compounds -VOCs) සම්බන්ධවය. මේවාට පෙට්‍රොලියම් පදනම් කරගත් රසායන ද්‍රව්‍ය ඇතුළත් වේ. නිදසුනක් ලෙස පිරිසිදු කිරීමේ දියර වර්ග, තීන්ත, පළිබෝධනාශක, විලවුන් වර්ග වැනි ද්‍රව්‍ය දැක්විය හැකිය. මෙවැනි සංයෝග ස්වාභාවික පරිසරයේ සාමාන්‍යයෙන් දැකිය නොහැකි වෙයි.

මේවායේ ඇතුළත් රසායන ද්‍රව්‍ය වාතයට එක් වූ විට වෙනත් රසායනික ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වී සෞඛ්‍යයට හානිකළ හැකි ආකාරයේ අංශු තැනිය හැකිය. රථවාහන නොවන ප‍්‍රභවවලින් නිකත්වන වාෂ්පශීලී කාබනික සංයෝග සම්බන්ධව මෙතෙන් අඩු තක්සේරු කිරීමක් සිදුකර ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වේ. අනෙක් අතට මේ වන විට පවත්නා දැඩි පාලනය කිරීම් නිසා රථවාහනවලින් නිකුත්වන මෙවැනි සංයෝග ප‍්‍රමාණය සැලකිය යුතු තරම් අඩු වී තිබෙයි.

කෙසේ වෙතත් ප්‍රෙට්‍රෝලියම් අතරින් 95%ක් පමණ ප‍්‍රමාණයක් තෙල් නිපදවීමට භාවිත වන අතර පවිත‍්‍රකරණයෙන් පසුව ඉන්ධන නොවන පෙර සඳහන් කළ ආකාරයේ භාවිත සඳහා යොදාගනු ලැබෙන්නේ ඉතිරි 5%ක ප‍්‍රමාණය පමණකි. එහෙත් වාහන ඉන්ධන දහනය කරනු ලැබීමේදී එහි ඇති රසායන ද්‍රව්‍ය දහනය වී කාබන් ඩයොක්සයිඞ් හා ජලවාෂ්ප බවට පත් වේ. එහි මුල් ආකාරයෙන් පරිසරයට එක් වන්නේ ඉතා අඩු ප‍්‍රතිශතයකි. එහෙත් ගෘහාශ‍්‍රිතව භාවිත වන නිෂ්පාදනවල ඇතුළත් රසායන ද්‍රව්‍ය සැලකිය යුතු තරමක් එ් ආකාරයෙන්ම පරිසරයට එක් වෙයි.

වර්තමාන සමාජ රටාව අනුව මේ ද්‍රව්‍ය භාවිතය නොකර සිටීම අපහසු වීම මේ තත්ත්වය වෙනස් කිරීම හමුවේ ඇති අභියෝගයකි. එබැවින් කළ හැක්කේ එ්වා භාවිතය අවම මට්ටමකින් සිදුකිරීම බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aaq0524)

Monday, January 8, 2018

බඹර ගහන අඩුවීමට දිලීරනාශකත් බලපායි

ජගත් පරිසර පුවත් 244 - 03.01.2018

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.01.2018 (Vidusara)


බඹර මැස්සන්ගේ ගහන අඩු වීමට සඳහා සුලභ දිලීරනාශක හේතු වන බව ඇමරිකාවේ සිදුකරන ලද අධ්‍යයනයක් මගින් හෙළි කර තිබෙයි. එහිදී අවධානය යොමු කර ඇත්තේ බඹර මැස්සන්ට (bumble bee) බලපාන සාධක පිළිබඳවය. ඇමරිකාවේ ප‍්‍රාන්ත 40ක් ස්ථාන 284ක බඹර ගහන අඩු වීම පැහැදිලි කිරීම සඳහා බලපාන සාධක 24ක් සම්බන්ධව මෙම අධ්‍යයනය සිදුකර ඇත. මේ අනුව බඹර මැස්සන්ගේ ගහනවල අඩු වීම සඳහා බලපාන ප‍්‍රබලතම සාධක ලෙස හඳුනාගෙන ඇත්තේ දිලීරනාශක භාවිතයයි. ඒ අතරින් ක්ලෝරොතැලොනිල් නම් ඇමරිකාවේ වඩාත් සුලභව භාවිත වන දිලීරනාශකය නොසීමා නම් පරපෝෂිතයාගේ බලපෑම ඉහළ යෑම සඳහා හේතු වී ඇති බව දැක්වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ දිලීරනාශක වැනි කෘමීන් ඉලක්ක කර නොගන්නා රසායන ද්‍රව්‍යයක් මගින්ද මෙවැනි බලපෑමක් ඇති වී තිබෙන බැවිනි. ඒවා යොදාගනු ලබන්නේ පුස් හා දිලීර වැනි පළිබෝධයනට එරෙහිවය. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇති ආකාරයට එමගින් කෘමීන්ටද බරපතළ හානියක් සිදුවන බවකි. එයට හේතු පිළිබඳව මේ වන විට තවදුරටත් අධ්‍යයනය කරන අතර, නොසීමා (Nosema bombi) නම් පරපෝෂිතයාට වඩා ගොදුරුවීමට ඇති අවස්ථා ඉහළ යෑම හා අනෙක් පළිබෝධනාශකවල ඇති විෂ සහිත ස්වභාවය ඉහළ නැංවීම බව මේ අතර ඇති බව විශ්වාස කරනු ලැබෙයි.

නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක මගින් මී මැස්සන් හා බඹර මැස්සන් වැනි පරාගණකාරකයින්ට බරපතළ හානියක් ඇති කරන බව මේ වන විට තහවුරු වී ඇත. එසේම, වාසස්ථාන විනාශය, රෝග හා දේශගුණ වෙනස් වීමද මෙම කෘමීන්ගේ ගහන අඩු වීම සඳහා බලපා තිබෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ, දිලීරනාශකවල බලපෑමද එයට එක්වීම මෙම මී මැසි බඹර ගහනවල පැවැත්ම තවදුරටත් අවදානමක පත් කරයි. මෙය වැදගත් වන්නේ මෙම කෘමීන් භෝග පරාගනයේදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන ජීවීන් කාණ්ඩයක් වන බැවිනි.

මූලාශ‍්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2017.2181

Thursday, May 11, 2017

නියෝනිකොටිනොයිඩ වන බඹරුන්ටත් බලපායි

ජගත් පරිසර පුවත් 211 - 10.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 10.05.2017 (Vidusara)



ආන්දෝලනයට ලක්ව ඇති නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධ නාශකයක් ගොවි බිම් ආශ‍්‍රිතව ආහාර ලබාගන්නා වන බඹරුන්ටද (bumble bee) බලපාන බව කැනඩාවේ සිදු කළ පර්යේෂණයකින් පෙන්වාදී තිබේ.

මේ අනුව තයොමෙතොක්ෂෑම් (Thiamethoxam) නම් පළිබෝධනාශකය වන බඹර විශේෂ හතරක රැුජිනගේ බිත්තර වර්ධනය සඳහා බලපාන බව සොයාගෙන ඇත. ශිශිරතරණයෙන් පසු වසන්ත ඍතුවේදී බඹර ගහනවල බිත්තර දැමීමට සූදානම් වන රැුජිනන් අදාළ පළිබෝධනාශකයට නිරාවරණය වීමේදී ඇති වන තත්ත්වය මෙහිදී අවධානයට ලක්ව ඇත. පරිසරයේ පරාග හා මල්පැණිවල දැකිය හැකි මට්ටමට සමාන පළිබෝධනාශක සාන්ද්‍රණයක් සහිත පැණිවලින් පෝෂණය කරන ලද බඹර රැුජිනන් පසුව පරීක්ෂා කළ අවස්ථාවේදී ප‍්‍රමාණයෙන් කුඩා හා වර්ධනයෙන් බාල වූ බිත්තර දැමූ බව හෙළි විය. පළිබෝධනාශක මිශ‍්‍ර පැණි ආහාරයට නොගත් බඹර රැුජිනන්ගේ එවැනි තත්ත්වයක් දැකිය හැකි වී නැත.

රැජින බිත්තර දමනු ලබන්නේ එ්වා සම්පූර්ණයෙන් වර්ධනය වූ අවස්ථාවේදී වන බැවින් මේ තත්ත්වය නිසා බිත්තර දැමීමේ වේගය අඩු වේ. එම තත්ත්වය අදාළ බඹර ජනපදයේ වර්ධනයට බලපෑම් කරයි. එසේම විශේෂ දෙකක පළිබෝධනාශකයට නිරාවරණය වූ රැුජිනන් විසින් මල්පැණි ආහාරයට ගැනීමද අඩු කර තිබේ. විiාඥයන් විශ්වාස කරන්නේ පළිබෝධනාශකවල බලපෑම පාලනය කිරීමට බඹර රැුජිනන්ගේ පරිවෘත්තීය ක‍්‍රියාකාරකම් සිදුවීම නිසා බිත්තර වර්ධනය සඳහා අවශ්‍ය ශක්තිය අඩු වී ඇති බවයි.

මී මැස්සන්ට නියෝනිකොටිනොයිඩවලින් වන බලපෑම නිසා රටවල් ගණනාවක් එම කාණ්ඩයේ පළිබෝධනාශක භාවිතය සීමා කර තිබේ. තවත් රටවල් මේවා භාවිතය ක‍්‍රමයෙන් අවසන් කිරීමටද පියවර ගෙන ඇත. (මූලාශ‍්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2017.0123)

Monday, June 27, 2016

මීමැස්සන්ට බලපෑම් කරන රසායන ද්‍රව්‍ය - පරිසර පුවත් 007 (03.04.2013)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2013

Vidusara - World Environmental News (03.04.2013)


මීමැස්සන්ට බලපෑම් කරන රසායන ද්‍රව්‍ය

ලෝකයේ රටවල් රැුසක මීමැසි ගහන අඩුවීම කලක පටන් අවධානයට ලක්ව ඇති කරුණකි. මේ සඳහා බලපා ඇති එක් කරුණක් ලෙස මිනිසුන් විසින් භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍යද දක්වා තිබේ. නිශ්චිත රසායනික ද්‍රව්‍ය නිසා මෙවැනි බලපෑමක් ඇති වන ආකාරය පිළිබඳව කළ අධ්‍යයන දෙකක් පසුගියදා ප‍්‍රකාශයට පත් විය. එ් අනුව, කෘෂිකර්මාන්තයේදී සුලබ ලෙසින් යොදාගන්නා කෘෂි රසායන ද්‍රව්‍ය දෙකකට නිරාවරණය වීමෙන් මීමැස්සන්ගේ මොළයට ඇති වන බලපෑම ගැන පෙන්වාදී තිබේ.

මෙහිදි අවධානය යොමුව ඇති එක් කෘෂි රසායනික ද්‍රව්‍යයක් වන්නේ භෝග ශාක රැුසක පළිබෝධනාශකයක් ලෙස යොදාගන්නා නියෝනිකොටිනොයිඩ (neonicotinoid) වර්ගයේ පළිබෝධනාශකයක් වන ඉමිඩැක්ලෝපිඞ්ය (imidacloprid). අනෙක් වර්ගය වන්නේ මීමැස්සන්ට හානිකරන මයිටාවකු මර්ධනය කිරීම සඳහා භාවිත කරන  ඕගනෝපොස්පේට් කාණ්ඩයට අයත් කෝමාපොස් (coumaphos) නම් පළිබෝධනාශකයයි.

මේ එක් අධ්‍යයනයකදී පරිසරයේ මේ රසායන ද්‍රව්‍ය දෙක පවත්නා සාන්ද්‍රණය හා සමාන සාන්ද්‍රණයකට දින හතරක කාලයක් මීමැස්සන් ලක් කර තිබේ. ඉන් පසුව සුවඳ හා සම්බන්ධව මේ මීමැස්සන්ගේ මතකය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එ් අතරින් 30%ක් පමණ ප‍්‍රමාණයකගේ ඉගෙනීමේ ඇති හැකියාව අඩුවී ඇති බව අනාවරණය විය. මෙවැනි තත්ත්වයක් මීමැස්සන්ට හානිකර ලෙස බලපාන්නේ ඉගෙනීමට නොහැකි මීමැස්සන්ට ආහාර සොයාගැනීමේ අපහසුතා ඇති වන නිසාය. (මූලාශ‍්‍රය: Journal of Experimental Biology, DOI: 10.1242/jeb.083931)

මේ රසායන ද්‍රව්‍ය දෙකේ හා නියෝනිකොටිනොයිඩ (neonicotinoid) වර්ගයේ තවත් පළිබෝධනාශකයක් වන ක්ලෝතියනිඩින්වලින් (clothianidin) මීමැස්සන්ට ඇති වන බලපෑම ඇති වූ ආකාරය සම්බන්ධව අප සඳහන් කරන දෙවැනි පර්යේෂණය සිදුකර තිබේ. එහිදී පරිසරයේ අදාළ රසායන ද්‍රව්‍ය පවත්නා සාන්ද්‍රණය හා සමාන සාන්ද්‍රණයකට මීමැස්සන් ලක් කර ඔවුන්ගේ මොළයේ ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂණය කර ඇත. මෙහිිදී පෙනී ගොස් ඇති ආකාරයට, අදාළ රසායන ද්‍රව්‍ය හේතුවෙන් මොළයේ ස්නායු ක‍්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති වේ. එ් අනුව මීමැස්සන්ගේ සංජානනය මඳහා ඇති හැකියාවට බලපෑමක් ඇතිවීම පැහැදිලි කර තිබේ. මේ රසායන ද්‍රව්‍ය දෙකේම බලපෑම ඇති වන්නේ මීමැස්සන්ගේ මොළයේ එකම ප‍්‍රදේශයක් වන නිසා උක්ත රසායනද්‍රව්‍ය දෙකේම බලපෑමට ලක්වූ විට මීමැස්සන්ට ඇති වන බලපෑම අධික බවද හෙළි වී තිබේ. (මූලාශ‍්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms2648)

කෘෂි රසායන ද්‍රව්‍යවල මෙවැනි බලපෑමක් පිළිබඳව අනාවරණය වූ පළමු අවස්ථාව මෙය බවද අදාළ පර්යේෂකයන් සඳහන් කර ඇත. මේ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල වාසය කරන මීමැසි ගහන පත්ව ඇති අවදානමේ තරම වේ.

Saturday, March 12, 2016

ඞීඞීටීවලට මවකුසේදී නිරාවරණය වීමත් අධි රුධිර පීඩනයට හේතුවක් - ජගත් පරිසර පුවත් 005 (20.03.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.03.2013 

Vidusara - "World Environmental News - 20.03.2013"


ඞීඞීටීවලට මවකුසේදී නිරාවරණය වීමත් අධි රුධිර පීඩනයට හේතුවක්


මව් කුසේ සිටියදී අධික ඞීඞීටී මට්ටමකට නිරාවරණය වන ගැහැණු ළමුන්, ඔවුන් වැඩිහිටියන් වූ පසුව අධි රුධිර පීඩනයට ලක්වීමට ඇති හැකියාව එසේ නොවන ළමුන් මෙන් තුන් ගුණයක් අධික හැකිය. මේ බව පෙන්වා දෙන්නේ ඇමරිකාවේ සිදුකරන ලද අධ්‍යයනයකි. ඞීඞීටී රසායන ද්‍රව්‍යය එරට තුළ භාවිතය තහනම් කිරීමට පෙර උපත ලද (1959-1967 අතර) කාන්තාවන් අතර මේ රෝගී තත්ත්වය දැකිය හැකි වීම මෙහිදී අවධානය යොමු වූ කරුණයි. ඔවුන්ගේ මව්වරුන්ගේ ශරීරයේ පැවැති ඞීඞීටී සාන්ද්‍රණය පිළිබඳ දත්ත ඇති බැවින් එය හා දූවරුන් අතර අධි රුධිර පීඩනය අතර සංසන්දනයක් සිදුකිරීමට හැකියාවක් ලැබී ඇත.

ඞීඞීටී (DDT - dichlorodiplhenyltrichloroethane) රසායනයට නිරාවරණය වූ වැඩිහිටියන් අතර අධි රුධිර පීඩනය ඇතිවිය හැකි බව මින් පෙර හෙළි වී ඇති කරුණකි. එහෙත් උපතට පෙර ඊට නිරාවරණය වීමේ බලපෑම් පිළිබඳව තොරතුරු දක්වන මුල්ම පර්යේෂණය සේ මෙය සැලකේ.

ඞීඞීටී භාවිතය මේ වන විට බෙහෙවින් සීමා කර ඇති නමුත් ලෝකයේ රටවල් ගණනාවක මේ රසායන ද්‍රව්‍යය තවදුරටත් භාවිත කරනු ලැබේ. එවැනි රටවල වෙසෙන කාන්තාවන් අතර අනාගතයේදී මේ රෝගය සුලභ විය හැකි නිසා උක්ත තත්ත්වය ගැන යම් අවධානයක් යොමු කළ යුතුය. (මූලාශ‍්‍රය: Environmental Health Perspectives, DOI: 10.1289/ehp.1205921)