Tuesday, November 28, 2023

මේ සතියේ ඇරඹෙන දේශගුණ සමුළුව

ජගත් පරිසර පුවත් 503

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-11-29, පි. 2 

වාර්ෂික දේශගුණ සමුළුව හෙවත් දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) 28 වන පාර්ශ්වකරුවන්ගේ රැස්වීම (COP) හෙට, එනම් නොවැම්බර් 30 දා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි දී ආරම්භ වේ. ලෝකයේ් වාර්ෂිකව පැවැත්වෙන පරිසර සමුළු අතර දේශගුණ සමුළුව ප‍්‍රධාන තැනක් ගන්නේ ලෝකයේ මුහුණ දී ඇති බරපතළම අර්බුදය වන්නේ දේශගුණ වෙනස් වීම බවට අවිවාදිත නිසාය. ඉහළ දේශපාලන නායක සහභාගිත්වයක් තිබීම නිසා ද මේ සමුළුවට ලෝක අවධානය යොමු වේ.

මේ වර්ෂයේ සමුළුව පවත්වන්නේ දේශගුණ වෙනස්වීම සම්බන්ධ වාර්තා රැසක් අලූත් කළ වර්ෂයකය. තාප ප‍්‍රවාහ, ගංවතුර වැනි ආන්තික කාලගුණ තත්ත්ව සුලභ වූ හා උෂ්ණත්ව වාර්තා රැසක් අලූත් වූ වර්ෂයකය. ලෝකය ඇත්තේ දේශගුණ ව්‍යසනයක ඉදිරියේ බව පවසන දේශගුණ සම්මුතියේ ප‍්‍රධානී සයිමන් ස්ටීල්, කාබන් විමෝචන කපා හැරීම සඳහා රටවල් කටයුතු කළ යුතු බව පවසා තිබේ.

උෂ්ණත්ව ඉලක්කය

මේ සමුළුවේ මූලික අරමුණ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ තබාගැනීමයි. මෙය 2015 වර්ෂයේ පැරිස් ගිවිසුමෙන් ඇතිකරගත් ඉලක්කයයි. විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇති, දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (ෂඡුක්‍ක්‍* පෙන්වා දී ඇති ආකාරයට දේශගුණ වෙනස්වීම නිසා ඇතිවිය හැකි බරපතළ ප‍්‍රතිවිපාක වැළැක්වීම සඳහා ලෝකයේ උෂ්ණත්වය අංශක මේ අගයට සීමා කළ යුතු වේ.

ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා මේ වන විට සෙල්සියස් අංශක 1.1 හෝ 1.2 අතර ප‍්‍රමාණයකින් ඉහළය. එසේම මේ වන විට පවත්නා විමෝචන අඩුකිරීම සඳහා දී ඇති ප‍්‍රතිඥා අනුව, ලෝකයේ උෂ්ණත්වය 2100 වර්ෂය වන විට සෙල්සියස් අංශක 1.5කින් පමණ ඉහළ යෑම් අවදානමක් තිබේ. මේ නිසා 2030 වර්ෂයට පෙර ලෝකයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳමා ගත හැකි කඩිනම් පියවර මේ සමුලූවේ දී සාකච්ඡුාවට ගැනෙනු ඇත. එහි දී මුල් තැනකට වැටෙන කරුණක් වන්නේ පිරිසිදු බලශක්තිය වෙත් සිදුවන පරිවර්තනයයි. 

පිරිසිදු බලශක්ති හා පොසිල ඉන්ධන 

අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය පෙන්වා දී ඇති පරිදි පිරිසිදු බලශක්ති පරිවර්තනයක් සඳහා පොසිල ඉන්ධන කර්මාන්තයේ නියැලෙන සමාගම් ද කටයුතු කළ වේ. දේශගුණ වෙනස් වීමට දායක වීම හෝ එහි විසඳුමක් වනවාද යන්න පොසිල ඉන්ධන කර්මාන්තය විසින් තීරණය කළ යුතු බව ඒජන්සියේ ප‍්‍රධානියා පවසා දී ඇත.

මෙවර සමුළුවේ දී පොසිල ඉන්ධන පිළිබඳව මීට පෙර ගෙන ඇති තීරණ තවදුරටත් ඉදිරියට ගෙන යෑම පිළිබඳ සාකච්ඡුා වනු ඇත. කෙසේ වෙතත්, මේ පිළිබඳව මත ගැටුම් ඇති බවක් පෙනේ. පොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා යුරෝපා සංගමය සහයෝගය දෙන නමුත්, තෙල් කර්මාන්තයේ යෙදෙන රටවල් පවසන්නේ කාලයත් සමඟ ඒවා භාවිතය අඩු කිරීම පිළිබඳවය. මෙවර දේශගුණ සමුළුව පැවැත්වෙන්නේ ලෝකයේ ඉහළම තෙල් නිෂ්පාදනයක් ඇති රටක වීමෙන් මේ තත්ත්වයට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව ලෝකයේ ඇතැම් රටවල් හා කණ්ඩායම්වල විරෝධය මුල සිටම පැවතිණි. 

දියුණු වන රටවලට අධාර

දියුණු රටවලට දියුණුවන රටලවලින් අධාර ලබා දීම මේ සමුළුවේ දී අවධානයට ලක්වන තවත් කරුණක් වනු ඇත. ඒ සම්බන්ධව යම් එකඟතාවයක් ඇති වීම වැදගත්ය. එසේම, දේශගුණ වෙනස් වීමේ බලපෑම් හේතුවෙන් සිදුවන අලාභ සහ හානි සම්බන්ධව දියුණුවන රටවලට සහාය වීම සඳහා පිහිටුවීමට එකඟ වූ අරමුදල පිළිබඳව මෙතෙක් සාධනීය පියවරක් ගෙන තිබේ ද යන්න මෙහි දී වැදගත්ය. එසේම, එය ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ද අපැහැදිලිය. 2009 වර්ෂයේ දී ප‍්‍රතිඥා දුන් පරිදි, ඩොලර් බිලියන 100ක් බැගින් 2020 සිට වාර්ෂිකව දියුණුවන රටවලට ලබාදීමට අපේක්ෂා කළ ද, ඒ ඉලක්කය තවමත් අත්පත් කරගැනීමට හැකි වී නැත. 


Tuesday, November 14, 2023

උණුසුම්ම වර්ෂය 2023 ද?

ජගත් පරිසර පුවත් 502

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-11-15, පි. 2

ගතවන 2023 වර්ෂය මෙතෙක් වාර්තා වී ඇති උණුසුම වැඩිම වර්ෂය වීමට ඉඩ ඇති බව පසුගියදා පුවත් පළ විටය. යුරෝපා දේශගුණ වෙනස් වීමේ සේවාවේ දත්ත අනුව, 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පැවැති ගෝලීය සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය, මීට පෙර පැවැති උණුසුමින් වැඩිම ඔක්තෝබර් මාසය වූ 2019 ඔක්තෝබර් මාසයේ පැවැති අගයට වඩා සෙල්සියස් අංශක 0.4ක් අධික විය. 2023 ඔක්තෝබර් දක්වා අවසාන මාස පහක කාලයේ සෑම මාසයක දීම අඛණ්ඩව වාර්තාගත උෂ්ණත්ව වාර්තා වීම ද විශේෂයකි.

මේ වර්ෂය තාප ප්‍රවාහ, වාර්තාගත උෂ්ණත්ව, ගංවතුර හා ලැව් ගිනි ආදිය ඇතිවීම සුලබ විය. මේ තත්ත්වය සඳහා කාබන් විමෝචන නිසා ඇතිවන දේශගුණ වෙනස් වීම මෙන්ම, පවත්නා එල් නිනෝ තත්ත්වය ද හේතු වී ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි. මේ ඉහළ උෂ්ණත්වයක් පැවතීම 2024 වර්ෂයේ මුල් කාලය දක්වා ම වාර්තා විය හැකි බව ද පෙන්වා දී තිබේ.

2023 වර්ෂය අවසන් වීමට තවත් සති හතක පමණ කාලයක් ඉතිරිව තිබේ. නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ගෝලීය උෂ්ණත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවුවහොත් 2023 වර්ෂය මෙතෙක් වාර්තා ගත ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා වන වර්ෂය වීම වැළැක්විය නොහැක. මේ මාසයේ අග දී ලෝක දේශගුණ සමුළුව පැවැත්වීමට ද නියමිතය.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් ප්‍රමාණය දෙගුණයක් ද?

ජගත් පරිසර පුවත් 502

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-11-15, පි. 2

ලෝකයේ තර්ජනයට පත්ව ඇති ජීවී විශේෂ සංඛ්‍යාව පිළිබඳව ඇති පිළිගත් ඇස්තමේන්තු මෙන් දෙගුණයක් පමණ ජීවීන් ප්‍රමාණයක් වඳවීමේ අවදානමට ලක් වී තිබිය හැකි බව නව විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ. ඒ අනුව ලෝකයේ ජීවත්වන ජීවී විශේෂ අතරින් මිලියන දෙකක් පමණ ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයකට ලක්ව සිටියි.

මේ විශ්ලේෂණයේ දී වඳවීමේ තර්ජනය පිළිබඳව ඇගැයීමට ලක් කර ඇති  යුරෝපයේ භෞමික, ජලජ හා සමුද්‍රීය ජීවී විශේෂ 14,669ක සංරක්ෂණ තත්ත්වය පිළිබඳව විමසා ඇත. සමස්ත මහාද්වීපයේ දැකිය හැකි මුළු ජීවී විශේෂ අතරින් දහයෙන් පංගුවක් පමණ වන මේ විශේෂ පිළිබඳව IUCN රතු ලැයිස්තුව යොදාගනිමින් සිදු කර ඇති අධ්‍යයනය අනුව යුරෝපයේ ජීවී විශේෂ අතරින් 19.4%ක් වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති බව හෙළි වී ති‌බේ. එහි දී, ශාක අතරින් 27%ක් ද, අපෘෂ්ටවංශීන් 24%ක් ද, පෘෂ්ටවංශී සතුන් අතරින් 18%ක් ද වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

එහෙත්, 2019 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ කමිටුවකින් ප්‍රකාශ කර ඇති ආකාරයට ලෝකයේ කෘමි විශේෂ අතරින් වඳවීමේ අවදානමක ඇත්තේ 10%ක් පමණ ප්‍රමාණයකි. එහෙත් මෙම යුරෝපීය දත්ත ගෝලීය මට්ටමෙන් භාවිත කළහොත් කෘමීන් පිළිබඳව ඇති ඇස්තමේන්තු මීට වඩා ඉහළ යයි. ඒ අනුව ලෝකය පුරා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සියලු සතුන් හා ශාක විශේෂ ගණන මිලියන 2ක් පමණ පමණ විය හැකි බව මේ පර්යේෂකයින්ගේ අදහස වේ. එය පෙර කී එක්සත් ජාතීන්ගේ වාර්තාවේ මෙන් දෙගුණයක් පමණ ප්‍රමාණයකි.

මේ දක්වා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් පිළිබඳ අධ්‍යයනවල දී වැඩි අවධානයකට ලක්ව ඇත්තේ පෘෂ්ටවංශීන් හා ශාක විශේෂ වේ. කෘමීන් පිළිබඳව යොමු වී ඇත්තේ අඩු අවධානයකි. එහෙත් ලෝකය මත ජීවය පැවතීම සඳහා කෘමීන්ගේ පැවැත්ම අත්‍යාවශ්‍ය වේ.

මූලාහ්‍රය - PLoS ONE, DOI: 10.1371/journal.pone.0293083