Friday, January 31, 2020

සම්පත් පරිභෝජනය වාර්තාගත මට්ටමකට

ජගත් පරිසර පුවත් 349 - 29.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)



මිනිසුන් විසින් එක් වර්ෂයක් තුළ භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය ටොන් බිලියන 100ක සීමාව ඉක්මවා ගොස් ඇති බව පසුගියදා එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි. එය නිශ්චිතව දක්වන්නේ නම් ටොන් බිලියන 100.6කි. මේ අතරින් ටොන් බිලියන 50.8ක් පමණ ඛනිජ ද්‍රව්‍ය වේ. ටොන් බිලියන 24.6ක් පමණ ගස් හා භෝග වෙයි. තවත් 15.1ක් පමණ පොසිල ඉන්ධනය. එමෙන්ම ටොන් බිලියන 10.1ක් පමණ ලෝහ සහිත පස්ය.

ලෝකය වාර්ෂිකව භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය 1970 සිට මේ වන විට සිව්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. එහෙත් මේ කාලය තුළ ජනගහනය වර්ධනය වී ඇත්තේ දෙගුණයකින් පමණකි. අද ජීවත්වන අයෙකු එක් වසරකදී සම්පත් ටොන් 13ක් පමණ භාවිත කරන බව මේ අනුව පෙනේ.

වාර්ෂිකව භාවිත වන මේ සම්පත් ප්‍රමාණය අතරින් වසරකට පසුව භාවිත වන්නේ ටොන් බිලියන 31කි. තවත් 14.6ක් විමෝචන ලෙස පිටවෙයි. ටොන් බිලියන 22.4ක් පමණ පරිසරයට එක් වෙයි. තවත් ටොන් බිලියන 32.6න් පමණ ඉවත දමනු ලැබේ. සමස්තයක් ලෙස ගත් විට නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනු ලබන්නේ මුළු සම්පත් ප්‍රමාණයෙන් 8.6%කි.

එය මෑත කාලීන ප්‍රවණතාවය පෙන්වාදෙන්නකි. ගත වූ අවසන් වසර දෙක ඇතුළත සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය 8%කින් ඉහළ ගොස් ඇතත් ඒ වසර දෙක තුළ ප්‍රතිචක්‍රිකරණය හා යළි භාවිතය 9.1% සිට 8.5%ක් පමණ දක්වා අඩු වී ඇත. මේ ආකාරයෙන් ලෝකයේ පවත්නා සම්පත් සීමා රහිත බවක් සිතමින් පරිභෝජනය කිරීමට යෑම ලෝකයටම අහිතකර ප්‍රතිඵලයක් අත්කර දිය හැකි දෙයකි.

මූලාශ්‍රය - The Circularity Gap Report 2020, www.circularity-gap.world/2020

මොනාක් සමනල ගහනය අඩු වීම

ජගත් පරිසර පුවත් 349 - 29.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)



කැලිෆෝනියාවේ වෙරළාසන්න ප්‍රදේශවල ශීත කාලය ගත කිරීම සඳහා පර්යටනය කරන බටහිර මොනාක් නම් සමනලයින්ගේ කිලෝමීටර් තුන්දහසක පමණ දීර්ඝ ගමන සොබාදහමේ එක් අපූරු පර්යටනයක් ලෙස සැලකේ. එහෙත් මේ සමනලයින්ගේ ගහනය, අඛණ්ඩව දෙවැනි වර්ෂයටද, විශාල ලෙසින් අඩු වී තිබෙන බව වාර්තා වෙයි.

Xerces සංගමය නම් පාරිසරික සංවිධානයක් මගින් සිදුකරන ලද ගනනය කිරීමක් අනුව මේ වර්ෂයේ එම ප්‍රදේශයට පැමිණි මොනාක් සමනලුන් ගණන 29,000ක් පමණ වේ. එය මෙතෙක් වාර්තා වී ඇති අවම පර්යටනිත සමනල ගහනය වන පසුගිය වර්ෂයේ වාර්තා වූ 27,000 ඉක්මවන්නේ සුළු වශයෙනි. එහෙත් 1980 දශකයේ දී කැලිෆෝනියාවේ වෙරළ තීරයේ වනගත පෙදෙස්වලට වසරකට මිලියන 4.5ක් පමණ සමනලුන් ප්‍රමාණයක් වාර්ෂිකව පර්යටනය කර ඇත. ඒ අනුව සමනල ගහනයේ අඩුවීම බරපතළ බව පැහැදිලිය.

මේ තත්ත්වයට බලපාන හේතු අතර ඔවුන්ගේ පර්යටන ගමන්මාර්ගයේ පිහිටා ඇති පරිසර පද්ධති විනාශ වීම මූලික බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. ඒවා මේ වන විට මානව ජනාවාස බවට පත්ව ඇත. එමෙන්ම විවිධ කෘෂිරසායන භාවිතය හා දේශගුණ වෙනස් වීමේද කිසියම් බලපෑමක් ඇති බව සඳහන් වෙයි. 2017 වර්ෂයේ සිදු කළ එක් අධ්‍යයනකට අනුව මොනාක් සමනලයින් ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් නොගත හොත් ඉදිරි දශක කීපය ඇතුළත දී ඔවුන් වඳ වී යා හැකිය. මේ තත්ත්වය නිසා ඇමරිකානු රජය මෙම සමනලයා තර්ජනයට ලක් වූ සමනලයෙකු ලෙස නම් කිරීමට අදහස් කරගෙන ඇති බව ද සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ විමෝචන අඩු කිරීමට යෝජනා

ජගත් පරිසර පුවත් 349 - 29.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 29.01.2020, පි. 3 (Vidusara)




දේශගුණ වෙනස් වීම පාලනය කිරීම අරමුණු කරගනිමින් බි්‍රතාන්‍යය ඇතිකරගෙන තිබෙන ප්‍රධාන ඉලක්කයක් වන්නේ 2050 වර්ෂය වන විට එරට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමය. මෙම ඉලක්කය අත්පත් කරගැනීම සඳහා කළ හැකි හදිසි කාර්යයක් ලෙස මහා පරිමාණයෙන් සිදුකරන පැළ සිටුවීම ගැන දැන් එරට අවධානය යොමු වී ඇත. වසරකට පැළ මිලියන 100ක් සිටුවීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකි ක්‍රමයක් පසුගියදා එරට දේශගුණ වෙනස් වීම පිළිබඳ කමිටුව දක්වා තිබෙයි. ඒ මහා පරිමාණ හරිතාගාර වායු විමෝචකයන් වන තෙල් සමාගම් හා ගුවන් සමාගම්වලට නව කාබන් බදු පැනවීමයි. එමෙන්ම මෙවැනි පියවරක් හරහා මෙම පැළ සිටුවනු ලබන බිම් හිමි ගොවීන්ට හා ඉඩම් හිමියන්ට ප්‍රතිලාභ සැලසෙනු ඇත.

එමෙන්ම මෙම කමිටුව සඳහන් කරන පරිදි ඉහත කී කාබන් ඉලක්කය අත්පත් කරගැනීමට නම්, එරට කෘෂිකර්මයේ බරපතළ වෙනස් කම් සිදු කළ යුතු වේ. ඉඩම් භාවිතය හා සම්බන්ධ මූලික වෙනස්කම් රැසක් සිදුකළ යුතුව තිබේ. ඔවුන් යෝජනා කර ඇති පියවර අතර දෙණි බිම් ගිනි තැබීම හා කොම්පෝස්ට් ලෙස පීට් භාවිතයට ගැනීම තහනම් කිරීම ඇතුළත්ය. ඒ කාබන් සංචය කිරීම සඳහා වැදගත් වන එවැනි බිම් ප්‍රදේශ විනාශ කිරීමෙන් ඒ හැකියාව අහිමි වීම නිසාය. මෙම කමිටුව පෙන්වා දී ඇති පරිදි, එරට තුළ ස්වේච්ඡාවෙන් සිදුකිරීමට යෝජනා වූ පියවර රැසක් අසාර්ථක වී ඇත. මීට පෙර මෙම කමිටුව පෙන්වා දුන් පරිදි කාබන් විමෝචන පාලනය සඳහා රතු මස් ආහාරයට ගැනීම 20%කින් පමණ අඩු කර, ආහාරවේලට ඇතුළත් ශාකමය ආහාර ප්‍රමාණය වැඩි කළ යුතුය.

උෂ්ණත්වයෙන් වාර්තා අතරට එන 2019

ජගත් පරිසර පුවත් 348 - 22.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 22.01.2020, පි. 3 (Vidusara)



පෘථිවිය මතුපිට වායුගෝලීය සාමාන්‍ය උෂ්ණත්ව වාර්තා අතර අතින් දෙවැනි තැන ගන්නා වර්ෂය වන්නේ 2019 වර්ෂය බව පර්යේෂණයකින් පෙන්වා දී ඇත. ඒ අනුව, 1850-1900 අතර කාලයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා පසුගිය වර්ෂයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1කින් ඉහළය. එමෙන්ම ගත වූ වර්ෂ පහක කාලයත් ගත වූ දශකයත් ලෝකයේ අවසන් 150 වසරක කාලය තුළ පැවැති උෂ්ණත්වය වැඩිම වසර පහ හා දශකය වේ. 1850 සිට උෂ්ණත්ව මිනුම් පවත්නා අතර, මේ කාලයේදී වාර්තා වූ උෂ්ණත්වයෙන් ඉහළම වර්ෂය වන්නේ 2016 වර්ෂයයි. එය එල් නිනෝ සිදුවීමක් පැවති වර්ෂයකි. එල් නිනෝ තත්ත්වයක් නොමැතිව 2019 ඉහළ උෂෟණත්වයක් වාර්තා කිරීම දේශගුණ වෙනස් වීමේ බලපෑම පිළිබඳව පෙන්වා දෙන්නකි. මේ උෂ්ණත්ව වාර්තා පැමිණෙන්නේ ඇමරිකානු ආයතන දෙකකින්, බි්‍රතාන්‍ය ආයතනයකින් හා යුරෝපයේ පිහිටා ඇති ආයතනයකිනි.

මානව ඉතිහාසයේ සාගර උෂ්ණත්වය සම්බන්ධ වාර්තා තැබීම ආරම්භ වූ පසු ගත වූ කාලයේදී සාගරයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වර්ෂය වන්නේ 2019 බවද පසුගිය සතිය මුලදී එළි දුටු පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දෙන ලදි. ඒ අනුව 1981-2010 අතර කාලයේ සාගර ජලයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.075ක් පමණ ඉහළ උෂ්ණත්වයක් පසුගිය වර්ෂයේදී වාර්තා වී තිබෙයි. සාගරයේ මතුපිට සිට මීටර් 2000ක් පමණ ගැඹුරක් යනතෙක් මේ උෂ්ණත්ව ඉහළ යෑම දැකිය හැකිය. ලෝකයේ නිකුත්වන හරිතාගාර වායුවල රැඳී ඇති තාපයෙන් 90%ක් පමණ අවශෝෂණය කරනු ලබන්නේ සාගර ජලය මගිනි. එමෙන්ම ගත වූ වර්ෂ පහක කාලයත් ගත වූ දශකයත් යනු සාගර ජලයේ උෂ්ණත්වය දත්ත පවත්නා කාලය සම්බන්ධව වැඩිම උෂ්ණත්වයක් ඇති වසර පහ හා දශකය වේ. ඒ අනුව සාගර ජලයේද අඛණ්ඩ උෂ්ණත්ව ඉහළ යෑමක් ඇති බව පැහැදිලිය. එමෙන්ම මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇති ආකාරයට 1955-1986 අතර කාලයේදී ඇති වූ උෂ්ණත්වය ඉහළ යෑමට වඩා 1987-2019 කාලයේ දී ඇති වූ උෂ්නත්වය ඉහළ යෑම 450%ක් පමණ වැඩිය. ඒ අනුව මෑතකාලයේදී මිහිතලය උණුසුම්වීමේ කැපී පෙනන වර්ධනයක් සිදු වී ඇති බවද පැහැදිලි වෙයි. 

මූලාශ්‍රය - Advances in Atmospheric Sciences, DOI: 10.1007/s00376-020-9283-7

මයික්‍රොසොෆ්ට් සමාගම කාබන් ඍණ වීමට යයි

ජගත් පරිසර පුවත් 348 - 22.01.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.01.2020, පි. 3 (Vidusara)



සිය සමාගම ආරම්භ කළ 1976 වර්ෂයේ සිට මේ දක්වා විමෝචනය කළ සියලු කාබන් විමෝචන පරිසරයෙන් ඉවත් කරන බවට ප්‍රතිඥාවක් මයික්‍රොසොෆ්ට් සමාගම ලබා දී තිබෙයි. මේ ඉලක්කය 2050 වර්ෂය වන විට අත්පත් කරගැනීමට අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඬේලා පවසා ඇත.

මේ සඳහා ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ඉලක්කය වන්නේ 2030 වර්ෂය වන විට සමාගම කාබන් ඍණ වීමේ (carbon negative) ඉලක්කයකි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, සමාගම නිකුත් කරන කාබන් ප්‍රමාණයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් පරිසරයෙන් ඉවත් කිරීම මගිනි. සමාගමේ ප්‍රධානීන් පවසන්නේ දැනටමත් නිකුත් වී ඇති කාබන් වායුගෝලයේ ඇති බැවින් මේ වන විට ජනප්‍රිය වී ඇති කාබන් උදාසීන වීම (carbon neutral) ප්‍රමාණවත් නොවන බවයි. මේ ආකාරයෙන් කාබන් ඍණ වීම සඳහා ඔවුන් යොදාගැනීමට අපේක්ෂා කරන්නේ වායුගෝලයෙන් කාබන් ඉවත් කර රඳවා තැබීමේ තාක්ෂණය යොදාගැනීමටය. ඒ අනුව නව වනාන්තර ඇති කිරීම හා පවත්නා වනාන්තර ව්‍යාප්ත කිරීම, පසෙහි කාබන් ගබඩා වීම ප්‍රවර්ධනය කිරීම, වායුගෝලයෙන් ඍජුව කාබන් ඉවත් කිරීම හා කාබන් අවශෝෂණය කරන ජෛව ඉන්ධන ප්‍රවර්ධනය යන අංශවලිනි. පරිසරයෙන් කාබන් ඉවත් කළ හැකි තාක්ෂණය පිළිබඳව නව සොයාගැනීම් සඳහා ඩොලර් බිලියනයක අරමුදලක්ද සමාගම විසින් පිහිටුවා ඇත.

මෙය කාබන් විමෝචන අංශයෙන් පිරිසිදු බලශක්තියක් වෙත යොමු වීමට මහා පරිමාණ ව්‍යාපාරික ආයතන අතර ඇති තරගය යහපත් ලෙසින් භාවිත වන අවස්ථාවක් පෙන්වන්නකි. නිදසුනක් ලෙස, ඇමසන් සමාගම 2040 වර්ෂයේදී කාබන් උදාසීන බවට පත් වන බවට ප්‍රතිඥා දී ඇත. දැන් මයික්‍රොසොෆ්ට් සමාගම තවත් ඉදිරියට ගොස් ඇත. කාබන් උදාසීන වීමේදී අදාළ සමාගයේ ශුද්ධ විමෝචනයක් නොමැත. එහෙත් කාබන් ඍණ වීමේදී සමාගම නිකුත් කරන ප්‍රමාණයටත් වඩා කාබන් පරිසරයෙන් ඉවත් කරනු ලැබෙයි. විශේෂයෙන් ඔවුන්ගේ කාර්යභාරයෙන් එපිටට ගොස් ලෝකයේ ඇති ප්‍රශ්නයක් දෙස වඩාත් විමසා බැලීමකි. එය වැදගත්ය.

මුල්පෙළේ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙම ප්‍රතිඥාව පරිසරවේදීන් විසින් සුභවාදීව පිළිගෙන ඇති බව පෙනෙයි. එසේම ලෝකයේ සෙසු මහා පරිමාණ සමාගම්ද මේ සඳහා යොමු විය යුතු බව ඔවුන්ගේ අදහස වෙයි.

අනාගත ජල ගැටුම් කලින් හඳුනාගැනීම

ජගත් පරිසර පුවත් 347 - 15.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 15.01.2020, පි. 3 (Vidusara)



ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ජලය පිළිබඳ විවිධ අර්බුද අනාගතයේදී ඇති විය හැකි බව විද්‍යාඥයින් විසින් අනතුරු හඟවා ඇත. මේ අර්බුද දරුණු හා ගැටුම්කාරී තත්ත්ව බවට පත් වීමට ද ඉඩ තිබේ. එසේ ගැටුම්කාරී තත්ත්ව බවට පත් විය හැකි ජල අර්බුද ඇති විය හැක්කේ කෙබඳු ස්ථානවලදී ද යන්න කල් තබා පුරෝකථනය කළ හැකි මෙවලමක් පසුගියදා හඳුන්වා දෙන ලදි. ඒ දේශගුණ වෙස් වීම පිළිබඳ දත්ත මතය.

ප්‍රකට සංවිධාන කීපයක් විසින් හදුන්වා දී ඇති, “ජලය සාමය හා ආරක්ෂාව” නම් මෙම මෙවලම පූර්ව අනතුරු හැඟවීමේ ක්‍රමවේදයකි. එමගින් අනාගතයේ ජලය නිසා ගැටුම්කාරී තත්ත්ව ඇති විය හැකි ප්‍රදේශ ගැන අනතුරු හැඟවීමට හැකිය. මෙහිදී වර්ෂාව, නියඟය, භෝග අස්වනු බිඳවැටීම වැනි පාරිසරික විචල්‍යතා සමඟ දේශපාලන ආර්ථික හා සමාජයීය තත්ත්ව සම්බන්ධ කරගනිමින් ජලය ආශ්‍රිත අර්බුද නිසා ගැටුම් ඇති විය හැකි ප්‍රදේශ වසරකට පමණ පෙර පැවසිය හැකිය. මේ සඳහා විවිධ දර්ශක අසූවක් පමණ වසර විස්සක පමණ දත්ත යොදාගැනෙයි.

මෙසේ පාරිසරික සාධක හා සමාජ-ආර්ථික විචල්‍යතා සම්බන්ධ කරගනිමින් ජල අර්බුද ඇති විම පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා මෙවලමක් ඉදිරිපත් කර ඇති පළමු අවස්ථාව මෙයයි. එමගින් අවම වශයෙන් මරණ 10ක් වත් ඇති විය හැකි මට්ටමේ ගැටුම් ඇති විය හැකි ප්‍රදේශ හඳුනාගත හැකිය. මේ හඳුනාගැනීම් සඳහා 86%ක පමණ සාර්ථකත්වයක් ඇත. මෙම මෙවලම වෙත අන්තර්ජාලයෙන් පිවිසිය හැකි අතර, එය ජල ආතතියක් සහිත ප්‍රදේශවල ප්‍රතිපත්ති සම්පාදකයන් හා ජනතාව විසින් යොදාගනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. ඒ ඇතිවිය හැකි අර්බුද වළක්වා ගැනීම සඳහා කලින් ක්‍රියාත්මක වීමෙනි.

මෙමගින් පුරෝකථනය කර ඇති ආකාරයට 2020 වර්ෂයේදී ජල අර්බුද නිසා ගැටුම් ඇති විය හැකි රටවල් අතර, ඉරාකය, ඉරානය, මාලි, නයිජීරියාව, ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් වෙයි.

ජලය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජල ආතතියක් ඇති ප්‍රදේශවල ජල අර්බුද ඇති විය හැකිය. විශේෂයෙන් ජල හිඟයකින් පීඩාවට ලක්වන පිරිස් අනාගතයේදී තවත් ඉහළ යනු ඇත. 2050 වර්ෂය වන විට බිලියන 8ක පමණ ජනගහනයක් ජල හිඟය ඇති තත්ත්වවලට මුහුණ පෑ හැකිය.

මෙම මෙවලම සඳහා වූ වෙබ් අඩවිය - www.waterpeacesecurity.org

ඔස්‌ට්‍රේලියාවේ ලැව් ගිනි හා දේශගුණ වෙනස් වීම

ජගත් පරිසර පුවත් 347 - 15.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 15.01.2020, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා කටයුතු කරන මෙන් ලෝකයේ විවිධ රටවල සිදුකරන උද්ඝෝෂණවල ප්‍රධාන මාතෘකාවක් බවට ඔස්‌ට්‍රේලියාවේ ඇති වී තිබෙන ලැව් ගිනි පත්ව ඇත. පසුගිය සිකුරාදා දින එරට නගර ගණනාවක පැවැති උද්ඝෝෂණවල අරමුණ වූයේ එරට වර්තමාන රජයේ දේශගුණ පිළිබඳ ප්‍රතිපත්තියට විරෝධය දැක්වීම හා ඒ සම්බන්ධයෙන් වඩා ප්‍රබල පියවරක් ගන්නා ලෙස රජයට බලකිරීමයි. එමෙන්ම වෙනත් රටවල ඔස්‌ට්‍රේලියානු තානාපති කාර්යාල ඉදිරිපිට මෙවැනි උද්ඝෝෂණ පැවැතිණි. මේවායේදී ඔස්‌ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ට චෝදනා එල්ල වී තිබිණි. පසුව, පසුගිය ඉරිදා ඔහු ලැව් ගිනි අර්බුදය පිළිබඳව සිය රජය දැක්වූ ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන කණගාටුව පළ කළේය. එමෙන්ම ඒ පිළිබඳව සොයාබැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ පමණ ආරම්භ වූ මෙම ලැව් ගිනි නිසා පසුගිය සතිය වවන විට මිනිස් ජීවිත 28ක් අහිමි වී, නිවාස 2000කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබිණි. එමෙන්ම, හෙක්ටයාර මිලියන 5කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශයට පත්වු අතර, වනජීවීන් විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි ව තිබිණි. සැලකිය යුතු ජනතාවකට සිය නිවාස අත්හැර ආරක්ෂිත ස්ථානවලට යෑමට ද විය. තවමත් උණුසුම් කාලගුණයක් පවත්නා තත්ත්වය තුළ තවත් කාලයක් ලැව් ගිනි අවදානම පවතින බව එරට බලධාරීන් මෙන්ම විද්‍යාඥයින්ද පෙන්වා දී තිබෙයි. සාමාන්‍යයෙන් ඔස්‌ට්‍රේලියාවේ ඇති වන ලැව් ගිනි වඩාත් බරපතළ වන්නේ ජනවාරි හා පෙබරවාරි මාසවලය.

ලෝකයේ ලැව් ගිනි ඇතිවන ප්‍රදේශ අතර ඉදිරියෙන්ම ඇති ප්‍රදේශයක් ලෙස ඔස්‌ට්‍රේලියාව දැක්විය හැකිය. එහෙත් එරට තුළ දැකිය හැකි ලැව් ගිනි තත්ත්වය බරපතළ වීම සඳහා උෂ්ණත්වය ඉහළ යෑම හේතු වන බවට විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. ඔවුන් පෙන්වා දී ඇති පරිදි, අතීතයේදී ද මෙවැනි අධික උෂ්ණත්වයක් සහිත ග්‍රීෂ්ම කාල වකවානු ඇති වී තිබෙන නමුත්, වර්තමාන ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස් වීම අතර ඇති සම්බන්ධය ගැන සැකයක් නැත. දේශගුණ වෙනස් වීම නිසා ඇති වන වියළි ස්වභාවය හා ලැව් ගිනි ඇති විය හැකි කාලගුණ තත්ත්වය නිසා එරට ඇති වන ලැව් ගිනිවල විශාලත්වය හා ඇතිවන වාර ගණන ඉහළ ගොස් ඇත. මේ පිළිබඳ පැහැදිලි කිරීම් ඇත.

හිරු ආවරණ ආලේපන තහනම් කළ පළමු රට

ජගත් පරිසර පුවත් 346 - 08.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 08.01.2020, පි. 3 (Vidusara)




හිරු රැසින් ආරක්ෂාවීම සඳහා පාවිච්චි කරනු ලබන ආලේපන වන හිරු ආවරණ ආලේපන (sun cream) තහනම් කිරීම සඳහා පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වන පලව් දේශය තීරණය කර ඇත. කොරල්පරවලට හා සාගර ජීවීන්ට හානිකර වන මෙමආලේපන තහනම් කිරීම සඳහා කටයුතු කළ ලෝකයේ පළමු රට වන්නේ ද මෙම රටයි. ඒ අනුව ඉදිරියේදී මේවා තුළ තහනම් විය හැකිය.

මෙම තහනම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2018 වර්ෂයේදී වන අතර මේ වර්ෂයේ ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වෙයි. මේ අනුව හානිකර බව හෙළි වී ඇති රසායන ද්‍රව්‍ය 10කින් එකක් හො ඇතුළත් වන හිරු ආවරණ ආලේපන එරට තුළ ආලේපනය හෝ අලෙවි කිරීම එරට තහනම් කර ඇත. මේවා පාරිසරික වශයෙන් හානිකර රසායන ද්‍රව්‍ය බවට ප්‍රකට ඒවාය. ඒවා වැඩි ප්‍රමාණයක් වනජීවීන්ගේ කුඩා අවධියේදී විෂ සහිත බව වාර්තා වී තිබෙයි. එමෙන්ම ඒ අතර ඇති ඔක්සිබෙන්සෝන් හා ඔක්ටිනොක්සේට් යන රසායනික ද්‍රව්‍ය දෙක පාරජම්බුල ආලෝකය අවශෝෂණය කර ගැනීමට කටයුතු කරයි. මේ අනුව මේ රසායන ද්‍රව්‍ය කොරල්පරවලට හා සාගර ජීවී විශේෂවලට හා සරගයට හානි කර වෙයි.

මේ වන විට එරට වැදගත් පරිසර පද්ධතිවලින් මෙන්ම එරට තුළ ජනප්‍රිය වී ඇති ජීවී විශේෂවල ශරීරගත වී තිබී මෙම විෂ සහිත රසායනික ද්‍රව්‍ය හමු වී තිබෙයි.

මේ තත්ත්වය නිසා මෙම හිරු ආලේපන ක්‍රීම් හා දියර නිෂ්පාදනයේදී මේ විෂ සහිත රසායන ද්‍රව්‍ය යොදාගැනීම ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙයි. වාර්තාවලට අනුව මේ වන විට ඒවා භාවිත කරනු ලබන්නේ ආලේපන වර්ගවලින් අඩක පමණ පමණකි. එයට හේතුව වන්නේ මෙම රසායන ද්‍රව්‍ය ඇතුළත් ආලේපන තහනම් කරන බවට විවිධ රටවල් විසින් නිවේදනය කිරීමයි. හවායි දූපත්වලද මේ රසායන ද්‍රව්‍ය ඇතුළත් හිරු ආවරණ ආලේපන 2021 වර්ෂයේ සිට තහනම් වනු ඇත. ඇමරිකාවට හා නෙදර්ලන්තයට අයත් දූපත් රාජ්‍ය කීපයක්ද මෙවැනි තහනමක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඔස්‌ට්‍රේලියාවේ ලැව් ගිනි

ජගත් පරිසර පුවත් 346 - 08.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 08.01.2020, පි. 3 (Vidusara)




ඔස්‌ට්‍රේලියාවේ ඇති වී තිබෙන ලැව් ගිනි තත්ත්වය අද වන විට ලෝකයේම අවධානය යොමු කර ගැනීමට සමත්ව තිබෙයි. එරට ලැව් ගිනි ඇති වීම සෑම වසරකම පාහේ සිදුවන සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර එය බරපතළ හා දිගු කාලයක් පවත්නා එකක් බවට පත්ව ඇත.

2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පමණ එරට නිව් සවුත් වේල්ස් හා ක්වීන්සලන්ත යන ප්‍රාන්තවල ලැව් ගිනි ඇති වූයේ ගිනි සමයේ මුල් කාලයේදීමය. එසේම ඒවා සැලකිය යුතු තරම් විශාල ඒවා වූ බව ඒ දිනවලම වාර්තා වී තිබිණි. මේ වන විට මෙම ලැව් ගිනිවලින් එරටට සැලකිය යුතු බලපෑමක් සිදුව ඇත. වැඩිම හානිය සිදුව ඇත්තේ ස්වාභාවික පරිසරයට වනජීවින්ටය. එසේම අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම නිසා මිනිස් ජීවිත නැති වී තිබෙන්නේ 24ක් පමණ ප්‍රමාණයකි. වායු දූෂණය නිසා ඇතැම් ප්‍රදේශවල වාතයේ තත්ත්වය ඉතා අයහපත් වී ඇත. පසුගිය ඉරිදා එරට අගමැති ප්‍රකාශ කර තිබුණේ මේ ලැව් ගිනි තවත් මාස ගණනාවක් පැවතිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ ලැව් ගිනි ඇති වීම දේශගුණ වෙනස් වීම සමඟ ඍජුව සම්බන්ධ වන්නේද යන්න ගැන සාකච්ඡාවක් එරට තුළ මෙන්ම ජගත් මට්ටමෙන්ද ඇති වී තිබෙයි. ලැව් ගිනි හා දේශගුණ වෙනස් වීම අතර ඇත්තේ තරමක් සංකීර්ණ තත්ත්වයකි. බොහෝ කලක සිට විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත්තේ ඔස්‌ට්‍රේලියාවේ ලැව් ගිනි ඇති වන වාර ගණන ඒ ඒ ලැව් ගිනිවල තීව්‍ර තාවය ඉහළ යෑම සඳහා උණුසුම් හා වියළි තත්ත්ව දායක විය හැකි බවයි. මේ වන විට ඔස්‌ට්‍රේලියාවේ සාමාන්‍ය උෂ්ණත්වය දිගුකාලීන සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශකයක් පමණ ඉහළය. ලෝකයේ සෑම පෙදෙසකම පාහේ සාමාන්‍ය උෂ්ණත්වය අතීතයට වඩා ඉහළ ගොස් ඇත්තේ මිහිතලය උණුසුම් වීම නිසා බව පිළිගත් කරුණකි.

කෙසේ වෙතත් එරට රජයේ බලධාරීන් මේ ගැන මුනිවත රැකීම හෝ විද්‍යාත්මක කරුණු ප්‍රතික්ෂේප කිරීම කලක් තිස්සේ දැකිය හැකි විය. එයට බලපාන හේතුව වන්නේ දේශගුණ වෙනස් වීම පිළිබඳව කටයුතු කිරීමේදී එරට දක්වන උදාසීන හා ප්‍රමාණවත් නොවන්නා වූ දායකත්වයයි. පැරිස් ගිවිසුම යටතේ 2030 වන විට සිදුකිරීමට ඔස්ටේ්‍රලියාව පොරොන්දු වී තිබෙන කාබන් විමෝචන සීමා කරන බවට පොරොන්දු දී ඇති 26%-28% අතර අගය ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. එසේම ඒ ඉලක්කය අත්පත් කරගැනීම ද එරටට කළ නොහැකි බවද දක්වා තිබෙයි. ගල් අඟුරු හා වෙනත් පොසිල ඉන්ධන භාවිතය එරට තුළ ඉහළය. කෙසේ වෙතත් මෑතකදී මිහිතලය උණුසුම් වීම ලැව් ගිනි වර්ධන වීමට දායක වන බව එරට අගමැතිවරයා ද පිළිගෙන තිබිණි.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැඩිම නගරවල

ජගත් පරිසර පුවත් 345 - 01.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 01.01.2020, පි. 3 (Vidusara)



ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු වර්තමානයේ දැඩි අවධානයකට ලක් වී ඇති පරිසර දූෂකයකි. විවිධ අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි ලෝකයේ සෑම ප්‍රදේශයක්ම පාහේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් දූෂණය වී ඇත. මේවා මුලින්ම අවධානයට ලක් වූයේ සාගර ජලයේ පවත්නා පරිසර දූෂකයක් ලෙසය. එහෙත් මෑත කාලයේදී හෙළි වී තිබෙන ආකාරයට වායුගෝලයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශාල ලෙසින් පවතී. එමෙන්ම, මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවල මෙන්ම, මිනිස් ජනාවාස පිහිටා නැති පිටිසර හා ඈත ප්‍රදේශවල වාතයේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතී. එයට හේතව සුළං මගින් මේවා ව්‍යාප්ත වීමය.

ලන්ඩන් නගරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් තැන්පත් වීම පිළිබඳව මෑතදී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව නාගරික පරිසරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු තරම් ඉහළය. මධ්‍යම ලන්ඩනයේ සිදුකරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇති පරිදි උස් ගොඩනැගිල්ලක වහලයේ වර්ග මීටරයකට දවසකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි 575ත් 1008ත් අතර ප්‍රමාණයක් තැන්පත් වෙයි. මේ මිලි මීටර් 0.02 හා 0.5 අතර ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්ය. මෙම අගය ග්‍රාමීය ප්‍රදේශයකට වඩා විසි ගුණයක් පමණ ඉහළය. එමෙන්ම ලෝකයේ මෙවැනි අධ්‍යයන සිදුකර ඇති නගර අතරින් ලන්ඩනය වැඩිම ක්ෂ්‍රද්‍ර ප්ලාස්ටික් හමුවන නගරය වේ. එම ප්‍රමාණය පැරිස් නගයේ මෙන් හත්ගුණයක්ද, ජර්මනියේ හැම්බර්ග් නගරයේ මෙන් තුන් ගුණයක් තරම්ද වෙයි.

මෙසේ පතිත වී ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විවිධ වර්ග 15කට අයත්ය. එමෙන්ම විවිධ හැඩගෙන ඇති අතර, ඉන් 92%ක් පමණ කෙඳිතිය. මේවා අතරින් වැඩි ප්‍රමාණය පොලිඇක්‍රිලික් කෙඳි වී ඇති අතර, ඒවා ඇඳුම්වලින් පැමිණෙන ඒවා වීමට වැඩි ඉඩක් ඇත. එමෙන්ම 8%ක් පමණ වූ අංශුමය හැඩැති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අතරින් වැඩි වශයෙන් තිබී ඇත්තේ ආහාර දවටනවලින් පැමිණෙන බව සිතිය හැකි පොලිස්ටයිරීන් හා පොලිඑතිලීන්ය.

ලෝකයේ බොහෝ නගරවල තත්ත්වය මෙබඳු විය හැකි බව මෙම අද්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයින්ගේ අදහස වෙයි. එය බරපතළ තත්ත්වයකි. ක්ෂුද් ප්ලාස්ටික් ආශ්වාස කිරීම මගින් පෙනහළු හරහා මෙන්ම කෙල සමඟ ආහාර මාර්ගය හරහා ශරීරගත විය හැකිය. එමෙන්ම ශ්වසන නාලවල ද තැන්පත් විය හැකිය. මේවා මගින් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම මෙන්ම පාරිසරික බලපෑම පිළිබඳව ද ලෝකය තවමත් හරිහැටි නොදනිති.

මූලාශ්‍රය - Environment International, DOI: 10.1016/j.envint.2019.105411

සාගරය ආම්ලිකකරණය වීමෙන් මෝරුන්ටත් බලපෑම්

ජගත් පරිසර පුවත් 345 - 01.01.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.01.2020, පි. 3 (Vidusara)



සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම හා ආම්ලිකකරණය වීම නිසා ඇති වන බලපෑම් සම්බන්ධව මෙතෙක් එතරම් අවධානයක් යොමු වී නොතිබුණු අංශයක් ගැන අපගේ අවධානය යොමු කරන අධ්‍යයන වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්වී තිබෙයි. ඒ අනුව, සාගරයේ වාසය කරන මෝර විශේෂවලට සැලකිය යුතු බලපෑමක් සිදුකිරීමට මේ තත්ත්වය හේතු වෙයි.

සාගරයේ කාබන් ඩයොක්සයිඞ් මට්ටම ඉහළ යෑම නිසා සාගර ජලය ක්‍රමයෙන් ආම්ලික බවට පත් වෙයි. ඒ නිසා මෝරුන්ගේ දත් හා ශල්ක දිරාපත්වන අතර, මෙහි අහිතකර ප්‍රතිඵල ලෙස ඔවුන්ට පිහිනීමට, දඩයම් කිරීමට හා ආහාර ගැනීමට ඇති හැකියාවට යම් බලපෑමක් සිදුවිය හැකිය.

සාගරය ආම්ලිකකරණය වීම සම්බන්ධව මේ දක්වා සිදුව ඇති අධ්‍යයන වැඩි ප්‍රමාණයක අවධානය යොමුව තිබෙන්නේ කොරල් හා බෙල්ලන් වැනි කැල්සියම් සහිත ව්‍යුහ හා කවච සාදන ජීවීන් පිළිබඳවය. එහෙත් මෙම අධ්‍යයනයේදී අවධානය යොමුව ඇත්තේ දකුණු අප්‍රිකානු මෝර විශේෂයක් සම්බන්ධවය. මෙහිදී අල්ලාගත් Haploblepharus edwardsii නම් මෝර විශේෂයේ සතුන් පාලිත හා පරීක්ෂණ තත්ත්ව යටතේ අධ්‍යයනය කර ඇත. වර්තමාන තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2300 වර්ෂව වන විට සාගර ජලයේ ඇති විය හැකි ච්‍ය අගය වන 7.3 අගයෙන් යුත් ජලයේ තැබූ සතුන්ගේ ශල්කවල කැල්සියම් හා පොස්පේට් මාස දෙකක් තුළ සැලකිය යුතු තරමින් අඩු වූ බව ඔවුන් නිරීක්ෂණය කර ඇත. මෝර දත් සෑදී ඇත්තේ ද මේ රසායන සංයෝගයෙන් නිසා මේ හා සමාන බලපෑමක් ඒවාටද ඇති විය හැකි බව පර්යේෂකයන්ගේ නිගමනයයි.

කෙසේ වෙතත් මේ තත්ත්වයේ බලපෑම එක් එක් මෝර විශේෂය හා ඔවුන්ගේ ආහාර රටාව අනුව වෙනස් වීමට හැකිය. නිදසුනක් ලෙස ගතහොත් හානි වූ ශල්ක තිබීම මෝරන්ගේ වේගය අඩු කිරීමට හේතු විය හැකිය. එසේම ඔවුන්ට බාහිරින් සිදුවන හානි වලින් ආරක්ෂා කිරීම අඩු විය හැකිය. දුර්වල දත් ආහාර ගැනීම සඳහා බලපායි. මේ කරුණු නිසා සාගර ආහාර ජාලයේ ඉහළින්ම සිටින විලෝපිකයා ලෙස මෝරුන්ට හිමි තත්ත්වයට බලපෑමක් විය හැකිය. ඒ සමඟ සමස්ත ආහාර ජාලයම අවුල් වීමට පවා ඉඩ ඇති බව මේ පර්යේෂණය සිදුකළ පර්යේෂකයන්ගේ අදහස ද වෙයි. එසේම, අද වන විට වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස ලක්ව ඇති සමහර මෝර විශේෂ සම්පූර්ණයෙන්ම වඳ වී යාමට පවා ඉඩක් පවතී.

මූලාශ්‍රය - Scientific Reports, DOI: 10.1038/s41598-019-54795-7