Tuesday, December 26, 2023

මිරිදිය මසුන්ගෙන් හතරෙන් එකක් වඳවීමේ තර්ජනයක

ජගත් පරිසර පුවත් 505

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-12-27, පි. 2

ලෝකයේ දැකිය හැකි මිරිදිය මත්ස්‍ය විශේෂ අතරින් හතරෙන් එකක් පමණ ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති බව ඒ පිළිබඳව සිදුකර ඇති ඇගැයීමක් අනුව පෙනේ. සොබාදහම සංරක්ෂණය සඳහා වු ජාත්‍යන්තර සංගමය හෙවත් IUCN ආයතනය මගින් සිදුකර ඇති රතු ලැයිස්තුවේ (redlist) අලුත්ම ඇගැයීමේ දී මේ කරුණු හෙළි වී තිබේ. 

මේ ලේඛනය සඳහා කළ ඇගැයීම මිරිදිය මත්ස්‍ය කාණ්ඩය සම්බන්ධව සිදුකරන ලද පළමු රතු ලැයිස්තු ඇගැයීම වේ. මෙහි දී ඇගැයීමට ලක් කරන ලද මත්ස්‍ය විශේෂ 14,898ක් අතරින් 3,086ක් පමණ ප්‍රමාණයක් කිසියම් වඳවී යෑමේ තර්ජනයකට ලක්ව ඇත. 

මිරිදිය මත්ස්‍යයින්ට ඇති වඳවීමේ තර්ජනය සඳහා බලපා ඇති සාධක අතර, ගෝලීය උණුසුම් වීම, අධික ලෙස මසුන් ඇල්ලීම, ජල මට්ටම් පහළ යෑම හා පරිසර දූෂණය වැනි කරුණු ප්‍රධානය. මිරිදිය මත්ස්‍ය කාණ්ඩයේ ජීවීන් මුහුණ පා ඇති තර්ජනය මගින් පෙන්වන්නේ ද දේශගුණ වෙනස් වීම නිසා අනතුරට පත්ව ඇති ජීවීන්ගේ ප්‍රමාණයයි. මිරිදිය මසුන් අතරින් 17%ක් පමණ ප්‍රමාණයක් දේශගුණ විපර්යාස නිසා තර්ජනයට ලක්ව තිබේ. මේ බලපෑම් අතර, ජල මට්ටමේ වෙනස් වීම්, මුහුදු මට්ටම ඉහළ ගොස් ලවණ ජලය මිරිදිය ජල මාර්ග ඔස්සේ ඉහළ යෑම හා ඍතු වෙනස් වීම වැනි කරුණු දැක්විය හැකිය. 

රතු ලැයිස්තුව සඳහා සිදුකළ මේ ඇගැයිමේ දී තවත් ජීවී විශේෂ කරුණු ද අනාවරණය වී ඇත. 

බළලුන්ගේ පරිසර බලපෑම

ජගත් පරිසර පුවත් 505

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-12-27, පි. 2

මිනිසුන් විසින් ඇති කරනු ලබන බළලුන් විසින් වෙනත් ජීවීන් මත කරනු ලබන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් පසුගියදා ප්‍රකාශයට පත්ව ඇත. ගෝලීය වශයෙන් බළලුන් විසින් ආහාරයට ගන්නා සත්ත්ව විශේෂ සම්බන්ධ ලේඛනයක් සකස් කිරීම සඳහා කළ මේ අධ්‍යයනයේ දී, බළලුන් විසින් ආහාරයට ගන්නා සත්ත්ව විශේෂ පිළිබඳ මේ වන විට සිදු කර ඇති අධ්‍යයන පන්සියයකට අධික ප්‍රමාණයක් සමාලෝචනය කර තිබේ. ඒ අනුව බළලුන් විසින් ආහාරයට ගන්නා සෙසු සත්ත්ව විශේෂ ගණන 2,084ක් පමණ වේ. මේ අතර විවිධ මට්ටම්වලින් සංරක්ෂණ අවධානයක් යොමු වි ඇති විශේෂ ගණන 347ක් පමණ වේ.

බළලුන් විසින් ආහාරයට ගන්නා මේ සත්ත්ව විශේෂ අතරට, පක්ෂි විශේෂ 981ක්, උරග විශේෂ 463ක් හා ක්ෂීරපායී විශේෂ 431ක් පමණ ඇතුළත්ය. කෘමී හා උභයජීවීන් ඇත්තේ ඊට වඩා අඩු ප්‍රමාණයක් වන අතර, ඒ පිළිවෙලින් විශේෂ 119ක් හා විශේෂ 57ක් ලෙසය. 

ඇන්ටාක්ටිකාව හැර ලෝකයේ සෙසු සියලු මහාද්වීපවල ව්‍යාප්තව ඇති බළලුන්, ලෝකයේ වඩාත්ම ගැටලුකාරී ආක්‍රමණික ජීවි විශේෂ අතර ඇති බව මේ පර්යේෂකයක් සඳහන් කර ඇත. ඓතිහාසිකව ගත් විට බළලුන්ගෙන් හානි සිදුව ඇති පරිසර පද්ධති අතර දූපත් පරිසර පද්ධතිවල ජීවීන්ට සිදු වී ඇති හානිය වඩාත් බරපතළය. එවැනි පරිසර පද්ධතිවල ඇතැම් ජීවී විශේෂ වඳ වී යෑම සඳහා බළලුන් සැලකිය යුතු දායකත්වයක් සිදු කර තිබේ. මේ නිසා ලෝකයේ ඇතැම් ප්‍රදේශවල බළලුන් සඳහා සීමා පනවා තිබේ.  (මූලාශ්‍රය - Nature Communications, DOI: 10.1038/s41467-023-42766-6)

https://www.nature.com/articles/s41467-023-42766-6



  

Tuesday, December 12, 2023

දේශගුණ සමුළුවේ පළමු සතියේ ප්‍රගතිය

ජගත් පරිසර පුවත් 504

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-12-13, පි. 2


ඩුබායි හී දී පැවැත්වෙන දේශගුණ සමුළුව හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස් වීම පිළිබඳ රාමුගත සම්මුතියේ () පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ () පළමු සතිය අවසන් වී තිබේ. මෙතෙක් පැවැති විශාලතම දේශගුණ සමුළු වන මීට 97000ක් පමණ පිරිසක් සහභාගී වී ඇත. දෙසැම්බර් 12 දින දක්වා පැවැත්වීමට නියමිත සමුළුවේ මේ දක්වා ඇති වී තිබෙන වර්ධනයන් කීපයක් තිබේ.


අලාභ සහ හානි අරමුදල

සමුළුවේ ආරම්භක දිනයේ දීම ආලභ සහ හානි අරමුදල පිහිටුවීම සදහා එකඟ වීම ඇතැම් විට විස්මයට හේතු වූ කරුණක් ලෙස සැලකිය හැකිය. දේශගුණ වෙනස්වීම නිසා අහිතකර බලපෑම්වලින් දියුණු වන රටවලට ඇති විය හැකි අලාභ සහ හානිවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම අපේක්ෂා කරනු ලැබේ. මේ රටවල් දේශගුණ විපර්යාසවලට දායක වන්නේ අඩු වශයෙන් බැවින් ඊට වැඩි දායකත්වයක් දක්වන දියුණු රටවල මූල්‍ය දායකත්වයෙන් මෙවැනි අරමුදලක් පිහිටුවීම වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටින ලද්දකි.

දැන් මේ අරමුදල සඳහා එකඟ වී ඇතත්, මේ දක්වා ඊට ලබා දීමට එකඟ වී ඇති මුදල අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය. මේ දක්වා පොරොන්දු වී ඇත්තේ ඩොලර් මිලියන 700ක් පමණ ප්‍රමාණයක් වන අතර, එය අලාභ සහ හානි සඳහා වාර්ෂිකව අවශ්‍ය කරන මුදලෙන් ඉතා සුළු ප්‍රමාණයකි. දියුණුවන රටවල සිදුවන හානි සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 100ත් 580ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බව විවිධ ගණනය කිරීම්වලින් දක්වා ඇත. ඒ දෙක අතර මැද අගයක් ගත්තද, පොරොන්දු වී ඇති ආධාර ප්‍රමාණය 0.2%ක් තරම් අඩු ප්‍රමාණයකි. එසේම, මේ මුදල් ණය නොව, ප්‍රදාන වන අතර, අලුතින් ලබාදෙන්නක් ද විය යුතුය. පොරොන්දු වී ඇති සිය දායකත්වය පිළිබඳ විස්තර එළිකර ඇත්තේ අඩු රටවල් ගණනකි.

 

පොසිල ඉන්ධන හා පුනර්ජනනය කළහැකි බලශක්තිය

මෑත කාලයේ පැවැති දේශගුණ සමුළුවල දැකිය හැකි වූ වැදගත් වර්ධනයක් වූයේ පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම හෝ අවසන් කිරීම පිළිබඳ එකඟතාවයක් වර්ධනය වීමයි. මේ වර්ෂයේ දී ඒ පිළිබඳව විස්තර සහිත එකඟතාවයක් ඇතිවෙතැයි අපේක්ෂා පළ වී තිබිණි. එහෙත් මේ වර්ෂයේ සමුළුවේ සභාපතිත්වය හිමිවන්නේ තෙල් කර්මාන්තයේ දැවැන්ත රටක වීමෙන් පොසිල ඉන්ධන සඳහා සහාය පළකරන පිරිස් වෙතින් යම් අභියෝගයක් ඇති විය හැකි බවත් පෙන්වා දී තිබිණි.

සමුළුවට සහභාගී වීම සඳහා ලියාපදිංචි වී ඇති, පොසිල ඉන්ධන නිෂ්පාදකයන් හා යම් සම්බන්ධතාවක් ඇති නියෝජිතයන් ගණන පෙර වර්ෂය මෙන් සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. හෙළි වූ කරුණු අනුව, 2,456ක් පමණ වූ මේ පිරිසේ ප්‍රමාණය, දේශගුණ වෙනස්වීමෙන් වැඩිම බලපෑමට ලක්වන රටවල් දහයෙන් පැමිණ ඇති නියෝජිත ප්‍රමාණයට වඩා අධිකය (කෙසේ වෙතත්, සමුළුව සඳහා ලියාපදිංචි වීමේ දී සිය වෘත්තීය හෙළි කිරීම අවශ්‍ය වීම මේ කරුණු අනාවරණය වීමට එක් හේතුවක් වී ඇත).

මේ අතර සමුළුවේ සභාපතිත්වය දරන සුල්තාන් අල් ජබාර් විසින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා පොසිල ඉන්ධන සීමා කිරීම අවශ්‍ය බවට විද්‍යාත්මක දත්ත නැතැයි පළ කරන ලද අදහසක් පිළිබඳ විවේචනයක් කරලියට පැමිණ තිබිණි. ඒ විවේචන පිළිබඳව අදහස් දැක්වූ ඔහු සිය අදහස් නිවැරදි නොවන ලෙස හුවාදක්වා ඇතැයි  බව පවසා ඇති අතර, පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම හා භාවිතයෙන් ඉවත් කිරීම වැළැක්විය නොහැක්කක් බව විශ්වාස කරන බව පවසා තිබේ.

මේ සමුළුව තුළ දී පුනර්ජනනය කළ හැකි බලශක්ති භාවිතය තුන්ගුණයකින් ඉහළ නැංවීම සඳහා රටවල් 119ක් ප්‍රතිඥා ලබා දී ඇති අතර, තෙල් සමාගම් 51ක් නිර්කාබනීකරණ ඉලක්ක සඳහා එකඟ වී ති‌බේ.