Wednesday, August 23, 2023

ලෝක ජනගහනයෙන් කාලක් ඉතා ඉහළ ජල ආතතියක?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 497
විදුසර, 2023-08-23. පි 2


ලෝකයේ රටවල් විසිපහක වාසය කරන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ පිරිසක් ඉතා ඉහළ ජල ආතතියකට (extremely high water stress) මුහුණ දී ඇති බව හෙළිවී තිබේ. මේ රටවල ඇති ජල සැපයුමෙන් අවම වශයෙන් 80%ක් වාර්ෂිකව භාවිත කරන බැවින් ඒ කාණ්ඩයට ඇතුළත් කර ඇත. එසේම ලෝක ජනගහනයෙන් අඩක් හෙවත් බිලියන 4ක් පමණ ජනගහනයක් අවුරුද්දේ මාසයක් පමණ කාලයක් ඉහළ ජල ආතතියකට (highly water-stress) මුහුණ දී ඇති රටවල වාසය කරයි. එනම් ඒ රටේ ජල ජල සැපයුමෙන් 40%කට අධික ප්‍රමාණයක් භාවිතය සඳහා ලබා ගන්නා රටවල්ය. ලෝක සම්පත් ආයතනය (WRI) සකස් කරන ජල ආතතී සිතියමෙන් මේ කරුණු හෙළි වී තිබේ.

ජලය මෙසේ අධික ලෙස භාවිත වන්නේ විවිධ මානව අවශ්‍යතා නිසාය. ජනගහනය ඉහළ යෑම, කෘෂිකර්මය, කර්මාන්ත ආදි විවිධ අශ්‍යතා සඳහා ජලය භාවිත කරනු ලැබේ. දේශගුණ වෙනස් වීම වර්තමාන ජල අර්බුදය සඳහා දායක වී තිබේ. පුනර්ජනනය වන සම්පතක් වන ජලය සැපයෙන ප්‍රමාණයට වඩා අධිකව ඒ සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම ජල ආතතියට හේතුවයි.

මේ සමඟ දක්වා ඇති ආකරයට ලෝකයේ ජලය සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවත්නා අතර 1960 සිට මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එසේම 2050 වර්ෂය වන විට ලෝකයේ ජල ඉල්ලුම 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. මේ තත්ත්වය ලෝකයේ විවිධ ප්‍රදේශවලට බලපා ඇති ආකාරය වෙනස්ය. යුරෝපයේ හා ඇමරිකාවේ ජල ඉල්ලුම ස්ථාවර වී ඇතත්, අප්‍රිකා මහාද්වීපයේ රටවල එය ඉහළ යමින් තිබේ. එසේම වැඩිම ජල ආතතියක් පවතින්නේ මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේය.
මූලාශ්‍රය - WRI’s Aqueduct Water Risk Atlas, www.wri.org/aqueduct

හිම අඩු වී වැසි වැඩි වීම

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 497
විදුසර, 2023-08-23, පි. 2


උතුරු අර්ධගෝලයේ අතීතයේ හිම පතිත වූ කඳුකර ප්‍රදේශවල මේ වන විට හිම පතනය අඩු වී වර්ෂාව ඉහළ ගොස් ඇති වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මේ සඳහා දේශගුණ වෙනස් වීමේ බලපෑමක් ඇති අතර, උෂ්ණත්වය ඉහළ යන එක් සෙල්සියස් අංශකයක් සඳහා ආන්තික වර්ෂාපතනය 15%කින් ඉහළ යන බව එහි දක්වා ඇත. මෙය වායුගෝලයේ ජලවාෂ්ප ඉහළ ගොස් ඇති ප්‍රමාණය නිසා අපේක්ෂිත වර්ෂාපතන ඉහළ යෑඹට මෙන් දෙගුණයක් පමණ වේ.

මේ නිරීක්ෂණය 2019 වර්ෂයේ දී දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පළ කළ විශේෂ වාර්තාවකින් පෙන්වා දුන් කරුණු හා සමගාමී වේ. එහි දක්වා තිබූ පරිදි කඳුකර කලාපවල පහළ මට්ටම්වල හිම පතනය වීම අඩු වී ඇති අතර, ඒ සඳහා අඩු වශයෙන් යම් පමණකට බලපා ඇත්තේ ඉහළ ගොස් ඇති උෂ්ණත්වයයි.

මේ අධික වර්ෂා තත්ත්වය නිසා ඇතැම් කඳුකර ප්‍රදේශවල වඩා බරපතළ විය හැකිය. නිදසුනක් ලෙස ඉන්දියාව හා තවත් රටවල් කීපයකට යාව පිහිටන හිමාලය කඳුවැටිය ආශ්‍රිතව ලෝකයේ වෙනත් එවැනි කලාපවලට වඩා වැඩි අවදානමක් ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ අධික ආන්තික වැසි සමඟ නාය යෑම්, ගංවතුර, මෙන්ම වර්ෂාව නිසා ඇති වන ජල ප්‍රවාහ මේ අවදානම ඇති වීමට හේතුවේ. උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින් ඉහළ යන හිම දියවීම ද මේ තත්ත්වය වඩාත් බරපතළ කළ හැකිය. මේ තත්ත්වය වැළැක්වීම සඳහා දැඩි අනුහුරුවීමේ සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව උක්ත අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-023-06092-7

සබැඳිය - https://www.nature.com/articles/s41586-023-06092-7



Wednesday, August 9, 2023

ලෝකය උණු වී පැසෙන යුගය ඇරඹෙයි?

ගෝලීය උණුසුමෙන් ඔබ්බට - වැඩිම උෂ්ණත්වයක් පැවති මාසය ජුලි මාසය ද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 496
විදුසර, 2023-08-09, පි. 2


ගත වූ 2023 ජුලි මාසය උෂ්ණත්ව වාර්තා සහිත මෑත අතීතය තුළ වාර්තා වී ඇති වැඩිම ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පැවති මාසය විය හැකි බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ප‍්‍රකාශ කළේ මාසය අවසානයේදීය. ඒ මාසයේ මුල් දින 23 තුනක කාලයේ පැවති සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය, වෙනත් වර්ෂවල ඒ හා සමාන කාලවක් කාලයක් සඳහා පැවති උෂ්ණත්වයට වඩා අධික වූ නිසාය. ඒ සඳහා පදනම් කරගත්තේ යුරෝපයේ කොපර්නිකස්ප දේශගුණ වෙනස්වීමේ සේවය නම් ආයතනයේ දත්තය. ඒ අනුව 2023 ජුලි මාසය ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම ජුලි මාසය මෙන්ම, සියලූ මාස අතරින් සාමාන්‍ය උෂ්ණත්වය වැඩිමම මාසය ද විය හැකි බව ඔවුන් විසින් පෙන්වා දී තිබේ. එය එසේ වුවහොත් බිඳ වැටෙන්නේ සෙල්සියස් අංශක 16.63ක උෂ්ණත්වයක් පැවති 2019 ජුලි මාසයේ උෂ්ණත්ව වාර්තාවයි. (කෙසේ වෙතත්, 2023 ජුලි මාසයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ නිල උෂ්ණත්ව අගයයක් ඇතුළත් නිවේදනයක් මේ සටහන ලියන මොහොත වන විට ද නිකුත් වී නොතිබිණි).

මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් කළ ප‍්‍රකාශයක් වැදගත්ය. ඔහු පැවසූයේ ”ගෝලීය උණුසුම් වීමේ යුගය අවසන් වී, ලෝකය උණු වී පැසෙන යුගය ආරම්භ වී ඇත” යනුවෙනි (the era of global boiling has arrived). වෙනත් වචනවලින් පවසන්නේ නම් ඔහු පෙන්වා දුන්නේ පවත්නා තත්ත්වය පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් නරක එකක් වනු ඇති බවයි.

ලෝකයේ මෙතෙක් වාර්තාගත දෛනික සාමාන්‍ය ගොඩබිම් උෂ්ණත්වයේ ඉහළම අගය වාර්තාවූයේ ද ගත වූ ජුලි මාසයේ දීය. එය ජුලි මස 6 වැනි දා වාර්තා වූ සෙල්සියස් අංශක 17.08ක අගයයි. ඒ ආසන්න දිනවල පැවති උෂ්ණත්ව අගයයන් ද වාර්තාගත ඒවා විය. එමගින් බිඳ වැටුනේ 2016 වර්ෂයේ පැවති දෛනික වැඩිම උෂ්ණත්වය පිළිබඳ වාර්තාවකි. මේ අතර ලෝකයේ ප‍්‍රදේශ රැසකින් ඒ ප‍්‍රදේශවල වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්ව අගයයන් ද වාර්තා වී තිබිණි.

මේ අතර අගෝස්තු 1 වැනිදා සාගරයෙන් වාර්තා වූ දෛනික ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.96ක් විය. මෙය 1979-2023 අතර කාලයේ දී සාගරයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වේ. මීට පෙර පැවති ඉහළම උෂ්ණත්වය පැවැති 2016 වර්ෂයේ මාර්තු 29 දා තිබූ උෂ්ණත්වයට වඩා අංශක 0.01කින් පමණ ඉහළය. කෙසේ වෙතත් අගෝස්තු මාසයේ දී සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම විද්‍යාඥයින්ගේ කණස්සල්ලට හේතු වී ඇත්තේ සාමාන්‍යයෙන් ඉහළම උෂ්ණත්වය වාර්තා වන්නේ මාර්තු මාසයේ පමණ වන නිසාය. ඒ අනුව ඉදිරි මාර්තු මාසය දක්වා වන කාලය තුළ සාගරඋෂ්ණත්වය වෙනස්වන ආකාරය අවධානයට ලක් විය යුතු බව ඔවුන්ගේ අදහස වේ.

අනෙක් අතට, මේ සිදුවන කරුණු අනුව 2023 වර්ෂය මෑත ඉතිහාසයේ වාර්තා වී ඇති උෂ්ණත්වය අධිකතම වූ වර්ෂය වීමට ද කිසියම් අවස්ථාවක් පවතී. විශේෂයෙන් මේ වන විට ඇති වී තිබෙන එල් නිනෝ තත්ත්වය ද උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට ළඟා වීම සඳහා දායක විය හැකිය. මේ අනුව ඉහළ උෂ්ණත්ව සඳහා මිනිසුන්ගේ දායකත්වයෙන් ඇති වූ හරිතාගාර ආචරණය ද, ස්වාභාවික විචල්‍ය්‍යන් ද දායක වී තිබේ.

අනෙක් අතට ඇතිවන තත්ත්වයෙන් සියල්ලෙන් පැහැදිලි වන්නේ දේශගුණය සම්බන්ධව කටයුතු කිරීම කඩිනමින් හා අනිවාර්යයෙන් කළයුත්තක් වන බවයි. බරපතළ දේශගුණ බලපෑම් ඇති විය හැකි උෂ්ණත්වය ලෙස හඳුන්වනු ලබන අංශක සෙල්සියස් 1.5 සීමාව තුළ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කරගැනීමට නම් ලෝකයේ කැපවීම අත්‍යවශ්‍ය වී ඇත.