Tuesday, June 30, 2020

සොබාදහම වැනසීම වසංගතවලට හේතුවක්

ජගත් පරිසර පුවත් 365 - 24.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.06.2020, පි. 3 (Vidusara)



අද ලෝකයේ පැතිරී ඇති නව්‍ය කොරෝනා වයිරසය වැනි ලෝක ව්‍යාප්ත වසංගත රෝග ඇති වීම සඳහා මිනිසුන් විසින් සොබාදහම විනාශ කිරීම හේතු වන බව විද්‍යාඥයින්, අන්තර්ජාතික සංවිධාන කිහිපයක ප්‍රධානීන් හා වාර්තාවලින් අනතුරු හඟවා තිබෙයි. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරීන් පසුගියදා මේ ගැන අදහස් දැක්වූ අතර, ලෝක වනසත්ව අරමුදලේ (WWF) වාර්තාවක ද මේ ගැන සඳහන්ව ඇත. ඇති වී තිබෙන කොරෝනා වයිරස වසංගතය මිනිසාගේ මේ විනාශකාරී කටයුතුවල භයානකත්වය මැනවින් පෙන්වා දෙන අවස්ථාවක් බව ඔවුන්ගේ අදහස වේ.

නීතිවිරෝධී ලෙස මෙන්ම තිරසර නොවන ආකාරයෙන් සිදුකරනු ලබන වනසත්ත්ව ද්‍රව්‍ය වෙළෙඳාම මෙන්ම වනාන්තර හා වෙනත් විවිධ ස්වාභාවික පරිසර පද්ධති විනාශ කිරීම හේතුවෙන් මෙසේ වන සතුන් වෙතින් මිනිසුන්ට වැළඳෙන රෝග ඉහළ යෑම සිදුවන බව මේ පිරිසේ අදහස වෙයි. මේ තත්ත්වය ගැන පසුගිය මාර්තු මාසයේ සිටම ජෛව විවිධත්වය පිළිබඳ විශේෂඥයෝ අනතුරු හැඟවූහ. මෑත කාලයේදී ලෝකයේ ඇති වූ වසංගත රෝග ගණනාවක්ම වන සතුන් වෙතින් මිනිසුනට සම්ප්‍රේෂණය වූ රෝග වෙයි. නිදසුනක් ලෙස සිකා, ඒඩ්ස්, සාර්ස් මෙන්ම එබෝලා වැනි රෝග දැක්විය හැකිය. මේ රෝග දැඩි පාරිසරික පීඩනයක් යටතේ ජීවත් වූ සත්ත්ව ගහන අතරින් ජනනය වූ රෝග අතර වෙයි.

මේ ගැන වාර්තා කරන WWF වාර්තාවෙන් පෙන්වා දෙන්නේ 1990න් පසුව ලෝකයේ ව්‍යාප්ත වූ රෝග අතරින් 60%-70% අතර ප්‍රමාණයක් වනජීවීන් අතර ඇති වී මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ ඒවාය. එසේම ඒ වාර්තාවෙහි දැක්වෙන තවත් කරුණක් වන්නේ මිනිසුන්ට වනසතුන්ගෙන් රෝග වැළඳීමේ අවදානම අනාගතයේදී තවදුරටත් ඉහළ යන බවයි. එවැනි වසංගත තත්ත්ව මානව සෞඛ්‍යයට, ආර්ථිකයට හා ලෝකයේ ආරක්ෂාවට විනාශකාරී තර්ජනයකි. මේ අකාරයෙන් සිදුකරන මානව විනාශය අතර සොබාදහම විනාශ කිරීම, කෘෂිකර්මය හා පශුපාලන කටයුතු පුළුල් වීම හා අවදානමක් සහිත වනජීවී විශේෂ වෙළෙඳාම හා පරිභෝජනය ද වෙයි. 
 
මේ තත්ත්වය වැළැක්වීම සඳහා කොවිඩ්-19න් පසු ලෝකය යථාතත්ත්වයට පත්වීමේදී හරිතවත් හා සෞඛ්‍යමත් පියවර ගැනීම වැදගත්ය. නිදසුනක් ලෙස, පරිසරයට හානි සිදුකරන ගොවිතැන් කටයුතුවලින් මෙන්ම තිරසර නොවන ආහාර රටාවෙන් ද මිදීම එහිදී වැදගත් වෙයි. එහෙත් මේ වන විට ලෝක‌යේ සිදු වී තිබෙන කටයුතුවලින් සෑහීමකට පත්වීමට හැකිද යන්න ගැන නම් ගැටලු ඇති බව නම් පෙනෙයි.

මූලාශය - Covid 19: Urgent Call to Protect People and Nature
සබැඳි -
(1). https://cdn2.hubspot.net/hubfs/4783129/WWF%20COVID19%20URGENT%20CALL%20TO%20PROTECT%20PEOPLE%20AND%20NATURE.pdf

දේශගුණ වෙනස් වීමේ බලපෑම ක්‍රීඩාවලටත්

ජගත් පරිසර පුවත් 365 - 24.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 24.06.2020, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම හේතුවෙන් ඉදිරි දශක කීපයක කාලය ඇතුළත ලෝකයේ විවිධ ක්‍රීඩා තරගවලට ගැටලු ඇති විය හැකි බව පසුගියදා එළිදක්වන ලද වාර්තාවකින් පෙන්වාදී තිබේ. එ් සඳහා මූලික හේතුව වන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි බලපෑම්ය.

මෙවැනි එක් බලපෑමක් වන්නේ ආන්තික කාලගුණ තත්ත්ව ඇති වීම සුලභ වීමයි. නිදසුනක් ලෙස ගතහොත්, එංගලන්තයේ පාපන්දු තරගාවලි සඳහා යොදාගන්නා ක්‍රීඩංගනවලින් හතරෙන් එකක් පමණ (පිටි 92න් 23ක්) ප්‍රමාණයක් 2050 වර්ෂය වන විට සෑම වර්ෂයකදීම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ ගංවතුරට යට විය හැකිය. දැනටමත් සුළු වශයෙන් දැකිය හැකි මෙය සියලු ආකාරයේ පාපන්දු තරග සඳහා බලපෑමක් කළ හැකි කරුණකි. මේ වන විට ද ආන්තික කාලගුණ තත්ත්ව නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ ක්‍රීඩා සඳහා බලපෑම් ඇති වී තිබෙයි. ජපානයේ පසුගිය වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ රගර් තරගාවලියට කුණාටුවක් නිසා බාධා ඇති විය. එසේම මේ වර්ෂයේ මුලදී පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය නතර කිරීමට සිදු වූයේ ලැව් ගිනි නිසා ඇති වූ දුමාරය හේතුවෙනි.

ඉහළ යන උෂ්ණත්වය නිසා ද ක්‍රීඩා තරග පැවැත්වීමට බාධා ඇති විය හැකිය. එවැනි ක්‍රීඩා අතර, ටෙනිස්, රගර්, මලල ක්‍රීඩා මෙන්ම ශීත ඍතු ක්‍රීඩා ද තිබෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට තර්ජනයක් ඇති වන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදව් වැනි රටවල ඉදිරියේදී ඇති වන අධික උෂ්ණත්වය නිසාය. ලෝකයේ ඇතැම් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාංගන පිහිටි ප්‍රදේශවල වර්ෂයේ ඇතැම් කාලවකවානුවල දී ඇති වන අධික උෂ්ණත්වය නිසා තරග පැවැත්වීම අපහසු විය හැකිය. එසේම මෙතෙක් ශීත ඍතු ඔලිම්පික් තරග පවත්වන ලද ස්ථාන 19ක් අතරින් 2050 වන විට ශීත ඍතු තරග පැවැත්වීමට සුදුසු වනු ඇත්තේ ස්ථාන 10ක පමණකි. ඒ අධික උෂ්ණත්වය නිසාය.
ලෝකයේ ක්‍රීඩා සංවිධායකයන් මේ තත්ත්වය සම්බන්ධව මෙතෙක් දැඩි අවධානයක් යොමු කර නොමැති බව මෙම අධ්‍යයනයෙහි සඳහන් වෙයි. කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ලෝකයේ සියලු ක්‍රීඩා කටයුතු අතිශයින් සීමා වී තිබෙන අද දවසේ මේ අනාගත තර්ජනය ගැන අවධානය යොමු කිරීමට සුදුසු අවස්ථාවක් බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මූලාශ්‍රය - Playing against the clock: Global sport, the climate emergency and the case for rapid change,

සබැඳි -
(1). https://www.rapidtransition.org/resources/playing-against-the-clock/

නව්‍ය කොරෝනා නිසා අලුත් සමුද්‍ර දූෂණයක්

ජගත් පරිසර පුවත් 364 - 17.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.06.2020, පි. 3 (Vidusara)



මේ වන විට ලෝකයම පීඩාවට පත්ව ඇති නව්‍ය කොරෝනා වසංගතය නිසා සැලකිය යුතු සමුද්‍ර දූෂණයක් ඇති විය හැකි බව පරිසර සංරක්ෂණවේදීන් විසින් අනතුරු හඟවා තිබෙයි. එයට හේතුව වන්නේ වරක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාස්ටික්වලින් තැනූ මුහුණු ආවරණ, අත් වැසුම් හා සැනිටයිසර් බෝතල් ක්‍රමයෙන් සාගරයට එක් වෙමින් ඇති නිසාය.

ප්‍රංශ ක්‍රියාකාරීන් කණ්ඩායම මේ ගැන මුලින්ම අනතුරු හඟවන ලද්දේ පසුගිය මැයි මාසයේදීය. ඒ මුව වැසුම්, අත්වැසුම් මෙන්ම සැනිටයිසර් බෝතල් වැනි ද්‍රව්‍ය මධ්‍යධරණී මුහුදේ සෙසු ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර හමුවීමත් සමඟය. මේවා ‘කොවිඩ් අපද්‍රව්‍ය’ (Covid Waste) ලෙස නම් කර ඇත. තවමත් මේවා විශාල ප්‍රමාණයක් හමු නොවුනත්, මේ වන විට ලෝකය පුරා මිලියන ගණනාවක් ජනතාවක් මේවා භාවිත කරන අතර, ඉන්පසුව ඒවා ඉවත දැමීමත් සමඟ බරපතළ විය හැකි මේ නව ආකාරයක සාගර දූෂණය ඉදිරියේදී බරපතළ විය හැකිය.

මේ වන විට භාවිතයට ගන්නා මෙන්ම ඇණවුම් කර ඇති මුව වැසුම් ප්‍රමාණය අනුව ඉදිරියේදී ජෙලි ෆිෂ් මසුන්ට වඩා මධ්‍යධරණී මුහුදේ මුව වැසුම් දැකිය හැකි වනු ඇති බව විද්‍යාඥයෙක් පවසා ඇත. මේ වන විටත් ප්ලාස්ටික් නිසා ලෝකය පුරා සාගර දූෂණය වී ඇති බැවින් මේ තත්ත්වය වැළැක්වීමට අවධානය යොමු විය යුතු බව පැහැදිලිය. මේ ඇතැම් මුව වැසුම් නිපදවීමට භාවිත කරන පොලිප්‍රොපිලීන් වැනි ද්‍රව්‍යවල ආයු කාලය වසර 450් පමණ විය හැකි බව පැවසේ. එසේ නම් ඒවා නිසා ඇති විය හැකි බලපෑම දිගුකාලීන මෙන්ම බරපතළ ද වෙයි.

චීනයේ සාම්ප්‍රදායික ඔසු ලැයිස්තුවෙන් කබල්ලෑයින් ඉවතට

ජගත් පරිසර පුවත් 364 - 17.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.06.2020, පි. 3 (Vidusara)



නිල වශයෙන් පිළිගෙන ඇති සාම්ප්‍රදායික චීන ඔසු නාමාවලියෙන් කබල්ලෑ ශල්ක ඉවත් කිරීම සඳහා චීන බලධාරීන් විසින් ගෙන ඇති තීරණය මෙම සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව වැදගත් පියවරක් වනු ඇති බවට අපේක්ෂා පළ වී තිබේ. පසුගිය සතියේ චීනය මේ සතුන්ට ලබා දී තිබෙන ආරක්ෂාව ඉහළම මට්ටමට ගෙන ඒමෙන් පසුව මේ පියවර ගෙන තිබේ.

ඉතා වේගයෙන් වඳ වී යමින් ඇති සත්ත්ව විශේෂ අතරට කබල්ලෑයන් මෑත දී එක් වූයේ ශල්ක හා මස් පිණිස දඩයම් කිරීම නිසාය. මේ වන විට ලෝකයේ ජීවත් වන කබල්ලෑ විශේෂ අටම අන්තර්ජාතික නීති මගින් ආරක්ෂිත වුවද, මේ සතුන් නීති විරෝධී ලෙස වෙළඳාම් කිරීම මෑත දී සැලකිය යුතු තරම් ඉහළ ගොස් ඇත. කබල්ලෑ ශල්ක මූලික වශයෙන් භාවිත වන්නේ චීන සාම්ප්‍රදායික වෛද්‍ය කර්මයේය.

එතරම් අන්තරායක තත්ත්වයේ ඇති මේ සතුන් චීනයේ නිල ඔසු නාමාවලියෙන් ඉවත් කිරීම කබල්ලෑයින්ගේ ආරක්ෂාව පිළිබඳ සටනේ වැදගත් සිදුවීමක් විය හැකි බව සංරක්ෂණවේදීන්ගේ අදහසයි. ඉදිරියේදී මේ හා සම්බන්ධ නීති රීති සංශෝධනය කිරීමට හා පාරිභෝගික රුචිකත්වය වෙනස් කිරීම සඳහා ද චීන රජය කිසියම් පියවරක් ගනු ඇති බව ඔවුහු අපේක්ෂා කරති. එය සියලු වන සතුන් සඳහා වූ තහනමක් විය හැකි නම් වැදගත්බව ද පෙන්වා දී ඇත. කොරෝනා වයිරස තර්ජනය ඇති වූ අවස්ථාවේ දී චීනය තුළ සියලු වන සතුන් ආහාර ලෙස යොදාගැනීම තහනම් කළ ද, ඔසු ලෙස හා සම් භාවිත කිරීම තහනම් කරනු නොලැබිණි.

ජෛව විවිධත්ව අහිමි වීම වළක්වන්නට තනි ඉලක්කයක්?

ජගත් පරිසර පුවත් 364 - 17.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.06.2020, පි. 3 (Vidusara)



ලෝකයේ ජෛව විවිධත්වය අහිමි වීම හෙවත් ජීවීන් වඳ වී යෑම වළක්වාලීම සඳහා එක් තනි ඉලක්කයක් අවශ්‍ය බව විද්‍යාඥයෝ පිරිසක් පෙන්වා දෙති. ඔවුන් යෝජනා කරන ඉලක්කය වන්නේ මීළඟ වර්ෂ 100ක කාලය තුළ එක් වසරක් තුළ දී වඳ වී යන ජීවීන් ප්‍රමාණය 20කට සීමා කිරීමය. ඒ සියලු ප්‍රධාන ජීවී කාණ්ඩ මෙන්ම සියලු පරිසර පද්ධතිවලටය. මැනීමට හැකි, මෑත කාලයේ අත්පත් කරගත හැකි ඉලක්කයක් ලෙස මෙය වැදගත් බව ඔවුන්ගේ අදහස වෙයි.

ජෛව විවිධත්වය අහිමි වීම සම්බන්ධ මේ වන විට පවත්නා ඉලක්ක හා ප්‍රගතිය ගැන සතුටු විය නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබෙයි. 2010 වර්ෂයේ දී ඇති කරගත්, 2020 වන විට සම්පූර්ණ කරගත යුතු අයිචි ජෛව විවිධත්ව ඉලක්ක (Aichi Biodiversity Targets) අතරින් මේ වන විට සාධනීය වූ ප්‍රගතියක් පෙන්වන්නේ ඉලක්ක 4ක් පමණි. තවත් ඉලක්ක 12කම දැකිය හැකි ප්‍රවණතාවය වන්නේ තත්ත්වය අයහපත් වන බවයි. මේ අනුව 2020 වර්ෂයෙන් පසු කාලය සඳහා අලුත් ඉලක්ක අවශ්‍ය බව පැහැදිලිය.

මේ විද්‍යාඥයන් පවසන්නේ 2020න් පසුව ලෝකයේ පිළිගැනීම සඳහා එක් තනි ඉලක්කයක් අවශ්‍ය බවයි. දේශගුණ වෙනස් වීම පාලනය සම්බන්ධව ඇතිකර ගෙන තිබෙන තනි ඉලක්කය (ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම උපරිම වශයෙන් අංශක 2කට සීමා කිරීමේ ඉලක්කය) වටා ලෝකයම එකතු වී තිබීම එවැන්නක සාර්ථකත්වය සඳහා නිදසුන් වෙයි. එවැන්නක් තිබීම, දේශපාලන වශයෙන් හා ජනතා සහයෝගය ලබාගැනීම සඳහා ද පහසු වනු ඇති බව ඔවුන්ගේ අදහසයි. එම ඉලක්කය අත්පත් කරගැනීම සඳහා ජෛව විවිධත්වය සම්බන්ධ සෙසු පියවර සකස් කළ හැකිය.


මූලාශ්‍රය - Science DOI: 10.1126/science.aba6592

සබැඳි -
(1). https://doi.org/10.1126/science.aba6592
(2). https://science.sciencemag.org/content/368/6496/1193

කොරෝනාවෙන් පසු වාතය යළිත් දූෂිත වෙමින්

ජගත් පරිසර පුවත් 363 - 10.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 10.06.2020, පි. 3 (Vidusara)



චීනයේ වායු දූෂණය කොරෝනා වසංගතය නිසා පැන වූ සීමා කිරීම්වලට පෙර පැවති මට්ටමට යළි පැමිණෙමින් ඇති බව වාර්තා වෙයි. සමහර ප්‍රදේශවල මේ වන විටත් ඒ තත්ත්වය ඇති වී තිබෙයි. මේ දක්වා වසා දමා හෝ සීමා කර තිබූ ක්‍රියාකාරකම් යළිත් ආරම්භ වීමත් ඊට හේතුවය. ඉදිරියේදී යුරෝපයේ ද මේ ආකාරයෙන් වායු දූෂණය ඉහළ යනු ඇත.

බලශක්තිය හා පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය නම් ආයතනයක් විසින් පෙන්වා දී ඇති පරිදි මේ වන විට චීනයේ පවත්වා වායු දූෂණය මීට වසරකට පෙර පැවති මට්ටම හා සමාන වෙයි. ඔවුන් මෙහිදී සියුම් අංශුමය ද්‍රව්‍ය (PM2.5) හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම පිළිබඳව සැලකිල්ලට ගෙන තිබෙයි. දැඩි සීමා කිරීම් පැවති මාර්තු මාසය මුලදී මේ දූෂකවලට මට්ටම ඊට වසරකට පෙර (2019 මාර්තු) පැවති මට්ටම මෙන් 38%ක් හා 34%ක් පමණ අඩු වී තිබිණි.

මේ අතර හවායිහි මෝනා ලෝආ හි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ වාර්තා අනුව 2019 මැයි මාසයේ මිලියනයකට කොටස් (ppm) 414.8ක මට්ටමේ පැවති වායුගෝලීය සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 2020 වර්ෂයේ මැයි මාසය වන විට 417.2 දක්වා ඉහළ ගොස් ඇත. එය මිලියනයකට කොටස් 2.4ක පමණ වර්ධනයක් වන අතර, කොරෝනා වසංගතයේ බලපෑම නොතිබුණේ නම් තවත් 0.4කින් ඉහළ යෑමට ඉඩක් පැවති බව සඳහන්ය. මේ අනුව කෙරෝනා වසංගතය නිසා ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට ඇති වූ බලපෑම සිතුවාට වඩා අඩු විය හැකි බව පැහැදිලි බව විද්‍යාඥයන්ගේ මතයයි.

ජීවීන් වඳව යෑමේ වේගය ඉහළට?

ජගත් පරිසර පුවත් 363 - 10.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 10.06.2020, පි. 3 (Vidusara)



මානව බලපෑම් නිසා වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් පිළිබඳව පසුගියදා එළිදක්වන ලද අධ්‍යයනකට අනුව ලෝකයේ හයවැනි මහා වඳවීම ලෙස නම් කර ඇති වර්තමාන ජීවීන් වඳවීම මේ වන විට වේගවත් වෙමින් පවතී.

මේ සඳහා පර්යේෂකයන් විසින් යොදගෙන ඇත්තේ ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) තර්ජනයට ලක් වූ ජීවී විශේෂ පිළිබඳ රතු ලැයිස්තුවේ දත්තය. එහි එන පෘෂ්ටවංශී විශේෂ 29400ක් අතරින් දහසකට අඩු ගහනයක් ජීවන් වන නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ හඳුනාගෙන ඇත. මෙහි දී හෙළි වී ඇති පරිදි එවැනි ජීවී විශේෂ 515ක් මේ වන විට බරපතළ වඳවීමේ තර්ජනයකට මුහුණ දී සිටිති. මෙසේ දැඩි ලෙස තර්ජනයට ලක්ව සිටින ජීවීහු ඇන්ටාක්ටිකාව හැර ලෝක‌යේ සියලුම මහාද්වීපවල හා මානව බලපෑම තදින් ඇති ප්‍රදේශවල වාසය කරති. එමෙන්ම, මේ ජීවී විශේෂ අතරින් වැඩි ප්‍රමාණයක් දැකිය හැක්කේ නිවර්තන හා උප නිවර්තන කලාපයේය. 
 
මේ අධ්‍යයනයෙන් නිගමනය කරන පරිදි ලෝකයේ හයවැනි මහා වඳවීම වේගවත් වෙමින් ඇත. ස්වාභාවිකව දැකිය හැකි වඳ වී යෑමේ වේගය මෙන් සියගුණයක් පමණ වේගයකින් මේ ජීවීන් වඳවී යෑම සිදුවෙයි. ඒ සඳහා බලපාන හේතු ලෙස ‌ඔවුන් දක්වා ඇති කරුණු අතර, මෙසේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වැඩි ප්‍රමාණයක් නුදුරු අනාගතයේදී වඳවී යා හැකි වීම එකකි. මේ ජීවීන් වාසය කරන්නේ තර්ජනයට ලක්ව ඇති තවත් විශේෂ රැසක් සිටින මිනිසුන්ගේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලය. පාරිසරික අන්තර්ක්‍රියා නිසා මේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ වඳවීමෙන් පසු තවත් විශේෂ වඳවී යා හැකිය. එසේම මානව ක්‍රියාකාරිත්වය තවදුරටත් වැඩි වෙමින් තිබීම තවත් හේතුවකි.

මූලාශ්‍රය - Proceedings of the National Academy of Sciencesල DOI: 10.1073/pnas.1922686117

හරිතාගාර විමෝචන 2050 වන විට ශුන්‍ය කිරීය ව්‍යාපාරයක්

ජගත් පරිසර පුවත් 363 - 10.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 10.06.2020, පි. 3 (Vidusara)



2050 වර්ෂය වන විට ලෝකයේ ශුද්ධ හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ශුන්‍ය බවට පත් කිරීම ඉලක්ක කරගත් ජගත් මට්ටමේ ව්‍යාපාරයක් පරිසර දිනය යෙදුණු ජුනි 5 දා එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස් වීම පිළිබඳ රාමුගත සම්මුතිය () විසින් දියත් කර ඇත. එය ‘ශුන්‍යය තෙක් වු තරගය’ (Race to Zero) ලෙස නම් කර තිබෙයි. 

2050 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචන ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා යෑම සඳහා ලෝකයේ රටවල්, සමාගම් හා වෙනත් ආයතන පෙළඹවීම හා දිරිමත් කිරීම එහි අරමුණයි. ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරවලට, නගරවලට මෙන්ම ආයෝජකයන්ට ද මෙම ව්‍යාපාරයට සහාය දෙන මෙන් ඉල්ලා තිබේ. මේ වන විට නෙස්ලේ හා රෝල්ස්-රොයිස් වැනි ප්‍රධාන පෙළේ ආයතනය මෙම ව්‍යාපාරයට සහාය දීමට එකඟ වී ඇත. කල් දමා ඇති දේශගුණ සාකච්ඡා යළිත් ආරම්භ වන විට, ඔවුන්ට මේ ප්‍රතිඥාව ලබාදිය හැකි මට්ටමට අඛණ්ඩ පෙළඹවීමක් සිදුකිරීමට අපේක්ෂිතය.

මේ ව්‍යාපාරය දියත් කිරීම සිදුවූයේ මාර්ගගතව අන්තර්ජාලය ඔස්සේය. එහිදී UNFCCC ආයතනයේ ප්‍රධානියා පැවසුවේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා වූ කැපවීම ප්‍රමාද වීමට කොරෝනා වයිරසය හේතුවක් නොවිය යුතු බවයි. මේ වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තිබූ වාර්ෂික දේශගුණ සමුළුව වර්ෂයකින් කල් ගිය ත්ත්වයක් තුළ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා පොළඹවන ආකාරයේ ව්‍යාපාරයක් තිබීම වැදගත්ය. මේ වන විට ලෝකයේ රටවල් පොරොන්දු වී ඇති හරිතාගාර වායු සීමා කිරීම පිළිබඳ ඉලක්ක පැරිස් ගිවිසුමේ යෝජිත උෂ්ණත්ව ඉලක්ක අත්පත්කරගැනීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

දේශගුණ සමුළුව වසරකින් පස්සට!

ජගත් පරිසර පුවත් 362 - 03.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.06.2020, පි. 3 (Vidusara)


මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජගත් දේශගුණ සමුළුව සම්පූර්ණ වසරකින් පමණ පමා වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර ඇත. ඒ අනුව එම සමුළුව 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ග්ලාස්ගෝ නගරයේදීම පැවැත්වීඹට නියමිතය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා අප්‍රේල් මස මුලදී පමණ කල් දමනු ලැබූ මෙම සමුළුව, ලබන වර්ෂයේ මුල් භාගයේදී පමණ පැවැත්වීමට උත්සාහ කරන බව පළමුව වාර්තා විය. එහෙත් මේ වන විට පවත්නා තත්ත්වය අනුව එය වසරකින්ම කල් දැමීමට නියමිතය. මේ සඳහා හේතුව වී ඇත්තේ ඇතැම් රටවල ගමනාගමන සීමා තවත් කාලයක් පවත්නා බව පෙනී යෑම සහ මෙසේ කල්දමන ලද වෙනත් අන්තර්ජාතික රැස්වීම් සඳහා ද දින වකවානු අවශ්‍ය නිසාය. 

මෙසේ පැවැත්වීමට නියමිතව ඇත්තේ දේශගුණ වෙනස් වීම පිළිබඳ රාමුගත සම්මුතියේ 26 වැනි පාර්ශ්වකරුවන්ගේ රුස්වීමයි (). මෙය 2015 වර්ෂයේදී ඇතිකරගත් පැරිස් ගිවිසුම සම්බන්ධයෙන් වැදගත්ය. එම ගිවිසුම අනුව ලෝකයේ රටවල් වසර පහෙන් පහට තම රටවල හරිතාගාර වායු සීමා කිරීම සම්බන්ධ සංශෝධිත සැලසුම් ඉදිරිපත් කළ යුතුය. මේ වන විට ප්‍රකාශයට පත්ව තිබෙන රටවල්වල ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වයේ () සඳහන් ඉලක්ක අනුව ලෝකයේ උෂ්ණත්වය මේ සියවස අවසන් වන විට සෙල්සියස් අංශක 3ක සීමාවට ලඟා විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් පැරිස් ගිවිසුමේ එන ඉලක්කය වන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම අංශක දෙකකට සීමා කරගැනීම හා හැකි නම් අංශක 1.5කට සීමා කිරීමයි.

දේශගුණ වෙනස් වීම පාලනයට පියවර 10ක්

ජගත් පරිසර පුවත් 362 - 03.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.06.2020, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම අද දවසේ මූලික පාරිසරික අභියෝගයයි. ඒ සඳහා පිළියම් සෙවීම ගැන විවිධ පිඑිස්වල අවධානය යොමු වී ඇත. දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට හැකි බව දක්වා ඇති අධ්‍යයනයකින් මේ සඳහා අනුගමනය කළ යුතු පියවර හඳුනාගැනීමට උත්සාහ කර තිබෙයි. විවිධ අධ්‍යයන 6990ක පමණ සඳහන් වන විමෝචන අවම කරගත හැකි පියවර රැසක් පිළිබඳව අවධානය යොමු කර ඇති මෙම අධ්‍යයනයෙන් ජනතාවට සිය කාබන් පියසටහන අඩු කරගත හැකි හොඳම ක්‍රම දහයක් හෙළි කර ඇත. පහත දක්වා ඇති මේ පියවර සමඟ වරහන තුළ දැක්වෙන්නේ එක් එක් පියවර ක්‍රියාත්මක කිරීමෙන්, එක් වර්ෂයකට එක් පුද්ගලයෙකුට අඩු කරගත හැකි කාබන් ඩයොක්සයිඩ් ටොන් ප්‍රමාණයේ සාමාන්‍යයයි.

  • කාර් රථය භාවිතයෙන් තොරව ජීවත් වීම (ටොන් 2.04)
  • විදුලි කාර් රථයක් භාවිත කිරීම (ටොන් 1.95)
  • වසරක දී යෙදෙන දිගුදුර ගුවන්ගමන් එකක් අඩු කිරීම (ටොන් 1.68)
  • පුනර්ජනනය කළ හැකි බලශක්තිය භාවිතය (ටොන් 1.6)
  • ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහනය යොදාගැනීම (ටොන් 0.98)
  • නිවාස නවීකරණය මගින් තාප පරිවරණය ඉහළ නැංවීම (ටොන් 0.895) (මෙය ශීත රටවල නිවාස උණුසුම් කිරීමට වඩාත් අදාළය)
  • නිර්මාංශ ආහාර පරිභෝජනය කිරීම (ටොන් 0.8)
  • තාප පොම්ප යොදාගැනීම (ටොන් 0.795) (මෙය ශීත රටවල නිවාස උණුසුම් කිරීමට වඩාත් අදාළය)
  • විමෝචන අඩු දියුණු කළ උඳුන් භාවිතය (ටොන් 0.65) (මෙය දියුණු වන රටවලට වඩාත් අදාළය)
  • පුනර්ජනනය කළ හැකි බලශක්තියෙන් නිවාස උණුසුම් කිරීම (ටොන් 0.64)
මේ අධ්‍යයනයෙන් පෙනෙන පරිදි, ඇතැම් ප්‍රකට පියවර මගින් කාබන් ඩයොක්සයිඩ් විමෝචන අඩු වන නමුත් ඊට වඩා සාර්ථක පියවර තිබේ. නිදසුනක් ලෙස ප්‍රතිචක්‍රියකරණය දැක්විය හැකිය - එය ඵලදායී වුවත් එමගින් අඩු වන විචෝචන ප්‍රමාණය අඩුය. එසේම නිර්මාංශ ආහාරයට වඩා වැඩි සාධනීය බලපෑමක් ප්‍රවාහනය පිළිබඳ වෙනස්කම්වලින් සිදුවෙයි.

පර්යේෂකයන් විසින් ගණන් බලා ඇති පරිදි ඉහත පියවර දහය මගින් එක් පුද්ගලයෙකුට අඩු කළ හැකි කාබන් විමෝචන ප්‍රමාණය වසරකට ටොන් 9.2ක් පමණ වේ. එය සැලකිය යුතු අගයකි. මේ අනුව පෙනෙන්නේ සාමාන්‍ය ජනතාවට ද කළ හැකි දේ ඉතිරිව ඇති බවයි. එහෙත් එය ජීවන රටාවේ බරපතළ වෙනස්කම් සිදුකිරීමකි. එබැවින් දැන් අවශ්‍ය වන්නේ ඒ සඳහා අවශ්‍ය පසුබිම හා පහසුකම් ඒ ඒ රටවල බලධාරීන් විසින් සලසාදීමය. කොවිඩ්-19 වසංගතය නිසා මේ අවශ්‍යතාවය බොහෝ දෙනාට දැනී ඇති බැවින් ආණ්ඩුවල ප්‍රමුඛතාව ද ඒ අනුව නැවත සැකසීම අවශ්‍යය.

මූලාශ්‍රය - - Environmental Research Letters, DOI: 10.1088/1748-9326/ab8589
සබැඳි -