Wednesday, April 3, 2024

ඉහළ යන උෂ්ණත්වයෙන් භෝගවලට බලපෑම්

ජගත් පරිසර පුවත් 512
ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-04-03, පි. 2


උෂ්ණත්වය ඉහළ යෑම ඇතුළුව දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් පිළිබඳව පුවත් වරින්වර අසන්නට ලැබේ. පසුගිය සති කිහිපයේ දී එවැනි පුවත් කීපයක් පළ වී තිබිණි. ඒ කෙසෙල් හා කොකෝවා අස්වනු අඩුවීම නිසා ඒවායේ මිල ඉහළ යෑම සම්බන්ධවය. මේ සඳහා බලපා ඇති සාධකය වන්නේ උෂ්ණත්වය ඉහළ යෑම වන අතර, එය මිනිසු ක්‍රියාකරකම් නිසා ඇති වූ බවට ඇති සාධක ඉතා පැහැදිලිය.

කෙසෙල් පිළිබඳ විශේෂඥයෙකු වන පැස්කාල් ලියු පවසා ඇති ආකාරයට උෂ්ණත්වය ඉහළ යෑම සමඟ ඇති වන බලපෑම් නිසා කෙසෙල් සැපයුම අඩු වී මිල ඉහළ යනු ඇති බවයි. ඉහළ උෂ්ණත්වයක් ඇති විට වේගයෙන් පැතිරෙන රෝග නිසා මේ තත්ත්වය ඇති විය හැකිය. දිලීර රෝග වැනි රෝග මෙහි දී ප්‍රධානය.  මීට අමතරව පසුගිය දා වාර්තා වූ ආකාරයට මුහුදේ ඇතිවන කුණාටු වැනි තත්ත්ව නිසා සැපයුම් පමා විය හැකිය.  

කොකෝවා වගාවට උෂ්ණත්වය නිසා ඇති විය හැකි බලපෑම් නිසා සැපයුම අඩුවී, ඒවායේ මිල හා ඒවා මගින් සිදුකරන නිෂ්පාදනවල මිල ඉහළ යා හැකිය. මෑත අප්‍රිකානු රටවල ඇති වූ ආර්ද්‍ර තාප ප්‍රවාහයක් නිසා කොකෝවා වගාවේ අස්වැන්න අඩු වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොකෝවා භාවිත කරන ඇතැම් නිෂ්පාදනවල මිල ඉහළ ගොස් තිබේ. නිවර්තන කලාපයේ සීමිත ප්‍රදේශයක පමණක් වැවෙන කොකෝවා වැඩි නිෂ්පාදනයක් සිදුවන්නේ අප්‍රිකානු රටවලය. ඒසේම මේ ශාක උෂ්ණත්වයේ ඇති වන වෙනස්කම්වලට සංවේදී ය.

වවුලන් වඳවුවහොත් මිනිසුන්ටත් අහිමි වන දේ

ජගත් පරිසර පුවත් 512 

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2024-04-03, පි. 2

වවුලන්ගේ පවැත්ම තර්ජනයට ලක්ව ඇති තත්ත්වයක් යටතේ මිනිසුන්ට ඇතැම් ආහාර භෝග අහිමි වීමේ අවදානමක් ඇති බව පසුගියදා පළ වූ ලිපියකින් පෙන්වා දී තිබිණි. ඇතැම් ආහාරමය භෝග තවදුරටතච් සුලබ නෙවීමට මෙන්ම සමහර භෝග අහිමි වීමට පවා අවස්ථාවක් තිබේ.

වවුලන් යනු පරිසරයේ සුවිශේෂ කාර්යයක් සිදුකරන සත්ත්ව කාණ්ඩයකි. ඒ නිසා ඔවුන් මිනිසුන්ගේ ආහාර පද්ධතියේ ද සුවිශේෂ කාර්යයක් සිදුකරයි. ඒ කාර්යයන් කීපයක් මගිනි. ඉන් එකක් වන්නේ භෝගවලට හානි කළ හැකි කෘමීන් ගොදුරු කරගැනීමනේ ඒ කෘමි ගහන පාලනය කිරීමයි. තවත් වවුලන් භෝග වර්ග ගණනාවක් පරාගණය කරයි. කෙසෙල්, පොල්, අලිගැටපේර ආදිය මේ අතර වේ. එක් හන විශේෂයක පරිගණය සඳහාම හැඩගැසී ඇති වවුලන් ද දැකිය හැකි. එසේම ඇතැම් වවුල් විශේෂ බීජ හා ඵල ප්‍රචාරණයේ දී වැදගත් කාර්යයක් සිදුකරයි. විශේෂයෙන් අඹ, කජු, ආමන්ඩ් වැනි ඇතැම් විට වගාවෙන් පිටත ඇති ශාකවලට මෙය වැදගත්ය.

කෙසේ වෙතත් වවුලන්ගේ මේ වටිනාකම අවධානයට ලක්ව ඇත්තේ අඩුවෙන් වන අතර ඒ සඳහා විවිධ හේතු බලපා ඇත. ඒ අතර සංස්කෘතික කරුනු මෙන්ම මේ සතුන් නිශාචර වීම ද හේතුවකි. කෙසේ වෙතත් මේ අතරම විවිධ හේතු නිසා වවුල් ගහන අනතුරුදායක තත්ත්වයක පසුවෙති. මේ අතර වාසස්ථාන විනාශ වීම, රෝග ව්‍යාප්තිය මෙන්ම දේශගුණ වෙනස් වීමේ බලපෑම් ද හේතු වී තිබේ. මේ නිසා වැඩි අවධානයක් අවශ්‍ය බව මේ පිළිබඳ අවධානය යොමු කර ඇති පිරිසගේ මතය වේ.