Sunday, March 7, 2021

පැරිස් ගිවිසුමේ ඉලක්ක තව බොහෝ දුරය

ජගත් පරිසර පුවත් 400 - 03.03.2021


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.03.2021, පි. 3 (Vidusara)


තම රටවල හරිතාගාර වායු විමෝචනය සීමා කිරීම පිළිබඳව ලෝකයේ රටවල් මේ දක්වා ප්‍රකාශයට පත් කර ඇති කැපවීම් හෙවත් ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වයන් (NDC) ඒ අයුරින්ම ඉටු කරනු ලැබුව ද, දේශගුණ වෙනස් වීම පිළිබඳ පැරිස් ගිවිසුමේ ඉලක්ක අත්පත් කරගැනීම සඳහා ඒවා ප්‍රමාණවත් නොවන බව පසුගිය සතියේ නිකුත් වූ ඇගැයීම් වාර්තාවක් මගින් තහවුරු කර ඇත. කලක් තිස්සේ විද්‍යාඥයන් විසින් මේ බව පෙන්වා දී තිබූ අතර, මේ එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස් වීම පිළිබඳ වැඩසටහන (UNFCCC) මගින් මේ පිළිබඳව කළ පළමු ඇගැයීමේ ප්‍රතිඵලය මේ වාර්තාවෙන් දැක්වෙයි.

ඒ අනුව, සිය හරිතාගාර විමෝචන අඩු කිරීම පිළිබඳව විවිධ රටවල් මේ දක්වා ලබා දී ඇති පොරොන්දු සියල්ල ඉටු කරනු ලැබුව ද, 2030 වර්ෂය වන විට එමගින් සිදුවිය හැකි සමස්ත විමෝචන අඩු වීම, 2010 වර්ෂයේ පැවති විමෝචනවලට වඩා 0.5%ක් පමණ සුළු ප්‍රමාණයකි. 1990 දී පැවති විමෝචන ප්‍රමාණයට වඩා 0.7%ක අඩුවීමකි. වෙනත් වචනවලින් පවසන්නේ නම් 2030 වන විට විමෝචන ප්‍රමාණය ස්ථාවර මට්ටමකට ළඟා වෙයි.

එහෙත් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත පරිදි ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීමට නම්, 2030 වන විට ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මීට වඩා විශාල ලෙස අඩු කළ යුතුය. දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) පෙන්වා දෙන පරිදි, ඒ සඳහා 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, 2010 දී මට්ටමට වඩා 45%ක් පමණවත් අඩු විය යුතුය. එනම්, 2030 වන විට 2010 වර්ෂයේ පැවති විමෝචන මට්ටමෙන් අඩක් පමණ දක්වා විමෝචන අඩු කළ යුතුය. එසේම 2050 වන විට ශුද්ධ විමෝචන ප්‍රමාණය ශුන්‍ය මට්ටමට ළඟා විය යුතුය.


ඒ ඒ රටවල දායකත්වය


මේ වාර්තාව සඳහා සලකා බලා ඇත්තේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 දා දක්වා ගිවිසුමේ පාර්ශ්ව විසින් බාර දී ඇති දායකත්වයන්ය. ඊට ගිවිසුමේ පාර්ශ්ව 197න් 75කින් බාර දී ඇති නව හෝ යාවත්කාලීන කරන ලද දායකත්වයන් ඇතුළත්ය. මේ පාර්ශ්වකරුවන් විසින් නිකුත් කරනු ලබන්නේ ගෝලීය හරිතාගාර වායු විමෝචන අතරින් 30%ක් පමණ ප්‍රමාණයකි. මේ රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් හරිතාගාර වායු විමෝචන කපා හැරීම සම්බන්ධ තම ඉලක්ක ඉහළ දමා ඇතත්, මේ රටවල විමෝචන අඩු වනු ඇත්තේ අඩු ප්‍රමාණයකිනි.

එමෙන්ම ගිවිසුමට අත්සන් තබා ඇති ඇතැම් රටවල් සිය දේශගුණ දායකත්වයන් හා සැලසුම් දක්වා ලබා දී නොමැත. මේ අතර ලෝකයේ ප්‍රධානතම විමෝචකයන් ද වෙයි. එමෙන්ම ඉදිරිපත් කර ඇති සිය යාවත්කාලීන කළ සැලසුම් මගින් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා සැලකිය යුතු වර්ධනයක් දක්වා නොමැති රටවල් ද වෙයි.

එසේම සමහර සිය කැපවීම කැපී පෙනෙන ලෙස වර්ධනය කරගත් බව ද මේ වාර්තාව අනුව පෙනෙයි. නිදසුනක් ලෙස යුරෝපා සංගමයේ රටවල විමෝචන ප්‍රමාණය 1990 වර්ෂයේ පැවති මට්ටමට වඩා 2030 වන විට 55%කින් අඩු කරන බව පොරොන්දු වී ඇත. එම අගය මෑත දී 40% සිට 55% දක්වා ඉහළ නංවා තිබීම වැදගත් කරුණකි. ඊටත් වඩා ඉහළ හරිතාගාර වායු සීමා කිරීමේ ඉලක්ක අනුගමනය කරන රටවල් ද වෙයි. නිදසුනක් ලෙස ගතහොත් ආජන්ටිනාව, නේපාලය හා එක්සත් රාජධානිය යන රටවල්, 1990 දී පැවැති මට්ටමට වඩා සිය විමෝචන 2030 වන විට 68%කින් පමණ අඩු කිරීමට සූදානම්ය.


අනාගත අභියෝගය


කෙසේ වෙතත් ලෝකයේ රටවල් පවසා ඇති විමෝචන අඩුකිරීමේ සැලසුම් හා අවශ්‍ය කරන සැලසුම් අතර හිදැසක් පවතී. එමෙන්ම ඒ සඳහා රටවල් දී ඇති පොරොන්දු හා ඒවා අත්පත් කරගැනීම සඳහා ප්‍රකාශිත ප්‍රතිපත්ති අතර ද හිදැසක් පවතී. යම් ප්‍රගතියක් යන ඇති වී ඇතත් ඒ බොහෝ සෙමින් සිදුවන්නක් බව පෙකෙයි.

පවත්නා තත්ත්වය අනුව ලෝකය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5 සීමාව තුළ පවත්වා ගැනීමට නම් අදට වඩා බොහෝ දේ කළ යුතු බව මේ වාර්තාවෙන් පැහැදිලිය. ලෝකයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම පිළිබඳ අපේක්ෂාව බෙහෙවින් ඉහළ දැමිය යුතු මෙන්ම එය කඩිනමින් කළ යුත්තක් වන බව ද පැහැදිලිය. මේ අභියෝගය ජයගත නොහැකි වුවහොත්, සෙල්සියස් අංශක 1.5කට වඩා අධික උෂ්ණත්ව ඉහළ යෑමක් අපේක්ෂා කළ යුතු වෙයි. එය බරපතළ දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිවිපාක අපේක්ෂා කළ යුතු තත්ත්වයකි.

එබැවින් මේ තත්ත්වය ලෝකයට රතු එළියක් දල්වා කළ අනතුරු හැඟවීමක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරේස් පවසා ඇත.


Nationally determined contributions under the Paris Agreement, Synthesis report by the secretariat: https://unfccc.int/documents/268571