Thursday, May 31, 2018

තමිල්නාඩුවේ පරිසර දූෂණයට එරෙහි අරගලය

ජගත් පරිසර පුවත් 265 - 30.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.05.2018, පි. 3 (Vidusara)



ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තූත්තුකුඩි ප‍්‍රදේශයේ පිහිටා ඇති තඹ කර්මාන්තශාලාවකින් සිදුවන පාරිසරික හානිය පිළිබඳව ජනතාව හා සමාජ ක‍්‍රියාකාරීන් පසුගිය සතියේ සිදුකළ උද්ඝෝෂණ කිහිපයකට පොලිසිය විසින් වෙඩි තැබීම නිසා දහ තුන් දෙනෙකු පමණ මියගොස් ඇත.

තඹ උණුකරන කර්මාන්ත ශාලාවක් පුළුල් කිරීමට එරෙහිව සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණවලට සම්බන්ධ වූ ප‍්‍රදේශවාසීන් පවසන්නේ එමගින් පරිසරය දූෂණය වන බවකි. කර්මාන්තශාලාවේ කටයුතු නිසා ප‍්‍රදේශයේ වාතය හා ජලය දූෂණය වන බව ජනතාව විසින් නගන චෝදනාව වෙයි. එ් නිසා ශ්වසන රෝග, සමේ රෝග, ක්ලාන්තය හා වෙනත් රෝගී තත්ත්ව ඇති වීම දක්වා ඇත. මේ තත්ත්ව ළමුන් අතර වඩාත් සුලභය. මේ වන විට එරට අධිකරණයක් මගින් අදාළ පුළුල් කිරීම තාවකාලිකව නවත්වා නියෝගයක්ද නිකුත්කර ඇති අතර, එම ඉදිකිරීම් සිදුකිරීමට පෙර මහජන අදහස් දැක්වීමක් පැවැත්වීම සිදු කළයුතු බවටද නියම කර තිබෙයි. 1996 වර්ෂයේදි ආරම්භ කරන ලද මෙම තඹ සැකසුම් කර්මාන්තශාලාව එදා සිට ඇති වූ පාරිසරික ගැටලූ නිසා වරින්වර කෙටි කාලසීමාවලට වසා දමා තිබෙයි. බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක වෙදාන්ත නම් සමාගමකට අයත් ඉන්දියානු උප සමාගමක් වන ස්ටාර්ලයිට් නම් සමාගමක් යටතේ මෙම කර්මාන්තශාලාව පාලනය වෙයි.

මේ සිදුවීම පොලිසිය විසින් කළ ඝාතනයක් ලෙස එම ප‍්‍රාන්තයේ මෙන්ම ඉන්දියාවේ ජාතික මට්ටමේ විපක්ෂ දේශපාලනයන් විසින්ද දක්වා තිබෙයි. ඉන්දියාවේ වෙනත් ප‍්‍රදේශවල මෙන්ම මෙම ප‍්‍රාන්තයේද පාරිසරින නීති හා නියෝග උල්ලංඝනය වීම හා නිසිපරිදි ක‍්‍රියාත්මක නොවීම සාමාන්‍ය සිදුවීමක් බව විචාරකයින්ගේ අදහස වෙයි. කෙසේ වෙතත් මේ වන විට අදාළ සමාගමේ කටයුතු තාවකාලිකව නවතා දමා ඇත්තේ පාරිසරික බලපත‍්‍රය ලැබෙන තෙක්ය. එසේම බි‍්‍රතාන්‍යයේ පිහිටා ඇති මව් සමාගමට එරෙහිව එරට තුළද යම් විරෝධයක් ඇති වී තිබෙන අතර එම සමාගම එරට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරන මෙන් බි‍්‍රතාන්‍යය දේශපාලනඥයන් වෙතින්ද ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවක් වාර්තා වී ඇත.

දේශගුණ වෙනස් වීම නිසා සහල්වල පෝෂණය අඩු වෙයි?

ජගත් පරිසර පුවත් 265 - 30.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.05.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම නිසා සහල්වල පෝෂණ අගය අඩු වීමෙහි අවදානමක් ඇති බව අනාවරණය කරන අධ්‍යයනයක් පසුගිය සතියේදී ප‍්‍රකාශයට පත් විය. එය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය ඉහළ යෑමෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

මේ සියවසේ අග භාගයේදී වායුගෝලයේ පැවතිය හැකි යැයි දේශගුණ ආකෘති දක්වා ඇති කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය හා සමාන සාන්ද්‍රණයකට වී භෝගය ලක්කිරීම මගින් මෙම පර්යේෂකයන් පිරිස උක්ත අධ්‍යයනය සිදුකර තිබෙයි. චීනයේ හා ජපානයේ විවිධ ස්ථානවල, වෙනස් සහල් ප‍්‍රභේද 18ක් යොදාගනිමින් 2010-2014 අතර කාලයේදී මෙම අධ්‍යයනය සිදුකර ඇත. ඒ අනුව පෙනී ගොස් ඇත්තේ එවිට සහල්වල හමුවන ප්‍රෝටීන, යකඩ හා සින්ක් මට්ටම් අඩු වන අතර, බී විටමින් වර්ග ගණනාවකද අඩුවීමක්ද දැකිය හැකිවන බවයි. ප‍්‍රමාණාත්මකව ගතහොත්, ප්‍රෝටීනවල 10%ක පමණද, යකඩවල 8%ක පමණද, සින්ක්වල 5%ක පමණද අඩුවීමක් වාර්තා වී ඇත. එසේම විටමින් බී1, බී2, බි5 හා බී 9 යන විටමිනවලද සැලකිය යුතු අඩුවීමක් දැකිය හැකි විය.

වෙනත් භෝගවල ප්‍රෝටින වැනි ඇතැම් පෝෂකවල අඩුවීමක් සඳහා ඉහළ කාබන් ඩයොක්සයිඞ් මට්ටම් බලපාන බව මීට පෙර පෙන්වාදී තිබුනද, විටමින් සඳහා එය බලපාන බවක් පෙන්වා දෙන ලද්දේ පළමු වතාවටය. සහල්වල පෝෂණ අගයේ කිසියම් හෝ අඩුවක් සිදු වීම ලෝකය පුරා මේ භෝගය ප‍්‍රධාන ආහාරය කරගත් බිලියන දෙකක් පමණ ජනතාවකගේ පෝෂණයට බලපෑමක් සිදුකරන බවට සැකයක් නැත. මේ අතර ලෝකයේ දුප්පත්ම ජනතාව සිටින අතර සහල් යනු ඔවුන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් සියයට 50%කට අධික ප‍්‍රමාණයක් පමණ සපයන ආහාරයක් වීමද වැදගත්ය.

අනෙක් අතට මෙම අධ්‍යයනයේදී හෙළි වූ පරිදි පෝෂක අඩුවීම සෑම සහල් ප‍්‍රභේදයකම එක හා සමාන නොවීමය. පෝෂක අඩු වීමේ ස්වභාවය මද වශයෙන් සිදු වූ සහල් ප‍්‍රභේද දේශගුණ වෙනස් වීම හමුවේ සහල්වල පෝෂක අගය නොවෙනස්ව පවත්වා ගැනීමට වැදගත් වනු ඇත. (මූලාශ‍්‍රය: Science Advances, DOI: 10.1126/sciadv.aaq1012 )

මේ සියවසේදී ජලය තීරණාත්මක වනු ඇත

ජගත් පරිසර පුවත් 264 - 23.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 23.05.2018, පි. 3 (Vidusara)



මේ ශත වර්ෂයේ තීරණාත්මකම අභියෝගය විය හැක්කේ ජල සම්පත බව පර්යේෂණයකින් පෙන්වාදී තිබෙයි. ඇමරිකාවේ ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ නියෝජතායතනයේ (NASA) පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී ලෝකයේ නිවර්තන ප‍්‍රදේශ හා ඉහළ අක්ෂාංශ ප‍්‍රදේශ අතර පිහිටා ඇති එවැනි ජලය හිඟවීම් දැඩි ලෙස සිදු විය හැකි උණුසුම් ස්ථාන 19ක් හඳුනාගැනීමට හැකි වී ඇත. මේ තත්ත්වය සඳහා කෘෂිකර්මය හා කැණීම් කටයුතු වැනි මානව ක‍්‍රියාකාරකම්වල බලපෑම මූලික වී ඇති අතර. දේශගුණ වෙනස් වීම හා ස්වාභාවිකව ඇති වන චක‍්‍රවලද බලපෑමද එ් සඳහා හේතු වී ඇති බව දක්වා තිබෙයි.

2002-2016 අතර කාලයේදී ලෝකයේ විවිධ ප‍්‍රදේශ 34ක මිරිදිය සංචිතවල ප‍්‍රවණතා පිළිබඳව චන්ද්‍රිකා ආශ‍්‍රයෙන් ලබාගත් දත්ත යොදාගනිමින් සිදුකර ඇති මෙම අධ්‍යයනය එ් විෂය පිළිබඳව සිදුකළ සවිස්තර අධ්‍යයනයකි. එහිදී තෙත් ප‍්‍රදේශ තවදුරටත් තෙත් වන ආකරය මෙන්ම, වියළි ප‍්‍රදේශ තවදුරටත් වියළී යන ආකාරය හඳුනාගත හැකි වී තිබෙයි. මේ තත්ත්වය දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) ආකෘති ආශ‍්‍රයෙන් කළ පුරෝකථන හා ගැලපෙයි. මේ වියළි ප‍්‍රදේශවල භූගත ජල සංචිත සිඳී යෑමත් සමඟ ජලය හිඟ වීම එ්වා උණුසුම් ස්ථාන ලෙස නම් කිරිමට හේතුවයි.

මේ ආකාරයට මිනිසුන් විසින් අධික ලෙස ජලය භාවිත කිරීම නිසා මේ වන විට ජලය පිළිබඳව ගැටලූ ඇති වී තිබෙන ස්ථාන අතර, උතුරු හා නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශ, මැද පෙරදිග, කැලිෆෝනියාව හා ඔස්ටේ‍්‍රලියාව වැනි රටවල් හා ප‍්‍රදේශ පවතියි. මේවායේ මිරිදිය ජල සැපයුම සම්බන්ධව මේ වන විටද ගැටලූ ඇති වී තිබෙයි. එම රටවල ආණ්ඩු මගින් කඩිනමින් ගන්නා දැඩි පියවරක් නොවුවහොත්, මේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් බරපතළ එකක් විය හැකිය. එසේම මෙසේ හඳුනාගෙන ඇති ඇතැම් ප‍්‍රදේශවල ජල සංචිත හා භාවිතය සම්බන්ධව වැඩි විස්තර තවමත් අනාවරණය වී නොමැති තරම්ය. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0123-1)

ආරක්ෂිත ප‍්‍රදේශ අතරින් තුනෙන් එකක් හායනයට ලක්වෙලා

ජගත් පරිසර පුවත් 264 - 23.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 23.05.2018, පි. 3 (Vidusara)



ලෝකයේ පිහිටා ඇති ආරක්ෂිත ප‍්‍රදේශ අතරින් තුනෙන් එකක් (32.8%) පමණ ප‍්‍රමාණයක් මානව ක‍්‍රියාකාරකම් නිසා හායනයට ලක් වී ඇති බව පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් හෙළි කර ඇත. එබැවින් එම ආරක්ෂිත ප‍්‍රදේශ සමහරක් අපේක්ෂිත කාර්යය සඳහා යෝග්‍ය නොවන තත්ත්වයට පත්ව තිබෙයි. ලෝකය පුරා ආරක්ෂිත ප‍්‍රදේශ 50,000ක් පිළිබඳ මානව පීඩන සිතියම් අධ්‍යයනය කර ඇති මෙම පර්යේෂණයේදී ජීවී විශේෂවලට බලපෑම් වන විවිධ ක‍්‍රියාකාරකම් සම්බන්ධව කරුණු සලකා බලා ඇත. එ් අතර කැනීම්, දැව හෙලීම්වලින්, ගොවිතැන් කටයුතු, මාර්ග සංවර්ධනය, විදුලි බල පද්ධති හා රාත‍්‍රී ආලෝකය වැනි බලපෑම් සැලකිල්ලට ගෙන ඇත.

මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙන පරිදි ලෝකය පුරා වර්ග කිලෝමීටර් මිලියන 6ක් පමණ වනාන්තර, උද්‍යාන හා සංරක්ෂණ ප‍්‍රදේශ මිනිස් ක‍්‍රියාකාරකම්වලින් දැඩිව පිඩනයට පත්ව ඇත. ලෝකයේ ජෛව විවිධත්වය අහිමි වීම සඳහා මෙය මූලික හේතුවක් බව පර්යේෂකයන්ගේ මතය වෙයි. මේ ප‍්‍රදේශ වැඩි වශයෙන් පිහිටා ඇත්තේ ආසියාව, යුරෝපය හා අප‍්‍රිකාවේ අධික ජනගහනයක් සහිත ප‍්‍රදේශවලය.

වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන් වී ඇති ප‍්‍රදේශ මෙවැනි තත්ත්වයකට පත්වීම බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. බොහෝ රටවල් ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත්කිරීමට උනන්දු වන නමුත්, ඉන්පසු ඒවා සඳහා අරමුදල් සැපයීමේ හා නීති ක‍්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වී ඇති බව මෙයට හේතුව ලෙස දක්වා ඇත. මෙය දුප්පත් මෙන්ම පොහොසත් රටවලටද පොදු වීම වැදගත් කරුණකි.

1992 වර්ෂය වන විට ලෝකයේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 9%ක් වූ ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රමාණය අද වන විට 15% දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් මේ අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් හුදෙක් කඩදාසියට පමණක් සීමාවී ඇති අතර, ඒවායේ විශාල ලෙස මානව ක‍්‍රියාකාරකම් සිදුවීම දැකිය හැකිය. මෙම අධ්‍යයනයට ලක් වූ ආරක්ෂිත ප‍්‍රදේශ අතරින් මිනිස් බලපෑමකින් තොර වූයේ 10%ක් පමණ ප‍්‍රමාණයක් වන අතර, එ්වාද ඉහළ අක්ෂාංශ ප‍්‍රදේශවල පිහිටා ඇති ඒවාය. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aap9565)

උභයජීවීන්ගේ මාරයා උපන්නේ නැගෙනහිර ආසියාවේ

ජගත් පරිසර පුවත් 263 - 16.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 16.05.2018, පි. 3 (Vidusara)



ලෝකය පුරා ගෙම්බන් හා මැඩියන් වැනි උභයජීවීන්ගේ පැවැත්ම සඳහා විශාල තර්ජනයක් ඇති කර තිබෙන Chytrid කාණ්ඩයේ දිලීර විශේෂයක් වන Batrachochytrium dendrobatidis දිලීරයේ මූලාරම්භය නැගෙනහිර ආසියාවේ බව පර්යේෂණයකින් පෙන්වාදී තිබෙයි. එ් අනුව මෙම දිලීරය 20වැනි සියවසේ මුල් භාගයේදී පමණ කොරියානු අර්ධද්වීපය ප‍්‍රදේශයෙන් ජනනය වී තිබේ.

මෙම දිලීරය 1970 දශකයේ සිට ලෝකයේ මහාද්වීප ගණනාවක උභයජීවීන්ගේ ගහන අඩු වීම සඳහා හේතුවක් වී තිබෙයි. මේ දිලීරය නිසා chytridiomycosis නමින් හඳුන්වනු ලබන රෝගයක් ඇති වන අතර එමගින් හෘදය අකර්මන්‍ය වීම ඇති වෙයි. ඇතැම් උභයජීවී විශේෂ සම්පූර්ණයෙන් වඳ වී යෑම සඳහා මේ දිලීරය බලපා ඇත. වසර විස්සකට පමණ පෙර මේ දිලිරීය රෝගයට හේතුව බව හඳුනාගෙන තිබුණු නමුත් එය කොතැනින් කෙසේ ව්‍යාප්ත වීමට පටන්ගත්තාද යන්න මේ දක්වා හඳුනාගෙන තිබුනේ නැත.

පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ දිලීරය ඇතැමුන් විශ්වාස කළ පරිදි වසර දහස් ගණණක් තිස්සේ ව්‍යාප්ත වූවක් නොවෙයි. එය එක් තනි දිලීර ප‍්‍රභේදයක් හරහා වසර 50-120ක් පමණ කාලයක් ඇතුළත ව්‍යාප්ත වූවකි. එය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතුව වී ඇත්තේ ගෝලීය වෙළෙඳාම විය හැකි බව පර්යේෂකයක්ගේ අදහස වෙයි. විශේෂයෙන් ලෝකයේ විවිධ ප‍්‍රදේශ අතර උභයජීවීන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම සඳහා හුවමාරු වීම සමඟ මේ රෝගය ව්‍යාප්ත වීම සිදුවන්නට ඇති බව ඔවුන්ගේ යෝජනාවයි. මේ කාල සීමාව උභයජීවීන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම ව්‍යාප්ත වූ කාලසිමාවද වෙයි.

මෙමගින් පෙනෙන්නේ වෙළෙඳාම හරහා ලෝකයේ මෙවැනි රෝග ව්‍යාප්ත වීම සඳහා ඇති හැකියාව මෙන්ම එවැනි දේ වළක්වා ගැනීම සඳහා ඇති අවශ්‍යතාවයයි. මේ වන විට සමස්ත උභයජීවී ගහනවලට රෝගය නිසා ඇති වී තිබෙන හානිය බරපතළය. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aar1965)

සංචාරක කර්මාන්තයේ හරිතාගාර විමෝචන

ජගත් පරිසර පුවත් 263 - 16.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 16.05.2018, පි. 3 (Vidusara)



ලෝකයේ සමස්ත හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණයෙන් 8%ක් හෙවත් දොළහෙන් පංගුවක් පමණ ප‍්‍රමාණයක් ජගත් සංචාරක ව්‍යාපාරයෙන් විමෝචනය වන බව පර්යේෂණයකින් පෙන්වාදී ඇත. මේ අනුව සංචාරක කර්මාන්තයේ 2014 වර්ෂයේ විමෝචන ප‍්‍රමාණය කාබන් ඩයොක්සයිඞ් ගිගා ටොන් 4.5ක් හා සමාන වෙයි. මීට ගුවන් ගමන්, හෝටල්, ආහාර මෙන්ම සිහිවටන වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේදී නිකුත් වූ විමෝචනද ඇතුළත්ය. 2009 වර්ෂයේදී සංචාරක කර්මාන්තයේ විමෝචන ගණන් බලා තිබුනේ ගිගා ටොන් 3.9ක් පමණ ලෙසය.

මෙහි ඇති වැදගත් කරුණ වන්නේ සංචාරක කර්මාන්තයේ විමෝචන ප‍්‍රමාණය මුළු විමෝචන ප‍්‍රමාණයෙන් 2.5%ත් 3%ත් අතර බවට මෙතෙක් තිබු ඇස්තමේන්තුවට වඩා ඉහළ අගයක් නව අධ්‍යයනයෙන් ලැබී තිබීමය. මෙය සිව් ගුණයක පමණ ඉහළ යෑමකි. එයට හේතුව පෙර තිබූ ගණන් බැලීම් සඳහා පදනම් කරගෙන තිබුනේ පටු අර්ථදැක්වීම් වීමය. අනෙක් අතට සංචරණය වේගයෙන් වර්ධනය වන අංශයකි. එහි වාර්ෂික වර්ධනය 4%කින් පමණ වෙයි. එබැවින් එහි හරිතාගාර වායු විමෝචනද ඉහළ යන අතර, 2025 වර්ෂය වන විට ටොන් බිලියන 6.5ක කාබන් විමෝචන ප‍්‍රමාණයක් දක්වා විමෝචන ප‍්‍රමාණය ඉහළ යා හැකි බව පෙන්වා දී ඇත. ජගත් මට්ටමින් සංචරණයේ ඇති වී තිබෙන පිබිදීම තුළ එම තත්ත්වය දේශගුණ වෙනස් වීම පිළිබඳ කටයුතු තවදුරටත් සංකීර්ණ කළ හැකිය.

රටවල් 160ක දත්ත යොදාගනිමින් සිදුකරන ලද මෙම සමාලෝචනයේදී හෙළි වී ඇති ආකාරයට සංචාරක කර්මාන්තයේ විමෝචන අධිකතම රටවල් වන්නේ ඇමරිකාව, චිනය, ජර්මනිය හා ඉන්දියාවයි. මේ සඳහා මූලික වශයෙන් හේතු වන්නේ අභ්‍යන්තර සංචාරක කර්මාන්තයයි. එහෙත් වැඩිම විමෝචන ප‍්‍රමාණයක් සඳහා හේතු වී ඇත්තේ ගුවන් ගමන්ය. අංශයේ විමෝචන අඩු කිරීම සඳහා පොදු ප‍්‍රවාහන මාධ්‍ය යොදාගැනීම යෝජනා වී ඇත. (මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/s41558-018-0141-x)

වායු දූෂණයේ දුප්පත්-පොහොසත් විෂමතාවය

ජගත් පරිසර පුවත් 262 - 09.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.05.2018, පි. 3 (Vidusara)


දුප්පත් හා පොහොසත් රටවල් අතර වායු දූෂණය සම්බන්ධව පවත්නා විෂමතාවය වර්ධනය වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත අනුව පෙනෙයි. මේ හේතුවෙන් මේ වන විට වාර්ෂිකව වායු දූෂණය නිසා මියයන මිලියන 7ක් පමණ වන පිරිසගෙන් බහුතරය දියුණු වන රටවල වැසියන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පසුගියදා නිකුත් කරන ලද දත්ත අනුව ලෝක ජනගහනයෙන් දහයෙන් නවයක් පමණ පිරිසක් පිරිහුණු හා ඇතැම් විට අයහපත් වූ වාතය සහිත පරිසරයක වාසය කරති. එහෙත් මේ පිරිස් මුහුණ දී ඇති වායු දුෂණයේ තත්ත්වය වෙනස් වෙයි. එයට හේතුව අදාළ ප‍්‍රදේශයේ හෝ රාජ්‍යය ගෙන ඇති පියවර හා මූල්‍ය සම්පත්වල ස්වභාවයයි.

මේ වාර්තාවෙන් දක්වා ඇති ආකාරයට ඇමරිකාවේ නගර 57%ක් හා යුරෝපයේ නගර 61%ක් පමණ ප‍්‍රමාණයක වාතයේ දැකිය හැකි PM10 හා PM2.5 කාණ්ඩවල අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය 2010-2016 අතර කාලයේදී අඩු වී ඇත. එහෙත් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ වායු දුෂණය වඩා නරක තත්ත්වයට හැරී ඇත. එහි නගර අතරින් 70%ක පමණ වායු දූෂණය වඩා උග‍්‍ර වී තිබෙයි. මැද පෙරදිගද අහිතකර බලපෑමට ලක්ව ඇති කලාපයකි. නවදිල්ලිය හා කයිරෝ යනු ලෝකයේ ඉහළම වායු දූෂණයක් දැකිය හැකි මහා නගර දෙකය. එම නගරවල PM10 අගය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන අගය මෙන් දස ගුණයක් පමණ ඉහළය. ඩකා, මුම්බායි හා බීජිං ඊළඟට ඉහළම වායු දූෂණය ඇති නගර වෙයි.

වායු දූෂණය නිසා සිදුවන මරණ අතරින් 90%ක් පමණ ඇති වන්නේ අඩු ආදායම් හා මධ්‍ය ආදායම් ලබන රටවලය. එ් ප‍්‍රධාන වශයෙන් ආසියාවේ හා අප‍්‍රිකාවේය. එසේම මධ්‍යධරණී කලාපයේ, යුරෝපයේ හා ඇමරිකානු මහාද්වීපවල අඩු හා මධ්‍ය ආදායම්ලාභී රටවලද මේ මරණ අතරින් යම් ප‍්‍රමාණයක් ඇති වෙයි. (මූලාශ‍්‍රය: WHO Global Ambient Air Quality Database (update 2018), www.who.int/airpollution/data/en/)

සාගර ආහාර හරහා රසදිය ශරීරගත වීම වර්ධනය වෙයි

ජගත් පරිසර පුවත් 262 - 09.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.05.2018, පි. 3 (Vidusara)



මසුන් හා වෙනත් සාගර ආහාරවල ඇතුළත් රසදිය ප‍්‍රමාණය 1950 පමණ සිට දිගින් දිගටම ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී ඇත. මේ අනුව ලෝකයේ වෙරළාශ‍්‍රිතව පිහිටි හා දූපත් රටවල් ගණනාවක වාසය කරන ජනතාව සෞඛ්‍යයට අහිතකර ප‍්‍රමාණවලින් රසදිය මට්ටම්වලට නිරාවරණය වී ඇති බව මෙම පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මෙම අධ්‍යයනය සඳහා 1950 සිට 2014 වර්ෂය දක්වා ලෝකයේ සාගරවලින් අල්ලාගන්නා ලද මසුන්ගේ ශරීරගතව තිබූ රසදිය පමාණය හා 1961 සිට 2011 දක්වා කාලයේදී රටවල් 175ක් පමණ ප‍්‍රමාණයක ජනතාවගේ මත්ස්‍ය හා වෙනත් සාගර ආහාර පරිභෝජනය පිළිබඳ දත්ත සම්බන්ධව විමසා බලා තිබෙයි. මෙමගින් එම රටවල ජනගහනයේ එ්ක පුද්ගල මෙතිල් මර්කර් ශරීරගත වීම පිළිබඳව යම් ගණනය කිරීමක් සිදුකිරීමට මේ පර්යේෂකයන් කටයුතු කර ඇත.

එහිදී අනාවරණය වී ඇති ආකාරයට අධ්‍යයනයට බඳුන් වූ රටවල් අතරින් 38%ක හෙවත් රටවල් 175කින් 66ක ජනතාව, 2001-2011 කාලයේදී කලලයේ වර්ධනයට හිතකර යැයි සම්මත මට්ටමට වඩා ඉහළ මෙතිල්මර්කරි මට්ටම්වලට නිරාවරණය වී ඇත. සමස්තයක් ලෙස ගත් විට මේ රටවල් අතරින් වැඩි ප‍්‍රමාණයක් දියුණු වන රටවල වෙරළාශ‍්‍රිත හා දූපත්රාජ්‍ය වූ දියුණුවන රටවල් වීම විශේෂත්වයක් ගනියි. වඩාත් ඉහළ අවදානමක් ඇති රටවල් අතර මාලදිවයින, අයිස්ලන්තය, මැලේසියාව, ලිතුවේනියාව, ජපානය, බාබඩෝස් හා දකුණු කොරියාව යන රටවල් පසුවෙයි.

මෙතිල්මර්කරි යනු ඉතා විෂ සහිත සංයෝගයකි. එය මිනිසුන්ගේ ශරීරගත වූ විට කලලයේ හා ළමුන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආකාරයේ බලපෑම් සිදු කළ හැකිය. මූලික වශයෙන් කර්මාන්ත හා වායු විමෝචන මගින් වායුගෝලයට නිකුත්කරනු ලබන රසදිය අවසානයේදී එකතුවන්නේ ජලජ පරිසරයටය. සාගරයේදී සාගර ජීවීන්ගේ ශරීරගත වන රසදිය ආහාරදාමය ඔස්සේ මිනිසුන්ගේ ශරීරගත වෙයි. (මූලාශ‍්‍රය: Scientific Reports, DOI: 10.1038/s41598-018-24938-3)

යුරෝපයේ නියෝනිකොටිනොයිඩ තහනම අනුමතයි

ජගත් පරිසර පුවත් 261 - 02.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.05.2018, පි. 3 (Vidusara)



ලෝකයේ වඩාත් සුලභවම භාවිතවන පළිබෝධනාශක කාණ්ඩයක් වන නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක ක්ෂේත‍්‍ර භෝග වගා කටයුතු සඳහා භාවිත කිරීම මුළුමනින්ම තහනම් කිරීමට යුරෝපා සංගමය පසුගියදා තීරණය කළේය. ඒ අනුව 2018 වර්ෂයේ අවසානයේ පමණ සිට බලාත්මක වන මෙම නීතිය අනුව එම කාණ්ඩයේ පළිබෝධනාශක තුනක් (ඉමිඩක්ලෝප‍්‍රිඞ්, ක්ලෝතියනිඩින් හා තයමෙතෙකේසෑම්) භාවිතයට අවසර ලැබෙන්නේ හරිතාගාර ඇතුළත පමණකි. මේ සඳහා සාමාජික රටවල ඡුන්දය හිමිවීම වැදගත් කරුණක් සේ සැලකිය හැකිය.

නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක භාවිතය නිසා මී මැස්සන්, බඹර මැස්සන් වැනි පරාගණකාරක කෘමීන්ට හානි සිදුවන බව කලක පටන් පෙන්වා දී ඇත. මේ නිසා යුරෝපා සංගමය මගින් මෙම පළිබෝධනාශක භාවිතය පිළිබඳව යම් සීමා කිරීමක් 2013 වර්ෂයේ පටන් පනවා තිබිණි. එ් මී මැස්සන් ආකර්ෂණය වන මල් පිපෙන ශාකවල භාවිතය පිළිබඳවය. එම තහනමත් සමඟ වඩා පුළුල් ආකාරයේ සම්පූර්ණ තහනමක අවශ්‍යතාවය සම්බන්ධව කතිකාවක් ගොඩනැගී තිබූ අතර, පරිසර හා සමාජ ක‍්‍රියාකාරීන් ඒ සඳහා පෙරමුණ ගත් බව දැකිය හැකි විය.

මෑත කාලයේදී මේ සම්බන්ධව බොහෝ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ලැබී ඇති අතර, පසුගිය පෙබරවාරි මාසයේදී මේ පිළිබඳව යුරෝපා ආහාර සුරක්ෂිතතා අධිකාරිය (EFSA) මගින් සිදුකරන ලද ඇගයීමකින් පෙන්වා දෙන ලද්දේ ඕනෑම එළිමහන් භාවිතයක් නිසා මී මැස්සන්ට හා බඹර මැස්සන්ට හානි සිදුවිය හැකි බවයි. එයට හේතුව මෙම පළිබෝධනාශක මගින් පස හා ජලය දූෂණය වීම හා ඒ නිසා වනමල් හා වෙනත් භෝගවලද මේ පළිබෝධනාශක දැකිය හැකි වීමය.

මෙය පරාගණකාරකයන් ලෙස කෘමීන්ගේ වැදගත්කම අවබෝධ කරගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙය වැදගත් වන්නේ හුදෙක් භෝග වගාවලට පමණක් නොවේ. සමස්ත පරිසරයටද මෙම කෘමීන්ගෙන් සිදුවන මෙහෙය වැදගත් වෙයි. ඇතැම් කණ්ඩායම්වල නොසතුටට හේතු වුවද මෙම තීරණය කාලීන තීරණයක් බව පැවසිය යුතුය.

ගෝරිල්ලන්ගේ මරණ තුන

ජගත් පරිසර පුවත් 261 - 02.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.05.2018, පි. 3 (Vidusara)



අප‍්‍රිකාවේ ජීවත්වන ගොරිල්ලන්ගේ පැවැත්ම තීරණය වන සාධක තුනක් සම්බන්ධව පර්යේෂණයක් මගින් කරුණු අනාවරණය කර තිබේ. එ් අනුව ගොරිල්ලන්ගේ පැවැත්ම පවතිනු ඇත්තේ ගිනි අවි, රෝග හා වෘක්ෂ යන කරුණු මතය. ගිනි අවි යනු දඩයම් කිරීමය. රෝග යනු මේ සතුන් මුහුණ දී ඇති එබෝලා වසංගතයයි. වෘක්ෂ යනු වාසස්ථාන විනාශය නිසා මේ සතුන්ට ජීවත් වීමට අවශ්‍ය ඝන හා අඛණ්ඩ වනාන්තර අහිමිවීමය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් දඩයම හා රෝග අඩු වීම හා වෘක්ෂාවරණය සුලබවීම යන කරුණු මත ගොරිල්ලන්ගේ පැවැත්ම තීරණය වනු ඇත.

මේ කරුණු අනාවරණය කරන්නේ බටහිර පහත්බිම් ගොරිල්ලන් (Gorilla gorilla gorilla) පිළිබඳව මෙතෙක් සිදුකරන ලද වඩාත් පුළුල්ම සමීක්ෂණය සිදුකරන ලද විiාඥයින් පිරිසය. 2003 සිට 2013 දක්වා දශකයක් පමණ කාලයක් තිස්සේ රටවල් පහක, ස්ථාන 59ක පමණ සිදුකරන ලද මේ අධ්‍යයනයේදී මෙතෙක් අනාවරණය නොවූ තරම් ගොරිල්ලන් ප‍්‍රමාණයක් මේ ප‍්‍රදේශවල ජීවත්වන බවට තොරතුරු අනාවරණය වි ඇත. එහෙත් මේ අතරින් වැඩි පිරිසක් ජීවත් වන්නේ ආරක්ෂිත ප‍්‍රදේශවලින් පිටත වීම නිසා ඉහත කී තර්ජන ඔවුන්ට බරපතළ තර්ජන වෙයි.

මේ අනුව උක්ත වානර විශේෂයට අදට වඩා වැඩි අවධානයක් අවශ්‍ය බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි. ඉහත කී තර්ජන මැඩපැවැත්වීම සඳහා පියවර ගැනීම මේ අනුව වැදගත්ය. දඩයම වැළැක්වීම සඳහා පියවර ගැනීම, රෝග පාලනය හා ගොරිල්ලන්ගේ වාසස්ථාන මනා තත්ත්වයක පවත්වාගැනීම මෙහිදී වැදගත් බව පෙනෙයි. එවැනි තත්ත්වයක් ඇති ප‍්‍රදේශවල මේ සතුන්ගේ ගහන ඝනත්වය ඉහළය.

මේ හා සමාන තත්ත්වයක් අදාළ ප‍්‍රදේශවලම වාසය කරන මධ්‍යම චිම්පන්සින් (Pan troglodytes troglodytes) ලෙස හඳුන්වනු ලබන චිම්පන්සි විශේෂය සම්බන්ධයෙන්ද දැකිය හැකි බව මෙම අධ්‍යයනයේදීම හෙළි වී ඇත. (මූලාශ‍්‍රය: Science Advances, DOI: 10.1126/sciadv.aar2964)