Monday, October 22, 2018

බරපතළ දේශගුණ බලපෑම් වැළැක්වීමට තවත් ඇත්තේ වසර 12යි

ජගත් පරිසර පුවත් 285 - 17.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 17.10.2018, පි. 3 (Vidusara)




වර්තමානයේ විමෝචනය වන වේගයෙන් හරිතාගාර වායු විමෝචන නිකුත් වීම සිදුවන්නේ නම් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ (හෙවත් 1750 පමණ) පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යෑම 2030 හා 2052 වර්ෂයත් අතර කාලයේදී සිදු විය හැකි බව ජගත් වාර්තාවක් පෙන්වා දෙයි. එසේම ලෝකයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යා හැකි බවත් එහි සඳහන් වෙයි. දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) මගින් පසුගියදා දකුණු කොරියාවේදී අනුමත කරන ලද ‘අංශක 1.5දී ගෝලීය උණුසුම’ (Global Warming of 1.5 °C) නම් මෙම විශේෂ වාර්තාව අනුව බරපතළ දේශගුණ ප‍්‍රතිවිපාක වැළැක්වීමට නම් ඉදිරි වසර 12ක කාලය ඇතුළත දැඩි, වැදගත් හා තීරණාත්මක පියවර ගණනාවක් ගත යුතුව තිබෙයි. මක් නිසාද යත් මේ වන විටද ලෝකයේ උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වය මෙන් අංශකයකින් පමණ ඉහළ ගොස් ඇති නිසාය. අද වන විටද ලෝකය එහි අහිතකර වූ ප‍්‍රතිවිපාක අත්දකිමින් සිටියි. ආන්තික කාලගුණ තත්ත්ව සුලභ වීම, මුහුදු මට්ටම ඉහළ යෑම වැනි සිදුවීම් එවැනි දේට සාධක වෙයි.

2015දී එකඟතාවයට එළැඹුනු පැරිස් දේශගුණ සම්මුතිය අනුව මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීමට අපේක්ෂා කරන ඉලක්කය සෙල්සියස් අංශක 2කකි. හැකිනම් එය අංශක 1.5ක මට්ටමට සීමා කිරීමට අපේක්ෂා කරන බව ගිවිසුමෙහි පැවසිනි. එහෙත් මෙම නවතම වාර්තාවට අනුව ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5 සීමාව පසුකිරීම ඉතා ඉක්මනින් සිදුවීමට ඉඩ ඇති බව පැහැදිලිය. එයට හේතුව වන්නේ පැරිස් ගිවිසුමෙහි සඳහන් වන සියලූ පොරොන්දු ඉටු කරනු ලැබුවද, 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචනය කරනු ලබන කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය වන ගිගා ටොන් 58ක ප‍්‍රමාණය, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ නවත්වා ගැනීමට තිබිය යුතු විමෝචන ප‍්‍රමාණයට වඩා ගිගා ටොන් 35ක් අධික වීමය.

උක්ත වාර්තාවෙන් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ සෙල්සියස් අංශක 1.5 ත් අංශක 2ත් අතර වෙනසකදී ඇති විය හැකි වෙනස්කම්වල බරපතළ බවයි. නිදසුනක් ලෙස ගතහොත් තාප ප‍්‍රවාහ නිසා අවසානමට ලක් වන ජනතාවගේ සංඛ්‍යාව, මැලේරියාව හා ඩෙංගු වැනි වාහකයන් මගින් ව්‍යාප්ත වන රෝගවලට ලක්වන ජනතාවගේ ගණන සෙල්සියස් අංශක දෙකකදී සැලකිය යුතු තරම් ඉහළ යයි. අංශක 1.5ක උෂ්ණත්ව වර්ධනයකට වඩා අංශක 2ක වර්ධනයකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑම සෙ.මී. 10ක් පමණ අධිකය. අංශක 1.5කදී කොරල්පර අතරින් 70%-90%ක් පමණ අඩු විය හැකි අතර, අංශක 2ක් උෂ්ණත්වය ඉහළ ගියහොත් කොරල්පර මුළුමනින්ම (99%ක් පමණ) අහිමි විය හැකිය. එමෙන්ම අංශක 1.5ක උෂ්ණත්ව වර්ධනයකදී වාර්ෂිකව ටොන් මිලියන 1.5කින් අඩු වනු ඇති බවට ගණන් බලා ඇති මත්ස්‍ය නිෂ්පාදනය අංශක 2ක උෂ්ණත්ව වර්ධනයකදී එමෙන් දෙගුණයකින් පමණ අඩු විය හැකිය.

කෙසේ වෙතත් මෙම වාර්තාව මගින් අනාගතයේ ඇති විය හැකි මෙම බරපතළ දේශගුණ වෙනස් වීම වළක්වා ගත හැකි ආකාරය ගැනද සඳහන් කරයි. ඒ සඳහා ලෝකයේ සියලූ රටවල් කඩිනමින් හා සියලූම අංශ ආවරණය වන ආකාරයෙන් මෙතෙක් නොසිතූ විරූ පරිමාණයකින් පියවර ගැමනීම අවශ්‍ය වන මෙම වාර්තාව පෙන්වා දෙයි. නිදසුනක් ලෙස ගතහොත්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියය් අංශක 1.5 මට්ටමෙහි පවත්වාගෙන යෑමට සිදු කළ යුතු දෙයද මෙහිදී පෙන්වා දී ඇත. ඒ අනුව 2030 වර්ෂයේදී ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය 2010 වර්ෂයේ පැවති ප‍්‍රමාණයෙන් 45%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු කළ යුතුය. ඒ සඳහා බලශක්තිය, කර්මාන්ත, ප‍්‍රවාහනය, ගොඩනැගිලි හා නගර ආදි අංශ ගණනාවක විශාල වෙනස්කම් ගණනාවක් සිදු විය යුතු වෙයි. නොඑසේ නම් අනාගතයේදී බරපතළ අහිතකර දේශගුණ බලපෑම් ඇති වීම වළක්වා ගැනීම අපහසු විය හැකිය.

අවාසනාවකට මෙන් මෙවැනි කැපවීමක් සඳහා ලෝකය සූදානම්ද යන්න මෙහිදී ඇති වන ගැටලූවයි. අනෙකක් තබා 2015දී ඇතිකරගත පැරිස් ගිවිසුම පවා ක‍්‍රියාත්මක වන්නේ 2020දී පමණ සිටය. කාලය ගත වන අතර දේශගුණ වෙනස් වීම හා එහි බලපෑම් සිදුවෙමින් තිබෙයි.

(මූලාශ‍්‍රය: Global Warming of 1.5 °C, https://ipcc.ch/report/sr15/)

No comments:

Post a Comment