Showing posts with label Indoor Air Pollution. Show all posts
Showing posts with label Indoor Air Pollution. Show all posts

Tuesday, March 7, 2023

දැව උඳුන්වල හානි බ්‍රිතාන්‍යයේ අවධානයට

ධනේෂ් විසුම්පෙරුම


පරිසර පුවත් 485
විදුසර, 2023-03-08, පි. 2


පසුගිය කාලයේ දි විදුලි බලයේ හා ගෑස් මිල ඉහළ යෑමත් සමඟ බ්‍රිතාන්‍යයේ නිවාස උණුසුම් කිරීම සඳහා දැව උඳුන් භාවිත කිරීම ප්‍රචලිත විය. මේ උඳුන් නිසා ලබෙන සුවිශේෂ පෙනුම ආදි කරුණු ද ඒවා ප්‍රවර්ධනය සඳහා හේතු වී ඇත. කෙසේ වෙතත් මේ නිසා සැලකිය යුතු වායු දූෂණයක් ඇති විය හැකි බැවින් බලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධව යොමු වී තිබේ. විශේෂයෙන් දැව දහනයේ දී නිකුත් වන PM2.5 කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය නිසා ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම මේ අතර වේ. විශේෂයෙන් දුම පාලනය කළ ප්‍රදේශ සහිත නාගරික ප්‍රදේශවල මේ උඳුන් භාවිත කිරීම දඩ නියම විය හැකි කරුණකි. නිදසුනක් ලෙස ගතහොත් ලන්ඩනයේ ඉහත කාණ්ඩයේ වායු දූෂකවලින් 31%ක් පමණ පැමිණෙන්නේ දැව දහනය කිරීමෙන් බව හෙළි වී ඇත.

මේ නිසා එරට දේශපාලන නායකත්වය ද මේ උඳුන් භාවිතය යලි සලකා බැලිය යුතු බව පෙන්වා දී තිබේ. මෑත දී එරට රජය විසින් යෝජනා කර ඇති සැලසුමක් අනුව දැව උදුන් තහනම් කිරීම වෙනුවට උඳුන් භාවිත කරන්නවුන් දැනුවත් කිරීමට යෝජනා කර තිබේ. එහෙත් හරිත පක්ෂය හා වෙනත් කණ්ඩායම් පවසන්නේ දැව භාවිත කරන උඳුන් තහනම් කළ යුතු වබවයි. එසේම දැව උඳුන් වෙනුවට විකල්ප යොදාගැනීම සම්බන්ධව ද සාකච්ඡාවක් ඇති වී තිබේ. දැවෙන ගින්නක පෙනුම ඇති එහෙත් විදුලියෙන් තාපය ජනනය කරන උඳුන් මේ අතරින් එක් විකල්පයකි.

Sunday, May 31, 2020

ගෑස් උඳුන්වලින් සිදුවන වායු දූෂණය ඉහළයි

ජගත් පරිසර පුවත් 359 - 13.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.05.2020, පි. 4 (Vidusara Online)

http://www.vidusara.com/2020/05/13/feature3.html

ඉවුම් පිහුම් සඳහා යොදාගන්නා මූලික ඉන්ධනයක් ලෙස ගෑස් හෙවත් ද්‍රව පෙට්‍රෝලියම් වායුව හැඳින්විය හැකිය. ගෑස් නිසා මිනිසුන් නිරාවරණය වන වායු දූෂක හා එහි සෞඛ්‍යමය බලපෑම පිළිබඳව මෑත දී අවධානය  යොමුව ඇත. පසුගියදා වාර්තා වූ අධ්‍යයනයකට අනුව, පිටස්තර පරිසරයේදී නීතිවිරෝධී වන තරම් ඉහළ මට්ටමක වායු දූෂණයකට ගෑස් උඳුන් භාවිත කරන පිරිස් ලක්විය හැකිය. එය මිනිසුන්ට රෝග ඇති කිරීමටද හේතු විය හැකිය.

අනාවරණය වී ඇති පරිදි සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පරිසරෙය් පවත්නා වාතයට වඩා දෙගුණයත් පස්ගුණයත් අතර දූෂණයක් ගෑස් උඳුන් නිසා ගෘහස්ථ වාතයේ දැකිය හැකිය. මේ ප්‍රමාණය නිවසෙන් පිටත පරිසරයේදී නම් නීතිවිරෝධීය. එහෙත් ගෘහස්ථ වායු දූෂණයට ප්‍රමිතියක් නොමැති වීම නිසා මේ පිළිබඳව ඇත්තේ අඩු අවධානයකි. 

දශක දෙකක පමණ කාලයක් තිස්සේ මේ පිළිබඳව සිදුකර ඇති අධ්‍යයනය සමාලෝචන කර සකස් කර ඇති මේ වාර්තාව දක්වන පරිදි මේ සඳහා සුදුසුම විසඳුම වන්නේ විදුලියෙන් කියාත්මක වන උඳුන් භාවිතයට යොමු වීමය. කෙසේ වෙතත් ගෑස් උඳුන් භාවිත කරන පිරිස්වලට වුවත්, ජනේල විවෘතව තැබීම, නිවසෙන් පිටත ආහාර පිසීම, වාතය පිටතට ඉවත් කරන උපකරණ සවි කිරීම වැනි කටයුතු සිදු කළ හැකිය. (මූලාශ්‍රය - Indoor Air Pollution: The Link between Climate and Health by Brady Seals, www.rmi.org)