Showing posts with label Plastic Issues. Show all posts
Showing posts with label Plastic Issues. Show all posts

Wednesday, October 4, 2023

ප්ලාස්ටික් භාණ්ඩ ගණනාවක් එංගලන්තයේත් තහනම්

ජගත් පරිසර පුවත් 500

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-10-04, පි. 2

එක් වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ ගණනාවක් භාවිත කිරීම තහනම් කිරීම මේ මාසයේ පළමුවැනිදා සිට එංගලන්තයේ ක්‍රියාත්මක වේ. ඒ අනුව, ප්ලාස්ටික් හැදි ගෑරුප්පු, පොලිස්ටයිරින් කෝප්ප හා ආහාර බඳුන් සහ බැලූන් රඳවන ආදිය භාවිතය මෙසේ තහනම් විය. 2022 වර්ෂයේ දී මේ ආකාරයටම වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් බීම බට, කලතන හා කොට්න් බඩ් තහනම් කරන ලදි.

මේ වන විට බරපතළ ගැටලුවක් වී තිබෙන ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වේ. පොදුවේ ගත් විට මෙවැනි ප්ලාස්ටික් භාණ්ඩභාවිතය තහනම් කිරීම සඳහා එංගලන්තයේ ජනතාවගේ පුළුල් සහයෝගයක් ඇති බව ජනමත සමීක්ෂණවලින් ද පෙනී ගොස් ඇත.  කෙසේ වෙතත් මේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව අදාළ ආයතන හා සමාගම් අතර ඇති අවබෝධය ප්‍රමාණවත් ද යන්න පිළිබඳව පසුගිය සතියේ එරට ඇතැම් මාධ්‍ය සැක මතුකර තිබිණි.

මේ නව නීතිය මගින් එවැනි ඇතැම් ද්‍රව්‍ය ආවරණය නොවේ. නිදසුනක් ලෙස ආහාර බැහැර ගෙන යන අලෙවිසැල්වලින් නිකුත් කරන ආහාර බදුන්, බන්දේසි හා ආවරණ ඇසුරුම් හා කලින් සකසා ඇති ආහාර ඇසුරුම් බඳුන් සඳහා මේ තහනම ක්‍රියාත්මක නොවේ. ඒවා ඇසුරුම් ලෙස කාණ්ඩගත කිරීම නිසා වෙනස් නීති යටතේ පාලනය වීම මේ සඳහා හේතුවකි. එහෙත් පරිසර අංශ පවසන්නේ මේ තහනම වඩාත් ඵලදායී වීමට නම් එවැනි සියලු අංශ ආවරණය විය යුතු බවකි. මේ පිළිබඳව එරට රජයේ බලධාරීන් පවසා ඇත්තේ 2042 වර්ෂය වන විට වැළැක්විය හැකි සියලු ප්ලාස්ටික් අපද්‍රව්‍ය තහනම් කිරීම සඳහා දීර්ඝ කාලීන ක්‍රියාවලියක් සිදුකරනු ලබන බවයි.

Wednesday, May 31, 2023

ප්ලාස්ටික් නිසා ඇතිවන ගංවතුරෙන් දිළිඳු ජනතාව අවදානමේ

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 491
විදුසර, 2023-05-31, පි. 2


ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ජල මාර්ගවල අවහිර වීමෙන් ලෝකය පුරා මිලියන 218ක පමණ පිරිසක් තීව්‍ර හා නිතර ඇතිවන ගංවතුරෙන් අවදානමකට ලක්වන බව පසුගියදා පළ වූ වාර්තාවකින් පෙන්වා දී තිබේ. මෙහි ඇති වැදගත්කම වන්නේ ඒ පිරිස දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පෙලෙන පිරිසක් වීමයි.

මේ වාර්තාව සකස් කිරීම සඳහා පාදක කරගෙන ඇත්තේ 2022 වර්ෂයේ දී ගංවතුර අවදානම හා දරිද්‍රතාවය පිළිබඳව සිදු කළ අධ්‍යයනයකි. ලෝකයේ රටවල් 188ක බිලියන 1.8ක පිරිසක් දැඩි ගංවතුර අවදානමකට ලක්වන බව එහි දක්වා තිබේ. ඒ දත්ත යොදාගනිමින්, ජලාපවහනය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ද ප්‍රමාණවත් නොවන අඩු හා මධ්‍ය ආදායම් රටවල ජනගහනය පිළිබඳව මේ නව වාර්තාවෙන් අවධානය යොමු කර ඇත. එසේම වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති රටවල් පමණක් හා නාගරික පැල්පත් වාසීන් පිළිබඳව සලකා බලා තිබේ.

ඒ අනුව, ගංවතුර නිසා වැඩි අවදානමකට ලක්ව ඇති පිරිස් අතරින් හතරෙන් තුනක් පමණ පිරිසක් ජීවත් වන්නේ අග්නිදිග ආසියාවේ හා පැසිපික් කලාප‌යේය. එසේම වර්තමාන ප්‍රවණතාවය අනුව 2060 වන විට ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය තුන් ගුණයකින් ඉහළ යා හැකි අතර, නාගරික පැල්පත්වාසීන් ප්‍රමාණය 2050 වන විට බිලියන තුනක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඒ අනුව තීරණාත්මක පියවරක් නොගතහොත් ප්ලාස්ටික් පරිසර දූෂණය නිසා ඇති වන ගංවතුර අර්බුදය බරපතළ පාරිසරික හා සමාජයීය ගැටලුවක් විය හැකිය.

මූලාශ්‍රය - Global Impact of Plastics on Flooding, www.tearfund.org

Wednesday, March 22, 2023

ප්ලාස්ටික් නිසා සාගර පක්ෂීන්ට වැළඳෙන රෝගයක්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 486
විදුසර, 2023-03-22, පි. 2


ප්ලාස්ටික් නිසාම සාගර පක්ෂීන්ට වැළඳෙන රෝගයක් පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත්වෙති. ‘ප්ලාස්ටිකෝසිස්’ (plasticosis) නමින් හඳුන්වා ඇති ෆ්‍රයිබ්‍රෝසියා තත්ත්වයක් වන රෝගයේ දී පක්ෂීන්ගේ ශරීරගත වන අපද්‍රව්‍ය නිසා ඔවුන්ගේ ආහාර මාර්ගයේ සීරීම් ඇති වී හානි සිදු වේ. එසේම වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් ශරීර ගත වීමේ දී මේ බලපෑම වැඩි බව සොයාගෙන තිබේ.

මෙසේ ශරීරගත වන ප්ලාස්ටික් නිසා ආහාර මාර්ගයේ ඇති වන ප්‍රදාහ තත්ත්වයෙන් ඒ පටක විකෘති වී, ආහාර දිරවීමට, වර්ධනයට හා පැවැත්මට බලපාන බව දක්නා තිබේ. එමගින් පක්ෂීන්ගේ පූර්වාමාශයේ නාලාකාර ග්‍රන්ථි ක්‍රමයෙන් බිඳ වැටීම සිදුවිය හැකිය. පක්ෂීන් රෝග ඇති වීමට මෙන්ම පරපෝෂිතයන්ට ලක් වීම ද මේ නිසා ඉහළ යා හැකිය.

මේ තත්ත්වය පක්ෂීන්ගේ ආහාර මාර්ගයේ ස්වාභාවිකව හමුවන ද්‍රව්‍යවලින් ඇති නොවන අතර, එය ප්ලාස්ටික්වලින් ඇති වන බව මේ පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙය අනෙක් පක්ෂීන්ට ද වැළඳීමට ඉඩ ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ. ස්වාභාවික පරිසරයේ වාසය කරන සන්ය ප්ලාස්ටික් මගින් ඇති වන ෆය්‍රබ්‍රෝසියා තත්ත්වයක් පිළිබඳව පළමු අනාවරණය මෙය වේ.

මූලාශ්‍රය - Journal of Hazardous Materials, DOI: 10.1016/j.jhazmat.2023.131090

Tuesday, January 24, 2023

තැන්පතු ආපසු දීම මගින් පරිසර දුෂණය අඩු කිරීමේ උත්සාහයක්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 482
විදුසර, 2023-01-25, පි. 2



පාන වර්ග අසුරා ඇති ප්ලාස්ටික් හා ලෝහමය බෝතල් හා කෑන් භාවිතයෙන් පසු ආපසු බාරදීමේ දී ඒවා ලබාගැනීමේ දී තැන්පත් කරන මුදලක් ආපසු දීමේ ක්‍රමයක් බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත තුනක් හඳුන්වා දීමට යයි. සැරසේ. ‘තැන්පතුව ආපසුදීමේ යෝජනාක්‍රමය’ (deposit return scheme) ලෙස නම්කර ඇති මේ ක්‍රමවේදයේ දී ප්‍රති-අලෙවි යන්ත්‍ර (reverse vending machine) නමින් හඳුන්වන ස්වයංක්‍රීය යන්ත්‍රවලට අදාළ බෝතල් හා කෑන් ඇතුළු කිරීමෙන් තැන්පතු මුදල් ලබාගත හැකිය. මේ මගින් අපද්‍රව්‍ය ලෙස ඉවත දමන ප්ලාස්ටික් හා ලෝහමය බඳුන් ප්‍රතිච්‍රකීකරණය කෙරෙන ප්‍රමාණය 85%ක් පමණ දක්වා ඉහළ නංවා ගත හැකි යැයි අපේක්ෂා කෙරේ. මේ යෝජනාක්‍රමය ඒ සඳහා පහසු හා සරළ ක්‍රමයක් සේ සැලකේ.

මේ පිළිබඳ මුලින්ම ප්‍රකාශයට පත්ව දැන් වර්ෂ පහක් ගත වී ඇත. පසුගිය සතියේ දී ඒ පිළිබඳ රජයේ එකඟතාව ලැබී ඇති අතර, ඒ අන 2025 වර්ෂයේ දී පමණ ක්‍රියාත්මක වනු ඇතැයි පෙන්වා දී තිබේ. මේ යෝජනාක්‍රමය සඳහා මුලින් වීදුරු බඳුන් ද ඇතුළත් කිරීමට සැලසුම් කරන ලද නමුත් අවසානයේ දී වීදුරු බඳුන් මීට ඇතුළත් කර නොමැත. එය අහිමි වූ අවස්ථාවක් ලෙස සලකා ඇති පාරිසරික අංශ ඒ පිළිබඳව සිය නොසතුට ප්‍රකාශ කර තිබේ.

Tuesday, June 30, 2020

නව්‍ය කොරෝනා නිසා අලුත් සමුද්‍ර දූෂණයක්

ජගත් පරිසර පුවත් 364 - 17.06.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.06.2020, පි. 3 (Vidusara)



මේ වන විට ලෝකයම පීඩාවට පත්ව ඇති නව්‍ය කොරෝනා වසංගතය නිසා සැලකිය යුතු සමුද්‍ර දූෂණයක් ඇති විය හැකි බව පරිසර සංරක්ෂණවේදීන් විසින් අනතුරු හඟවා තිබෙයි. එයට හේතුව වන්නේ වරක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාස්ටික්වලින් තැනූ මුහුණු ආවරණ, අත් වැසුම් හා සැනිටයිසර් බෝතල් ක්‍රමයෙන් සාගරයට එක් වෙමින් ඇති නිසාය.

ප්‍රංශ ක්‍රියාකාරීන් කණ්ඩායම මේ ගැන මුලින්ම අනතුරු හඟවන ලද්දේ පසුගිය මැයි මාසයේදීය. ඒ මුව වැසුම්, අත්වැසුම් මෙන්ම සැනිටයිසර් බෝතල් වැනි ද්‍රව්‍ය මධ්‍යධරණී මුහුදේ සෙසු ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර හමුවීමත් සමඟය. මේවා ‘කොවිඩ් අපද්‍රව්‍ය’ (Covid Waste) ලෙස නම් කර ඇත. තවමත් මේවා විශාල ප්‍රමාණයක් හමු නොවුනත්, මේ වන විට ලෝකය පුරා මිලියන ගණනාවක් ජනතාවක් මේවා භාවිත කරන අතර, ඉන්පසුව ඒවා ඉවත දැමීමත් සමඟ බරපතළ විය හැකි මේ නව ආකාරයක සාගර දූෂණය ඉදිරියේදී බරපතළ විය හැකිය.

මේ වන විට භාවිතයට ගන්නා මෙන්ම ඇණවුම් කර ඇති මුව වැසුම් ප්‍රමාණය අනුව ඉදිරියේදී ජෙලි ෆිෂ් මසුන්ට වඩා මධ්‍යධරණී මුහුදේ මුව වැසුම් දැකිය හැකි වනු ඇති බව විද්‍යාඥයෙක් පවසා ඇත. මේ වන විටත් ප්ලාස්ටික් නිසා ලෝකය පුරා සාගර දූෂණය වී ඇති බැවින් මේ තත්ත්වය වැළැක්වීමට අවධානය යොමු විය යුතු බව පැහැදිලිය. මේ ඇතැම් මුව වැසුම් නිපදවීමට භාවිත කරන පොලිප්‍රොපිලීන් වැනි ද්‍රව්‍යවල ආයු කාලය වසර 450් පමණ විය හැකි බව පැවසේ. එසේ නම් ඒවා නිසා ඇති විය හැකි බලපෑම දිගුකාලීන මෙන්ම බරපතළ ද වෙයි.

Sunday, May 31, 2020

සාගරයේ ඉහළම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය මධ්‍යධරණී මුහුදේ

ජගත් පරිසර පුවත් 358 - 06.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 06.05.2020, පි. 7 (Vidusara Online)


http://www.vidusara.com/2020/05/06/feature6.html


සාගර පත්ලෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය මධ්‍යධරණී මුහුදේ පත්ලෙන් සොයාගෙන ඇති බව පසුගියදා වාර්තා විය. ඉතාලියට නුදුරු ප්‍රදේශයක මධ්‍යධරණී මුහුදෙන් ලබාගත් තැන්පතුවලින් මේ ඉහළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය වාර්තා වී ඇත. එය වර්ග මීටරයකට ප්ලාස්ටික් කොටස් මිලියන 1.9ක පමණ වාර්තාගත අගයකි. ඇඳුම් හා විවිධ කෘත්‍රිම රෙදිපිළිවලින් ලැබුණු ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මෙන්ම වෙනත් ප්ලාස්ටික් ද්‍රව්‍ය කැඩී බිඳී සැකසුණු ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් ද මීට ඇතුළත්ය.

ගොඩබිම සිට මෙන්ම නැව් ආදියෙන්ද බැහැර වන ප්ලාස්ටික් සාගර ප්‍රවාහ මගින් සාගරයේ ඇතැම් තැන්වල ක්ෂුද්‍රප්ලාස්ටික් ලෙස එක්රැස් වේ. සාගර ප්‍රවාහ මගින් ප්ලාස්ටික් කොටස් ගසාගෙන ගොස් තැන්පත් වන්නේ සාගරය පත්ලේ වැලි කඳු හැදෙන ආකාරයටම බව කියවෙයි. එවැනි ස්ථාන කිලෝමීටර් ගණන් දිගු විය හැකි සේම මීටර් ගණනාවක් උස් වූ තැන්පතු විය හැකිය. එවැන්නක කුඩා ප්‍රමාණයේ විවිධ අංශු විශාල ප්‍රමාණවලින් ඇති අතර, එවැනි තැනක ක්ෂුද් ප්ලාස්ටික් ද තැන්පත් වෙයි. මේ ස්ථාන ගැඹුරු මුහුදේ දැකිය හැකි දොරු () කැන්යොන් හා අගල් වැනි ස්ථානවල රැස්වේ. මේවා සමහරක් සාගර පත්ලේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් වැදගත් ස්ථාන වන අතර, දැන් ප්ලාස්ටික් සම්බන්ධයෙන් ද වැදගත් ස්ථාන වී ඇත.

මීට පෙර සාගරයේ මතුපිට දැකිය හැකි ප්ලාස්ටික් පිළිබදව ලෝකයේ වැඩි අවධානයක් ‌යොමු වී තිබිණි. ඒ ප්‍රමාණය සාගරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය හා සංසන්දනය කරන විට සැලකිය යුතු තරම් අඩු ප්‍රමාණයකි. එවිට ඉතිරි ප්ලාස්ටික් ඇත්තේ කොතැනකද යන්න ගැටලුවක් විය. (මූලාහ්‍රය - Science, DOI: 10.1126/science.aba5899)

මිරිදිය ආශ්‍රිත පක්ෂීන්ගේද ශරීරවල ප්ලාස්ටික්

ජගත් පරිසර පුවත් 361 - 27.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 27.05.2020, පි. 3 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature1.html


ගංගා ඉවුරු ආශ්‍රිතව ජීවත්වන පක්ෂීන්ගේ ශරීරගත වන කුඩා ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය දිනකට සිය ගණනක් තරම් වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. මෙය ගංගාවල දැකිය හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය වනජීවීන්ගේ ශරීරගත වීමට හා ආහාර ජාලය තුළ ඉහළ මට්ටම් වෙත ගමන් කිරීම සිදුවන බවට ඇති මුල්ම පැහැදිලි සාධකයයි.

මේ පර්යේෂකයන්ගේ අවධානයට යොමුව ඇත්තේ ගංගාවල ගිලී ජලය තුළ වෙසෙන කෘමීන් ආහාරයට ගන්නා ඩිපර් (Cinclus cinclus) පක්ෂීන්ගේ මළ ද්‍රව්‍යවල ඇතුළත් ද්‍රව්‍ය සම්බන්ධවය. මෙහිදී පෙනී ගොස් ඇත්තේ නාගරික ප්‍රදේශවල වෙසෙන පක්ෂීන්ගේ ශරීරගත ප්ලාස්ටික් ප්‍රමාණය අධික බවයි. ගංගාවල දැකිය හැකි ප්ලාස්ටික් කොටස් අතර මිලිමීටර් 5ට වඩා අඩු පොලියෙස්ටර්, පොලි ප්‍රොපිලීන් හා නයිලෝන් වැනි ද්‍රව්‍ය සුලභය. එ් මූලික වශයෙන් රෙදිවල කෙඳිති හා ගොඩනැගිලි ද්‍රව්‍යය. මේ මත පදනම්ව කළ ගණනය කිරීම් අනුව මේ පක්ෂීන්ගේ ශරීරයට එක් දිනකදී ප්ලාස්ටික් කොටස් 200ක් පමණ ඇතුළු වෙයි.

මෙසේ පක්ෂීන්ගේ ශරීරයට ප්ලාස්ටික් කොටස් ඇතුළු වන්නේ කෘමීන් හරහාය. වේල්ස්යේ සිදුකරන ලද අධ්‍යයනවලට අනුව කෘමීන්ගේ ශරීරවල ප්ලාස්ටික් ඇතුළත් වන බව පෙන්වා දී ඇත. මේ නිසා මස්ස්‍යයින් හා පක්ෂීන්ගේ ශරීරවලට ප්ලාස්ටික් ඇතුළුවීම සිදුවේ. මේ පක්ෂීන් එම ප්ලාස්ටික් කොටස් ආහාරයට ගන්නා අතරම, පැටවුන්ට ආහාර ලෙස ද ලබාදෙති. මේ ආකාරයෙන් ප්ලාස්ටික් ශරීරගත වීම නිසා ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධව පැහැදිලි නැත. මුහුදට ප්ලාස්ටික් සැපයෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ගංගා ඔස්සේ ගලා යන ජලයේ ඇතුළත් ප්ලාස්ටික්ය.

මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.15139)

ළඟදීම දිරා යන ප්ලාස්ටික් බෝතලයක්?

ජගත් පරිසර පුවත් 360 - 20.05.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.05.2020, පි. 4 (Vidusara)



අද ලෝකයේ දැකිය හැකි ප්ලාස්ටික් පරිසර දූෂණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට හේතුව වන්නේ වරක් භාවිතයෙන් පසුව ඉවත දමන ප්ලාස්ටික් බෝතල්ය. පොසිල ඉන්ධනවලින් නිෂ්පාදිත බැවින් දීර්ඝ කාලයක් ගත වුවද දිරා නොයන මේ ප්ලාස්ටික් බෝතල් විවිධ පාන වර්ග හා ජලය අලෙවි කිරීම සඳහා යොදාගැනෙයි.

මුළුමනින්ම ශාකමය ද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරනු ලබන දිරාපත්වන ජෛව-ප්ලාස්ටික් බෝතලයක් නිෂ්පාදනය කිරීම ගැන නෙදර්ලන්ත ජෛව රසායන සමාගමක් වන Avantium සමාගමේ අවධානය මේ වන විට යොමු වී තිබේ. ඒ ඉරිඟු, තිරිඟු හා බීට් සීනි යොදාගැනීමෙනි. භාවිතයෙන් පසු මේ බෝතල් කොම්පෝස්ටරයක් තුළ වසරක කාලයක් තුළ මුළුමනින්ම දිරාගත් වනු ඇති බව සඳහන්ය. විවෘත පරිසරයේ ඊට වඩා මදක් කල් ගතවිය හැකි නමුත්, ස්වාභාවිකව දිරාපත්වීම මේ නිෂෟපාදනයේ වැදගත්කම පෙන්වයි. මේ සඳහා යොදාගනු ලබන්නේ තිරසර ආකාරයෙන් ලබාගත් ජෛවඅපද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරනු ලබන සීනි බැවින් මේ නිෂ්පාදනය මගින් ලෝකයේ ආහාර සැපයුමට අහිතකර බලපෑමක් ඇති වීම වලකා ගත හැකිය.

වර්ෂ 2023 වන විට මේ බෝතල් වෙළෙඳපොළට එක් වනු ඇතැයි ද අපේක්ෂිතය. ආරම්භයේදී වර්ෂයකට ටොන් 5000ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ඉල්ලුම අනුව එම ප්‍රමාණය ඉහළ නැං‌වෙනු ඇත.

මෙම බෝතල් කාබනීකෘත බීම වර්ග අඩංගු කළ හැකි ඒවාය. එබැවින් මේ වන විට ඇති වී තිබෙන සීමාකාරී තත්ත්වයෙන් පසුව වසර අවසන් වන විට මේ නිෂ්පාදනය සඳහා ලෝකයේ ප්‍රකට බීම සමාගම් කීපයක සහයෝගය ලැබෙනු ඇතැයි ද අපේක්ෂිතය.

Friday, January 31, 2020

ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැඩිම නගරවල

ජගත් පරිසර පුවත් 345 - 01.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 01.01.2020, පි. 3 (Vidusara)



ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු වර්තමානයේ දැඩි අවධානයකට ලක් වී ඇති පරිසර දූෂකයකි. විවිධ අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි ලෝකයේ සෑම ප්‍රදේශයක්ම පාහේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් දූෂණය වී ඇත. මේවා මුලින්ම අවධානයට ලක් වූයේ සාගර ජලයේ පවත්නා පරිසර දූෂකයක් ලෙසය. එහෙත් මෑත කාලයේදී හෙළි වී තිබෙන ආකාරයට වායුගෝලයේද ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශාල ලෙසින් පවතී. එමෙන්ම, මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවල මෙන්ම, මිනිස් ජනාවාස පිහිටා නැති පිටිසර හා ඈත ප්‍රදේශවල වාතයේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතී. එයට හේතව සුළං මගින් මේවා ව්‍යාප්ත වීමය.

ලන්ඩන් නගරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් තැන්පත් වීම පිළිබඳව මෑතදී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව නාගරික පරිසරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු තරම් ඉහළය. මධ්‍යම ලන්ඩනයේ සිදුකරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇති පරිදි උස් ගොඩනැගිල්ලක වහලයේ වර්ග මීටරයකට දවසකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි 575ත් 1008ත් අතර ප්‍රමාණයක් තැන්පත් වෙයි. මේ මිලි මීටර් 0.02 හා 0.5 අතර ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්ය. මෙම අගය ග්‍රාමීය ප්‍රදේශයකට වඩා විසි ගුණයක් පමණ ඉහළය. එමෙන්ම ලෝකයේ මෙවැනි අධ්‍යයන සිදුකර ඇති නගර අතරින් ලන්ඩනය වැඩිම ක්ෂ්‍රද්‍ර ප්ලාස්ටික් හමුවන නගරය වේ. එම ප්‍රමාණය පැරිස් නගයේ මෙන් හත්ගුණයක්ද, ජර්මනියේ හැම්බර්ග් නගරයේ මෙන් තුන් ගුණයක් තරම්ද වෙයි.

මෙසේ පතිත වී ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විවිධ වර්ග 15කට අයත්ය. එමෙන්ම විවිධ හැඩගෙන ඇති අතර, ඉන් 92%ක් පමණ කෙඳිතිය. මේවා අතරින් වැඩි ප්‍රමාණය පොලිඇක්‍රිලික් කෙඳි වී ඇති අතර, ඒවා ඇඳුම්වලින් පැමිණෙන ඒවා වීමට වැඩි ඉඩක් ඇත. එමෙන්ම 8%ක් පමණ වූ අංශුමය හැඩැති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අතරින් වැඩි වශයෙන් තිබී ඇත්තේ ආහාර දවටනවලින් පැමිණෙන බව සිතිය හැකි පොලිස්ටයිරීන් හා පොලිඑතිලීන්ය.

ලෝකයේ බොහෝ නගරවල තත්ත්වය මෙබඳු විය හැකි බව මෙම අද්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයින්ගේ අදහස වෙයි. එය බරපතළ තත්ත්වයකි. ක්ෂුද් ප්ලාස්ටික් ආශ්වාස කිරීම මගින් පෙනහළු හරහා මෙන්ම කෙල සමඟ ආහාර මාර්ගය හරහා ශරීරගත විය හැකිය. එමෙන්ම ශ්වසන නාලවල ද තැන්පත් විය හැකිය. මේවා මගින් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම මෙන්ම පාරිසරික බලපෑම පිළිබඳව ද ලෝකය තවමත් හරිහැටි නොදනිති.

මූලාශ්‍රය - Environment International, DOI: 10.1016/j.envint.2019.105411

Tuesday, April 30, 2019

ක්ෂුද්‍ර ප්ලාස්ටික් සුළෙඟ් බොහෝදුර පැතිරෙයි

ජගත් පරිසර පුවත් 310 - 24.04.2019


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 3 (Vidusara)



ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිළිබඳව මුලින්ම අවධානය යොමුවන්නේ ඒවා සාගරයේ හමුවීම ගැනය. පසුව එ්වා මිරිදියෙහි හා පසෙහිද හමුවිය. එහෙත් වායුගෝලයේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් දැකිය හැකි බව විද්‍යාඥයින් විසින් ක‍්‍රමයෙන් අවබෝධ කරගන්නා ලද කරුණකි.

වායුගෝලය ඔස්සේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල පැතිරීම පිළිබඳව මෙතෙක් සිදුකර ඇති අධ්‍යයන ස්වල්පයක් වූ අතර ඒවාද මූලික වශයෙන් නාගරික ප‍්‍රදේශ ආශ‍්‍රිතව විය. එහෙත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් වායුගෝලය හරහා සුළඟ මගින් ගසාගෙන යාමෙන් එම ප්ලාස්ටික් ජනනය වන ප‍්‍රදේශයට වඩා ඉතා ඈතින් පිහිටි සාපේක්ෂව දූෂණයට ලක් නොවූ පළාත් දක්වා ව්‍යාප්ත විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේවා වායුගෝලයෙන් පැමිණ දූවිලි මෙන් තැන්පත් වන බව හෙළි වී තිබෙයි.

මානව ජනාවාස සීමිත වූ හා කර්මාන්ත ඉතා අඩු වූ ප‍්‍රදේශයක් වන ප‍්‍රංශයේ පිරනීස් කඳුකරය ආශ‍්‍රිතව ජලයේ හා පස් තැන්පතුවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවීම මෙම පර්යේෂකයන්ට ගැටලූවක් විය. ඒ එම ප්ලාස්ටික්වල ප‍්‍රභවය කොතැනක වීද යන්නය. මාස පහක පමණ කාලයක් පුරා එම ප‍්‍රදේශයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් නියැදි එකතු කරමින් ඒ පිළිබඳව සිදුකර තිබෙන මෙම අධ්‍යයනය මගින් පෙනී ගොස් ඇති ආකාරයට, ප‍්‍රමාණ ගණනාවක ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිරනීස් කඳුකරයේ වායුගෝලයෙන් හමුව තිබේ. ඒවා වරක් භාවිත කර ඉවත දමන ද්‍රව්‍යවලින් නිකුත්වන ප්ලාස්ටික් වර්ගවලට අයත් බවද හඳුනාගෙන ඇත.

එහෙත් එමගින් එම ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොතැනින් පැමිනෙන්නේද යන්න තීරණය කළ නොහැකි වූ නිසා පර්යේෂකයන් ඒ සඳහා එම ප‍්‍රදේශය හරහා යන වායු ධාරා පිළිබඳ පරිගණක ආකෘති යොදාගෙන ඇත. ඒ අනුව ඒවා පැමිණන්නේ කුමන දිසාවකින්ද යන්න ඔවුන්ට තීරණය කළ හැකිව ඇත. ඒ අනුව එම ප්ලාස්ටික් අංශු වායුගෝලය හරහා කිලෝමීටර් 95ක් පමණ දුරට ගසාගෙන පැණ ඇති බව ඔවුන් නිගමනය කර ඇත. එමෙන්ම ඊටත් වැඩි දුරකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් සුළඟ මගින් ගසාගෙන යන යා හැකි බවද පැහැදිලි වී තිබෙයි.

මේ අනුව වායුගෝලය ද ක්ෂුද් ප්ලාස්ටික් පැතිරීම සඳහා මාධ්‍යයක් ලෙස ක‍්‍රියාකරන බව යළිත් තහවුරු වී ඇත. ඒ අනුව ගැටලූව අප මෙතෙක් සිතුවාට වඩා භයානක එකක් බව මෙම පර්යේෂකයින්ගේ අදහසය. මෙය මිනිසුන්ට මෙන්ම සෙසු ජීවීන්ටද බලපාන අන්දම අවධානයට ලක්විය යුතු එකකි.

මූලාශ‍්‍රය - Nature Geoscience, DOI: 10.1038/s41561-019-0335-5