Showing posts with label Environmental Conflicts. Show all posts
Showing posts with label Environmental Conflicts. Show all posts

Tuesday, September 19, 2023

පරිසර ක්‍රියාකාරීන්ට අපලම රට කොලොම්බියාවයි

ජගත් පරිසර පුවත් 499

ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2023-09-20, පි. 2

පසුගිය 2022 වර්ෂයේ දී ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන් 177ක් පමණ පිරිසක් ඝාතනය කර ඇති බව ඒ සම්බන්ධව ග්ලෝබල් විට්නස් නම් රාජ්‍ය නොවන සංවිධානය මගින් සකස් කරන වාර්ෂික වාර්තාවෙන් හෙළි වී තිබේ. මේ වාර්තාව ඔවුන් විසින් ළකරනු ලබන්නේ 11 වැනි වතාවට වන අතර, 2012 සිට 2022 දක්වා වර්ෂවල දී ලෝකය පුරා මරාදමා ඇති පරිසරය වෙනුවෙන් හඬ නැගූ ක්‍රියාකාරීන් ගණන 1910ක් වේ. 2021 වර්ෂයේ දී සිදු වූ ඝාතන ගණන වන 200ට වඩා අඩුවීමක් 2022 වර්ෂයේ දී දැකිය හැකි වී ඇතත්, තර්ජනයේ අඩුවක් නොමැති බව ද එහි දැක්වේ. 

මේ අතරින් වැඩිම සංඛ්‍යාව වන ක්‍රියාකාරීන් 60 දෙනෙකු මරා දමා ඇත්තේ කොලොම්බියාවේ දීය. එය ඊට පෙර වර්ෂයේ අගය මෙන් දෙගුණයක් පමණ වේ. ඒ හැර බුසීලය (ඝාතන 34) මෙක්සිකෝව (31) හා හොන්ඩුරාස් (14) පරිසර ක්‍රියාකාරීන් මරාදැමීම අතින් ඊළඟ වැඩිම ප්‍රමාණය සිදු වී ඇති රටවල් අතර වේ. සාමාන්‍යයෙන් පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම ලතින් හා දකුණු ඇමරිකානු කලාපය වැඩි වශයෙන් සිදුවන්නකි. එසේම ආන්දෝලනයකට ලක්ව ඇති ඇමසන් කලාපයේ ක්‍රියාකාරීන් 39ක් පමණ 2022 දී මරා දමා ඇත. ආසියාවේ සිදුව ඇති ඝාතන ගණන 16ක් වන අතර, ඉන් 11ක්ම සිදුව ඇත්තේ පිලිපීනයේය. 

මෙහි ඇති බරපතළම සිදුවීම වන්නේ මේ පරිසර ක්‍රියාකාරීන්ගේ ඝාතන සඳහා වගකිව යුතු පිරිස් නීතිය හමුවට පැමිණවීම සිදුවන්නේ අඩුවෙන් වීමයි. අනෙක් අතට, ඒ තත්ත්වය මේ අර්බුදය වැඩිදුරටත් පැවතීමට හේතුවක් වේ. 

මුලාශ්‍රය - Standing firm, www.globalwitness.org

Wednesday, April 19, 2023

නැව්වල හැපී මියයන තල්මසුන් බේරාගත හැකිද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 488
විදුසර, 2023-04-19, පි. 2


මහ සාගරයේ ගමන් ගන්නා නෞකාවල හැපීමෙන් මරණයට පත්වන තල්මසුන් ගණන වාර්ෂිකව දහස් ගණනක් විය හැකිය. මේ ගැටීම් ඇතැම් විට සිදුවන්නේ සාගර ආරක්ෂිත ප්‍රදේශවලය. වාණිජ වශයෙන් සිදුකරන තල්මහ දඩයම බොහෝ දුරට සීමා වීමෙන් පසුව තල්මනුස්ට ඇති වී ඇති බරපතළම තර්ජනයවන්නේ මේ සාගරයේ නාවුක ගමනාගමනයේ වර්ධනයයි. 1992 හා 2012 අතර කාලයේ දී ලෝකයේ නෞකා ප්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඒ වැඩි වශයෙන් ආසියානු කලාපයේ වුවත් ලෝකය පුරාම පාහේ එය සිදුව ඇත.

නැව්වල නිසා එසැණින් මරණයට පත් නොවුව ද මේ සතුන් මරණයට පත් වීම කාලය පිළිබඳ ගැටලුවක් පමණක් බව විද්‍යාඥයන්ගේ අදහස වේ. ඇතැම් ශරීර අවයවවලට හානි වීම නිසා මේ සතුන්ට පිහිනීම නිසි ආකාරයෙන් සිදුකිරීම අපහසු විය හැකිය.

මේ ගැටුම් හා මරණ අවම කිරීම සඳහා ඉදිරිපත්ව ඇති විසඳුම් දෙකකි. ඉන් එකක් වන්නේ තල්මහ වාසය කරන සාගර ප්‍රදේශවලින් ඈත්වන ලෙස නාවුක ගමන් මාර්ග නැවත සකස් කිරීමයි. මෙය බොහෝ සේ ඵලදායී විය හැකි වුවත් එය සිදුවන්නේ අඩු වශයෙනි. අනෙක් ක්‍රමය වන්නේ නැව් සඳහා වේග සීමාවන් පැණවීම වන අතර එය පරිමාණය හා බලපැවැත්වීම අනුව විවිධ විය හැකිය. කෙසේ වෙතත් මේ සඳහා නව තාක්ෂණය යොදාගත හැකි පද්ධති නිර්මාණය කිරීම සඳහා දැන් දරන් පර්යේෂකයන් උනන්දු වෙමින් තිබේ.

Friday, January 31, 2020

අනාගත ජල ගැටුම් කලින් හඳුනාගැනීම

ජගත් පරිසර පුවත් 347 - 15.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 15.01.2020, පි. 3 (Vidusara)



ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ජලය පිළිබඳ විවිධ අර්බුද අනාගතයේදී ඇති විය හැකි බව විද්‍යාඥයින් විසින් අනතුරු හඟවා ඇත. මේ අර්බුද දරුණු හා ගැටුම්කාරී තත්ත්ව බවට පත් වීමට ද ඉඩ තිබේ. එසේ ගැටුම්කාරී තත්ත්ව බවට පත් විය හැකි ජල අර්බුද ඇති විය හැක්කේ කෙබඳු ස්ථානවලදී ද යන්න කල් තබා පුරෝකථනය කළ හැකි මෙවලමක් පසුගියදා හඳුන්වා දෙන ලදි. ඒ දේශගුණ වෙස් වීම පිළිබඳ දත්ත මතය.

ප්‍රකට සංවිධාන කීපයක් විසින් හදුන්වා දී ඇති, “ජලය සාමය හා ආරක්ෂාව” නම් මෙම මෙවලම පූර්ව අනතුරු හැඟවීමේ ක්‍රමවේදයකි. එමගින් අනාගතයේ ජලය නිසා ගැටුම්කාරී තත්ත්ව ඇති විය හැකි ප්‍රදේශ ගැන අනතුරු හැඟවීමට හැකිය. මෙහිදී වර්ෂාව, නියඟය, භෝග අස්වනු බිඳවැටීම වැනි පාරිසරික විචල්‍යතා සමඟ දේශපාලන ආර්ථික හා සමාජයීය තත්ත්ව සම්බන්ධ කරගනිමින් ජලය ආශ්‍රිත අර්බුද නිසා ගැටුම් ඇති විය හැකි ප්‍රදේශ වසරකට පමණ පෙර පැවසිය හැකිය. මේ සඳහා විවිධ දර්ශක අසූවක් පමණ වසර විස්සක පමණ දත්ත යොදාගැනෙයි.

මෙසේ පාරිසරික සාධක හා සමාජ-ආර්ථික විචල්‍යතා සම්බන්ධ කරගනිමින් ජල අර්බුද ඇති විම පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා මෙවලමක් ඉදිරිපත් කර ඇති පළමු අවස්ථාව මෙයයි. එමගින් අවම වශයෙන් මරණ 10ක් වත් ඇති විය හැකි මට්ටමේ ගැටුම් ඇති විය හැකි ප්‍රදේශ හඳුනාගත හැකිය. මේ හඳුනාගැනීම් සඳහා 86%ක පමණ සාර්ථකත්වයක් ඇත. මෙම මෙවලම වෙත අන්තර්ජාලයෙන් පිවිසිය හැකි අතර, එය ජල ආතතියක් සහිත ප්‍රදේශවල ප්‍රතිපත්ති සම්පාදකයන් හා ජනතාව විසින් යොදාගනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. ඒ ඇතිවිය හැකි අර්බුද වළක්වා ගැනීම සඳහා කලින් ක්‍රියාත්මක වීමෙනි.

මෙමගින් පුරෝකථනය කර ඇති ආකාරයට 2020 වර්ෂයේදී ජල අර්බුද නිසා ගැටුම් ඇති විය හැකි රටවල් අතර, ඉරාකය, ඉරානය, මාලි, නයිජීරියාව, ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් වෙයි.

ජලය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජල ආතතියක් ඇති ප්‍රදේශවල ජල අර්බුද ඇති විය හැකිය. විශේෂයෙන් ජල හිඟයකින් පීඩාවට ලක්වන පිරිස් අනාගතයේදී තවත් ඉහළ යනු ඇත. 2050 වර්ෂය වන විට බිලියන 8ක පමණ ජනගහනයක් ජල හිඟය ඇති තත්ත්වවලට මුහුණ පෑ හැකිය.

මෙම මෙවලම සඳහා වූ වෙබ් අඩවිය - www.waterpeacesecurity.org