Wednesday, April 3, 2024

ඉහළ යන උෂ්ණත්වයෙන් භෝගවලට බලපෑම්

ජගත් පරිසර පුවත් 512
ධනේෂ් විසුම්පෙරුම 

විදුසර, 2024-04-03, පි. 2


උෂ්ණත්වය ඉහළ යෑම ඇතුළුව දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් පිළිබඳව පුවත් වරින්වර අසන්නට ලැබේ. පසුගිය සති කිහිපයේ දී එවැනි පුවත් කීපයක් පළ වී තිබිණි. ඒ කෙසෙල් හා කොකෝවා අස්වනු අඩුවීම නිසා ඒවායේ මිල ඉහළ යෑම සම්බන්ධවය. මේ සඳහා බලපා ඇති සාධකය වන්නේ උෂ්ණත්වය ඉහළ යෑම වන අතර, එය මිනිසු ක්‍රියාකරකම් නිසා ඇති වූ බවට ඇති සාධක ඉතා පැහැදිලිය.

කෙසෙල් පිළිබඳ විශේෂඥයෙකු වන පැස්කාල් ලියු පවසා ඇති ආකාරයට උෂ්ණත්වය ඉහළ යෑම සමඟ ඇති වන බලපෑම් නිසා කෙසෙල් සැපයුම අඩු වී මිල ඉහළ යනු ඇති බවයි. ඉහළ උෂ්ණත්වයක් ඇති විට වේගයෙන් පැතිරෙන රෝග නිසා මේ තත්ත්වය ඇති විය හැකිය. දිලීර රෝග වැනි රෝග මෙහි දී ප්‍රධානය.  මීට අමතරව පසුගිය දා වාර්තා වූ ආකාරයට මුහුදේ ඇතිවන කුණාටු වැනි තත්ත්ව නිසා සැපයුම් පමා විය හැකිය.  

කොකෝවා වගාවට උෂ්ණත්වය නිසා ඇති විය හැකි බලපෑම් නිසා සැපයුම අඩුවී, ඒවායේ මිල හා ඒවා මගින් සිදුකරන නිෂ්පාදනවල මිල ඉහළ යා හැකිය. මෑත අප්‍රිකානු රටවල ඇති වූ ආර්ද්‍ර තාප ප්‍රවාහයක් නිසා කොකෝවා වගාවේ අස්වැන්න අඩු වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොකෝවා භාවිත කරන ඇතැම් නිෂ්පාදනවල මිල ඉහළ ගොස් තිබේ. නිවර්තන කලාපයේ සීමිත ප්‍රදේශයක පමණක් වැවෙන කොකෝවා වැඩි නිෂ්පාදනයක් සිදුවන්නේ අප්‍රිකානු රටවලය. ඒසේම මේ ශාක උෂ්ණත්වයේ ඇති වන වෙනස්කම්වලට සංවේදී ය.

No comments:

Post a Comment