Monday, January 8, 2018

බඹර ගහන අඩුවීමට දිලීරනාශකත් බලපායි

ජගත් පරිසර පුවත් 244 - 03.01.2018

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.01.2018 (Vidusara)


බඹර මැස්සන්ගේ ගහන අඩු වීමට සඳහා සුලභ දිලීරනාශක හේතු වන බව ඇමරිකාවේ සිදුකරන ලද අධ්‍යයනයක් මගින් හෙළි කර තිබෙයි. එහිදී අවධානය යොමු කර ඇත්තේ බඹර මැස්සන්ට (bumble bee) බලපාන සාධක පිළිබඳවය. ඇමරිකාවේ ප‍්‍රාන්ත 40ක් ස්ථාන 284ක බඹර ගහන අඩු වීම පැහැදිලි කිරීම සඳහා බලපාන සාධක 24ක් සම්බන්ධව මෙම අධ්‍යයනය සිදුකර ඇත. මේ අනුව බඹර මැස්සන්ගේ ගහනවල අඩු වීම සඳහා බලපාන ප‍්‍රබලතම සාධක ලෙස හඳුනාගෙන ඇත්තේ දිලීරනාශක භාවිතයයි. ඒ අතරින් ක්ලෝරොතැලොනිල් නම් ඇමරිකාවේ වඩාත් සුලභව භාවිත වන දිලීරනාශකය නොසීමා නම් පරපෝෂිතයාගේ බලපෑම ඉහළ යෑම සඳහා හේතු වී ඇති බව දැක්වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ දිලීරනාශක වැනි කෘමීන් ඉලක්ක කර නොගන්නා රසායන ද්‍රව්‍යයක් මගින්ද මෙවැනි බලපෑමක් ඇති වී තිබෙන බැවිනි. ඒවා යොදාගනු ලබන්නේ පුස් හා දිලීර වැනි පළිබෝධයනට එරෙහිවය. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇති ආකාරයට එමගින් කෘමීන්ටද බරපතළ හානියක් සිදුවන බවකි. එයට හේතු පිළිබඳව මේ වන විට තවදුරටත් අධ්‍යයනය කරන අතර, නොසීමා (Nosema bombi) නම් පරපෝෂිතයාට වඩා ගොදුරුවීමට ඇති අවස්ථා ඉහළ යෑම හා අනෙක් පළිබෝධනාශකවල ඇති විෂ සහිත ස්වභාවය ඉහළ නැංවීම බව මේ අතර ඇති බව විශ්වාස කරනු ලැබෙයි.

නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක මගින් මී මැස්සන් හා බඹර මැස්සන් වැනි පරාගණකාරකයින්ට බරපතළ හානියක් ඇති කරන බව මේ වන විට තහවුරු වී ඇත. එසේම, වාසස්ථාන විනාශය, රෝග හා දේශගුණ වෙනස් වීමද මෙම කෘමීන්ගේ ගහන අඩු වීම සඳහා බලපා තිබෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ, දිලීරනාශකවල බලපෑමද එයට එක්වීම මෙම මී මැසි බඹර ගහනවල පැවැත්ම තවදුරටත් අවදානමක පත් කරයි. මෙය වැදගත් වන්නේ මෙම කෘමීන් භෝග පරාගනයේදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන ජීවීන් කාණ්ඩයක් වන බැවිනි.

මූලාශ‍්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2017.2181

No comments:

Post a Comment