Thursday, May 31, 2018

යුරෝපයේ නියෝනිකොටිනොයිඩ තහනම අනුමතයි

ජගත් පරිසර පුවත් 261 - 02.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.05.2018, පි. 3 (Vidusara)



ලෝකයේ වඩාත් සුලභවම භාවිතවන පළිබෝධනාශක කාණ්ඩයක් වන නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක ක්ෂේත‍්‍ර භෝග වගා කටයුතු සඳහා භාවිත කිරීම මුළුමනින්ම තහනම් කිරීමට යුරෝපා සංගමය පසුගියදා තීරණය කළේය. ඒ අනුව 2018 වර්ෂයේ අවසානයේ පමණ සිට බලාත්මක වන මෙම නීතිය අනුව එම කාණ්ඩයේ පළිබෝධනාශක තුනක් (ඉමිඩක්ලෝප‍්‍රිඞ්, ක්ලෝතියනිඩින් හා තයමෙතෙකේසෑම්) භාවිතයට අවසර ලැබෙන්නේ හරිතාගාර ඇතුළත පමණකි. මේ සඳහා සාමාජික රටවල ඡුන්දය හිමිවීම වැදගත් කරුණක් සේ සැලකිය හැකිය.

නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශක භාවිතය නිසා මී මැස්සන්, බඹර මැස්සන් වැනි පරාගණකාරක කෘමීන්ට හානි සිදුවන බව කලක පටන් පෙන්වා දී ඇත. මේ නිසා යුරෝපා සංගමය මගින් මෙම පළිබෝධනාශක භාවිතය පිළිබඳව යම් සීමා කිරීමක් 2013 වර්ෂයේ පටන් පනවා තිබිණි. එ් මී මැස්සන් ආකර්ෂණය වන මල් පිපෙන ශාකවල භාවිතය පිළිබඳවය. එම තහනමත් සමඟ වඩා පුළුල් ආකාරයේ සම්පූර්ණ තහනමක අවශ්‍යතාවය සම්බන්ධව කතිකාවක් ගොඩනැගී තිබූ අතර, පරිසර හා සමාජ ක‍්‍රියාකාරීන් ඒ සඳහා පෙරමුණ ගත් බව දැකිය හැකි විය.

මෑත කාලයේදී මේ සම්බන්ධව බොහෝ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ලැබී ඇති අතර, පසුගිය පෙබරවාරි මාසයේදී මේ පිළිබඳව යුරෝපා ආහාර සුරක්ෂිතතා අධිකාරිය (EFSA) මගින් සිදුකරන ලද ඇගයීමකින් පෙන්වා දෙන ලද්දේ ඕනෑම එළිමහන් භාවිතයක් නිසා මී මැස්සන්ට හා බඹර මැස්සන්ට හානි සිදුවිය හැකි බවයි. එයට හේතුව මෙම පළිබෝධනාශක මගින් පස හා ජලය දූෂණය වීම හා ඒ නිසා වනමල් හා වෙනත් භෝගවලද මේ පළිබෝධනාශක දැකිය හැකි වීමය.

මෙය පරාගණකාරකයන් ලෙස කෘමීන්ගේ වැදගත්කම අවබෝධ කරගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙය වැදගත් වන්නේ හුදෙක් භෝග වගාවලට පමණක් නොවේ. සමස්ත පරිසරයටද මෙම කෘමීන්ගෙන් සිදුවන මෙහෙය වැදගත් වෙයි. ඇතැම් කණ්ඩායම්වල නොසතුටට හේතු වුවද මෙම තීරණය කාලීන තීරණයක් බව පැවසිය යුතුය.

No comments:

Post a Comment