Wednesday, February 28, 2018

ගෘහාශ‍්‍රිත රසායනික වායු දූෂණයට හේතුවක්

ජගත් පරිසර පුවත් 251 - 21.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 21.02.2018, පි. 3 (Vidusara)



නිවස්වල එදිනෙදා භාවිත කරන රසායන ද්‍රව්‍ය නාගරික ප‍්‍රදේශවල වායු දූෂණය සඳහා බලපාන ප‍්‍රධාන සාධකයක් වන බව ඇමරිකාවේ සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙයි.

මෙහිදී අවධානයට ලක් කර ඇත්තේ වාෂ්පශීලී කාබනික සංයෝග (volatile organic compounds -VOCs) සම්බන්ධවය. මේවාට පෙට්‍රොලියම් පදනම් කරගත් රසායන ද්‍රව්‍ය ඇතුළත් වේ. නිදසුනක් ලෙස පිරිසිදු කිරීමේ දියර වර්ග, තීන්ත, පළිබෝධනාශක, විලවුන් වර්ග වැනි ද්‍රව්‍ය දැක්විය හැකිය. මෙවැනි සංයෝග ස්වාභාවික පරිසරයේ සාමාන්‍යයෙන් දැකිය නොහැකි වෙයි.

මේවායේ ඇතුළත් රසායන ද්‍රව්‍ය වාතයට එක් වූ විට වෙනත් රසායනික ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වී සෞඛ්‍යයට හානිකළ හැකි ආකාරයේ අංශු තැනිය හැකිය. රථවාහන නොවන ප‍්‍රභවවලින් නිකත්වන වාෂ්පශීලී කාබනික සංයෝග සම්බන්ධව මෙතෙන් අඩු තක්සේරු කිරීමක් සිදුකර ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වේ. අනෙක් අතට මේ වන විට පවත්නා දැඩි පාලනය කිරීම් නිසා රථවාහනවලින් නිකුත්වන මෙවැනි සංයෝග ප‍්‍රමාණය සැලකිය යුතු තරම් අඩු වී තිබෙයි.

කෙසේ වෙතත් ප්‍රෙට්‍රෝලියම් අතරින් 95%ක් පමණ ප‍්‍රමාණයක් තෙල් නිපදවීමට භාවිත වන අතර පවිත‍්‍රකරණයෙන් පසුව ඉන්ධන නොවන පෙර සඳහන් කළ ආකාරයේ භාවිත සඳහා යොදාගනු ලැබෙන්නේ ඉතිරි 5%ක ප‍්‍රමාණය පමණකි. එහෙත් වාහන ඉන්ධන දහනය කරනු ලැබීමේදී එහි ඇති රසායන ද්‍රව්‍ය දහනය වී කාබන් ඩයොක්සයිඞ් හා ජලවාෂ්ප බවට පත් වේ. එහි මුල් ආකාරයෙන් පරිසරයට එක් වන්නේ ඉතා අඩු ප‍්‍රතිශතයකි. එහෙත් ගෘහාශ‍්‍රිතව භාවිත වන නිෂ්පාදනවල ඇතුළත් රසායන ද්‍රව්‍ය සැලකිය යුතු තරමක් එ් ආකාරයෙන්ම පරිසරයට එක් වෙයි.

වර්තමාන සමාජ රටාව අනුව මේ ද්‍රව්‍ය භාවිතය නොකර සිටීම අපහසු වීම මේ තත්ත්වය වෙනස් කිරීම හමුවේ ඇති අභියෝගයකි. එබැවින් කළ හැක්කේ එ්වා භාවිතය අවම මට්ටමකින් සිදුකිරීම බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aaq0524)

No comments:

Post a Comment