Saturday, March 12, 2016

ඞීඞීටීවලට මවකුසේදී නිරාවරණය වීමත් අධි රුධිර පීඩනයට හේතුවක් - ජගත් පරිසර පුවත් 005 (20.03.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.03.2013 

Vidusara - "World Environmental News - 20.03.2013"


ඞීඞීටීවලට මවකුසේදී නිරාවරණය වීමත් අධි රුධිර පීඩනයට හේතුවක්


මව් කුසේ සිටියදී අධික ඞීඞීටී මට්ටමකට නිරාවරණය වන ගැහැණු ළමුන්, ඔවුන් වැඩිහිටියන් වූ පසුව අධි රුධිර පීඩනයට ලක්වීමට ඇති හැකියාව එසේ නොවන ළමුන් මෙන් තුන් ගුණයක් අධික හැකිය. මේ බව පෙන්වා දෙන්නේ ඇමරිකාවේ සිදුකරන ලද අධ්‍යයනයකි. ඞීඞීටී රසායන ද්‍රව්‍යය එරට තුළ භාවිතය තහනම් කිරීමට පෙර උපත ලද (1959-1967 අතර) කාන්තාවන් අතර මේ රෝගී තත්ත්වය දැකිය හැකි වීම මෙහිදී අවධානය යොමු වූ කරුණයි. ඔවුන්ගේ මව්වරුන්ගේ ශරීරයේ පැවැති ඞීඞීටී සාන්ද්‍රණය පිළිබඳ දත්ත ඇති බැවින් එය හා දූවරුන් අතර අධි රුධිර පීඩනය අතර සංසන්දනයක් සිදුකිරීමට හැකියාවක් ලැබී ඇත.

ඞීඞීටී (DDT - dichlorodiplhenyltrichloroethane) රසායනයට නිරාවරණය වූ වැඩිහිටියන් අතර අධි රුධිර පීඩනය ඇතිවිය හැකි බව මින් පෙර හෙළි වී ඇති කරුණකි. එහෙත් උපතට පෙර ඊට නිරාවරණය වීමේ බලපෑම් පිළිබඳව තොරතුරු දක්වන මුල්ම පර්යේෂණය සේ මෙය සැලකේ.

ඞීඞීටී භාවිතය මේ වන විට බෙහෙවින් සීමා කර ඇති නමුත් ලෝකයේ රටවල් ගණනාවක මේ රසායන ද්‍රව්‍යය තවදුරටත් භාවිත කරනු ලැබේ. එවැනි රටවල වෙසෙන කාන්තාවන් අතර අනාගතයේදී මේ රෝගය සුලභ විය හැකි නිසා උක්ත තත්ත්වය ගැන යම් අවධානයක් යොමු කළ යුතුය. (මූලාශ‍්‍රය: Environmental Health Perspectives, DOI: 10.1289/ehp.1205921)

No comments:

Post a Comment