Saturday, March 31, 2018

නියෝනිකොටිනොයිඩ හා මී මැස්සන් පිළිබඳ තහනම දැඩි වේ?

ජගත් පරිසර පුවත් 253 - 07.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 07.03.2018, පි. 3 (Vidusara)



නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධනාශකවල විවිධ භාවිත කිරීම්වලින් මී මැස්සන්ට හා වන මී මැස්සන්ට අවදානමක් ඇති බව යුරෝපීය ආහාර ආරක්ෂක අධිකාරිය (EFSA) මගින් සකස් කළ වාර්තාවකින් පෙන්වාදී තිබෙයි. 2013 සිට යුරෝපය තුළ භාවිතය සඳහා සීමා පනවා ඇති මෙම පළිබෝධනාශක ක්ෂේත‍්‍ර භෝග සඳහා භාවිතය පිළිබඳ තහනම තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධව ලබන මාසයේදී සාකච්ඡුා කිරීමට නියමිතය. මේ අනුව උක්ත වාර්තාවෙන් ඒ සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය. මේ කාණ්ඩයේ පළිබෝධනාශක පිළිබඳව යුරෝපයේ දැනට ඇති තහනමට තවදුරටත් තහවුරු වීමට හෝ දැඩි වීමට අවස්ථාවක් ඇති බව වාර්තා වෙයි.

දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ මෙම ඇගැයීමේ නිගමනවලට පැමිණ ඇත්තේ මේ හා සම්බන්ධව පළ වී ඇති අධ්‍යයන 1500ක් පමණ ප‍්‍රමාණයක සොයාගැනීම් පිළිබඳව සමාලෝචනයට ලක්කිරීමෙනි. එහිදී උක්ත කාණ්ඩයේ කෘමිනාශක තුනක බලපෑම පිළිබඳව සොයාබලා ඇත. එ් ක්ලෝතියනිඩින්, ඉමිඩක්ලෝප‍්‍රිඞ් හා තයමෙතොක්සෑම් යන රසායන ද්‍රව්‍ය වේ. මේවා මේ වන විට යුරෝපයේ සීමා කර ඇති පළිබෝධනාශක අතර වෙයි. එසේම මෙහිදී මීමැස්සන් මෙන්ම බඹර මැස්සන් පිළිබඳවද අවධානය යොමු කර තිබේ. එ් අනුව ඔවුන් පවසන්නේ මේ පර්යේෂණවල නිගමනවල යම් විචල්‍යතාවයක් තිබුනද සමස්තයක් ලෙස ගත් විට අධ්‍යයනයට ලක් කළ මීමැසි වර්ග සියල්ලටම මේ බලපෑම ඇති බවයි. එසේම මේ පළිබෝධනාශකය ඉලක්ක භෝගය තුළ මෙන්ම පසට හා ජලයට එකතු වී වනමල් සහ වෙනත් භෝගවර්ගවල දැකිය හැකි වීමද මෙහිදී හෙළි වී ඇති කරුණකි.

ශාක පරාගණය සම්බන්ධව මීමැස්සන්ගෙන් ලැබෙන සේවය භෝග වගාවලදී මෙන්ම ශාක සම්බන්ධයෙන්ද වැදගත්ය. මීමැස්සන්ගේ ගහනවලට බලපෑමක් සිදුවීමෙන් ශාකවල පරාගණකාරකයන්ගේ අඩුවීමක් ඇති වෙයි. එය භෝග හා ශාකවල පරාගණය සඳහාද එ් නිසා ආහාර භෝගවල නිෂ්පාදනය සඳහාද බලපාන්නා වූ කරුණකි.

No comments:

Post a Comment