Monday, June 27, 2016

මීමැස්සන්ට බලපෑම් කරන රසායන ද්‍රව්‍ය - පරිසර පුවත් 007 (03.04.2013)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2013

Vidusara - World Environmental News (03.04.2013)


මීමැස්සන්ට බලපෑම් කරන රසායන ද්‍රව්‍ය

ලෝකයේ රටවල් රැුසක මීමැසි ගහන අඩුවීම කලක පටන් අවධානයට ලක්ව ඇති කරුණකි. මේ සඳහා බලපා ඇති එක් කරුණක් ලෙස මිනිසුන් විසින් භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍යද දක්වා තිබේ. නිශ්චිත රසායනික ද්‍රව්‍ය නිසා මෙවැනි බලපෑමක් ඇති වන ආකාරය පිළිබඳව කළ අධ්‍යයන දෙකක් පසුගියදා ප‍්‍රකාශයට පත් විය. එ් අනුව, කෘෂිකර්මාන්තයේදී සුලබ ලෙසින් යොදාගන්නා කෘෂි රසායන ද්‍රව්‍ය දෙකකට නිරාවරණය වීමෙන් මීමැස්සන්ගේ මොළයට ඇති වන බලපෑම ගැන පෙන්වාදී තිබේ.

මෙහිදි අවධානය යොමුව ඇති එක් කෘෂි රසායනික ද්‍රව්‍යයක් වන්නේ භෝග ශාක රැුසක පළිබෝධනාශකයක් ලෙස යොදාගන්නා නියෝනිකොටිනොයිඩ (neonicotinoid) වර්ගයේ පළිබෝධනාශකයක් වන ඉමිඩැක්ලෝපිඞ්ය (imidacloprid). අනෙක් වර්ගය වන්නේ මීමැස්සන්ට හානිකරන මයිටාවකු මර්ධනය කිරීම සඳහා භාවිත කරන  ඕගනෝපොස්පේට් කාණ්ඩයට අයත් කෝමාපොස් (coumaphos) නම් පළිබෝධනාශකයයි.

මේ එක් අධ්‍යයනයකදී පරිසරයේ මේ රසායන ද්‍රව්‍ය දෙක පවත්නා සාන්ද්‍රණය හා සමාන සාන්ද්‍රණයකට දින හතරක කාලයක් මීමැස්සන් ලක් කර තිබේ. ඉන් පසුව සුවඳ හා සම්බන්ධව මේ මීමැස්සන්ගේ මතකය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එ් අතරින් 30%ක් පමණ ප‍්‍රමාණයකගේ ඉගෙනීමේ ඇති හැකියාව අඩුවී ඇති බව අනාවරණය විය. මෙවැනි තත්ත්වයක් මීමැස්සන්ට හානිකර ලෙස බලපාන්නේ ඉගෙනීමට නොහැකි මීමැස්සන්ට ආහාර සොයාගැනීමේ අපහසුතා ඇති වන නිසාය. (මූලාශ‍්‍රය: Journal of Experimental Biology, DOI: 10.1242/jeb.083931)

මේ රසායන ද්‍රව්‍ය දෙකේ හා නියෝනිකොටිනොයිඩ (neonicotinoid) වර්ගයේ තවත් පළිබෝධනාශකයක් වන ක්ලෝතියනිඩින්වලින් (clothianidin) මීමැස්සන්ට ඇති වන බලපෑම ඇති වූ ආකාරය සම්බන්ධව අප සඳහන් කරන දෙවැනි පර්යේෂණය සිදුකර තිබේ. එහිදී පරිසරයේ අදාළ රසායන ද්‍රව්‍ය පවත්නා සාන්ද්‍රණය හා සමාන සාන්ද්‍රණයකට මීමැස්සන් ලක් කර ඔවුන්ගේ මොළයේ ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂණය කර ඇත. මෙහිිදී පෙනී ගොස් ඇති ආකාරයට, අදාළ රසායන ද්‍රව්‍ය හේතුවෙන් මොළයේ ස්නායු ක‍්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති වේ. එ් අනුව මීමැස්සන්ගේ සංජානනය මඳහා ඇති හැකියාවට බලපෑමක් ඇතිවීම පැහැදිලි කර තිබේ. මේ රසායන ද්‍රව්‍ය දෙකේම බලපෑම ඇති වන්නේ මීමැස්සන්ගේ මොළයේ එකම ප‍්‍රදේශයක් වන නිසා උක්ත රසායනද්‍රව්‍ය දෙකේම බලපෑමට ලක්වූ විට මීමැස්සන්ට ඇති වන බලපෑම අධික බවද හෙළි වී තිබේ. (මූලාශ‍්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms2648)

කෘෂි රසායන ද්‍රව්‍යවල මෙවැනි බලපෑමක් පිළිබඳව අනාවරණය වූ පළමු අවස්ථාව මෙය බවද අදාළ පර්යේෂකයන් සඳහන් කර ඇත. මේ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල වාසය කරන මීමැසි ගහන පත්ව ඇති අවදානමේ තරම වේ.

No comments:

Post a Comment