Monday, June 27, 2016

අප‍්‍රිකාවේ වනගත අලි මරා දමා ඇති තරම - පරිසර පුවත් 007 (03.04.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.04.2013

Vidusara - World Environmental News (03.04.2013)

අප‍්‍රිකාවේ වනගත අලි මරා දමා ඇති තරම


මධ්‍යම අප‍්‍රිකාවේ වාසය කරන වනගත අලි අතරින් 62%ක් පමණ ප‍්‍රමාණයක් පසුගිය දශකයක කාලය ඇතුළත මරා දමා තිබේ. එ් ප‍්‍රධාන වශයෙන් ඔවුන්ගේ දළ ලබා ගැනීම සඳහාය. මේ බව පෙන්වා දෙන්නේ 2002-2011 අතර කාලයේදී මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයන ආශ‍්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණක වාර්තාවකි.
වනගත අලින් පිළිබඳව සිදුකර ඇති විශාලතම අධ්‍යයනය සේ සැලකෙන මේ අධ්‍යයනයේදී අදින් දශකයකට පමණ පෙර අලි ඇතුන් වාසය කළ ප‍්‍රදේශයෙන් තුනෙන් එකක් පමණ ප‍්‍රදේශයක් තවදුරටත් අලින්ට වාසය කිරීමට තරම් ආරක්ෂිත තත්ත්වයක නොමැති බව පෙනී ගොස් ඇත. විශේෂයෙන් අප‍්‍රිකාවේ වනගත අලි විශේෂය මිනිසුන් අධික, මාර්ග අධික ප‍්‍රදේශවල වාසය නොකරයි. අප‍්‍රිකාවේ වෙසෙන මේ වනගත අලියා (Loxodonta. cyclotis) සැවනා අලියාගෙන් (Loxodonta africana) වෙනස් වූ විශේෂයක් සේ වැඩි පිළිගැනීමකට ලක්ව ඇත.

මේ අනුව පෙනෙන තවත් වැදගත් කරුණක් වන්නේ මේ අප‍්‍රිකානු වනගත අලියා ආරක්ෂා කර ගැනීම සඳහා ඉක්මනින් උත්සාහ ගත යුතු බවය. එවැනි උත්සාහයක් ජගත් මට්ටමේ විය යුතුය. එනම්, අලි-ඇතුන් වාසය කරන රටවල් මෙන්ම, ඇත් දළ භාවිත කරන රටවල් මෙන්ම නීති විරෝධී ලෙස ඇත් දළ ප‍්‍රවාහනය කරන ගමන් මාර්ගයේ පිහිටි රටවල් අතර වැඩි සම්බන්ධීකරණයකින් යුක්ත වූ වැඩසටහනක් අවශ්‍යව ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: PLoS ONE, DOI: 10.1371/journal.pone.0059469)

No comments:

Post a Comment