Tuesday, July 31, 2018

ඉහළ යන මුහුදු මට්ටමේ ආර්ථික බලපෑම

ජගත් පරිසර පුවත් 271 - 11.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.07.2018, පි. 3 (Vidusara)



2100 වන විට මුහුදු මට්ටම ඉහළ යෑමෙන් ඇති වන ජලගැලීම් හේතුවෙන් ඇති විය හැකි හානියේ ආර්ථික අගය වාර්ෂිකව ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එ් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පූර්ව කාර්මික අවධියට වඩා අංශක දෙකක සීමා කළ නොහැකි වුවහොත්ය.

මෙම අධ්‍යයනයේදී සිදුකර ඇත්තේ උෂ්ණත්වය ඉහළ යෑම අංශක 1.5 හා අංශක 2 සිමාවේ පවත්වා ගතහොත් හා කිසිදු වළක්වාගැනීමේ තත්ත්වයක් නොමැති සංසිද්ධියකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑමෙහි බලපෑම් සංසන්දනය කිරීමයි. ඒ අනුව 2100 වර්ෂය වන විට අංශක 1.5ක උෂ්ණත්ව ඉහළ යෑමකදී සෙන්ටිමීටර් 52කින්ද, අංශක 2ක් සඳහා සෙ.මී. 63කින්ද මුහුදු මට්ටම ඉහළ යා හැකි බව අනාවරණය වී ඇත. එසේම අංශක 2 ඉලක්කය අත්පත්කරගත නොහැකි වුවහොත්, මුහුදු මට්ටම මීටර් 0.86ක මධ්‍යන්‍ය අගයකින් ඉහළ යා හැකිය. එවැනි අවස්ථාවකදී වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකිය. එසේම මුහුදු මට්ටම උපරිම වශයෙන් මීටර් 1.8ක් ඉහළ යා හැකි අතර, එවිට ඇති වන වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 27ක් පමණ වනු ඇත.

ජලගැලීම් නිසා වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ ඉහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවලට බවද මෙහිදී හෙළි වී තිබෙයි. නිදසුනක් ලෙස චීනය දැක්විය හැකිය. එසේම, ඉහළ ආදායම ලබන රටවල් මෙමගින් අඩු බලපෑමකට ලක්වන රටවල් අතර වෙයි. එයට හේතු වන්නේ මෙවැනි ජලගැලීම්වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් එ් රටවල පැවතීමයි. ලෝක ජනගහනයෙන් මිලියන 660ක පමණ පිරිසක් අඩු උන්නතාංශයක් සහිත වෙරළබඩ ප‍්‍රදේශවල හෙවත් මුහුදු මට්ටමේ සිට මීටර් 10ක සීමාවේ, වාසය කරති. දේශගුණ වෙනස් වීමත් සමඟ ඇතිවන ග්ලැසියර හා අයිස් තට්ටු දියවීමත් සමඟ හා සාගර ජලයේ තාප ප‍්‍රසාරණය සමඟ මුහුදු මට්ටම ඉහළ යෑම සිදු වෙයි. මේ හේතුව නිසා මුහුදු මට්ටම ඉහළ යෑම වඩාත් බරපතළ විපාක ඇති කළ හැකි සිදුවීමකි. (මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/aacc76)

No comments:

Post a Comment