Monday, July 30, 2018

මස් සහ කිරි අත්හැරීම පරිසර බලපෑම අඩු කළ හැකි හොඳම ක‍්‍රමයයි

ජගත් පරිසර පුවත් 266 - 06.06.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 06.06.2018, පි. 3 (Vidusara)



මස් නිෂ්පාදන හා කිරි නිෂ්පාදනවලින් වැළැකීම මිනිසුන්ගෙන් මිහිතලයට ඇති වන බලපෑම අඩුකිරීම සඳහා ගත හැකි ප‍්‍රබලතම පියවර බව පශුපාලනය පිළිබඳව මෙතෙක් කලක් සිදුකර ඇති සවිස්තරම විශ්ලේෂණයක් මගින් පෙන්වාදී තිබෙයි.

එගින් අනාවරණය කර ඇති ආකාරයට මස් හා කිරි නිෂ්පාදනය මගින් සැපයෙන්නේ මිනිස් කැලරි අවශ්‍යතාවයෙන් 18%ක් හා ප්‍රෝටින අවශ්‍යතාවයෙන් 37%ක් පමණකි. එහෙත් එ් සඳහා ගොවිබිම්වලින් 83%ක් භාවිත වන අතර, කෘෂිකර්මයේ සමස්ත හරිතාගාර වායු විමෝචනවලින් 58%ක් නිකුත් වන්නේ මස් හා කිරි නිෂ්පාදන නිපදවීමේදීය. සමස්ත ජලදූෂණයෙන් 57%කට හේතුවන්නේද මේ අංශයයි. මිරිදිය අතරින් 33%ක් පමණ ලබා ගන්නේද මේ අංශය සඳහාය. එසේම අවම බලපෑමක් සිදුකරන මස් හා කිරි නිෂ්පාදන මගින් පවා සිදුවන බලපෑම අඩුම තිරසර භාවයක් සහිත එළවළු හා ධාන්‍ය වගාවලට වඩා වැඩි බලපෑමක් බව පෙන්වා දී ඇත. එසේම එකම නිෂ්පාදනයක වුවද බලපෑම වෙනස් විය හැකිය. නිදසුනක් ලෙස ගත් විට ස්වාභාවික තණබිම්වලින් පෝෂණය වන ගවයින්ට වඩා, එළිකරන ලද වනබිම්වල ඇතිකරන ගවයින්ගේ හරිතාගාර වායු විමෝචන 12 ගුණයකින් අධික වන අතර, භාවිත වන බිම් ප‍්‍රමාණයද 50 ගුණයක් පමණ අධිකය.

මෙම අධ්‍යයනය රටවල් 119ක ගොවිපළ 38,700ක් පිළිබඳ දත්ත යොදාගනිමින් සිදුකරන ලද්දකි. එහිදී ආහාරයට ගනු ලබන නිෂ්පාදන අතරින් 90%ක් නිරූපණය වන ආහාර වර්ග 40ක් පමණ ආවරණය වෙයි. මෙහිදී අදාළ ආහාරයේ සමස්ත බලපෑම විමසා බලා ඇති අතර එහිදී ගොවිබිමේ සිට අනුභවය දක්වාද, භූමි භාවිතයද, හරිතාගාර වායු විමෝචනද, මිරිදිය භාවිතය, ජල දූෂණය (සුපෝෂණය ඇතිවීමෙන්) හා වායු දූෂණය (ආම්ලිකකරණයෙන්) වැනි කරුණු දක්වාද කරුණු සොයා ඇත.

මේ පිළිබඳව සැලකීමේදී අදාළ ආහාරවල ඇති පාරිසරික බලපෑම පිළිබඳව ලේබල් කිරීමක් සිදුකිරීම මගින් පාරිභෝගිකයාට එ් පිළිබඳව තීරණය කිරීමට සැලැස්වීමට හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. (මූලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aaq0216)

No comments:

Post a Comment