Monday, July 30, 2018

ජපාන තල්මහ දඩයම යළිත් අවධානයට

ජගත් පරිසර පුවත් 266 - 06.06.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 06.06.2018, පි. 3 (Vidusara)



ජපානය වාර්ෂිකව දකුණු මුහුදේ සිදුකරන තල්මහ දඩයම පසුගිය සතියේ යළිත් අවධානයට ලක්විය. එ් 2017/2018 දඩයම් සමයේදී සිදු වූතල්මහ දඩයම පිළිබඳව වාර්තාවක ඇතුළත් කරුණු හෙළිවීම සමඟය.

එම වාර්තාවට අනුව 2017 නොවැම්බර් මාසයේ ජපානයෙන් නික්ම ගිය යාත‍්‍රා මගින් මේ දඩයම් සමයේදී මින්කි තල්මහ සතුන් 333ක් මරාදමා ඇත. මෙසේ මරා දැමූ මින්කි තල්මහ සතුන් අතරින් පිරිමි සතුන් 152ක් හා ගැහැණු සතුන් 181 ක් පමණ වේ. මේ ගැහැණු සතුන් අතරින් 122ක්ම ගැබිණි සතුන් බව මෙම වාර්තාව මගින් හෙළි කරන ලද තවත් විශේෂිත කරුණකි. එසේම මෙම පිරිමි සතුන් 61ක් හා ගැහැණු සතුන් 53ක් පමණ දෙනා තවමක් පරිණත නොවූ සතුන් බවද වාර්තාවෙහි සඳහන් වෙයි.

වාණිජ වශයෙන් සිදුකරන තල්මහ දඩයම ජාත්‍යන්තර තල්මහ කොමිසම මගින් 1985 වර්ෂයේ සිට තහනම් කර තිබුනද ජපානය මෙම වාර්ෂික දඩයම සිදුකරනු ලබන්නේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඇති අවස්ථාව යොදාගනිමිනි. මේ පිළිබඳව ඇතැම් රටවල් හා සංවිධාන හෙලාදැක ඇති අතර, 2014 වර්ෂයේදී සතුන් මරා දමමින් සිදුකරන පර්යේෂණවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ තීරණයක්ද තිබෙයි. එහෙත් මරා දමනු ලබන සතුන්ගේ ප‍්‍රමාණය තුනෙන් එකකින් අඩු කළ ජපානය වසර දෙකකට පසුව යළිත් තල්මහ දඩයමේ යෙදීම ආරම්භ කළේය.

මේ ආකාරයෙන් අල්ලාගනු ලබන තල්මහ සතුන්ගේ මස් පසුව ජපානයේදී අලෙවි කරනු ලැබේ. අතීතයේ සිටම තල්මහ මස් ජපානයේ ආහාරයක් ලෙස ගෙන ඇතත් ජපානය ඇන්ටාක්ටික් ප‍්‍රදේශයේ තල්මහ දඩයම සඳහා යොමුවන්නේ දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව ඇති වූ ආහාර අවශ්‍යතාවය සමඟ බව සඳහන් වෙයි. එහෙත් අද වන විට තල්මහ මස් එරට තුළද එතරම් ජනප‍්‍රිය ආහාරයක් නොවේ.

ජපානය හැරුණු විට මේ ආකාරයෙන් තල්මහ දඩයම් කරනු ලබන සෙසු රටවල් වන්නේ නෝර්වේ හා අයිස්ලන්තයයි. තවත් රටවල් කිහිපයක ආදිවාසින්ගේ අවශ්‍යතා සඳහා සීමිත තල්මහ දඩයම් කිරීමක් සඳහා අවසර ලැබී තිබෙයි.

No comments:

Post a Comment