Tuesday, July 31, 2018

මීමැස්සන් අඩුවීමට දේශගුණ වෙනස්වීමත් හේතුවක්

ජගත් පරිසර පුවත් 270 - 04.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.07.2018, පි. 3 (Vidusara)



ප‍්‍රාදේශීය වශයෙන් මී මැසි ගහන අඩුවීමට දේශගුණ වෙනස් වීමත් එක හේතුවක් විය හැකි බව අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබෙයි. ඇරිසෝනා ප‍්‍රාන්තයේ සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව ස්වාභාවිකව උණුසුම් තත්ත්ව පවත්නා ප‍්‍රදේශවල මෙවැනි තත්ත්ව ඇති වීමට අවස්ථාව ඇත.

බටහිර ඇමරිකාවේ හා මෙක්සිකෝවේ දැකිය හැකි Osmia ribifloris නම් මීමැසි විශේෂයක් සම්බන්ධව සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී අනාගතයේ දී (2040 සිට 2099 දක්වා වූ කාලයේදී) ඇති විය හැකි යැයි අපේක්ෂිත උණුසුම් දේශගුණ තත්ත්වයක් හා සමාන තත්ත්වයක් මී වදවලට ලබාදී ඇත. එ් සඳහා යොදාගෙන ඇත්තේ මී වද පෙට්ටි වෙනස් වර්ණවලින් පාට කිරීමේ ක‍්‍රමයකි. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට පළමු වර්ෂය තුළ වසරේ මීමැස්සන්ගෙන් 35%ක් පමණ මියගොස් ඇති අතර, දෙවැනි වර්ෂයේදී 70%ක් පමණ ප‍්‍රමාණයක් මියගොස් තිබෙයි. සමස්තයක් ලෙස 30%-75% අතර මරණ අනුපාතිකයක් පෙන්වා තිබේ. එහෙත් පාලකය ලෙස යොදාගත් මී වදවල දැකිය හැකි වී ඇත්තේ 1%-2% අතර වූ මරණ අනුපාතිකයකි. මේ අනුව ඉහළ උෂ්ණත්වයක් යටතේ මී මැසි ගහනවල අඩුවීමක් දැකිය හැකි බව පැහැදිලිය. මේ අනුව ඇති විය හැකි ප‍්‍රාදේශීය ගහන බිඳවැටීමකට මේ තත්ත්වය හේතු විය හැකිය.

මේ අනුව අධික උෂ්ණත්වය මී මැස්සන්ගේ දේහවල දරාගැනීමේ හැකියාවේ උපරිමයට ළ`ගා වීමක් සිදුවන බව පැහැදිලිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අදාළ විශේෂයේ වඩා උණුසුම් ප‍්‍රදේශවල වාසය කරන ගහනවල අඩුවීම් දැකිය හැකි වෙතැයි අපේක්ෂා කරන බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මී මැස්සන් වැදගත් වන්නේ පරාගණකාරකයන් ලෙසය. මෙහි ඇති වදැගත්කම හුදෙක් භෝගවගාවලට පමණක් සිමා වන්නේ නැත. එය වන මල් මෙන්ම සෙසු ජෛව විවිධත්වයටද වැදගත් වන්නකි. මේ නිසා මීමැස්සන්ට වන බලපෑම් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Functional Ecology, DOI: 10.1111/1365-2435.13151)

No comments:

Post a Comment