Monday, July 30, 2018

ජලජ ක්ෂීරපායින් ඇම සඳහා යොදාගැනීම පුළුල්ව සිදුකරන්නක්

ජගත් පරිසර පුවත් 267 - 13.06.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 13.06.2018, පි. 3 (Vidusara)



ජලජ ක්ෂීරපායින් වන ඩොල්පින්, මුහුදු සිංහයන්, සීල් සතුන් හා දියබල්ලන් වැනි සතුන් යනු ලෝකයේ බොහෝ රටවල දඩයම් කිරීමට තහනම් කර ඇති ආරක්ෂිත සත්ත්ව විශේෂය. එයට මූලික හේතුව වන්නේ මේ සතුන් තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ වීමයි. එහෙත් මේ සතුන් මුහුණ පා ඇති මෙතෙක් අනාවරණය නොවූ ආකාරයක තර්ජනයක් පිළිබඳව පසුගියදා පළ වූ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.

මසුන් ඇල්ලීමේදී ඇම සඳහා යොදාගැනීම සඳහා මෙම සාගර ක්ෂීරපායී සතුන් මරා දැමීම මෙම තර්ජනයයි. 1970 වර්ෂයේ සිට ඇති තොරතුරු අනුව රටවල් 33ක ජලජ ක්ෂීරපායි සත්ත්ව විශේෂ 42ක් පමණ ප‍්‍රමාණයක් ඇම සඳහා යොදාගැනීම සිදුකරන බව මෙහිදී හෙළි වී ඇත. මේ අතරින් 80%ක් පමණ ප‍්‍රමාණක් උවමනාවෙන්ම මරා දැමීම කණගාටුදායක කරුණක් වෙයි. නිදසුනක් ලෙස ගතහොත් මෝරුන් දඩයම් කිරීම සඳහා යොදාගැනීමට ඩොල්පින් වැනි ක්ෂීරපායි සතුන් මරා දැමීම දැක්විය හැකිය.

මේ ආකාරයෙන් ජලජ ක්ෂිරපායි සතුන් මරා දැමීම ලෝකය පුරා සිදුකරනු ලබන අතර එය වඩාත් පුළුල් ලෙස දැකිය හැක්කේ දකුණු ඇමරිකානු රටවල් හා ආසියානු රටවලය. එසේම මිරිදියේ මෙන්ම කරදියේද වාසය කරන කිෂීරපායි සතුන් මේ අවාසනාවන්ත තත්ත්වයට ලක්ව ඇත.

මෙහි ඇති විශේෂිත කරුණ වන්නේ මේ නිසා එම සතුන්ට ඇති වන බලපෑම සම්බන්ධව ඇත්තේ අඩු තොරතුරු ප‍්‍රමාණයක් වීමය. නිදසුනක් ලෙස ගතහොත් එසේ මරා දමනු ලබන ක්ෂිරපායි සතුන්ගේ ගහනවල තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තාගත වී නොමැති තරම්ය. කෙසේ වෙතත් මේ පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව මෙම පිළිවෙත තිරසර එකක් නොවන බව හා ගහනවල අඩුවීමක් ඇතිවීමට හේතු විය හැකි බව මෙහිදී පෙන්වාදී ඇත. එබැවින් මෙතෙක් අවධානයක් යොමු වී නොමැති මෙම අංශය සම්බන්ධවද සිදුකරනු ලබන නිරීක්ෂණය ඉහළ නැංවීම වැදගත් බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. (මූලාශ‍්‍රය: Frontiers in Marine Science, DOI: 10.3389/fmars.2018.00191)

No comments:

Post a Comment